ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන

  • මේ මොහොතේ රජයක් හැටියට කළ යුතු හැම වගකීමක්ම අපි ඉටු කරලා තියෙනවා.

ගුවන් තොටුපළ ද විවෘත විය. ඒ අතර කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙන්ම කෝවිඩ් මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ. ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ග නිවැරැදිද? මේ ඒ ගැන විමසමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය- කෝවිඩ් සමාජගත වෙලා නෑ කියලා ආණ්ඩුව කියන්නේ බොරු?


පිළිතුර- ඇත්තටම මේ වගේ ​ගෝලීය වසංගතයක් රජයක් හැටියට අපට එකපාර නවත්වන්න පුළුවන්කමක් නෑ. නමුත් මේ මොහොතේ රජයක් හැටියට කළ යුතු හැම වගකීමක්ම අපි ඉටු කරලා තියෙනවා. මේ වගේ ගෝලීය වසංගතයකට අපේ රට මුහුණ දුන්නේ 1918 වසරෙදි. එතකොට මේක සියවසකට පසුව ආපු තත්ත්වයක්. මේ වගේ තත්ත්වයකට මුහුණ දීපු ඒ අත්දැකීම තියෙන කිසි කෙනෙක් අද නෑ. අපි පළමු වතාවටයි මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්නේ. ඒ නිසා යම් යම් අඩුපාඩු වැරැදීම් සිදුවෙන්න පුළුවන්. ඒවා නිවැරැදි කරගෙන තමයි අපට ඉදිරියට යන්න වෙන්නේ. ඒ නිසා සමස්තයක් හැටියට ගත්තම මේ කාරණයේදී අපි රජයක් හැටියට රටේ ජනතාවට උපරිම සාධාරණය ඉටු කරලා තියෙනවා.


ප්‍රශ්නය-  සෞඛ්‍ය විද්‍යාත්මක තීන්දු තීරණ ගත යුතු වුවත් ආණ්ඩුව ගන්නේ දේශපාලන තීන්දු හා ආර්ථික තීන්දු?


පිළිතුර- නැහැ. මම එයට කිසිලෙසකින්වත් එකඟ වෙන්නේ නෑ. මොකද මේ තීන්දු තීරණ ගන්න හැම කමිටුවක්ම පාහේ මමත් නියෝජනය කරන නිසා මම පෞද්ගලිකව දන්නවා අපි හැම වෙලාවෙම සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට තමයි මුල්තැන දුන්නේ. ආර්ථිකය පැත්තෙන් දේශපාලනය පැත්තෙන් කාරණා දකින අය තමන්ගේ අදහස් ඉදිරිපත් කරපු අවස්ථා තියෙනවා. ඒ ඇතැම් අවස්ථාවලදී අපි දැක්කා සෞඛ්‍ය අංශයෙ අපේ නිලධාරින් දේශපාලන අධිකාරිය වුණත් උදාහරණයක් හැටියට කියනවා නම් ඇතැම් යෝජනා ඉදිරිපත් වුණු වෙලාවේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ඒවට එකඟ වුණේ නෑ. නිරන්තරයෙන් සිදුවන සාකච්ඡාවලින් තමයි සෑම තීන්දුවක්ම ගන්නේ. සෞඛ්‍ය බලධාරින්ට අපි ප්‍රමුඛතාවය දීලා තියෙනවා වගේම නිදහස දීලා තියෙනවා ඔවුන්ගේ අදහස් නොබියව පළ කරන්න. ඒකට බාධා පමුණුවලා නෑ. ඒකෙන් කියැවෙන්නේ නෑ අපි ආර්ථික සාධක මෙන්ම දේශපාලන කාරණා මුළුමනින්ම අමතක කරලා තියෙනවා කියලා. සෞඛ්‍යමය ආවරණයට යටත්ව දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම හා ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීම සඳහා ගත යුතු පියවර ගන්නවා.


ප්‍රශ්නය- ගුවන් තොටුපළ විවෘත කළා. එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවද?


පිළිතුර- ඇත්තටම අපි ගුවන් තොටුපළ විවෘත කිරීම කියන සාධකය විතරක් හුදකලාව ගන්න නරකයි. මේ වෙනකොට ලෝකයෙ හැම තැනම එන්නත් කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නුදුරු දිනයකදීම ලංකාවේ ඒක පටන් ගන්න. මේ එන්නතත් එක්ක කොවිඩ් වසංගතයෙ සමස්ත ස්වභාවය යම් වෙනසකට බඳුන් වෙනවා. ඒකත් එක්ක තමයි අපි ගුවන් තොටුපොළ විවෘත කිරීම දිහා බැලිය යුත්තේ. මුළු ලෝකයෙන්ම කොවිඩ් තුරන් වෙනකම්ම ගුවන් තොටුපළ වහගෙන ඉන්නවද? එහෙම නැත්නම් මොන අවස්ථාවෙදිද මේවා අරින්නේ. ඇත්තටම අපි අමාරු තීරණයක් ගත්තේ. නමුත් සමස්තය ගැනම සලකලා බලලා විවිධ විශේෂඥයන්ගේ අදහස් විමසලා බලලා තමයි ඒ තීරණය ගත්තේ. එයින් අපට අවැඩක් වෙනවා නම් අපි නොසිතූ ඉරණමක් අත්වෙනවා නම් ඒ තීරණය ආපස්සට හැරවීමට වුණත් අපි සූදානම්. ඒ සඳහා අවස්ථාව තියෙනවා. අපි උත්සාහයක් ගන්නේ නැතිව අවදානමක් බාර ගන්නේ නැතිව අපට සාර්ථක වෙන්නත් බෑ.


ප්‍රශ්නය- නමුත් මේ මොහොතේ ලෝකයෙ බොහෝ රටවල් ආරක්ෂක පියවර දැඩි කරමින් යන්නේ?


පිළිතුර- ඒ වගේම තමයි අද ලෝකයේ තියෙන ප්‍රධානම එන්නත් දෙක පයිසර් හා මොධානා එන්නත් දෙකම හදලා තියෙන්නේ මීට පෙර තිබූ තාක්ෂණයෙන් නොවෙයි. එම්. ආර්. එම්. ඒ. තාක්ෂණය අලුත් එකක්. නමුත් ඒ ඒ රටවල විද්‍යාඥයෝ වගේම දේශපාලන අධිකාරිය බරපතළ තීන්දුවක් ගත්තා පළමු වතාවට මේ තාක්ෂණය යොදාගෙන එන්නතක් හදලා ජනතාවට ලබාදිය යුතුයි කියලා. මේ වගේ දුෂ්කර අවස්ථාවල තමයි අලුත් තීරණ ගන්න වෙන්නේ. නැවුම් තීරණ ගන්න වෙන්නේ. ඉතින් අපි මොන මට්ටමින්ද ඒ තීරණ ගන්නේ කියන එක වෙනම කතාවක්. නමුත් මොන අවස්ථාවකදි හරි අපට යම් යම් තීරණ ගන්න වෙනවා. එහෙම එක තීරණයක් තමයි ගුවන් තොටුපළ විවෘත කිරීම.


ප්‍රශ්නය- යුක්රේන ජාතිකයන් දහස් ගණනක් ගෙන්නුවා. ඒකෙන් ඇති වුණේ අනවශ්‍ය ප්‍රශ්නයක්?


පිළිතුර- සිදුවීම් දේශපාලනීකරණය කිරීම තුළ තමයි ඔය විදියට පේන්නේ. යුක්රේන සංචාරකයන් පැමිණීම දීර්ඝව සාකච්ඡා කරලා. ඒ සම්බන්ධයෙන් ගන්න ඕනැ ආරක්ෂණ ක්‍රියාවලිය සලකලා බලලා තමයි ගත්තේ. නමුත් ඇත්තටම ඒක දිහා හුදු දේශපාලනික කෝණයකින් බැලීම හා විග්‍රහ කිරීමට යාම නිසා තමයි අනවශ්‍ය අවධානයක් ඒ සම්බන්ධයෙන් යොමු වුණේ. මම කියන්නේ නෑ ඒ ව්‍යාපෘතිය සීයට සීයක්ම සාර්ථකයි කියලා. ඒකේ අඩුපාඩු තිබුණ. ඒ අඩුපාඩු නිවැරැදි කරගෙන ඉදිරියට යාම සඳහා ඉඩක් අපට විවරවෙලා තියෙනවා.


ප්‍රශ්නය-  නිරෝධායන මධ්‍යස්ථානවලට ආණ්ඩුවේ අවශ්‍ය අවධානය යොමුවෙලා නෑ. මිනිස්සු ඒ නිසා හැංගෙනවා


පිළිතුර- නෑ කිසිම අඩුවක් වෙලා නෑ. මුලින් තිබුණ පහසුකම් මුලින් දක්වපු සැලකිල්ල ඒ ආකාරයෙන්ම හෝ ඊට වැඩියෙන් දක්වනවා. නමුත් හැමදාම දකිනකොට කුකුලගේ කරමලේ සුදුයි කියනවා වගේ කතාවක් තමයි මේකත්. දිගින් දිගටම සෞඛ්‍ය අංශ හා ආරක්ෂක හමුදාවල සොහොයුරන් දක්වන කැප කිරීම හැමදාම එකම විදියට කෙරෙන නිසා නැවත නැවත ඇගයීමට ලක් නොවීමයි මේ වෙන්නේ.


නමුත් ඉතාම පැහැදිලියි ඔබ කියන විදියේ ප්‍රශ්නයක් නෑ. ආරම්භයේදී විවිධ චෝදනා එල්ල වුණා. නමුත් ඒ අඩුපාඩු තිබුණ තැන් අපි නිවැරැදි කළා. මේ දවස්වල එහෙම කිසිම දෙයක් අහන්න දකින්න ලැබෙන්නේ නෑ. ඒකෙන්ම පේනවා මේ කටයුත්ත සාර්ථකව ඉදිරියට යනවා කියලා.


ප්‍රශ්නය- කොවිඩ් එන්නත කවදද ලංකාවට ගෙන්වන්නේ?


පිළිතුර- මට මේ ඔබත් එක්ක කතා කරන අවස්ථාවෙදි ඔබට නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. සමහරවිට මේ සම්මුඛ සාකච්ඡාව පත්‍රය හරහා ජනතාව අතරට යන වෙලාව වනවිට එන්නත ගෙන්වීම සඳහා අනුමැතිය ලැබී තියෙන්න පුළුවන්. එන්නත ගෙන්වලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉදිරි සතියෙදි වෙන්න පුළුවන්. නමුත් විශ්වාසයෙන් යුතුව මට කියන්න පුළුවන් සතියක් දෙකක් ඇතුළත එන්නත ගෙන්වලා හඳුනාගත් කණ්ඩායම්වලට ඒක ලබාදෙන්න පුළුවන් කියලා.


ප්‍රශ්නය- මොකද්ද ගෙන්වන එන්නත? මොන රටෙන්ද ගෙන්වන්නේ?


පිළිතුර- මේ වෙනකොට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවෙලා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කියන එන්නතට. මොකද ඉන්දියානු අගමැතිතුමා සමග අපේ ජනාධිපතිතුමා කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට එම එන්නත අපට ලබාදීමට එකඟතාවක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා බොහෝ දුරට ඉඩ තියෙන්නේ එම එන්නත ලංකාවට ලැබෙන්න. ඒ වගේම තමයි චීනයෙ ෂයි​නෝ ෆාම් කියන එන්නතත් අපට පරිත්‍යාගයක් වශයෙන් ලබාදීම සඳහා එකඟතාව පළවෙලා තියෙනවා. ඒ එන්නත් දෙක තමයි දැනට ඉදිරියෙන්ම තියෙන්නේ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක් වැඩ පිළිවෙළ හරහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆයිසර් එන්නත අපේ රටට නුදුරු දිනයකදීම එන්නත් ඉඩ තියෙනවා. එතකොට එක එන්නතක් නොවෙයි මේ එන්නත් තුනම අපේ රටට ලැබීමට නියමිතයි. ඒ වගේම රුසියාවේ ස්පුට්නික් එන්නතත් ලංකාව තුළ ලියාපදිංචි කිරීමේ කටයුතුවල අවසන් අදියරට ඇවිත් තියෙන්නේ.


ප්‍රශ්නය-  ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙන්නේ මිලෙන් අඩු බාල එන්නත්වලට කියලා විපක්ෂය කියනවා.


පිළිතුර- නැහැ කිසිසේත්ම නැහැ. ඇත්තටම එහෙම මිලෙන් අඩු බාල එන්නත් කියලා ජාතියක් නෑ. කොවිඩ් වයිරසය සඳහා විද්‍යාත්මකව බැලුවොත් බාල එන්නත් කියලා දෙයක් නැහැ. මේ එන්නත ලබා දුන්නාම වයිරසය වැළැක්වීම සඳහා තිබෙන සම්භාවිතාව වෛද්‍ය විද්‍යාත්මකව ගණනය කරලා බලනවා. ඒ වගේම ඒකෙන් එන්න පුළුවන් අතුරු ප්‍රතිඵල දෙස අවධනය යොමු කරනවා. තත්ත්වයෙන් බාල හෝ හොඳ එන්නත් කියලා වර්ග දෙකක් නැහැ. යම්කිසි නිශ්චිත ප්‍රමිතියකට යටත් වෙන්න ඕනැ මේ සියලුම එන්නත්. ඒ පරීක්ෂණවලින් සමත් වුණාට පස්සේ තමයි ඒ එන්නත් මනුෂ්‍ය වර්ගයාට ලබාදීමට කටයුතු කරන්නේ. මෙතැනදි මිල වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට යොදා ගන්නා තාක්ෂණය වෙනස් වෙන්න පුළුවන්. නමුත් බාල එන්නත් මනුෂ්‍ය වර්ගයාට ලබාදෙන්න කටයුතු කරන්නේ නෑ. මේ පිළිබඳව අවබෝධය නැති පිරිසක් හා මේ කොවිඩ් වයිරසයත් දේශපාලනීකරණය කරලා ඒකෙන් හුදු දේශපාලන වාසියක් ලබාගන්න හදන දේශපාලන අඳබාලයන් හා තක්කඩියන් පිරිසක් කරන චෝදනාවක් හැටියටයි මම දකින්නේ.


ප්‍රශ්නය-  ආණ්ඩුව මිථ්‍යාව පස්සෙ ගිහින් දැන් තමයි විද්‍යාව පැත්තට හැරිලා තියෙන්නේ?


පිළිතුර- නෑ ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. දේශීය වෙදකමේ මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර ගැන සමාජ කතිකාවතක් ඇති වුණා. වගකිව යුතු රජයක් හැටියට මේ රටේ සම්ප්‍රදාය සංස්කෘතිය අගය කරන පාලන බලය හිමි පිරිසක් හැටියට අපේ යුතුකමක් තියෙනව. ඒ ලැබුණු සියල්ලම පරීක්ෂණ කරන්න බැරිවුණත් යම් ආකාරයකින් මේ වයිරසයට බලපෑමක් කළ හැකි යැයි සාධක තිබෙන කිහිපයක් පිළිබඳව හෝ සොයා බැලීමට. ඒක මගේ පෞද්ගලික අවශ්‍යතාවයකට හෝ දේශපාලනඥයකුගේ පෞද්ගලික අවශ්‍යතාවයකට නොවෙයි. ඒක සමාජයෙ පොදුවේ පැන නැගුණ අවශ්‍යතාවයක්. ඒ නිසා තමයි අපි තීරණය කළේ ඒ පිළිබඳව ඖෂධ කිහිපයක් ගැන රජයක් හැටියට ඒ පර්‌යේෂණවලට අවශ්‍ය ආධාර දීලා යම් උත්සාහයක් ගන්න. මෙතැනදි පැණි කිහිපයකුත් ඉදිරිපත් වුණා. ඒ ගැන පර්‌යේෂණ කරන්න අපි කමිටුවකට බාර දුන්න. ඒක එක රැයෙන් දවස් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහත්මයා නිපදවපු පැණිය පිළිබඳ පර්‌යේෂණයේ අවසන් අදියර තියෙන්නේ එහි වාර්තාව තවත් සති දෙකකින් විතර ලැබෙයි. හැබැයි ඒ පිළිබඳ පර්‌යේෂණ නිසා එන්නත ගෙන්වීමේ ක්‍රියාදාමය හෝ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හෝ කිසිසේත්ම අඩාළ වුණේ නැහැ. ඒක මුළුමනින්ම වෙනස් ක්‍රියාවලීන් දෙකක්. මේ පිළිබඳ වගකීමක් තියෙන රාජ්‍ය ඇමැතිවරයා හැටියට පැණිය පිළිබඳ පර්‌යේෂණයක් කරන්න කියලා ඉල්ලීමක් ආවම ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තාම ඒ සඳහා පහසුකම් සපයලා දුන්නා.


ප්‍රශ්නය-  ධම්මික පැණිය බීපු රාජ්‍ය ඇමැති පියල් නිශාන්තත් කොවිඩ් ආසාදිතයෙක්?


පිළිතුර- පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිතුමා කියලා තිබුණ එතුමා කතානායකතුමාට මේ පැණිය සංකේතාත්මකව පිළිගන්වපු වෙලාවේ එතුමා ඒ මොහොතේ පමණයි ඒක ලබාගත්තේ. එහෙම නැතිව වෙද මහත්තයා කියන විදියට ඒක ලබාගත්තේ නැහැ කියල. ඉතින් පැණිය හොඳද නරකද කියලා කියන්න මට තාම බැහැ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඒකේ වාර්තාව ලැබුණම අපි ඒ ගැන කතා කරමු.

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්