IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අපි ආණ්ඩුවක් හැදුවට තීන්දු ගත්තේ එජාපයේ කුස්සි කැබිනට් එකෙන්

එජාපෙ මන්ත්‍රී, හිටපු ඇමැති මනෝ ගනේෂන් කියන කතාව

  • අපේ ආණ්ඩු කාලෙ වූ වැරදි අපි දැන් අවබෝධ කරගනිමින් ඉන්නවා
  • අපේ පෙරමුණේ නායකයෝ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව මගඇරියා
  • විපක්ෂය තුළ ප්‍රශ්නයක් තියෙන බව මම අවංකව පිළිගන්නවා
  • එක්සත් ජාතික පක්ෂය තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණෙ නෑ
  • රනිල්, එජාප මහලේකම්, මලික්, සාගල, වජිර තමයි කිචන් කැබිනට් එකේ හිටියේ'

 

එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්  

එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති මනෝ ගනේෂන් මෙවර ‘මුහුණට මුහුණ’ සංවාදය සමග එක්වේ.   


 මේ මොහොතේ රටේ දේශපාලනය ඇඟට දැනෙන්නෙ කොහොමද?   


රටේ දේශපාලනය ව්‍යාකූලයි. ඒක හදන්න ඕනෑ. නිවැරදි කරන්න ඕනෑ. සිස්ටම් චේන්ජ් කරනවා කියලා පාලනයට ආපු අලුත් ආණ්ඩුව ඇවිත් මාස දෙකක් යන්න කලින් රටේ තත්ත්වය එදාට වඩා නරක අතට හරවලා තියෙනවා.   


 කෝ විපක්ෂය?   


විපක්ෂය තුළ ප්‍රශ්නයක් තියෙන බව මම අවංකවම පිළිගන්නවා. නමුත් අපි ක්‍රම ක්‍රමයෙන් ඒ අඩුපාඩු ටික හදාගෙන යනවා. කවුරුත් සතුටු වෙන විදියට ඒක සිද්ධ වේවි. සැබෑ විපක්ෂයක් විදිහට විපක්ෂයේ භූමිකාව ඉටු කරන්න එතකොට පුළුවන් වේවි. පුළුල් සන්ධානයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ සුබ ආරංචිය අපි රටට දෙනවා.   


 ඔය පුළුල් පෙරමුණක් හදනවා කියන කතාව අහලම එපා වෙලා. ජනාධිපතිවරණයට කලිනුත් එහෙම ඔය වගේ එකක් හදලා නේද සජිත් ප්‍රේමදාස ඉල්ලුවේ. ඒත් ප්‍රතිඵලය පරාජය.   


ඔබේ ප්‍රශ්නෙ කරුණු දෙකක් තියෙනවගේ. පුළුල් සන්ධානය මොකක්ද. ජනාධිපතිවරණ ප්‍රතිඵලය කියන දෙක ඒ. වෙන වෙනම උත්තර දෙන්නම් මම ඒ දෙකට. ජනාධිපතිවරණයට කලිනුත් පුළුල් පෙරමුණක්. එක්සත් ජාතික පක්ෂය එක්ක අපේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වගේම තවත් පක්ෂ රාශියක් ඒ පෙරමුණට අයිතියි. පොදුජන පෙරමුණට ඉන්නවට වඩා සැලකියයුතු පක්ෂ ප්‍රමාණයක් අපේ ඒ පෙරමුණ වටා එකතු වුණා. ඒ මහා සන්ධානය තවදුරටත් වලංගුයි. ඒකම තමයි තවත් පුළුල් කරලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.   


ජනාධිපතිවරණයේදී අපිට තැනක වැරදුණා. අපි ඒක පිළිගන්න අවංක වෙන්න ඕනෑ. අපේ පෙරමුණේ නායකයෝ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව මඟඇරියා. ඔවුන් නොසලකා හැරියා. අනිත් කඳවුර බොරු මත ව්‍යාප්ත කළා. අපිට ඒවට උත්තර දෙන්න බැරිවුණා හරියට. විරුද්ධ කඳවුර පට්ටපල් බොරු අපිට විරුද්ධව ප්‍රචාරය කළා. ඒකට හරියට කවුන්ටර් ඇටෑක් කළේ නෑ. එයාල බලයට ආවෙම බොරුවෙන්මයි. ඒකට එරෙහිව අපිට හරියට හිටගන්න බැරි වුණා. ඒකයි වුණේ. අපේ පාලන කාලය තුළ වැරදි සිදුවුණේ නෑ කියලා ඒකෙන් කියවෙන්නේ නෑ. වැරදි සිද්ධ වුණා. අපි ඒ වැරදි දැන් අවබෝධ කර ගනිමින් සිටිනවා.   


 එක්සත් ජාතික පෙරමුණ පිළිබඳ ඔබට තියෙන විවේචනය කොයි වගේද?   


ඒ පෙරමුණේ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ පක්ෂය තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණෙ නෑ. ඒ පක්ෂය පදනම් කරගෙන අපි ආණ්‍ඩුවක් හැදුව වුණාට, කැබිනට් මණ්ඩලයක් හැදුව වුණාට පුද්ගලයෝ කීප දෙනෙකුගෙ කිචන් කැබිනට් එකක් ක්‍රියාත්මක වුණා. ඒ කුස්සියෙ කැබිනට් එකෙන් තමයි තීරණ ගත්තේ.   


 ඒ කිචන් කැබිනට් එකට මනෝ ගනේෂන් ඇතුළත් වුණේ නැද්ද?   


මම හිටියේ නෑ. 2015 ආණ්‍ඩුව පිහිටුවද්දී අපි තීරණය කළා ජනාධිපති, අගමැති ඇතුළු ආණ්‍ඩුවේ පක්ෂෙ පක්ෂ නායකවරු එකතුවෙලා වරින්වර සාකච්ඡා කරලා ඉදිරි ගමන ගැන තීරණ ගත යුතුයි කියලා. මුලින් ඒ දේ සිද්ධ වුණා. නමුත් කල් යද්දී තත්ත්වය වෙනස් වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වටා ඉන්න කීප දෙනෙක් විතරක් වෙනම කණ්ඩායමක් හදාගත්තා. එතකොට ජනාධිපති මෛත්‍රීපාල වටේ ඉන්න පිරිසක් තවත් කණ්ඩායමක් හදාගත්තා. ඒ බොහෝ දෙනා ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ගත්ත අය. ජනාධිපතිතුමාට පිං සිද්ධ වෙන්න පාර්ලිමේන්තු ආපු අය ඒ. මේ කණ්ඩායම් දෙක ගැටුණා.   


 ඔබ ඒ දෙපිළටම නැතුවද හිටියේ?   


ඔව්. මම ඒ ඒ දෙපිළටම හිටියේ නෑ. මම වගේ තවත් බොහෝ පිරිසක් ඒ කණ්ඩායම් දෙකටම නැතුව වැඩ කරගෙන ගියා. අපේ කණ්ඩායම තමයි පොදු කණ්ඩායම. 2015 හිටපු පාලකයෝ ගෙදර යවලා අලුත් පාලනයක් ගේන්න දරදිය ඇදපු අය පැත්තකට තල්ලු කරලා වෙනම පිරිසක් බලවත් වුණා. මම නම් ගොඩක් කල් විපක්ෂෙ ඉඳලා, දුක් විඳලා තමයි මේකට පදනම දැම්මේ. ඒත් ගොඩක් අය වැඩි මහන්සියක් නැතුව පස්සේ ඇවිත් ආණ්ඩුවෙ වාඩි වුණා.   


 ඔය රනිල් වික්‍රමසිංහගෙ කිචන් කැබිනට් එකේ ඉඳපු අය කවුද?   


රනිල් වික්‍රමසිංහ හිටියා. ඊට අමතරව පක්ෂ මහලේකම්වරයා හිටියා. මලික් සමරවික්‍රම හිටියා. සාගල රත්නායක හිටියා. වජිර අබේවර්ධන හිටියා. අගමැතිතුමාට කිට්ටු රාජ්‍ය නිලධාරීන් හිටියා. ආර්ථික මර්මස්ථානවලට පත්වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් වගේ අයත් මුලින් හිටියා. රාජ්‍ය නිලධාරියා නම් කරන්න මම කැමති නෑ. ඒත් අර්ජුන් මහේන්ද්‍රන්ගෙ නම ඉහළින්ම කියවුණු නමක්. ඒකයි ඒක කිව්වෙ. මේ අය තමයි ආණ්‍ඩුවෙ ගමන තීරණය කෙරුවෙ. ඒ ගැන අපි හරි කනගාටු වුණා. අපි වරින් වර අපේ විරෝධය පෙන්නුවා. ඒත් ඒක වෙනස් වුණෙ නෑ.   


ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ කණ්ඩායමත් මේ අර්බුදයේ කොටස්කාරයො. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණේ එක්සත් ජාතික පක්ෂයේ වැඩි ඡන්දයෙන්. ඔහු ඒක අමතක කළා ඉක්මනින්ම. නිර්පාක්ෂ වෙනවා කියලා ඇවිත් එයාලගෙ පක්ෂෙ බදාගෙන ජනවරමට පිටුපාල, කඩාකප්පල් කළා. එක පැත්තකින් මෛත්‍රීපාලත් අනෙක් පැත්තෙන් රනිලුත් මේකට වගකියන්න ඕනෑ. ඒකයි ආණ්‍ඩුව කඩා වැටුණේ. 

 
 ජනාධිපතිවරණයෙන් පස්සෙ එක්සත් ජාතික පෙරමුණ නන්නත්තාර වෙලා වගේ.....?   


නන්නත්තාර වෙලා කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මේ වෙනකොට අපි අලුත් පදනමක් හදාගෙන තියෙනවා. විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබාදීලා තියෙනවා. 


 ලබාදීලද බලෙන් වගේ ලබාගෙනද?   


කොයි දේවත් ඉබේ ළඟට හම්බවෙන්නේ නෑ. හැමදේම ලබාගන්න මහන්සි වෙන්න වෙනවා. කොයි පක්ෂයටත් මේක අදාළයි. මහන්සිවෙලා තමයි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත්තෙත්. මම එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන කතා කරන්න යන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගෙ අභ්‍යන්තර ප්‍රශ්නයක්නෙ. මම හැමදාම හිටියෙ ඒ මතයේ.   


 නමුත් ඔබත් රනිල් යූ.එන්.පී. නායකත්වයෙන් ඉවත් වෙන්න ඕනැ කියලා කිව්ව නේද?   


සමහර මාධ්‍යවල ඔය වගේ කතාවක් ප්‍රචාරය වුණා. ඒත් ඒක නිවැරදි නෑ. මම කොහේවත් එහෙම කියල නෑ. ඒක එයාලගෙ පක්ෂෙ බේරගන්න ඕනැ ප්‍රශ්නයක්. ඒත් ඒ පක්ෂය ශක්තිමත් වෙන්න ඕනැ කියලා අපි හිතනවා. මොකද ඒ පක්ෂය සමග තමයි අපේ පක්ෂවල අනාගතයත් ගැටගැහිල තියෙන්නේ. ඒක නිසා එයාලගෙ වැඩ එයාල බලාගන්න අපේ වැඩ අපි බලා ගන්නම් කියල ඉන්නම බෑ. එහෙම කරනවානම් අපිට තනියම යන්න වෙනවා. ඒත් අපි හිතන්නේ පුළුල් පෙරමුණකට අපි යා යුතුයි කියලා. ඒකෙ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ ළඟ තිබුණාවෙ. එහෙම නැත්නම් කරු ජයසූරිය ආවත් අපිට ප්‍රශ්නයක් නෑ.   


 හැබැයි සජිත් ඇතුළු බොහෝ දෙනා කියන්නේ පක්ෂ නායකත්වය නැතුව අගමැති අපේක්ෂකත්වය වගේ ඒවා දීලා අන්දන වැඩේට ආපහු අහුවෙන්නෙ නෑ කියලා......   


එහෙම තමයි අපිත් මුලදී හිටියේ. ඒත් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව මේක බේරුම් කරගන්න වෙනවා. ඒක අනුව පක්ෂ නායකත්වය ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි. ඒක ඒගොල්ලන්ගෙ ප්‍රශ්නයක්. අපිට වඩා ඒගොල්ලො ඒ ගැන හොඳට දන්නවා.   


මේ ගැන රණ්ඩුවෙවී ඉඳලා මාස දෙකතුනකින් මහ මැතිවරණයට තරග කරන්න බෑ අපිට. ඒකයි මම කියන්නේ මේ තියෙන තත්ත්වය හොඳ විදිහට කළමනාකරණය කරගෙන ඉදිරියට යා යුතුයි කියලා. පක්ෂ නායකත්වය ගැන තීරණයක් ගන්න ඕනැ රනිල් වික්‍රමසිංහ. ඒක තමන්ටම තියා ගන්නවද කරු ජයසූරියට දෙනවද එහෙම නැතිනම් සජිත් ප්‍රේමදාසට දෙනවද කියලා ඔහු තීන්දුවක් ගන්න ඕනෑ. ඒත් අපි මහ මැතිවරණයට තරග කරන්නේ අලුත් සන්ධානයකින්.   


 ඔබ දකින විදියට මොකක්ද මේ රනිල් වික්‍රමසිංහට තියෙන පුටු ප්‍රේමය. ඔහුට පුටුවක් නැතුවම බෑ.....?   


මම දැකපු විදියට මේ රටේ මිනිස්සුන්ට රනිල් වික්‍රමසිංහ හරියට තේරුම් ගන්න බෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට මේ රටේ මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ. ඒ ප්‍රශ්නය පහුගිය කාලය පුරාම තිබුණු එකක්. මෙතන ගැටුමක් තියෙනවා. දැන් අපිට ඒ ගැටුම එක්ක ගැටි ගැටි ඉන්න වෙලාවක් නෑ. මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මෙතෙන්දි නම්‍යශීලීවෙලා තව කෙනෙකුට අවස්ථාව ලබාදෙන්න ඕනෑ. අපි කියන්නේ නෑ රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් වෙලා ගෙදර යන්න ඕනැ කියලා. ඒකත් එතුමා තීරණය කරන්න ඕනැ දෙයක්. යන නොයන එක එයාගෙ වැඩක්. මේක හැම දෙනාම නම්‍යශීලීවෙලා විසඳාගන්න ඕනැ ප්‍රශ්නයක්. හැමෝම මස් රාත්තලම ඉල්ලන ස්ථාවරයේ ඉඳලා මේක ඉවරයක් කරගන්න බෑ.   
 පහුගිය ජනාධිපතිවරණයේදී නැවත වතාවක් උතුරේ ඡන්ද දකුණේ ඡන්ද කියලා බෙදුණා. මේක හොඳ දෙයක්ද?   


හොඳ නෑ. කිසිසේත්ම හොඳ නෑ. උතුරේ ඡන්ද දකුණෙ ඡන්ද කියලා බෙදුනට මේ දෙපැත්තෙම වැඩි ඡන්ද හම්බවුණේ දකුණේ සිංහල බෞද්ධ නායකයින්ට. උතුරේ ඡන්ද සිවාජිලිංගම්ටවත් නැගෙනහිර ඡන්ද හිස්බුල්ලටවත් ගියේ නෑ. ඒ ඡන්ද වැඩි වශයෙන් ගියේ සජිත් ප්‍රේමදාස කියන සිංහල බෞද්ධ නායකයට. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂටත් යම් ප්‍රමාණයක් දෙමළ මුස්ලිම් ඡන්ද ගියා. ඒක ඔවුන් තේරුම් ගන්න ඕනෑ.   


ඒ අයගෙ දේශපාලන වුවමනාව නිසා හිතාමතා ඒක අමතක කරනවද මම දන්නෙ නෑ. මේක උතුරෙ ඡන්දයක්වත් දකුණෙ ඡන්දයක්වත් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය. මේක පැවැත්වූවෙ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕනැ.   


මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේදී උතුරේ නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රගතිශීලී දෙයක් හැටියට පිළිගන්න කියලා මම ඉල්ලනවා. 2005 ප්‍රභාකරන් ඡන්ද වර්ජනය කරන්න කියලා අණ දුන්නා. ඒ නිසා දෙමළ ජනතාව ඡන්දය ප්‍රතික්ෂේප කළා. ඒකෙන් ඔවුන් නොකියා කිව්වෙ මේක අපේ ඡන්දයක් නෙවෙයි කියලා. ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරලා ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කළේ. අද ඔවුන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් කියලා හිතලා පහුගිය ඡන්දයෙදී ඡන්දය පාවිච්චි කළා. දෙකෙන් කොයිකද හොඳ? ඔවුන් ආපහු ඊළමකට තල්ලු කරන්න එපා. බෙදන්න එපා. උතුරේ ඡන්ද දකුණෙ ඡන්ද කියලා ඉරි ගහන්න එපා. මේ වතාවෙත් එහෙම ඡන්ද වර්ජනයක් ගැන එහෙන් මෙහෙන් කතා ආවා. පොන්නම්බලම්ලා එහෙම තාම ප්‍රභාකරන්ගෙ මතය අරගෙන යනවා. ඒකට මිනිස්සු අවනත වුණේ නෑ.   


ඒ ගැන සතුටුවෙන්න. ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ නෑ කියලා උතුරේ ඡන්ද කියලා ඒවා වෙන් කරන එක වැරදි දෙයක්.   


 ඔබ ප්‍රභාකරන් ගැන මතක් කරපු නිසා මට අහන්න හිතුනේ ඔබ ඔහුට පණිවුඩකරුවෙකු වුණා නේද එක වතාවක්?   


මම ප්‍රභාකරන්ව මුණගැහිලා තියෙන්නේ එක වතාවයි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගෙ නියෝජිතයෙක් හැටියට මම ප්‍රභාකරන් වෙත පණිවුඩයක් අරගෙන ගියා. ඒ 2004 දී. අමාත්‍යංශ තුනක් පවරගෙන චන්ද්‍රිකා ජනාධිපතිතුමිය යූ.එන්.පී. ආණ්ඩුව අර්බුදයකට දැම්ම වෙලාව ඒක.   


 මොකක්ද ඒ පණිවිඩය?   


ඒකෙන් කියවුණේ එතුමියගෙ ක්‍රියාවෙන් ආණ්‍ඩුවෙ අස්ථාවරභාවයක් ආවත් ක්‍රියාත්මක වුණා. සාම සාකච්ඡා ක්‍රියාවලියේ වෙනසක් වෙන්නෙ නෑ. ඒක ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා කියන එක දකුණේ අර්බුදයට එයාලට කලබල වෙන්න එපා කියන පණිවුඩය තමයි ඒකෙන් කියවුණේ.   


 ඒ පණිවිඩය කියන්න ඔබම තෝරගත්තේ ඇයි?   


ඒක නම් හරියටම මම දන්නෙ නෑ. ඒත් අපේ තාත්තා වී.පී. ගනේෂනුත් විජය කුමාරතුංගත් ළඟ හිතවත්තු. ඒ හේතුව උඩ වෙන්න ඕන මාව මේකට ගත්තේ. තාත්ත චිත්‍රපටි නිෂ්පාදකයෙක්. විජයගෙ හොඳ මිත්‍රයෙක්. මගේ චරිතයත් එතුමිය දන්න නිසා මාවම තෝරගන්න ඇති. රටේ ජනාධිපතිතුමිය ඉල්ලීමක් කළාම මට ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තිබුණෙ නෑ ඒ වෙලාවෙ.   


 හැබැයි ඒ ගමනෙන් පස්සෙ ඔබට විවිධ චෝදනා එල්ල වුණා......?   


ඔව්. ඒ ගමනෙන් පස්සෙ මට වටෙන්ම ගහන්න ගත්තා. එක එක චෝදනා එල්ල වුණා. මට වෙන ලේබල් එකක් අලවන්න උත්සාහ කළා. එතකොට සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වුණා. ඒ වෙලාවෙ ප්‍රභාකරන් හමුවීම වරදක් නෙවෙයි. දකුණෙ නායකයෝ කීප දෙනෙක් ඒ කාලෙ ප්‍රභාකරන් හමුවෙලා සාකච්ඡා කළා. ජිනීවාවලදී අපේ මැති ඇමැතිවරු ප්‍රභාකරන් එක්ක සාකච්ඡා කළානේ.   


 පහුගිය ජනාධිපතිවරණයේදී ඔබේ පෙරමුණේ ඉඳපු හකීම්, බදියුදීන් වගේ අය නිසා සජිත් ප්‍රේමදාසට යම් ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා කියලා පිළිගන්නවද?   


කෙටියෙන්ම කියනවනම් ඔව්. එහෙම දෙයක් වුණා.   


 හැබැයි තාම ඒ අය ඔබේ කඳවුරේ. එහෙම තියෙද්දී ඉදිරි මහමැතිවරණයට ඒක බලපාන්නෙ නැද්ද?   


චෝදනා එල්ල වුණාට වරදකරුවො වෙලා නෑ. ෆයිල් තොග පිටින් අරන් ගියාට බදියුදීන්ලට විරුද්ධව තාම වරද පටවන්න බැරි වෙලානේ. කිසි දෙයක් ඔප්පු වෙලා නෑ. දැන් ආණ්ඩුවට පුළුවන් ඒ එල්ල කරපු චෝදනා ඔප්පු කරලා වැරදිකරල තියෙනවානම් දඬුවම් කරන්න.   


මම ඔබට දෙයක් කියන්නම්. මේක මීට පෙර මාධ්‍යයට නොකියපු දෙයක්. පළවෙනි පාරට ඔබට කියන්නේ. රිෂාඩ් බදියුදීන් මාත් එක්ක කිව්වා ඉදිරි මහ මැතිවරණයට රට පුරාම ඔවුන් තනිවම තරග කරනවා කියලා. එහෙම වුණොත් ඔවුන් අපේ පෙරමුණෙන් ගැලවිලා යාවි. එහෙම උත්සාහ කරන බව රිෂාඩ් මට කිව්වා.   


 ඔබලා දිගටම එක්සත් ජාතික පෙරමුණේ ඉන්නවා......?   


ඔව්. අපි වෙන්වෙන්න තීරණයක් අරගෙන නෑ. දැනට අපි එක්සත් ජාතික පෙරමුණේ කොටස්කාර පක්ෂයක්.   


 විපක්ෂනායකකම ගැන තිබුණු දෙගිඩියාව ඉවර වෙලත් විපක්ෂයේ ක්‍රියාත්මකවීමක් පේන්න නැත්තෙ ඇයි? 

 
අපි මේ දවස්වල ක්‍රියාත්මක වෙමින් ඉන්නේ ඉතාම ඉක්මනින් ජනතාවට ඒක දැනෙයි. සැලසුම් සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතාම ඉක්මනින් ඒවා ක්‍රියාත්මක කරනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂය ශක්තිමත් කරාවි.   


 මේ ආණ්ඩුව බලය ගන්න පාවිච්චි කරපු ප්‍රබලම තුරුම්පුව තමයි මහබැංකු බැඳුම්කර හොරකම. ඒත් අද ඒක අමතක කරලා. ඔබේ ආණ්ඩුව ඒ අයගෙ හොරකම් දූෂණ ඇල්ලුවෙ නෑ වගේම ඒ අය ඔබේ ආණ්ඩුවෙ හොරකම් හොයන්නෙත් නෑ වගේ නේද?   


ඒක ආණ්ඩුවෙන් අහන්න ඕන දෙයක්. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ කිව්වෙ උනුත් එකයි මුණුත් එකයි කියලා. ඒක ඇත්තක් වෙලා අද. මම ජනතා විමුක්ති පෙරමුණේ නොවුනත් ඔවුන් කරන මේ චෝදනාව එක්ක එකඟවෙනවා. දෙපැත්තම හොරු රකිනවා. දෙපැත්තෙම හොරු ඉන්නවනේ. අවසන් මොහොතෙදි හොරු හොරුන්ට උදවු වෙනවා. ජනතාව අතර තියෙන මේ මතය බොරුවක් නෙවෙයි. දැන් මේ ආණ්ඩුවට පුළුවන් බලය පාවිච්චි කරලා එයාල චෝදනා කරපු අර්ජුන් මහේන්ද්‍රන් කුදලගෙන එන්න. එයත් එක්කම මේකට සම්බන්ධ අපේ ආණ්‍ඩුවෙ දේශපාලකයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න. තවත් කතා කිය කිය ඉඳලා වැඩක් නෑ. ඒ වගේම 2015 පෙර සිදුවුණු බැඳුම්කර ගනුදෙනු ගැන තියෙන වාර්තාවත් පදනම් කරගෙන ඒ වැරදිකරුවොත් හරියට හොයලා කට්ටියම ඇතුළට දාන්න. හොරු කවුරුත් හිරේ යන්න ලෑස්ති වෙන්න කියලා අපි කියන්න කැමතියි.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි 

 



අදහස් (0)

අපි ආණ්ඩුවක් හැදුවට තීන්දු ගත්තේ එජාපයේ කුස්සි කැබිනට් එකෙන්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 187 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 967 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site