සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යෑම පිළිබඳ යෝජනාවෙන් වෙනස් ප්‍රවේශයක් ගැනීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (27) ප්‍රකාශ කළාය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ දී සිය වාචික ප්‍රකාශය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ඒ බව සඳහන් කළාය.

එහිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කරුණු දැක්වූවාය.

නව ආණ්ඩුව මීට පෙර ඉදිරිපත් වූ යෝජනාවෙන් කරන ලද කැපවීම්වලට වෙනස් ප්‍රකාශයක් නිවේදනය කිරීම ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයෑමේ උත්සහායන් අවදානමේ හෙළන බව ද ඇය එහිදි කීවාය.

ශ්‍රී ලංකා රජය එහි සියලු ප්‍රජාවන්ගේ විශේෂයෙන්ම සුළු ජාතීන්ගේ අවශ්‍යතා සහ ප්‍රශ්න හඳුනාගෙන ඒව විසඳීම සඳහා කටයුතු කළ යුතු බවත් පසුගිය කාලයේදී ලබාගත් ප්‍රතිඵල තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්නැයි ද මා රජයෙන් තදින් ඉල්ලා සිටින්නේ යැයි ද මහ කොමසාරිස්වරිය කවුන්සිලය අමතමින් පැවැසුවාය.

සියලු ජනකොටස්වල අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු යැයි එහිදි සඳහන් කළ මහ කොමසාරිස්වරිය අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සහ වන්දි ගෙවීමේ කාර්යාලයට අවශ්‍ය දේශපාලන සහ අනෙකුත් සම්පත් දායකත්වය ලබාදීම සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුව උනන්දු කරවන බව ද කීවාය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ශක්තිමත් කෙරුණු ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් යැයි සඳහන් මහ කොමසාරිස්වරිය සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යයට තිබෙන ඉඩ ශක්තිමත් කළ යුතු යැයි ද පැවැසුවාය.

එම නිසා සිවිල් ක්‍රියාකාරකම් ආරක්ෂක අමාත්‍යාංශය හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් යටත ගැනීම, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ වින්දිතයන්ට දැඩි සෝදිසයට ලක් කිරීමේ සහ ඔවුන්ට හිරිහැර කිරීමේ මෑතකාලීන ප්‍රවණතා සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වන්නේ යැයි ද ඇය කීවාය.

දෙමළ හා මුස්ලිම් සුළු ජාතික ජන කොටස්වලට එරෙහිව වෛරී ප්‍රකාශ ඉහළ යෑම ආරක්ෂාව සහ අනෙකුත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සෘජුවම ඔවුන් ඉලක්ක කරගැනීම ද දක්නට ලැබෙන බව ද ඇය එහිදි සඳහන් කළාය.

අතීතයේදී සිදු වූ හිංසන හා උල්ලංඝනය කිරීම්වලට පිළියම් නොසෙවීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහ අවශ්‍ය ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන ගැටලුවක් යැයි ද ඇය කීවාය.

අපරාධ යුක්ති පද්ධතිය තුළ තිබෙන සීමාමායිම් නිසා සැබෑ යුක්තියට අවහිර තිබෙන්නේ යැයි ද මහ කොමසාරිස්වරිය එහිදි පෙන්වා දුන්නාය. දේශීය ක්‍රියාවලිය අතීතයේදී වගවීම තහවුරු කිරීමට අඛණ්ඩව අපොහොසත් වීම නිසා තවත් විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමෙන් තමන් සෑහීමකට පත්වන්නේ නැතැයි ද ඇය එහිදි පැවැසුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෑම ජන ප්‍රජාවකටම අයත් වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු වී නැතැයි අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම නැවත සිදු නොවන බවට සහතියක් ලැබී නැතැයි ද ඇය පෙන්වාදුන්නාය.

එබැවින් මේ තත්ත්වය වැළැක්වීම සඳහා විමසිල්ලෙන් සිටින්නැයි ද වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බලන්නැයි ද මානව හිමිකම් කවුන්සිලයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

055