( තිළිණි ද සිල්වා )

කෘෂිකර්ම අමාත්‍යාංශය ඩි.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන යාමත්, පාර්ලිමේන්තු කාරක සභාව ගොවිජන මන්දිරයේ පිහිටුවීමත් මගින් රජය බලාපොරොත්තු වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට  නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරයා අද ( (16) ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා ලබා ගැනීමට අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ල සඳහා ගෙන ඒමේදී තමා එම ගොඩනැගිල්ල ලබාගත යුතු බවට කිසිඳු අවස්ථාවක ප‍්‍රකාශයක් හෝ දැනුම්දීමක් නොකළ බවද අග‍්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21 මාසික කුලියකට රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල ගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිලි විභාගයට අදාළව සාක්කි ලබා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එවකට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තම අධීක්ෂණය යටතේ නොව ජනාධිපතිවරයා ගේ අධික්ෂණය යටතේ සිය ක‍්‍රියාකලාපයන් සිදු කර ගෙන ගිය බවත් අතමන් යටතේ සිටියේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් පමණක් යැයිදා  අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා සිදු කළ  වැඩිදුර ප‍්‍රශ්න කිරීම් හමුවේ අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අග‍්‍රාමාත්‍යවරයා අද (16) පෙරවරු 9.30 සිට පෙරවරු 11.20 දක්වාත් , පසුව 1.30 සිට 4.20 දක්වා පැය පහකට වැඩි කාලයක් සාක්කි ලබා දුන්නේය.

කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම හේතුවෙන් අධික වැය බරක් දරන්නට සිදුව ඇති බව තමන් පිළිගන්නා බවත්  කොමිසන් සභාවේ හෙළි වී ඇති කරුණු හා එහි සාමාජිකයින් සිදුකරන ප‍්‍රශ්න කිරීම් අනුව තමාට ඒ බව පෙනී යන බවය.

එසේම අදාල ගොඩනැගිල්ල ලබා ගැනීමෙන් අපේක්ෂා කළ සාර්ථකත්වය මේ දක්වා ඉටු වී නොමැති බව ජනාධිපති කොමිසම හමුවේ අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාල ගොඩනැගිල්ල ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවේ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරිපත් කරන බව සඳහන් කර තිබුණ ද තමන් උපදෙස් ලබාදුන්නේ එම ගොඩනැගිල්ල ලබා ගැනීමට නොව සුදුසු ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා ලබාගන්නා ලෙස බව අග‍්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ කියා සිටියේය.

මේ අතර අදාල සිද්ධිය සිදුවූ කාලවකවානුව තුළදී හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නායකයා ලෙස ඔවුන්ගේ ක‍්‍රියා කලාපයන් තමන් විසින් සොයාබලන අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකාරකම් සොයාබලා කටයුතු කිරීමේ වගකීම එහි නායකයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරෙන බව අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි පරීක්ෂකවරුන් වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන , විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ , හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ලලිත් ආර්.ද සිල්වා සහ  විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.

කොමිසමේ සභාපති සහ එහි පරීක්ෂකවරුන් හා අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මියගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය : අගමැතිතුමනි, අද ඔබ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙන්නේ ගොවිජන මන්දරය පාර්ලිමේන්තු කටයුතු වලට පවරා ගැනීම සහ ඒ ගැන මෙම කොමිසම හමුවේදී සාක්කිකරුවන් කැඳවා දුන් සාක්කි වල කරුණු නිරාකරණය කර ගැනීමටයි.ඒ අනුව ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුවට පවරා ගැනීමට ඔබ 2015 සැප්තැම්බර් 21 වැනි දින කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළාද ?

පිළිතුරු : ඔව් . මේ කැබිනට් පත‍්‍රිකාව මගේ නොවේ.පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව මා එය ඉදිරිපත් කළා.සෙත්සිරිපායට ආසන්නව අලුතින් ඉදිවන තට්ටු විස්සක ගොඩනැගිල්ලේ තට්ටු පහක් හිස්ව ඇති බව මා දැන ගත්තා.

කොමිසමේ සභාපති : අගමැතිවරයා ලෙස ඔබ ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ කරුණු ඒ අයුරින්ම පසුව ඉෂ්ඨ නොවුනේ  ඇයි කියා සොයා බැලූවේ නැද්ද ?ඔබගේ පිළිතුරු සඳහා පහසුවටයි මා කලින්ම මෙය අසා සිටින්නේ ?

පිළිතුර : ස්තූතියි.

කොමිසමේ සභාපති : ඔබේ මේ කැබිනට් පත‍්‍රිකාවත් ඒ සඳහා කැබිනට් එක ලබා දුන් අනුමැතියත් ඔබේ ලේකම් සමන් ඒකනායක හොඳින් දැන සිටියා කීවොත් එකඟ වෙනවාද ?

පිළිතුරු : ඔව් අගමැති ලේකම්වරයා , පාර්ලිමේන්තු ලේකම්වරයා , අමාත්‍යාංශ ලේකම්වරයා එය දැන සිටියා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :  2015 සැප්තැම්බර් 29 වැනිදා වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවක සඳහන් වෙනවා , සෙත්සිරිපාය අසල තට්ටු 20ක ගොඩනැගිල්ලේ පරිපාලනය නාගරික සංවර්ධන අධිකාරියට බාර දිය යුතු බවට?

පිළිතුරු : ඔව් එය එකල නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලමින් තිබුණේ.

ප‍්‍රශ්නය : මේ තට්ටු 20ක ගොඩනැගිල්ලේ ස්ථාපති කිරීමට යෝජිත අමාත්‍යාංශ අතරික් එකක් වුනේ කෘෂිකර්ම අමාත්‍යාංශය නේද ?

පිළිතුරු : ඔව් , මගේ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් කළ නිර්දේශයන්ට අනුව මේ ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපති කරන්න නිර්දේශයක් තිබුණේ නැහැ.කෘෂීකර්ම අමාත්‍යාශය පෞද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපති කරන්නයි නිර්දේශ කර තිබුණේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය : මේ තට්ටු 20ක ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා තවත් අමතර තට්ටුවක් වෙන් කළේ නම් අවශ්‍ය වර්ග අඩි 55,000කට ආසන්න ප‍්‍රමාණයක් ලැබෙනවා නේද ?

කොමිසමේ සභාපති : 15 වැනි තට්ටුවේ උනත් කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කරන්න තිබුණා නේද ? ඔබ රටේ දෙවැනි රාජ්‍ය නායකයා ? ඔබට ඇති වගකීම් මූලික කරගෙනයි මෙම විමසීම් කරන්නේ , නැතිව ඔබව හිතාමතා අමාරුවේ දමන්න නොවෙයි ?

පිළිතුරු : මම කල්පනා කළේ මේ අමාත්‍යාංශ සෙත්සිරිපායට යවන්න.ඒක පහසුයි.ඒත් අගමැති ලේකම් සමන් ඒකනායක ප‍්‍රධාන කමිටු වාර්තාවෙන් නිර්දේශ්‍යක් අවා කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ස්ථානයකට ගෙන යන්න.මොකද ඒ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන හා අංශයක් එකම තැනකට ගෙන යන්න උවමනාවක් තිබුණා.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඒත් මේ උවමනාව අද දක්වාම ඉෂ්ට වෙලා නැහැ නේද ?අගමැති රටේ දෙවැනි පුරවැසියා.ගොවිජන මන්දිරයේ තිබූ අමාත්‍යාංශ බත්තරමුල්ල තට්ටු 20 ක ගොඩනැගිල්ලේ 14 සිට 18 දක්වා තට්ටු වල ස්ථාපිත කරන්න කියා අගමැති යෝජනා කර තිබියදීත් අගමැති ලේකම්වරයාගේ කමිටුව ඒ යෝජනා නොසලකා ඔවුන්ගේ හිතුමතේට මෙය කළේ ඇයි කියන එකයි ප‍්‍රශ්නය ?

පිළිතුරු : නෑ .එක එක අමාත්‍යාංශ වලට බෙදුවාම කෘෂිකර්ම අමාත්‍යාංශ්‍යයට ඉඩ නැතිවේවි කිව්වා.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඔබේ අවධානය වුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය මේ ගොඩනැගිල්ලට ගෙන යාම, ඒත් ඔබේ යෝජනාව නොතකා හැරියා ?

පිළිතුරු :  කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ඉඩමක් තිබුණා.ඒ අය මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලුවා අලුත් ගොඩනැගිල්ලක් හදන්න.පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ගොවිජන මන්දරය ලබා ගත යුතුව තිබුණා.ඒ අනුව ඒ ගොඩනැගිල්ලේ තිබූ අමාත්‍යාංශ හතරකට ඉවත් වන්න සිදු වුණා.

එහිදී තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් සොයා ගැනීමට ප‍්‍රමුඛස්ථානය දෙන්න වුණේ.සෙත්සිරිපාය අසල ගොඩනැගිල්ලෙන් තට්ටු කිහිපයත් ඒ සඳහා ලබා ගත්න මැදිහත් වන ලෙස මගෙන් ඉල්ලීමක් කර තිබුණේ නැහැ.වැඩිපුර දෙපාර්තමේන්තු තිබෙන නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනම තැනක් දෙන්න උත්සාහයක් තිබුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප‍්‍රශ්නය :   එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරවූයේ නැද්ද ?

පිළිතුරු :  මේ ගැන දැනුම් දුන්නේ නැහැ.

ප‍්‍රශ්නය :   දුමින්ද දිසානායක ඇමතිවරයා සාක්කි දෙමින් පැවසුවා ගොවිජන මන්දිරය ආංශික අධීක්ෂණ කාරක සභා ක‍්‍රියාත්මක වන බව දන්නේ නැහැ කියලා.

පිළිතුරු :  හොඳම දේ පාර්ලිමේන්තු මහලේකම්වරයා ගෙන් එය අසන එකයි.පාස්කු ඉරිදා තේරීම් කාරක සභාව මේ ගොඩනැගිල්ලේදී තමයි රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන ගෙන සාක්කි විමසූයේ.පාර්ලිමේන්තුව් එය කළේ නැහැ.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ගොවිජන මන්දිරය පිහිටි භූමිය අක්කර 37ක බිමක්.එසේ නම් ඉඩම් සොයා නොගොස් ආංශික අධීක්ෂණ කාරක සභා වලට වෙනම ගොඩනැගිල්ලක් හදන්න තිබුණා නේද පසුගිය අවුරුදු 4ක කාලය තුළ ?

පිළිතුරු : මේ සම්පූර්ණ ඉඩම පාර්ලිමේන්තුවට අරගෙන වෙන අංශයකට නොදෙන්නයි තීරණය කළේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප‍්‍රශ්නය :   ඔබ එවකට විෂය බාර ඇමති දුමින්ද දිසානායකට උපදෙස් දුන්නද ඩී.පී.ජේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සලකා බලන්න කියා?

පිළිතුරු : අමාත්‍යාංශය සඳහා ගොඩනැගිලි පරීක්ෂා කරලා සුදුසු එකක් ගන්න කියලයි මම උපදෙස් දී තිබුණේ.ඒ ගොඩනැගිල බලලා සුදුසු එකක් තීරණය කරන්න කියාලා. ඩී.පී.ජේ ගොඩනැගිල්ලලෙන් තට්ටු දෙක තුනක් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහාත් හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයටා ඉල්ලා තිබුණා.කැමති තීරණයක් ගන්න කියා මා දුමින්ද දිසානායක මහතාට කිව්වා.

ප‍්‍රශ්නය :    මේ ඞී.පී.ජේ. ගොඩනැගිල්ල සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළාද ?

පිළිතුරු : මා දන්නා අන්දමට සමන් ඒකනායක මහතා ගේ කමිටුව අනුවයි තෝරා ගත්තේ.වෙනම ටෙන්ඩර් කැඳවීමක් කළේ නැහැ.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඒ  ගොඩනැගිල්ල තෝරා ගත්තේ කාගේ අභිමාතය අනුවද?

පිළිතුරු : කෘෂිකර්ම අමාත්‍යාංශයේ

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : මේ ඞී.පී.ජේ ගොඩනැගිල්ල සඳහා රාජ්‍ය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුගමනය කරලා නෑ , ශක්‍යතා වාර්තාවකුත් නැහැ.

පිළිතුරු : නැහැ.ශක්‍යතා අධ්‍යයන වාර්තා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ නැහැ.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : අගමැති රනිල් වික‍්‍රමසිංහ දුන් උපදෙස් අනුව නිලධාරීන් සමඟ ගොස් රාජගිරියේ පිහිටි උපාලි ජයසිංහගේ ගොඩනැගිල්ල පරීක්ෂා කළා යැයි දුමින්ද දිසානායක කියා තිබෙනවා.

පිළිතුරු :  මම ඔක්කොටම ගොඩනැගිල්ල බලන්න කියලා උපදෙස් දුන්නා.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : අගමැති ලේකම් ප‍්‍රමුඛ කමිටුව ගොඩනැගිලි තුනක් බලන්න කියන එක යෝජනා කර තිබියදීත් , ඔබ ඞී.පී.ජේ ගොඩනැගිල්ල බලන්න කියන උපදෙස් දුන්නේ ඇයි ?

පිළිතුරු :  මා කිව්වේ ගොඩනැගිල් තුනක් බලන්න කියලයි.ඉන්පසු දුමින්ද දිසානායක පැවසුවා ගොඩනැගිල්ල මිළඳී ගත යුතුයි කියා.මා කිව්වා මිළදී ගන්න කියලා මම කිව්වේ නැහැ නේ කියලා.හදිසියක් තිබුණා ගොවිජන මන්දිරය නිදහස් කරන්න .මේ සම්බන්ධයෙන් කතානායකවරයා මට නිතර ලිපි එව්වා ඉක්මන් කරන්න කියලා.

කොමිසම් පරීක්ෂක විශ‍්‍රමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප‍්‍රශ්නය :  කතානායකට එතරම් උවමනාවක් තිබූ බව පෙනෙන්න නෑ, 2019 මැයි දක්වා ආංශික අධීක්ෂණ කාරක සභා පැවැත්වුනේ පාර්ලිමේන්තුවේයි.ඔබට තේරෙනවා නේද කොතරම් රජයේ මුදලක් අපතේ ගියාද කියලා ?

පිළිතුරු : මා දන්නා තරමින් ඇමතිවරුන් ගෙන් ඉල්ලීම් තිබුණා පාර්ලිමේන්තුවේ කාමර අවශ්‍යයි කියා.බොහොම අමාරුවෙන් මේ කටයුතු කර ගෙන ගියා.හැම ආංශික අධීක්ෂණ කාරක සභාවකම වෙනම කාර්යාලයක් තිබිය යුතුයි.පර්යේෂණ අංශයක් තිබිය යුතුයි.මේ ඉඩකඩ පාර්ලිමේන්තුවේ නෑ.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඔබට පහසුකම් තිබුණා කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක්  ඉදිකරන්න ?

පිළිතුරු : පාර්ලිමේන්තුව තීරණය කළා එය ගොඩනැගිල්ලකට යන්න.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : පාර්ලිමේන්තු මහලේකම් කියා තිබෙනවා ආංශික අධීක්ෂණ කාරක සභා ගොවිජන මන්දිරයේ පවත්වා ගෙන යන්නේ ඒ සඳහා ගොඩනැගිලි හදන්න කියලා?

පිළිතුරු : ගොඩනැගිලි ඉදි කරන්න මුදල් ඉල්ලා නැහැ.මා දන්නා තරමින් මෙය කළේ ස්ථිරවම ගෙනයන්න.කතානායක තමයි තීරණය කළේ වෙන තැනකට ගෙනි යන්න.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : රාජගිරිය ඞී.පී.ජේ ගොඩනැගිල්ල  වර්ග අඩි 1, 03000ක් සඳහා භාවිතයට ගත්තත් අමාත්‍යාංශ භාවිතයට ගනු ලබන්නේ වර්ග අඩි 90,000ක පමණ ප‍්‍රමාණයක් , ඒවගේම තක්සේරු දෙපාර්තමේන්තුව අදාළ ගොඩනැගිල්ලේ මාසික කුලිය මිලියන 13.5ක වටිනාකමක් පමණයි ලබා දී තිබෙන්නේ, නමුත් බදුකරු එය දී ඇත්තේ මිලියන 21කට එය පාඩුවක් නේද ?

පිළිතුරු : ඔව්. රජයේ තක්සේරු වාර්තාව සැලකිය යුතුයි.ඒ ගැන අමාත්‍යාංශ බලධාරීන් සැලකිල්ලට ගත යුතුව තිබුනා.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය :  මෙම ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිලි අනුකූලතා සහතිකය ලබා ගෙන ඇත්තේ වර්ග අඩි 94,500ක පමණයි.මේ ගැන දැනුම්වත්ද ?

පිළිතුරු : තක්සේරුකරුගේ යුතුකම ඒ සියල්ල ගැන සොයා බලා දැනුම් දීමයි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප‍්‍රශ්නය : මෙම ඞී.පී.ජේ.ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් බෙදුම්කර නඩුකරයක් තිබෙන බව කොමිසම හමුවේ හෙළි වී තිබෙනවා , ඒ අනුව මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට දී තිබෙන්නේ අනිත්‍යානුකූලව, ඒසේම උපාලි ජයසිංහ මෙම කරුණු සඟවා වංචා සහගතව සිදුකළ  ගිවිසුමක් බව පිළිගන්නවද ?

පිළිතුරු : එකඟයි.එසේ නම් එම වංචා සහගත තත්ත්වය පිළිබඳ  විභාගයක් පවත්වා මෙතැන ප‍්‍රශ්න කරන එක හොඳයි.මෙම බදු ගිවිසුම සම්බන්ධයෙන වන් නීතිපති දෙපාර්තමේන්තුවට අපි ඉදිරිපත් කරනු ලැබුවා.ඊට සංජය රාජරත්නම් මහතා අවස්ථා කිහිපයකදීම අපට කරුණු දක්වා තිබුණා.

ප‍්‍රශ්නය : නමුත් මෙම බදු ගිවිසුමේ අවසන් ලිපි ගොනුව නීතිපතිවරයා වෙත යොමු වී නැහැ.ඔබ එය පිළිගන්නවාද ?

පිළිතුරු :  ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන ලිපි දෙකක් අප නීතිපති දොපාර්තමේන්තුවට යැව්වත් , අවසන් ලිපි ගොනුව යවන් බැරිවී තිබෙනවා.

ප‍්‍රශ්නය : මීට පෙර අවස්ථාවකදී ඞී.පී.ජේ ගොඩනැගිල්ලට මුදල් ගෙවීම හරි හැටි සිදු නොකිරීම සම්බන්ධයෙන් ඔබතුමන් එම අමාත්‍යාංශයේ එවකට අතිරේක ලේකම්වරියට දොස් පවරා ඇති බවත් , ඒ අනුව එවකට අමාත්‍යාංශ ලේකම් විජේරත්න මහතා විසින් එම අතිරේක ලේකම්වරිය ඒකාබද්ධ සංචිතයට මාරු කර යවා ඇති බව මෙම කොමිසමේදී කරුණු හෙළි වුනා ?ඇත්තටම එම මාරු වීමට ඔබ සම්බන්ධද ?

පිළිතුරු: මම එම අතිරේක ලේකම්වරියගේ රාජකාරී අතපසුවීමක් සම්බන්ධයෙන්  දැඩි ලෙස කරුණු පෙන්වා දුන්නා. එසේ වුවද ඇයගේ මාරු කිරීමට මා සම්බන්ධ නැහැ.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මිලියන 21 මාසික කුලියකට ලබා ගත් රාජගිරිය ඞී.පී.ජේ ගොඩනැගිල්ල සඳහා ගිවිසුම් ප‍්‍රකාරව 2016 අපේ‍්‍රල් 08 වැනිදා සිය 2019 මේ දක්වා රුපියල් බිලියන 1යි මිලියන 479  හතලිස්දහසක මුදලක් ගෙවලා , ඒ වගේම බදු මුදල් නියමිත පරිදි ගෙව්වත් ,අවුරුද්දයි මාස 4 ක් යන තුරු කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලට ගෙන ගොස් නැහැ.මෙය රජයේ අති විශාල මුදලක් අවභාවිත කිරීමක් නේද ?

පිළිතුරු : මා එය සාධාරණීය කරන්නේ  නැහැ.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඞී.පී.ජේ ගොඩනැගිල්ල සඳහා අවුරුදු පහක කාලයකට බදු ගිවිසුම් එළැඹිලා.එම කාලයෙන් වසර 3ක් ගෙවී ගිය පසු ඉතිරි දෙවසරක කාලය සඳහා බදු කුලිය සියයට 15 කින් වැඩි කිරීමේ කොන්දේසියකට එකඟ වෙලා.මෙයත් රජයේ මුදල් රෙගුලාසි වලට පයහානි සහා රජයේ මුදල් අවභාවිත කිරීමක් නේද?

පිළිතුරු : ඇත්ත වශයෙන්ම මේ ගැන නීතිපති , මුදල් අමාත්‍යාංශය හා කැබිනට් මණ්ඩලය දැන ගතයුතුව තිබුණා.එය මුදල් රෙගුලාසි පිළිබඳ ක‍්‍රියා පටිපාටියට පටහැනියි.

ප‍්‍රශ්නය - මෙලෙස රජයේ මුදල් වැය කිරීම නිර්ථක ක‍්‍රියාවක් නේද ?

පිළිතුරු : කළ වියදම් වලින් සම්පූර්ණ ප‍්‍රයෝජනයක්  රජය ලෙස අපට හිමිවූයේ නැහැ.අපිවත් , පාර්ලිමේන්තුවත් බලාපොරොත්තු වුනේ නැහැ කොමිසමේ හෙළි වූ කරුණු අනුව මෙහෙම මුදලක් වැය වේවි යැයි කියා.

කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඔබතුමන් සිතනවාද එවකට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සපරාධි විශ්වාසය කඩකොට ඇති බවට ?

පිළිතුරු : මා හට මෙතැනදී එය පැවසිය නොහැකියි.ඔහු සමාජය ඉදිරියේ සිටින්නෙක්.

අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඞ් පෙරේරා මහතා ගේ වැඩිදුර ප‍්‍රශ්න කිරීම හමුවේ අගමැති දුන් පිළිතුරු.

ප‍්‍රශ්නය : කොමිසම හමුවේදී සඳහන් වුනා ඔබ විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් ගැනීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බවට , එය ඔබ විසින් ඉදිරිපත් කළත් ඊඨ කැබිනට් මණ්ඩලය සාමුහික වගකිය යුතුයි නේද ?

පිළිතුරු : ඔව්. කැබිනට් මණ්ඩලය සාමූහිකව වගකිව යුතුයි.

ප‍්‍රශ්නය : ඔබතුමා එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ කුමන අකාරයටද ?

පිළිතුරු : පරීක්ෂා කර බල කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් ලබා ගන්නා ලෙයසි.

ප‍්‍රශ්නය :  එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ඔබතුමාගේ අධික්ෂණය යටතේ සිටි ඇමතිවරයෙක්ද ?

පිළිතුරු :කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය සඳහා නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමේ සිද්ධිය සිදුවූ කාලවකවානුව තුළදී හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නායකයා ලෙස ඔවුන්ගේ ක‍්‍රියා කලාපයන් මා විසින් සොයාබැලූවා. 

නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකාරකම් සොයාබලා කටයුතු කිරීමේ වගකීම එහි නායකයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරුණා.