(අජිත්ලාල් ශාන්තඋදය)

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට  වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට  අද (31) මරණ දණ්ඩනය  නියම කළේය.

සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන්ට  මෙසේ මරණ  දඬුවම් නියම විය.  

රත්නපුර අංක දෙක මහාධිකරණයේදී මෙම දඬුවම ලබාදීම සිදුවිය. පෙරවරුවේ අධිකරණයේ සාමාන්‍ය නඩු විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ තින්දුව දිම සඳහා නඩුව කැඳවනු ලැබීය. අධිකරණය ඉදිරිපිට මාර්ගයේ විශාල පිරිසක් තීන්දුව දැන ගැනීම සඳහා රැස්ව සිටියේය. පොලීසිය විශේෂ ආරක්‍ෂාවද යොදා තිබුණි. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් අධිකරණ භූමියට මහජනයා ඇතුලු කරනු ලැබීය. 

පසුවරු 01.00ට මෙම නඩුව කැඳවනු ලැබීය. විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ. 

එහිදී තින්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි. ඒ නිසා විත්තිකරුවන් තිදෙනාට මරණ දණ්ඩනය නියම කරන බවද පැවසුවේය.

ඊට අමතරව ඝාතනයට ලක්වු දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ ඥාතින්ට රුපියල් ලක්‍ෂ දෙක බැගින් ලක්‍ෂ හයක වන්දියක් ගෙවන ලෙසත්, සිද්ධියේදි තුවාල ලැබූ වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඞ් ඉල්පාම් දෙදෙනාට එක් අයෙකු විසින් රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ තුනක වන්දි ගෙවන ලෙසද නියම කරනු ලැබීය.

මෙම වන්දි නොගෙවන්නේ නෙම් තවත් මාස 24 බැගින් වූ බරපතල සිරදඬුවම් ද නියම කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.

රත්නපුර මහාධිකරණ බලසීමාවට අයත් කහවත්ත නගරයේදී වර්ෂ 2015 ජනවාරි 05 දින හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙක්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක සැරසිලි කඩා දැමීම සහ තුවාල සිදුකිරීමේ අරමුණු කරගෙන නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් එම ක්‍රියා කලාපයේදීම වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඞ් ඉල්පාම් යන අයට වෙඩිතබා තුවාල සිදුකර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, එකී ක්‍රියාකලාපයේදීම දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම යන චෝදනා ඇතුලුව අධි චෝදනා නවයක් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 සැප්තැම්බර් 13දින අධිචෝදනා ගොනුකරනු ලැබීය.

රත්නපුර මහාධිකරණ විනිසුරු යූ.එච්.බී.කරලියැද්ද මහතා හමුවේ අධි චෝදනා බාරදුන්  අවස්ථාවේ විත්තිකරුවන් සියලු දෙනාම නිවැරදිකරුවන් බව කියා සිටියේ ය.

ඉන් පසුව 2017 වර්ෂයේ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා හමුවේ මෙම නඩුවේ සාක්කි විභාගයට ආරම්භ විය. වසර දෙකක කාලයක් මූලික සාක්කි විමසීමකින් පසු එම විත්තිකරුවන් අතරින් පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන සිව් දෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තිදෙනාට පමණක් එරෙහිව නඩු විභාගය පැවැත්විණි. 

විත්තිකරුවන්ට විරුද්ධව සාක්කි පනස් නවයක් සහ නඩු භාණ්ඩ 16ක් පැමිණිල්ල විසින් නම් කර තිබුණි. එසේම 1995 අංක 14 දරණ සාක්කි විධිවිධාන පනතේ 7(1) වගන්තිය අනුව මෙම විමර්ශන වලදී විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව යොදාගත්, සිද්ධිය වූ ස්ථානය අවට පිහිටි වෙළඳසැල් තුනකින් සිද්ධිය වු දින අලුයම 01.00ත් 01.30 අතර කාලයේ දර්ශන ඇතුළත්ව ලබාගත් සීසීටීවී කැමරා තුනක දර්ශන ඇති ප්‍රතිඋත්පාදන තැටි සහ ඩයලොග් සහ මොබිටෙල් ජංගම දුරකතන වාර්තා ද නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මෙසේ අධිචෝදනා ලබා තිබුණේ සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.