
(*** මුදිතා දයානන්ද)
සහරාන්ලා ඇතුළු අන්තවාදීන් පිළිබඳ විවෘත විමර්ශන නොකරන්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට උපදෙස් දුන්නා. ඒ විමර්ශන නිලන්ත මොනිටර් කරයි කියලා ඔහු මට කිව්වා. ඒ නිසා එතනින් පසු අපි ඒ ගැන සෙව්වේ නැහැ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම හමුවේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දෙවැනි දිනටත් (23 වැනිදා) සාක්ෂි දෙමිනි.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ පූජිත් ජයසුන්දර මහතා මෙසේ සාක්ෂි ලබාදුන්නේය.
ප්‍රශ්නය- ඔබ ආරක්ෂක කවුන්සිලය නියෝජනය කළේ කුමන අවශ්‍යතාවක් මතද?
පිළිතුර- මම එහිදී පෙර සතියේ විශේෂ අපරාධ, දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් වන වාර්තාවක් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළා. ඒ වගේම බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරන තොරතුරුවලින් පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අදාල දේවල් ගැන අවධානය යොමු කළා.
ප්‍රශ්නය - ඔබට ආරක්ෂක කවුන්සිලයට යන්න බැරි වුණේ කවදා සිටද?
පිළිතුර - 2018 ඔක්තෝබර් 23 වැනිදා හවස ආරක්ෂක කවුන්සිලය පැවැත්වීමට නියමිතව තිබුණා. මම එයට සූදානමින් සිටියත් මට රැස්වීම ගැන දැනුම් දුන්නේ නැහැ. ඒ නිසා මම ඒ කාලේ ආරක්ෂක ලේකම් වුණ කපිල වෛද්‍යරත්න මහතාට කතා කරලා ඒ ගැන ඇහුවා. ඔහු කිව්වා “ඔයාට මට කියාගන්න බැරුව හිටියේ ඔයාට එන්න එපා කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා” කියලා. මම ඒ ඇයි කියලා ඇහුවේ නැහැ. ඒත් මට ඒ වෙලාවේ සිත රිදීමක් වුණා. පසුව එය මම සමනය කර ගත්තා.
ප්‍රශ්නය:- එසේ කියන්න හේතුව කුමක්ද කියලා එදා නොදැන සිටියත් දැන් දන්නවා ඇතිනේ. ඒ ගැන කියන්න පුළුවන්ද?
පිළිතුර- මේකට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ලබාදුන් ස්ථාන මාරුවයි. ඒ ස්ථාන මාරුව මම ලබාදුන්නේ ජනාධිපතිතුමාගේම නියෝගයක් මතයි.
නිශාන්ත සිල්වා කියන්නේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සම්බන්ධයෙන් සහ තවත් අපරාධ සම්බන්ධ බොහෝ විමර්ශන සිදුකළ නිලධාරියෙක්. ඔහු මාරු කරන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. මම මේ ගැන ඒ කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සමගත් කතා කළා. පසුව ඔහු සමගම ජනාධිපති මුණගැසෙන්නට ගොස් මේ නිලධාරියා සම්බන්ධයෙන් කිසිම විනය ප්‍රශ්නයක් හෝ කිසිවකුගෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව හෝ නැති බවත් එවැනි අයෙක් මාරු කිරීමෙන් ගැටලු රැසක් මතුවිය හැකි බවත් පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ ඊට එකඟ වුණා. ඒත් ජනාධිපතිවරයා විදෙස්ගතව සිටි වෙලාවක නැවත ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මට කතා කරලා කිව්වා අර මාරුවීම කරන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දුන්නා කියලා. ඉන්පසු මම පොලිස්කොමිසමටත් මේ මාරුකිරීමට හේතුව දක්වා ලිඛිතව දැනුම් දී ඔහු මීගමුවට මාරු කළා. ජනාධිපතිවරයා යළි ලංකාවට ආපු ගමන් මට කතා කරලා ඇහුවා ඇයි නිශාන්ත මාරු කළේ කවුද? එහෙම දෙයක් කරන්න කිව්වේ කියලා. මම කිව්වා ඔබතුමාමනේ කිව්වේ කියලා. ඒ පාර මම එහෙම දෙයක් කිව්වේ නැහැ. වහාම මේක වෙනස් කරන්න. මම ආරක්ෂක ලේකම්ටත් කතා කරන්නම්කෝ කියලා කිව්වා. පැය විසිහතරක් යන්නත් කලින් ඒ මාරුවීම ඒ විදිහට කැන්සල් කළා. එතනින් පස්සේ තමයි මාව ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැත්තේ.
ප්‍රශ්නය:- ඇයි මේ ස්ථානමාරුව පසුව වෙනස් කළේ? කාගේ හරි බලපෑමක් ඇති වෙලාද?
පිළිතුර:- මම පසුව දැනගත් විදිහට සජිත් ප්‍රේමදාස , මහින්ද අමරවීර ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ ගැන බලපෑම් කර තිබෙනවා.
ප්‍රශ්නය:- ඔබ මේ විදිහට ආරක්ෂක කවුන්සිලයට නොකැඳවීම මේ විනාශයේ පෙරළියේ ආරම්භය කියලා දැන් හිතෙන්නේ නැද්ද?
පිළිතුර:- ඒ විනාශයට මේකත් හේතුවන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ අය ගැන අවධානය යොමු කළ යුතුව තිබුණා. 2012 , 2013 කාලයේ සිටම ඒ ගැන අවධානය යොමු නොකිරීම හේතු වුණා කියලයි මම හිතන්නේ.
ප්‍රශ්නය:- අන්තවාදීන් පිළිබඳ විමර්ශන සිදුකිරීමේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මොනවගේ දායකත්වයක්ද ලබාදුන්නේ?
පිළිතුර:- ඔවුන් අන්තවාදීන් ගැන විමර්ශන රැසක් සිදුකළා. බොහො තොරතුරු එකතු කරගෙන හිටියා. මම අවස්ථා කීපයකදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ජනාධිපති හමුවීමට එක්ක ගියා. ගිහින් සහරාන්ලා ගැනත්, මුස්ලිම් අන්තවාදය ගැනත් තොරතුරු ඉදිරිපත් කළා. එතුමා බොහොම සාවධානව ඒවාට ඇහුම් කන් දුන්නා. පසුව දවසක කිව්වා මේක මුස්ලිම් ජනතාව සම්බන්ධ ප්‍රශ්නයක්නේ. රජයෙත් මුස්ලිම් මැති ඇමතිවරු ඉන්නවා ඒ අයගෙන් බලපෑම් එන්නත් පුළුවන්. අනික මේ අය තවම අපේ රටේ කරන්නේ දේශන පවත්වන එක විතරයිනේ. වෙනත් රටවල්වල තමයි ගැටුම් ඇති වෙලා තියෙන්නේ. අපි අවුරුදු තිහක් යුද්ධයකට මුහුණ දුන්නා. නැවත ඒ වගේ තත්ත්වය ඇති වෙන්න එන නැහැ. මේ ගැන විමර්ශන ඉතාම පරිස්සමෙන් කරන්නකෝ කියලා කිව්වා. ඒත් පසුව දවසක මට ආරක්ෂක කවුන්සිලයේදීම ජනාධිපතිතුමා කිව්වා මේක හරි ප්‍රවේසමෙන් කරන්න ඕනෑ වැඩක්. ඒ නිසා පොලිසිය මේ අන්තවාදීන් ගැන විවෘත විමර්ශන කිරීම නවත්වන්න. ඒ වැඩේ නිලන්ත මොනිටර් කරයි කියලා.
ප්‍රශ්නය:- ඔබට රාජකාරි කරද්දී දේශපාලන බලපෑම් ඇති වුණාද?
පිළිතුර:- ඔව්. මුල් කාලයේදී නම් නෙවෙයි. 2017 අන්තිම සිට එවැනි බලපෑම් ඇති වුණා.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති වූ විරසකය ඔබේ රාජකාරිවලදී බලපෑවේ කොහොමද?
පිළිතුර:- මේ විරසකය නිසා එකම කාරණාවක් සම්බන්ධයෙන් දෙන්නා කතා කරලා උපදෙස් දෙකක් දුන්නා. එහිදී මම ලොකු අපහසුතාවයට ලක්වුණා. මට මගේ රාජකාරියේදී සමබරතාව පවත්වාගෙන යන්න අමාරුවුණා.
ප්‍රශ්නය:- ඒ වෙලාවට ඔබ පිළිපැද්දේ කාගේ උපදෙස්ද?
පිළිතුර:- ජනාධිපතිගේ උපදෙස්.
COMMENTS
හම්මෝ.. බෝල් පොයින්ට් පෑනෙන් සරලව අත්සන් කරලා ගිය දුරක්...
හිටපු "එකා" මට නානතුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගෙන ගෝල්ෆේස් එකේ උදේම ඉන්න කිව්ව නිසා මම එහෙම හිටගෙන හිටියා "මෙයා".. මම අහිංසක මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින ආයතනයක ලොක්කා වුනේ කොහොමද? මටම ලැජ්ජයි මෙයා.. අනේ පව් මගේ ඒ ආදරණීය අම්මා දැන් කොච්චර කල් ඉඳලා හෙම්බිරිස්සාවට බෙහෙත් බොනවද? තාම අඩුවුණේ නැහැනේ..
අපේ රටේ කතාවක් තියෙනවා "හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙටයි" කියලා. ඒ වගේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ සක්ෂිදෙන නිලධාරින්ගෙන් හොඳ හොඳ සැඟවුණු ඇත්ත කතා දැන් ටික ටික හෙලිවෙන්න පටන් අරන් වගේ... සුදු ඇඳගෙන උපාසකයා වගේ ඉන්න පාතාලයේ ගෝඩ් ෆාදර් ඊයේ පෙරේදා කොමිසමට ඇවිත් සාක්ෂි කරුවන් දෙස කෙලින් බලාගෙන සිටීම නම් එතරම් හොඳ දෙයක් නොවෙයි. මට හැඟෙන්නේ එය "තර්ජනයක"සේයාවක් වගෙයි. පූජිත, හේමසිරි... ඔබලා ප්‍රවේශම් විය යුතුමයි. ඔබ දෙදෙනා මේ ගෙවන්නේ ගෝඩ් ෆාදර්ගේ පව් කන්දරාවයි....
අපි කැමති වුණත් නොවුණත්, යථාර්තය නම් අපේ රටේ රාජ්‍ය සේවකයින්ට වරින්වර දේශපාලකයින්ගේ නියෝගවලට යටත්ව වැඩ කිරීමට සිදුවුණා. අද පසු විපරමකින් පොලිස්පතිතුමා මේ දේ සඳහන් කළත්, එදා පොලිසියට සිදුවූයේ තමන්ගේ රාජකාරියට පිටින් ගොස් දේශපාලන නියෝග අනුව කටයුතු කිරීමයි. සමහරවිට එදා රටේ තිබුණු තත්වයට අනුව හිටපු ජනාධිපතිට එවැනි නියෝගයක් දීමට යම් සාධාරණ හේතුවක් තිබුණා විය හැකිය.
හිටපු ජනාධිපති දැන් ඉන්නේ පොහොට්ටුවේ. විමර්ශණය හරියටම සිද්ද වෙයිද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
එක එක්කෙනාගේ පස්සේ ගිහින් වැඳ වැටිලා තනතුරු ගත්තාම කෙළින් වැඩකරන්න බැරි බවට හොඳ උදාහරණයක්..
අන්තිමට තෝරු මෝරු නැතුව හාල්මැස්සෝ දෙතුන් දෙනෙක් කටගැස්මට ගනීවි.
අපි ඉස්කෝලෙ යන කාලේ පූජිත් කියන්නේ පොරක්, පොලිසියේ වැඩ පෙන්නපු, මිනිස්සු ආදරේ කරපු සුපිරි නිලධාරියෙක්. ඒත් මෑතකදී දේශපාලනය නම් වූ අලියා විසින් ගිලිනු ලැබූ දිවුලක් වීම කණගාටුවට කරුණකි. රටට ඇත්තටම ආදරයක් තිබුණා නම් ඒ දවස්වලම මේවා එලි කරලා, සාධාරණ යමක් කරන්න උත්සාහයක්වත් ගතයුතුව තිබුණු බවයි මගේ මතය... එසේ නොකලේ දේශපාලන අතකොලුවක් වී දෙන දෙයක් කාගෙන, වෙන දෙයක් බලාසිටීමේ ප්‍රතිපත්තිය නිසා බවයි මගේ හැඟීම... මේකට සිරිසේන, වික්‍රමසිංහ, හේමසිරි, පූජිත් වැන්නන් සෘජුවම වගකිවයුතු බව විශ්වාස කරමි.
දැන් මෙයා බොරුනේ කියන්නේ...
අමතක කරන්න එපා, මේ පරීක්ෂන මේ විදියට සිදු වෙන්නේ 19 වෙනි සංශෝධනය නිසා.