(ටී.කේ.ජී.කපිල )
 
ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන " රියුනියන් දූපතට " නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි.
 
මෙම රියුනියන් දූපත, අප්‍රිකානු මහාද්වීපයේ, මැඩගස්කර් දූපත  ආසන්නයේ පිහිටා තිබේ.
 
මෙම පිරිස මුහුදු මගින් එම දූපත වෙත ගොස්, එරටට ඇතුළු වී සිටියදී, ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා තිබුණි.
 
මෙම පිරිස ප්‍රංශයට අයත් බෝයිං - 737 - 800 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද (14)  දින පස්වරු 2.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම පිරිස අතර පුරුෂයන් 54 ක්, කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් ද සිටින අතර ඔවුහු යාපනය, මීගමුව සහ හලාවත ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

 මෙම පිරිස සමග මෙම ගුවන් යානය තුළ  ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් 70 දෙනෙකු ද පැමිණ තිබූ අතර, මෙම ගුවන් යානය පස්වරු 4.30 ට පමණ ආපසු පිටත්ව ගොස් තිබුණි.
 
 මෙසේ පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ අතර, කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පළමුව භාර දී තිබේ .
 
 ඉන්පසු වැඩිදුර විමර්ශන කටයුතු  සදහා මොවුන් ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.