(සාකච්ඡා කළේ රංජන් කස්තුරි)

කොරෝනා ව්‍යාප්තිය, මහ මැතිවරණය සහ මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර අර්බුද ආදී මාතෘකා මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබේ. විශේෂයෙන් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා ආන්දෝලනාත්මකය. මේ පිළිබඳ කරුණු කාරණා සොයා බැලීමට අපි ඉකුත් දා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවූයෙමු. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයක දුරස්තභාවය ද ඇතිවහෙතෙම අප හා සාකච්ඡාවට එක්විය.


ප්‍රශ්නය:- මහ මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් කොමිසමට චෝදනා එල්ල වෙනවා. ඇත්තටම මොකක්ද වුණේ?

පිළිතුර:- මම මුල ඉඳන්ම පටන් ගන්නම්. ඉකුත් දෙසැම්බර් හා ජනවාරි මාසවල සිටම මහ මැතිවරණය සම්බන්ධයෙන් කතා බහ ඇති වුණා. 19 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගතවූ පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ වසර හතර හමාර නිමවන්නේ පෙබරවාරි මස 29 වැනි දින බව අප දැන සිටියා. වසර පහම ගියා නම් මේ වසරේ අගෝස්තු මස 31 වැනි දින දක්වා යන්න තිබුණා. කොහොම නමුත් ජනාධිපතිවරයා මාර්තු මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනි දිනට නියම වුණා. මේ අතර ලෝකයේ කොරෝනා වයිරස ව්‍යාප්තිය ගැනත් ලංකාවට ඇති වන තර්ජනය ගැනත් කතා බහක් ඇති වුණා. කෙසේ වුවත් මේ සියලු කරුණු කාරණා අතරේ අපි නාමයෝජනා කැඳෙව්වා. එහෙම කළේ යම් යම් තීරණවලට එළඹෙන්න කොමිසමට බලය ගැනීමටයි.

මේ අතර අපේ නිලධාරීන් ඒ කියන්නේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කිව්වා, අප්‍රේල් මස 25 වැනි දිනය අමාරුයි කියලා. ඒත් අපට ජනාධිපතිතුමාට බල කරන්න බැහැ. අප්‍රේල් මාසෙ අවුරුදු නිවාඩුවත් තියෙනවා. අපි කාර්යබහුල කාලසටහනකට වැඩ කරන්න සූදානම් වුණා. මේ අතර ලංකාවෙන් කොරෝනා රෝගීන් හමුවුණා. ආණ්ඩුව නිවාඩු දින ප්‍රකාශයට පත් කළා. ඇඳිරි නීතිය දැම්මා. මේ සියලු කරුණු කාරණා සලකා බලා මැතිවරණ පනතේ අපට පැවරී ඇති බලතල අනුව අපි ඡන්ද විමසීම කල් දැම්මා. ඊට පස්සේ හොඳම දවස ලෙස සලකා ජූනි 20ට ඡන්ද විමසීම තියන්න තීන්දු කළා. ඒක මගේ පුද්ගලික තීන්දුවක් නෙමෙයි. මැතිවරණ කොමිසමේම තීන්දුවක්.

ප්‍රශ්නය:- මැතිවරණය මැයි මාසෙ 30 වැනි දින පවත්වන්න තීන්දුවක් ගත්තද?

පිළිතුර:- ඒක පට්ටපල් බොරුවක්. අපි එහෙම කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. ආදර්ශ ගැසට් නිවේදනයක් සකස් කරලා ඒකෙ ඡන්ද විමසීමේ දිනය ලෙස මැයි 30 යොදා ගන්න අපි සාකච්ඡා කළා. ප්‍රායෝගික තත්ත්වයන් සලකා බැලුවා. ඒක ආදර්ශ පත්‍රිකාවක්. ස්ථිර තීන්දුවක් නෙමෙයි.

ප්‍රශ්නය:- මහ මැතිවරණයේ ඡන්ද විමසීම මැයි 30 වැනි දිනට නියම කරමින් සකස් කළ ගැසට් නිවේදනයට වැරදීමකින් අත්සන් තැබූ කොමිසමේ සාමාජිකයෙක් එය ඉරා විසි කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පිළිතුර:- එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. කොමිසමේ සාමාජික ජනාධිපති නීතිඥ නලින් අබේසේකර ගැසට්ටුවකට නොබලා අත්සන් කරාවිද? ඔබට එය විශ්වාස කළ හැකිද? මේවා මොන බොරුද?

ප්‍රශ්නය:- ජූනි 20 ඡන්ද විමසීම තබනවාට කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල් තරයේ විරෝධය දැක්වුවා නේද?

පිළිතුර:- විවිධ මත තියෙනවා. මැතිවරණ කොමිසම කියන්නේ තුන් දෙනෙක්. විවිධ අදහස් එනවා. තර්ක ගොඩනැගෙනවා. පස්සේ අපි සාමූහිකව පොදු තීන්දුවක් ගන්නවා. ජූනි 20 ඡන්ද විමසීම පවත්වන බව ප්‍රකාශ කරමින් තිදෙනාගෙම අත්සනින් ගැසට් පත්‍රය නිකුත් වුණා. විරුද්ධ වුණා නම් එතුමා අත්සන් කරන්නෙ නැහැනේ.

ප්‍රශ්නය:- ජූනි 20 ජනාධිපතිවරයාගේ උපන් දිනය එදාටම ඡන්ද විමසීම යෙදුණේ කොහොමද?

පිළිතුර:- කවුද අනේ උපන් දින ගැන දන්නේ. මමවත් කොමිසමේ සාමාජිකයන්වත් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. අපට ජනාධිපතිතුමාගේ උපන් දිනයක් මතක තබාගන්නවත් දැනගන්නවත් අවශ්‍ය නැහැ. හැබැයි ඔන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ උපන් දිනය නම් දන්නවා. මගේ හිතේ ඒ නොවැම්බර් 17 වැනිදා වෙන්න ඕනේ. මොකද ජනතාව එතුමා ජනාධිපති කාලෙ උත්සව තිබ්බා. එක පාරක් මට මතකයි උපන් දිනය දවසෙ තමයි එතුමා දිනපු ප්‍රතිඵලය නිකුත් වුණේ. ඒ නිසා ඒ දවස මතකයි.

ප්‍රශ්නය:- ඔබතුමා කියන්නේ ඒ දවස යොදාගත්තෙ අහම්බෙන් කියලද?

පිළිතුර:- අහම්බෙන් නෙමෙයි, එදා තමයි අපි තීරණය ගත්ත අවස්ථාවෙ තිබ්බ හොඳම දිනය. ජූනි 17 ගන්න සාකච්ඡා කළා. සතියෙ මැද දවසක්. පාසල් දින දෙකක් වහන්න වෙනවා. ජූනි 21 ගැන කතා කළා. එදා ඉරිදාවක්. සෙනසුරාදා දවස අපට පහසුයි.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ගතවන්නේ ජූනි 02 දාටයි. ජූනි 20 ඡන්ද විමසීම තිබ්බොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇති වෙනවා නේද?

පිළිතුර:- අපේ වගකීම ඡන්දයට දිනයක් නියම කිරීම, ව්‍යවස්ථා අර්බුදයක් ඇති වනවා නම් ඒ ගැන වගකිවයුතු බලධාරීන් බලා ගනීවි. ඒක ව්‍යවස්ථා විශාරදයන් බලා ගත යුතුයි.

ප්‍රශ්නය:- ව්‍යවස්ථා අර්බුදයක් ගැන මුලින්ම පෙන්වා දෙමින් කොමිසම තමයි ජනාධිපතිවරයාට ලිපියක් ලිව්වේ.

පිළිතුර:- අපි ව්‍යවස්ථා අර්බුදයක් ඇති විය හැකි බවක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් ලිව්වා. එතුමා කිව්වේ අපට ඡන්දයට දිනයක් නියම කරන ලෙසයි. ඒක කොමිසමේ වගකීමක් නිසා අපි දිනයක් නියම කළා.

ප්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ ඔබේ යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. ඔබට වෙනත් ආකාරයකින් අධිකරණයෙන් ආවරණයක් ගන්න තිබුණා නේද?

පිළිතුර:- එතකොට ගෙජ්ජිය බඳින්න ඕනෙ අපිද?

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසීම ගැන සලකා කොමිසමට රිට් ආඥාවක් ලබා ගන්න තිබුණා යැයි ඇතැම් දේශපාලන නායකයන් කොමිසමට ඇඟිල්ල දික්කරනවා.

පිළිතුර:- ඒ අයට උසාවි යන්න පුළුවන්නේ. අපිම යන්න ඕනද?

ප්‍රශ්නය:- ජූනි 20 ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිසම ගත් තීන්දුවට එරෙහිව පිරිසක් උසාවි යන්න හදනවා. එතකොට?

පිළිතුර:- ඒක පුරවැසියන්ගේ අයිතිය. ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා නම් මූලික අයිතිවාසිකම් කඩ වෙලා නම් අධිකරණයට යන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නොත් අපි පිළිගන්නවා. ඒක ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය:- ඇත්තම කියන්න. ජූනි 20 ඡන්දය තියන්න පුළුවන්ද?

පිළිතුර:- එහෙම හිතාගෙන තමයි අපි දිනය නියම කළේ. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නැත්නම් කොරෝනා තමයි අවසානයේ තීන්දුව ගන්නේ.

ප්‍රශ්නය:- ඒ කියන්නෙ එදාට ඡන්දය තියන්නෙ නැද්ද?

පිළිතුර:- කවුද එහෙම කිව්වේ. ජූනි 20 ඡන්දෙ තියන්නෙ නැහැ කියලා. අපි කියන්නේ නැහැ. වයිරසය පැතිරෙනවා කියලා කොමිසම අතපය බැඳගෙන ඉන්නෙත් නැහැ. අපි ඡන්දෙ මූලික වැඩ කරගෙන යනවා.

ප්‍රශ්නය:- තවදුරටත් කොරෝනා ව්‍යාප්ත වෙමින් ගියොත් මොකද වෙන්නේ?

පිළිතුර:- එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම රට සාමාන්‍ය වෙලා දින 35ක කාලයක්වත් ඡන්දය තියන්න ඕන වෙනවා. ජූනි 20 ඡන්දය තියන්න නම් මැයි මාසෙ 15 වැනිදා වන විටත් රට සාමාන්‍ය තත්ත්වයකින් තියෙන්න ඕනේ. අනික මැතිවරණය තියන්න ග්‍රීන්ලයිට් දෙකක් අවශ්‍යයි. සෞඛ්‍ය අංශවල ග්‍රීන්ලයිට් එක ඕනේ. අනික අපේ නිලධාරීන්ගේ ග්‍රීන් ලයිට් එක අවශ්‍යයි. ඡන්ද වැඩ කරන්න පුළුවන් පරිසරයක් වාතාවරණයක් නිලධාරීන්ට තියෙන්නෙ ඕනේ.

ප්‍රශ්නය:- සෞඛ්‍ය ක්‍රමවේද හා දුරස්ථභාවය රැකගෙන ඡන්දය තියන්න බැරිද?

පිළිතුර:- මැතිවරණ රාජකාරිවලට නිලධාරීන් තුන් ගුණයක් අවශ්‍යයි. නිලධාරීන් ඉන්නේ 50 නම් ඡන්දයට 150ක් ඕනේ. කච්චේරිවල 100 නම් ඉන්නේ ඡන්දයකදී 200ක් පමණ අවශ්‍ය වෙනවා. විශ්‍රාම ගිය නිලධාරීන්ගේ වෙනත් ආයතනවල නිලධාරීන්ගේ සහාය ගන්නවා. තැපැල් දෙපාර්තමේන්තුව විශාල කාර්ය භාරයක් කරනවා. ඒ අයගේ කැමැත්ත හැකියාව ගැනත් බලන්න ඕනේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී පියවර කීපයක් තිබෙනවා. මීටරයක දුර තියාගෙන මේවා කරන්න අමාරුයි.

දැන් බලන්න ඡන්ද පොළ කාර්ය මණ්ඩලවලට රැස්වෙන්න ඕනේ. උපදෙස් පන්ති තියන්න අවශ්‍යයි. පොකට් මීටින් එකක්වත් තියන්න බැරි තත්ත්වයක් නම් කොහොමද අපි ඒක කරන්නේ. පෝලිං ඒජන්ට්ලා රැස්වෙන්න ඕනේ. මහා ඡන්ද රැස්වීම් නැති වුණත් ගම් මට්ටමින්වත් පුංචි රැස්වීම් තියන්න වෙනවා. දුරස්ථභාවය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තියාගෙන මේවා කරන්න අමාරුයි.

අපි ඡන්දය කල් දාන්න කැමති නැහැ. මම පෞද්ගලික තීන්දු ගන්නෙ නැහැ. කොමිසම පොදුවේ හරි තීන්දුව ගන්නවා. අපේ නිලධාරීන්ගෙ සහ අපිත් එක්ක වැඩ කරන වෙනත් රාජ්‍ය අංශවල නිලධාරීන්ගේ ග්‍රීන් ලයිට් එක ඡන්දය තියන්න අවශ්‍යමයි.

ප්‍රශ්නය:- තත්ත්වය යම් ප්‍රමාණයකින්වත් අඩු වුණොත් මැතිවරණය පැවැත්විය හැකි බවට ඇතැම් පිරිස් යෝජනා කරනවා.

පිළිතුර:- සම්පූර්ණයෙන්ම කොරෝනා නැතිම තත්ත්වයක් මත නෙමෙයි, පාලිත තත්ත්වයක් මත ඡන්දය තියන්න අපේ නිලධාරීන්ගේ කැමැත්ත ඕන බවක් මම කිව්වෙ ඒ නිසයි.

අනිත් අතට මැතිවරණ නීතියට අනුව ප්‍රචාර කටයුතුවලට සති පහකවත් අවම කාලයක් ලබා දෙන්න ඕනේ. විනිවිද භාවයකින්, නිදහස්ව හා සාධාරණව ඡන්ද විමසීම තියන්න ඕනේ. අපි සම බිමේ සටනක් කරන්න පුළුවන් පරිසරයක තමයි ඡන්දය තැබිය යුත්තේ.

ප්‍රශ්නය:- එහෙම නම් කොරියාවේ ඡන්දෙ තිබ්බේ කොහොමද?

පිළිතුර:- ඒක අපට වඩා හුඟාක් වෙනස්. කොරියාවෙ මැතිවරණ කොමිසමට විශාල බලතල තිබෙනවා. ඉන්දියාවේ කොමිසමටත් වඩා බලයක් තියෙනවා. ඒ අය ඡන්ද ගණන් කරන්නේ යන්ත්‍රයකින්. ඒ රටේ මනාප ලකුණු කිරීමක් නැහැ. මටනම් මනාප ගණන් කිරීම තරම් බියකරු අත්දැකීමක් තවත් නැහැ. අනිත් අතට මේ තත්ත්වය තුළ මිනිස්සු ඡන්දය දාන්න ඒවිද? නැහැ. වයිරසය පැතිර යමින් තියෙද්දී කඩේට ගිහින් බඩු ගන්නව වගේ ඡන්දය දාන්න මිනිස්සු එන එකක් නැහැ.

ප්‍රශ්නය:- මැතිවරණය දින කීපයක් තිස්සෙ එක දිගට තිබ්බොත් ඡන්දදායකයන්ට දුරස්ථභාවය තියාගෙන ඇවිත් ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඒ ගැන අදහස මොකක්ද?

පිළිතුර:- ඒ ගැන කොමිසම තවම සාකච්ඡා කරලා නැහැ. ඒත් ඡන්ද ගණන් කිරීමේදී විශාල පිරිසකට එකට ගැවසෙන්න සිදුවෙනවා.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ මෙහෙම රට කරගෙන යන්න ආදී වශයෙන් සමාජ මාධ්‍ය හරහා යම් මතයක් නිර්මාණය වෙමින් යනවා. ඒ ගැන අදහස?

පිළිතුර:- නිකන් රැල්ලට කියන කතා. ඒක භයානක තත්ත්වයක්. විධායකය, ව්‍යවස්ථාදායදය සහ අධිකරණය කියන කුලුනු තුනම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අවශ්‍යයි. රාජ්‍ය නිලධාරීන්ගේ ආණ්ඩුවකට වඩා සහ හමුදා පාලනයකට වඩා දේශපාලන ආණ්ඩුවක් රටකට හිතකරයි. මොකද දේශපාලනඥයෝ අවුරුදු පහකට සැරයක්වත් ජනතාව ඉදිරියට ඇවිත් තමන්ට සේවා දිගුවක් ඉල්ලනවා. එතකොට ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්. නිලධාරි පාලනයකදී හමුදා පාලනයකදී එහෙම නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලන බලයේ පදනම ජනතාවගේ කැමැත්තයි. එය ප්‍රකාශ වන්නේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකින්.

ප්‍රශ්නය:- මම නැවතත් අහන්නේ තව පාරක් ඡන්දෙ කල් දානවද?

පිළිතුර:- දැනටමත් කල් ගිහිල්ලා වැඩියි.

ප්‍රශ්නය:- හොඳයි මොකක්ද මේ කොමිසමේ අභ්‍යන්තර අර්බුදය

පිළිතුර:- කොමිසම කියන්නේ තුන්දෙනෙක්. මහින්ද දේශප්‍රියලා තුන්දෙනෙක්වත් මහාචාර්ය හුල්වරු තුන්දෙනෙක්වත් නොවෙයි. මත තියෙනවා.

ප්‍රශ්නය:- මම කෙළින්ම අහන්නම්. මහාචාර්ය රත්නජීවන් හුල් සහ ඔබ අතර විශාල මත ගැටුමක් තිබෙනවා නේද?

පිළිතුර:- එතුමා විවිධ අදහස් දරනවා. මහාචාර්යතුමාට අපකීර්තියක් හෝ චෝදනාවක් හෝ කරන්න මගේ තුන් හිතකවත් නැහැ. ඔබ අහන නිසා පමණක් කියන්නම්. සාමූහිකව ගන්න තීන්දුවක් එළියට ගිහින් විවේචනය කළොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක කොමිසමට හොඳ නැහැ. කොමිසම ගැන ජනතාව තුළ තිබෙන හැඟීම පළුඳු වෙනවා. මහාචාර්ය හුල්ගේ ප්‍රකාශ හරහා කිසියම් පාර්ශ්වයක් වාසි ගැනීමේ වැඩපිළිවෙළක් කරනවා කියලත් මට හිතෙනවා. ඉකුත් දිනවල සමාජ මාධ්‍යවලත් ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍යවලත් පළවූ වාර්තාවලට පදනමක් නැහැ. ඒවා සත්‍යයෙන් තොරයි. එක කපුටු පිහාටුවක් කාක්කො හත්දෙනෙක් කරන කතාවක් තියෙනවා. ඒක අහලා තියෙනවා නේද?

ප්‍රශ්නය:- මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය තුළ පැන නගින ගැටලු ගැන බැලුවොත් කොමිසමේ සාමාජික සංඛ්‍යාව පහක් වූවා නම් හොඳයි කියා ඔබට හිතෙන්නෙ නැද්ද?

සාමාජිකයන් පහක් වුණොත් ගණපූරණය තුනක් විය යුතුයි. සාමාජිකයන් තුනක් වුණොත් ගණපූරණය දෙකක් විය යුතුයි. දැනට තියෙන තත්ත්වය ගණපූර්ණය තුනයි. සාමාජිකයොත් තුනයි. එක් අයෙකුට පුළුවන් විරෝධය දක්වලා මුළු ක්‍රියාදාමයම වෙනස් කරන්න. ඒක හොඳ තත්ත්වයක් නොවෙයි. මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වයට රීති හදන්න අවශ්‍යයි.

ප්‍රශ්නය:- ඔබ කලකිරීමකින් කතා කරන බවක් පේනවා.

පිළිතුර:- මට කලකිරීමක්වත් ආතතියක්වත් නැහැ. හැබැයි අසතුටක් තියෙනවා. පදනම් විරහිත චෝදනාවලට සීමාවක් තිබිය යුතුයි. දැන් බලන්න කොමිසමට බනිනකොට මට විතරයි ඇඟිල්ල දික්කරන්නේ. එක පඹයයි කාටුන්වලට අඳින්නේ. පඹයො තුන්දෙනෙක් අඳින්නෙ නැහැනේ.

ප්‍රශ්නය:- අන්තිම ප්‍රශ්නයත් අහන්නම්. අසතුට නිසා තීන්දුවක් ගන්නවද?

පිළිතුර:- ඉකුත් ජනාධිපතිවරණයෙන් පස්සේ සභාපති ධුරයෙන් ඉවත් වෙන්න හිතාගෙනයි හිටියේ. මට වැඩ කරන්න පුළුවන්. සභාපතිකමේ වගකීම් දරන්නත් පුළුවන්. හැබැයි දිගින් දිගටම බොරු චෝදනාවලට මුහුණ දෙන්න කැමැති නැහැ. එක වෙලාවකට හිතෙනවා මේක කටු ඔටුන්නක්.