
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයාගේ , අගමැතිවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතා සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීම සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබාදී ඇත.
සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිඳු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවත් එහි සඳහන් වේ.
මෙම නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දී තිබේ.
COMMENTS
අන්න ඇවිල්ලා බලන්න. අම්බලන්ගොඩ පැත්තේ. මෙහෙ විදුහල්පතිවරු නම් කැමතියි අවුරුද්දකට දෙවතාවක් විතර එක වසරට ළමයි ගන්න. නාමල් මහත්තයගේ රූපෙ තමයි විදුහල්පතිගේ කාර්යාලයේ එල්ලන් ඉන්නේ. හැම එකෙන්ම අංක එක. ජනාධිපතිතුමනි, ඔබතුමාට මේවා තේරෙන එක නම් රටට වාසනාවක්. ඒත් දකුණේ නිලධාරීන් නම් සත පහකට විශ්වාස නැහැ. කරණාකරලා විදුහල්පතිවරුන්ගේ වත්කම පරීක්ෂා කරන්න. ගාල්ලෙත් ඉන්නවා නියම ටිකක්. අපි හෙට අනිද්දාම එළියට දාන්නම්කෝ... කට්ටියගේ වැඩකිඩ...
අනේ ඉතින් මෙතුමාලගේ කටින් කියන දේවල් නම් සමහරකගේ කනට මී පැණි වක්කරනවා වගේ රසවත් ඇති... එ්ත්, මේ මෑතකදී රෝයල් කොලේජ් එකට එක පාරටම ළමුන් කිහිප දෙනෙක් ඇතුල් වුනේ කොහොමද කියලා විදුහල්පතිතුමාගෙන් දැනගන්නවාට වඩා, ඥාතීන්ගෙන්ම දැනගන්න එක වඩාත් පහසුවෙයි ඔබ තුමාට...
ඕකට කියන්නේ උගුරට හොරා බෙහෙත් කනවා කියලා. එහෙම ලියුම් එවන අයට දඬුවම් කරන්නේ නැතිව... එම ලියුම් නොසලකා හරින්න කියනවා. ඒකෙන් පේනවා ඇත්තටම නීතියට වැඩ කිරීමේ අවශ්‍යතාවක් නැතිය කියලා. විදුහල්පතිවරුන්ට ඕක නොකියා තම නිලධාරින්ට උපදෙස් දීමයි අවශ්‍ය.. එහෙම ලියුම් නොයැවිය යුතුයි කියලා. නමුත් වෙන්නේ අනික් පැත්ත. වෙන්න ඕනෙනම් චක්‍රලේඛයක් විදිහට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව විදුහල්පතිට දැන්විය යුතුයි. නැත්නම් නිකන් වචන විතරයි.
අප රටේ මුල් පුරවැසියාගේ තීරණය අප අගයන්නෙමු. එනමුදු ඔහුවටා සිටින ගල්ආඳන් නම් මෙම තීරණයට හිත යටින් තදින්ම යුද්ධ ප්‍රකාශ කරනු ඇත. එබැවින් මෙම තීරණය නිසිලෙස ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම වැදගත් නොවේද?
69 ලක්ෂයට මේවා පුන්නක්කු...
ඔබතුමාගේ ගෝලයෝ ටික ඡන්දෙන් දින්නේ මේවගේ දේවල් මිනිස්සුන්ට කරලා දෙන නිසයි. ඔබතුමා කියන දේවල් අහන්න ගියොත් විදුහල්පතිවරුන්ට ගෙදර තමයි යන්න වෙන්නේ.. නැතිනම් ඔය ගෝලයෝ ටික ගිහිල්ලා විදුහල්පතිවරු දණගස්සවලා තමයි නවතින්නේ. බොරු කතා නම් කියන්න එපා මහත්තයෝ.. ඔබතුමා නෙමෙයි සක්කරයා ආවත් ලංකාවේ මැති ඇමැතිවරු කරන දූෂිත ක්‍රියාවල් නවත්තන්න බැහැ. එතරම් දූෂිත දේශපාලයක් තමයි ලංකාවේ තියෙන්නේ..
පත්තරේට කියන දේ කරනවා නම් මෙලහකටත් මේ රට සුරපුරයක්. මෙහෙම කිව්වට යටින් සේරමලාම වැඩ. අපි නොදන්නවාද?
කියනකොට නම් මෙහෙමයි. ඒත් කරන කොට වෙන්නේ වෙන විදියකට කියලා හැමෝම දන්නවනේ...
රජ්ජුරුවන්ට සුදු හකුරු හැදුවා වගේ... ද මන්දා.
ඒකත් විදුහල්පතිවරුන්ගේ පිටින් දාලා ඇඟ බේරාගන්නේ නැතිව, එහෙම ලිපි ඉදිරිපත් කිරීම නීතිවිරෝධී කියලා නීතියක් දැන්න බැරි ඇයි? පාර්ලිමේන්තුවේ 2/3ක් තියෙනවා නේද? මේවා නිකන්ම නිකන් සුරංගනා කතා..
කියන කොට එහෙමයි... කරනකොට මෙහෙමයි.
අයියටත් වඩා දක්ෂ නළුවෙක් වගේ. හොඳට අන්දන්න දන්නවා.
විදුහල්පති වරුන්ට නොවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුත්තේ. එකී ලිපි රජයේ ලිපි ශිර්ෂ හරහා හෝ මුද්‍රාවක් සහිතව විදුහල්පතිවරුන්ට බලපෑම් කරන අයටයි.
ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ ප්‍රකාශයක් කරපු එක ගැන. අතිශයින්ම වැදගත් සහ කාලෝචිත ප්‍රකාශයක් ජනාධිපතිතුමනි. ඉක්මනින්ම ඕක ක්‍රියාවට නගන්න.