කොරෝනා මාරක වසංගතය රට හදන තැන ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුව ද ආක්‍රමණය කර ඇත. ඉකුත් සිකුරාදා වාර්තා වූ පුවතකින් කියැවුණේ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කොරෝනා ආසාදිතයකු වී ඇති බවය. ඉරිදා වාර්තා වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ද ආසාදිතයකු බවය. එම හේතුව නිසාම මැති ඇමැතිවරුන් විසි දෙනකු පමණ නිරෝධායනයට යොමු කළ බවය. එහෙත් මෙයින් පිරිසක් කොරෝනාවට ගොදුරුවී නොමැති බව ඊයේ වාර්තා විය. සඳුද‌ා වාර්තා වූයේ ඇමැති වාසුදේව නානායක්කාර මහතාද ආසාදිතයකු බවය. ඔහුගේ ආශ්‍රිත මන්ත්‍රීන් 10 ක් නිරෝධායනයට යොමුකළ බව සඳහන් වෙයි. ඒ අනුව ‘දියවන්නා පොකුර’ නමින් අලුත් පොකුරක් නිර්මාණය වේදැයි යන බිය හා සැකය ගංවතුරක් ගලා යමින් තිබේ.

සියවසකට පමණ පසුව පැමිණි මාරක වසංගතයට ‘බියවීම’ හැර අන් ප්‍රතිකර්මයක් නැත. මෙහි ‘බියවීම’ යනු අතපය හකුලාගෙන පැත්තකට වීම නොවේ. සාමාන්‍ය සුපුරුදු දිවි පෙවෙතින් බැහැරව සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුව ජීවත්වීමය. මෙම මාරක වසංගතය ඉදිරිපිට හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ උපදෙස් දුන්හ. සංචරණය සීමා කිරීම, මීටරයේ පරතරය තබාගැනීම, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම එහිදී ප්‍රධාන වේ. මෙම පිළිවෙත් අකුරටම පිළිපදින්නේ නම් ආසාදිතයකු නොවී ජීවත්වීමේ මගක් ඉතිරි වී ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

කරුණු කාරණා එපරිදි වනවිට මැති ඇමැතිවරුන් ආසාදිතයන් වූයේ කෙසේද යන්න මගහැර යා නොහැකි ප්‍රශ්නයකි. මන්දයත් සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත් සාමාන්‍ය පොදු මහජනතාවට පමණක් නොව මැති ඇමැතිවරුන්ටද වලංගු හෙයිනි.

පාර්ලිමේන්තුවේ කොරෝනා මාරක වසංගත ආසාදිතයන් සොයා කළ පරීක්‍ෂාවේදී පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. කැමරා රූපරාමු ද නිරීක්‍ෂණය කර තිබේ. මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ ඇතැම් මහජන නියෝජිතයන් මීටරේ පරතරය තබා මුඛ ආවරණ හෝ පැලඳ නොසිටිය බවය. එම පිරිස අතර ආසාදිත මන්ත්‍රීවරයකු ද සිටින බවය. සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරන පොදු මහජනතාවට නීතිය ක්‍රියාත්මක කරන බව පැවසේ. එහෙත් ඇතැම් මහජන නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු කර ඇති බවක් නොපෙනේ. කොරෝනා මාරක වසංගතය කවදා ලොවෙන් තුරන් කළ හැකිවේදැයි යන්න අනුමාන හැකියාවෙන් එපිටින් පිහිටියකි. එම දිනය උදාවනතුරු කොරෝනා වයිරසය ලොව පුරා පැතිරී යාම ඇරැඹුණ දිනයට පෙර පැවැති ජීවිතයට අප කිසිවකුට යා නොහැකිය. එම තිත්ත ඇත්ත තේරුම් ගත යුතුය. එමෙන්ම මෙම මාරක වසංගතය ඉදිරිපිට කිසිවකුට හෝ ‘සාදා නිම කළ ජීවන ආකෘතියක්’ තිබිය නොහැකිය. මොහොතින් මොහොත වෙනස්වන තත්ත්වයන්ට අනුරූපීව අපගේ ජීවන විලාශයද විලාසිතාවද වෙනස්කර ගත යුතුය. එසේ නොවන්නේ නම් ‘ආසාදිතයකු’ වී ඉන් එපිටින් ඇති සියලු ප්‍රතිඵලවල හිමිකරුවා බවට පත්වීමේ ඉරණම බාර ගත යුතුය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී දේශපාලනඥයන්ට රටේ ලෝක වසංගතයක් තිබේයැයි මතක ඇද්දැයි යන ප්‍රශ්නය මතුවේ. එක් තැනක මහජනයා දහස් ගණනින් ඒකරාශී කරගනිමින් පවත්වන රැස්වීම් වේ. ඒවායෙහි පරතරය මීටරය නොව සෙන්ටිමීටරයක්වත් නොවන බව පැහැදිලිය. තවත් තැනක උත්සවාකාරයෙන් සිදු කරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම් ය. මේවා සියල්ලම කොරෝනා ඒමට පෙර රටේ තිබුණ ඒවාය. දැන් කොරෝනා වයිරසය මුළු රටම වෙළාගෙන අවසන්ය. එසේනම් මෙම තත්ත්වයට සරිලන පරිදි පෙර ක්‍රියාකාරකම් හැඩ ගසා ගත යුතුය. විකල්ප ක්‍රියාමාර්ග, විසඳුම් වෙත සීරුමාරු විය යුතුය. මාරක වසංගතය හමුවේ පසුබා නොයා, රටෙහි සංවර්ධන ක්‍රියාන්විතයන් අතරමග නතර නොකර ඉදිරියට පවත්වාගෙන යාමේ ක්‍රමවේද සකස් කරගත යුතුය.

රටෙහි තත්ත්වය මෙරට සෞඛ්‍ය අංශයට දරා උසුලාගත නොහැකි සීමාවෙන් එළියට යාම යනු සිහිනෙන් හෝ නොපැතූ දුක්ඛිත ඉරණමක් වෙත රට රැගෙන යාමකි. සෞඛ්‍ය අංශයත්, ආරක්‍ෂක අංශත් ඉමහත් කැපවීමෙන් තත්ත්වය පාලනය කිරීමට සමත්ව සිටිති. මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට රටේ සෙසු පුරවැසියන් නොමසුරුව, නොමැලිව දායක විය යුතුය. එම සෙසු පුරවැසියන් අතර දේශපාලනඥයෝ ද සිටිති. ඔවුන්ට කියා වෙනම ජීවිතයක් හෝ වෙනම නීතියක් නැත. ඒ බව පසක් කර ගනිමින් සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත්වලට මුල්තැන දෙමින් මහජනයාට ආදර්ශයක් සපයමින් කටයුතු කිරීමට දේශපාලනඥයෝ වගබලා ගත යුත්තෝය.

(***)