IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


නීති එන තෙක් නොසිට වගකීම්-යුතුකම් ඉටුකරමු

නිරෝධායන නීති කඩ කරන පිරිස්වලට දැඩි දඬුවම් පැමිණවිය හැකි වන පරිදි නව නීතිරීති ඇතුළත් ගැසට් පත්‍රයක් අද හෙටම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිනිය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඒ අනුව රෝගය බලපවත්වන ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිශ්චය කරන බල ප්‍රදේශයක සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගැනීමට තිබූ අවහිර, බාධක ඉවත්වනු ඇත. නීතිරීතිවලට ගරු නොකරන තමන්ගේ සෞඛ්‍යය පමණක් නොව ඇසුරු කරන සමාජයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව නොසැලකිලිමත්ව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන නව නීතිරීති අනුව ඔවුන්ට රුපියල් දසදහසක දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකම හෝ නියම කිරීමට නව ගැසට් පත්‍රය අනුව හැකියාව ලැබෙනු ඇත.

 කොරෝනා සමාජයේ විවිධ ක්ෂේත්‍ර කරා විහිද යමින් පවතින පසුබිමක මෙවැනි නීති පැනවීම පිළිබඳව කිසිවකුටත් දොස් පැවරිය නොහැක. පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබුණේ නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළත් එයින් අදහස් වන්නේ ජනතාව තලාපෙළා දැමීමක් නොවන බවය. එය සිදු කරන්නේ ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ යහපත් චේතනාවෙන් බව ද ඔහු කියා තිබිණි. විය යුත්තේද එයයි. ජනතාව ආරක්ෂා කිරීම සඳහා නීතිරීති ප්‍රමාණවත් නොමැති නම් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා නීති හදාගෙන හෝ ආරක්ෂාව සැලසීම වඩාත් යෝග්‍ය පියවර වෙයි.

එය එසේ වනවිට පෙන්වා දිය යුතු තවත් කාරණාවක් තිබේ. එනම් නිරෝධායන නීතිරීති කැඩෙන්නේ මහජනතාවගේ අතින් පමණක් නොවීමය. විශාල ආයතන, රෝහල්, පොදු ගමනාගමන සේවා සහ ඇතැම් රාජ්‍ය ආයතන පවා ප්‍රමාණවත් තරම් සෞඛ්‍යාරක්ෂක පියවර කෙරෙහි අවධානය යොමු නොකරන බවට උදාහරණ තිබේ. දැනට පවතින තත්ත්වය අනුව එවැනි දුර්වලතා මගහරවා නොගෙන මහජනතාව පමණක් පීඩාවට පත් කිරීම සුදුසු නොවන බව සිහිපත් කරමින් නව රීති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව සඳහන් කරමු. මහ රෝහලේ පවා වාට්ටු වසා දැමූ, සරසවි දෙකක සිසුවියන් ගොදුරු කරගත්, ගුවන් තොටුපොළට සහ පෞද්ගලික බැංකුවලට ද රිංගාගත් කොරෝනා වයිරසය හැකි පමණ පාලනය කරගැනීම මේ අවස්ථාවේ හැටියට ප්‍රමුඛත්වය ලබා දිය යුතු කාරණයයි. එහෙත් ඒ සඳහා මහජනතාව ද ස්වේච්ඡාවෙන්ම තම සහයෝගය ලබා දීම ද අත්‍යවශ්‍ය බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

අප එසේ කියන්නේ ලොව පුරා යළිත් වරක් කොරෝනා වේගයෙන් පැතිර යන ස්වභාවයක් දකින්නට ලැබීම හේතුවෙනි. අපට කොතරම් අවශ්‍ය වුවද රෝගය දැන්ම ලෝකයෙන් තුරන් වන බවට ලකුණක්වත් නැත. මේ යථාර්ථය අපි සියලු දෙනා අවබෝධ කරගත යුතු වෙමු. සෙසු වෙනත් රටවල ද නිරෝධායන නීතිරීති ඉතාම තදින් ක්‍රියාත්මක වන්නේ ද එම හේතුවෙනි. සිංගප්පූරුව වැනි රටවල මුහුණු වැස්ම නොමැතිව පාරට බැසීම පවා දඩ ගැසුම්වලට ලක්වන වරදක් හැටියට නීතිගත කර තිබේ. එපමණක් නොව කාර්යාල ඇතුළු  මහජනතාව ගැවසෙන සියලු ස්ථානවල නිරෝධායන නීති අකුරටම පිළිපැදිය යුතු අතර එම නීතිරීති කඩ කරන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා තදින්ම දඬුවම ක්‍රියාත්මක කෙරේ. අපේ රටේ ද නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ඒ ආකාරයටමය.

මෙරට වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් බැවින් එය මෙරට තුළ පාලනය කළ පමණින් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි බවය. අද හෙටම ඉවර නොවන කොරෝනා සමඟ ජීවත් වීමට අප සියලු දෙනා ඉගෙනගත යුතු බව ද එසේම වෙනදා මෙන් සම්පූර්ණයෙන් ඇඳිරිනීතිය පනවා සමාජ ක්‍රියාකාරීත්වය නවතා මේ වසංගතයට මුහුණ දිය නොහැකි බව ද ඒ මහතා පෙන්වා දී තිබිණි. මෙය රටේ මේ මොහොතේ පවතින යථාර්ථය බව අපි සියලුදෙනා විසින් තේරුම් ගත යුතු වෙමු.

එම යථාර්ථය අනුව හැඩගැසීමට නම් තමතමන්ගේ පරෙස්සම කෙරෙහි උපරිම අවධානයකින් ක්‍රියා කිරීම හැර අපට ගත හැකි වෙනත් මගක් නැත. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති පරිදි මූලික සෞඛ්‍යාරක්ෂක පියවර අනුගමනය කිරීම හරහා අපට අපේ ආරක්ෂාව සලසාගත හැකිය. විශේෂයෙන්ම මුහුණු වැස්ම භාවිතයත්, නිරතුරුවම දෑත් සෝදා ගැනීමත් අත්‍යවශ්‍යම කාරණයකට හැර බැහැර නොයාමත් අප කාටත් ඉතා පහසුවෙන් කළ හැකි දේ වෙයි. රටේ සියලුම කාර්යාල සහ සේවා ස්ථාන, ව්‍යාපාරික ආයතනවලදී ද මේ නීති හරිහැටි අනුගමනය කිරීම කොරෝනා වයිරසය පාලනය කරගත හැකි හොඳම මාර්ගය නම් අප සියලු දෙනාටම ඒ මාර්ගයේම ගමන් කළ හැකි නම් දැඩි නීතිරීතිවල අවශ්‍යතාව ද අඩු වනු ඇත. එහෙත් නාහෙට නාහන පිරිස් ද අප සමාජයේ සිටින බැවින් නව නීති පැනවීම ඉතා වැදගත් බව ද සඳහන් කරමු. කොරෝනා බලපෑම විසින් මුළු ලෝකයම වෙනස් කර තිබියදී අපට පමණක් නොවෙනස්ව සිටිය නොහැක.

(***)



අදහස් (3)

නීති එන තෙක් නොසිට වගකීම්-යුතුකම් ඉටුකරමු

Rata Perata Wednesday, 14 October 2020 06:30 AM

ගැසට් පත්‍ර ඕනෑ නැහැ කිව්වනේ... ජී.ආර්. කටින් කියනකම් ඉමු.

:       1       3

මාතර සත්‍යපාල Thursday, 15 October 2020 01:26 AM

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකාරීත්වය පිළිබඳ කොමිසමක් පත්කරලා වරදකරුවන්ට දඬුවම් දීලා රටට ආදර්ශයක් දෙන්න. නැත්නම් වැඩක් නැහැ. රට එකම නීතියකට පත්කර ඇති බව ප්‍රායෝගිකව පෙන්වන්න. තවමත් එහෙම වෙලා නැහැ. නැත්නම් අර තෙල් නැවේ කැප්ටනුත් නිදහස් කරන්න. කොරෝනා දෙවන රැල්ලට වගකිව යුත්තේ බ්‍රැන්ඩික්ස් කලමනාකාරීත්වය මිස අහිංසක සන්නාලියන් නොවේ. කඩිනමින් කොමිසමක් පත්කරලා වැරදිකරුවන් සොයා ගන්න. රටට ආර්ථික වශයෙන් වෙච්ච පාඩුව ගණනය කරලා ඔවුන්ගෙන් වන්දියක් ලබාගන්න. ඇයි තවමත් එහෙම නොකරන්නේ කියන එක තමයි ප්‍රශ්නය? එහෙම කළොත් අනික් ආයතනත් ඒ ගැන සැලකිලිමත් වෙනවා. කරපු අපරාධයේ තරාතිරම කොහොමටත් ගණනය කරන්න බැහැ. කරුණාකරලා නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්න. නඩු නිමිත්තක් නැද්ද කියලා බලන්න. ඇයි මෙහෙම හැසිරෙන්නේ කියන එක තමයි අපට තියෙන ගැටලුව. පාර්ලිමේන්තුවේ කාටවත් එහෙම යෝජනාවක් කරන්න කොන්දක් නැද්ද? කිසිවෙක් නොමළ බව ඇත්ත වුණත් බ්‍රැන්ඩික්ස් ආයතනය කලේ අනියම් මිනී මැරීමක් හා සමාන කටයුත්තක්...

:       0       2

suddaSaturday, 17 October 2020 03:09 PM

හැමදාම පොහොට්ටුවේ සහ ගොටභය ජනාධිපතිතුමා වෙනුවෙන් අදහස් ප්‍රකාශකළ අපිත් බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා මේ වෙලාවේ රටේ එක නීතියක් ක්‍රියාත්මක කරාවි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site