(නාලක සංජීව දහනායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ පාකිස්ථානයේ මෙරට සිටින මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) මුහම්මද් සාද් කත්තක් මහත්වරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පැවැත්විණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කර සිටියේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියගේ පාලන සමයේ සිටම පාකිස්ථානය මෙරට දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන බවය. එමගින් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දරුවන්ට ඉන් විශාල ප‍්‍රතිලාභ අත්ව තිබෙන බවද කීය.
එමෙන්ම ප්‍රශ්නකාරී පුද්ගලයන්ගේ ගමනාගමනය පාලනය කිරීමට වඩා යහපත් ආකාරයට ආගමන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධවද ජනාධිපතිවරයා හා මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළහ.
පෞරාණික අධ්‍යාපනික ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන තක්‍ෂිලාව ප‍්‍රවර්ධනය කිරීමේදී පාකිස්ථානය ඉටුකරන කාර්යභාරය අගය කළ ජනාධිපතිවරයා ඒ සඳහා මෙරට සහයෝගය ලබාදෙන බවද පැවැසීය.
පාකිස්ථානු මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කර සිටියේ ආරක්‍ෂක, වෙළඳ සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම මෙන්ම ආගමික සහජීවනය ප‍්‍රවර්ධනය කිරීම ඇතුළු ඕනෑම ක්‍ෂේත‍්‍රයකදී මෙරටට උපරිම සහය ලබාදෙන බවය.
දෙරට අතර දැනටමත් යහපත් ආරක්‍ෂක සහයෝගීතාවක් පවතින බැවින් ලංකාව හා පාකිස්ථානය අතර වෙළඳාම ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි තම රටේ අවදානය යොමුව තිබෙන බවද මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට පැවැසීය.
ඒ අනුව දෙරටේම ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගි කරවා ගනිමින් අපේ‍්‍රල් මාසයේදී සම්මන්ත‍්‍රණයක් සංවිධානය කිරීමට පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය උත්සාහ ගන්නා බව ද කීය.
එමෙන්ම වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රවල උසස් අධ්‍යාපන අවස්ථාවන් ලබාගැනීම සඳහා පාකිස්ථානය මෙරටට ශිෂ්‍යත්ව දහසක් ප‍්‍රධානය කරනු ලබන අතර ඒ සඳහා අයඳුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයකට ලක්කිරීම සඳහා පාකිස්ථානු බලධාරීන් ඉතාම ඉක්මනින් මෙරටට පැමිණෙනු ඇතැයිද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
ඒ ප්‍රවෘත්ති වලට කියුනා මෙරට සිටින පාකිස්තානුවන් පිරිසක් ළූණු වෙළඳපොළ හසුරවන හැටි...
පාකිස්තානයට ඉගැනුම සදහා ළමයි අරින්න පෙර දෙවරක් සිතා බැලිය යුතුයි.
උපාලි මහත්මයෝ, අප රටේ තිබු කුරිරු යුද්ධයේ නිමාව කරා ගිය ගමනේදී, පාකිස්තානය කළ උපකාර දන්නේ නැත්නම්, ආරක්ෂක අංශ වලින් ගොස් දැන ගන්න. 1996 ලෝක ක්‍රිකට් කුසලානය වෙනුවෙන් ආරම්බක වාරයේ ඔස්ට්‍රේලියාව සහ බටහිර කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වලට, රටේ තිබු ආරක්ෂක හේතුව උලුප්පා ඔවුන් පැමිණියේ නැත. ඊට පිළිතුරක් ලෙස පාකිස්තාන ඉන්දීය සම කණ්ඩායමක් ලෙස (වසීම් රාජා - අසහරුදින්) එක්ව දිවයින ට පැමිණ ප්‍රදර්ශනාත්මක තරගයක් කරා. ඉන් ඔවුන් ICC වට ඒත්තු ගැන්වුයේ ශ්‍රී ලංකාවේ තරග කිරීමට නොහැකි ආරක්ෂක තත්වයක් නොමැති බවයි. ඒ තුලින් ICC ය, නොපැත්වූ තරග 2 වෙනුවෙන් ලංකාවට ප්‍රසාද ලකුණු 8 ක් දීම හේතුවෙන් අපට අවසාන තරගය සදහා මාර්ගය පැදුනා. එදා ඔස්ට්‍රේලියාවට විරුද්ධව අවසාන තරගයේ, ලාහෝර් පිටියේ - ශ්‍රී ලංකාව දිරිමත් කළේ පාකිස්තානු ප්‍රේක්ෂකයින් බව ඔබේ රූපවාහිනියෙන් දැක්කේ නැත්ද? මෑතකදී, ජිනීවා මර උගුලට විරුද්දව ලංකාවට පක්ෂපාතිව පකිස්තානය සහ අනිකුත් ඉස්ලාම් රටවල් කල උදව්වවත් ඔබට මතක නැත්ද? ඔබට මතකයේ ඇත්තේ ළූණු ගෙඩිය පමණයි. උදව් කල මිතුරෙක් අමතක කරන්න එපා. ජාතිවාදය ඉවත දමා ශ්‍රී ලාංකික ජාතිකත්වය වැළද ගන්න.
මේ රටෙන් අබ ඇටයක දෙයක් ගෙන්න එපා. ඔක්කොම හොර බදු තියෙන්නේ. පාකිස්තානේ නිෂ්පාදිත ඖෂධ බොහොමයක් හොර ඒවා. ඒක සනාථ කරන වාර්තාමය වැඩසටහනක් මම නරඹලා තියෙනවා.