ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හයදෙනකුගේ සහභාගීත්වයෙන් සංවාදයක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ (7) පෙරවරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, සිමා (සී.අයි.එම්.ඒ) සහ විජය පුවත්පත් සමාගමේ ඬේලි එෆ්.ටී. පුවත්පත එක්ව සංවිධානය කළ මෙම සංවාදය ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සහ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සමඟ සංවාදයක්යන අරුත ගැන්වෙන, “වට් ලයිස් අහෙඞ්”-“ෆයර් සයිඞ් චැට් විත් ප්‍රසිඩන්ෂියල් කැන්ඩිඬේට්ස්” යනුවෙන් නම් කර තිබිණි.

‘ෆයර් සයිඩ් චැට් විත් ප්‍රසිඩන්ෂියල් කැන්ඩිඬේට්ස්” සංවාදය මෙවර පැවැත්වුණේ තෙවැනි වරටය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලේවත්ත සහ ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජික ආචාර්ය ගාමිණි නන්ද ගුණවර්ධන යන මහත්වරු සහ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය අජන්ත විජේසිංහ පෙරේරා මහත්මිය මෙම සංවාදයට එක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංවාදයට එක්ව නොසිටි අතර සංවාදය අතරතුරදී ඒ මහතාගේ හඬ පණිවුඩයක් සභාව වෙත ඉදිරිපත් කෙරුණි.

ජනාධිපති අපේක්ෂකයෝ එහිදි පෞද්ගලික අංශයට බදු සහන සැලැසීම, පරිපාලන ක්ෂේත්‍රයට තාක්ෂණික ප්‍රවේශයක් ගනිමින් තවදුරටත් තාක්ෂණය හා සම්බන්ධ කිරීම, ප්‍රතිපත්ති ගැනීම හා ඒ සම්බන්ධ යාන්ත්‍රණය දේශපාලනයෙන් තොර (නිර්දේශපාලනීකරණය) ක්ෂේත්‍රයක් බවට පත් කිරීම යන පොරොන්දු දුන්හ. දූෂණය, පූර්ණ සහභාගීත්වයක් සහිත වර්ධනය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද ජනාධිපති අපේක්ෂකයෝ මෙහිදි අදහස් දැක්වූහ.අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන සියලු මූල්‍ය පරිත්‍යාග සහ මූල්‍ය අනුග්‍රහයන් ආදී මෙම සංවාදයේදී එකතුවන සියලු අරමුදල් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කෙරේ.

තමාගේ ආර්ථික ප්‍රතිපත්තිවලින් නිදහස් ව්‍යවසාය දිරිගන්වන බවත් රටේ ධනය සහ වත්කම් නිර්මාණය කිරීමේ යාන්ත්‍රණයට තිබෙන අනවශ්‍ය බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවත් මෙහිදි අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. කුඩා, මධ්‍යම හා පරිමාණ ව්‍යාපාරවලට වර්ධනය වීමට හැකි පරිසරයක් ගොඩනගන බව ද ප්‍රේමදාස මහතා කීය.

“ප්‍රමාණවත් මුදල් සහ රාජ්‍ය මූල්‍ය සහාය ලබාදෙමින් පෞද්ගලික අංශ සවිබල ගැන්වීමට අපි පියවර ගන්නවා. ආර්ථිකය ස්ථාවර කිරීමටත් වර්ධනය දිරිගැන්වීමටත් එම සමබරතාව අත්‍යවශ්‍ය වෙනවා. රාජ්‍ය මූල්‍යයේ වර්ධනය බදු ව්‍යුහය සරල කිරීම මගින් බදු බර අඩු කරමින් සහ බදු විරාම ලබාදෙමින්  ව්‍යාපාර සහ පෞද්ගලික ව්‍යවසායවලට හිතවත් පරිසරයක් නිර්මාණය කරනවා. වැඩි වැඩියෙන් බදු පැනවූ විට ව්‍යවසාය අඩුවෙනවා. ඒ නිසා ආර්ථික වර්ධනය අඩු වෙනවා. එය පිළිගත් කරුණක්.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම ඉහළ ධනයක් උපයන හා ජනනය කරන ව්‍යාපාර මත තිබෙන බදු බර අඩු කිරීම ඉතාම වැදගත්. පොළී අනුපාත නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් එය මුදල් ප්‍රතිපත්ති සමඟ සමබර කරගනිමින් ඔවුන්ට ස්මාර්ට් වීමටත් නවෝත්පාදනය කරමින් නව්‍යකරණයට පත්වීමටත් ඉඩ සලසන්න ඕනේ.

පොළී අනුපාත සහන ලබාදීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්න ඕනේ. ඒ මගින් ණයවලට ප්‍රවේශ වීමටත් ඒ තුළින් ව්‍යවසායවලට ප්‍රතිලාභ ලැබීමටත් අවස්ථාව උදා කරන්න ඕනේ. ඔවුන්ට ණය ගැනීමට අවස්ථාව ලබාදීමෙන් ඔවුන් ධනය නිර්මාණය කිරීමේ යාන්ත්‍රණයේ ක්‍රියාකාරී සහභාගීවන්නන් සහ පාර්ශවකරුවන් බවට පත්වෙනවා” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.

නාස්තිය හා දූෂණය අවම කිරීම කෙරෙහි තම ආර්ථික ප්‍රතිපත්තිවලින් මූලික වශයෙන් අවධානය යොමු කරන බව මෙහිදි අදහස් දැක්වූ ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කීවේය. එහිදි අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

“අපි බදු ව්‍යුහය සරල කරනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියෙන් මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ වංචාව, දූෂණය හා නාස්තිය අවම කිරීම ගැනයි. දැනට බදු ලිපිගොනු (ෆයිල් 170,000ක්) තිබෙනවා. අපි ඉදිරි වසර පහේදී ඊට තවත් බදු ලිපිගොනු 100,000ක් එකතු කරනවා.

රට සංවර්ධනයට කිරීමට නම් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා පෞද්ගලික අංශය දේශපාලන මැදිහත්වීම්වලින් සහ පක්ෂපාතීත්වයෙන් නිදහස් කරන්න ඕනේ. අද ව්‍යාපාරිකයන්ට දේශපාලනඥයෝ පස්සේ යන්න වෙලා. අපි ඒ තත්ත්වය වෙනස් කරනවා. ඔවුන්ගේ හැකියාව හා දක්ෂතාව මත සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අවස්ථාව සලසා දෙනවා.

ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න අවශ්‍ය නම් ඊට අනුමැතිය ගන්න ව්‍යාපාරිකයන්ට දේශපාලනඥයන්ගේ පස්සේ යන්න වෙලා. අද ව්‍යාපාරවලට ව්‍යාපෘති ලැබෙන්නේ දේශපාලනඥයන් සමඟ තිබෙන සබඳතා මතයි.  අපි සම්පූර්ණයෙන්ම ඒ ක්‍රමය නතර කරලා පෞද්ගලික අංශයට නීත්‍යනුකූල ලෙස ව්‍යාපාර කිරීමට ඇති අවස්ථාව තහවුරු කරනවා.

අපි අයවැයෙන් අයවැයට වෙනස් නොවන අඛණ්ඩ සහ නිශ්චිත බදු ව්‍යුහයක්/පද්ධතියක් ඇති කරනවා. අඩුම තරමින් මේ බදු රාමුව වසර පහක්වත් පවතිනවා. ඒ වගේම අපි බදු ව්‍යුහය සරල කරන්න ඕනේ.”

ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ ආවේණිකත්වය මත රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි යැයි මෙහිදි අදහස් දැක්වූ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලේවත්ත මහතා පැවැසීය. තවදුරටත් අදහස් දැක්වූ පල්ලේවත්ත මහතා.

“මම වායු බැලූන් (එයාර්බෑග්ස්) සඳහා සංවේදී උපකරණ (සෙන්සර්ස්) නිෂ්පාදන කිරීමේ මගේ ව්‍යාපාරය ආරම්භ කරද්දි ශ්‍රී ලාංකිකයන්ට එය කිරීම අමාරු යැයි කිව්වා. එහෙත් නිවැරැදි නායකත්වය එය කළ හැකි බව මම තේරුම් ගත්තා. මම මේ උත්සාහ ගන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ මනසේ එම විශ්වාසය ඇති කිරීමටයි.

මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ අවම තරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමෙන් අපට ශ්‍රී ලංකාවට මුහුණ දී සිටින ආර්ථික අවහිරයෙන් (ආරවුලෙන්) ගොඩඑන්න පුළුවන්.  ගොඩක් අය කියයි මේක කරන්න බැහැ කියලා. හැබැයි මේක කරන්න පුළුවන්. ඒ සඳහා ආයෝජකයාගේ මනස තේරුම් ගන්න ඕනේ. ආයෝජනයක් කරන්න සූදානම් වෙද්දි ඔවුන්ගේ මනසේ ඇතිවෙන්නේ මොකක් ද ? එය වටහා ගැනීමේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕනේ”.

ජනාධිපති ධුරයට පත්වූවන් රටේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු නොකර තම දේශපාලන සබඳතා ශක්තිමත් කරගැනීමට අවධානය යොමු කිරීම නිසා රටේ ආර්ථිකය එකතැන රැඳී ඇතැයි මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය අජන්ත විජේසිංහ පෙරේරා මහත්මිය පැවැසුවාය.

“ඒ වෙනුවෙන්ම ප්‍රතිපත්ති සැකැසී තිබෙනවා. ඒවා වෙනස් කරන්න ඕනේ. අපි ප්‍රතිපත්ති සකසන්න උපදේශකයෝ ගන්නවා. එහෙත් ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න අයගේ අදහස් විමසන්නේ නැහැ. එය සංවර්ධනය පහත දමනවා වගේම වැරැදි සහ නරක ප්‍රතිපත්ති තීරණ ගැනීමටත් හේතුවෙනවා” යැයි ඇය තවදුරටත් කීවේය.

උගත් හා බුද්ධිමත් ජනතාව ඉදිරියට ගෙනෙමින් ආර්ථිකය වර්ධනය හා සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කුසලතා යොදාගන්නා බව මෙහිදි අදහස් දැක්වූ ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් සංවාදයට සහභාගී වූ එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජික ආචාර්ය ගාමිණි නන්ද ගුණවර්ධන මහතා කීය.

“අපි ව්‍යාපාරය පටන් ගත්තේ මීට අවුරුදු හතරකට කලින්. ප්‍රධාන පක්ෂ දෙක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත් වෙලා. ජනතාවට නව බලාපොරොත්තුවක් ගෙන ඒමට අපට වුවමනා වෙලා තිබෙනවා” යැයි ද හෙතෙම කීවේය.  

රටට අවශ්‍ය වී ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලනඥයකු නොවන බවත් රට අවශ්‍ය වී ඇත්තේ තාක්ෂණය සමඟ ඉදිරියට යන අලුතින් හිතන පාර්ශව රැසක් සමඟ සමීපව කටයුතු කරන සහ රට ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සම සමව ඉදිරියට යෑම තහවුරු කරන නායකයකු යැයිසංවාදය අතරතුරදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයෙන් (හඬ පටයෙන්) කියැවිණි.

“අතීතයේදී මම මගේ වගකීම් ඉටු කර තිබෙනවා. නිවැරැදි, හරි මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් සුදුසු තැන්වල යොදවමින් අඩුපාඩු සකසමින් රටට වැඩදායී පද්ධතියක් නිර්මාණය කිරීම මගේ ප්‍රවේශයයි. වැඩ කරන්නකු ලෙස මම කීර්තිනාමය ගොඩානගා ගත්තේ ඒ අයුරින්. පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න ප්‍රතිපත්ති ගෙන එනවා. ඒ වගේම ආර්ථිකය වර්ධනය සුදුසු පරිසරයක් ඇති කරනවා. අපි දැනටමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල කළ යුතු ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා බොහෝ පාර්ශවවල අනුමැතිය හිමිව තිබෙනවා. අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් සෘජු විදෙස් ආයෝජන දිරිගන්වනවා. ඒ වගේම දේශීය ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ද ආරක්ෂා කරමින් එලෙස සෘජු විදෙස් ආයෝජන රට තුළට ඒම දිරිගන්වනවා” යැයි රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළේය.  

දිනේෂ් වීරක්කොඩි සහ දීපාල් සූරියආරච්චි යන මහත්වරු මෙම සංවාදය මෙහෙයවූහ.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(හර්ෂණ තුෂාර සිල්වා - ඬේලි එෆ්.ටී. ඇසුරිනි)