සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇති කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ලොව දියුණුම ආර්ථික හා සෞඛ්‍ය පද්ධති පවා ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. එවැනි මොහොතක ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය මෙන්ම ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් සිටින අපගේ අසල්වැසි ඉන්දියාව මහත් ඛේදවාචකයට මුහුණ පා ඇත.

ලොව පුරා දේශසීමා හා මායිම් නොතකමින් පැතිර යන නව කොරෝනා වයිරසය තම රට ආරක්ෂා කරගැනීමේ අරමුණින් රටම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේදී පියවර ගත්තේය. ඒ අනුව රටම අකර්මන්‍ය කෙරෙන ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය. ඉන්දීය රජය ගත් මෙම දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට මිලියන ගණනකට රැකියා අහිමි වී ඇත.

‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග සහ නියෝග ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ පසුගිය සතියේ බදාදාය. මේ හේතුවෙන් නගරවල විවිධ රැකියාවල නිරත වී සිටි සිය දහස් ගණනක් මේ වනවිට නගර අත්හැර දමා ඔවුන්ගේ ගම්බිම් බලා යෑම ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් බොහෝදෙනා සතුව ඇත්තේ ඇඳිවත පමණි. මොවුන් ඇවිද යන්නේ මීටර 100 ක් 200ක් නොව සැතපුම් සිය ගණනකි. ඔවුහු කිසිවකුත් සතුව ආහාර හෝ මුදල් ද නැත.

ගම්බිම්වලින් නගර වෙත පැමිණි මෙම සංක්‍රමණික සේවකයන් නැවත ඔවුන්ගේ ගම්බිම් බලා යෑමෙන් තවත් අවදානමක් නිර්මාණය වී ඇත. මෙසේ ග්‍රාමීය ප්‍රදේශවලට පැමිණෙන පිරිස්වලින් කොරොන් වයිරසය පැතිර යෑමේ අවදානමක් ද හටගෙන තිබේ. ගම්බිම්වලට යෑම සඳහා මීටරයක කෙසේ වෙතත් සෙන්ටිමීටර දෙක තුනක පරතරයක් නොමැතිව බස්රථවලට සිය ගණනක් පොදිකන අයුරු ඉන්දීය මාධ්‍ය මෙන්ම අනෙකුත් විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබිණි. නිවාස අහිමි අයට වෙනත් ස්ථාන ලබාදීමටත් ඇතැම් අයට සහන කඳවුරු ස්ථාපිත කිරීමටත් ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබිණි. ඒවා ද සේවකයන්, යාචකයන් ඇතුළු නිවාස අහිමි පිරිස්වලින් පිරී ගොස් තිබිණි.

ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින ප්‍රාන්තය වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයයි. බොහෝ දෙනා එම ප්‍රාන්තයේ සිට ප්‍රධාන බස් පර්යන්තය පිහිටි දිල්ලිය වෙත පැමිණෙන අයුරුද දක්නට ලැබිණි.

‘‘මට කාමරයක් ගන්න සල්ලි නැහැ. ඒ නිසා මට වෙන විකල්පයක් නැහැ. මට යන්න වෙනවා’’ යැයි තම බිරිඳ සහ දෙහැවිරිදි පුතු සමඟ පැමිණි රංජිත් කුමාර් පැවැසීය. ගම්බිම් බලා යෑම සඳහා බස් රථයකට ගොඩවීමට ඔවුහු දින දෙකක් හර්යානා ප්‍රාන්තයේ සිට දිල්ලියට ඇවිද ආහ.

දිල්ලියෙන් පිටත පිහිටි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් ගාසියාබාද් නගරයේ සිට 90,000කට වැඩි පිරිසක් ඉකුත් ඉරිදා පමණක් බස් රථවලින් ප්‍රවහනය කළ බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කර තිබිණි. ගාසියාබාද් නගරයේ කොටසක් දිල්ලියට ද අයත් වේ.

සංක්‍රමණික සේවකයන්ගේ මෙසේ දහස් ගණනින් ඔවුන්ගේ ගම්බිම් බලා යෑම සීමා කිරීම සඳහා සියලු දිස්ත්‍රික්ක සහ ප්‍රාන්තවල සීමා වසා දමන්නැයි ඉන්දීය මධ්‍යම රජය ඉරිදා නියෝග කළේය. එම සේවකයන් ඇතුළු පිරිස්වලට නැවතී සිටීම සඳහා තාවකාලික ස්ථාන ඉදි කරන්නැයි ද ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත, දිස්ත්‍රික් ඇතුළු ප්‍රාදේශීය බලාධිකාරීන්ට උපදෙස් දුන්නේය.

දිල්ලියේ පොදකමින් සිටින සිය දහස් ගණකක් සඳුඳා දිනයේදී එක්වරම අතුරුදන්වූහ. එම පිරිසට දිල්ලි පාසල්වල නැවැතී සිටීමට ඉඩ ලබා දී ඇති නගර බලධාරීහු කීහ. ඒ අනුව ඒ සඳහා දිල්ලියේ පාසල් 550කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇතැයි ද මේ වනවිට 400,000කට වැඩි පිරිසකට ඉඳුම් හිටුම් හා ආහාරපාන ලබාදෙන බවත් දිල්ලි නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉන්දියාවේ මධ්‍යම පළාතක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විශාල පිරිසක් රැඳී සිටිති. ඉන්දියාවේ විශාලතම නගරය මෙන්ම එරට මූල්‍ය අගනගරය වන මුම්බායි පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මේ වනවිට සහන කඳවුරු 262ක් ස්ථාපිත කර ඇති අතර 70,339කට ආහාරපාන හා ඉඳුම්හිටුම් සපයා ඇතැයි ප්‍රාන්ත මහ ඇමැති උදාව් තකාරේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

2011 වසරේ දී ‘ෆෝමියුලා 1’ මෝටර රථ තරගාවලිය සකස් කළ ධාවන පථය සහ එම ප්‍රදේශය සංක්‍රමණික සේවකයන් 5,000කට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා භාවිත කරන්නැයි බලධාරීන් උපදෙස් දී ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කර තිබිණි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ද නවාතැන් පහසුකම් ඇති කඳවුරු 600ක් ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඒවා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කරන බව ද ප්‍රාන්ත බලධාරියෙක් පැවැසීය.

සංචරණයේ යෙදෙන නාගරික මධ්‍යම පාන්තිකයන්ගෙන් ග්‍රාමීය සංක්‍රමණික සේවකයන්ට වයිරසය පැතිර ගොස් ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති බවත් එසේ පැතිර ගොස් ඇත්නම් එය විශාල අර්බුදයක් යැයි ඉන්දියාවේ හිටපු ජාතික සෞඛ්‍ය ලේකම් සුජාතා රාවෝ කීවාය.

‘‘ඔවුන්ගෙන් එක අයකුට හෝ වයිරසය ආසාදනය වෙලා නම්, නාගරිකව ජීවත්වන දුප්පත් ජනතාව අතර එය වේගයෙන් පැතිර යනවා. මේ බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ එකට. සමාජ දුරස්ථභාවය ඔවුන් අතර සිදු වෙන දෙයක් නෙමෙයි. ඒක ඔවුන්ට විකල්පයක් නෙමෙයි. මේ පිරිස් සිය දහස් ගණනක් ඉන්නවා’’ යැයි ඇය කීවාය.

හර්ෂණ තුෂාර සිල්වා

ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි