(මනෝප‍්‍රිය ගූණසේකර)
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (01) නියම කළේය.
ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
ඌවතැන්නේ සුමන හිමියන් සමඟ එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටි උන්වහන්සේගේ ගෝල හිමි නමක් වු මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහිව එල්ල කොට තිබු සිය`ථ චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයක් වන 2010 ජනවරී 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේදී ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පවත්වන ලද අතර එම දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගනිමින් සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
මෙම නඩුවේදී පළමු විත්තිකාර ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව ටී-56 ගිනි අවි 02ක් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට තිබුණත් අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගන්නා ලද බවට උන්වහන්සේට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ‍්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.
එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.
ඔවුන්ට එරෙහි නඩුව නීතීපතිවරයා ඉවත් කර ගත්තත් ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි නඩුවේ සාක්කි මෙහෙයවන ලදී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.
COMMENTS
එතකොට පාතාලයින්ගෙන් තුවක්කු අහු වුණාම මාසෙන් දෙකෙන් එළියට එන්නේ කොහොමද? දඬුවම සාධාරණයි... නමුත් හැමෝටම එක විදිහට වෙන්න ඕනෑ...
අනේ...! දෙවියනේ...! .. ශාසනයකට ගිය කළ.. තුවක්කු ආදිය තියෙන්න ඇත්තේ ධර්මය රකින්න වෙන්න ඇති.. දාමරිකයින් මැරයන්, වංචනිකයින් බුද්ධ චීවරයට රිංගා ඇත.. වගකිවයුතු නායකාධිකාරීන් අන්ධය, ගොළුය, බිහිරිය...
මැරයින්ට හැංගෙන්න හොඳම තැන තමයි සිවුර...
එතකොට අපරාධකාරයින් 3 දෙනෙක් නීතිපති නිදහස් කරලා...
T56න් වෙඩි තියන අයත් මෙහෙම තීන්දු දෙයි කියලා සිතමි..
පිස්තෝලයක් අතේ තියාගෙන ලෝකෙටම පේන්න දුවගෙන ආපු හම්බන්තොට නගරාධිපති එළියෙ, හාමුදුරුවො ඇතුලෙ. සිංහල බෞද්ධ රට මේක...
යකාගෙ නීතියක්නෙ... තුවක්කුවෙන් වෙඩිතියල මරපු එකා ජීවිතාන්තෙට හිරේ යන්නෙ නෑ. තුවක්කුවක් ළඟ තියාගත්තම ජීවිතාන්තෙට හිරේ යනවා. අනික බෝම්බ පතුරම් තියා ගත්ත එකට නිදහස්. එහෙමනං හාමුදුරුවො තියං ඉඳලා තියෙන්නේ පතුරම් නැති තුවක්කුවක්. කිසිවෙකුට හානියක් කරන්න බෑ. හාමුදුරුවන්ට කියන්න තිබුණේ තුවක්කුව තියාගත්තේ බල්ලන්ට ගහන්න කියලා.
කරුණාගේ ගෝලයින් නඩුවෙන් ඉවත්කර තියෙන්නේ ගිනි අවි අකැප පූජ්‍ය පක්ෂයට විතරක් නිසාද?
මිමි 50 තුවක්කු කාලතුවක්කු බෝම්බ තියාගෙන මිනීමරලා හාමුදුරුවන්ව පවා මරපු ත්‍රස්තයින්ටත් මේ වගේ දඬුවම් දුන්නද? තුවක්කු දෙකකට ජීවිතකාලයක් හිරේ.. ලංකාවේද මේ?
නියමයි, අර කොම්පඤ්ඤවීදියේ කඩු තියන් හිටපු අයට බඩුම තමයි...
ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලැබෙන්නේ ස්ත්‍රී දූෂණය වගේ දේවල් වලට නේද? ගිනි අවියක් ළඟ තබා ගත්ත මර්වින් සිල්වාගේ පුතා නිදහස් වුනේ කොහොමද?
බයවෙන්න එපා හාමුදුරුවනේ... දේශප්‍රේමී හිමිවරු පෙරට එයි... නැත්නම් පොහොට්ටුවට පනින්න!
ස්වාමීන් වහන්සේනමක් ගිනි අවියක් ළඟ තබා ගැනීම නම් අනුමත කළ නොහැකියි! නමුත් ගිනි අවිය භාවිතා කරල තිබිලත් නැත්නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීම නම් පුදුමයි! ඒ ලංකාවේ මිනී මරපුවටත් සමහර වෙලාවට ඊට අඩු දඬුවම් ලැබෙනවා. ස්ත්‍රී දුෂකයන්ට අවුරුදු 5ක දඬුවම් ලැබෙනවා! පුදුමයි.
කවුරුහරි මැරුවාද? එක්කෝ මරන්න උත්සාහ කරාද? එහෙම මොකවත් නැතුව ඡන්දයක් පෙනී පෙනී මේ වගේ දේවල් ටිකක් ප්‍රශ්නකාරියිනේ. අර සෙල්ලම් පිස්තෝල නගරාධිපති නම් යස අගේට එළියේ.... හාමුදුරුවෝ ඇතුලේ..
එක ටී 56ක් තියන් හිටපු කෙනා ජීවිතේටම හිරේ... එතකොට හොර අායුධ නැවක් තියන් හිටපු ගෝඨාභය මහතා යටතේ එදා හිටි නිස්සංක කියන කෙනා අදටත් එළියේ... එ්කට විරුද්ධව කතාකරපු මිනිස්සුන්ටත් අසයි දැන් නඩු.. මේක පුදුම නීතියක්නේ... අැවන්ට් ගාර්ඩ් එක කියන්නේ ඔය හොර අවි ජාවාරම...
අර මාලිගාවත්තේ කඩු, කිනිසි වලට මොකද වුණේ..?
බුද්ධ ශාසනය විනාශ කරන්නේ එය තුළ සිටින අයමයි.
අනේ අගර දඟරටත් ඔය විදිහමද? වේවා...
මම හැමදාම කියනවා වගේ, කිසිම ස්ථාවර ප්‍රතිපත්තියක් නැති නීතිපද්ධතිය නම් දුෂිතයි... ඕනෑම කෙනෙක් බලපත්‍ර නැතුව අවි ළඟ තබා ගැනීම වැරදියි, එ්ත් දෙන දඬුවම් වල ස්ථාවර භාවයක් තිබිය යුතුයි.
සුමන චීවරධාරියා කියන්නේ උපසම්පදාව ලබපු චීවරධාරියෙක්..! ඉතින් මොවුනුත් මේ විදිහට හැසිරෙන කොට, මොකද්ද මෙයාලගේ තියන බෞද්ධකම..? එහෙමත් නැත්තම් කහකඩයක් කරේ දාගත්ත මුඩුක්කු කාරයෝද?
කවුද නඩු තීන්දුව දුන්නේ? හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි.