IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙරිකානු තානාපති මහින්ද එක්ක කතා කළේ මොනවාද ?

ඉඹුල්ගොඩ වීරයා ලෙස විරුදාවලි ලත් හිටපු ඇමැතිවරයකු වූ එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක් ගිය සති අන්තයේ විවෘත වූයේ ඉඹුල්ගොඩ නගරයේය. ප්‍රධාන ආරාධිත අමුත්තා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. එස්.ඩී.ගේ පුත් පණ්ඩු බණ්ඩාරනායක ජනපති මෛත්‍රී පාර්ශ්වය සමඟ සිට මීට මාස හත අටකට ඉහතදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට එක්විය. මේ උත්සවයට ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව, 16 දෙනාගේ කණ්ඩායමේ සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ ද සහභාගි වූවාය. මහින්ද රැස්වීමට එද්දී, ප්‍රසන්න රණතුංග පෙනෙන්නට නොසිටියේ ඒ වනවිටත් විශාල සෙනඟක් රැස්ව සිටි බැවිනි. ‘‘මන්ත්‍රීතුමා අන්න සර් හොයනවා’’ යැයි ප්‍රසන්න සොයා ගෙන ආ මහින්ද ගේ ආරක්ෂක නිලධාරියෙක් කීවේය. අනතුරුව ප්‍රසන්න ගොස් මහින්ද හමු වී එන්න තිබුණු බාධාව ගැන කීවේය.


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් ගිය සති අන්තයේ විජේරාම මාවතේ නිල නිවසට ගොස් හිටපු ජනපති මහින්ද හමුවීම ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළේය.


දෙදෙනාගේ හමුව ගැන මාධ්‍ය හරහා විවිධ ආරංචි පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. අවසානයේ ඒ ගැන පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට පවා මහින්දගේ මාධ්‍ය ඒකකයට සිදුවිය. ඇමෙරිකානු තානාපතිවරයා තව නොබෝ දිනකින් තම සේවා කාලය නිමවා මෙරටින් පිටත්ව යාමට ද නියමිතය. ඔහු ඉරිදා උදේ විජේරාම මාවතේ නිල නිවසට ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවිය.


මේ හමුවට මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර ද එක්ව සිටියේය. පැයකට ආසන්න කාලයක් ඇදී ගිය මේ හමුවේ වත්මන් දේශපාලන තත්ත්වය ද කතා බහ වූ මාතෘකාවකි.


ඉදිරි ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව අකමැති බව තානාපතිවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ යැයි දෙමළ මාධ්‍ය පුවත්පතක් හා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි. එම සාකච්ඡාවට ඇමෙරිකානු තානාපතිවරයා සමඟ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති, කාර්ය මණ්ඩල ප්‍රධානී රොබට් හිල්ටන් ද සහභාගිවී සිටියේය. දෙමළ මාධ්‍ය පුවත්පත හා ඇතැම් මාධ්‍ය වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්තිය දේශපාලන කරළියේ ලැව් ගින්නක් මෙන් පැතිර යද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය එම පුවත ප්‍රතික්ෂේප කළේය. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් ද නිකුත් කරමින් කීවේ එම සාකච්ඡාවේදී එවැනි අදහසක් ගැන කතා බහට ලක් නොවූ බවය.


ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මෙවර පැවැත්වුණේ අඟහරුවාදා හැන්දෑවේය. විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමට දිනේෂ්, විමල්, ගම්මන්පිල, බැසිල් ඇතුළු කිහිප දෙනෙක්ම සහභාගි වූහ. වත්මන් දේශපාලන තත්ත්වය, 16 දෙනාගේ කණ්ඩායම, සුදර්ශනීගේ පරාජය ආදී දේශපාලන කාරණා ගණනාවක් ගැන පක්ෂ නායකයින්ගේ අවධානය යොමු විය. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය කතානායක ධුරයට තරග කර පරාජය වීම ගැන පක්ෂ නායකයින්ගේ විවිධ මත ඉදිරිපත් විය. 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට එකතු කර ගැනීම මෙන්ම ඊට විරුද්ධව ද පක්ෂ නායකයින්ගේ අදහස ඉදිරිපත් විය. ඒ අතරම සුදර්ශනීගේ පරාජය ගැන ද පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් වී තිබිණි.


මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ගැන මතවාදයක් වපුරන්න සමහරුන් උත්සාහ ගනිමින් ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂය කියන්නෙ පක්ෂ කීපයක එකතුවක්. ඒ පක්ෂ අතර විවිධ මතවාද තියෙනවා. ඒ මතවාද කලින් ප්‍රකාශයට පත් වූවාම ඒකාබද්ධ විපක්ෂය බෙදිල කියල ආණ්ඩුව දේශපාලන වාසි ගන්න හදන්නෙ’’ යැයි මහින්ද කීවේ පක්ෂ නායකයින්ට අවවාදයක් ද කරමිනි. අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට පරිස්සම් වෙන්න ඕනැ. අපි අතර විවිධ මත තිබුණත්, අපි හැමදාම තීන්දු ගත්තෙ එකතු වෙලා, සාකච්ඡා කරලයි. ඒ නිසා අපි මේ කාරණා ගැන මීට වඩා කල්පනාකාරි විය යුතුයි යැයි මහින්ද කීවේය.


රෝහිත අබේගුණවර්ධන කතා කළේ ද 16 කණ්ඩායම ගැනය. ‘‘ආණ්ඩුවෙන් එළියට ආ 16 කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයට උදව් කරනවා කියලයි, තවත් සමහරු කියනවා පොහොට්ටුවේ ඡන්ද ටිකක් අරගෙන මෛත්‍රී ගාවට යනව කියලා. අපි ඒ අය එනවට විරුද්ධ නැහැ. හැබැයි එනව නම් සියලු දෙනාම එක මතයක් ප්‍රකාශ කරන්න ඕන යැයි රෝහිත කීවේය. රෝහිතගේ අදහස අනුමත කරමින් කුමාර වෙල්ගම කතා කළේය. ඒ කතාව නම් ඇත්ත. කවුරු වුණත් එනව නම් ඒකාබද්ධය සමඟ එකතු වෙන්න ඕනෑ යැයි වෙල්ගම කීවේය. මහින්ද කීවේ 16 දෙනාගේ කණ්ඩායම ඇතුළෙත් ඔය ප්‍රශ්නය සාකච්ඡා කෙරෙමින් තිබෙන බවය.


අනතුරුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා කතා කළේය. 16 කණ්ඩායමේ හතර පස් දෙනෙක් අපට එකතු වෙන්න සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න ඕනෑම කෙනකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් යැයි බැසිල් කීවේය.


මහාචාර්ය ජී.එල්. පීරිස් කීවේද බැසිල්ගේ අදහසමය. ‘‘අපේ නායකයා විදියට අපි පිළිගන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයයි. ඒ නිසා අපට එකතු වෙන අයත් ඒක පිළිගන්න ඕන, එහෙම නැතිව මෙතනට ඇවිත්, මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගමනක් යන්න හදන අයට අපි ළඟ ඉඩක් නැතැ’’ යි ජී.එල්. කීවේය. මේ තර්ක විතර්ක යද්දී විමල් වීරවංශ නැගී සිටියේය. දැන් ඔය කියන්නෙ අපි 16 දෙනා නොපිළිගත යුතුයි කියල දැයි විමල් වීරවංශ ඇසුවේය. විමල්ට උත්තර දුන්නේ වෙල්ගමය. එනව නම් අපේ කණ්ඩායමත් එක්ක ඉන්න ඕන, හොරෙන් ඩීල් දාගෙන දෙපැත්තෙ කකුල් තියාගෙන ඉන්න බැහැ’’ වෙල්ගම කීවේ දීර්ඝ විස්තරයක් කරමිනි. 16 දෙනා ගැන ගම්මන්පිල ද අදහස් දැක්වීය. ඔහු කීවේ ආණ්ඩුව පෙරළීමට 16 දෙනාගේ කණ්ඩායමේ සහාය ද අත්‍යවශ්‍ය බවය.


අනතුරුව මහින්ද කතා කළේය. ඔහු කීවේ ‘‘අපි හැමෝටම ඕන ආණ්ඩුව පෙරළන්න. ඒකට අනෙක් අයත් එකතු කරගන්න ඕන. හැබෑ වුවමනාවක් ඇතුව අපිත් එක්ක එකතු වෙන අය විතරයි අපි එකතු කර ගන්න ඕන’’ යැයි මහින්ද කීවේය.

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ හා ජනරැලි මාලාවක් පැවැත්වීම ගැන ද එහිදී සාකච්ඡා විය. උද්ඝෝෂණ සංවිධානය පැවරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ජනරැළි පැවැත්වීම ඒකාබද්ධයට පැවරිණි.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්දා උදේ පාන්දර මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ පන්සලක උත්සවයකට සහභාගි විය. ඒ ජපන් රජයේ පරිත්‍යාගශීලින්ගේ ආධාරයෙන් විහාරස්ථානයේ ඉදිවන මහල් 17කින් යුත් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම වෙනුවෙනි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ හිටපු ජනපති මහින්ද හා ජපානයේ හිටපු අගමැති මහාචාර්ය යුකියො හතොයාම යන දෙදෙනාය. ඇමැතිවරුන් වන තිලක් මාරපන, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම් හා හිටපු අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ද ඊට එක්ව සිටියහ. උත්සවය සංවිධානය කර තිබුණේ ආචාර්ය සුදුහුම්පොළ විමලවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙනි. ජපානයේ හිටපු අගමැතිවරයා එනතෙක්, මහින්ද, මාරපන, වජිර හා බන්දුල සමඟ දේශපාලන කරුණු කාරණා ගැන කතා බහක යෙදී සිටියේය. එම උත්සවය ජපන් භාෂාවෙන් මෙහෙයවනු ලැබුවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි.


උත්සවය අවසානයේ බන්දුල ජපානයේ හිටපු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ද කැඳවා ගෙන ගියේය. කලින් දැනුම්දීමකින් තොරව, ජපන් හිටපු අගමැතිවරයා එහි ගොස් විනාඩි 10ක් පමණ එහි ළමයින් හා ආචාර්ය මණ්‍ඩලය සමඟ ගතකළේය. එදින හිටපු අගමැති මහාචාර්ය හතොයාම, මහින්ද සමඟ දවල් කෑමට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයට ද පැමිණියේය.


ප්‍රාදේශීය රැස්වීමකට යන අතරතුර හිටපු ජනපතිවරයා අපූරු සිද්ධියකට මුහුණ දුන්නේය. සමෘද්ධි නිලධාරීන් දෙදෙනෙක් මහින්ද රාජපක්ෂ මහතාට ආචාර කළහ. එහිදී ඔවුන්ට ආශිර්වාද කළ හිටපු ජනාධිපතිවරයා අපූරු සිද්ධියක් හෙළි කළේය. ‘‘කුරුණෑගල සමෘද්ධි නිලධාරිනියකට මාරුවීමක් හදල දෙන්න කියල මගෙන් ඉල්ලීමක් කළා. මම ඒක දැන් 16 දෙනාගේ කණ්ඩායමේ එදා හිටපු ඇමැතිවරයාට යොමු කළා. සමෘද්ධි නිලධාරිනිය මාරු කරනව වෙනුවට ඇයගේ වැඩ තහනම් කරලා තිබුණා’’ හිටපු ජනපතිවරයා පැවසුවේ එහි සිටි අය මවිත කරවමිනි.



අදහස් (0)

ඇමෙරිකානු තානාපති මහින්ද එක්ක කතා කළේ මොනවාද ?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 177 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site