IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අවසන් මොහොතේත් එජාපය මත ගැටුමේ

ඉන්දියාවේ හින්දු පුවත්පත එරට ජාත්‍යන්තර භූමිකාව සම්බන්ධයෙන් සංවිධානය කළ සමුළුවට ආරාධනා ලැබූ එජාප නායකයා එහි දෙවැනි දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වීය. සමුළුව විවෘත කළේ ඉන්දියානු ජනපති විසිනි.


දින හතරක අවකාශයක් සජිත් පිලට දුන් එ.ජා.ප නායකයා තමා සියරට පැමිණෙන විට සන්ධානය හා ලකුණ මෙන්ම ව්‍යවස්ථාවට අදාළ කරුණු නිමකර තබන ලෙස දැනුම්දී තිබිණ.


ඉහත කරුණු සම්පූර්ණ නොවුනහොත් ලංකාවට පැමිණි පසු නායකත්ව බලතල යටතේ සියලු තීන්දු ගන්නා බවද අඟවා තිබිණ. එහෙත් අවශ්‍ය කරුණු ඒ මහතා සිය රට පැමිණෙන විටද සපුරා නොතිබුණ බවට ආරංචි පළවිය.


විපක්ෂ නායක සජිත් හා සන්ධාන මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර බදාදා එ.ජා.ප නායකයාගේ නිවසට පැමිණියේ ඒ අතරතුරය.


“සමගි ජන බලවේගයේ සමාරම්භක උළෙල මාර්තු 02 වැනිදා නෙළුම් පොකුණේ දි පවත්වනවා. ඔබතුමාටත් ආරාධනය කරන්නයි ආවේ.” විපක්ෂ නායකයා කීවේය.
“මා එන්නම්. ඒත් හැමදේම නිල වශයෙන් වෙන්න ඕනෑ. සන්ධානය, එහි ලකුණ හා ව්‍යවස්ථාව සුදානම්ද? ඒවාට කෘත්‍යධිකාරියේ අනුමැතිය ගන්න ඕනෑ.” නායකයා කීවේය.
“ඒ කටයුතු වේගයෙන් වෙනවා.” විපක්ෂ නායක හා මද්දුම බණ්ඩර පිළිතුරු දුන්හ.


“එහෙම නම් මා වහාම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරන්නම්. එතනදි අනුමත කර ගනිමු.” එජාප නායකයා කීවේය.
වෙනත් ආරංචි මාර්ග කියා පාන්නේ සන්ධානයේ ලකුණ ගැන විපක්ෂ නායක හා රවි කරුණානායක අතර සාකච්ඡා තවමත් නිම වී නැති බවය. එමෙන්ම එ.ජා.ප නායකයා හා විපක්ෂනායක යන දෙදෙනා එකමුතුව පත්කළ ව්‍යවස්ථාව තැනීමේ නීතිඥ මණ්ඩලයේ කටයුතුද නිමවී නැති බවය. ඒ කටයුතු ශීග්‍රයෙන් නිමවෙමින් තිබෙන බවද ඒ ආරංචි මාර්ග කියාපායි.


බ්‍රහස්පතින්දා පෙරවරුවේ එ.ජා.ප නායක සිරිකොතට ගියේ රාජකාරි ඉටු කිරීමටය. පැමිණ සිටි බොහෝ දෙනෙකු සමග ද එජාප නායකයා කතා බහ කළේය.
“මේ වැඩ දැන් අත ගගා ඉන්න වෙලාව නැහැ. පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවාවි.”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ දැඩි ස්වරයෙනි.
“ඇත්ත එයාලගේ වගකීම් කඩිනම් කරන්න ඕනෑ. රවි හංසයා දෙන්නත්, පක්ෂයේ නම මාරු කරන්නත් කැමතියිලු. ඒ පක්ෂයට බැදිලා හරි මේක ඉවර කර ගන්න ඕනෑ.” නායකයා කීවේය.


“විපක්ෂ නායකගේ කණ්ඩායම නොනිල විදියට යමක් කරන්න උත්සාහ කරන එක හරි නැහැ. ජනමාධ්‍ය වලින් විතරක් මේක කරන්නත් බැහැ.” එ.ජා.ප නීති නිලධාරියෙක් කීවේය.
“දැන් නායකතුමා කොළඹින් ඡන්දය ඉල්ලනවද? විපක්ෂ නායකතුමාත් කොළඹින් එනවා කියා ආරංචියි.” චම්පිකා ප්‍රේමදාස ඇසුවේය.
“මා ඉල්ලනවා. අවසන් තීන්දුව තාම නැහැ. සජිත් කොළඹින් එන බව අපට කියා නැහැ. ජනමාධ්‍ය හරහා විතරක් එහෙම කරන එක එයාටත් හොඳ මදියි. නොමිනේෂන් බෝඞ් එක තමයි, සජිත් ගැන අවසන් තීන්දුව ගන්න ඕනෑ.” නායකයා කීවේ සැහැල්ලුවෙනි.


”කතානායක කරු ජාතික ලැයිස්තුවත් ඉල්ලුවේ නැහැ කියා කියන්නේ ඇයි.?” දයා ගමගේ ඇසුවේ එජාප නායකයාගෙනි.
”ඒක ඇත්තයි. කරුත් තරඟ කරන්න හිතාගෙන ඉන්න හැඩයි. මා මීට පෙර කොළඹට එන්න කියා සජිත්ට කිව්වා. ඒ වෙලාවේ අදට වඩා එයාට කොළඹ ගැම්ම තිබුණ නිසයි ආරාධනා කළේ. ඒත් ආවේ නැහැ.”, එ.ජා.ප නායකයා පිළිතුරු දුන්නේය.


”ආණ්ඩුව සවුත්තු වෙනවා. වර්ජන රැල්ල රට පුරා යනවා. ඒවා වැඩ කරන ජනතාවගෙන්ම ආපුවා මිසක් අප ආණ්ඩුවේ ඉන්න විට පොහොට්ටුවෙන් කරපුවා වගේ තිරෙන් පිටුපස ඉඳන් කරන ඒවා නොවෙයි. රණවිරුවොයි, ගුරුවරුයි, රැකියාවෙන් දොට්ට දාපු දහස් ගණනකුයි, මහ පාරේ.” දයා ගමගේ කීවේය.
“ජිනීවාවල අත්සන් කළාට පසු වසර දෙකක් යනකම් ඉවත් වෙන්න බැහැ. අප කළේ මහින්ද රාජපක්ෂ බෑන් කී මූන් සමග එකඟ වූ දේ ඉදිරියට​ ගෙනියන එකයි රණවිරුවොයි බේරපු එකයි. ඒත් මේ ආණ්ඩුව ජිනීවාවල ආපහු සවුත්තු වෙනවා.


“අතුරුදහන් වූ අය හා ඝාතනය වූ මාධ්‍යවේදින් ගැන හොයන එක ඕනෑම ආණ්ඩුවක වගකීමයි. ලංකාවෙදි සිංහල-බෞද්ධ රටක් කියා මර හඬ දීපු දිනේෂ් ආණ්ඩුවේ ස්ථාවරය හැටියට ජිනීවාවලදි කිව්වේ ලංකාව බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික, බහු භාෂාමය රටක් කියලයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“ඔබතුමාට විරුද්ධව ප්‍රචාරය වෙච්ච මඩ වීඩියෝව මොකක්ද? චම්පිකා ප්‍රේමදාස ඇසුවේ නවීන් දිසානායකගෙනි.
“ඒ තරුණ ව්‍යාපාරිකයා ආණ්ඩුවට ලක්ෂ එක හමාරකට වඩා ගෙවනවා. මාස තුනක දැනුම් දීමක්වත්, උසාවි නියෝගයක්වත් නැතුවයි එයාගේ අනාගතය විනාශ කළේ. මා දිගටම එවැනි අසාධාරණකම්වලට විරුද්ධව පෙනී ඉන්නවා.”, නවීන් දිසානායක කීවේ හැගීම් බරවය.


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතිය පුරාම සමගි ජන බලවේගය හා සම්බන්ධවන පක්ෂ හා සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීය. ඒ අනුව ඔහු ගිය සඳුදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයද හමුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ආසන සංවිධායකවරු ගණනාවක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
මෙම සාකච්ඡාවේදී සජිත් පැමිණ සිටි සියලු දෙනාගේම සහාය ඉල්ලා සිටියේය. මෙම කණ්ඩායමට ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂ සංවිධානයක් වශයෙන් සමගි ජන බලවේගයට සහාය දැක්වීමේ හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
පැමිණ සිටි සියලු දෙනාටම අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයට කුමන බාධක ප්‍රශ්න ඉදිරිපත් වුවත් මහ මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය ලබන බවය.


මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා ගාලු පාරේ පිහිටි ස්විමිං ක්ලබ්හිදී තම හිතවාදී මන්ත්‍රී පිරිසක්ද හමුවිය. රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, හරින් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, ඉමිටියාස් බාකිර්මාකර්, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ඇතුළු සමීප හිතවත්තු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
එහිදී මූලික කරුණු කීපයක් පිළිබඳව එකඟතාවකට පත්ව ඇත.

 

 


සමගි ජන බලවේගය (සඳුදා) ජන ගත කිරීම
සමගි ජන බලවේගයට සහාය දක්වන දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ වෙන වෙනම ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම.
නාම යෝජනා සඳහා අයැදුම්පත් කැඳවීම
මැතිවරණ සැලැස්ම සැකසීම


මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීම ආදිය වේ.


මෙහිදී මැතිවරණ ව්‍යාපාරය ගැන සැලැස්ම පිළියෙල කිරීමට මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් විය. මෙම කටයුත්ත සඳහා වෙනමම පුද්ගලයකු සිටිය යුතු නිසා හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලෙන් මැතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම ගැනද කතා බහ කෙරිණි.


මැතිවරණ කමිටුවක්ද මෙහිදී පත් කරනු ලැබූ අතර තිස්ස අත්තනායක මහතා ප්‍රධාන ඉමිටියාස් බාකිර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, හරින් ප්‍රනාන්දු යන මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වෙති.


මෙහිදී පක්ෂයේ ලාංඡනය ගැනද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ‘හංසයා’ ලකුණ නොලැබුනහොත් ඒ සඳහා විකල්ප අදහසක සිටිය යුතු බව තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේය. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ‘මට විකල්පයක් තියෙනවා. කොහොමටත් මැතිවරණ කොමසාරිස් අපට මොකක් හරි ලකුණක් දෙන්න එපායැ. අඩු ගානේ පොල්ගහ ලකුණ හරි දෙන්න එපායැ. එන දේත් එක්ක අප ඉදිරියට යමු’ යනුවෙනි.


මේ මැතිවරණය පුරාම අපි මූලිකව කළ යුතු දේ තමයි විනයක් ඇතිව වැඩ කිරීම. කිසිම වෙලාවක මඩ දේශපාලනයට යොමු වෙන්න එපා. ඒ වගේම කරුණු කාරණා හරියට අරගෙන කතා කරන්න සජිත් සිය කණ්ඩායමට කීවේය.


‘අපි ඉතාම ඉක්මනින් සංවිධානය වෙන්න ඕනෑ. රටේ ප්‍රශ්න වැහි වැහැලා. රැකියාවලින් එළියට දාපු අයගේ විරෝධතාවයේදීත් ළමයි අසනීප වෙලා
එහෙම කීවේ අජිත් පෙරේරාය.


‘සාමාන්‍යයෙන් දවසකට පිකටින් 9ක් තියෙනවා. රටේම ප්‍රශ්න. මිනිස්සු ජීවත්වෙන්නේ අමාරුවෙන්. ඒ මදිවට අපචාර වැඩිවෙලා. විපක්ෂය හැටියට මහ පාරේ සටන පටන්ගන්න කාලේ හරි.’


හරින් ප්‍රනාන්දු කීවේය.


‘ආපහු රණවිරු උද්ඝෝෂණය පටන් අරගෙන. ඒ විතරක් නෙවේ එයාලගේ උපවාස කරපු අට්ටාලය කඩා දාලා, රණවිරුවෝ එළියට ඇදලා දාලා’
මන්ත්‍රීවරයෙක් සජිත්ට කීවේය. වහාම ඒ පිළිබඳව සොයා බලන්නටද සජිත් කටයුතු කළේය.


‘මේවා මානුෂීය ප්‍රශ්න. එදා ජනාධිපතිවරණේ වෙලාවේ මේ රණවිරුවෝ උපවාස කරද්දී මම එතැනට ගිහින් තත්ත්වය පැහැදිලි කරලා ඒ උපවාසය නතර කළා. නමුත් ඒ වෙලාවේ මම යනකම් ඉදලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිත් එතන මාධ්‍ය සංදර්ශනයක් තියලා දේශපාලන වාසි වෙනුවෙන් ඒ අවස්ථාව පාවිච්චි කළා. සති 13ක් අයවැයක් ගේන්නේ නැතිව මේ ආණ්ඩුව ප්‍රශ්නවලින් දමලා ගහනවා. සජිත් දීර්ඝව කරුණු පැහැදිලි කළේය.


පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශ්වවිද්‍යාල ප්‍රවීණයින් පිරිසක් හමුවිය. දෙසීයකට ආසන්න පිරිස හමුවී කාලීන දේශපාලන තත්ත්වයන් පිළිබඳව පුළුල් වශයෙන් කරුණු හුවමාරු කරගන්නට ඔහුට හැකිවිය. නව සන්ධානය පිහිටුවීමත් එයින් බිහි කරන ඉදිරි ආණ්ඩුවකදී වෘත්තීය වේදීන්ගෙන්, උගතුන්, බුද්ධිමතුන්ගෙන් සේවය ලබා ගන්නා බවත් බුද්ධි මණ්ඩලයක් කෙරෙහි අවධානය යොමුව ඇති බවත් සජිත් කීවේය.


මීට අමතරව මන්ත්‍රීවරුන් අතර හමුවකදී සිය ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු පැහැදිලි කළ සජිත් කියා සිටියේ සමාජයේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් සවිබල ගන්වමින් ඔවුන්ට එක් විය හැකි තැනක් බවට නව සන්ධානය පත් කළ යුතු බවය. අපිට සම්ප්‍රදායික පක්ෂයක් හරි, සම්ප්‍රදායික විපක්ෂයක් හරි හදලා වැඩක් නෑ. අපි නවීනත්වය එක්ක ගනුදෙනු කරන ජනතාවාදී බලවේගයක් විය යුතුයි. සජිත් සිය කණ්ඩායමට කීවේය.’ මට ඩීල් දේශපාලනයක් නෑ. ජනතාවගේ ප්‍රශ්න තියෙන්නේ කොතනද, එතන අපි ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ?


මේ අතර සජිත් සිය මැතිවරණ මෙහෙයුමට අදාළ උපායශීලී ක්‍රියා මාර්ග දිනෙන් දින ක්‍රියාවට නංවමින් සිටී. ඒ අනුව ඔහු ඉකුත් සතියේ විශේෂ කටයුත්තකට මුල පිරුවේය. ඒ දිනපතාම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමය.


විපක්ෂ නායක කාර්යාලයේ දිනපතා පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව එලෙසම සිදුවන අතර ඊට අමතරව පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන ප්‍රවෘත්ති සාකච්ඡා මාලාව ආරම්භ විය. එහි දෙවෙනි දිනයේ විශේෂත්වය වූයේ සමගි ජන බලවේගයට සහය දෙන්නට අමුත්තෙකුද පැමිණ සිටීමය. ඔහු ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක ය.


ඔබතුමාලගෙ සන්ධානෙ ලකුණ මොකක්ද? මාධ්‍යවේදියෙක් විමසා සිටියේය. කලබල වෙන්න එපා. සියල්ල හොඳින් නිසි කලට වෙයි සජිත් උත්තර දුන්නේය.


සමගි ජන බලවේගයට තවත් කණ්ඩායමක් එක්වූයේ ඉකුත් 26දාය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් ඇතුළු දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳ ගත්හ. මේ මාතෘ භූමියට අපි අසීමිතව ආදරේ කරනවා. අපි දේශහිතෛෂී තමයි. අපි ප්‍රගතිශීලීයි තමයි. අපි පිරිසුදු බුදු දහම පිළිපදින අය තමයි. ඒ එක්කම කිව යුතුම දේ තමයි අපි ජාතිවාදි නෑ. අපි ආගම්වාදී නෑ. අපි අන්තවාදී නෑ. අපි සෑම ආගමකටම සෑම ජාතියකටම ගරු කරනවා. එයාලගේ නිදහස පිළිගන්නවා. සජිත් ඒ අවස්ථාවේදී එහෙම කීවේය.


කතානායක කරු ජයසුරිය මහතාගේ ජීවන තොරතුරු හා දේශපාලන අත්දැකීම් පාදක කර ගනිමින් සම්පාදනය කෙරුණු ජීවන චරිතාපදාන කෘතිය පසුගිය බ්‍රහස්පතින්දා ජනගත කෙරුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.


දශක තුනකට ආසන්න දේශපාලන ලෝකයේ විවිධ හැලහැප්පිලිවලට මුහුණදුන් ආකාරය පොතේ සඳහන් වුවද දේශපාලනඥයින් කිසිවකුටත් ඇරයුම් නොකර වෙනස්ම ආකාරයේ උත්සවයක් ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණේ කරු ජයසුරිය මහතාගේම අදහසක් අනුවය.


ඒ අනුව ප්‍රධාන වශයෙන් පොත පිරිනැමුණේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් වෙතයි.


ඊට අමතරව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ කරු ජයසුරිය මහතාගේ පුද්ගලික හිතවතුන් සීමිත පිරිසකට මේ සඳහා ඇරයුම් කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණි.

 

-ගජබා-



අදහස් (0)

අවසන් මොහොතේත් එජාපය මත ගැටුමේ

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site