ගෙවුණු සතියේ අගමැතිවරයා ඉතා සාර්ථකව උතුරේ සංචාරය නිම කළේය. රුපියල් කෝටි ගණනක සංවර්ධනයක් ජනතා අයිතියට පැවරුවා පමණක් නොව තවත් කෝටි ගණනක සංවර්ධන ව්‍යාපෘති සඳහා ආරම්භයද ලබා දුන්නේය.


“එංගලන්තය ලෝක ක්‍රිකට් කුසලානය දිනුවා. ඒ කණ්ඩායමේ නායකයා, අවසන් තරගයේ වීරයා හා සුපිරි ඕවරය යැවූ කෙනාත් එංගලන්තෙට සංක්‍රමණය වූ විදෙස් අයයි. ලංකාවේ එහෙම වුණා නම් කැප්ටන්කමවත්, සුපිරි ඕවරය යවන්නවත් ඒගොල්ලන්ට ඉඩදෙන්න බැහැ කියා වීරවංශ, ගම්මන්පිල, රතන හිමි ඇතුළු අය පිට්ටනිය මැද උපවාස කරාවි.
“වසර දහස් ගණනක් එකට ඉන්න මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අය අතර ප්‍රශ්න ඇති කරන අය එංගලන්ත ක්‍රිකට් පිලෙන්වත් ආදර්ශ ගන්න ඕනෑ.” අගමැතිවරයා යාපනයේදී කීවේ උණුසුම් ජනතා ප්‍රතිචාර මැදය.


බදාදා සවස රන්ජන් රාමනායක අගමැතිවරයා හමු වූයේ කැඳවීමට අනුවය.


“ඔයා මේ මොනවද කියන කතා? රටේ භික්ෂූන් වහන්සේලාට පොදුවේ ප්‍රහාර එල්ල කරන එක වැරදියි. එජාප ස්ථාවරයට පිටින් ගිහින් පොදුවේ උන්වහන්සේලාට දොස් පැවරීම අනුමත කරන්න බැහැ. ඔබ මේ සිද්ධිය ගැන නිදහසට කරුණු කියන්න ඕනෑ” අගමැතිවරයා තදින් කීවේය.



“මා කියපු දේ විකෘති කර ගෝඨාභයගේ මීඩියා ටීම් එක නැති අවුලක් ඇති කළා” යයි කී රන්ජන් සිය සම්පූර්ණ කතාවේ පටිගත දර්ශන මාලාව අගමැතිවරයාට පෙන්වීය.
“ඒවා කොහොම වුණත් පොදුවේ මහා සංඝරත්නය අපහසුතාවට පත් කරන්න ඔබට අයිතියක් නැහැ. විවිධ සංඝයා වහන්සේලාගේ ක්‍රියාකාරකම් ගැන පෞද්ගලිකව විවේචනය කිරීමේ යම් අයිතියක් තිබෙනවා. උන් වහන්සේලා නීති විරෝධී වැඩ කරයි නම් ඒ ගැන මහානාහිමිවරුන්, ලේඛකාධිකාරීවරුන්ට පමණක් නොව පොලීසියට වුණත් පැමිණිලි කරන්න පුළුවනි. ඒත් පොදුවේ භික්ෂූන්ට මෙවැනි ප්‍රහාර දියත් කිරීම මා අනුමත කරන්නේ නැහැ” අගමැතිවරයා ප්‍රතිචාර දැක්වූයේ එසේය.


“සියයට 99 ක් වූ සිල් රකින, ජනතාව නිසි මඟට ගැනීමට මඟ පෙන්වන සැබෑ ස්වාමීන් වහන්සේලා ගැන මා කතා කළේ නැහැ. ඔබතුමා කියනවානම් අනිත් සියළුම ගෞරවනීය හිමිවරුන්ගෙන් මට සමාව ගන්න පුළුවනි” රන්ජන් රාමනායක කීවේය.


“සුදුසු දේ කරන්න. මින් පසුවවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න එපා. එහෙම වුණොත් පක්ෂය ලෙස දැඩි තීන්දුවලට යන්න වේවි.” අගමැතිවරයා දැඩි අවවාදයක් කළේය.
බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේදී සුපුරුදු මැති-ඇමති හමුව පැවතියේ ගෙවුණු සතියේ කටයුතු සමාලෝචනය කිරීමටය.


“විශ්වාසභංගේදී එළුවගේ මොකක්ද වැටෙනකන් හිටිය වගේ සමහරුන් මේ පාරත් ආණ්ඩුව වැටෙනකන් බලන් හිටිය. ඒත් මේ පාරත් ඡන්ද 119 ඒ විදියටම ලැබුණා. විපක්ෂයේ ඡන්ද අඩු වුණා. විපක්ෂයේ 11 දෙනෙකු ඡන්දයට ගෙන්න ගන්නත් එයාලට බැරි වුණා. ඒ බොහෝ අය සහ අප අතර සංවාදය ඉතා හොඳින් යනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“දින 52 හොර ආණ්ඩුවට විරුද්ධව ගේම දුන්නු විදියටම විශ්වාසභංගය බැලන්ස් කර ගන්න අගමැතිතුමා පාර්ලිමේන්තු කාමරෙන් පිට නොවී දීපු ගේම් එක අති විශිෂ්ටයි”, නවීන් දිසානායක කීවේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.


“මරණ දඬුවමට එජාපෙ විතරක් නොව මහින්දලත් විරුද්ධයි. ඒත් අපේ සමහරුත් ඒකට පක්ෂ වීම ටිකක් අවුල්” චමින්ද විජේසිරි කීවේය.


“මරණ දඬුවම ආවොත් ජී.එස්.පී. ප්ලස් නැතිවෙලා, මත්ස්‍ය තහනම ආපහු ඇවිත්, සංචාරකයොත් අඩුවේවි කියන එක තානාපති අංශවල මතයයි. මේක තේරුම් ගත්ත නිසයි, මහින්ද රාජපක්ෂත් මරණ දඬුවමට විරුද්ධයි කියනවා ඇත්තේ.” නවීන් දිසානායකගේ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.


“පිටරටවල මරණ දඬුවම දීමෙන් මත් උවදුර මැඩලන්න බැරි වූ නිසයි, ඔවුන් විකල්පවලට ගියේ. හිරගෙවල් වෙනුවට උද්‍යාන සිර කඳවුරු ඇති කර මනස හදනවා වගේම ඔවුන්ගේ කුසලතාවන් පෝෂණය කරන වෘත්තීය පුහුණු දීම වගේ දේවලුයි, ලෝකයේ දැන් කෙරෙන්නේ.” ලක්ෂ්මන් කිරිඇල්ලගේ විග්‍රහයටද කාගේත් එකඟත්වය පළවිය.


“කිරිඇල්ල ඇමතිතුමා නාවලපිටියේදී ඉතිහාසයට අදාළ වැදගත් ප්‍රකාශයක් අගමැතිතුමා ඉදිරිපිටදී කර තිබුණා. ඉතිහාස පාඩම අපේ විෂයපථයෙන් ඉවත් කිරීම නොසුදුසු බව මගේත් මතයයි”, හේෂා විතානගේ කීවේය.


“සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ඉන්දියාවේ ඉඳලයි ආවේ. සිංහල අය ටිකක් කලින් ආවා. එහෙම කියා අනිත් මිනිස්සු යටපත් කරන එක නරකයි.


“මුස්ලිම්වරුත් කුළුබඩු වෙළඳාමට ආවත් ගෑනු ගෙනාවේ නැහැ. මෙහේ ගෑනුයි, ගත්තේ. වෙරළ තීරයේ හිටපු මුස්ලිම්වරුන් ඕලන්ද කාරයො එළෙව්වාම මහනුවර හිටපු සෙනරත් රජුයි, ඔවුන් නැගෙනහිර පළාතෙ පදිංචි කෙරෙව්වේ.”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“විවිධ බලවේග ආණ්ඩුව ජනතාවට සහන දෙනවාට විරුද්ධව උසාවි යනවා. කකුලෙන් අදිනවා. ඒත් ඉඩම් ඔප්පු බෙදා දීම නාවලපිටියේ වගේම රට පුරාම අප කරනවා. ඉඩම් අයිතිය ඉල්ලා දැන් මිනිස්සු පාරටත් බහින්න පටන් අරන්”, අගමැතිවරයා කීවේ මද සිනහවක්ද සමගිනි.


“මල්වතු අස්ගිරි පාර්ශ්ව රජ කාලේ ඉඳලම සුළු ජාතීන්ට සලකන හැටි පෙන්නා තිබෙනවා. නරේන්ද්‍රසිංහ කියන මහනුවර රජු මැරුණම රජකමට පුතෙකු හිටියේ නැහැ. ඒත් ඔහුට දාව උණහමුවේ කුමාරිහාමිට උණහමුවේ බණ්ඩාර කියා පුතෙකු හිටියා. ඒ වගේම විජයරාජසිංහ කියා නරේන්ද්‍රසිංහ රජුගේ දෙමළ බිරිඳගේ සහෝදරයෙකු මල්වතු විහාරයේ හැදී වැඩුණා.


“ඇමැති මණ්ඩලය කිව්වේ උණහමුවේ බණ්ඩාරට රජකම දෙන්න කියා වුණත් මල්වතු අස්ගිරි පාර්ශ්ව රජකම දුන්නේ බුදු දහමට වඩාත් ආදරය කරන විජයරාජසිංහ කියන දෙමළ කුමාරයාටයි.”, ලක්ෂ්මන් කිරිඇල්ල යළිත් ඉතිහාසය සිහිපත් කළේ කාගේත් ආකර්ෂණය මැදය.


“මුස්ලිම්වරුන් එපා කියා රතන හිමි උපවාස කරනවිට මුස්ලිම්වරුන්ට යළිත් ඇමැතිකම් භාර ගන්න කියා මල්වතු-අස්ගිරි පාර්ශ්ව කියන්න ඇත්තේ අතීත සම්ප්‍රදාය අනුව වෙන්න ඕනෑ” මහාචාර්ය ආශු මාරසිංහ කී දේ සියලු දෙනා අනුමත කළහ.


“එක පාරටම රුපියල් 8ක් වගේ වැඩි මුදලකින් පිටි මිල ඉහළ දාන්න කොම්පැනි තීන්දු කිරීම ජනතාවට එක පාරට පටවපු බරක්. ඒකට ඉඩ දෙන්න බැහැ.” පසුපෙළ නියෝජනය කරන චමින්ද, හේෂා හා ආශු එක්වරම අගමැතිවරයාට කීවේ දෝෂාරෝපණ ස්වරූපයෙනි.


“ඒක හරි. ඒත් මෙතන පැහැදිලි කරගත යුතු යථාර්ථයකුත් තිබෙනවා. ලෝක මිල අනුව කාලයක් තිස්සේ සමාගම් සුළු මිල වැඩිවීම් ඉල්ලුවද ආණ්ඩුව ඒකට ඉඩ දුන්නේ නැහැ. ජීවන වියදම් අනු කමිටුව මේක බ්ලොක් කරගෙන හිටියේ ජනතාව ගැන හිතලයි. ඒත් කොම්පැණිවලටත් මේක දරා ගන්න බැරි යම් සීමාවකට ඇවිත් කියලයි, ඔවුන් පෙන්වා දෙන්නේ.”
“එත් ආණ්ඩුවේ අනුමැතිය නැතුව කොම්පැණිවලට තීන්දු ගන්න බැහැ. සමබරව මේ දෙපැත්තම බලා තීන්දුවට එන්න වෙනවා.”, අගමැතිවරයා පැහැදිලි කළේය.


“මරණ දඬුවමට එරෙහි යෝජනාව බන්දුලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ස්ථාවර නියෝග 2 ක් අත්හිටුවලයි. එහෙම වුණාම කෙළින්ම ඊට අදාළ ගැසට් එක ගහන්න පුළුවනි.


“මේක රටේ අනාගත සුරක්ෂිතභාවය ගැන හිතා කළ වැඩක් වනවා. එහෙම නොවුණොත් යළිත් ජී.එස්.පී, මත්ස්‍ය ප්‍රශ්න හා ත්‍රස්ත විරෝධී ජාත්‍යන්තර තාක්ෂණික සහායත් අපට නොලැබී යන්න පුළුවනි.” නවීන් දිසානායක කීවේ ජාත්‍යන්තර පසුබිම උලුප්පා දක්වමිනි.


ගොඩනැගිලි පහසුකම් නොමැතිකමින් ගස් යට පංති පවත්වන ඌන සම්පත් සහිත විහාරස්ථානවල දහම් පාසල් ගොඩනැගිලි 800ක් ඉදිකර දීමේ වැඩසටහන යටතේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉකුත් සතියේ ඉතා අවිවේකයෙන් පසුවිය. කඩුවෙල, හෝමාගම, කැස්බෑව, මිරිහාන, රත්මලාන, බොරලැස්ගමුව යන ප්‍රදේශවල දහම් පාසල් ගොඩනැගිලිවලට මුල්ගල් තැබීමේ අවස්ථාවට සජිත් පෞද්ගලිකවම සහභාගි විය. මිරිහාන පාරමිතා විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා සහභාගි වුණේ සජිත්ගේ විශේෂ ඇරයුම පරිදිය. “ඇමැතිතුමා මේ වැඩපිළිවෙළ මීට අවුරුදු හතර හමාරකට කලින් පටන් ගන්න ලැබුණා නම් කොච්චර හොඳද?” කියා විහාරාධිපති හිමිනමක් විමසද්දි සජිත් කීවේ “සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අපට ලැබුණේ මීට මාස 7 කට විතර කලින්. ඊට පස්සේ පටන් ගත්තු මේ වැඩපිළිවෙළ අපි දැන් දීප ව්‍යාප්තව කරගෙන යනවා. සමහරු ගරුතර මහා සංඝයා වහන්සේලා මඟහැරලා හිතුමතේ වැඩ කරන්න උත්සාහ කරනවා. මම වැඩ කරන්නේ මට හිතෙන හිතෙන විදියට නොවෙයි. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය, මඟපෙන්වීම අනුවයි. ඒ නිසා තමයි මේ වගේ දැවැන්ත ශක්තියක් අපට ලැබිලා තිබෙන්නේ” කියාය.
සූරියවැව ජාතික පාසලේ ඉදිකෙරෙන පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීමට ගිය සජිත්ට දෙමාපියන් කීවේ “පහුගිය කාලයේ නම් මේ ඉස්කෝලේ දියුණුවට මෙලෝ වැඩක් වුණේ නෑ” කියායි. ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටියත් මෙම පාසලේ කැපී පෙනෙන කැඩේට් භට කණ්ඩායමක් සිටිති. ඉගැනුම ලබන ළමුන්ගේ දෙමාපියන් බොහෝ දෙනෙකු ගොවිතැනින් දිවි ගැට ගසා ගන්නා අහිංසක ගැමියෝයි. සජිත් පිහිනුම් තටාකයට මුල්ගල් තබද්දී ළමෝ ප්‍රීති ප්‍රමෝදයෙන් ඔල්වරසන් දුන්හ. කොළොම්කරේ ලොකුම ලොකු ප්‍රසිද්ධ ඉස්කෝලවල තියෙන ජාතියෙ ඉස්තරම් පීනුම් තටාකයක් අපටත්! උත්සවයේදී ප්‍රදේශයේ ශිෂ්‍යාවන් දෙදෙනකු වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයන් දෙකක්ද සිදුවිය. මෙම වසරේදී රටවල් 17ක සහභාගිත්වයෙන් මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර කරාතේ තරගාවලියකදී 2 වන ස්ථානය හිමිකර ගත් සූරියවැව, ගල්වැව තරුෂි නවෝද්‍යා ශිෂ්‍යාවට රුපියල් 65,000ක දිරි ගැන්වීමේ දීමනාවක්ද, මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් දස්කම් පෑ සූරියවැව, හත්පෝරුවේ ඒ.ආර්. චාරුණී තරුෂිකා ශිෂ්‍යාවට ක්‍රීඩා පාවහන් යුවළක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 27,000ක මුදලක්ද පිරිනැමිණි. විදුහල්පතිවරයා සජිත්ගේ කනට ළංවී ඇසුවේ ‘හුඟක් දනට පිනට දෙනවා නේද” කියාය. “තාත්තගෙන් ලැබුණු පුරුද්දනේ. සමහරු පුරුදු වෙලා ඉන්නේ තම තමන්ටම බෙදා හදා ගන්නයි. අපි පුරුදු වෙලා ඉන්නේ අනුන්ට බෙදන්නයි. බෙදන්න බෙදන්න ලැබෙනවා. ලැබෙන්න ලැබෙන්න තව තවත් බෙදනවා” සජිත්ගේ පිළිතුර විය.


පසුගිය සතියේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවූ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රකට මහාචාර්යවරු පිරිසක් කතානායකවරයාගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කළහ. ජනපතිවරණයට ඉදිරිපත් වන්නැයි එම විද්වත්හු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මද්දුම බණ්ඩාර, ආර්ථික විද්‍යාව පිළිබඳ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරියවංශ දිසානායක, සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු අංශ ප්‍රධාන සිසිර පින්නවල, කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ආර්.එම්.එස්. රාජපක්ෂ ඇතුළු විද්වතුන් පිරිසක් එක් වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව කතානායකවරයාට සැල වුයේද මාධ්‍ය මගිනි.


වියතුන් තමා කෙරෙහි විශ්වාසය තැබීම ගැන සිය ස්තූතිය පළ කළ කතානායකවරයා පැවසූවේ “කෙසේ වුවද එවන් තීරණයක් ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ශ්වයන් හි ආශිර්වාදය ඉතා වැදගත් බවයි. මේ අතර කොළඹදී තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ ත්‍රෛනිකායික භික්ෂු නියෝජිත පිරිසක්ද, ඉන් අනතුරුව කතානායකවරයා මුණගැසී ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර යහපාලනය ගොඩනැඟීම සඳහා මාදුළුවාවේ සෝභිත හිමියන් ආරම්භ කළ ගමන තවමත් අවසානයක් කරා ළඟාවී නොමැති බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇතැයි විශ්වාසය තැබිය හැකි එකම පුද්ගලයා වන්නේ කරු ජයසූරිය මහතා යැයි තම මතය වන බැවින් ජනපතිවරණයට ඉදිරිපත් වී සෝභිත හිමි නැවතුන තැනින් යළි අරඹන ලෙසය. එ.ජා.පයේ විවිධ තරාතිරමේ නියෝජිතයන්ද ඇතැම් විටක එ.ජා.ප සමඟ පසුගිය කාලයේ දැඩිව විරසකව සිටි ප්‍රසිද්ධ චරිත ද මෙවැනි ඉල්ලීම් කළ පිරිසට අයත් වූහ. මේ සියලු දෙනාටම පොදු පිළිතුරක් ලබාදීමට වග බලාගත් කරු ජයසූරිය මහතා කීවේ “මේ වෙලාවේ පක්ෂයේ සමඟිය රැකගැනීම ජයග්‍රහණය සඳහා වැදගත්ම සාධකය වන බැවින් කණ්ඩායම් හෝ කල්ලිවලට නතු නොවී එකාවන්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි. ඒ නිසාම පක්ෂයේ සියලු දෙනාගේම ආශිර්වාදය ඇතිව ඉදිරිපත් වන පොදු ඉල්ලීමකට සවන් දීමට තමා කැමති නමුත් බල පොරයකට කිසිලෙසකින්වත් සූදානම් නැති බවයි.