IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කොරෝනා අස්සේ අලුත් ව්‍යවස්ථාවකට දෙමළ සන්ධානයෙන් යෝජනා

 

​කොරෝනා හේතුවෙන් මේ දිනවල දේශපාලන කරළියද හරියට නිසොල්මනේ ගලන ගඟක් වැනිය. මතුපිටින් බැලූවිට දේශපාලන කරළියේ එතරම් හැල හැප්පිලි දකින්නට නොලැබුණද ඇතුළේ දේශපාලනය ගඟ පතුලේ සැඩ පහර මෙන් කැළඹිලි සහිතය. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නැතැයි ජනාධිපතිවරයා කියද්දි විපක්ෂයේ පක්ෂ ගණනාවක් පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි දිගින් දිගටම බලකර සිටී. ඒ අතර පරණ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස හා ජුනි 20 වැනිදා මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක්ද මේ වනවිට ඉදිරිපත්වී තිබේ.


එජාපය මහින්දට හා කියා 

පසුව බෑ කියයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගිය සඳුදා (04) පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවනු ලැබුවේ කොරෝනා වයිරසය හමුවේ රටේ පවතින වත්මන් තත්ත්වය හා ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙනි.


ජනතා විමුක්ති පෙරමුණ කල්තියාම කියා සිටියේ තම පක්ෂය ඊට සහභාගි නොවන බවය. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම පක්ෂයට සම්බන්ධ හිටපු මන්ත්‍රීවරුන් මහින්දගේ රැස්වීමට නොයන බවකි. එක්සත් ජාතික පක්ෂය මේ රැස්වීමට සහභාගී වන බව කලින්ම කීවේය. එහෙත් ඊට දින දෙකකට පසුව එජාපය කීවේ මහින්දගේ රැස්වීමට නොයන බවකි. එහෙත් දෙමළ ජාතික සන්ධානය වෙනස් ස්ථාවරයක සිටියේය. ඔවුන් කීවේ මහින්දගේ රැස්වීමට සහභාගි වන බවය.


පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුව ගිය සඳුදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මීට පෙර තිබූ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව කලින් පාර්ලිමේන්තුවල හිටපු මන්ත්‍රීවරුද මේ සඳහා ඇරයුම් ලැබ සිටියහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ හමුවට සහභාගී විය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය සහභාගි නොවුවද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සියලුදෙනා සාකච්ඡාවට සහභාගි වූහ. මෛත්‍රීපාල සිරිසේන, ආර්. සම්බන්දන්, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද, ඩිව් ගුණසේකර, අතාවුල්ල ඇතුළු පක්ෂ 16 ක නායකයෝ ද මේ හමුවට එක්ව සිටියහ. පක්ෂ නායකයන් හා  හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ අගමැතිවරයා විසිනි. සියලුදෙනා මුඛ ආවරණ පැළඳ සිටි අතර සියලුදෙනාටම අසුන් පනවා තිබුණේ මීටරයක් දුරිනි. කොරෝනා වයිරසයෙ ආරම්භයේ සිට ගතවූ කාලය තුළ තත්ත්වය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ඔහුගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව කොරෝනා මෙහෙයුම ගැන පැහැදිලි කරනු ලැබුවේ බුද්ධි අංශ නිලධාරීන් විසිනි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි, බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතාද ඊට එක්විය. ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමුවීමේ සිට මේ දක්වා මෙහෙයුම ගැනත්, කොරෝනා පොකුරු ගැන සහ එහි පාලනය ගැනත්, බ්‍රිගේඩියර් සලෙයි පැහැදිලි ක​ළේය.


ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයකු වශයෙන්ද ප්‍රේමදාස ආණ්ඩුවේ අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන්ද කටයුතු කළ සහ එජාපයේ පැරැණි ප්‍රබලයකුද වන යූ.එම්.ආර්.බී. රත්නායක මහතාද මේ හමුවට පැමිණ සිටියේය. ඔහු සාකච්ඡාව අතරතුර නැගී සිටිමින් අදහස් දැක්වූයේ එක්සත් ජාතික පක්ෂයටද විවේචනයක් එල්ල කරමිනි.


‘‘අපිත් එක්සත් ජාතික පක්ෂයේ තමයි. හැබැයි කොරෝනා මර්දනය කරන්න ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, විශාල වැඩ කොටසක් කරන මේ වෙලාවේ අපි අපේ සහයෝගය ආණ්ඩුවට ලබාදෙන්න ඕන. ඒනිසා තමයි මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණත් මෙතනට අද ආවේ. කොරෝනා වසංගතය පාලනය කරන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙනයන වැඩපිළිවෙළට අපි සහාය දෙන්න ඕන ඔහු කීවේය.
කොරෝනා මර්දනය කරන්න ආණ්ඩුවට පිටරටවලින් ආධාර ලැබුණත් ඒවාට කුමක් සිදුවන්නේ දැයි නොදන්නා බවට එජාපය එළියේ නගන චෝදනා ගැන මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයා විමසා සිටියේය. ‘‘මට වඩා ඒකට හොඳට උත්තර දෙන්න පුළුවන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටයි,’’ අගමැති මහින්ද කීවේය. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ඊට උත්තර දුන්නේය. ‘‘ආණ්ඩුවට පිටරටින් මුදල් ලැබිල නැහැ. මට හොරෙන් මුදල් ලැබෙන්න විදියක් නැහැ. ඩොලර් මිලියන 128 ක් දෙන්න ලෝක බැංකුව සමග ගිවිසුම් අත්සන් කළා. නමුත් ඒ මුදල් තාම ලැබිල නැහැ.’’ ආටිගල පැහැදිලි කළේය. ඔහු කීවේ ඉන්දියාවෙන් සහ චීනයෙන් කොරෝනා මර්දනයට ද්‍රව්‍යමය ආධාර ලැබී ඇති බවය.


උතුරේ ජනතාව ඇඳිරි නීතිය හේතුවෙන් දකුණේ සිරවී සිටින බව දෙමළ සන්ධානයේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා කීවේය. ඔහු කීවේ ඔවුන්ට කෑම බීමද නොලැබෙන බවය. ඊට පිළිතුරු දුන්නේ අගමැති මහින්දය. ‘‘අපි උතුරේ අයද දකුණේ අයද කියල බලන්නෙ නැහැ. කොළඹ හිරවෙලා හිටපු හැමෝටම කෑම දෙනවා. එහෙම ලැබුණේ නැති අය ඉන්නව නම් කියන්න. අපි එ් අයට කෑම සපයන්නම්’’ අගමැතිවරයා කීවේය. මේ අතර දෙමළ සන්ධානයේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා කීවේ කොරෝනා ප්‍රශ්නය මධ්‍යගතව විසඳන්න අමාරු බවය. එබැවින්, දිස්ත්‍රික් කමිටු පත්කර, හිටපු මන්ත්‍රීවරුන්ද ඒ සඳහා සම්බන්ධ කරගන්නැයි සුමන්තිරන් ඉල්ලා සිටියේය. අගමැති මහින්ද ඊට හිස සැලුවා මිස උත්තර දෙන්නට නොගියේය.
මේ අතර, දෙමළ සන්ධනයේ ආර්. සම්බන්දන් හා සුමන්තිරන් යන දෙදෙනා ඉදිරියට ගොස් අගමැතිවරයාට සංදේශයක් ද බාරදුන්හ. ඒ උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින ගැටලු සම්බන්ධයෙනි. මේ අතර, සම්බන්දන් හා සුමන්තිරන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කළහ. ඒ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකි. අගමැතිවරයා කීවේ එම සාකච්ඡාව එදින සවසම ලබාදිය හැකි බවය.


දෙමළ සන්ධානය මහින්ද හමුවෙයි


සාකච්ඡාවක් ලබාදෙන්නැයි දෙමළ සන්ධානය කළ ඉල්ලීම අනුව දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු සඳුදා හවසම අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිල නිවසට දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සියලුදෙනාම පාහේ පැමිණ සිටියහ. ආර්ථික පුනරුදය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී හිටපු අැමැති බැසිල් රාජපක්ෂ මහතාද එම සාකච්ඡාවට සහභාගි වූයේ අගමැතිවරයාගේ ආරාධනයෙනි. වෙනදා මෙන්ම එදිනද දෙමළ සන්ධානය ඉදිරියට දමා තිබු​ෙණ් උතුරු පළාත සම්බන්ධයෙන් හැමදාමත් ඉදිරිපත් කරන කරුණු කිහිපයකි. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම, එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම, උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම, උතුරේ හමුදාව ඉවත් කිරීම කෝවිඩ් සහන අරමුදලින් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවටත් සහන සැලසීම යනාදිය දෙමළ සන්ධාන ඉල්ලීම් අතරවිය. අගමැතිවරයා සාකච්ඡාවේදී අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව උතුරේද දකුණේද කියා බේදයක් නොමැතිව සියලුදෙනා වෙනුවෙන් වැඩකටයුතු කරන බවය. ඒ අතරම එදින උදේ පැවැති සාකච්ඡාවට සහභාගිවීම ගැනද අගමැතිවරයා ස්තුතිය පළකළේය.



අදහස් (0)

කොරෝනා අස්සේ අලුත් ව්‍යවස්ථාවකට දෙමළ සන්ධානයෙන් යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 124 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site