කොරෝනා වෛරසය සමඟ දේශපාලන උණුසුම යටපත් වුවද මේ වන විට දේශපාලනය හා කොරෝනා වෛරසය දැන් ගහට පොත්ත මෙන් සම්බන්ධ වී තිබේ. ඒ මන්දයත් කොරෝනා වෛරසය පැමිණෙද්දි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණය කැඳවා තිබු බැවිනි.


මුලදී මැතිවරණ කතා බහ යටපත්ව තිබුණ ද මැතිවරණ කොමිසම මගින් මැතිවරණය ජුනි 20 දක්වා කල් තැබීමත් සමග ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව කතා බහ මතුවිණ.


දේශපාලන කරළියේ උණුසුම් කතාබහ පවතින්නේ ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්ෂ නායකගේ නිවසට පක්ෂයේ මැති-ඇමතිවරුන් වෙනදා මෙන් පැමිණියේ මේ අර්බුද සම්බන්ධයෙන් කතා බහ කිරීමටය.


”‍අරලියගහ මන්දිරයට විශ්‍රාම ගිය මන්ත්‍රීවරුන් කැඳවා රටට ලොකු වැඩක් පෙන්නන්න ගියාට අන්තිමට වෙච්ච දෙයක් නැහැනේ? නවින් දිසානායක කතාව ආරම්භ කළේය.


”‍ආණ්ඩුව මුලින්ම කිව්වේ පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කැඳවනවා කියලයි. හැබැයි පස්සේ මේ අය විශ්‍රාම ගිය ඔක්කොම මන්ත්‍රීවරුන්ට එන්න කිව්වා. පාර්ලිමේන්තුවෙන් පිට අය එක්ක මන්ත්‍රීවරුන්ගේ ජනතාවගේ ගැටළු කතා කරන්න හැකියාව නැහැ. ආණ්ඩු පක්ෂයේයි විපක්ෂයේයි මන්ත්‍රීවරුන් කැදෙව්වා නම් කව්රු නොගියත් අප යනවා. මොකද, ජනතාවගේ ප්‍රශ්න අපට කතා කරන්න ඕනෑ. නමුත් පිට අය ඉන්න තැනක ඒවා කතා කරද්දි ඔවුන් මන්ත්‍රීවරුන්ගේ කතාද අවතක්සේරුවට ලක් කරන්න ඉඩ තිබුණා.”‍ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව සියල්ලෝ හිස සලා අනුමත කළහ.


”‍කොහොම වුනත් එතනට එන්න කියා තිබෙන්නේ විදේශාධාර හම්බ වුනේ නැහැ කියන්නයි. මොකද, රෝහිත අබේගුණවර්ධන අධාර සල්ලි නැවෙන් එන්නේ කිව්වා. ඇත්තටම විදේශ ආධාර හම්බවෙලා නැද්ද?” කේ.කේ. පියදාස මන්ත්‍රීවරයා විමසා සිටියේය.


‘‘ලෝක බැංකුවෙන් හා චීනයෙන් තමයි ආධාර දෙන්න ඉදිරිපත් වුනේ. චිනයෙන් දුන්නේ වෛද්‍ය උපකරණ හා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ විතරයි. නමුත් ලෝක බැංකුවෙන් මුදල් ආධාරය දෙන බව කිව්වා. ඩොලර් මිලියන 128 ක් ඔවුන් දෙනවා කිව්වට ඒක දෙන්නෙත් සෞඛ්‍ය උපකරණ ගන්නයි. ආණ්ඩුවට තිබුණා අවශ්‍ය උපකරණ ගන්න දැන්ම ඇණවුම් කර තියන්න. නමුත් මුදල් එනකම් කියා බලාගෙන හිටියොත් අපට ගන්න වෛද්‍ය උපකරණ හා සෞඛ්‍ය උපකරණ ලෝකයේ හිඟ වේවි.”‍ එජාප නායකයා සිය මතය පැහැදිළි කළේය.
”‍හැබැයි, දෙමළ සන්ධානය අගමැතිගේ රැස්වීමට ගියා. එදා කොටි කොටි කියා දෙමළ සන්ධානය හංවඩු ගැහුවා. අද එයාලා ආණ්ඩුවේ නියමය අනුව පූසෝ වෙලා කියා තමයි, ආරංචි.”‍ චම්පිකා ප්‍රේමදාස සිනා මුවින් විමසා සිටියේය.


‘‘ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් ඒ වන විටත් කොළඹට ඇවිල්ලා හිටියේ. අනෙක ඔවුන්ට තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒ නිසා ඔවුන් ගියා. කොහොම වුනත් කොටි පූසෝ වෙච්ච එක රටේ ජාතික සමගියට නම් හොඳ දෙයක්.”‍ වජිර අබේවර්ධනද සිනාසෙමින් කීවේය.


”‍මහ මැතිවරණය ජුනි 20 වැනිදා තියන්න ආණ්ඩුව සුදානම් වෙනවා. අර්බුද මැද්දේ වුනත් මැතිවරණය ඉක්මණින් අවසන් කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ.”‍ දයා ගමගේ කියා සිටියේය.


”‍මැතිවරණ කොමිසම තමයි මැතිවරණය තියන දවස තීන්දු කරන්නේ. වෛරස තත්ත්වය තිබෙන නිසා ඒ තීන්දුව ඔවුන්ට තනිවම ගන්නත් බැහැ. සෞඛ්‍ය අංශ සහතිකය දෙනතුරු මැතිවරණය නොපවත්වන බව කොමිසමේ සභාපතිවරයා පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදි කිව්වා. හදිසි මැතිවරණයකට ගිහිල්ලා ජන ජීවිත අනතුරේ හෙළන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ.”‍ පක්ෂ මහලේකම් අකිල විරාජ් කීවේය.
‘‘තවම ලංකාවට ඇවිල්ලා තියෙන්නේ වෛරස පරීක්ෂා කිරීමේ උපකරණ ලක්ෂ දෙකක් පමණයි. වෙනත් රටවල් ලක්ෂ දහය විස්ස එක පාර ගන්නවා. එංගලන්තය අමරුවේ වැටුණේ පරීක්ෂා කිරීම් නිසි ලෙස නොකළ නිසයි.
කොහොම වුනත් අපත්, දොස්තර සංගමයත් දිගින් දිගටම කෑ ගහපු හින්දා මේ වෙන විට දිනකට පරීක්ෂා කිරීම් දහසකට වැඩිය කරන්න කටයුතු කර තිබෙනවා. එය තවත් වැඩි නොකර මැතිවරණය පැවැත්වීම අනතුරුදායකයි. ඒකට විරුද්ධව අප කටයුතු කරන්න ඕනෑ. මැතිවරණ කොමිසමත් ජනතාවගේ ජීවිත බිල්ලට තියා ඡන්ද පවත්වයි කියා හිතන්න බැහැ.”‍ එජාප නායක කියා සිටියේය.
තොරණ හදන රැකියාව කරපු අය, වෙසක් කූඩු විකුණපු අය මේ පාර අමාරුවේ වැටිලා. නායකතුමාටත් හැමදාම වගේ මේ පාර වෙසක් කාඩ් යවන්නත් බැරි වේවි.”‍ චම්පිකා ප්‍රේමදාස ජනතාව මුහුණ දෙන ගැටළුව ගැන කීවේය.


”‍මමත් මේ සැරේ වෙසක් කාඩ් කාටවත් යවන්නෙත් නැහැ. කොරෝනා නිසා ජනතාව මේ පාර වෙසක් කාඩ් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නමුත් ආමිස පූජාව වෙනුවට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී මෙවර කටයුතු කරන්න කියා අපත් ඉල්ලා සිටිනවා.


මා විද්‍යුත් ක්‍රමයට වෙසක් සුබ පැතුම් පතක් යවන්න කටයුතු කරනවා. ඊ මේල් වෙබ් අඩවි මගින් සුබ පැතුම් ඉදිරිපත් කරනවා.”‍ එජාප නායක පැවසුවේය.


‘‘නිවාඩු දවස් තුනක ඡන්දයට නාම යෝජනා බාර ගත්තා කියා දැන් අලු‍ත් අර්බුදය ඇතිවෙලා. මැතිවරණ කොමිසමට බෝලය පාස් කරා නීතිපතිත් ඇඟ බේරගෙන. ගැටළුව කොතනින් විසදේවිද?”‍ කේ.කේ පියදාස විමසා සිටියේ නායකගෙනි.


‘‘නිවාඩු දින තුන කියන කාරණය ගැන මත කිහිපයක් තිබෙනවා. කොහොම වුනත් නීතිපති කියා තිබෙන්නේ මැතිවරණ කොමිසමට පනත අනුව ඡන්දය කරන්න කියලයි. කොහොම වුනත් ගැටළුව අධිකරණයට ගිහිල්ලා තමයි, විසදා ගන්න වෙන්නේ. සුමන්තිරනුත්, රංජිත් මද්දුමබණ්ඩාරත් උසාවි යනවා කියා ආරංචියි. කොහොම වුනත් අවසන් තීන්දුව ගන්න වෙන්නේ උසාවියෙන් තමයි.”‍ එජාප නායක කී දේ සැවොම හිස සලා අනුමත කළහ.


‘‘ලබන 11 වැනිදා ඉඳලා රට විවෘත වෙනවා. ඇඳිරි නීතිය යටතේයි. රැකියාවල් වලට යන්න, කඩ අරින්න, ජනතාවට පාරට බහින්න අවස්ථාව ලැබෙන්නේ. මෙහෙම කරන්න පුළුවන්ද?”‍ වජිර අබේවර්ධන විමසුවේය.
”‍ඔය ගැටළුව මතු වෙන හින්දා තමයි අප මුල ඉදලම කිව්වේ පාර්ලිමේන්තුව පැයකට රැස් කරලා ලොක්ඩවුන් නීති සම්මත කර ගන්න කියලා. ඇඳිරි නීතිය යටතේ මෙහෙම කරන්න බැහැ. ඇඳිරි නීතියයි, සෞඛ්‍ය නීතියයි කියන්නේ දෙකක්. සුද්දගේ කාලේ හදපු නිරෝධායන පනතේ ඒවට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. ඒ නිසා අලු‍ත් නීති මේවා කරන්න ඕනෑ. ඇඳිරි නීතිය කියන එකෙහි වටිනාකම අද ජනතාව අතරින් ගිළිහෙමින් තිබෙනවා. මිනිස්සු එදා ඇඳිරි නීතිය කිව්වාම යම් බියක් දැක්වූවා. ආණ්ඩුව මේ කරන දෙයින් ඇඳිරි නීතිය කියන එකෙහි තිබුණ ගාම්භීරත්වය නැති වෙලා යනවා. අනාගතයේදි ඇඳිරි නීතිය සැබෑවටම දාන්න අවශ්‍ය වුනත් ජනතාව ඊට ගරු කරන්නේ නැති වුනොත් ලොකු ගැටළුවකට මුහුණ දෙන්න වෙනවා.”‍ එජාප නායක දීර්ඝ පැහැදිළි කිරීම කළේය.


”‍කොරෝනා වලින් පසු රටට ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. අප හැමෝටම අලු‍ත් ගැටළුවලට මුහුණ දෙන්න වේවි. ආණ්ඩුව දැනට මැතිවරණය ඉලක්ක කර ගෙන රුපියල් 5000 ගානේ මාස දෙකක්ම දෙනවා. තව කොපමණ කලක් මෙහෙම යන්න වෙයිද?”‍ නවින් දිසානායක යළිත් කතාවට එකතු විය.
‘‘රජය කොරෝනා පාලනය කරන වැඩපිළිවෙළ සමග අපත් එකට ගමන් කරන්න ඕනෑ. මැතිවරණය කැඳවා තිබුණද මේ වෙලාවේ දේශපාලනය කළ යුතු නැහැ. පක්ෂ බේද අත හැර කොවිඩ්-19 මර්ධනය කරන්න අප කැප වෙන්න ඕනෑ. මොකද, තවම අනතුර පහවෙලා නැහැ. මුළින්ම වසංගතය රටින් දුරු කරන්න ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන අතරතුර පවතින අඩු පාඩු පෙන්වා දිය යුතුයි. අසරණව සිටින ජන කොටස්වලට ආණ්ඩුව දෙන දීමනාව පක්ෂ බේදයෙන් තොරව දෙන්න අප ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ. කොරෝනා ඉවර වුනාට පසු අපට අපේ දේශපාලනය කරන්න පුළුවනි.”‍ නායක හැගුම්බරව කතා කළේය.
මේ අතර දෙමළ ජාතික සන්ධානය මෙන්ම සමගි ජන බලවේගයද නිවාඩු දිනයන් හි නාම යෝජනා බාර ගැනීම ගැන සිය පක්ෂ තුළ සාකච්ඡා පැවැත් වූවේ ඊට එරෙහිව අධිකරණයට යාම පිළිබඳවය.


සමගි ජනබලවේගයේ පිරිසද මේ සම්බන්ධයෙන් කතා කරද්දි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල ද ඊට එක්වූවේය.
‘‘නාම යෝජනා බාර ගැනීමේ ප්‍රශ්නය එක පනතක් විතරක් ගෙන බලන්න බැහැ. මෙතනදි පාර්ලිමේන්තු මැතිවරණ පනතත්, නිවාඩු පනතත් යන දෙකම ගෙන බලන්න ඕනෑ. මැතිවරණ පනත අනුව නිවාඩු දිනයකදි නාම යෝජනා දෙන්න බාධාව ඇති බව සඳහන් වෙන්නේ නැහැ. නමුත් නිවාඩු පනතේ 364 පරිච්ඡේදයේ 5 වැනි වගන්තියේ සඳහන් වෙන Diesnon (ඩියෙස් නොන්) කියන ලතින් වචනය නීති ශබ්ද කෝෂය අනුව පරිවර්තනය කර බැලිය යුතුයි. එතනදි නිවාඩු දිනයක දි කරන රජයේ කිසිදු කටයුත්තක් නීත්‍යානුකූල නොවේ කියා සඳහන් වෙනවා. මාර්තු 16 රජය නිවාඩු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුවා. පසුව 17,18 හා 19 යන දින නිවඩු දින ලෙස විෂය බාර ඇමතිවරයා ප්‍රකාශ කෙරුවේ නාම යෝජනා බාර ගත්තට පසුවයි. එනයින් බැලු‍වාම නිවාඩු දිනයකදි බාර ගත් කිසිදු නාම යෝජනාවක් වලංගු වෙන්නේ නැහැ. මොකද, එහි නීත්‍යානුකූලභාවය නැති නිසයි. එහෙම බැලු‍වාම මේක හොඳ නඩු නිමිත්තක්.”‍ ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමතිවරයා පැහැදිළි කළේය.

 

-ගජබා-