සතිය පුරාම අගමැතිවරයා පාර්ලිමේන්තු සභා වාරවලට සහභාගීවීමට අමතරව විවිධ උත්සව රැසකටද එක් විය. සමෘද්ධිය අලුතෙන් පවුල් ලක්ෂ හයකට බෙදීමේ උත්සව ගණනාවකටද ඔහු එක්වූයේ ඇමැති දයා ගමගේගේ ඇරයුමිනි.


විවිධ සංවිධාන රැසක නියෝජිතයින් සමග තීරණාත්මක සාකච්ඡා වට කිහිපයකට ද අගමැතිවරයා එක්විය. පොසොන් උත්සවය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස රට පුරාම පවත්වා ආරක්ෂාවට අදාළ සහතිකය මෙරට ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටද දීම එහි අරමුණ විය.


ඒ අතරේ බදාදා දහවල් අගමැතිවරයා සිංගප්පූරුව බලා පිටත්වීමට තීන්දුකර තිබුණේ සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහාය. ඒ ගමනේදී දැනට සිංගප්පූරු රෝහලක සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සුවදුක් විමසීමද අගමැතිවරයාගේ සංචාරයේ කාලසටහනට අයත් විණැයි පැවසිණ. වෙනදා බ්‍රහස්පතින්දා අගමැති හමුවන එජාප මැති ඇමති පිරිස බදාදා අරලියගහ මැදුරට පැමිණ සිටියේ අගමැතිගේ විදේශ සංචාරයට පෙර සුබපැතුම් එක් කිරීමටය.


“මෝදිගේ ලංකා සංචාරය රටේ ආරක්ෂාව සහතික බවට ලෝකයට දුන් හොඳ පණිවිඩයයි.” ඇමැති ගයන්ත කරුණාතිලක සාකච්ඡාවට මුල පිරුවේය.


” මෝදි විතරක් නොවෙයි, ඇමරිකානු රාජ්‍ය ලේකම්, මාලදිවයින් ජනාධිපති ඇතුළු මුළු කැබිනට් එකයි, ඒ වගේම ජපාන අගමැතිගේ ප්‍රධාන උපදේශකයාත් ළඟදීම ලංකාවට ඒමෙන් ආරක්ෂාව තවත් සහතිකවෙනවා. ඒක සංචාරක ව්‍යාපාරය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට ලොකු ශක්තියක් වේවි.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
“පාස්කු ප්‍රහාරයේ වගකීම නිලධාරින් පිට පටවලා සමහරුන් ඇඟ බේර ගන්න හැදුවා. මේ ගැන කරුණු හොයන්න විපක්ෂය කරපු ඉල්ලීමට එකඟවෙලා සියලු පක්ෂවල අනුමැතියෙන් කතානායකතුමා හා පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව පත් කළාම ඒකෙදී එළි වූ කරුණු අනුව ප්‍රහාරයේ ප්‍රධානතම වගකීම පැහැරහැරියේ කවුද කියල දැන් රටටම ඔප්පුවෙලා ඉවරයි” චමින්ද විජේසිරි දැඩි ප්‍රකාශයක් කළේය.


“විශේෂ කාරක සභාව නවත්වන්න කියා සමහරුන් දඟලන එකෙන්ම පේන්නෙ පුහුල් හොරා කරෙන් දැනේ කියන පරණ කතාවයි. රාජ්‍ය නිලධාරීන්ට පාර්ලිමේන්තු කාරක සභාවකට යන්න එපා කියා තහංචි දාන තරමට සමහරුන් දැන් හිරවෙලා වගෙයි පේන්නේ.” හේෂා විතානගේ කීවේ එවැන්නකි.


“පාර්ලිමේන්තුව කාරක සභාව පත්කිරීමේ හෝ අහෝසි කිරීමේ හෝ බලය කතානායක ඇතුළු පාර්ලිමේන්තුවට මිස වෙන කාටවත් ඒක අහෝසි කරන්න තියා බලපෑම් කරන්නවත් කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක හෝ අයිතිය නැහැ.” අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිළි කළේය.


“පාර්ලිමේන්තු කාරක සභාව විසින් එන්න කිව්වාම කිසිම නිලධාරියකුට ඒක මඟ හරින්න බැහැ. ඒ වගේම කිසිම බලවතකුට ඒ නිලධාරින් පැමිණීම වළක්වන්නත් බැහැ. කැඳවන නිලධාරින් කාරක සභාව හමුවට නොපැමිණියහොත් විඳින්නට වන පලවිපාක ගැන ඒ නිලධාරින්ට අවබෝධය ඇතැයි තමා සිතන බව කථානායකතුමා නිවැරදි ලෙස රටට කිව්වා.” වජිර අබේවර්ධන කීවේය.


“ඇමැති රවී හරහා පණිවිඩ එවමින් කාරක සභාව නවත්වන්න සමහරක් බලවතුන් උත්සාහ කරන එක ඉතා නරකයි. ජවිපෙයි, චම්පික, රාජිත ඇතුළු මුළු කැබිනට් එකයි, ආණ්ඩුවයි වගේම විපක්ෂයේ බොහෝ දෙනෙකුත් ඉන්නේ ඒ ස්ථාවරයේයි.


රිෂාඩ් බදුර්දීන්ගේ සාක්ෂිය ගැනීම අත්‍යවශ්‍යයි. එය ඉක්මනින්ම කරන්න ඕනෑ කියන එකයි, කාගේත් අදහස වෙන්නේ” එජාප නීති නිලධාරියකු කීවේ එවැන්නකි.
“දැන් කාරක සභාවේ කට්ටියට ජනාධිපති හමුවෙන්න එන්න කියලලු. එහෙම යන්නත් කාරක සභාවේ බහුතර පිරිස කැමති නැහැ. එන්න කියන්නේ බලහත්කාරකම කරන්න කියලයි, ඔවුන් කියන්නේ.”


“ප්‍රහාරයට අදාළ තොරතුරු ලැබිලත් ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ වගකිවයුත්තන් කවුදැයි කියා දැන ගන්න මුළු රටටම අවශ්‍ය වෙලා තියන එකේ ඒක එළි කරගන්න උත්සාහ කරන කාරක සභාවට සමහරුන් බයවෙලා ඇයිද කියලයි මිනිස්සු අහන්නේ?


“ජාතික ආරක්ෂාවට අදාළ කිසිම රහසක් හෝ සංවේදී තොරතුරක් හෝ කාරක සභාවෙදි එළිවෙනවා කියන එක අමූලික බොරුවයි!” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“රාජපක්ෂලගේ පාලන කාලෙ බුද්ධි අංශ නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡා පවා පවත්වා තිබෙනවා. සමහරුන් මැරිලා ඉපදිලා වගෙයි අද කතා කරන්නේ. ශ්‍රීලනිපයේ අයයි පොහොට්ටුවේ අයයි ඒගොල්ලන්ට කඩේ යන සමහර ජනමාධ්‍ය හා සමහර හාමුදුරුවරුන් කාරක සභාවට විරුද්ධ වීමෙන් එයාලගේ පටු දේශපාලන අරමුණු හා බොරු දේශප්‍රේමය එළි වෙනවා” මුජිබර් රහුමාන් කීවේ එවැන්නකි.


“ගෙදර මනුස්සය එක්ක තරහ වෙලා හට්ටි වළං පොළවේ ගහනවා වගේ මා කැබිනට් එක රැස් කරන්නේ නැහැ. රාජ්‍ය උත්සවවලට සහභාගි වෙන්නේ නැහැ කියා රටක නායකයෙකු කියනවා නම් ඒක මහ පුදුමය වගේම ලෝකයට විහිළුව වේවි”, චමින්ද විජේසිරි කීවේය.


“ජනාධිපතිතුමා අපේ උත්සවවලට ඔක්තෝබර් 26 හොර ආණ්ඩුව හදපුදා පටන් කොහොමත් ආවේ නැහැනේ? හොර ආණ්ඩුව හදපු වෙලාවෙ ඉඳල තමයි, රට අනාථ කළේ.” හේෂා විතානගේ ද එල්ල කළේ ප්‍රබල ප්‍රහාරයකි.


“කැබිනට් එක රැස් නොකර ඉන්න ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට කිසිසේත්ම බැහැ. අපත් දරදඬු වෙන්න නරකයි. ලබන සතියේත් බලමු. කැබිනට් එක රැස් කරන්න කියා පාර්ලිමේන්තුව යෝජනාව සම්මත කරා අපි එතුමාට යවමු. ඒත් හරි යන්නේ නැත්නම් විකල්ප ක්‍රම තිබෙනවා. එවැනිම පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඊට පසු දිගටම අගමැතිතුමාගේ මූලිකත්වයෙන් කැබිනට් එක රැස්වෙන්න කියා අපට පාර්ලිමේන්තු අවසරයෙන් ක්‍රියා කරන්න පුළුවනි.


“ජනාධිපතිතුමා ඒ තරමටම හෑල්ලු කරන්න අප උත්සාහ කරන්නේ නැහැ. එතුමා රටේ නායකයා හැටියට තමන්ගේ මූලික වගකීම් දිගටම පැහැර හරින්න ක්‍රියා නොකරන බව මට විශ්වාවසයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.


“දැනට අගමැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ෆ්‍රී කැබිනට් එකේදි ගන්න තීන්දුයි, කැබිනට් එකේදි සම්මත කරන්නේ. එහෙම දිගටම අවුල ඇති වුණොත් ෆ්‍රී කැබිනට් එක නොතියා අගමැතිගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කැබිනට් රැස්වීම පවත්වන්න පුළුවනි” වජිර අබේවර්ධන කීවේය.


“කැබිනට් එක ජනාධිපති ලේකම් කාර්යාලයේ තියන්නේ එතුමා එන නිසයි. ඉස්සර විදේශ අමාත්‍යාංශයට අයිති ජනරජ ගොඩනැගිල්ලේ තමයි, කැබිනට් රැස්වීම් තියා තියෙන්නේ.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කීය.


අගමැති මෝදි ලංකාවට පැමිණියේ මාලදිවයින් සංචාරයකින් පසුවය. ඔහු මෙරට රැඳී සිටියේ පැය 4ක කාලයක් නිසා දෙරට අතර කාලය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් යම් එකඟත්වය ඇති වී තිබිණ.


ඒ අනුව ගුවන්තොටුපලේ දී මෝදි පිළිගත් අගමැතිවරයා ඔහු සමග කොච්චිකඩේ දේවස්ථානය දක්වාත්, එතැන් සිට ශ්‍රී ලංකා ජනාධිපතිගේ නිල පිළිගැනීම් උත්සවය පැවැති ලේකම් කාර්යාලය දක්වාත් එකම වාහනයේ පැමිණීමට ක්‍රියා කළේය. අනතුරුව ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවැති දිවා භෝජනයෙන් පසුව අගමැති මෝදි ගියේ ඉන්දියානු මන්දිරයටය. එහිදී දෙමළ සංධානයට විනාඩි 8ක් සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂට විනාඩි 6ක සාකච්ඡා දීමට ද ඉන්දියානු අගමැතිවරයා ක්‍රියා කළේ අගමැති රනිල් ඔහු සමහ වාහනයෙන් පැමිණ ඉතිරි කරගත් කාලයෙනි.


අනතුරුව එහි සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා යළිත් මෝදි සහ රනිල් අගමැතිවරුන් ගමන් කළේ එකම වාහනයෙනි.


එදින සිදු වූ පැයකට ආසන්න වාහන චාරිකාවල දී අගමැතිවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශවීය, දේශපාලන, ආර්ථික හා ආරක්ෂක කටයුතු මෙන්ම කලාපීය සහයෝගීතාව පිළිබඳව ද අදහස් රැසක් හුවමාරු විණ.


නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සහන වැඩ සටහන්වලින් ජනතාවට කුමන ආකාරයෙ බලපෑමක් සිදුවී ඇත්ද යන්න විමසා ‘බැලීමේ සමුළුවක් අනුරාධපුර ශ්‍රාවස්තිපුර, ආතර් ද සිල්වා ක්‍රීඩාංගණයේ දී දිස්ත්‍රික් නිවාස කමිටුවල සාමාජිකයන් 10,000කගේ පමණ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. සජිත් සමඟ එම අවස්ථාවට පැමිණ සිටි නාලක කොළොන්නේ මන්ත්‍රීවරයා “පුදුම ජන ගඟක් නෙ මේ” යි කියද්දී සජිත් කීවේ “පුදුම වෙන්න දෙයක් නෑ. නාලක, අපි අමාත්‍යංශය හරහා කරපු සේවයේ ප්‍රතිඵල තමයි මේ” කියාය. අනතුරුව එළැඹියේ දිවයින පුරා චෛත්‍ය ඉදිකිරීමේ වැඩසටහන යටතේ සසුනට පූජාවන ප්‍රථම චෛත්‍ය වන ශ්‍රාවස්තිපුර, ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවයයි. එහි යමින් සිටි සජිත්ට එකවර සිහිපත් වූයේ ඉකුත් වසරේ දිවංගත සිය පියාගේ ජන්ම දිනය සැමරීම සඳහා සිය පරිත්‍යාගශීලී මිතුරන් ඉදිරිපත් කළ පොත් පෙළක් මුද්‍රණය කිරීම, චිත්‍රපටයක් නිපදවීම ඇතුළු යෝජනා කීපයක් පිළිබඳවය. සජිත් ඒ යෝජනා බැහැර කළේය. සිය පියා “ගම් උදාව” භූමිවල ඉදිකළ අලංකාර චෛත්‍ය සිහියට නඟා ගත් සජිත් තීරණය කළේ දිවයින පුරා භෞතික සම්පත් ඌණතා පවතින චෛත්‍ය නොමැති විහාරස්ථාන තෝරා ඒවායේ චෛත්‍ය ඉදිකර දීමටය. ඒ අනුව පළමු පියවරේ දී චෛත්‍ය 25 කුත්, දෙවන පියවරේ දී චෛත්‍ය 100 කුත්, තුන්වැනි පියවරේ දී චෛත්‍ය 1,000කුත් ඉදිකිරීමට නියමිතය. උත්සවයට වැඩම කර තිබූ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් විමසුවේ “කොහොමද චෛත්‍ය 1,125ක්ම හදන්නේ?” කියාය. “කොහොම හරි හදනවා මහානායක හාමුදුරුවරුනේ. මේ වැඩේට පරිත්‍යාගශීලී මිතුරන්ගේ නොමසුරු ආධාර ලැබෙනවා. රාජ්‍ය අරමුදල් සතයක්වත් නැතිවයි අපි මේ පුණ්‍යකර්මය කරන්නේ” සජිත් කියද්දී මහ නාහිමියන් පැවැසුවේ “අපි දන්නවනේ ඉතිං වැඩක් පටන් ගත්තොත් ඒක අවසාන කරනවා කියලා. දක්ෂයානේ” කියාය. මෙම පිංකමට සහභාගි වූ මල්වතු විහාර පාර්ශ්වයේ දිඹුල්කුඹුරේ විමලධර්ම අනුනාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි අනුනාහිමියන් ද සජිත්ගේ චෛත්‍ය වැඩපිළිවෙළ අගය කළහ.


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරටට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වූ නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයාගේ පරිවාර අමාත්‍යවරයා වූයේ සජිත් ය. අගමැතිවරයා මුලින්ම ගියේ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය වෙතය. එහිදී කාදිනල් තුමන් පැවැසුවේ විනාශයට පත් සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට සහ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඍජුව සම්බන්ධ වී ක්‍රියා කිරීම තමන්ට මහත් ශක්තියක් වූ බවයි. ඉන්දීය අගමැතිවරයා සජිත්ගේ පිටට තට්ටු කරමින් කීවේ “ප්‍රශෂ්ථ මානවහිතවාදියා” (Grate Humanitarian) කියාය. ඉන් අනතුරුව ජනාධිපති මන්දිරයේ සිට ‘ඉන්දීය නිවසට’ මෝදි අගමැතිවරයා සමග එකම මෝටර් රථයේ ගමන් ගත් සජිත් පැවැසුවේ “ඔබතුමාගේ නමින් ඉදිකරන නිවාස 220කින් සමන්විත ‘ශ්‍රී නරේන්ද්‍ර මෝදි ගම්මානය’ තව මාස දෙකකින් විවෘත කරනවා” කියාය. “බොහොම ස්තුතියි” කී මෝදි අගමැතිවරයා කොළ කැබැල්ලක් ඉල්ලා සිටියත් ඒ වෙනුවට සජිත්ට ලබාදිය හැකි වුණේ තමන්ගේ නම සහිත කාඩ්පතක් පමණි. සිය අත්සන එහි තබා මෝදි මෙසේ කීවේය. “ඔබේ නිවාස වැඩ පිළිවෙළ රට පුරාම ව්‍යාප්ත කරන්නට මම උපරිම සහයෝගය ලබා දෙනවා කියාය.


මේ අතර, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු පිළිබඳ පැන නැගී ඇති මතභේද නිම කිරීම සඳහා කථානායකවරයා මැදිහත් විය.
ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එම සාකච්ඡාවේ තොරතුරු කාරක සභා සාමාජිකයන් කැඳවා දැනුම්වත් කළ කරු ජයසූරිය මහතා සඳහන් කළේ ‘යළි කිසිදින මෙවන් ප්‍රහාරයක් සිදු නොවීම සඳහා පූර්ණ වශයෙන් කරුණු විමර්ශනය කිරීම අවශ්‍ය නමුදු ඒ සඳහා සෑම පාර්ශ්වයකම සහය ලබා ගැනීම වැදගත් බවයි.’


ඉස්ලාම් රටවල් 17 ක තානාපතිවරු විශේෂ හමුවක් සඳහා කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී හමුවූහ. තානාපතිවරුන් හමුවේ කරුණු පැහැදිලි කළ හෙතෙම “පාර්ලිමේන්තුව අදාළ ආංශික කාරක සභා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ත්‍රස්තවාදය හා ඊට අවශ්‍ය පෝෂණය ලබාදෙන අන්තවාදය පිටු දැකීමට පැහැදිලි නීති සම්පාදනය කරමින් සිටින බවත්, එක රටක් තුළ එක් නීතියක් යටතේ එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත්වීමට ඉන් පදනම සැලසෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත්” පැවැසීය.


නිවසක් නොමැතිව කුඩා දියණියන් දෙදෙනකු සමග කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දිවි ගෙවන චමිලා ප්‍රියන්ති නමැති දෙදරු මවට පිළිසරණ වීමට විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ඉදිරිපත්වීම පිළිබඳව බොහෝ දෙනෙක් සතුටින් කථා කළහ. පසුගියදා විසුරුවා හරින ලද දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් ඇමැතිතුමා ඔය කරන වැඩේ ලොකු පිනක්. රටේ නිවාස ඇමැතිලා හතර පස් දෙනෙක් සිටියත් ඒ අයගේ අවධානය යොමු නොවීම නම් ඇත්තටම ලොකු අඩුවක් යැයි කීවේය.


“මම එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා වශයෙන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා මිසක් මගේ විෂය පථයට අයිති නෑ කියලා කර හරින්නෙ නැහැ. අනික එක එක අයට බෝල පාස් කරන්නෙත් නැහැ. මට ඒවා පුරුදුත් නැහැ. අපි රජයක් විදියට වැඩි වගකීමකින් වැඩ කරන්න ඕනැ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණහොත් එහි සම්පූර්ණ වගකීම තියෙන්නෙ රජයටයි. දැනටම අපේ සමහර අය ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නෙ. කවදාවත් නොතිබුණු මිල සූත්‍රයක් දාගෙන හැම මාසයකම 10 වැනිදාට ඉන්ධන මිල වැඩි කරනවා. මම මුදල් ඇමැති ඉන්න කාලේ ජනතාවට සහන දුන්නා මිසක් මේ වගේ මිල සූත්‍ර දාන්න ගියේ නැහැ. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිලත් සමග සෑම මාසයකටම ගලපන්න ගියේ නැහැ. දැන් රටේ ජනතාව 10 වැනිදා ඉන්නෙ එක්තරා දෙගිඩියාවකින්. ජනතාවට දැන් ඒක හිරිහැරයක් වෙලා. එදාවේල හරි හම්බ කරගන්න ත්‍රිවිලර්වලට මේක වැඩියෙන්ම බලපානවා. අපි බලය ගන්න කොට ඉන්ධනවලට මිල සූත්‍රයක් දානවයි කියලා කිව්වේ නැහැ. ඒ වගේම මේ රටේ රැකියාවල සිටින චීන අයට සිගරට් පොවන්න සිගරට් ගෙන්වීමට සහන දෙනවයි කියලා කිව්වේ නැහැ. ඒ වගේම අපි වන්දනාමාන කරන ගෞරවණීය භික්ෂුන් වහන්සේලාට අපහාස උපහාස කරනවයි කියලා කිව්වේ නැහැ. එහෙම කරන්න ගිහිල්ලා තමයි 1956 දී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 8 දක්වා පසු බසින්න වුණේ. මේවයින් තවම අපේ අය පාඩම් ඉගෙන ගෙන නැහැ. ඇමැති රවි කරුණානායක උත්තර දුන්නේය.