මාඕ ත්සේතුං 191

 

දිගු කාලයක් මාවෝ ළඟ වැඩකිරිමෙන් අනතුරුව වෙන්ව ගිය සියලු දෙනාටම මෙන් ගාවෝ ටත් මාවෝ ගෙන් ඈත්වී සිටීමට නොහැකිවිය. සභාපතිතුමා නැති අඩුව ඔහුට බෙහෙවින්ම දැනුණු අතර නින්දේදී සිහිනෙන් පවා ඔහු මාවෝ ගේ නම හඬ ගාමින් වැලපෙන්නට විය. “සභාපති සහෝදරයා! සභාපති සහෝදරයා!” ඔහුට දැනුණේ මාවෝ ඔහු ළඟ සිටින්නාක් මෙනි. නමුත් ඔහු අවදිවි බලන විට රාත්‍රී නිහඬතාව මිස වෙන කිසිවක් හෝ දැකගත නොහැකි විය. එවිට ඔහුගේ මුහුණ දිගේ කඳු`එ දහරා ගලා යන්නට විය.


මෙනිසාම ගාවෝ මාවෝ එනතුරු 1965 වසර වනතෙක් දින ගනිමින් බලා සිටියේය. නමුත් මාවෝ පැමිණියේ නැත. කෙසේ වෙතත් මාවෝ ගේ ඉල්ලීම ගවෝ අමතක කළේ නැත. ඒ අනුව 1965 වසරේ ඉන්දුනිසියාවට පිටත් වෙන්නට පෙර ෂියෑන්ග් සිට බීජිං කරා යන අතරවාරයේ ඔහු පසුකළ මාර්ගයේ පිහිටි කඳුවල නම්, ගැඹුරු අගල්, ඒ මග දිගේ පිහිටි බෝක්කු ගණන, ඒවායේ දිග, ගමන් කරන්නට අපහසු පාරවල්, ගමනේදී මාවෝ ට විවේක ගත හැකි තැන්, ආදිය ඇතුළත් සවිස්තර වාර්තාවක් සකස් කළේය.


ගාවෝ බිජිං පැමිණ මාවෝ හමුවුණු විට ඔහුගේ පවුලේ තොරතුරු, ඔහුගේ වැඩකටයුතු සහ අධ්‍යාපන තොරතුරු ඔහු සමග පැවසුවේය. “ඔබතුමා මට දුන්නු අධ්‍යයන සැලැස්මේ යෝජනා කළ දේවල් මට කිසි දිනක කරන්න බැරිවුණා. ඒ ගැන දැඩි උවමනාවක් තිබුණත් අධික වැඩත් එක්ක ඒ ගැන බලන්න බැරිවුණා.” ගාවෝ කීවේය.


ෂියැන්ග් සිට බීජිං දක්වා එන ගමනේදි ගාවෝ දුටු දේවල විස්තර ඇසිමෙන් පසු මාවෝ ඔහුට මෙසේ කීවේය. “මම අශ්වයා පිටේ නැගලා කහ ගංඟාව දිගේ යන්නට සැලසුම් කළ වෙලාවේ මටත් ඒ පිළිබඳව බොහොම උවමනාවක් තිබුණා. ඒත් අන්තිමේ ඒ ගමන යන්න මට කාලය සොයාගන්න බැරිවුණා. මම උතුරු ෂැන්සි වලට හරිම ආසයි. ෂියැන්ග් මම හිටියේ ටික කාලයයි. ඒත් යෙනෑන්වල මම ගොඩක් කල් හිටියා. එහෙ බලන්න යන්න, එහෙ වැවෙන මෙනේරි කන්න, එත් එක්කම කහ ගංඟාව දිගේ යන්න මට තවමත් ආශයි.”


එහෙත් ඒ සිහිනය කිසිදිනක වත් සැබෑ නොවිණි. ගාවෝ උතුරු ෂැන්සි හි සිට එවන ලද මෙනේරි නම් ඔහුට කෑමට හැකිවිය. ඔහු ඒ වෙනුවෙන් ගාවෝ ට බෙහෙවින්ම ස්තුති කළේය. නමුත් කිසි දිනක ඔහුට කහ ගංඟාවේ ගමන යන්නට නොහැකිවිය. මාවෝ නිරන්තරයෙන්ම ඒ ගැන පසුතැවිලි විය.


නමුත් මාවෝ වඩ වඩාත් පසු තැවිල්ලට පත්කළ කාරණාව වුවේ තායිවානය චීනයට සම්බන්ධකර ගැනීමට නොහැකිවීමය. ජනතා සහයෝගය ඇතිව මහජන චීන සමුහාණ්ඩුව හදපු හැටිත්,  ‘සංස්කෘතික විප්ලවය’ දියත් කිරීම ගැනත් කියමින් තම ජීවිතයේ සාර්ථකත්වයන් ගැන මාවෝ පසු කලෙක සම්පිණ්ඩනාත්මක විස්තරයක් කළේය. නමුත් තායිවානය මුදා ගැනිම මාවෝ ට තම ජීවිත කාලයේ ඉටුකරගත නොහැකි දෙයක් විය. ඔහු ඉන් මොනතරම් අපේක්ෂා භංගත්වයකට පත්වුවාදැයි සිතා ගැනීම අපහසු නැත.


මා මුලින් කියා තිබුණු පරිදි 1953 වසරේ සිට හැම වසරකම ආරම්භයේ මාවෝ මුහුදුකරයට ගියේය. ඒ අවස්ථාවල ඈත මුහුද දෙස බලමින් ඔහු කිවේ “අපි තායිවානය මුදාගත යුතුයි” යන්නයි. ඔහු ඒ ගැන කියු වචන ඒ හැටියටම කීමට මට මතක නැතිවුවත් ‘නිදහස් තායිවාන් බෙදුම්වාදීන්” යන්න චියැන්ග් කායි-ෂෙක් නමටත් වඩා ඔහුගේ කෝපය අවුස්සන්නක් විය. ඒ මන්ද කියතොත් තායිවානය චීනයට නීත්‍යානුකූල අයිතියක් ඇති කොටසක් බව චියැන්ග් කායි-ෂෙක් පවා කියා තිබුණු නිසාවෙනි. 


චීන ජනතාවගේ ඉහළම ප්‍රසාදය මාවෝට හිමිවුණේ රටේ ගෞරවය හා අභිමානය රැක ගැනීම සඳහා ඔහු තුළ පැවති නොසැලෙන අධිෂ්ඨානය නිසාවෙනි. නික්සන් 1972 චීනයට පැමිණි අවස්ථාව ගැන සඳහන් වාර්තාවලට අනුව චීන - ඇමරිකානු ඒකාබද්ධ නිවේදනය සකස් කරද්දි ඇමරිකානු නිලධාරින් එහි වගන්ති කිහිපයකට අනුකූලතාව දැක්වීමට අකමැති බැව් චූ එන්-ලායි මාවෝ ට දැනුම් දුන් විට ඔහු එකහෙළාම මෙලෙස පැවසුවේය. “පසුව වෙනස්කම් කිරීම්වලට යටත්ව මේ නිවේදනය තබා ගන්නවා කියලා නික්සන්ට කියන්න. නමුත් තායිවානය පිළිබඳ වගන්තිය මොන විදිහටවත් වෙනස් කරන්න කැමති නෑ කියලත් කියන්න.” එසේ කියා ටික වේලාවක් නිහඬව සිට බැරෑරුම් හඬින් ඔහු මෙසේ ද කිවේය. “තායිවානය පිළිබඳ වගන්තියේ කිසියම් වෙනසක් කිරීමට උත්සාහකරණවා නම් හෙට නිකුත් කිරීමට තියෙන නිවේදනය නිෂ්ප්‍රයෝජන දෙයක් වේවි.” මා දන්නා හැටියට ඒ වාර්තාවේ නියම ඇත්ත කතාව වූවේ එයයි. මාවෝ තම හැඟීම් සහ ප්‍රතිචාර දැක්වූවේ එලෙසිනි. තායිවාන් ප්‍රශ්නය 1949 සිටම මාවෝ ගේ දැඩි අවධානයට ලක්වූ දෙයක් මෙන්ම චීන - ඇමරිකානු සබඳතාවල ප්‍රධානතම බාධකය ද වූවේය.

 

 

 

 


ආරියනන්ද දොඹගහවත්ත