IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විස්ස විනිවිද දැකීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක මූලික නීතියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලිඛිත හා අලිඛිත වශයෙන් වර්ග දෙකකි. ඒ අනුව මෙරට ද ලිඛිත හා අලිඛිත වශයෙන් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ පාලනය වී තිබේ. විශේෂයෙන්ම රජවරුන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් යටතේ පැවැති රාජාණ්ඩුවල දී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විය. ව්‍යවස්ථා     යන වචනය මධ්‍ය යුගයේ මෙරට ශිලා ලේඛනවල ද සඳහන් වී තිබිණි.

රටක් යනු සමාජ, දේශපාලන, සංස්කෘතික වශයෙන් වූ පද්ධති ගණනාවකින් සැදුම් ලද්දකි. එහි අතිශයින්ම වැදගත් පද්ධතියක් හැටියට නීති පද්ධතිය හැඳින්විය හැකිය. ආක්‍රමණිකයකු රටක් අත්පත් කරගැනීමේ දී පළමුවෙන්ම වෙනස් කරගැනීමට උත්සාහ කරන්නේ එරට නීති පද්ධතියයි. ශ්‍රී ලංකාවේ දී ද අපට ඒ අත්දැකීම තිබේ. පෘතුගීසීන්ට පවත්වාගත නොහැකි වූ පාලනය ස්ථාවර කර ගැනීමට ලන්දේසීන් කල්පනා කළේ නීති පද්ධතිය මගිනි. ඉංග්‍රීසීහු ද එමග ගියෝය. කෝල්බෲක්, මැනිං, ඩොනමෝර්, සෝල්බරි ආදී වශයෙන් වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සිදු වුණේ ඒ අනුවය.

ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඒ ආකාරයෙන් නිර්මාණය වුව ද ඊට පෙර සිටම අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්ප්‍රදායක් තිබිණි. එම ඓතිහාසික මූල ධර්ම ගැන සෙල්ලිපි ආදී මූලාශ්‍රවල සඳහන් වේ. දුටු ගැමුණු රජු පැවසුවේ මාගේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස බවය. එහිදී සම්බුද්ධ ශාසනය යනුවෙන් සංයුක්ත වූයේ මේ රටේ සියල්ලය. මේ රටේ මහා සංස්කෘතියයි. අහසින් වැටෙන එක දිය බිඳක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායන්නට ඉඩ නොදෙන බවට මහා පරාක්‍රමබාහු රජු අවධාරණය කළේ ද කෘෂිකර්මය වාරිතාක්ෂණය හා බැඳුණු ඒ මහා අධ්‍යාත්මයයි. ප්‍රකාශයෙන් නොනැවතී සාගරයක් බඳු ජලාශ ඉදිකර පෙන්වූයේ තම ආර්ථික න්‍යාය ධර්මයයි.

මා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දකින්නේ අපේ පොළවේ හෝ ජන විඥානයේ නැති බටහිරින් ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිවෙත්හි කෙල පැමිණීමක් හැටියටය. 13 හා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යනු එය තවදුරටත් ඉදිරියට ගෙනගිය භයානක නීති ප්‍රතිසංස්කරණය. මෙරට භෞමික අඛණ්ඩතාව අභියෝගයට ලක්කරමින් 13 වැනි සංශෝධනය කෙරෙද්දී 19 න් වුණේ විජාතික න්‍යාය පත්‍ර එහි තවදුරටත් පැළ කිරීමකි. ජනාධිපතිවරණයේ සිට මහමැතිවරණ හා සමූපකාර ඡන්ද දක්වා ලක්ෂ ගණනින් මිනිසුන් ඡන්ද ප්‍රකාශ කරමින් අවධාරණය කළේ මෙම කුමන්ත්‍රණ ආපසු හරවන්නටය. 20 වැනි සංශෝධන කෙටුම්පතක් සකස් කෙරුණේ ඒ පැහැදිලි ජනවරම අනුවය.

එහෙත් මේ වනවිට යෝජිත විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතු වී තිබේ. එහි අන්තර්ගතව තිබෙන්නේ ජනතාව දුන් ජනවරම අනුදත් ප්‍රතිසංස්කරණ ද යන්න එහි මූලික ප්‍රශ්නය වී තිබේ. ඒ නිසා විස්ස ගැන දැන් යම් සංවාදයක් නිර්මාණය වී තිබේ. ඡන්දය දුන් නුදුන් පක්ෂ විපක්ෂ ඇත්තන්ගේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් දක්වා එම සංවාදයේ කොටස්කරුවෝ වී සිටිති. එය හොඳ තත්ත්වයකි. මන්දයත් ව්‍යවස්ථා සම්පාදනයක දී මහජන සහභාගීත්වය අතිශයින් වැදගත් වන බැවිනි.

මේ රටට පළමු වරට මේ රටවැසියන්ගේම හර පද්ධතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්වයංජාත වූයේ 1972 දීය. ඉතාම විනිවිදභාවයෙන් යුතුව සිදුකළ එම ව්‍යවස්ථාව විනාශ වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. එය සිදුකළේ ද ජනතාවට කොළේ වහලාය. එනිසා අපට නැවතත් 1978 පාලකයන් ගිය මගේ යෑමට නොහැකිය. ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළ ඇමැතිවරයාම එහි හිමිකරු කවුදැයි තමා නොදන්නා බව කියද්දී ජනතාවට මතුවන්නේ ප්‍රශ්නයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සුජාතභාවය, විශ්වාසය, ස්ථිරභාවය ලැබෙන්නේ එය සම්පාදනයේ පළමු පියවරේ සිට අවසන් පියවර දක්වා ඉතාම විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළහොත්ය. විශේෂයෙන්ම විසල් ජනවරමකින් පසුව කෙරෙන එවැනි වැඩපිළිවෙළක දී එහි හිමිකාරිත්වය අතිශය වැදගත්ය. හැදුවේ කවුදැයි නොඅසා එහි අන්තර්ගතය බලන්නැයි කිව නොහැකිය. රටේ මූලික නීතිය කෙටුම්පත් කරනු ලබන්නේ කවර නියෝජිතයන් විසින්දැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. පැවැති නීතිය වෙනස් කළේ ඇයිද? අලුතින් නීති එකතු කළේ ඇයි ද? කියා ප්‍රශ්න කිරීමට ඡන්දදායකයන්ට අයිතියක් තිබේ. එනිසා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් අප කරන මේ විවේචනය ආණ්ඩුව බාර ගත යුත්තේ ධනාත්මක ලෙසය.

ඕනෑම කාරණයක හොඳ නරක කියා දෙකක් තිබේ. එපරිද්දෙන්ම යෝජිත විසි වැනි සංශෝධනයේ ද හොඳ කරුණු තිබේ. 19 වැනි සංශෝධනයට පවා එය පොදුය. උදාහරණයකට 19 වැනි සංශෝධනයෙන් මහජනතාවට ලබාදුන් තොරතුරු දැනගැනීමේ අයිතිය දැක්විය හැකිය. ලංකාව වැනි රටවල දී සාමාන්‍ය ජනතාවට රජයේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම අතිශය දුෂ්කර ව්‍යායාමයකි. මහජන මුදල් වැය කරන මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලෙහෙසි නැත. එහෙත් 19 වැනි සංශෝධනයෙන් තොරතුරු මහජන දේපළක් බවට පත්විය. එය හොඳ තත්ත්වයකි. ප්‍රශ්නය වූයේ තරාදියක දමා කිරා බලද්දී එවැනි සාධනීය ලක්ෂණවලට වඩා එහි ප්‍රතිගාමී ලක්ෂණවල බර වැඩිවීමය. විසි වැනි සංශෝධනය බලද්දී ඊට සාපේක්ෂව සාධනීය කරුණු වැඩිය. උදාහරණයකට පළාත් රාජ්‍ය සේවය විසි වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ විෂය පථයට යටත් කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ වැඩි ඡන්ද බලය පොලිස්පතිවරයාට ද ලබා දී ඇත. එහෙත් 19 වැනි සංශෝධනය යටතේ පොලිස්පතිවරයා පත්කර තිබුණේ කොමිසමට සහභාගී වුවත් නිරීක්ෂකයකුගේ තත්ත්වයටය. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති බලය වසර හතරහමාරක් යනතුරු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කළේය. එහෙත් 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එම බලය පාර්ලිමේන්තුවට වසරක් ගත වන තැන සිට අභ්‍යාස කිරීමට අවස්ථාව දී තිබුණේය. විසි වැනි සංශෝධනයෙන් 19 යේ එකී දුර්වලතාව නැවතත් මගහරවා ඇත. 19 න් උත්සාහ කළේ ජනාධිපතිවරයාගේ බලය උදුරාගෙන අගමැතිවරයාට ලබා දීමටය. එහෙත් අවසානයේදී එයින් නිර්මාණය වුණේ ජනාධිපතිටවත් අගමැතිටවත් බලය නැති ගන්ධබ්බ රාජ්‍යකි. එහෙත් විසි වැනි සංශෝධන කෙටුම්පතින් නැවතත් ජනාධිපතිවරයා ශක්තිමත් රාජ්‍ය නායකයකු බවට පත්කර තිබේ. රටට වැඩදායී නීති සකසද්දී පාර්ලිමේන්තුව සහාය නොදක්වයි නම් ඊට ජනතාවගේ සෘජු අනුමැතිය ඉල්ලන ක්‍රමයක් ද මෙමගින් යෝජනා කර තිබේ. එය යහපත් තත්ත්වයකි.

19 න් ස්වාධීන මැතිවරණ කොමිසමක් සැකැසිණි. අවසාන කාලයේදී මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට ගියේ එම කොමිසමේම සාමාජිකයෙකි. කොරෝනා වසංගත සමයේ කොමිසම ක්‍රියා කළේ ජනතාවට සහන සැපයීමට ප්‍රතිරෝධීවය. මේ නිසා යෝජිත විසි වැනි සංශෝධනයෙන් මැතිවරණ කොමිසමට මැතිවරණ කටයුතු හැරුණු විට රාජ්‍ය හා අධිකරණ සේවය වැනි ක්‍ෂේත්‍රවලට අත තැබීමට ඇති ඉඩ වළකා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනස් කිරීම ද විස්සේ තවත් පියවරකි.  17 වැනි සංශෝධනයෙන් නිර්මාණය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සභාව බවට පත්වුණේ 18 වැනි සංශෝධනයෙනි. නැවතත් එය 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැටියට ප්‍රතිනාමකරණය විය. ඉහළ තනතුරුවල පත්කිරීම් නිර්දේශ කිරීමේ බලය පැවරුණේ ව්‍යවස්ථා සභාවටය. ඒවා අනුමත කරනු ලැබුවේ ජනාධිපති විසිනි. එහෙත් මෙම ක්‍රියාවලිය ප්‍රශ්නකාරී වූ අතර ඇතැම් තනතුරුවලට පත්කිරීම් නිසියාකාරව සිදුවීදැයි සැකයට භාජනය විය. මේ නිසා දැන් නැවතත් එම බලය ජනාධිපතිවරයාට පවරාදීමට යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට හදිසි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට 1978 ව්‍යවස්ථාවෙන් හිමි වූ බලය නැවතත් ලබාදීම ද එවැනිම සාධනීය පියවරකි. මේ ආදී වශයෙන් නිරීක්ෂණය කරද්දී මට අනුව නම් විසි වැනි සංශෝධන කෙටුම්පත සාපේක්ෂ වශයෙන් යහපත් එකකි. අප කළ යුත්තේ ද්විත්ව පුරවැසිභාවය ආදී එහි ඇති ප්‍රශ්නකාරී තැන් විවෘතව මහජන සංවාදයට ලක් කිරීමය. ජනවරමට සාධාරණයක් වන විනිවිදභාවයෙන් යුතු ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට ආණ්ඩුවට පාර කැපෙන්නේ එමගිනි. සැබැවින්ම ඇතැම් දේ වෙන්නේ හොඳටය. විසි වැනි සංශෝධන යෝජනාව ගැන මහා සමාජයේ හටගත් මහා සංවාදය ගැන ද කිවයුත්තේ එයයි. සිදුවිය යුත්තේ එය නිසි පරිදි රටේ යහපත සඳහා යොදාගැනීමය. පසුගිය අවුරුදු පහක කාලයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික මෙන්ම සමාජීය, දේශපාලන හා සංස්කෘතික වශයෙන් ද විශාල ප්‍රශ්න ගණනාවක් හට ගත්තේය. අවසානයේ දී පැවැති ආණ්ඩුවට පාලන බලය අහිමි වුණේ අර්බුදකාරී තැනකට රට තල්ලු කරමිනි. ජනතාව මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කළේ ඒ අර්බුදයෙන් රට ගොඩ ගැනීමය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද එහි වැදගත්ම සංධිස්ථානයකි.


(*** සටහන- බිඟුන් මේනක ගමගේ)

 



අදහස් (4)

විස්ස විනිවිද දැකීම

Champa Thursday, 17 September 2020 10:49 AM

දයාන් ජයතිලක රැස්වීමක කියපු කතාව හරි. ජේ.ආර්. හදපු ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඒ හා සමාන මොළයක් තියෙන බුද්ධිමතෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් ඉන්නවද? 1972 සහ 1978 ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම හැදුවේ නීතිය ගැන විතරක් නෙමෙයි, සෙසු විෂයයන් ගැනත් පුළුල් දැනුමක් සහ ඉතා තීක්ෂණ බුද්ධියක් තිබ්බ ලංකාවේ හිටපු ලොකුම සහ එකම මොලකාරයින් දෙන්නා. කොල්වින් ආර් ද සිල්වා සහ ජේ.ආර්. ජයවර්ධන. ඔවුන් හා සමාන බුද්ධියක් තියෙන කිසිවෙක් ලංකාවේ නැහැ. අනාගතයේත් ඇති වෙයි කියලා හිතන්න බැහැ. ඒ හින්දා ජේ.ආර්. අවුරුදු ගාණක් තිස්සේ ගැඹුරින් අධ්‍යයනය කරමින් හදපු ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියන එක විහිලුවක්. කරන්න පුළුවන් සංශෝධන ගේන එක. ඒකවත් හරියට බැරි බව 19, 20 ව්‍යවස්ථා සංශෝධන දෙකෙන්ම ඔප්පු වෙලා තියෙනවා. මම අවුරුදු ගාණක් කිව්ව දේම ආයෙත් කියනවා. ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. සිංහලයින් අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවේත් නැහැ. සුළු ජාතින්, ඔවුන්ගේ ජාතිවාදී අරමුණු වෙනුවෙනුත්, දේශපාලකයන් ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙනුත් තමයි අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියන්නේ. 20 පිටිපස්සේ තියෙන්නෙත් පෞද්ගලික අරමුණක්...

:       0       3

විනිවිද Thursday, 17 September 2020 10:58 PM

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 78 ගෙනෙන ලද ව්‍යවස්තාව අනුව පත්වන ජනාධිපතිවරයාට රටේ විධායක බලතල ලබාදී තිබුණි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පසුව බලයට පත්වූ සෑම කෙනෙකුම බලයට පත්වූයේ එම ව්‍යවස්ථාව මාස 6කින් අහෝසිකිරීමට හෝ මානුෂික මුහුණුවරක් දීමේ ජනතා පොරොන්දුව මතවේ. විධායක ජනාධිපති තනතුරේ කතාව වචනයට පමණක් සීමාකොට ඔවුන් සෑමදෙනාම අවසානයේ බලය හොඳින්ම භුක්ති වින්දේය. එම බලය කොතරම් රසවත්ද කියතොත් සමහර නායකයින් බලයට තණ්හාව නිසාම ඔවුන්ගේ (12 year maximum presidential term) වැඩිකර ගැනීමට ගොස් ඔවුනට වසර 3කට කලින් ගෙදර යාමට පවා සිදුවිය. විධායක ජනාධිපති තනතුරේ බලය සමතුලිත කොට ජනාධිපතිවරයාගේ බලය අඩුකොට 19 වන සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට බලය ලබාගැනීමට ක්‍රියා කල පමණක් නොව ස්වධීන කොමිසන් සභාවන් පවා පත්කරන ලදී. විවේචන තිබුණද එම කොමිසන් සභාවන් නිසා පැය 24න් මහාධිකරණ විනිසුරුවන් ගෙදර යැවූ යුගය අවසන් කිරීම සහ රටට පනවා තිබූ විදේශ තහනම් ඉවත් කොට ගැනීම පවා සිදුවිණි. 19 වැන සංශෝධනය වෙනස් නොකර එය තවදුරටත් ශක්තිමත් කරනවා හැර තුනෙන් දෙක යොදවා 20/20 බැට් කිරීමට ගොස් රජය ඉක්මන් දැවී යාමකට මුහුණ දීමට සිදුවනු ඇත...

:       0       13

Champa Thursday, 17 September 2020 11:47 AM

අපට තියෙන්නේ ඉතා ශක්තිමක් ව්‍යවස්ථාවක්... කොච්චර ශක්තිමත්ද කිව්වොත් රට පාවාදෙන එම්සීසී වැනි ගිවිසුම් හොරට අත්සන් කළත් ක්‍රියාත්මක කරන්න බැහැ. ව්‍යවස්ථාවේ වගන්ති වෙනස් නොකර. 1987 ඉන්දු-ලංකා ගිවිසුම වැරදියි කියනවා. හැබැයි ජේආර් ඒක කලේ ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කරන්න ඒ වෙලාවේ තිබ්බ එකම විසඳුම හැටියට. මේක හැබැයි මගේ අදහසක් නෙමෙයි. ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්ත සරල ගැමියෙක් වුණු මගේ තාත්තා කියලා දුන්නේ. (හැබැයි ඉස්කෝලේ ඉංග්‍රීසි ඉස්කෝලයක්...) 1987 ගිවිසුම අත්සන් කරන කාලේ ලයිට් නැහැ. මිදුලේ නවත්තලා තිබ්බ ගමේ කෙනෙක්ගේ ලොරියක බැටරියෙන් තමයි තාත්ත ටීවී එක ඔන් කලේ... රජිව්ට ගහන එක නිව්ස් වල පෙන්නුවා, එකපාරක් හෝ දෙපාරක්... තාත්තා කිව්වා ජේ.ආර්ගේ ගැටේට රජීව් අහු වුණා කියලා. උඩින් ඇවිල්ලා පරිප්පු දාන කොට ඉන්දියාව හිටියේ හරිම ශක්තිමත්වලු. ඊළඟට යාපනයට හමුදාවක් වුණත් ගොඩ බස්සන්න පුළුවන් කියලා ජේ.ආර්.ට තෙරුණාලු. ඒ හින්දා ඉන්දියානු ආක්‍රමණයක් නවත්තන්න ඉන්දියාව ගිවිසුමකට හිරකර ගත්තලු. ඉන්දියන් හමුදාව එන්න කිව්වම ආවා. යන්න කිව්වම ගියා. අදටත් අපේ අවසරයක් නැතුව ඔවුන්ට ගොඩින් බිමින් හෝ මුහුදින් එන්න බැහැ...

:       0       5

Champa Thursday, 17 September 2020 12:49 PM

පළාත් සභා අහෝසි කරන්න ඉන්දියාවෙන් අහන්න ඕනේ කියලා මතයක් දැක්කා. වැරදි අදහසක්. ඉන්දියාවයි ඒ ගිවිසුම සම්බන්ධයෙන් අපේ අවසර ගන්න ඕනේ. ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඉන්දියාව අපේ රටේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවයට ඇඟිලි නොගසන්න එකඟ වෙලා තියෙනවා. පළාත් සභා සහ ඒ නිසා ඇති කළ ප්‍රාදේශීය සභා අහෝසි කරන්න ඕනේ. එකක්, පළාත් සභා ඇති කරන්න හේතුවුණු එල්ටීටී එක දැන් නැහැ. පළාත් සහ ප්‍රාදේශීය සභා රටේ ආර්ථිකයට විශාල බරක්... 2017දී පළාත් සභාවල 455ක් හිටියා. 2018 ප්‍රාදේශීය සභාවල 8327ක්. මේ සභා දෙකේම ඉන්න විශාල සංඛ්‍යාවක දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල්, ඔවුන්ගේ නෑදෑයින්, මිතුරන්, හිතවතුන් සියල්ල නඩත්තු කරන්නේ මහජනයා. මේක මහ විහිළුවක්. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පුළුල් කළා නම් ඒ හොඳටම ඇති ප්‍රදේශයේ අවශ්‍යතාවලට. අනික නගර සභාත් තියෙනවා. හරිනම් නගර සභා තමන්ගේ ආදායම් හොයාගන්න ඕනේ. නමුත් ඔවුන් ආදායම දේශපාලකයින්ගේ පෞද්ගලික උන්නතියට වියදම් කරලා නිසා අද ඒවත් නඩත්තු කරන්නේ ආණ්ඩුව. 20 හදපු කෙනෙක් අද නැහැ. 20ට විරෝධය එනකොටම, 20 අම්මා අප්පා නැති දරුවෙක් වුණා. ඒ කියන්නේ 19 වගේම, 20ත් පිටිපස්සේ ඉන්නේ එන්.ජී.ඕ. නඩයක්...

:       0       13

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 245 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 60 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 603 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 292 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 114 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 335 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1724 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site