IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොමිසම ඇත්ත පැත්ත හෙළිකර නෑ

පාස්තු ඉරිදා ප්‍රහාරයට අදාල විමර්ශන වලින් පසු පිළිතුරු නොලැබුණු ප්‍රශ්න කිහිපයක් ශේෂවී තිබෙන බවත් අනාගතයේ සිදුවිය හැකි එබඳු සිද්ධි වළක්වා ගැනීමට ඒවා කඩිනමින් විමර්ශනය කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විදේශ හස්තයක් ක්‍රියාත්මක වී ඇති බව අපට පෙනී යන්නේ නෑ. එහෙත් ආරක්ෂක කාර්ය මණ්ඩලයට අයත් කවුරු හෝ අසීරුහරිය මගහැර යමින් නොසැලකිල්ලෙන් ක්‍රියා කළා. මට තිබෙන ගැටලුව එයයි. කෙසේ හෝ සහරාන් ඇතුළු සෙස්සන් ආරක්ෂක ක්‍රමය ගැන දැන සිටි නිසා ඊට අසු නොවී ඔවුන් කට්ටි පැන්නා. ඉදිරි කාලයේදීත් එයම සිදුවිය හැකි නිසා එය කරදරකාරී ගැටලුවක්. මෙම සමස්ත ක්‍රමයේම නිතරම දෙබිඩි ක්‍රියාකාරකම් පවතිනවා යනුවෙන් වික්‍රමසිංහ මහතා ඩේලි මිරර් පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ක්‍රියා සිටියේය. මේ එම සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- ඔබතුමා තවමත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා. එය දීර්ඝ අතීතයක් ඇති පක්ෂයක්. මේ වනවිට මාස කිහිපයක පටන් එම පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නෑ. එජාපය කොයි වේලේ හෝ මන්ත්‍රීවරයකු නම් කරන බවට අපට බලාපොරොත්තු තබාගත හැකි ද?
පිළිතුර:- කවුරු යැවිය යුතු ද? ඊළඟට කුමක් කරන්නේද? යන්න ගැන පක්ෂය මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. කවුරු හෝ යාවි යැයි මා අනුමාන කරනවා. එහෙත් වඩාත් වැදගත් කාර්යය වන්නේ පක්ෂය පාර්ලිමේන්තුවට පිටතින් ගොඩ නැගීමයි. ප්‍රබල විපක්ෂයක් ඊට යා යුතුයි. ඒ සඳහා පක්ෂයේ බොහෝ අය කඩිනමින් කටයුතු කරන බව මා සිතනවා.

ප්‍රශ්නය:- ඔබ සහ ඔබේ පක්ෂය සමගි ජන බලවේගය වැනි අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටිනවා ද? ප්‍රබල විරුද්ධ පක්ෂයක් ගොඩනැගිය හැකි පක්ෂයක් සමග ඒකාබද්ධවීමේ උත්සාහයක් තිබෙනව ද?
පිළිතුර:- විපක්ෂයේ සියලු පක්ෂ සමඟ අප ඒ ගැන සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට උත්සාහ දරනවා.

ප්‍රශ්නය:- වික්‍රමසිංහ මහතාණෙනි, මින් ඉදිරියට ඔබගේ සැලසුම් මොනවාද? අනිවාර්යයෙන්ම නැවත ක්‍රියාකාරී වීම පිළිබඳව ඔබ පක්ෂයට උපදෙස් දෙමින් සිටිනවා විය යුතුයි. ඔබේ වර්තමාන සැලසුම් මොනවාද?
පිළිතුර: ඒ ගැන දැන ගන්නට ඔබට ඉවසිල්ලේ බලා ඉන්නට සිදු වෙනවා. බලා ඉන්නා තරමට මම දකීවි. ඔබ දකිනා තරමට ඔබ තවත් බලා හිඳීවි.

ප්‍රශ්නය:- ඔබ එජාපයේ නායක ධුරයේ තව කෙතෙක් කල් රැඳී සිටිනවාද?
පිළිතුර: එය පක්ෂය විසින් තීරණය කරාවි.

ප්‍රශ්නය: පාස්කු ඉරිදා ප්‍රහාර දෙසට යොමු වෙන්නේ නම් රටේ නායකයන් ලෙස එහිදී අසමත් වූ බවට ඔබටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් චෝදනා රාශියක් නැගෙනවා. ඔබත් අනෙකුත් නායකයනුත් දේශපාලන වශයෙන් සුළු අඬදබරවල ඒ වනවිට නිරත වී සිටි නිසා අනතුරු හැඟවීමකින් යම් මාරාන්තික සිදුවීමක් කල්තියා දකින්නට ඔබ අසමත් වූ බවට චෝදනා නැගෙනවා. ඔබට ඒ ගැන කියන්නට ඇත්තේ කුමක් ද?
පිළිතුර: මෙතැන දී කාරණා දෙකක් තිබෙනවා. පළමුවෙන් ඔබ කි සුළු අඬදබර ගැන පළමුවෙන්ම මා කියන්නම්. පෙර රජයේ ගැටලු තිබුණා. එසේ වුව ද චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයෙත් ගැටලු තිබුණා. එහෙත් සැබෑව නම් ඒ කාලයේ ජීවිතයේ මීට වඩා යහපත් අන්දමින් ගතවුණා යන්නයි. ජීවන වියදම දරාගත හැකි මට්ටමක පැවතුණා. ආදායම් ලැබුණා. සෞඛ්‍ය සේවා වර්ධනය වුණා. අධ්‍යාපනය වර්ධනය වුණා. යටිතල පහසුකම් සංවර්ධනයට විශාල මුදලක් වෙන් වුණා. අප ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට උත්සාහ දරමින් සිටියේ. ඉතින් ඔබ කී අඬදබර කිරීමෙන් එසේ කළ හැකි නම් ඔබට මෙම රජයට වඩා හොඳින් කටයුතු කළ හැකියි. එකම පවුලක් සහ කල්ලියක් එක්වී ඔවුන්ට කොරෝනා එන්නත ලබාගැනීම වැනි සරල කාර්යයක් පවා කළ නොහැකි නම් එම තත්ත්වයට වඩා පැවති රජය හොඳයි. අප අතර භේද තිබුණා. ඒ ගැන සැකයක් නැහැ. එහෙත් සෘණ මට්ටමේ තිබු ආර්ථිකයක් අප ධන ආර්ථිකයක් කරා වර්ධනය කළා. අප අතර තිබු භේද නිසා ප්‍රගතිය නැවතුණේ නැහැ. ප්‍රගතිය වඩාත් වේගයෙන් සිදුවූවා විය හැකියි. මෙකී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සැලකූ විට පළමු කාරණය ඒ ගැන අනතුරු හැඟවීම් පිළිබඳව මාහට දැනුම් නොදීමයි. මා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුව තිබුණු බවට ගැටලුවක් මතු වුණා. එහෙත් එක් අවස්ථාවක අගමැති තනතුරේ සිටි මහින්ද රාජපක්ෂ හෝ මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි සිතා තිබුණේ නැහැ. හිටපු ජනාධිපති සිරිසේන සහ නිලධාරීන් පිළිබඳව ඔවුන්ගේ (කොමිසමේ) නිරීක්ෂණ මත නිර්දේශ ඉදිරිපත් කොට තිබෙන නිසා ඒ පිළිබඳ යමක් කීමට මට අවශ්‍ය  බව මා දන්නවා. එම නිසා මා ඉන් ඈත්ව සිටිය යුතු වෙනවා. ඊට කාරණ දෙකක් ඇතුළත්. පළමුවැන්න ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව පිළිබඳ තොරතුරු රජයට ලැබෙන්නට පමා වූයේ දැයි යන්නයි. ඔවුන් පෙබරවාරි මාසයේ ඒ පිළිබඳ ජනාධිපතිවරයාට  විස්තර කොට තිබෙනවා. එහෙත් ඊට පෙර ඒ පිළිබඳ විශාල ලෙස වාර්තා ලැබී නැහැ. ඉතින් එතැන දී සිදුවූයේ කුමක්ද? දෙවැන්න ඉන්දියාව පැත්තෙන් අන්තිම දින කිහිපයේ අපට තොරතුරු ලැබීමයි. මෙම තොරතුර දැන් ප්‍රමාණවත් බව මට පෙනී යනවා. එහෙත් මදක් දිගු පිළිතුරක් දෙන්නේ නම් එම ප්‍රහාරයෙන් පසු ඉක්මනින් මා එහි ගොස් බෝම්බ පිපිරීමේ පිළිබඳව ඔවුන් හා කතා කළ විට පැය නවයක් ඇතුළත ඔවුන් ඊබ්‍රහිම් සහ අනෙක් අය හඳුනා ගත්තා. සිද්ධියේ තොරතුරු සොයා ඔවුන් දෙමටගොඩ ගොස් තිබුණා. එයින් තේරුම් යන්නේ දැඩි පීඩනයක් යටතේ වුව ඔවුන්ට නිසි පරිදි කටයුතු කළ හැකි බවයි. එසේනම් සහරාන් ගැනත් අනෙක් අය ගැනත් අපට කියන්නට ඔවුන්ට නොහැකි වූයේ ඇයි?

ප්‍රශ්නය:- ඔවුන් යනුවෙන් මෙහිදී ඔබ අදහස් කළේ කවුරුන් ගැනද?
පිළිතුර:- ආයතන ගණනාවක් තිබෙනවා. එස්.අයි.එස්, ටී.අයි.ඩී සහ බුද්ධි අංශ. ඒ වගේ හුඟක් අය සිටියා. අපට කලින් තොරතුරු නොලැබුණේ ඇයි? අන්න එයයි ගැටලුව.

ප්‍රශ්නය:- පිළිතුරු දිය යුතු ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන සැකයක් නෑ. එහෙත් චෝදනා එල්ල වී ඇති නායකයන් අතර ඔබ සිටිනවාය කියන කාරණය නොසලකා හරින්නට බැහැ. ජාතියට ආරක්‍ෂාව සැපයීමේ රාජකාරිය අතින් ඔබ අසමත් වුවා නොවේ ද?
පිළිතුර:- ඒ කාලයේ ආණ්ඩුව අප නිසා ආරක්‍ෂාව සම්බන්ධ වගකීම තිබුණේ අපටයි. පළමුවැන්න සහරාන් පිළිබඳ තොරතුරු අපට කලින් නොලැබුණේ මන්ද යන්නයි. දෙවැන්න පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය නොකළේ මන්ද යන්නයි. ඒවා මූලික ගැටලු. පත්කළ කොමිසම පවා ඒවා ගැන පූර්ණ විමර්ශනයක් කළේ නෑ. උදාහරණයකට ඇමරිකානුවන් උසාවියේ නඩුවක් ගොනු කළා. ඒ කුමක් ගැන ද යන්න අප ඔවුන්ගෙන් ඇසුවේ නැහැ. T 56 ගිනි අවි දෙක කොහෙන් ලබාගත්තේද යන ප්‍රශ්න අපි ඇසුවේ නෑ. ඒවා වළ දැමූ ත්‍රස්තවාදීන් ඒවා LTTE යෙන් ලබා ගත්තා යයි මා සිතන්නේ නෑ. ඇතැම් මුස්ලිම් කණ්ඩායම් සහ ආරක්‍ෂක ඒකකවල කොටස් අතර සම්බන්ධතා ගැටුම් පැවති කාලයේ තිබි තියෙනවා. එහෙත් ඉන්පසු සිදුවූයේ කුමක්ද? 2015 දී පවා අප ඔවුන්ට කීවා ඉතිරි අවි සහ උණ්ඩ ලබා ගන්නා ලෙස. කොමිසම පූර්ණ ලෙස ඒවා පිළිබඳ සොයා නොබැලුවේ ඇයි? මෙම කාරණය සම්බන්ධ විවිධ මත තිබෙනවා. කුමන මත නිවැරැදිද යන්න මා දන්නේ නෑ. දෙවැන්න, 2019 නිදහස් දිනයේ දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කිරීමට පළමුවෙන් සැලසුමක් තිබූ බව නවුෆර් මවුලවි කීවා. කුමන කාරණයක් නිසා බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කිරීමේ සිට ක්‍රිස්තියානි ජනයාට හා මඩකළපුවේ ද්‍රවිඩ ජනයාට ප්‍රහාර එල්ල කිරීම දක්වා සැලසුම් වෙනස් වූයේ ද? හැමදෙනාම මගෙන් අසන ප්‍රශ්නය එයයි. වාර්තාවෙන් අනතුරුව පවා ඒ ගැන සොයා බලා නැත්තේ ඇයි කියා ජනයා මගෙන් අසනවා.
තුන්වැන්නද පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම පිළිබඳවයි. එතැන දී සිදු වූයේ කුමක්ද? අපට නැගෙනහිර ඇති තරම් ආරක්‍ෂක බුද්ධි අංශ නිලධාරිනුත්, ආරක්‍ෂක ක්‍රමයකුත් තිබුණා. එය ඔවුන්ට අනාවරණය කරගත නොහැකි වූයේ ඇයි ? පැය 9ක් ඇතුළත මට ප්‍රතිඵල පෙන්වන්නට ඔවුන් හැකියාව තිබිණි නම්, දින කිහිපයක් තුළ ප්‍රහාරය පසුපස සිටියවුන් හඳුනාගන්නට හැකියාව තිබිණි නම් මීට පිළිතුරු දෙන්නට ඔවුන් මෙතරම් දීර්ඝ කාලයක් ගන්නේ ඇයි? අප ආපස්සට ගොස් මේ පසුබිමේ තිබූ දේ සොයාගත යුතුයි. සහරාන් ඊබ්‍රාහිම් වෙත පැමිණ සැලසුම් කළේ කොහොම ද? ඔවුන් එකිනෙකට වෙනස් නිකාය දෙකක්. මේ දැනට පැනනගින ප්‍රධාන ගැටලු වලින් කිහිපයක්. හැමදේම අසම්පූර්ණ බව මා කිව යුතුයි. ඇත්තෙන්ම මෙම ගැටලුව හරි හැටි තෝරා බේරා ගෙන නැහැ. තේරුම් කමිටුව ප්‍රශ්නකොට සොයා බැලුවේ පිපිරීම සිදුවූ දිනයේ සිදුවූයේ කුමක් ද? තොරතුරු ලබා දුන්නේ ද ඒ අනුව අප ක්‍රියා කළේ ද නැති ද යන්නයි. එයින් ඔබ්බට ඔවුන් ගියේ නෑ. ඒ නිසයි ඔවුන් මේ පිළිබඳව සොයා බැලීමට කොමිසමක් නිර්දේශ කළේ.

ප්‍රශ්නය:- විමර්ශනයට ලක් කළ යුතු පිළිතුරු නැති ප්‍රශ්න, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ තිබෙන බව පෙනී යනවා. කෙසේ හෝ ඔබගේ අත්දැකිම් තුළින් මෙම මුළු සිද්ධිය සම්බන්ධයෙන් බාහිර හස්තයක් ක්‍රියාත්මක වී තිබිය හැකි යැයි ඔබ සිතන්නේ ද? විදේශීය හස්තයක් හෝ තිබිය හැකි ද?
පිළිතුර :- මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් හස්තයක් ඇතැයි අපට පෙනී යන්නේ නෑ. එහෙත් මගේ ගැටලුව ආරක්ෂක කාර්ය මණ්ඩලයට අයත් කවුරු හෝ අසීරු හරිය මඟ හැර යමින් නොසැලකිල්ලෙන් ක්‍රියා කර තිබීමයි. සහරාන් ඇතුළු සෙසු අය ආරක්ෂක ක්‍රමය ගැන දැන සිටි නිසා ඊට අසු නොවී කට්ටි පැන්නා. ඉදිරි කාලයේදීත් එවැන්නක් සිදු විය හැකි නිසා එය කරදරකාරී ගැටලුවක්. මෙම සමස්ත ක්‍රමය තුළම දෙබිඩි ක්‍රියාකාරකම් පවතිනවා. නිතරම එම තත්ත්වය ආරක්ෂා වන නිසා එය පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. දෙපැත්තම එකම ජනයා භාවිත කරන බව පෙනී යනවා. බෝම්බ සිද්ධියෙන් පසුව මෙවැනි ඇතැම් ප්‍රශ්න මම මතු කළා. කොමිසමෙන් ඒවාට පිළිතුරු සොයා ගත්තැයි මා සිතුවත් එසේ සිදු වී නැහැ. ඉන්දියාව තොරතුරු දුන් බව අප දන්නවා. එහෙත් අර දින 10 තුළ ඔවුන් කළේ කුමක්ද?

ප්‍රශ්නය:- මේ පිළිබඳව ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ දැනුවත් කළේ ද? මෙවැන්නක් නැවත සිදුවිය හැකි බව ඔබ කීවා.
පිළිතුර:- ඔවුන් මගෙන් ඇසුවොත් මා ඔවුනට කියනවා. ඔබ මගෙන් ඇසුවා. තවත් ජනමාධ්‍යවේදින් මගෙන් ඇසුවා. ඉතින් මා ඒ ගැන කියනවා. ඔවුන් තම පරීක්ෂා හමාර කොට නැහැ.

ප්‍රශ්නය:- ඉතා මෑතක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ තවත් කමිටුවක් පත් කළා.  ජනතාව මෙම කොමිසම් ගැන තිබෙන විශ්වාසය නැති කරගෙනද?
පිළිතුර:- මා පුවත්පත් කියවා දැනගත් පරිදි මෙම කමිටුව  නිර්දේශ පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක  කළ යුතුදේ තීරණය කිරීමේ කමිටුවක්. මෙම අලුත් කමිටුව ඉන් ඔබ්බට ගොස් ඇගැයුම් කරන්නට ගියහොත් අවුලක් සිදුවෙනවා. එහෙත් ඉන් කරනුයේ නිර්දේශ අධ්‍යයනය කිරීම පමණක් නම් එහි ගැටලුවක් නෑ. මන්දයත්  අපට එම නිර්දේශ බලා ඒ ගැන විවාද කළ හැකියි.

 ප්‍රශ්නය:- කෙසේ හෝ පාස්කු ඉරිදා ප්‍රහාරය පැවැති ආණ්ඩුව දෙදරවා හැරියා. අපගේ ජාතික ආරක්ෂාව ද දෙදරා ගියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂ්‍ය පාස්කු ප්‍රහාරය යැයි ඔබ සිතන්නේ ද?
පිළිතුර:- එය හේතුවලින් එකක්. එහෙත්  අප 83 දෙදරා ගියා. 87 අප දෙදරීමට ලක්වුණා. තවත් දෙදරා යාමක් සිදු වූයේ ඔහු ළඟ සිටි පුද්ගලයකු හවුල් වී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයට ලක්වූ අවස්ථාවේ. එසේම ජනාධිපති කුමාරතුංගට ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ ද එවැනි දෙදරීමක් සිදුවුණා. ඉතින් ඒවාගේ සිද්ධි සිදුවෙනවා.  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පිළිතුරු සොයා නොගත් ප්‍රශ්න ඉතිරිවී තිබීම ඉතා අවාසනාවක්.

ප්‍රශ්නය:- දැනට  පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසි වෙත අවධානය යොමුකළහොත් ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? වර්තමාන රජය එය හොඳින් හසුරුවා ගනිතැයි ඔබ සිතන්නේ ද?
පිළිතුරු:- ඒ පිළිබඳ බොහෝ වාද විවාද පවතිනවා.  කිසිවකු  සමග සටනට එළඹීම නොකළ යුතුයි. එය ඉතා වැදගත්. මෙම රටවල් ශ්‍රී ලංකාවට උපකාර  කළ හැකි තත්ත්වයේ  ඉන්නා ඒවා. ඔවුන් මෙරටට උදව්කර තියෙනවා. මෙම ප්‍රශ්න පැන නැගුණේ ඇයි දැයි කියා ආපසු හැරී බලමු. එසේ වුයේ මානව හිමිකම් චෝදනා විමර්ශනය කළ යුතු බවට මහින්ද රාජපක්ෂ සහතික කොට කියා සිටි අවස්ථාවේ, බෑන්කි මුන් හා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ නිසා. ඔහු මෙම ප්‍රකාශය නොකළේ වුව අපට පීඩනය එල්ල වෙනවා. එහෙත් මේ ආකාරයට නොවෙයි. ඊට පසුව මගේ රජය ඒ  අනුව ක්‍රියා කළා. අන්තර් ජාතික ප්‍රජාව සමඟ ගැටලු ඇතිකර ගැනීමෙන්  අප වැළකුණා. ඉවත් කර තිබූ GSP ප්ලස් පවා අප නැවත ලබා ගත්තා. මෙම යන මාර්ගය නැවත වෙනස් කරගත යුතුනම් අවසාන මොහොතේ මිත්‍ර  සන්ධාන ගොඩ නගන්නට නොගොස් කල්තියා සැලසුම් කරගත යුතුයි. මෙවර මානව හිමිකම් කොමිසම් සැසිවලට ඇමෙරිකාවේ ප්‍රවිශ්ටය ද සිහිතබා ගත යුතුයි. තීරණ ගැනීමේදී ඔවුන්ද එය පිළිබඳව සිහි තබා ගනීවි. ජනාධිපති බයිඩන්  ශ්‍රී ලංකාව ගැන  දන්නවා. හිටපු ජනාධිපති  රාජපක්ෂ එ.ජා. මහලේකම් සමග වරක් ඒකාබද්ධ ප්‍රකාශයක් කළ විට ඔබ ඊට බැඳි සිටිනවා. එයින් ගැලවීමක් නෑ. එසේ නම් එය නොකළ යුතුව තිබුණා.

 


ප්‍රශ්නය:-  ප්‍රගතිය සැලකිල්ලට ගත්විට රාජපක්ෂ රජය කෙසේ කටයුතු කරන්නේදැයි ඔබ  සිතන්නේද?
පිළිතුර:- මේ රජය සිදුකළ සංවර්ධනය ඔබ මට පෙන්වන්න. එවිට මම ඒ ගැන කියන්නම්. ඔබේ නිවස සම්බන්ධ තත්ත්වය දැනුත් එකලත් සසඳා මට කියන්න.

ප්‍රශ්නය:- අපගේ විදේශ ප්‍රතිපත්ති සැලකූවිට කෙසේ හෝ මැතක දී අප ඉන්දීය විරෝධි හැඟීමක් පෙන්නුම් කර තිබෙනවා.
පිළිතුර:- අපට ඉන්දියාව අවශ්‍යයි යන ස්ථාවරයේ මා නිතරම සිටියා. අපට ජපානයත් අවශ්‍යයි.  චීනයත් අවශ්‍යයි. අපට සැමදෙනා සමග  එක්ව යා හැකියි. එක්සත් ජනපදය සමග  පවා එක්ව යා හැකියි. අප එක් අයෙක් අනෙකා හා කෙටවීමේ කාර්යයේ නිරත විය යුතු බව මා සිතන්නේ නැ. සියලුම හවුල්කරුවන් සමඟ  තුළිත සම්බන්ධතා අප පවත්වාගත යුතුයි. ප්‍රබල විදේශ ප්‍රතිපත්තියක් යනු එයයි.  රජය එළඹුණු මොනයම් හෝ ගිවිසුමක්  අහෝසි කළ යුතු නෑ. රජය මාරු වූ විට ගිවිසුම වෙනස් කළ යුතු නම් එහි යම් යම් කොටස් වෙනස් කළ හැකියි. එහෙත් එය අහෝසි කර දැමීම නොකළ යුත්තක්. එය නොහොඳ වැඩක්.

 ප්‍රශ්නය:- නැගෙනහිර  බහාලුම් පර්යන්තය ගැනත් එය ඉන්දියාවට  භාර නොදීමට මෙම රජය ගත් තීරණය පිළිබඳවත් ඔබට කිව හැක්කේ කුමක්ද?
පිළිතුර:- මා මුලින්ම කීමට කැමතියි. අප වරායේ පර්යන්ත මෙහෙයුම් එකිනෙකින් වෙන්කොට සිදුකරන්නට ගත්තේ චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේ පටන්. එවකට දකුණු ආසියා හා කලම්බු ඉන්ටර් නැෂනල් බහාලුම් පර්යන්තය යන දෙකේ නම් අපට ලැබුණේ සියයට 15ක්.  එහෙත් මේ දෙක වෙන් කිරීම හොඳ දෙයක් කියා මා සිතන්නේ. නැගෙනහිර පර්යන්තය ගැන කිවහොත් රජයට සියයට 51 කොටස්වලින් හිමිව තිබියදී ඉතිරි කොටස් සමාගමට දිය යුතුය යන ස්ථාවරයේ අප සිටියා. එහෙත් බටහිර පර්යන්තයේ ඒකාබද්ධ ව්‍යාපාර හවුල්කරුවන්ට බහුතර කොටස දිය යුතු බව අප කල්පනා කළා. අන්න එයයි අපට තිබූ සැලැස්ම. එහිදී විකුණා දැමීමේ සැලැස්මක්  තිබුණේ නැහැ. දෙවැන්න අපගේ කන්ටේනර් හුවමාරුවලින් සියයට 75 කට වැඩි කොටසක් යන්නේ ඉන්දියාවට. එම නිසා  ඉන්දියානුවන් සමගත් අප කටයුතු කළ යුතුයි.  සැබෑව නම් ඔවුන්  ඉන් ගත්තේ සියයට 10ටත් අඩු කොටසක් යන්නයි. ඒ කාලයේ විශාලම සමුහය වූයේ අදානි සමුහයයි. එහෙත් අවසානය තෙක් ඔවුන් නම් කිරීම සිදුවුණේ නෑ. තුන්වැන්න  අපට ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට අවශ්‍ය නම් අපගේ වරායත් ඉන්දියාවට, බෙංගාල බොක්කට සහ කරච්චියට  සේවා සැපයිය හැකියි. එහෙත් වැඩි කොටස ඉන්දියාව සහ සම්බන්ධයි. 2050 දී ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය  වනුයේ ඉන්දියාවයි. එහි තේරුම එරට දළ දේශීය නිෂ්පාදනය තුන් ගුණයක් හෝ ඊටත් වැඩියෙන් වර්ධනය වේවි යන්නයි. එහි තේරුම නාවික ප්‍රවාහන තවත් ඔවුන්ට අවශ්‍ය වන බවයි. එහෙත් ඔවුනට ඒ සඳහා වරාය ඉඩකඩ පහසුකම් නැහැ. ඉතින් අප ඉන්දියාව සමග හොඳින් වැඩ කළ හොත් අපට කොළඹ වරාය මෙන්ම, උතුරේ වරායනුත්, ත්‍රිකුණාමල වරායත් සංවර්ධනය කළ හැකියි. දැන් අපට තිබු එම අවස්ථාව ගිලිහි ගියා. ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ සිංගප්පූරුව, ඉන්දුනීසියාවට මැලේසියාවට හා අනෙකුත් රටවලට වැදගත් වන ආකාරයේ ස්ථානයකට එන්නට හැකියාව තිබුණා. ඉන්දියාවේ ඇතැම් පර්යන්තවල පවා මෙහෙයුම් කිරීමේ අයිතිය පවරන්න දැයි අපෙන් අසන්නට පවා ඉඩ තිබුණා. අපට ලොකු විෂය පථයක් තිබුණා. මෙය අපගේ විශාලතම විදේශ විනිමය ඉපයුම් මාර්ගය වන්නට ඉඩ තිබුණා. එම අවස්ථාව අපෙන් ගිලිහී ගියා.

ප්‍රශ්නය :- විශේෂයෙන් කොරෝනා නිසා ආර්ථික අතින් ජනයා පීඩා විඳිනවා. මෙම රජය යටතේ තව අවුරුද්දක් දෙකක් ගත වූ විට අප කොතැනක හිඳි දැයි ඔබ සිතන්නේ ද?
පිළිතුර :- ඉතාමත් නරක තත්ත්වයක. මේ ආණ්ඩුවට සාර්ථකව කටයුතු කළ හැකි වුණේ නෑ. එකිනෙකා සමග සණ්ඩු සරුවල් කර ගැනීමෙන් හෝ ආණ්ඩුවට එය කළ හැකි වන්නේ නෑ.

ප්‍රශ්නය :- ආර්ථික අර්බුදයක් කරා යන බව ඔබ සිතන්නේද?
පිළිතුර :- මෙම වසර අග වන විට හෝ ලබන වසරේ අනිවාර්යයෙන්ම අර්බුදයකට අප යනවා. දැනටමත් ජනතාවට එය දැනෙනවා. එහෙත් අර්බුදයට මුහුණ දෙන විට පීඩාව මීටත් වඩා දැනේවි.

ප්‍රශ්නය :- ඔබට ආර්ථිකය සම්බන්ධ පුළුල් දැනුමක් තිබෙනවා. රජය අතපසුවීම් කරන බවට ඔබ පැහැදිලිව ප්‍රකාශ කරන බව පෙනී යනවා. එහෙත් ඔබ සහ අගමැති මහින්ද රාජපක්ෂ හොඳ මිතුරන් නේද? ඔබට ඔබගේ මිතුරාට උපදෙස් දිය නොහැකි ද?
පිළිතුර :- මම ඉන්නේ විරුද්ධ පක්ෂයේ. මම බොහෝ කාලයක පටන් මහින්ද රාජපක්ෂ අඳුනනවා. අගමැතිවරුන් සහ විපක්ෂයේ දේශපාලනඥයන් හොඳ මිතුරන්ව සිටීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. වෙන කාටවත් වඩා චන්ද්‍රිකා කුමාරතුංගටත් වඩා දීර්ඝ කාලයක පටන් මා ඔහු අඳුනනවා. දීර්ඝම කාලයක පටන් ඔහු හඳුනන්නේ මමයි. අප කතා බහ කරනවා. අනෙක් රට වලත් මේ දේ සිදු වෙනවා. සමහර විට මෙම සම්බන්ධතා ආතතියට ලක් වෙනවා. එහෙත් බොහෝ විට සුහද වෙනවා. ජනාධිපති බයිඩන් දිවුරුම් දෙන විට තමා සහභාගී නොවන බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියත් උප ජනාධිපති පෙන්ස් තමා ඊට සහභාගී වන බව කියා සිටියා. එය දේශපාලනයේ කොටසක්. පෞද්ගලික සන්නිවේදනය තිබිය යුතුයි. ඔබ පෞද්ගලික සම්බන්ධතා, දේශපාලන සම්බන්ධතා සමග සසඳා නොබැලිය යුතුයි.

ප්‍රශ්නය :- රජයට එරෙහිව වර්තමානයේ අපට ඇත්තේ දුර්වල විපක්ෂයක් බව ඔබ නොසිතන්නේද?
පිළිතුර :- පාර්ලිමේන්තුව තුළ සිටින්නේ බෙදී වෙන් වුණු විපක්ෂයක්. රජයවත්, විපක්ෂයවත්, නිසි පරිදි සංවිධානය වී නැහැ. ඔවුන් සියලු දෙනා පීඩා විඳිනවා. සමස්ත රාජපක්ෂ පරිපාලනය සහ රජයේ යාන්ත්‍රණය ඔවුන්ගේ පක්ෂ සංවිධානය දුර්වලයි. අපට නව පක්ෂ සංවිධානයක් අවශ්‍යයි. අප පාර්ලිමේන්තුවට පිටින් ගොඩ නැගිය යුතු බව මා කියා සිටියේ ඒ නිසයි. අපට අලුත් පක්ෂ ක්‍රමයක් අවශ්‍යයි.

ප්‍රශ්නය:- ඔබ රජයේ මේ දිනවල පවතින එන්නත් වැඩ සටහන විවේචනය කරනවා. ඔබ සිතන පරිදි සිදුවන්නේ කුමක් ද?
පිළිතුර :- පළමුවෙන්ම අප ප්‍රමාණවත් එන්නත් මාත්‍රා ඇණවුම් කර තිබුණේ නැහැ. එම නිසා අප ඉන්නේ මෙම වැඩසටහන තිබිය යුතු ප්‍රගතියට පසුපසින්. දෙවැන්න අප ආර්ථික ආරක්ෂණය අතින් සහ සෞඛ්‍ය ආරක්ෂණ අතින් යම් පූර්වාරක්ෂාවක් සලසා ගත යුතු වෙනවා. එහෙත් එම තීරණ ගෙන නැහැ. තුන් වැන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් අනුගමනය කර නැහැ. මීට වඩා හොඳ එන්නත් වැඩසටහනක් තිබිය යුතු වේ යයි මා කියන්නේ ඒ නිසයි.

මියන්මාරය, බංග්ලාදේශය සහ මාලදිවයින තම ඇණවුම් නිසි වෙලාවට කළේ නම් ඇයි අපට තවම බැරි? අපට මිලියන 15 ක් ජනතාවට එන්නත් කරන්න මාත්‍රා මිලියන 30 ක් අවශ්‍යයි. ඉන්දීයාවේ සීරම් ආයතනය පළමුවෙන්ම ඉන්දියාවට පළමු මාත්‍රා මිලියන 300 දීමට නියමිතයි. ඉන් අනතුරුව මුලින්ම ඇණවුම් කළ රටවලට ඔවුන් ඒවා දිය යුතුයි. අප ඉන්නේ පෝලිමේ අන්තිමටයි. අප COVAX වෙතින් මිලියන 04ක් පමණ ද සිරම් වෙතින් මිලියන 03 ක්ද, ලබා ගැනීමට නියමිතයි. එයින් මිලියන7 ක් ආවරණය වෙනවා. ජනගහනයේ ඉතිරි අර්ධයට කුමක් වන්නේ ද? රජයෙන් යම් නිශ්චිත මැදිහත් වීමක් මීට අවශ්‍ය වන්නේ ඒ සඳහා ලොකු වියදමක් දැරිය යුතු නිසා. දැනට අපට එම වියදම දැරීමේ හැකියාවක් නෑ.

ප්‍රශ්නය :- ඔබතුමා එන්නත ගත්ත ද?
පිළිතුර :- මම අවුරුදු 70 ක් වයස නිසා හමුදා රෝහලෙන් පළමු මාත්‍රාව ලබා ගත්තා.


(***)
සාකච්ඡා කළේ  ජමිලා හුසේන්
2021 මාර්තු 2 වැනිදා Daily Mirror
පත්‍රයේ පළ වූ සම්මුඛ සාකච්ඡාවේ
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ.

 



අදහස් (10)

කොමිසම ඇත්ත පැත්ත හෙළිකර නෑ

Raveendra Tuesday, 09 March 2021 09:13 AM

බබා න්‍යාය මනා ලෙස ප්‍රගුණ කර ඇති අපේ මේ සූත්තර පුංචා සෑම පැනයකටම නියම ගල් ආඳෙකු ලෙස පිළිතුරු දි ඇති බව හොඳින්ම පැහැදිලිය. අවසානයේ මම වැනි පරම පිවිතුරු සුද්දවන්තයෙක් මේ තුන්ලෝකෙට නැති බව ඔහු විසින්ම පෙන්වාදීමට උපරිම උත්සාහය ගෙන ඇත.

:       8       157

GAMUNUWednesday, 10 March 2021 02:44 PM

වර්තමාන රජය බලයට ආවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ සියලු දෙනාටම අත්අඩංගුවට ගන්නවා කියලනේ.. ඒ පිළිබඳව ක්‍රියා නොකරන රජයක් පිළිබඳව සහ නායකයන් පිළිබඳව කතා නොකර රනිල්ට බැනලා තේරුමක් තියෙනවද?

:       7       12

Senarath Tuesday, 09 March 2021 10:22 AM

එ්ක ඇත්ත.. ඔයානේ ඒ වැඩේ හරියටම කරපු හැටි දන්නේ.. ශානිලා පරීක්ෂණ කරපු විදිහෙන් සහ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරලා කරපු විගඩමෙන් ඒක ජනතාවට මනාව වැටහුණා. ඒකනේ 1කට බැස්සුවේ..

:       6       121

Senarath Wednesday, 10 March 2021 03:35 AM

කොමිසම ඇත්ත හෙළිකර නැතිවග ඔබතුමා කියනවා නම් අපි ඒක පිළිගන්නවා. ඇත්තම විස්තරේ දන්න සුළු පිරිසෙන් කෙනෙක් ඔබ නිසා.

:       4       249

RaveendraWednesday, 10 March 2021 08:47 AM

ඔබගේ අදහස් වලින් එකම එක අදහස් පිලිබදව අප 200% ඔබ සමග එකගය.

:       0       14

Bandara Wednesday, 10 March 2021 03:45 AM

කවුරු කෙසේ කීවත් පැහැදිලි සත්‍ය නම් මෙතුමා වැනි දැනුමක්, දැක්මක් හා ඉවසීමක් ඇති නායකයකු මෑතකාලීනව බිහිවී නැත. ඔහු සාකච්ඡාවට ගන්නා කරණා සහ අනෙකුත් දේශපාලන නායකයින් කතා කරන දේ අතර ඇති පරතරයෙන් එය මනාව පැහැදිලි වේ.

:       103       12

chandima Wednesday, 10 March 2021 11:18 PM

පින්තූර ගන්න නිසා නේද ... දත් කුට්ටමක් දාගෙන ආවේ..?

:       3       1

nihal Friday, 12 March 2021 01:42 AM

අපේ රට දෙකඩ කරන්න නිතරම උත්සාහ කරන , මහ බැංකුව මංකොල්ල කාපු, රට අගාධයට ඇදගෙන යන.. මහජන මුදලින් පඩි අරගෙන කිසිම වැඩක් නොකරපු, සූත්තර පුංචා වෙන්න හදනවා. අපේ රටට කළ විනාශය .... මේ අයට සාපවේවා...!!! 

:       7       85

ChinthakaMonday, 15 March 2021 09:52 AM

හරියට හරි... මෙයා අද වෙනකම් බලයේ හිටියා නම් අද රටක් නැහැ.

:       0       0

සරත් Friday, 12 March 2021 10:20 AM

අනේ ඇත්තද? එයාලා හරිම හොඳ නෑනේ ද මෙයා? පව් ගහන්න හිතෙනවා එකක් හයියෙන් රිදෙන්නම

:       2       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 233 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 59 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 594 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 291 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 114 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 332 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site