IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එංගලන්තයේ රජකුමරියට පෙම් බැඳි ග්‍රීක කුමාරයා

පිලිප් කුමරු එළිසබෙත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා පිලිප් කුමරුය.   

“සිය ආදරණීය ස්වාමිපුරුෂයා වන එඩින්බරෝහි ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ මරණය ගැන මහ රැජින නිවේදනය කරන ලද්දේ දැඩි ශෝකයෙනි,”‍ යනුවෙන් බකිංහැම් මාලිගය පැවසීය.   
“රාජකීය උතුමන් අද උදෑසන වින්ඩ්සර් කාසල්හිදී සාමකාමීව අභාවප්‍රාප්ත විය.”‍   
මාර්තු මාසයේදී එඩින්බරෝහි ආදිපාදවරයා රෝහලින් පිටව ගියේ මසක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.   

ඔහු කලින් පැවති හෘද රෝගී තත්ත්වයක් සඳහා මීට පෙර ලන්ඩනයේ වෙනත් රෝහලක් වූ ශාන්ත බර්තොලමිව් හි ප්‍රතිකාර ලබාගැනිණි. ෆිලිප් කුමරුට සහ රැජිනට දරුවන් හතර දෙනෙකි. මුනුපුරු මිනිබිරියන් අට දෙනෙක් සහ මී මුනුපුරු මිනිබිරියන් 10 දෙනෙක් වෙති. ඔවුන්ගේ පළමු පුත් වේල්ස් හි කුමරා වන චාල්ස් කුමරු 1948 වසරේදී උපත ලැබූ අතර ඉන් පසු ඔහුගේ සහෝදරිය වන ඈන් කුමරිය 1950 වසරේ දී ත් යෝර්ක් හි ආදිපාදවරයා වන ඇන්ඩෘ කුමරු 1960 වසරේදී සහ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු 1964 වසරේදීත් උපත ලැබීය.   

පිලිප් කුමරු 1921 ජුනි 10 වන දින ග්‍රීක දූපතක් වන කෝර්ෆු හි උපත ලැබීය. ඔහුගේ පියා වන ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, හෙලීනස් හි පළමුවැනි ජෝර්ජ් රජුගේ බාල පුත්‍රයාය. ඔහුගේ මව ඇලිස් කුමරිය ලු‍වීස් මවුන්ට්බැටන් සාමිවරයාගේ දියණියක වූ අතර වික්ටෝරියා රැජිනගේ මී මිණිබිරියකි. 

එඩින්බරාහි ආදිපාදවරයා වූ පිලිප් කුමරු, සිය බිරිඳ වන එළිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය.   
පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට පමණක් නොව ඕනෑම තැනැත්තකුට එම භූමිකාව අතිශයින් දුෂ්කර වගකීමක් විය.   

ඔටුන්න දරන රැජින වශයෙන් සිය බිරිඳට මුළු හදවතින් සහයෝගය දීමට සහ සිය වගකීම් සක්‍රීය ලෙස ඉටු කරනු ලැබීමට පිලිප් කුමරු සමත්වූයේ ද එම ශක්තිමත් චරිතය හේතුවෙනි.   

කාන්තාවක් ඔටුන්න දරන වකවානුවක ඇයගේ වල්ලභයා වන පුරුෂයකුට බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පදවියක් සහතික නොකෙරෙයි.   එහෙත් රාජ්‍යත්වයට ඔහුට වඩා ළංවූ හෝ, එසේත් නැත්නම් රාජ්‍යත්වයට ඔහු තරම් මහා වැදගත්කමක් සහිත වෙනත් කිසිවකු නොවුණි. 
  
පිලිප් කුමරු (ග්‍රීසියේ පිලිප් කුමරු) 1921 ජූනි මාසයේ 10 වෙනිදා ‘කෝර්ෆු‘ (Corfu) නම් ග්‍රීක දිවයිනේ උපත ලැබීය.   

එවකට ග්‍රීසිය ‘ග්‍රෙගෝරියානු‘ දින දර්ශනය (Gregorian Calendar) අනුගමනය නොකළ හෙයින් ඔහුගේ උප්පැන්න සහතිකයේ උපන් දිනය හැටියට සටහන් කරනු ලැබ තිබෙන්නේ 1921 මැයි 21 දිනයයි. 

ග්‍රීසියේ පළමු ජෝර්ජ් රජුගේ බාල පුතෙකු වූ ඇන්ඩෘ කුමරු ඔහුගේ පියා වන අතර මව ‘බැටන්බර්ග්හි‘ ඇලිස් කුමරිය වූවාය. ඇලිස් කුමරිය ‘බැටන්බර්ග්හි‘ ලු‍විස් කුමරාගේ වැඩිමහල් දියණිය වන අතර  ‘අර්ල් මවුන්ට්බැට්න්‘ ආදිපාදවරයා ඇයගේ සහෝදරයා විය. 

1922 කුමන්ත්‍රණයෙන් අනතුරුව පිහිටුවන ලද විප්ලවීය උසාවියක් විසින් පිලිප් කුමරුගේ පියා, ඇන්ඩෘ කුමරු, ග්‍රීසියෙන් පිටුවහල් කරන ලදී. ඒ සමග ඔහුගේ දෙවැනි ඥාති සහෝදරයා වූ බ්‍රිතාන්‍යයේ පස්වෙනි ජෝර්ජ් රජතුමා විසින් යවන ලද බ්‍රිතාන්‍ය යුද නැවකින් ඇන්ඩෘ කුමරාගේ දරු පවුල ප්‍රංශයට ගෙන එනු ලැබුණි.   

ළදරු පිලිප් කුමරා එම මුහුදු ගමනේ වැඩි හරියක් ගතකර ඇත්තේ දොඩම් ඇසිරීමට යොදා ගත් පෙට්ටියකින් තනා තිබුණ කුඩා තොටිල්ලකය.   

සහෝදරියන් කීප දෙනකු සහිත පවුලක එකම සහ බාලම පිරිමි දරුවා වූ පිලිප්ගේ ළමා කාලය ආදරය පිරුණ තැනකි. ඔහු අධ්‍යාපනය ආරම්භ කළේ ප්‍රංශයෙනි. එහෙත් වයස අවුරුදු හතේ දී සිය ‘මවුන්ට්බැටන්‘ නෑදෑයන් සමඟ ජීවත් වීම සඳහා එංගලන්තයට පැමිණි පිලිප් කුමරු ‘සරේ‘ ප්‍රදේශයේ ප්‍රාථමික පාසලකට ඇතුළත් කෙරිණ.   

එහෙත් එම අවධියේ ඔහුගේ මවවන ඇලිස් කුමරිය භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙළෙන බව වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලැබීමෙන් ඇය මානසික රෝහලකට ඇතුළත් කරනු ලැබුණි. එවැනි වාතාවරණයක් යටතේ ළදරු පිලිප් කුමරාට සිය මෑණියන් සමග පැවැත්වීමට සිදුව ඇත්තේ අල්ප සම්බන්ධතාවයකි. මේ අතර 1933 වසරේ ෆිලිප් කුමරු ජර්මනියට යවනු ලැබීය.   

එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ කර්ට් හහ්න් (Kurt Hahn) නම් අධ්‍යාපන පුරෝගාමියකු විසින් පවත්වා ගෙනයන ලද දකුණු ජර්මනියේ Schule Scholss Salem පාසලට ඇතුළත් කිරීම සඳහාය. එහෙත් මාස කිහිපයක් ඇතුළත යුදෙව් ජාතිකයකු වූ කර්ට් හහ්න්ට (Kurt Hahn) නාසි හිංසනය නිසා ජර්මනියෙන් පළා යාමට සිදු විය.   

ජර්මනියෙන් පළාගොස් ස්කොට්ලන්තයට සේන්දු වූ කර්ට් හහ්න් එහි 'Gordonstoun' නමින් පාසලක් පිහිට වූ අතර, පිලිප් කුමරාටත් අධ්‍යාපන වාර දෙකකට සීමා වූ සිය ජර්මන් ජීවිතයට සමු දෙමින් එම පාසල කරා පැමිණීමට සිදු විය.   

“තමා තමන් මත රැඳිය යුතුය”‍ යන්න තේමාව කරගත් පාසල් අධිකාරිය සහ එහි පරිසරය දෙමව්පියන්ගෙන් වෙන් වීමෙන් අනතුරුව ‘තමාට තමාමය‘ යන හැඟීමේ එල්බ සිටි යොවුන් පිලිප් කුමරාට ඔබින කදිම පරිසරයක් විය.   

නාවික හමුදා සේවය

තරුණ පිලිප් කුමරු යුද හමුදාව දෙසට යොමු වෙන්නේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය කෙමෙන් දිග හැරීමත් සමඟය පිලිප් කුමරුන්ගේ ආරම්භක ඉලක්කය බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව වූ නමුත්, සිය මව් පාර්ශ්වය නාවික හමුදා අංශයට සමීප සම්ප්‍රදායක් සහිත වූවන් හෙයින් ඔහුත් නාවික හමුදාව තෝරා ගැනීමට තීන්දු කළ අතර ඔහු ‘ඩාර්ට්මවුත්‘ (Dartmouth) නාවික හමුදා පාසලේ කැඩෙට් නිලධාරියකු බවට පත්විය.   

එවකට බ්‍රිතාන්‍ය අධිරාජයා වූ හයවැනි ජෝර්ජ් රජතුමා සිය බිසව සහ දියණියන් වන එළිසබෙත් සහ මාග්‍රට් සමඟ ‘ඩාර්ට්මවුත්‘ නාවික හමුදා පාසලේ සංචාරයක නිරත වූ අතර යොවුන් කුමරියන් දෙදෙනාගේ පරිවාර නිලධාරියා හැටියට කටයුතු කිරීම කැඩෙට් නිලධාරී පිලිප් කුමරා වෙත පැවරුණි.   

‘ඩාර්ට්මවුත්‘ නාවික හමුදා පාසලේ එදා සිටි පුද්ගලයන් පවසන ආකාරයට, පිලිප් කුමරුන් තුළ දැඩි බැඳීමක් ප්‍රදර්ශනය නොවුනත් එවකට 13 වැනි වියේ පසු වූ එළිසබෙත් කුමරියට එම හමුව ඉතා ගැඹුරු ආස්වාදයක් වුණි.   
ඉතා කෙටි කාලයක් ඇතුළත සිය අනාගත අපේක්ෂාවන් තහවුරු කරමින් 1940 ජනවාරි මාසයේ Dartmouth නාවික හමුදා පාසලේ සිය පන්තියේ පළමුවෙනියා බවට පත්වෙමින් සමත් වූ ෆිලිප් කුමරු පළමු වරට සක්‍රීය යුද සේවයට එක්වීම සඳහා ඉන්දීය සාගරයේ යුද කටයුතු කෙරෙහි අවධානය යොමු කළේය.   

මධ්‍යධරණී සාගර නාවික බලකායට අයත් 'HMS වැලියන්ට්‘ යුද නැවෙහි සේවය සඳහා ඔහු යවනු ලැබුණි. 1941 ‘කේප් මැටපන්‘ සටනේ දී පිලිප් කුමරුගෙන් ලද දායකත්වය යුද පණිවුඩවලට පවා ඇතුළත්ව ඇත. 'HMS වැලියන්ට්‘ යුද නැවේ පිරික්සුම් ආලෝක දහරා අංශයේ ප්‍රධානියා හැටියට රාත්‍රී කාලයේ තීරණාත්මක යුද මෙහෙයුම්වල දී ඔහුගේ කාර්යභාරය අතිශයින් වැදගත් විය.   
 
1942 ඔක්තෝබර් මාසය වෙනවිට පිලිප් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ වයසින් අඩු පළමු ලු‍තිනන්වරුන් කිහිප දෙනාගෙන් එක් නිලධාරියෙකි. එවකට ඔහු සේවය කරන ලද්දේ 'HMS වොලස්‘ ප්‍රහාරක නෞකාවේය.   

විවාහ ගිවිස ගැනීම   

එම කාලසීමාව තුළ යොවුන් එළිසබෙත් කුමරිය සහ පිලිප් කුමරා අතර ආදර හසුන් හුවමාරු වෙමින් පැවති අතර ඔහුට අවස්ථා කීපයක්ම රජ පවුල සමග ගත කිරීමට ඇරයුම් ලැබුණි.   1943 නත්තල් සමයේ සිදු වූ එවැනි හමුවකින් අනතුරුව එළිසබෙත් කුමරිය නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණ පිලිප් කුමරාගේ ඡායාරූපයක් සිය කණ්ණාඩි මේසය මත තැබුවාය.   

රජ පවුලට සම්බන්ධ ඉහළ සමාජයේ ඇතැමුන් අකමැත්ත පළ කරන ලද නමුත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය ගැටුමකින් තොරව පෙරට යමින් තිබුණි. ඉහළ සමාජයේ එක් තැනැත්තෙක් පිලිප් කුමරු හඳුන්වා දී තිබුණේ “දැඩි, එසේම ආචාර ධර්ම අතින් දුර්වල”‍ චරිතයක් ලෙසය.  

එවැනි විරෝධතා පළ වෙමින් තිබුණත් යොවුන් කුමරිය මුළු හදවතින්ම සිය පෙම්වතා සමඟ ආදරයෙන් බැඳී සිටි අතර, ඔහු 1946 ගිම්හානයේ දිනක හයවැනි ජෝර්ජ් රජු හමුවේ රාජකීය දියණිය විවාහ කර ගැනීමේ අවසරය පැතුවේය.   
කෙසේ වෙතත්, විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර පිලිප් කුමරා අලු‍ත් රටක පුරවැසිභාවය මෙන්ම අලු‍ත් වාසගමක් ද ලබා ගැනීම අත්‍යවශ්‍ය පියවරක් විය. ඒ අනුව ඔහු උපතින් ලද ‘ග්‍රීක්‘ නිල කුමර නාමය අත්හැර බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගනිමින් මව් පාර්ශ්වයේ ඇන්ග්ලිකානු ”‍මවුන්ට්බැට්න්”‍ නාමය සිය වාසගම කර ගත්තේය.  

සිය දියණියගේ විවාහයට දිනක් තිබියදී හයවැනි ජෝර්ජ් රජු 'His Royal Highness' නම්බුනාමය පිලිප් කුමරා වෙත පිරිනැමීය. විවාහ දින උදෑසන රජතුමා සිය අනාගත බෑණනුවන්ට එඩින්බරෝහි ආදිපාද පදවිය සහ මෙරියනෙත් හි (Merioneth) ‘අර්ල්‘ පදවිය මෙන්ම ‘ග්‍රිනිච් බැරන්‘ පදවියත් පිරිනමන ලදී.   

රාජකීය විවාහය 1947 නොවැම්බර් මාසයේ 20 දින වෙස්ට්මිනිස්ටර්  දේවස්ථානයේ දී සිදු කරනු ලැබුණි. එංගලන්තයේ හිටපු කීර්තිමත් අගමැතිවරයකු වන වින්ස්ටන් චර්චිල් සඳහන් කළ පරිදි එම විවාහ මංගල උත්සවය මගින් පශ්චාත් යුද කාලීන බ්‍රිතාන්‍යය වර්ණවත් කෙරිණ.   

යුද සේවයට විරාමයක්   

විවාහයෙන් අනතුරුව පිලිප් කුමරු යළි නාවික හමුදා සේවයට වාර්තා කළ අතර කෙටි කලකට ඔහු මෝල්ටාවට යවනු ලැබුණි.   එම කාලය තුළ වෙනත් හමුදා පවුල්වලට මෙන් නව රාජකීය යුවළටත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි විය. 

ඔවුන්ගේ පුත් චාල්ස් කුමරු 1948 දී බකිංහැම් මාළිගයේ දී උපත ලද අතර දියණිය ‘ඈන්‘ කුමරිය 1950 දී පවුලට එක් වූවාය.   

'HMS මැග්පී‘ (MHS Magpie) නාවික සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ඔහු පත් කරන ලද අවස්ථාවේ ඕනෑම නාවික නිලධාරියකු තුළ රජයන සිහිනය සැබෑ කර ගැනීමට 1950 සැප්තැම්බර් මාසයේ 02 දා පිලිප් කුමරු සමත් විය. එහෙත් ඒ සමඟම ඔහුගේ නාවික හමුදා දිවියේ අවසන් අදියරත් ළඟාවෙමින් තිබුණි.   

හයවැනි ජෝර්ජ් රජුගේ රෝගී තත්ත්වය උත්සන්න වෙත්ම එළිසබෙත් කුමරියට දියණිය හැටියට සිය පිය රජුගේ කාර්යභාරයට උර දීමට සිදු වීමත් සමඟ ඇයගේ සැමියාට සිය බිරිඳ අසල ගත කිරීමට සිදු විය.   
පිලිප් කුමරු 1951 වසරේ නාවික හමුදා දිවියට විරාමයක් තැබුවේය. අනතුරුව ඔහු කිසිදාක නාවික හමුදා සේවයට වාර්තා නොකළේය.   

පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආදිපාදවරයා කනස්සල්ල සිතෙහි ගුලිකර සිටින චරිතයක් නොවන නමුත් සිය නාවික හමුදා ජීවිතය පෙරට ගෙන යාමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් පසු කාලයේ සිය කනගාටුව ප්‍රකාශයට පත් කර ඇත.   

ඔහුගේ දක්ෂතා අනුව පිලිප් කුමරාට නාවික හමුදාවේ ඉහළම පදවියට (First Sea Lord) ගමන් ගැනීමේ අවස්ථාව තිබුණ බව සමකාලීන නාවික නිලධාරීහු පවසති. 1952 වසරේ දී හයවෙනි ජෝර්ජ් රජු සහ බිසව වෙනුවෙන් සංවිධානය කර තිබුණ පොදු රාජ්‍ය මණ්ඩලීය චාරිකාවක් සඳහා සහභාගි වීමට සිදු වුණේ නව රාජකීය යුවළටය.   

සිතුවිලි වෙනසක්   

1952 පෙබරවාරි මාසයේ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවය රාජකීය යුවළට දැන ගන්නට ලැබුණේ ඔවුන් කෙන්යාවේ වන අරණක නවාතැන්පොළක ගත කරමින් සිටින අතරය. ලේ කැටියක් සිරවීම නිසා හටගත් හෘදයාබාධයක් රජුගේ අභාවයට හේතු විය. පිය රජුගේ අභාවයත් සමඟ බ්‍රිතාන්‍ය රැජින බවට පත්ව සිටි සිය බිරිඳට එම ශෝකජනක පණිවුඩය දැනුම් දීමට සිදුවූයේ පිලිප් කුමරාටය.   

“ඒ මොහොතේ පිලිප් තුළ දක්නට ලැබුණේ ලෝකයෙන් භාගයක්ම ඔහු මත කඩා වැටුණ වගේ ස්වභාවයක්”‍ ඔහුගේ මිතුරෙක් පසු කාලයෙහි විස්තර කළේය. නාවික හමුදාවේ කාර්යභාරයෙන් ඉවත් වුණත් ඔහුට ඔහු විසින්ම නිර්මාණය කරගත යුතු නව භූමිකාවක් විය. එය කුමක් විය යුතුද? යන සමස්ත ප්‍රශ්නය පෙරට ආවේ එළිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය රැජිනිය ලෙස ඔටුනු පැලඳීමත් සමඟය.   

එම මෞලි මංගලෝත්සවය ළංවෙද්දී නිකුත් කෙරුන රාජකීය ආඥාවක් මගින්, රැජින සහභාගි වෙන සියලු‍ අවස්ථාවන්හි ඇය පසුපස ගමන් ගනු ලබන සෙස්සන් අතර ඉදිරි ස්ථානය පිලිප් කුමරාට හිමිවිය යුතු බව ප්‍රකාශයට පත් කරනු ලැබුණි. එහෙත් ඔහුට ව්‍යවස්ථානුකූලව කිසිදු පදවියක් හිමි නොවීය.   

රාජ්‍යත්වය නවීකරණයට සහ වඩාත් කාර්යක්ෂම සංවිධිත මට්ටමකට ගෙන එනු ලබන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් පිලිප් කුමරුන් තුළ අදහස් ගොන්නක් වූයේ නමුත් මාළිගයේ පැරණි පරිපාලකයන් ගණනාවක් කෙරෙන් එල්ල වූ වෙනස් කළ නොහැකි විරෝධය හමුවේ ඔහු එකල දිනෙන් දින කලකිරුණ තත්ත්වයකට පත්ව සිටියේය.   

අමිහිරි ගැටුමක්   

පිලිප් කුමරු ඔහු සතු ශක්තිය සක්‍රීය සමාජ ජීවිතය වෙනුවෙන් ද යොමු කළ තැනැත්තෙකි.   

ඔහු සහ ඔහුගේ මිතුරන් කණ්ඩායමක් ලන්ඩන් නගර මධ්‍යයේ සුප්‍රකට ‘සෝහෝ‘ (Soho) කලාපයේ පිහිටි ආපන ශාලාවක ඉහළ මහලේ කාමරවල සතිපතා හමුවූහ. ඒවා ප්‍රණීත දිවා ආහාර වේල් සහ රාත්‍රී සමාජ ශාලා සංචාර දක්වා විහිදුණ අතර සමාගම් ප්‍රිය සිය මිතුරු කැල සමග පින්තූරවලට පෙනී සිටීමට නිතරම මෙන් පිලිප් කුමරාට සිදු වුණි.   

සිය දරුවන්ට තමාට උරුම පරම්පරා නාමය තැබීමට ඔහු ගෙන ගිය අරගලයෙන් ආදිපාදවරයා පරාජය වූයේ නමුත්, තවත් අතකින් පවුල තුළ සිය බල අධිකාරිය නිදහසේ පවත්වා ගෙන යාමට ඔහුට අවකාශ ලැබී තිබුණි. රාජකීය වල්ලභයා ලෙසින් නව දිවි පෙවෙතකට හැඩ ගැසීමට ඔහුට සිදුවිය. සිය සැමියා වන පිලිප් ආදිපාදවරයාගේ ‘මවුන්ට්බැට්න්‘ (Mountbatten) වාසගම නොව දරුවන්ට උරුම විය යුත්තේ ‘වින්ඩ්සර්‘ (Windsor) යන සිය වාසගම යයි රැජින විසින් තීන්දු කරනු ලැබීම ආදිපාදවරයාට එල්ල වූ දැඩි පහරක් විය.   

“තමාගේම දරුවන්ට තම වාසගම දායාද කළ නොහැකි වූ මේ රටේ ජීවත්වෙන එකම මිනිසා මමයි,”‍ ආදිපාදවරයා සිය මිතුරන් සමඟ සඳහන් කළේය.   

“මම කිසිම වැදගත් කමක් නැති කාලකණ්ණි ඇමීබාවෙක් විතරයි”‍   යයිද ඔහු වරක් කියා තිබිණ. 

පියෙක් හැටියට ෆිලිප් කුමරු රළු සහ අසංවේදී චරිතයක් වූ බව පෙනී යයි. සිය පියා විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ලද තරවටු කිරීම් නිසා තමා යොවුන් වියේ දී කඳුළු සලා ඇති බව චාර්ල්ස් කුමරු ප්‍රකාශ කළ බව ඔහුගේ චරිතාපදානයේ කතුවරයා වන ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) පවසයි. පියා සහ වැඩිමහල් පුත්‍රයා අතර සම්බන්ධය පහසු එකක් නොවූ බව ද ජොනතන් ඩිම්බල්බි වැඩිදුරටත් සඳහන් කරයි.   

චරිත ශක්තිය   

වැඩිමහල් පුත් චාල්ස් කුමරුන් ද තමා අධ්‍යාපනය ලද සිය පැරණි ගෝර්ඩන්ස්ටන් (Gordonstoun) පාසලට යා යුතු බවට පිලිප් කුමරු බල කළ අතර ඊට හේතු වුණේ සිය පුත්‍රයා තුළ දක්නට වූ එක්තරා ආකාරයක හුදෙකලා ගතිය වෙනස් කිරීමට පාසල් පරිපාලනය ආධාරයක් වේය යන ඔහු තුළ වූ විශ්වාසයයි.   

එහෙත් නිවස මතක් වීම සහ නිතරම වෙනත් සිසුන්ගේ ඉලක්කයක් වෙමින් හිරිහැර ආදියට ගොදුරු වීම නිසා චාල්ස් කුමරු එම පාසලට වෛර කළේය. ආදිපාදවරයාගේ ආකල්ප මගින් පිළිබිඹු කෙරුණේ ඇතැම්විට හුදෙකලාව ගත කිරීමට පවා සිදු වූ ළමා කාලයක් සහිත ඔහුගේම ජීවිතයේ දුෂ්කර ස්වභාවයයි.   

මුල් අවධියේ පටන්ම ස්වයං පැවැත්මක් සහිතව සිය ජීවිතය ගොඩ නඟා ගැනීමට පිලිප් කුමරුන්ට සිදු වූ අතර, ඒ සඳහා ඔහු සතුව පැවති ශක්තිය එක සමානව හැම කෙනෙකුම සතු නොවන බව වටහා ගැනීම ඔහුට දුෂ්කර කරුණක් විය.   
ආදිපාදවරයාගේ අවධානයට ලක් වූ එක් ප්‍රධාන අංශයක් වුණේ යොවුන් දරුවන්ගේ ශුභසාධනයයි. ඔහුගේ එම අභිලාෂය මල්පල ගන්වමින් 1956 දී ‘එඩින්බරෝ ආදිපාද සම්මාන‘ වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර විස්මය දනවන සුළු මට්ටමින් එය අතිසාර්ථක සමාජ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

සිය මුළු මහත් ජීවිත කාලය පුරාම පිලිප් කුමරු ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය.  ඔහු ඔරු පැද්දේය. ක්‍රිකට් ක්‍රීඩා කළේය. පෝලෝ ක්‍රීඩාවේ නිරත වුණේය. අස් රිය පැදවීමේ ශූරයකු ද විය. අශ්වාරෝහකයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති පදවියේ ඔහු වසර ගණනාවක්ම කටයුතු කළේය.   

ආදිපාදවරයා සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා අතර පැවති ගැටුම ලෝකයට හෙළිදරව් වුණේ ජොනතන් ඩිම්බල්බි (Jonathan Dimbleby) විසින් රචනා කරන ලද ‘චාල්ස් කුමර චරිතාපදානය‘ දොරට වැඩීමත් සමගය.   

එහි දැක්වෙන ආකාරයට ඩයනා කුමරිය විවාහ කර ගන්නා ලෙස චාල්ස් කුමරුන්ට බල කරනු ලැබ ඇත්තේ ඔහුගේ පියා වන ආදිපාදවරයා විසිනි. එහෙත් සිය දරුවන්ගේ විවාහ කැඩී ඉහිරී ඔවුන්ගේ පවුල් විසිර යමින් පැවති අවුරුදුවල එඩින්බරෝහි ආදිපාදවරයා, බොහෝ විවේචකයන් විසින් දැක තිබුණ මට්ටමට වඩා ඔහුගේ දරුවන්ගේ පවුල් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කර ඇත.   

රජ පවුලෙන් විවාහයක් කර ගැනීම තුළින් තමා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ස්වකීය මතකයන් විසින් සමහර විට ඇති කෙරුණ උත්තේජනය විසින් ආදිපාදවරයා එම ප්‍රශ්න තේරුම් ගැනීමේ ප්‍රයත්නයක ගැලී සිටියේය.   

නිශ්ෂබ්ද පිළිවෙත 

එඩින්බරෝහි ආදිපාදවරයා තම දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනකුගේම - වැඩිමහල් චාල්ස් කුමරු, දියණිය ඈන් කුමරිය සහ දෙවන පුත් ඇන්ඩෘ කුමරු - විවාහ ජීවිත අසාර්ථක භාවයෙන් කඩා වැටීම සම්බන්ධයෙන් බලවත් කනස්සල්ලට පත් විය. එහෙත් එවැනි පෞද්ගලික කාරණා ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම ප්‍රතික්ෂේප කළ ආදිපාදවරයා “තමා එවැනි කරුණු පිළිබඳව ඉන් පෙර කතා නොකළා සේම ඉදිරි කාලයේදීත් එම පිළිවෙතේම රැඳී සිටින,”‍ බව 1994 වසරේ පුවත්පතකට ප්‍රකාශ කර ඇත. ඊළඟ අවුරුදුවල ආදිපාදවරයාගේ ජීවිතයේ මුහුණුවර තුළින් පෙන්නුම් කෙරෙන්නේ එක්තරා ආකාරයක අමිහිරි ස්වභාවයකි. එය ඔහු වැඩි වශයෙන් විදේශ සංචාරයන්හි නිරත වූ කාල පරිච්ඡේදයකි   

හිතෛෂී ස්වරයක්

යටත් වූ ජපානයේ යුද සිරකරුවන් සම්බන්ධයෙන් පිලිප් කුමරුන්ගේ දයාව පළ විය. ඔවුන්ට සිදු කළ දේ ගැන සමාව දිය නොහැකි බව ඔහුගේ මතය විය. 

ඩයනා, එනම් වේල්ස්හි කුමරියගේ අභාවයත් සමඟ රජ පවුල සම්බන්ධයෙන් මතු වෙමින් පැවති එදිරිවාදී මහජන ආකල්ප හමුවේ එඩින්බරෝහි ආදිපාදවරයා තුළ පැවති රළු පරුෂභාවය මෘදු අතට හැරුණ අවුරුදු කීපයක් පසු කාලයෙහි දක්නට ලැබෙයි.   

සිය ලේලිය සම්බන්ධයෙන් එදිරිවාදී පිළිවෙතක පිහිටා කටයුතු කළ බවට එල්ල වෙමින් පැවති විවේචන නිෂ්ක්‍රීය කිරීමේ ප්‍රයත්නයක් වශයෙන්, එඩින්බරෝහි ආදිපාදවරයා සහ ඩයනා කුමාරිය අතර හුවමාරු වූ ලිපි කීපයක් 2007 වසරේ දී ප්‍රසිද්ධ කරනු ලැබුණි. ආදිපාදවරයා සිය ලේලිය වූ ඩයනා කුමරියට විශාල සහයෝගයක් දී ඇති බව “ආදරණීය පියා වෙත”‍ (Dear Pa letters) යනුවෙන් නම් කරනු ලැබ ඇති එම ලියුම් මගින් පෙන්නුම් කෙරෙයි. වේල්ස් හි කුමරිය එම ලිපි මගින් සිය මාමණ්ඩියට දැඩි හිතෛෂී ස්වරයකින් ආමන්ත්‍රණය කරන්නීය.   

ඩයනා කුමරියගේ අවසන් පෙම්වතා වූ ඩොඩී ගේ පියා වන මොහාමඩ් අල් ෆයඩ් ඩයනා කුමරියගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් එය පිලිප් කුමරාගේ නියෝගයක් අනුව සිදු කෙරුණ ඝාතනයක් ලෙස හඳුන්වා දුන්නත් එම අදහස මරණ පරීක්ෂකවරයා විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබුණි.   

එඩින්බරෝහි ආදිපාදවරයා වන පිලිප් කුමරු බ්‍රිතාන්‍ය සමාජ කේන්ද්‍රයේ තමා විසින්ම තමා ස්ථානගත කරන ලද ස්ථිරසාර අභිලාෂයක් සහිත නිදහස් මිනිසකු විය.  
 
රැජිනගේ පාලනය සහතික කිරීම


රාජකීය යුවළ විවාහප්‍රාප්ත වීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ උත්සවයේ දී කතා කළ එළිසබෙත් රැජින බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝම කාලයක් රාජකීය වල්ලභයා වෙමින් වාර්තාවක් තැබූ සිය සැමියාට මෙසේ සිය උපහාරය පළ කළාය.   

“ඔහු ප්‍රශංසා අභිනන්දන පහසුවෙන් භාර ගනු ලබන තැනැත්තෙක් නොවෙයි. එහෙත් ගත වූ අවුරුදු රාශිය පුරා මගේ ශක්තිය වී රැඳී සිටිමින් ඔහු ඉතා සරල චරිතයක් වුණා. මමත් ඔහුගේ සමස්ත පවුලත්, මේ රට සහ ලෝකයේ වෙනත් බොහෝ රටවලු‍ත් ඔහුට සදහටම හිමි වෙන, එසේත් නැත්නම් අප සදහටම දන්නා තරමටත් වඩා ප්‍රමාණයකින් විශාල පරිමාණයෙන් ඔහුට ණයගැතියි.” 
ඒ එංගලන්තයේ, පමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩලයේම අසහාය නායිකාවගේ වචනයි. 

බීබීසී සිංහල සේවයේ ලිපි එකතුවක් ඇසුරින්
ඉරිදා ලංකාදීපයේ පළවූ විශේෂාංගයකි

====================================



අදහස් (0)

එංගලන්තයේ රජකුමරියට පෙම් බැඳි ග්‍රීක කුමාරයා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 122 1

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 39 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 533 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 277 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 101 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 324 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site