IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


උතුම් බුද්ධ පණිවිඩයක් මෙරටට ගෙනාවේ බක්පුර පොහෝ දිනකයි

බක් පුර පසළොස්වක පොහොය අදයි. ලාංකික අපට අද දිනය විශේෂ වන්නේ බුදු පියාණන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කළේ අද වැනි දිනයක වීම හේතු කොටගෙනය. මහාවංසයට අනුව එය සිදුවී ඇත්තේ බුදුවී පස් වසක් ගිය තැනය. එනම් ක්‍රිස්තු පූර්ව 583 දීය. ඒ අනුව බුදුපියාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවා අදට අවුරුදු 2602 ක් පිරෙයි.

එදා උන් වහන්සේ අප දේශයේ නාගදීපයට වැඩමවා වදාළේ මැණික් පුටුවක් අරබයා චූලෝදර (බෑනා) මහෝදර (මාමා) නාරදුන් අතර ඇතිවීමට ගිය බිහිසුණු යුද්ධයක් සමනය කර වීමටය. උන් වහන්සේගේ අරමුණ එලෙසින්ම ඉටු වූ බව අපේ ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි. චූලෝදර මහෝදර ඇතුළු නාග වංශිකයන් බුදු පියාණන් වැනි ශ්‍රේෂ්ඨ උත්තමයකුගේ වචනයට කන්දී එය පිළිගෙන සාමයෙහි පිහිටි බව එනම් යුද්ධ නොකළ බව සඳහන් වීමෙන් අනාවරණය වන්නේ ඒ නාග වංශිකයන් උසස් ශිෂ්ටාචාරවත් මිනිසුන් පිරිසක් වන බවය.

 ඉන් හෙළිවන්නේ මීට අවුරුදු 2602කට පෙර මේ අප ලංකාද්වීපයෙහි උසස් ශිෂ්ටාචාර ලක්ෂණ ප්‍රදර්ශනය කළ ජන කොට්ඨාසයක්  සිටි බවය. අනෙක් අතට මැණික් ඔබ්බවා සකස් කළ උපකරණ පරිභෝග කිරීමට තරම් එකල ලාංකිකයන් පෙහොසත්ව සිටි බව ද මේ පුවතින් අනාවරණය වෙයි. එහෙත් ඇතැම් පොතේ ගුරන් කියන්නේ අප ශිෂ්ටාචාරවත් වූයේ මහින්දාගමනයෙන් පසු බවය.

 උසස් ශිෂ්ටාචාරයකට හිමිකම් කී එවැනි ජන කොට්ඨාසයක් අතරට බුදු පියාණන් බක් මාසයේදී වැඩම කිරීම ද සුවිශේෂීය. බක් භාග්‍යවත් මාසය ලෙස සැලකෙයි. එය එසේ සැලකෙන්නේ තුරු ලතා මලින් හා ඵල වලින් පිරෙන නිසාය. කෘෂි ආර්ථිකයේ මහිමයෙන් අටුකොටු පිරෙන බැවිනි. ඒ හේතුවෙන් ජනයාගේ සිත් සතන් සොම්නසින් පිරෙන හෙයිනි. සතුටින් සැනසිල්ලෙන් බක් මහ උළෙල පවත්වන බැවිනි.

 බක් මහේ නව සඳ දැකීම ද සුවිශේෂ සුදුසුකමකි. එහෙත් එය මහල්ලන්ට නොව තරුණයන්ටය. අටවැනි සියවසේ අග භාගයේ එනම් මීට අවුරුදු 1300කට පමණ පෙර සීගිරිගාමි තරුණයකු සීගිරි පව්වෙහි ඒ වග සටහන් කර තිබෙන්නේ මෙලෙසිනි.

“අඟනිනි අත්සලව් - මේ ගී පොහොන්නෙක් නැති ද 
නව බග් ළසන්ද් දුට් - මිනිසක්හු නො වජන්නෙයි”
කතුනි මගේ මේ ගීය තොප රුව වැනීමට තරම් පොහොසත් නොවේ. එහෙත් මම බක් මහේ නව ළසඳ දැක තොප බැලීමට මෙහි පැමිණි තරුණයෙක්මි. එහෙයින් ප්‍රතික්ෂේප නොකර මා පිළිගනිව්.”

බක් මහේ නව ළසඳ දුටු මිනිසෙක් එය පුර සඳ නොව අඬ සඳය කියමින් අවමන්කොට බැහැර නොකරයි. ආදරයෙන් දෑත් ඔසවා ඒ දෙස බලා ප්‍රීති වෙයි. මීට අවුරුදු 1300කට පමණ පෙර සීගිරි ගිය ඒ තරුණයා ද එලෙසම ප්‍රීති වෙයි.

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන නව සඳ බැලීම අටවැනි සියවසේ පවා මෙරට පැවැති බව මේ සීගිරි ගීයෙන් අනාවරණය වෙයි. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මෙදා නව සඳ බැලීමට නියමිතව තිබුණේ අප්‍රේල් හත්වැනි ඉරිදාය. ඒ “නව බග් ළසද්” දුටු වහාම පියකරු මුහුණක් දෙස බලා පැණි රසක් විඳීම එදා අපේ සිරිත විය. එහෙත් දැන් ඒ දේවල් එලෙස කළ නොහැකිව තිබෙන්නේ කලට වැසි නොවැස ගහකොළ මලින් ඵලින් නොපිරී අටුකොටු ද නොපිරෙන හෙයිනි. දහමට අනුව නම් ඒවා එලෙස වන්නේ රජු දැහැමි නොවන හෙයිනි.

“දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හෝතුච 
පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ” යි 

මේ දිවයිනේ තහවුරු වූ දහමෙහි සඳහන් වන්නේ එහෙයිනි. දහමේ රැකවරණය දැහැමියාටම ලැබෙන හෙයින් (ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී) කලට වැසි නොවසින්නේත් ගහකොළ මලින් ඵලින් බර නොවන්නේත් අටුකොටු නොපිරෙන්නේත් අදැහැමිකමේ ආනිසංස ලෙසැයි කෙනෙකුට උපකල්පනය කළ හැකිය.

බක් මහ චාරිත්‍ර දහම සමඟම යන්නේ ගසට පොත්ත සේය. පැවැති අමනාපකම් අමතක කර වැඩිහිටියන් වැඳීම හා පිදීම ද මේ අවුරුදු සමයේ සිදුවන චාරිත්‍රයකි. ඒ චාරිත්‍ර එසේ සිදුවන්නේ වැරදි නැත්තේ කාගෙද, අමතක  නොවන්නේ කාට ද, සෑම දිනකම මනා සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ මොන පණ්ඩිතයා දැයි අපේ සමාජය පිරිසිඳ දන්නා බැවිනි. එය අප රටේ පවතින ධර්මතාවයකි. ඒ ධර්මය සමාජ ගත වූයේ බුද්ධ දේශනයෙනි. සංයුක්ත නිකායේ උජ්ඣාන සඤ්ක්‍දී සූත්‍රයෙහි ඒ ධර්මය මෙසේ සඳහන් වෙයි.

“කස්සච්චයා න විජ්ජන්ති - කස්ස නත්ථි අපාගතං 
කෝ න සම්මෝහ මාපාදි - කෝච ධීරෝ සදා සතෝ’

 බුදුදහම වෛරය වර්ධනය කරන දහමක් නොව මෛත්‍රිය වර්ධනය කරන දර්ශනයක් බවත් සමාජ සහජීවනයට බර තබන දහමක් බවත් මෙරට සිංහලයන් හා බෞද්ධයන් සමඟ දිවිගෙවන දෙමළ හා මුස්ලිම් ජාතිකයෝත් හින්දු, ඉස්ලාම්, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයෝත් පුන පුනා පවසති. ඒ විවිධත්වය තුළ ඒකීයත්වය ගොඩනැගීම රටේ ආණ්ඩු කරන මිනිසුන්ගේ වගකීමක, කාර්යභාරයකි. එය ඔවුනට අත්හළ නොහැකි හා අන්සතු කළ නොහැකි වගකීමකි. ඒ වගකීම් ඉටු කිරීමට ඉවහල් වන ප්‍රායෝගික පියවර ගැනීමට අවශ්‍ය නැණ-නුවණ බෞද්ධ අබෞද්ධ සැමට පහළ වේවායි ඒ අමා මෑණියන් වහන්සේ දෙවැනි වරට මෙරටට වැඩමකොට අවුරුදු 2602 ක් පිරෙන අද දවසේ අපි ප්‍රාර්ථනා කරමු. බුදු පියාණන් දෙවැනි වරට මෙරට පැමිණියේ ද ඒ අරමුණෙනි. එනම් ගැටුම් නවතා සහජීවනය ගොඩනැගීමේ පරම අරමුණෙනි. ඒ මඟ යාම පාලක පාලිත දෙපාර්ශ්වයේම වගකීමකි. උතුම් බුද්ධ පූජාව ද එයම වන්නේය.

 



අදහස් (0)

උතුම් බුද්ධ පණිවිඩයක් මෙරටට ගෙනාවේ බක්පුර පොහෝ දිනකයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 383 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 90 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 698 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 318 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 138 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 348 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site