(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

(bingungamage88@gmail.com,tharindudld @gmail.com)

 

ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමට ලංකාව සැරසෙන බවට මීට මාස දෙකකට පෙර පුවතක් පළවෙද්දී ඒ ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. අහිංසාවාදී වැඩක් නිසාත් විනෝදාත්මක පුවතක් නිසාත් බොහෝ දෙනකු ඒ ගැන ටිකක් උනන්දුවෙන් ඇස් යොමු කළහ. එහෙත් උත්සවය අවසාන වන විට මැවුණේ වෙනම පුවතකි. ඒ, උත්සව සංවිධානයට පාසල් දරුවන් සහභාගී කරගැනීම සමඟිනි. ලොරියක පටවා තිබූ මීටර 3200 ක දිගින් යුත් ඔසරි පොට දිගහැරුණේ කටුගස්තොට සරත් ඒකනායක ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසුවියන් සිය ගණනකගේ අත්ල මතිනි. ගිනස් වාර්තාව පිහිටුවීමේ සිහියෙන් වැඩ කරද්දී දරුවන්ගේ අධ්‍යාපන අයිතියත් නීතියත් අමතකවීමට තරම් බලධාරින් අවසිහියෙන් වැඩ කර තිබුණි. අධ්‍යාපන හා ළමා අයිතිවාසිකම් බලධාරින්ටත් නිලධාරින්ටත් මතක්වෙන්නට පටන්ගත්තේ ජනමාධ්‍ය ප‍්‍රශ්න කිරීම් සමඟිනි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු මට්ටමින් පරීක්ෂණ සිදුවුව ද දැන් වගකිවයුත්තන්ගේ උත්සාහය වී ඇත්තේ කාලයේ වැල්ලෙන් සිද්ධිය යටගසන්නටය. එනිසා මෙවර සත්‍ය ගවේෂණය වෙන්වන්නේ ළමා අයිතිවාසිකම් ඔසරි පොටින් වසා දැමුවෝ කවරහුදැයි නිරාවරණය කරන්නටය.

ඔසරි පොටේ කතා වස්තුවේ කතා නායකයා හැටියට හැඳින්විය හැක්කේ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකය. කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඔසරි පොටේ උත්සවය ගැන දැනුම්වත් කෙරෙන්නේ ද මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක විසිනි. සැප්තැම්බර් 12 වැනිදා අංක සීපීසී / සීඑම්/ 06/01 ලිපිය මගින් කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආමන්ත‍්‍රණය කළ ඔහු සැප්තැම්බර් 21 පැවැත්වෙන දිගම ඔසරි පොට වැඩසටහන දැකබලාගැනීම සඳහා ළමුන් සිය දෙනකු සහභාගී කරවන ලෙසට ඉල්ලීමක් කළේය. ඒ මප/කටු/සරත් ඒකනායක ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයෙනි. එම ලිපියේ පිටපතක් විදුහල්පතිවරයාට ද යොමු කර තිබුණු අතර ප‍්‍රධාන අමාත්‍යවරයා සැප්තැම්බර් 18  වැනිදා පාසලට ද පැමිණියේය. ගමනේ අරමුණ මේ සඳහා ළමුන් සහභාගී කරවීම සම්බන්ධයෙන් විදුහල්පති සමඟ සාකච්ඡා කිරීමය. විදුහල්පති ද එදිනම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි. ඒ විෂය සමගාමී කටයුත්තක් යැයි සඳහන් කර ඊට සිසුන් සහභාගී කරවීම සඳහා අවසර අයැදිමිනි. විදුහල්පතිගේ ඉල්ලීමට පදනම්ව තිබුණේ මහ ඇමැතිගේ ඉල්ලීමය.

වාර්ෂික ලෝක ළමා දිනයට සමගාමීව ළමුන් පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට යාමට හා එහිදී පැවැත්වෙන ගිනස් වාර්තා වැඩසටහන සඳහා ළමුන් සියයක් සහභාගී කරවීමට ද තවත් ළමුන් 150 ක් එම වැඩසටහන හා උද්භිද උද්‍යානය නැරඹීමත් ඒ සඳහා ගුරවරුන් 11 ක් හා විදුහල්පතිවරයාට සහභාගීවීමටත් එමගින් අවසර ඉල්ලා තිබුණි. කෙසේ වෙතත් විදුහල්පතිවරයා මෙම ඉල්ලීම ලිඛිතව සිදුකරද්දී තමා මේ ඉල්ලීම කරන්නේ මහ ඇමතිගේ ඉල්ලීම අනුව බව සඳහන් කරන්නට හෙතෙම අමතක නොකළේය.

කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කළේ එම ලිපියට සටහනක් පමණක් යෙදීමය.  ‘ ප‍්‍රධාන හා අධ්‍යාපන ඇමැතිගේ ඉල්ලීම අනුව සුදුසු කටයුතු කරන්’ යනුවෙන් එහි සඳහන් විය. සරත් ඒකනායක ආදර්ශ ප‍්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා තමා ද ඇතුළුව ගුරවරුන් 11 දෙනකු හා සිසුවියන් 251 ක් සමඟ උත්සවයට ගියේ ඒ අනුවය. 

මහ ඇමැතිගේ වචනය අහක දමන්නට ඇතැම්විට විදුහල්පතිට බැරිවන්නට ඇත. එහෙත් මේ නිසාම ළමුන්ගේ අයිතිවාසිකම් හා අධ්‍යාපන අයිතිවාසිකම් විෂයෙහි පවතින නීතිය අහක දමන්නට සිදුවන බව ඔවුන් නොදැන සිටියේද?  ගිනස් වාර්තා නොව කිසිදු කටයුත්තක් සඳහා පළාතේ මහ ඇමතිට තබා ජනාධිපතිටවත් හිතේ හැටියට පාසල් ළමුන් පාවිච්චි කිරීමට බැරිය. පාසල් සිසුන් පාසල් කාලය තුළ පාසලෙන් පරිබාහිර වෙනත් උත්සව හෝ අනෙකුත් කටයුතු සඳහා සහභාගී කර නොගත යුතු බව නීතියයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ 2004 ජූලි 23 දිනැති චක‍්‍රලේඛ අංක 2004/25 හා 2017 පෙබරවාරි 27 දිනැති අමාත්‍යංශ චක‍්‍රලේඛ අංක 2017/13 මගින් ඒ බව පැහැදිලිව දක්වා තිබේ. ඒ අනුව පෞද්ගලික ආයතනයක් විසින් සංවිධානය කරනු ලබන වැඩසටහනකට පාසල් සිසුවියන් හා ගුරුවරුන් සහභාගී කිරීමේදී මහ ඇමතිත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂත් විදුහල්පතිත් යන දෙදෙනාම මේ චක‍්‍රලේඛ කිසිවක් ගැන සැලකිල්ල දක්වා නැති බව පැහැදිලිය. මෙය වඩාත් නරක වන්නේ පළාතේ අධ්‍යාපන ඇමැතිවරයා මහ ඇමැතිවරයා ද වන පසුබිමේය.

අනෙක් අතට මෙම වැඩසටහනට ළමුන් සහභාගී කරවීමට අවසර ඉල්ලීමේදී විදුහල්පති දී තිබූ අපූරු අර්ථකතනය නම් විෂය සමගාමී කටයුත්තක් යන්නයි. එම විෂය සමගාමී වැඩසටහනට 1 වසරේ සිට 5 වසර දක්වා සිසුවියන් පමණක් යොදාගැනීම සම්බන්ධයෙන් කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද කිසිදු ප‍්‍රශ්නයක් නැත. ලෝක ළමා දිනයට සමගාමී වැඩසටහන් යනුවෙන් ආලවට්ටම් දමා තිබූ අවසර ඉල්ලීමේ ලිපියෙන් සිසු දරුවන් හැලී යාම ගැන හෝ ඔවුන්ට මෙය අදාළ නොවන්නේ ඇයිද යන්න ගැන ද හේතු පැහැදිලි කිරීමක් කර නැත. දේශපාලන හයිය හතර අතේ වීසි කිරීමේදී බොහෝ දේශපාලකයන්ට ගේමක් ගැසිය යුතු ආකාරය පවා අමතක වේ. මධ්‍යම මහ ඇමැතිවරයාට ද මෙහිදී සිදුව ඇත්තේ ඒ සන්තෑසියයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අංක 2017/13 චක‍්‍රලේඛය ප‍්‍රකාරව පාසල් කාලය තුළ දී පාසලෙන් පරිබාහිර වැඩසටහනක් සඳහා සිසුන් සහභාගී කරවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ විශේෂ අවසරයක් ලබාගත යුතුය. එහෙත් මේ වැඬේට එවැනි අවසරයක් ලබාගෙන ද නැත.

වැදගත්ම කරුණ නම් ව්‍යාජ අර්ථකතනයක් දුන් වැඩසටහන පවා අවසර ඉල්ලූ ස්ථානයේ නොතිබීමයි. ලිපි හුවමාරුවෙන් මහ ඇමතිත් විදුහල්පතිත් කියා සිටියේ අදාළ වැඩසටහන පැවැත්වෙන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ යැයි කියාය. එහෙත් එය පට්ටපල් බොරුවකි. මේ විප‍්‍රකාර ඔසරි පොට හා උද්භිද උද්‍යානය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණු අතර වැඩසටහන ක‍්‍රියාවේ යෙදුණේ කුඩා දරුවන්ට කිසිසේත් ආරක්ෂිත ස්ථානයක් නොවන පේරාදෙණිය ගන්නෝරුව ප‍්‍රධාන මාර්ගයේය. අනෙක් අතට පේරාදෙණිය උද්‍යානය නැරඹීමට යාමට යැයි කියා තිබුණ ද පොඩි වුන්ට එවැන්නක් පෙන්වා තිබුණේ ද නැත. මල් වන් පුංචි වුන්ට මල් පෙන්වන බව කියා කර ඇත්තේ මොන තරම් බොරුවක් ද?

උත්සවයට සහභාගී කරගැනීම මිස එහි කොටස්කරුවන් බවට සිසු දරුවන් පත්කරගැනීමක් අදාළ ලිපි හුවමාරුවේ නැත. එහෙත් 1 වසරේ සිට 5 වසර දක්වා තෝරාගන්නා ලද ළමුන් 100 ක් මල් කුමාරියන් ලෙස සරසා සහභාගී කරවන්නට ද මේ දෙපළ නීතිය අතට ගෙන තිබුණහ. මේ දරුවන් එදින පාසලට පැමිණි ලෙස නාමලේඛනය සටහන් ද කර තිබේ. ඒ නිසා පාසල් වේලාවේ විවාහ මංගල්‍යයක මල් කුමාරියන් හැටියට ඔවුන් සහභාගී කරවීම පැහැදිලි ලෙසම අධ්‍යාපන අමාත්‍යංශ චක‍්‍රලේඛ උල්ලංඝනය කිරීමකි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මුද්‍රාවක සිරකරන තැන පටන් සරත් ඒකනායක මහ ඇමැතිවරයාත් විදුහල්පතිත් කර තිබුණේ රැවටීමමය. තමන් තවදුරටත් බොරු කියා නැතැයි විදුහල්පතිවරයා පවසන්නේ නම් අපට කළ හැකි නිගමනය වන්නේ ඔහුට සරල ගණිතය පවා නොහැකි බවයි. විදුහල්පති විසින් ප‍්‍රකාශ කරනු ලැබුවේ මල් කුමාරියන් 100 ක් හා එය නැරඹීමට සිසුන් 127 ක් පමණ සහභාගී වූ බවය. එහෙත් එදින 2 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පැමිණීමේ නාම ලේඛනය අනුව පාසල් පැමිණි සිසුවියන් සංඛ්‍යාව 225 කි. 1 ශ්‍රේණියෙන් තෝරාගත් මල් කුමාරියන් ගණන 26 කි. ඒ අනුව මෙම වැඩසටහනට සහභාගී වූ පුංචි වුන් ගණනින් 251 කි. විදුහල්පතිටත් මහ ඇමැතිටත් එකතු කරගැනීමට බැරි සරල ගණිතය එයයි.

පුහුල් හොරා කරෙන් දැනෙන්නේ යම් සේ ද පාසලේ ලොග් සටහන් පොත ද මේ අකටයුත්තේ තරම හෙළි කරන තැනකි. පාසලේ ලොග් සටහන් පොතේ එදිනට අදාළව විදුහල්පතිවරයා විසින් තබන ලද සටහන අපි බලමු. ඊට අනුව පාන්දර 3.00 ට පාසලට පැමිණ 5.30ට පාසලෙන් පිටව නැවත ඔවුන් පාසලට පැමිණ තිබුණේ දවල් 11.00 ටය. පිට වූ වේලාවත් පැමිණි වේලාවත් සැලකූ විට පැය 5 විනාඩි 30 කට වැඩි කාලයක් පාසලේ සිසුවියන් 251 ක් සිට ඇත්තේ ගමනේ හා ආරක්ෂිත ස්ථානයක් නොවන මහා මාර්ගයේය. මේ දරුවෝ සිසුවියෝය. ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සපුරාගැනීම පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබුණු බව ඉතා පැහැදිලිය. මීට අදාළව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශයෙන් කර ඇති විගණනයෙහි මෙය පැහැදිලිවම දක්වා තිබේ. තවද දරුවන්ට අහිමි වූ අධ්‍යාපන කාලය සම්බන්ධයෙන් එම වාර්තාවෙන් කරන හෙළිදරව්ව ඉතා වැදගත්ය. ඊට අනුව සිසුවියන් 251 කගේ අධ්‍යාපනයට යෙදවීමට තිබූ පැය 1 228 ක් කාලයක් මෙන්ම විදුහල්පතිවරයාගේ පාසල් පරිපාලනයට තිබූ පැය 5 1/2 ක කාලයක් ද ගුරුවරුන් 11 කට අධ්‍යාපනය ලබාදීමට තිබූ පැය 60 1/2 ක කාලයක් ද අධ්‍යාපනයට කිසිදු සම්බන්ධයක් නොමැති පළ රහිත වැඩසටහනක් වෙනුවෙන් යොදා ඇත. ඒ අනුව විකාරසහගත ලෙස විනාශ කළ මුළු කාලය මිනිස් පැය 1 294 කි.

අදාළ රූපලාවන්‍ය ශිල්පිනිය එවා තිබූ මල් කුමාරියන්ගේ ඇඳුම් ප‍්‍රමාණය අනුව සිසුන් තේරීම සිදුකරනු ලැබ තිබුණේ විදුහල්පති විසිනි.  ඊට ගුරුවරුන්ට හා සිසුවියන්ට ද කාලය වැය කෙරීමට සිදුව තිබුණි. මල් කුමාරියන්ට තෝරාගෙන තිබුණේ එවා තිබූ ඇඳුමේ ප‍්‍රමාණයට ගැලපෙන ප‍්‍රියමනාප යැයි සංවිධායකයන් අනුමාන කළ සිසුවියන් පමණකි. මේ නිසා ඊට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටි අනෙකුත් සිසුවියන් දැඩි මානසික පීඩාවකට පත්වීම අපේක්ෂා කළ හැක්කකි. මේ සඳහා විදුහල්පතිවරයා හා ගුරුවරුන් 11 ක් සහභාගී කරවාගෙන තිබූ අතර ඔවුන්ට ඒ වෙනුවෙන් රාජකාරි නිවාඩු ද පිරිනැමිණි. ආයතන සංග‍්‍රහයේ XII පරිච්ඡේදයේ 13 වගන්තිය අධ්‍යාපන ඇමැතිවරයාටත් විදුහල්පතිවරයාටත් උපුටා දැක්විය යුත්තේ මෙහිදීය. ඊට අනුව රාජකාරි කටයුත්තක් ඉටුකිරීම වෙනුවෙන් නිලධාරියකුට රාජකාරි නිවාඩු ලබාදිය හැකිය. එහෙත් එම නියමයෙන් බැහැරව රාජකාරි නොවන කටයුතු වෙනුවෙන් එවැන්නක් අනුමත කිරීමට විදුහල්පතිය බැරිය.

අනෙක් අතට ලෝක වාර්තාව පිහිටුවීම මේ පාසලේ දරුවන්ට සුවිශේෂි වන්නේ ඇයි? අවශ්‍ය නම් මහනුවර නගරය හා පේරාදෙණිය නගරය ආශ‍්‍රිතව පාසල් රැුසක්ම තිබේ. එසේ තිබියදීත් මහනුවර සිට කිලෝමීටර 17 ක් පමණ දුරකින් පිහිටි මෙම පාසලේ ළමුන්ට පමණක් අදාළ ලෝක වාර්තාව පිහිටුවීම දැකබලාගැනීම සඳහා අදාළ වූ විශේෂ කරුණක් තිබිය යුතුය. එහෙත් එය කුමක්දැයි මහ ඇමැතිවත් විදුහල්පතිවත් අපට කියන්නේ නැත. වඩා වැදගත්ම කරුණ මෙයයි. 2 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වූ පංතිවල ඉගෙනුම ලබන පිරිමි දරුවන් සංඛ්‍යාවෙන් 365 කි.ගුරුවරුන් සහ පංතියේ ගැහැණු දරුවන් අදාළ වැඩසටහනට සහභාගී වද්දී මේ දරුවන්ට බකංනිලා සිටිනු විනා කරන්නට අන් දෙයක් තිබේද? එබැවින් එදින පිරිමි දරුවන් පාසල් පැමිණ තිබුණේ 143 ක් පමණි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රජයේ විගණන අංශය පවසන පරිදි අදාළ පංතිවල පංති වාර්තා පොත් පරීක්ෂාවේදී අනෙකුත් දිනයන්ට සාපේක්ෂව අධ්‍යයන කටයුතු දුර්වල මට්ටමක පැවැති බව පැහැදිලිවම නිරීක්ෂණය වී තිබේ. මේ දින සමස්ත පාසලේම අධ්‍යයන කටයුතු අඩාලව පැවැති බව ද ඔවුහු පවසති. 

මේ අනුව ඔසරි පොටේ දිගට වඩා අද කතාව දිග්ගැහෙන්නේ ළමා මෙන්ම අධ්‍යාපන අයිතිවාසිකම් ද උදුරාගනිමින් බලධාරින් මෙන්ම නිලධාරින් කටයුතු කර ඇති අමනෝඥ ස්වභාවය සම්බන්ධයෙනි. අව් කූටකේ හෝරා ගණනක් පුංචි වුන් පුච්චාදැමීම සම්බන්ධයෙනි. රජයේ විගණන අංශයෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව සිදුකර ඇති බලය අවභාවිතාවේ තරම පැහැදිලිය. මේ සම්බන්ධයෙන් විගණනය සිය නිරීක්ෂණ ඔක්තෝම්බර් 4 වැනි දා   ලිපිය මගින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ඉදිරිපත් කරමින් කියා සිටින්නේ අදාළ නිරීක්ෂණ ගැන ලේකම්වරයාගේ අදහසත් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක‍්‍රියාමාර්ගත් දන්වන්නේ නම් මැනැවිය කියාය. ඒ සති දෙකක් ඇතුළතය. එහෙත් අදාළ ලිපිය නිකුත් කර මාස දෙකක් ගතවීත් තවමත් මේ අයතා ක‍්‍රියාවට එරෙහිව නිසි පියවරක් ගැනීමට බලධාරිහු කටයුතු කර නැත. මේ පරීක්ෂණ පමාව ගැන විමසීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළ ද ඔහුගේ දුරකථනය තිබුණේ ක‍්‍රියාවිරහිතවය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්  ආර්.එම්.ටී.එෆ් රත්නායක මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවැසුවේ සිද්ධියට අදාළ විස්තර අදාළ පාර්ශ්වවලින් තවමත් ලැබී නැති බවය. මේ විස්තර යනු අලූත් ඒවා නොවේ. විගණන අංශය දැනටමත් හෙළිදරව් කර ඇති විස්තරමය. තොරතුරු සොයාගැනීමේ මූලාශ‍්‍ර ද වෙනස් නොවේ. අවශ්‍ය වන්නේ ලේකම්වරයා ඒවා සසඳා බැලීම පමණි. අනෙක් අතට සැප්තැම්බර් 21 සිදු වූ සිද්ධියේ විස්තර විගණන අංශයට ඔක්තෝම්බර් 4 වැනිදා වනවිට ලබාගෙන අවසන් කළ හැකි නම් එතැන් පටන් තවත් මාස දෙකක් ගතවනතුරු එම විස්තරම ලබාගැනීමට පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට නොහැකි යැයි කෙසේ පිළිගත හැකිද? පිළිතුර ඉතා සරලය.

සිද්ධියේ කතා නායකයා මහ ඇමැති හෙවත් අධ්‍යාපන ඇමැතිවරයාය. ලේකම්වරයා මේ නිරීක්ෂණ සැබෑ යැයි කිවහොත් ගස් යන්නේ විෂය බාර ඇමැතිවරයාමය. ඉතින් දැන් ඔහු සිටින්නේ ගිරයට හසු වූ පුවක වාගේය. මේ සිද්ධිය සිදුවන විට ලේකම් තනතුරේ සිටියේ පී.බී විජයරත්න මහතාය. සැප්තැම්බර් මාසයේ අග වනවිට ඔහු එම තනතුරට සමුදුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඌව පළාත් ප‍්‍රධාන ලේකම් ලෙස උසස්වීමක් ලබාදීමෙනි. දැන් විජයරත්න මහතාගෙන් නිදහස් වූ ගිණි ගෙඩිය තිබෙන්නේ රත්නායක මහතාගේ සිරසේය. එහෙත් ඔහු පවසන්නේ තමා නිරීක්ෂණ දැක් වූ පසු සිදුවීමට අදාළ වරදකරුවන් සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කළ යුතු බවයි. තවද එය සිදුකරනු ලැබිය යුත්තේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් බවයි. ඒ අනුව මේ කතාව ඔසරි පොටටත් වඩා දිගට යන බවක් අපට පෙනේ.

ඒ නිසා උදා වී ඇති තත්ත්වය ගැන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගෙන් ද විමසුවෙමු. ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න මහතා පැවැසුවේ පැහැදිලිවම පරීක්ෂණවල පමාවක් ඇති නමුත් ඊට බලය ඇත්තේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයටම බවයි. එතැනින් වැඬේ සිදුවන්නේ නැතිනම් මැදිහත්වීමට ආණ්ඩුකාරවරියට හැකි බවයි. එසේ නම් දැන් ඇත්ත තත්ත්වය රට හමුවේ අනාවරණයට අපි කටයුතු කර ඇත්තෙමු. වැරුදිකරුවන් නීතිය හමුවට පැමිණවීමේ වගකීම දැන් බලධාරින් සතුය.

‘‘මට තව සතියක් දෙන්න’’

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්  ආර්.එම්.ටී.එෆ් රත්නායක

ප‍්‍රශ්නය - විගණන අංශයෙන් ඔබට යොමුකළ නිරීක්ෂණවලට අදාළව ඔබ ගත් ක‍්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර- ඒ කරුණු එක්ක අපි දැන් නිරීක්ෂණ සකස් කරගෙන යනවා. අදාළ කටයුතු කරගෙන යනවා.

ප‍්‍රශ්නය - ඔක්තෝම්බර් 4 ලිපිය ඔබට යොමුවෙන්නේ සති දෙකක් ඇතුළත දන්වන්නේ නම් මැනැවි කියායි. එහෙත් දැන් මාස දෙකකට වඩා ගතව තිබෙනවා?

පිළිතුර- සමහර තොරතුරු අපට තාම ලැබිලා නෑ. ආපු ඒවත් පැහැදිලි කරගන්න  ඕනෑ.

ප‍්‍රශ්නය - තොරතුරු ලැබිලා නැත්තේ කොහෙන්ද?

පිළිතුර- පාසලෙන් හා කලාපෙන්. 

ප‍්‍රශ්නය - තොරතුරුත් අරගෙන වැඬේ ඉවර කරන්න තව කොච්චර කාලයක් යාවිද?

පිළිතුර- මේ සතිය ඉවරවෙද්දි.

ප‍්‍රශ්නය -මේක බරපතල සිද්ධියක්නෙ. ඔබට මූලික නිරීක්ෂණයක් තිබෙනවාද?

පිළිතුර- මම අලූතින් පත්වෙලා ආවේ.

ප‍්‍රශ්නය - නමුත් විගණන ලිපිය ලැබුණේ ඔබ අතට නේද?

පිළිතුර- ඔව්. අපි විගණනයට නිශ්චිත තොරතුරක් දෙන්න  ඕනෑ. මුලින් තොරතුරු දීලා පස්සේ ඒක නෙවෙයි කියන්න බෑ.

ප්‍රශ්නය - සිද්ධියට වගකිවයුත්තෙක් ඉන්නවාද?

පිළිතුර- අනිවාර්යෙන්ම. විගණනයෙන් පෙන්වා දුන් තොරතුරු සමඟ අවසානයේදී ඒක හෙළිවෙනවනෙ.

ප‍්‍රශ්නය - ඒකට නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

පිළිතුර- වරදකරුවන් බවට ඔප්පුවුණොත් ඒකට දෙපාර්තමේන්තු පරීක්ෂණයක් කරන්න  ඕනෑ. එතැනදි අපි මැදිහත්වෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ඉදිරි කටයුතු කරන්නැයි අපි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට බලය පවරනවා.

ප‍්‍රශ්නය - මහ ඇමැතිම කතා නායකයා වෙන වෙලාවෙ අධ්‍යාපන අමාත්‍යංශයත් ඔහුටම පැවැරෙද්දි ස්වාධීන පරීක්ෂණයක් කිරීම දුෂ්කර නැද්ද?

පිළිතුර- මෙහෙමයි ඉතින් නිලධාරින් සම්බන්ධයෙන් තීන්දුවක් ගනිද්දි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවානෙ. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

‘වැරැදිකරුවා සෙවිය යුත්තෙත් අධ්‍යාපන අමාත්‍යංශයෙන්මයි’’

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න

ප‍්‍රශ්නය -රජයේ විගණන අංශයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට සිය නිරීක්ෂණ ඉදිරිපත් කර සති දෙකක් ඇතුළත පියවර ගන්නැයි කීවත් දැන් මාස දෙකක් ගතවීත් කිසිවක් සිදුව නැහැ?

පිළිතුර- ඔව්. ඒ නිරීක්ෂණ වාර්තාව අපටත් ලැබුණා. මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා අපිත් ලිව්වේ අධ්‍යාපන අමාත්‍යංශයටම තමයි. 

ප‍්‍රශ්නය -එතකොට මේකට පියවර ගැනීමට බලතල තිබෙන්නේ කාටද?

පිළිතුර- අධ්‍යාපන ලේකම්ට තමයි. මූලික පරීක්ෂණ එතැනින් කෙරෙන්න  ඕනෑ.

ප‍්‍රශ්නය -පරීක්ෂණ වෙන්නෙ නැත්තන් කල් මරනවා නම් ආණ්ඩුකාර ලේකම්ට මැදිහත්විය නොහැකිද?

පිළිතුර- පුළුවන්. අපිට කවුරු හරි අභියාචනයක් කරන්න  ඕනෑ.

ප‍්‍රශ්නය - පුවත්පත් ලිපියක් ලිපියක නිරීක්ෂණ මත එවැනි තැනකට යන්න බැරිද?

පිළිතුර- පුළුවන්. පුළුවන්.. පදනමක් ඇති පුවත්පත් ලිපි මත එවැනි පියවර ගෙන තිබෙනවා.