සහරාන් මෙහිදී බොහෝවිට සඳහන් කර ඇත්තේ අබු ඊබ්‍රහිම් අල්-හනීෆ් ලෙස ඔහුගේ කන්‍යාව හෙවත් කණ්ඩායම විසින් හඳුන්වාගත් තමීන් අහමඩ් චවුද්‍රි නමැති බංගලාදේශ ඉස්ලාම් රාජ්‍යයේ එමිර්වරයා පිළිබඳවයි.

වර්ෂ 2016 ජුලි මාසයේ ගුල්ෂන් කැෆේ අවන්හල ඉලක්ක කර එල්ල කෙරුණ ඩකා ප්‍රහාරයේ මහ මොළකරු ඔහු වන අතර එම ප්‍රහාරයේ විසිනව දෙනකු හට ජීවිත අහිමිවිය. මෙම ප්‍රහාරයේදී තමන් සැබවින්ම මරණයට පත් නොවුවත් සහරාන් එහිදී ඔහු මිය ගිය බවට සාවද්‍ය මතයක සිටියේය. එහෙත් 2019 මාර්තු 27 වැනිදා පානදුර පරත්ත පාරේ, ෂෙරිප් මාවතේ, අංක 61/02 දරන නෂ්මියාවිලාහි සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳ සාක්ෂි විමසීමේදී ඉහත කරුණ පිළිබඳව සැකයක් ඇතිකර ගැනීමට හේතුවක් විමර්ශන කොමිෂන් සභාවට නැත.

මෙම රැස්වීම අවසන් වූයේ එහිදී සාකච්ඡා වූ කිසිවක් කිසිවකු හට අනාවරණය කළොත් වවුනතිව්හිදී ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා හටද, අමාත්‍ය කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරමින් වනාතවිල්ලුවෙන් හමුවූ ආයුධ තොගය සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය දැක්වූ බවට සැක කිරීම හේතුවෙන් හිසට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ තස්ලිම් නමැත්තාට ද අත්වූ ඉරණමටම එවැන්නන් ගොදුරුවන බවට සහාරාන් විසින් අනතුරු ඇඟවීමෙන් පසුවය.

සහරාන් සහ නවුෆර් අතර ගැටුමක් ඇතිවීම නිසා කණ්ඩායම් තුළ ඇතිවූ බෙදීම පිළිබඳ අනාවරණය සැබැවින්ම සත්‍ය කාරණයක්ද, එසේත් නැතිනම් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන නිලධාරීන් නොමග යැවීම සඳහා ගොතන ලද කතාවක්ද යන්න විමර්ශන  නිලධාරීන් සම්පූර්ණයෙන් විමසා බැලිය යුතු කරුණකි. මේ පිළිබඳ කිසිදු ස්ථාවරයක් විමර්ශන කොමිසම විසින් සිදු නොකරේ. කෙසේ නමුත් වර්ෂ 2019 මාර්තු 27 වැනිදා සහරාන් විසින් කියන ලද බවට සැලකෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කාරණය ඒ හා සම්බන්ධ සිදුවීම්වල සැබෑ පිළිබිඹුවක් ලෙස විමර්ශන කොමිසම විසින් අධීක්ෂණය කරනු ලබන්නේ ඊට පෙර සිදුවූ සිදුවීම් කීපයක්ද සැලකිල්ලට ගනිමිනි.

අලියාර් මංසන්ධියේ සිදුවීමෙන් අනතුරුව කාත්තන්කුඩියෙන් පලාගිය පසු සහරාන් තම බිරිඳ සහ දරුවන් ප්‍රධාන වශයෙන් රඳවා තැබුවේ කැකුණගොල්ල ප්‍රදේශයේ සහ කාත්තන්කුඩියේ විසූ සිය මාපියන් භාරයේ වන අතර ඒ මුළු කාලයම, මාවනැල්ල, අම්පාර සහ මල්වාන වැනි ප්‍රදේශවල සැඟවී මිතුරන් සහ ආධාරකරුවන් සමග ගත කළේය. කලින් කලට ඔහු විසින් සිය දරුවන් සහ බිරිඳ බැලීමට රාත්‍රී කාලයේදී කැකුණගොල්ල හා කාත්තන්කුඩි ප්‍රදේශවල ගොස් ඇති  අතර එසේ ගිය එක් ගමනකදී දළ වශයෙන් දින දෙකක පමණ කාලයක් එහි රැඳී සිට ඇත. සාරාද ඔවුන් සමග එම ස්ථානවල නැවතී සිට තිබේ.

වර්ෂ 2018 මුල් භාගයේදී ත්‍රස්ත විමර්ශන නිලධාරියකු කැකුණගොල්ල ප්‍රදේශය වෙත පැමිණ සහරාන් පිළිබඳ විමසා තිබේ. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදුවී නොමැති බව පෙනී යයි. කෙසේවුවත් වර්ෂ 2019 පෙබරවාරි 19 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හයදෙනකු පමණ කැකුණගොල්ල වෙත පැමිණ තිබේ. හදියාගේ සහෝදරයා වන අන්සාර් ඔවුන් සමග විය. වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහු විමර්ශන කටයුතු  සඳහා අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී විමර්ශන නිලධාරීන් විසින් අදාළ පුපුරන ද්‍රව්‍ය එම ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් වෑන් රථය සමඟ ඔහුගේ තිබූ සම්බන්ධතාව අනාවරණය කරගෙන තිබිණි. ඔවුන් හාදියාගෙන් ප්‍රශ්න  කර ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.

මෙම තත්ත්වය පිළිබඳ දැනගත් පසුව සහරාන් ඔහුගේ පවුලේ අය සමඟ සාරා කැකුණගොල්ල ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර එම කාර්ය සඳහා හස්තුන්, ඉල්හාම්, රිශ්ඛාන් සහ තවත් කීපදෙනෙක් සම්බන්ධ වූහ. එම ගමන අතරමගදී හාදියා විසින් පාවිච්චි කළ දුරකතනය විනාශ කළ අතර එහි එමි අංකය ඉවත් කිරීමෙන් පසුව එය බැහැර කර ඇත. ඉල්හාම් අතරමගදී මෙම කණ්ඩායම සිය මෝටර් රථයේ නංවාගෙන ගමන් කොට ඇත.

යළිත් වරක් වර්ෂ 2019 පෙබරවාරි 28 වැනිදා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරින් හත්දෙනකු සහරාන් සොයා කැකුණගොල්ල වෙත ගොස් තිබේ. වර්ෂ 2018 ජූලි 09 වැනිදා වනවිට නඩු අංක B 92358/8/18 දරන නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ත්‍රස්ත විමර්ශන අංශ සහරාන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබිණි. එහිදී සහරාන්ගේ විවාහයෙන් ඥාති සහෝදරයකු වන පුද්ගලයකු ඔවුන්ට හමුවූ අතර ඔහුගෙන් තොරතුරු විමසීමක් ආරම්භ කරන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාජන් ඩයස්ගෙන් ලැබුණු ඇමතුමකින් ඔවුනට දන්වනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද ඒ වනවිටත් ඔහු පිළිබඳව විමර්ශනයක් අරඹා තිබුණු බැවින් එම පරික්ෂණ කටයුතුවලින් ඉවත් වන ලෙසයි. ත්‍රස්ත විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට සහ එවකට වැඩ බලන අධ්‍යක්ෂවරයාට මේ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව අදාළ නිලධාරීහු එම විමර්ශනයෙන් ඉවත් වූහ.

2019 වර්ෂයේ මාර්තු මුල් භාගයේදී රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු අනුව අයි.එස්. සංවිධානයේ ප්‍රහාර මාදිලියට සමාන ආකාරයේ ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේදී දියත් කිරීම සඳහා  මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල තරුණයන් රිල්වාන් විසින් පොලඹවමින් සිටිනු ලබන බවට සැලවිය. වර්ෂ 2019 මාර්තු රිල්වාන් කිලෝ 35 ක් බරැති නයිට්‍රික් අම්ලය අඩංගු බැරල් 08 ක් කාන්තන්කුඩියෙන් මිලදී ගෙන තිබුණි.

වර්ෂ 2019 මාර්තු 06 වැනිදා කාෆීර්වරුන්ගේ රුධිරය සහ ආර්ථිකය නමැති සිරස්තලය සහිතව සහරාන් විසින් ඔහුගේ මුහුණු පොත් පිටුවෙහි වීඩියෝවක් ඉදිරිපත් කරමින් ඔහුගේ ආධාරකරුවන් හට දන්වා සිටියේ ඉස්ලාමයේ ශුද්ධ වූ මාස අවසන්වූ පසු හැකි තරම් මුස්ලිම් නොවන අය ඝාතනය කරන ලෙසයි.

ඔහු තවදුරටත් විස්තර කර සිටියේ කුරානයේ සුරා අංක 9:5 අනුව යහපත් කටයුතුවල යෙදිය යුත්තේ ඉස්ලාමයේ මාස ක්‍රමයට අනුව 01, 07, 11 වැනි හා 12 වැනි මාසවල පමණක්  වන බවත් සෙසු මාසවලදී මුස්ලිම් නොවන ජනතාව දුටු තැන මරාදැමිය යුතු බවත් ඉස්ලාම් දහම වැළඳ ගන්නා අන්‍ය ලබ්දිකයන්ට පමණක් ඔවුන්ගේ ගමන ඉදිරියට යාමට ඉඩසැලසිය යුතු බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ කුරානයේ ඉගැන්වීම් අකුරටම අනුගමනය කරන මුස්ලිම්වරුන් ශුද්ධ වූ මාස ලෙස නොසැලකෙන කාලයේ මුස්ලිම් නොවන අය නසා ඔවුන්ගේ දේපළ අත්පත් කර ගැනීම සිදු කරන බවයි. අවසානයේදී ඔහු සඳහන් කොට සිටියේ හොඳම විකල්පය වන්නේ කලීෆ්වරයකුගේ නායකත්වය යටතේ ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීම බවයි.

වර්ෂ 2019 මාර්තු 07 වැනිදා රාජ්‍ය බුද්ධි අංශ මෙහෙයුම් ක්‍රියාකාරීහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හට ආමි මොහිදින් සහ රිල්වාන් සැඟව සිටින ස්ථාන පෙන්වූ අතර ෂයිනි ජීවත්වූ ස්ථානය ද අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ නිලධාරීහු ආමි මොහිදීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම ආරම්භ කළ අතර ඔහුට එරෙහිව වරෙන්තුවක් ඇති බව ඔවුන් දැන සිටියද ඔහු අත්අඩංගුවට නොගෙන ඒ වෙනුවට සහරාන් පිළිබඳ තොරතුරු සපයන්නෙකු ලෙස ඔහු භාවිත කිරීමට ක්‍රියා කළෝය.

මෙහිදී ආමි මොහිදීන් හට එක් විමර්ශන නිලධාරියකුගේ දුරකථන අංකයක් පවා ලබාදී තිබේ. ආමි මොහිදින් මෙම තොරතුරු සහරාන් වෙත දැනුම්දී තිබීමට ඉඩ ඇත. මේ සියලු  සිද්ධීන් විසින් ඇති කළ සමස්ත බලපෑම හේතුවෙන් තමා වෙත විමර්ශන නිලධාරීන් වඩාත් ඉක්මනින් සමීපවන බව සහරාන් හට හැඟුණා විය හැක. සාදික් ඉදිරිපත් කළ සාක්ෂිවලට අනුව මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා වන තම සැලසුම දියත් කිරීම සහරාන් විසින් කඩිනම් කොට ඇත්තේ වනාතවිල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියෙන් අනතුරුවයි.

පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය සඳහා හේතු පාදක වූ ජාත්‍යන්තර මට්ටමේ සිදුවීම්ද පැවැති බව විමර්ශන කොමිසමේ අවධානයට ලක් වී ඇත.

මාස 06ට අධික නිහඬතාවකින් පසුව වර්ෂ 2019 මාර්තු 16 වැනිදා පමණ අබු හසාන් අල්-මුහජිර් නමැති අයි.එස්. සංවිධානයේ ප්‍රකාශකයා ශ්‍රව්‍ය පටිගත කිරීමක් මුදාහැර තිබූ අතර එහි සඳහන් වූවේ නවසීලන්තයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අවශ්‍ය බවත් නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් හි ඉස්ලාම් දේවස්ථාන දෙකක යාඥාවේ යෙදී සිටි මුස්ලිම් බැතිමතුන් හතළිස් නවදෙනකුට මරු කැඳවීමට වර්ෂ 2019 මාර්තු 15 වැනිදා සුදු ජාතික ජාතිවාදී අන්තවාදියකු එල්ල කළ ප්‍රහාරය සමත්විය. ඉහත සඳහන් ශ්‍රව්‍ය පටිගත කිරීමේදී පැවැසුණේ මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුවූ සමූල ඝාතනයේ දර්ශන දැකීමෙන් එතෙක් මුළාවට පත්වී සිටි අය ඒ මුළාවෙන් අවදි විය යුතු බවත් කලිෆතයේ (ඉස්ලාම් රාජ්‍යයේ) ආධාරකරුවන් හට ඔවුන්ගේ ආගමේ නාමයෙන් පළිගැනීමට අනුබල දියයුතු බවත්ය.
අල්කයිඩා සංවිධානය හා සම්බන්ධ කණ්ඩායම්ද මෙම ප්‍රහාරයේ පටිගත කරන ලද දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් ඉස්ලාම් දහම නොඅදහන්නන් මරා දැමීම සඳහා මුස්ලිම්වරුන්ට අනුබල දීම දිගින් දිගටම සිදුකළහ. ඉන් එක් පණිවිඩයකින් ඕස්ට්‍රේලියානු සංචාරකයන් ඉලක්කකොට ගන්නා ලෙස මුස්ලිම්වරුන් දිරිමත් කෙරුණු අතර, ඔවුන් ගලා යන්නට සැලැස්වූ මුස්ලිම් ජනතාවගේ රුධිරයේ පළිය ගැනීම සඳහා කුරුස යුද්ධයේ සෙබළුන් කපාකොටා කැබලි කිරීමට උසිගැන්වූහ. වර්ෂ 2019 අප්‍රේල් 20 වැනිදා සහරාන් විසින් නිකුත් කෙරුණ වීඩියෝවේ අන්තර්ගත වන ආකාරයට, ඔහු මෙම සිදුවීම පිළිබඳ විශේෂ සඳහනක් සිදුකරමින් ප්‍රහාරය එල්ල කිරීමට එය ප්‍රධානතම හේතුවක් ලෙස හුවා දැක්විය.

මීළඟ සතිය තුළ නැගෙනහිර සිරියාවේ බගු ගම්මානය නමැති අයි.එස්. සංවිධානයේ කලීෆයට පාලනය යටතේ පැවැති ප්‍රදේශය තුළද ඔවුන්ගේ බලය හීන වෙමින් පැවැති බව පැහැදිලිය. කෙසේ වුවද නිරීක්ෂකයන්ට අනුව අයි.එස්. සංවිධානයේ අනුගාමිකයෝ ඒ වනවිටත් ලොව පුරා ජීවත්වන ඉස්ලාමය නොඅදහන්නන් ඝාතනය කිරීමට ප්‍රතිඥා දෙමින් සිටියහ. ඔවුන්ගේ විශ්වාසය වූයේ තරුණ තරුණියන්ගේ හදවත්වල හා මනසෙහි තවදුරටත් ඉස්ලාම් රාජ්‍ය සංකල්පය මුල් බැසගෙන තිබෙන නිසා කුමක් සිදුවුවත් එම රාජ්‍ය තවදුරටත් පවතීය යන්නයි. අන්තර්ජාලයට එක්කොට තිබූ අයි.එස්. සංවිධානයේ තවත් හඬ පටයක සඳහන් වූයේ ලොව පුරා තම ආධාරකරුවන් හට පවසා සිටින්නේ නැගෙනහිර සිරියාවේ සිය අවසන් සටනෙහි සිය ජීවිත පරිත්‍යාගයෙන් නිරතව සිටි සටන්කරුවන් වෙනුවෙන් හැකි සෑම ස්ථානයකම ප්‍රහාර එල්ල කරන ලෙසයි. තවදුරටත් අයි.එස් සංවිධානය විසින් යුරෝපයේ සහ සෙසු විදෙස් රටවල ඔවුන්ගේ සහෝදරත්වය වෙත අවධානය කොට සිටියේ කුරුස යුද්ධයේ සෙබළුන් හට එරෙහිව නැඟී සිටිමින් ආගමේ නාමයෙන් පළිගන්නා ලෙසයි.

වර්ෂ 2019 මාර්තු 25 හෝ 26 ආසන්න දිනවල හස්තුන් මුඛාරක් සහ රිස්ඛාන් විසින් වාලච්චේනෙහි ඔඩමාවඩි ප්‍රදේශයෙන් යූරියා මිලදී ගෙන ඇත. ඔවුන් පොළොන්නරුවෙන් එම මිලදී ගැනීම සඳහා උත්සාහ කර ඇති නමුත් එම උත්සාහය සාර්ථක වී නොමැත. යූරියා කිලෝ ග්‍රෑම් 25 ට අධික ප්‍රමාණයක් මිලදී ගෙන එදිනම පානදුර පිහිටි ආරක්ෂක නිවස්නය කරා ඒවා ප්‍රවාහනය කර තිබේ. වර්ෂ 2019 මාර්තු මාසයේදී රිල්වාන් විසින් කිලෝ 35ක් බරැති නයිට්‍රේට් අම්ලය අඩංගු බැරල් 8ක් කාන්තන්කුඩියෙන් මිලට ගත් අතර සුදු වෑන් රියකින් එය ප්‍රවාහනය කොට තිබේ.

 වර්ෂ 2019 අප්‍රේල් 11 වැනිදා ලීටර් 50ක ධාරිතාවකින් යුත් ගමන් මලු 10ක් බත්තරමුල්ල ඩිකැට්ලන් ආයතනයෙන් මිලදී ගෙන තිබේ. ඒවා මිලදි ගෙන තිබුණේ මුබාරක්ය. ඒවා මිලදී ගැනීම සඳහා ඔහුගේ පාරිභෝගික වරප්‍රසාද අංකය භාවිත කර තිබුණි. මරාගෙන මැරෙන ප්‍රහාරයේදී භාවිත කර තිබුණේ මෙම ගමන් මලුය.

වර්ෂ 2019 අප්‍රේල් 18 වැනිදා හස්තුන් සහ මුබාරක් මුස්ලිම් පුරුෂයන් පලඳින රුමාන් අම්ජාඩ් නමැති සාටක වර්ගයකින් සාටක අටක් කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් පාරේ අංක 176 දරන ලිපිනයේ පිහිටි නිව් ලුක් අල්  හමයින් නමැති ස්ථානයෙන් මිලදී ගෙන තිබේ. වර්ෂ 2019 අප්‍රේල් මස 19 වැනිදා බත්තරමුල්ල ඩිකැට්ලන් ආයතනයෙන් රුපියල් 76,650ක් පමණ  වටිනා ආයිත්තම් තොගයක් මිලට ගෙන තිබූ අතර, එම ආයිත්තම් අතර කැප් තොප්පි, කලිසම්, කොට කලිසම්, අව් කණ්ණාඩි, පා ආවරණ (මේස්), දිවීමට භාවිත කරන පාවහන්, ටී-ෂර්ට්, ඔර්ලෝසු ආදිය අඩංගු විය.

 වර්ෂ 2019 අප්‍රේල් 20 වැනිදා  මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනා විසින් පැය 13.17 සහ 15.32 අතර කාලය තුළ වීඩියෝ දර්ශන 17ක් පමණ පටිගත  කර ඇති අතර එය සිදුකර ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පිහිටි ස්පෑන් ටවර් ගොඩනැගිල්ලේදීය. මෙම වීඩියෝ දර්ශන අතර සහරාන්ගේ කතාවක්ද අන්තර්ගත විය. එම කතාවේදී මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතු 10ක් සහරාන් විසින් සඳහන් කර තිබුණි. ඔවුන් සියලු දෙනා ඇඳ සිටියේ කළු පැහැති ඇඳුම් වන අතර ඉන් දින 2ට පෙර මිලදී ගත් රුමාන් අම්ජාඩ් නමැති සාටකද පැලඳ සිටියෝය.


මෙම ප්‍රහාරය  සඳහා ඔවුන් ඉදිරිපත් කර තිබූ හේතු 4ක් වන්නේ.
1. අහ්ලාහ් වෙනුවෙන් අහ්ලාහ්ගේ නාමයෙන් ප්‍රේම කිරීම හා අහ්ලාහ්ගේ නාමයෙන් වෛර කිරීම (අහ්-වලා’ ව-ඉල්-බරා’)
2. බගූ නමැති මුස්ලිම්වරුන් වෙත දෙවියන් විසින් ප්‍රදානය කෙරුණ ඉස්ලාම් රාජ්‍යයේ මුස්ලිම්වරුන් ඝාතනය සඳහා රටවල් 80 ක සන්ධාන ගතවීමෙන් යුතුව සුදු පොස්පරස් යොදාගෙන  තනන ලද බෝම්බ භාවිත කිරීම උදෙසා පළිගැනීමක් ලෙස
3. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච්හි මුස්ලිම් දේවස්ථානවල යාඥා කරමින් සිටි අහිංසක මුස්ලිම්වරුන් ක්‍රිස්තියානු ලබ්ධිකයකු ඝාතනය කිරීමට  පළිගැනීමක් ලෙස ප්‍රංශය, ඇමෙරිකාව එක්සත් ජනපදය, රුසියාව, ඉතාලිය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඊශ්‍රාලය සහ යුරෝපා කලාපයේ රටවල් වැනි කතෝලික රටවල්වල විනෝදය සඳහා  මුස්ලිම්වරුන් ඝාතනය , එවැනි ප්‍රහාර දියත් කිරීම සඳහා කණ්ඩායම් පුහුණු කිරීම් සහ එවැනි කටයුතුවලට මූල්‍ය ආධාර  ලබාදීම. එමෙන්ම ඔවුන් ඉරාකයේ මොසූල් ප්‍රදේශයද, සිරියාවේ රක්ඛා ප්‍රදේශයද, ලිබියාවේ සිරිප්ටි ප්‍රදේශයද වනසමින් සිටිති. ක්‍රිස්තියානි දේවස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන්නේ මෙම හේතුව නිසා බව ඔහු පවසයි.
4. හෝටල් ඉලක්ක කිරීමට හේතුව  ලෙස ඔහු පවසා තිබුණේ ඉරාකයේ සහ සිරියාවේ මුස්ලිම්වරුන් ඝාතනය කරන, කාන්තාවන් දූෂණය කරන දේවස්ථාන විනාශ කරන සහ කුර්ආනය ඉරා විසි කරන රටවල මිනිසුන් සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ විනෝදය සඳහා සංචාරය කරන බැවිනි.


මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දියත් කිරීමට හේතු ලෙස කාරණා 10ක් සහරාන් ඉදිරිපත් කරයි.
1. අහ්ලාහ් දෙවියන්ට නිග්‍රහ කිරීම සහ බැණ වැදීම.
2. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකදී ‘අහ්ලාහ්’ ලෙස සටහන් කරන ලද සූකරයෙකුගේ රූපයක් ප්‍රදර්ශනය කිරීම. ඉස්ලාමයේ හරාම් එනම් තහනම් කරන ලද සත්ත්ව විශේෂයක් ලෙස සූකරයන් සැලකේ.
3. ඥානසාර හිමියන් අහ්ලාහ් දෙවියන් නැවත ඉපදී ඇති බවට සාවද්‍ය ප්‍රකාශ කිරීම.
4. තමාට හෝ තමාගේ පවුලටත් වඩා අතිශය භක්ති ආදරයෙන් ගරු කරනු ලබන මොහොමඩ් නබිතුමා හට අපහාස කිරීම සහ බැණ වැදීම.
5. තම ජීවිතයටත් වඩා වටිනා ලෙස සලකන කුර්ආනය ඉරා දැමීම හා පිළිස්සීම
6. මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම
7. මුස්ලිම් ජනතාවගේ ආර්ථිකය සහ නිවෙස් විනාශ කිරීම සහ අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ට අයත් ඉඩම් ආදිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.
8. විමර්ශනයක මුවාවෙන් මුස්ලිම් කාන්තාවක බුද්ධි අංශ නිලධාරීන් විසින් දූෂණය කරනු ලැබීම සහ එය සැඟවීමට කටයුතු කිරීම.
9. බටහිර අප්‍රිකාවේ කුරුස යුද්ධයේ හවුල්කාර පාර්ශ්වයක් බවට ශ්‍රී ලංකාව පත්වීම
10. ඉස්ලාමය නොඅදහන්නන් දුටු තැන මරා දැමීමට අහ්ලාහ් දෙවියන් විසින් දී ඇති නියෝගය
 සහරාන් බේරුවල හා දිගන නගරවල මුස්ලිම් ජනතාව ඉලක්ක කොටගත් සිදුවීම් පිළිබඳවද සඳහන් කරයි.


 ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ඔවුන් අහ්ලාහ් දෙවියන් වෙනුවෙන් සිය ජීවිත කැප කිරීම නොහොත් ඉස්තිෂාඩ් වතාවතෙහි නිරතවන බවයි. එම අරාබි වචනයේ තේරුම ජීවිත පූජා කිරීම යන්නයි. තම ජීවිතය එසේ පූජා  කරන්නකුගේ මරණය වීරයකු ලෙස මිය යාමක් වන අතර එවැනි මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ශ්‍රී ලංකාව තුළ අයි.එස් සංවිධානය වර්ධනය  වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

ඔහු තවදුරටත් පැවසුවේ ඉස්ලාම් රාජ්‍යයක මූල බීජය මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ලේ, මස්, ඇට, නහර මගින් රෝපණ වනු ඇති බවත් මෙම ප්‍රහාරය ඉන්දියාව ද ජයග්‍රහණය කිරීමට භාවිත කළ යුතු මෙන්ම ඉන්දියාවේ  වෙසෙන මුස්ලිම්වරුද ඔවුන්ගේ එදිරිවාදීන්ට එරෙහිව මෙවැනි ප්‍රහාර දියත් කළ යුතුය.

ප්‍රහාරයට පෙර සූදානම පිළිබඳ සාක්ෂි විමර්ශන කොමිසම ඉදිරිපිට විභාග කරන ලද සාක්ෂිවලට අන්තර්ගත වන අතර ඒවා ලබාගෙන ඇත්තේ වාචික සහ ලිඛිත  සාක්ෂි මත පදනම්ව විමර්ශන නිලධාරීන්ගේ හා බුද්ධි අංශ සාක්ෂි ප්‍රකාශනයක්ද ඇතුළත් වන පරිදිය.

(***)