ස්ලාම් අන්තවාදයට එරෙහිව මුස්ලිම් සමාජය ඇතුළේම යම් හඬක් තිබුණ ද එය එළියට ආවේ නැත. මුස්ලිම් සිවිල් ක්‍රියාකාරීන් සහරාන් ඇතුලු අන්තවාදීන්ට එරෙහිව මුලින්ම පැමිණිලි කළේ 2014 වසරේ දී ය. එතැන් පටන් පසුගිය මාර්තු මාසය පමණ වන තෙක් විටින් විට සහරාන්ලාගේ කල්ලිය සම්බන්ධ තොරතුරු රජයටත්, ආරක්ෂක අංශවෙතටත් ලබා දී තිබිණි. මාවනැල්ලේ දී බුදුපිළිම කැඩීමේ සිද්ධියෙන් පසු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන් එම් අමීන් මහතා ඇතුලු පිරිසක් සහරාන්ලා සම්බන්ධ වැදගත් තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දී තිබිණි.

එවැනි පසුබිමක විදේශීය බුද්ධි අංශයක් මගින් සහරාන්ලාගෙන් එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධ ප්‍රබල අනතුරු ඇඟවීමක් ලබා දුන්නේ අප්‍රේල් මස මුලදීය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික තව්හිඞ් ජමාත් නම් සංවිධානයේ සහරාන් හෂීම් නම් පුද්ගලයා සහ ඔහුගේ කල්ලිය නුදුරේදීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බව එහි සඳහන් විය. ඔවුන් ප්‍රධාන කිතුණු පල්ලි කිහිපයක් ඉලක්ක කරන බවත් එම බුද්ධි තොරතුරෙන් කියැවිණි. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි කල්ලිය ලෙස සහරාන් හෂීම්, ජාල් අල් කියුතාල්, රිල්වාන්, සාජිඞ් මවුලවි, ශහීඞ් සහ මිහාන් ඇතුලු පිරිසකගේ නම් සඳහන් කර තිබිණි.

එම බුද්ධි අංශ වාර්තාව සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවාව (එස්අයිඑස්) ලබා දුන් වාර්තා  ආරක්ෂක අමාත්‍යංශයේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා අප්‍රේල් මස නව වැනි දා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ආවරණ ලිපියක්ද සහිතව යොමු කළේය. එය නම්, ගම් සහ දුරකතන අංකද සහිත වාර්තාවකි. අවශ්‍ය කටයුතු සඳහා එම ලිපිය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව  ඇතුලු පිරිසකට යොමු කරන ලෙසට පොලිස්පතිවරයා එම ලිපියේම සටහනක් යෙදීය. මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ බව කියන බුදුපිළිම කැඩීමේ සිද්ධිය ගැන විමර්ශන කළ කෑගල්ල කොට්ඨාසය හෝ රහස් පොලිසිය එම සටහනේ නොතිබිණි. 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් ඔවුන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දුන්හ. ඉන් පසු සිදුවූයේ කුමක්ද යන්න දන්නේ ඔවුන්ම පමණි. කෙසේ වෙතත් මුලින්ම අනතුරු ඇඟවා තිබුණු ආකාරයටම ලංකාවේ කිතුණු දේවස්ථාන කිහිපයක් මෙන්ම හෝටල කිහිපයක් ද ඉලක්ක කරගෙන අප්‍රේල් 21 වැනි දා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. ඒ මුස්ලිම් ප්‍රජාව විසින් 2014 වසරේ සිට හෙළිදරව් කරන ලද සහරාන් නම් අන්තවාදියා ඇතුලු කණ්ඩායෙමිනි. 

අන්තවාදයට පාර කැපීම

බෝම්බ ප්‍රහාරයෙන් පසු ආයතන කිහිපයකින්ම විමර්ශන ආරම්භ කළ අතර ඒ අවස්ථාවේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන මනා අවබෝධයක් ආයතන අතර නොතිබිණි. මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු ඉතිරිවී සිටි මුස්ලිම් අන්තවාදීන් ගැන මුස්ලිම් සමාජයෙන්ම වැදගත් තොරතුරු ගලා එන්නට විය. කල්මුණේ සයින්දමරුදු වැටලීම සිදුකළේ ඒ අනුවය. තමන්  ආරක්ෂක අංශවලට හසුවීමේ අවස්ථා අවහිර කරන්නැයි කියමින් අන්තවාදීන් අවට සිටි මුස්ලිම් වැසියන්ට මුදල් පවා විසිකර තිබුණු අතර ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ අවට මුස්ලිම් වැසියෝ පොලිසියට සහ ආරක්ෂක අංශවලට අවශ්‍ය සහයෝගය දුන්හ. අවසානයේ අන්තවාදීහු පිරිස බෝම්බ පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත්වූහ. 

මේ අතර දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය. මුස්ලිම් දේවස්ථාන දහසකට අධික සංඛ්‍යාවක් සෝදිසියට ලක්කළහ. ඉන් දේවස්ථාන දෙක තුනක තිබී කඩු සහ පිහි හමුවිය. එම සිදුවීම් සමඟ ‘පල්ලිවල කඩු තියනවා.’ යැයි ප්‍රචාරය වූ අතර ජනතාව විශ්වාස කළේ ඊළඟ ප්‍රහාරය උදෙසා මේ කඩු ගෙනැවිත් ඇති බවයි. 

ඉදිරියේදී වෙතැයි කියන ප්‍රහාර ගැන සඳහන් තොරතුරු ද විටින් විට වාර්තා විය. ආරක්ෂාව ගැන විශ්වාසයක් ජනතාවට නොතිබුණු අතර අවසානයේ තමන්ගේ අසල්වාසී සහෝදර මුස්ලිම් මිතුරා දෙස පවා සැකයෙන් බලන තැනට සිංහල ප්‍රජාව තල්ලු විය. එලෙස තල්ලුවන  තැනට වැඩ සකස් කිරීමේ වෙනම ව්‍යාපාරයක් ද තිබිණි. මුස්ලිම් ප්‍රජාව ගැන සිංහල ජනතාව අතර පැතිරී යන සැකය නැති කිරීමට රජයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් කණ්ඩායමක් හෝ කටයුතු කරන බවක් පෙනෙන්නට නොතිබිණි.   

නිවාසවලින් හමුවූ ඇතැම් කඩු හා පිහි භාවිතයට ගන්නටවත් නොහැකි තත්ත්වයේ තිබුණු වසර ගණනාවක් පැරණි ඒවා බව ආරක්ෂක අංශ කියයි.  යුද හමුදාපතිවරයා  පසුව කියා තිබුණේ ඇතැම් ආයුධ තිබුණේ ප්‍රහාරයකට නොව ආරක්ෂාවට බවට සැක කරන බවයි. “දෙපැත්තක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් කඩු ආරක්ෂාව සඳහා තියාගන්නත් පුලූවන්, ප්‍රහාරය සඳහා තියාගන්නත් පුලූවන්. මෙරට මෑත ඉතිහාසයේදීම අලූත්ගම සිදුවීමක් වෙනවා. බේරුවල සිදුවීමක් වෙනවා. පසුගිය අවුරුද්දේ   දිගන සිදුවීමක් වෙනවා. ආරක්ෂාව කියන එකට, ආත්ම ආරක්ෂාව වේවා සමූහ ආරක්ෂාව වේවා මේ කඩු පාවිච්චි කරන්න පුලූවන්. සම්ප්‍රදායානුකූලවත් අපේ ජනතාව ගත්තොත් සිංහල දෙමළ   ඕන කෙනෙක් ළඟත් බොහෝ දුරට අපි කඩුවක්, කිනිස්සක්, නකල්ඩස්ටර් එකක් තිබ්බ ජනතාවක්.  සැකය තිබෙනවා. මම දකින්නේ ප්‍රහාරවලට වඩා ප්‍රහාරවලින් මිදීමට පාවිච්චි කරන්න පුලූවන් කියන එක පිළිබඳව. අපි කාසියේ දෙපැත්තම බැලිය යුතුයි. ප්‍රහාරයක්ද,   ප්‍රහාරයකදි ආත්ම ආරක්ෂාව සඳහාද කියලා. තවමත් ඉක්මණ් වැඩියි ඒකට හරි පිළිතුරක් දෙන්න. අනිවාර්යෙන්ම පරීක්ෂණයක් සිදු වෙනවා මොකටද කියන එක.”

මුස්ලිම් පල්ලි ගණනාවකින් කඩු හමුවූ බවට විශාල වශයෙන් ප්‍රචාරයන් ගියද ඇත්තටම පල්ලි කොපමණ සෝදිසි කළාද, ඒවායින් කීයකින් ආයුධ හමුවූවාද යන්න හෙළිදරව් කළේ නැත. නිවාස කොපමණ සෝදිසි කළාද, නිවාස කොපමණකින් ආයුධ හමුවූවාද යන්න හෙළිදරව් කළේ නැත. ඇතැම් විට ඇත්ත හෙළිදරව් කළානම් ජනතාව අතර ඇති සැකය නැතිවී යන්නට ඉඩ තිබිණි. ඒ වෙනුවට කළේ සොයාගන්නා ආයුධවල ඡායාරූප පළ නොකරන ලෙස ඉල්ලීමක් කිරීමයි. ඒ ස`මග යම් ඇත්තක් සැඟවීමට රජය උත්සාහ ගන්නා බවට ජනතාව තුළ තිබූ සැකය තවදුරටත් පැලපදියම් විය. අඩු තරමේ සහරාන් ඇතුලු මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව මුස්ලිම් ප්‍රජාවෙන්ම 2014 වසරේ සිට තොරතුරු ආ හැටි ජනතාව අතරට ගෙන යායුතුව තිබුණි. නමුත් එය සිදුවූයේද නැත.

මෙම සැකයේ අන්තිම ප්‍රතිඵලය වූයේ වසර ගණනාවක් සහෝදරත්වයෙන් සිටි අසල්වැසියන් ගැන පවා වඩාත් සැකයෙන් බලන තැනට සිංහල ප්‍රජාව තල්ලුවීමය. මේ නිසා කොළඹ රස්සාවල් කරන මුස්ලිම් ජාතිකයන් රැසකට නවාතැන් පවා අහිමි විය. ව්‍යාපාරික කටයුතු අඩපන විය. මේ අස්සේ මුස්ලිම් ව්‍යාපාරික කඩයුතු අඩපන කිරීමේ වෙනම මෙහයුමක්ද ක්‍රියාත්මක විය. 

සිංහලයන් කුපිත කිරීමේ සැලසුම්

තත්ත්වය මෙසේ උග්‍ර වෙද්දි අප්‍රේල් 13 වැනි දා සිදුවෙතැයි කියන ප්‍රහාරයක් ගැන ද විවිධ වාර්තා පළ විය. ඊට අදාල යැයි කියන ලිපියක්ද සමාජ ජාලාවල සංසරණය විය. දේශපාලකයෝ මෙන්ම ඇතැම් ආගමික නායකයෝ ද ඒ ගැන කීහ. නමුත් එවැනි ප්‍රහාරයක් නැතැයි රජයෙන් එක හෙළා ප්‍රකාශ කළේ නැත. එම කතාව අමූලික බොරුවක්යැයි රජය ප්‍රකාශ කළේ නැත. සිංහල ජනතාව කුපිත කිරීමේ මෙහෙයුමක් දියත්වූයේ ද මේ වැඩපිළිවෙළ අස්සේය. එය සංවිධානාත්මක වැඩපිළිවෙළක් බව බැලූබැල්මට පෙනන කාරණා කිහිපයකි. 

ඉන් පළමු වැන්න නම් ‘මුස්ලිම් වැසියන් ළඟ තිබී ආයුධ හමුවූවා’ යැයි අසත්‍ය ප්‍රචාර ව්‍යාප්ත කිරීමයි. ඊට හොඳම උදාහරණය මල්වානේ සිද්ධියයි. මල්වානෙන් ප්‍රබල බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් හමුවූ බවට 12 වැනි දා සිට ප්‍රචාරයක් ගියේය. බැලූ බැල්මට කතාව ඇත්ත යැයි හැඟෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වූ අතර අප කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ එම එක් ඡායාරූපයක් මීට වසර ගණනාවකට පෙර විදේශයක සිදුවූ සිද්ධියකට අදාළව විදෙස් වෙබ් අඩවියක පළ කරන ලද්දක් බවයි. අනිත් ඡායාරූපය යුද සමයේ අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයක් ගැන යුද හමුදාවෙන් පළ කරන ලද ඡායාරූපයකි. සීඝ්‍ර ලෙස පැතිර ගිය මේ කතාව බොරුවක් බවට රජයෙන් ප්‍රකාශයක් කළේ නැත. 

ඊළඟට රට පුරාම විශේෂ පණිවුඩයක් ව්‍යාප්ත විය. එය මෙසේය. ‘13 වැනි දා ලොකු සීන් එකක් යන්න යන්නේ. මිනිස්සුන්ව කපලා මරන්න යන්නේ. ගෙවල් වලින් එළියට බහින්න එපා කියන්න.’ 12 වැනි දා උදෑසන සිට ව්‍යාප්ත වූ පණිවුඩය එයයි.  ඉන් පසු 12 වැනි දා රාත්‍රියේ පැතිර ගිය කතාව එහි දිගුවකි. ‘කොල්ලනේ ඇහැරගෙන ගම රැකගනිල්ලා. මේ දැන් කටුනේරියෙන් එකෙක් ඇල්ලුවා. පස් දෙනෙක් කාර් එකකින් ගෙනත් දාලා. එකෙක් අල්ලාගෙන. රටේ තැන් කීපයකටම ගෙනත් දාලා. හෙට ළමයි ස්කෝලේ යවන්න එපා.’ ඉන් පසු 13 වැනි දා සවස් වෙද්දී පැතිර ගියේ මෙවන් කතාවකි. ‘කාර් එකකින් ඇවිත්   ආර්මි කිට් ඇඳන් හිටපු කීප දෙනෙක් ගෙනත් දාලා. එක්කෙනෙක් ඇල්ලුවා. ඌව අල්ලපු වටපිටාවේ තව පස් දෙනෙක් ඉන්නවා. උන්ව හොයනවා. මුලු ගමම ඇහැරං ඉන්නේ. ඌ කියපු විදියට රට වටේම කණ්ඩායම් දාලා තියෙනවාලු.’ 

එක තැනක නොව රට පුරාම මෙම පණිවිඩ ව්‍යාප්ත විය. සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව දුරකතන ඇමතුම් හරහා සහ එස්එම්එස් මඟින් ඒවා ව්‍යාප්ත වූයේ ඇතැම් විට ප්‍රභල තැනකින් එම පණිවිඩය ‘බිහි කළ’ නිසාදැයි දන්නේ ඔවුන්ම පමණි. ‘හමුදා ඇඳුම් ඇඳගත්’ යැයි අදාල කර ගත්තේ ගැටුම් නැවැත්වීමට හමුදාව යෙදවුවහොත් හමුදාව සහ ජනතාව අතර ගැටලුවක් ඇති කරවීමේ අරමුණෙන්ද විය හැකි බව කියති.

විටින් විට එකට යාවුණු සමානමක් ඇති පණිවුඩ මෙසේ හුවමාරු කරවීමේ අරමුණ තරුණයක් කුලප්පු කරවීම බවට විවාදයක් නැත. තරුණයන් කුලප්පුවීමේ අවසන් ප්‍රතිඵලය මුස්ලිම් ජනතාවට ප්‍රහාරයක් එල්ල කරවීමය. රට පුරා මෙවැනි ප්‍රචාර යැව්වේ ඇතැම් විට රට පුරාම මෙවැනි ප්‍රහාර එල්ල කරවීමේ අරමුණෙන් විය හැකිය. මෙම ප්‍රචාර බොරු බවට බලධාරීන් කීවේ නැත. ජනතාවගේ බිය නැති කර සත්‍ය තත්ත්වය වටහාදීමක් සිදුවූයේ ද නැත. මේ සමඟම මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලවීමේ වටපිටාව සැකසිනි. 

මුස්ලිම් ජනතාවගේ කඩ සහ නිවාස ඉලක්ක කර ප්‍රහාර එල්ලවූ ස්ථාන කිහිපයෙන්ම වාර්තාව වූයේ මුහුණු ආවරණය කර ගත් පිරිසක් යතුරු පැදිවලින්  මුලින්ම ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බවයි. අදාළ ප්‍රදේශවල තරුණයන් ද අවුලුවන ආකාරයට හැසිරෙමින් ඇරැඹූ ප්‍රචණ්ඩත්වයේ අවසන් ප්‍රතිඵලය වූයේ මුස්ලිම් පල්ලි කිහිපයක් සහ කඩසාප්පු රැසකට හානි සිදුකිරීමය. 

‘පිටින් ආපු කට්ටියක් මුලින් පටන් ගත්තේ. මේ පැත්තේ අයවත් ඇවිස්සුවා. මේ පැත්තේ අය ලව්වා මුස්ලිම් අයට ගස්සන්න හැදුවා කියලයි අපට තේරුණේ.’ යැයි කුලියාපිටිය ප්‍රදේශවාසියෙක් කීවේය.

සන්නිවේදනයේ දුර්වලතා

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම ලැබුණු දා සිට පසුගිය 13 වැනි දා මුස්ලිම් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාරය දක්වාම රජයේ ආයතන අතර අන්තර් සම්බන්ධදා පැවැතියේ දුර්වලට මට්ටමකය. ජනාධිපතිවරයා එක්සත් ජාතික පකෂය අතරත්, පොලිස්පතිවරයා සහ උසස් පොලිස් නිලධාරීන් අතරත්, ආරක්ෂක අංශයේ ආයතන අතරත් පැවැති කඹඇදිල්ල නිසා ඇතැම් ස්වාධීන නිලධාරීන් පවා සිටියේ තීරණයක් ගැනීමට අපහසු තත්ත්වයකය. 

නීතියක් නැති ඇඳිරිනීතිය

වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ දී මුස්ලිම් වැසියන් ඉලක්කකරගෙන සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට අපොහොසත්වීම ගැන ද ආරක්ෂක අංශ සහ රජය වෙත ඇඟිල්ල දිගු විය. මෙම ප්‍රහාර පිටුපස විපක්ෂයේ දේශපාලකයන් සිටි බවට ආණ්ඩුවේ ඇතැම්හු චෝදනා කළහ. එහෙත් එම දේශපාලකයන් ගැන නීතිය ක්‍රියත්මක කර පෙන්වීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත. 

ගැටුම් පාලනය කිරීමට වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරිනීතිය යෙදවීය. පොලිස් ඇඳිරිනීතිය තිබිය දී පවා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු විය. ඇතැම් කඩ ගිනි තබා තිබුණේ පොලිස් ඇඳිරිනීතිය මධ්‍යයේය. මිනුවන්ගොඩ සිංහල ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ද ඒ බව පැවසූහ. මිනුවන්ගොඩ දිවුලපිටි පාරේ පිහිටි ලංකාවේ විෂාලතම පැස්ට්‍රා කම්හල බව කියන කම්හලද කළහකාරීන් විසින් සම්පූර්ණයෙන් ගිනිපත් කර තිබිණි. සිද්ධියෙන් පැය 15කට පමණ පසු අප එම ස්ථානයට යන විටත් කම්හල ගිනිගනිමින් තිබිණි. 

සමාජ මාධ්‍ය අවහිරය

දිගනදී මෙන්ම මෙවර සිදුවීම්වලදී ද ආණ්ඩුව මුලින්ම කළේ සමාජ මාධ්‍ය අවහිර කිරීමයි. ඉන් එහා ගොස් පසුගිය 13 වැනිදා සහ 14 වැනි දා ගම්පහට සහ වයඹට අන්තර්ජලා සබඳතාද අත්හිටැවීය. අඩු තරමේ ප්‍රවෘත්ති වෙබ් අඩවියකට පවා යෑමේ හැකියාව ජනතාවට අහිමි විය.  මෙවර ගිනි ගැනීමේදී ජනමාධ්‍ය දෙසටද ඇඟිල්ල දිගු විය. ගින්නට අවශ්‍ය පිදුරු ඇතැම් මාධ්‍යවලින් සැපයූ බවට චෝදනා එල්ල විය. ඇතැම් රූපවාහිනී නාලිකාවල යම් යම් සිදුවීම්වල ඇත්ත කතාවට දුන්නේ තත්ත්පර ගණනක ඉඩක් බව කියැවිණි. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඇත්ත කතාව සාර්ථක ලෙස ප්‍රචාරය කිරීමට හැකියාව තිබිණි. 

ඇත්ත ප්‍රචාරය කරනවා වෙනුවට ආණ්ඩුව කළේ බොරුව නැවැත්වීමට ඇත්තටද තිත තැබීමයි. මෙම තහනම නිසා ආණ්ඩුව ඇත්ත වසන් කිරීමට වෙහෙසෙන බවට ජනතාව විශ්වාස කරන්නට පටන් ගත්හ.   ප්‍රධාන මාධ්‍යයකින් අසත්‍ය දෙයක් විකාශය වුවහොත් එය නිවැරදි කර ඇත්ත තත්වය පෙන්වන්නට තිබූ හොඳම ස්ථානය වූ සමාජ මාධ්‍ය නොමැතිවීම නිසා විශාල ලෙස පැතිර යමින් තිබූ බොරු ප්‍රචාරවලට පිළිතුරු දීමේ අවකශය ද අහිමි විය. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර කරන්නෝ ද මේ නිසා කබලෙන් ලිපට වැටුණහ. 

පරණ කතාවක්

මීට පෙර දිගන දී මුස්ලිම්වැසියන් ඉලක්ක කරගෙන ඇතිවූ ප්‍රහාරය ගැන 2018 මාර්තු මාසයේ පළ වූ ‘නුවර ගින්නේ බළල් අත්’ නම් සත්‍ය ගවේෂණ ලිපියේ අවසන් ඡේදය පහත දැක්වේ.

“නුවර සිදුවීමද දැන් අවසන්ය. ඉන් ලැබුණු අනිටු ප්‍රතිවිපාක තවත් වසර ගණනාවක් ඈතට පවතිනු ඇත. විනාශ වූ දේපොළ යළි ගොඩ නැගීමට යන්නේ ද අපේම මුදල් බව ඇතැම් විට අපරාධකරුවන්ට අමතක වන්නට ඇත.  ගිංතොටින් උගත්තේ නැති පාඩම් මහනුවරින් උගත යුතුය.  නීතිය කඩද්දී පොලිසිය බලා සිටීම ගැන මුලින්ම විමර්ශන සිදු කළ යුතුය. එසේ වූයේ පොලිසිය  අභ්‍යන්තරයේ ඇති බල අරගලයක ප්‍රතිඵලයක් ලෙසද එසේ නැතිනම් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස කවුරුන් හෝ කළ දැනුම්දීමක් මතද යන්න සොයා බැලිය යුතුය.  ඊළඟට සාමකාමී ප්‍රදේශය ගිනියම් කිරීමට මූලික වූ පිරිස් සහ ඔවුන් පිටුපස ඇති දේශපාලන හස්තයද හෙළිදරව් කළ යුතුය.  ඔවුන් නීතිය හමුවට ගෙන යා යුතුය. එසේ නොවුනහොත් තත්ත්වය මීට වඩා දරුණු අයුරින් තවත් තැනෙකින් මතුවනු ඇත.”

දිගනට පෙර ගිනි ගත්තේ ගිංතොටයි. ගිංතොට ගිනිගත් පසු 2017 නොවැම්බර් 22 වැනි දා බදාදා ලංකාදීපයේ සත්‍යගවේෂණ විශේෂාංගය අවසන් කළේ යළිත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට සිදු කළ යුතු දේ ගැන සඳහන් කරමිනි. එසේ සිදුවීයේ නැත. ගිංතොටින් යට ගිය ගින්දර යළිත් දිගනෙන් මතුවිය. දිගන ගින්දර නිමෙද්දී යළිත් රට ගිනි නොගැනීමට සිදුකළ යුතුදේ කළේ නැත.  එයින්ද පාඩම් උගෙන තිබුණේ නැත. එදා දිගෙනෙන් යට ගිය ගින්න මෙදා මතු වූයේ ඊටත් වඩා දැඩි තත්ත්වයකිනි. උඩින් වතුර ගසා යන්තම් ගින්න නිවා දැමුවද අලුයට තවමත් ගිනි පුපුරු ඇත. එම ගිනි පුපුරු යළි ඇවිලී මහා විනාශයක් සිදුවීමට පෙර ජාතීන් අතර ඇති සැකය නැති කොට ගැටලුවකින් තොරව සියලු දෙනාට ජීවත් වීමේ වටපිටාවක් ඇති නොකළ හොත් වැව් පිටින් වතුර ගැහුවත් ඊළඟ ගින්න පාලනය කිරීම අසීරු වනු ඇත.

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

bingungamage88@gmail.com, tharindudld@gmail.com 

 

ඡායාරූප -  ලහිරු හර්ෂණ