නිල - නොනිල අතරමැදි මට්ටමක පැවැති රැස්වීමක දී, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළමු වතාවට මෙරට තානාපති කාර්යාල ප්‍රධානීන් හමුවිය. බර්න් නුවර (ස්විට්සර්ලන්තය) සහ කොළඹ (ශ්‍රී ලංකාව) අතර මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගැනීමට ලක්වීයැයි අරබයා ඇවිලෙමින් තිබෙන ආන්දෝලනය මෙම රැස්වීමේ දී, සාකච්ඡාවට බඳුන්වුණු ප්‍රධාන කාරණය විය.

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු ක්ෂේත්‍රයේ භාවිත වන රාජ්‍යතාන්ත්‍රික පාරිභාෂිත වදන් මාලාවට නවකයකු වුවත්, පැමිණ සිටියේ රාජ්‍යතාන්ත්‍රිකයන් වුව ද, රැස්වීම ආරම්භ කළේ මා ඔබව කැඳවූයේ.... ලෙස වුවත්, ගුණවර්ධන අනුගමනය කරන්නට යෙදුණු පිළිවෙත ඇතැම් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ප්‍රශංසාවට ලක්විය. ඔහු රැස්වීමට පැමිණ සිටියේ සටහන් හෝ කිසිදු වාර්තාවක් නොමැතිවය. එය පෙර සැලසුමකින් තොරව සංවිධානය කරන ලද්දක් විය. විදේශ කටයුතු අමාත්‍යවරයා පළමුකොටම ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ විනිර්මුක්තියට ගරු කරන බව සහ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බව පැමිණ සිටියවුන් හමුවේ අවධාරණය කළේ ය. අනතුරුව ඔහු ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගැනීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරන්නට ගත්තේ ය.

ස්විස් තානාපති හෑන්ස්පීටර් මොක් ද, ඊනියා වින්දිතයා ඇය පැහැර ගැනීමට ලක්වූ ආකාරය ගැන ගෙනහැර දක්වන සිදුවීම් දාමයේ යම් නොගැලපීම් තිබෙන බවට පසු අවස්ථාවක තමා සමගම එකඟ වූ බව අමාත්‍ය ගුණවර්ධන රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවේ පැවසුවේ ය. මෙම තත්ත්වය යටතේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට තවත් තොරතුරු අනාවරණය කරගැනීමට අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබාගැනීම අනිවාර්යව තිබෙන බව ඔහු අවධාරණය කළේ ය. ඒ අරබයා, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග දෙකක් නිකුත් කර තිබෙන බව අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. එක් නියෝගයක් ඇයට රටින් පිටවීම වැළැක්වීමටය. අනෙක ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට නියෝග කරමින්ය. මෙම නියෝග නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලවය.

එසේ කිරීමට, එනම් රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීමට, ඕනෑම ස්වෛරී රජයකට පූර්ණ අයිතිය තිබෙන බව ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

මේ කියන කාන්තාව මෙරට කාර්යමණ්ඩලයට අයත් නිසා ඇයට රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය හිමිවන්නේ නැහැ. ඒ නිසා ඇයට හෝ ඇයගේ පවුලේ සාමාජිකයන්ට සරණාගත රැකවරණය හිමිවන බව සහතික කර තිබෙන අවස්ථාවක වුණත් ඇයට ගුවන් ගිලන්රථයක නැගී හෝ වෙනත් ආකාරයකට හෝ රටින් පිටවන්නට බැහැ. අපේ නීති අනුව එවැනි දෙයකට අවසර නැහැ, ඔහු පැවසුවේ ය.

මෙම සිදුවීමට අන්තර්ජාතික මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍යයන්හි ලැබී තිබෙන ප්‍රසිද්ධිය සහ ඒවායින් නව රජයට එරෙහි සංවිධානාත්මක ව්‍යාපාරයක ස්වරූපයක් පැහැදිලිව ගම්‍යවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සිය කනස්සල්ල පළකළේ ය. මෙම තත්ත්වය පූර්ව ජනපතිවරණ සමයේ පැවැති තත්ත්වය හා වෙනස් නොවේ.

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නොයෙක් මඩ ප්‍රහාර එල්ල වෙමින් තිබෙන බවට පැමිණිලි කළ ගුණවර්ධන, ඒවායින් ශ්‍රී ලංකාවට නැවත යථාතත්ත්වයට පත් කළ නොහැකි තරමේ හානියක් සිදුවෙමින් තිබෙන බවට අනතුරු ඇගවූයේ ය. මෙම සමස්ත සිදුවීම් දාමය අගමැති මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වාදුන්නේ රජය අපහසුතාවයට පත්කිරීමට දියත් කළ සැලැස්මක් ලෙසය. ඔහු සඳහන් නොකළ ද, එය එසේදැයි අනාවරණය කරගැනීමට ඉහළ මට්ටමින් විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මකය.

විදේශ කටයුතු අමාත්‍ය ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ වහාම ක්‍රියාත්මක වී රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම අගය කළ යුතුය. ප්‍රකාශයක් ලබාදීම සඳහා සිය කාර්යාලයට අනුයුක්තව සේවය කරන සේවිකාව ඉදිරිපත් නොකිරීම අරබයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට තිබෙන හේතු පදනම් සහගත හෝ එසේ නොවිය හැකි වුවත්, එය නොසලකා දෙදෙනා ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය එකහෙළාම ප්‍රකාශයට පත් කළහ. මෙය ගැටලුවක් මතුකළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක්ට දඬුවම් පැමිණ වූ පැවැති රජය හා සැසදීමේ දී, සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි.

එය ඇය ඇයගේ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමට උත්සාහ කළ නිසාය. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිතව තිබූ පවරාගැනීමේ සහ හරස් සේවා සපයාගැනීමේ (ඇක්සා) ගිවිසුමෙහි කෙටුම්පත පිළිබඳව අදහස් දක්වන ලෙස ඇය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිට ඇති අතර, එසේ කිරීමෙන් ගිවිසුම අත්සන් තැබීම ප්‍රමාද වූයේ යැයි කියා එතෙක් සේවය කරමින් සිටි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇයව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මාරු කිරීමට හිටපු බලධාරීහු පියවර ගත්හ. මීට පෙර විදෙස් රටවල් සමග සිදුවූ ගනුදෙනුවල දී, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ වුවමනාව ගැන සිතා, ඒවායේ තිබුණා වූ අයහපත් කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අමාත්‍යවරු පමණක් නොව රාජ්‍ය නිලධාරීන් ද, මැළිවූහ. ඒ, එසේ අදහස් දැක්වීමෙන් එම රටවල උදහසට ලක්වනු ඇතැයි සහ එසේ ලක්වීමෙන් අවැඩක් සිදුවනු ඇතැයි පැවැති බිය නිසාය. නමුත් මෙවර, අන්තර්ජාතික මාධ්‍ය ශ්‍රී ලංකාවට දිගට හරහට පහර ගසමින් සිටිය දී පවා විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා ඍජුව සිටිමින්, නොබියව රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම සහ සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පැවැත්වීමට උත්සාහ කරමින් සිටීම ඇත්ත වශයෙන්ම අගය කළයුතුය.

ඕනෑම රටක, විශේෂයෙන්ම බටහිර රටක, මෙවැනි සිදුවීමක දී වින්දිතයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අනිවාර්යයෙන් සිදුවන දෙයකි. චිත්‍රපට ලෝලීන් පවා මේ බව හොඳින්ම දනී. රෝහලක ඇඳක වැතිර සිටිනා වින්දිතයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇතැම් විට පොලිස් නිලධාරීන් පැමිණෙන්නේ වින්දිතයාගේ ආරක්ෂාව සඳහා ඔහුගේ හෝ ඇයගේ ඇඳ වටාම ආරක්ෂකයින් ස්ථානගත කර සිටින අවස්ථාවලය. ස්විස් තානාපති කාර්යාලය හා බැඳුණු මෙම පැහැරගැනීම සැලකීමේ දී, මෙතැන තිබෙන්නේ විශ්වාසය සම්බන්ධයෙන් වන ගැටලුවක් බව පැහැදිලිය. කුමන හෝ හේතුවක් නිසා බර්න් නුවර මෙම යථාර්ථය වටහා ගැනීමට අපොහොසත්ව සිටින හෝ එසේ නොවේ නම් කාරණය කුමක් ද, යන්න පැහැදිලිව ප්‍රකාශයට පත්කිරීමට නොහැකි තත්ත්වයක හෝ සිටින සෙයකි. පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කැරුණේ එම සිදුවීමෙන් දින 2කට පසුය.

ස්විස් තානාපති හෑන්ස්පීටර් මොක් ශ්‍රී ලංකාවට අමුත්තෙක් ද, නොවේ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතෙක් සිය අගමැතිවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතාව එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂව නව අගමැතිවරයා ලෙස පත්කළ අවදියේ, තිරය පසුපස සිට ක්‍රියාත්මක වූ ප්‍රධාන චරිත අතර ඔහු ද එක් අයෙකි. ජනපති සිරිසේනගේ මෙම ක්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීන්දු කළේ ය. නව අගමැතිවරයා පත්කිරීමෙන් පසුව ගෙවුණු අන්තර්වාර සමයේ සිරිසේන - වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ සමග සබඳතා පවත්වා ගනිමින්, ඔවුන් එකිනෙකා අතර පණිවුඩ ගෙනයමින්, ඔවුන් තිදෙනාව එකඟතාවයකට නම්මා ගැනීමට උත්සාහ කළ එක් ප්‍රධාන චරිතයක් වන්නේ මොක්ය. වික්‍රමසිංහ ඉවත් කර නව අගමැතිවරයෙක් පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නිවැරදි නොවන බව ඔහුගේ අදහස වූ අතර, එය ප්‍රසිද්ධියේ කියා සිටීමට ද, ඔහු පසුබට නොවීය. මෙයින් ස්විස් තානාපතිවරයා පක්ෂග්‍රාහී පුද්ගලයෙක් බව කිසිදු ලෙසකින්වත් අදහස් නොකෙරෙන අතර, ශ්‍රී ලංකාවට අදාළ විවිධ කාරණාවල දී, ඔහු ද සක්‍රීයව එම කාරණා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බව පමණක් එයින් අදහස් කෙරේ. එසේ සැලකීමේ දී, කොළඹ සහ බර්න් නුවර අතර වර්තමානයේ ඇතිව තිබෙන නොපහන්භාවයට හේතුවී තිබෙන බවට ගෙනහැර දැක්විය හැකි එකම තර්කය, එකිනෙකා කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීමට දෙපාර්ශ්වයම අපොහොසත්ව තිබීම බව යැයි කිව හැකිය.

නිශාන්ත ද සිල්වා හා බැඳුණු සිදුවීම

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවක පැහැරගැනීමට ලක්වූයේයැයි යන සිදුවීම, අද වනවිට මෙරට කතාබහට ලක්වෙමින් තිබෙන තවත් කරුණු කාරණා ගණනාවක් සමග ඈදීමට උත්සාහ කෙරෙමින් තිබෙනු හඳුනාගත හැකිය. එයින් ප්‍රධානම වන්නේ ස්විට්ර්සලන්තය සමග මෙසේ ඇතිව තිබෙන ගැටලුවල මධ්‍යයේම සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ප්‍රධානී, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා හා බැඳී තිබෙන සිදුවීම් පෙළයි. ඔහුට මේ වනවිට එරට සරණාගත රැකවරණය හිමිව තිබේ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමයෙන් නිශාන්ත ද සිල්වා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මීගමුව පොලිස් කොට්ඨාසය වෙත මාරු කර යැවුණු අතර, නිශාන්ත ද සිල්වා ඉතාම වැදගත් විමර්ශන කිහිපයක් මෙහෙයවමින් සිටින බවට සිය උපදේශකයෙක් කළ දැනුම්වත් කිරීමක් සහ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ජනපති සිරිසේනම ස්ථාන මාරුව සඳහා දුන් නියෝගය අවලංගු කිරීමට පියවර ගත්තේ ය. ඒහාම ජාතික පොලිස් කොමිසම එය අවලංගු කළේ ය. දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මක වීමේ අවකාශය ලබාගැනීම සඳහා පිහිටැවුණු බව පැවසුන ද, ජාතික පොලිස් කොමිසම දේශපාලන බලපෑමට නතුවුණේ එලෙසය. තත්ත්වය එසේ නම්, දේශපාලන අභිමතාර්ථවලට යටත්වන එවැනි කොමිසමක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත.

එවන් වැදගත් යැයි සැලකුණු විමර්ශන ඍජුව හෝ වක්‍රව සම්බන්ධව තිබුණේ එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂටය. පැවැති රජයේ ඉහළම තලයේ සිටි සාමාජිකයන් මෙම විමර්ශනයන් දිගින් දිගටම පවත්වාගෙන යෑමට අදිමදි කළ ද - කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී ද, මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත. දැන් අනාවරණයව තිබෙන්නේ පොලිසියට පරිබාහිරව ක්‍රියාත්මකව තිබෙන එක්තරා කණ්ඩායමක් සමග එක්ව තිබෙන නිශාන්ත ද සිල්වා සහ වෙනත් නිලධාරීන් මෙම විමර්ශන කටයුතු දිගටම ක්‍රියාත්මක කර තිබෙන බවය. මේ අරබයා ඔවුන් විවිධ පාර්ශ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙන ප්‍රකාශ සහ ඉදිරියේ ගතයුතුව තිබෙන පියවර සම්බන්ධයෙන් ලැබී තිබෙන උපදෙස් ආධාර කරගෙන තිබේ. ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඇතැම් තොරතුරු අනාවරණය වීම පසුපස තිබෙන්නේ ද, ඉහත අවසානයට සඳහන් කළ කාරණය බව හෙළිව ඇත. මේ සියල්ල සිදුව තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වැදගත් යැයි සලකණු ලැබූ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් දිනපතාම පාහේ හිටපු රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දැනුම්වත් කිරීමට අමතරවය.

මෙම තත්ත්වය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා රටින් පළායාම හමුවේ ඔහුගේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක්ම පැනනැගේ. වෙනත් රටකට, විශේෂයෙන් සංක්‍රමණය සඳහා වීසා බලපත්‍රයක් ලබාගැනීම, කවුන්ටරයකින් මුද්දරයක් ලබාගන්නාක් වැනි ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ඉතාම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර, නිශාන්ත ද සිල්වා රටින් පළායාම සැලකූ විට ඔහු ඒ සඳහා මීට දීර්ඝ කාලයකට පෙර සිටම අතපොවා සිටින්නට ඇති බව පැහැදිලිය. සංවිධානාත්මක අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස ඔහුට සිය අත තිබූ දෑ වූයේ, ඔහු කරමින් සිටි විමර්ශනයන්ට, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂට එවක ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සේවය කළ ආරක්ෂක අංශ නිලධාරීන්ට, අදාළ තොරතුරුය. රජය දැන් විශ්වාස කරන්නේ, වරක් රටේ ප්‍රධානම විමර්ශන ඒකකය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්තරා කණ්ඩායමක්, එයින් බැහැර කණ්ඩායමක් ද හා එක්ව කුමන්ත්‍රණයක නියැළී තිබෙන බවය. පුදුමයකට මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සිට තිබෙන්නේ මේ බව නොදැන හෝ දන්නා තොරතුරු කියාගත නොහැකිව පීඩනයට ලක්වය. කොටින්ම, රටින් පිටව යාමට දින දෙකකට මත්තෙන් සිය රාජකාරි ගිනිඅවිය සහ යතුරුපැදිය නැවත භාරදීමට නිශාන්ත ද සිල්වා කටයුතු කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් සැකයක් ඇතිකරගෙන නැත. මෙය සිල්වාගේ ඉහළ නිලධාරීන් නොදැන සිට ඇත්තේ කෙසේ ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පමණක් නොව ඉන් බැහැරව සිට ඔහුට උපකාර කර තිබෙන පුද්ගලයින් පිළිබඳ තතු දැන් අනාවරණය වෙමින් තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ද සිල්වාට එරෙහි අලුත්ම පැමිණිල්ල පැමිණියේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අභිනවයෙන් පත් කැරුණු ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගෙනි. එම පැමිණිල්ල පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා සංහාරය හා බැඳී තිබෙන්නකි. මුසම්මිල් පවසන ආකාරයට ඔහුට ඔහුගේ ඥාතියෙකු වන වැන්දඹුවකගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

විනෝදයට සතුන් දඩයම් කරන්නෙකු වූ ඇයගේ සැමියාට අයත්ව තිබෙන්නට හැකි ෂොට්ගන් වර්ගයේ තුවක්කුවලට යොදන උණ්ඩ පිරි කුඩා පෙට්ටියක්, ඔහුගේ අල්මාරිය අස්පස් කිරීමේ දී හමුවූ බව එම ඇමතුමෙන් ඇය දැනුම් දී ඇත. කොළඹ හිටපු නගරාධිපතිවරයෙක් මෙන්ම මෑතක් වන තෙක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, කටයුතු කළ මුසම්මිල් මේ බව දැනුම්දීමට ඔහුගේ සහායකයෙක් බම්බලපිටිය පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කර තිබේ. මුසම්මිල්ගේ ඥාති කාන්තාව සොයාගත් උණ්ඩ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට මෙම සහායකයා කටයුතු කර තිබෙන අතර, පසුව පොලිස් නිලධාරියෙක් යතුරුපැදියක නැගී ඔහු ද, කැටුව එම කාන්තාවගේ නිවසට පැමිණ අදාළ උණ්ඩ සිය භාරයට ගෙන ඇත. සියල්ලෝ සිතූයේ කාරණය එතැනින් අවසන් වූ බවය.

අනතුරුව මුසම්මිල් පවසා සිටියේ මෙවැන්නකි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මගේ සහායකයාව අත්අඩංගුවට ගත්තා. ඔහුව ත්‍රස්ත මර්දන පනත යටතේ මාසයක කාලයක් රඳවා ගනු ලැබුවා. අවස්ථා කිහිපයක දී, ඇතැම් විට මධ්‍යම රාත්‍රිය පහුවෙලා ගෙවන හෝරාවල දී පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගේ සහායකයා රඳවා සිටි කුටිය අසලට පැමිණ තිබෙන නිශාන්ත එම උණ්ඩ මට අයත් බවට ප්‍රකාශයක් කළොත් ඔහුව වහාම නිදහස් කරනවා කියා පවසා තිබෙනවා. ඒ වගේම මගේ සහායකයාගේ බිරිඳ දුරකතනය ඔස්සේ අමතා තිබෙන ඔහු, ඇතැම් විට මධ්‍යම රාත්‍රිය පසුවෙලා පවා, ඇයට ඇයගේ සැමියා නිදහස් කරගැනීමට වුවමනා නම් මාව හසුකරදෙන්නය කියා ඔහුට දැනුම්දෙන ලෙස ඇයට පවසා තිබෙනවා. නමුත් ඔවුන් දෙදෙනාම එසේ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිරකුටියේ දී තමන්ට අත්විඳින්නට වූ සිදුවීම් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා මේ වන විට දිව්රුම් ප්‍රකාශයක් ලබා දී ඇත.

ඊට පස්සේ මම (හිටපු) ජනපති මෛත්‍රීපාල සිරිසේනව හමුවෙලා සිදුව තිබෙන දේ ගැන ඔහු සමග කීවා. මා ඉදිරිපිටදීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට දුරකතන ඇමතුමක් අරගෙන කාරණය පැහැදිලි කළා. පසුදා උදෑසන 9.00ට සෙනෙවිරත්නව හමුවන ලෙස ජනපතිවරයා මට පසුව දැනුම්දුන්නා.

මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව ඔහුගේ කාර්යාලයේ දී හමුවුණා. ඉන්ටර්කොම් පද්ධතියෙන් ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාව ඇමතුවා. මේ ගැටලුව දින කිහිපයකින් විසඳන බව ඔහු පසුව මට කීවා. තවත් ප්‍රකාශයන් කිහිපයක් ලබාගත යුතුව තිබෙන බවත් ඔහු මට කීවා.

අනතුරුව මුසම්මිල් අදහස් දැක්වූයේ දුක්මුසුවය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වඩා බලවත්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම දුර්වල තත්ත්වයකට වැටී තිබෙන බව එදා මම තේරුම්ගත්තා. මම මේ ගැන (හිටපු) ජනපති මෛත්‍රීපාල සිරිසේනට කිව්වහම එයා කිව්වේ, ඒගොල්ලෝ එහෙම තමයි, කියන දෙයක් කරන්නේ නැහැ කියා.

ජනපතිවරයාගේ වචනය පවා ඔවුන් නොසලකා හැර තිබෙන බව පැහැදිලිය. මුසම්මිල් වැඩිදුරටත් මෙසේ කීවේ ය.

මේ රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිරිසිදු කළ යුතුයි. පුද්ගලයින් කොටු කරන්න සමත් බලවත් අංශයක් බවට, ඇතැම් විට රජයටත් වඩා, එය පත්ව තිබෙනවා. මගේ පැමිණිල්ල ගැන අදාළ බලධාරීන් ගැනීමට යන පියවරත් එක්කම මම නීති පියවර ගන්නත් කටයුතු කරමින් සිටිනවා.

ලැබුණු ඉල්ලීමක් අනුව නිශාන්ත ද සිල්වාට ලබාදුන් ස්ථාන මාරුව පසුව අවලංගු කිරීමට පියවර ගත්තේයැයි ජනපතිවරයා තමා සමග පැවසූ බව ද, මුසම්මිල් කීවේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් එහි පැරණි විභූතිමත් ස්වභාවයට පත්කිරීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇති බව රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළේ ය. දැනටමත් පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් අංශයක් වන දිවයිනේ ප්‍රධානම බුද්ධි සේවය වන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි නිලන්ත ජයවර්ධන මහතා එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. පාස්කු ඉරිදා සංහාරයට අදාළව ලැබී තිබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු පාර්ශ්වයන් දැනුම්වත් නොකළ බවට ඔහුට චෝදනා නැගී ඇත. තනතුරින් ඉවත් කළ ජයවර්ධන ඔහුට සුදුසු තනතුරක් ලැබෙන තෙක් පොලිස් මූලස්ථානයට අනුයුක්ත කැර තිබේ. ඔහු වෙනුවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙන්නේ බි්‍රගේඩියර් සුරේෂ් සාලි මහතාවය. සාලි යනු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඒකකයේ සේවය කර තිබෙන නිලධාරියෙකු වන අතර, මෙය පොලිස් දෙපාර්තමේන්තුවෙන් බැහැර නිලධාරියෙකු එම දෙපාර්තමේන්තුවේ අංශයක අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කැරුණු ප්‍රථම අවස්ථාව ද, වේ. පැවති රජය යටතේ සාලි මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කළේ ය. අනතුරුව හමුදා මූලස්ථානය ඔහුව නව දිල්ලියේ ජාතික ආරක්ෂක ඇකඩමිය වෙත යැවූ අතර, එහිදී ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව විදෙස් සිසුන් අතරින් ඉදිරිපත් වූ හොඳම පර්යේෂණ පත්‍රිකාව ලෙස ඇගයීමට ද, පාත්‍ර විය. සාලි තවමත් යුද හමුදාවට අනුයුක්ත නිලධාරියෙකි. ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු ඉදිරියට ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා වන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ද අල්විස් මහතා යටතේ කටයුතු කරනු ඇත. ජගත් ද අල්විස් ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සිටි නිලධාරියෙකි. හමුදා සේවයේ නියුතුව සිටිය දී, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ අනුයුක්තව සිටියේ ද, ගජබා රෙජිමේන්තුවටය.

සිරිසේන - වික්‍රමසිංහ රජය සමයේ රාජ්‍ය බුද්ධි සේවය එහි ක්‍රියාකාරීත්වය අරබයා දැඩි විවේචනයන්ට ලක්විය. දිවයිනේ බුද්ධි සේවාවන් අතර ප්‍රමුඛතම ස්ථානයක පසුවන රාජ්‍ය බුද්ධි අංශය, ආරක්ෂක කටයුතුවලට නොව රජයට එරෙහි දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගේ කටයුතු පිළිබඳව ඔත්තු සෙවීම සඳහා යෙදවුණු බවට චෝදනා නැගිණ. එයට අදාළ කාර්යයෙන් ඔබ්බට ගොස් කටයුතු කළ බවට ද, රාජ්‍ය බුද්ධි සේවයට එරෙහිව චෝදනා නැගී තිබේ. එම එක් අවස්ථාවක් වන්නේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක් පසුගිය වසරේ ඔක්තෝබර් මස ව්‍යවස්ථා අර්බුද සමයේ මුදල් අමාත්‍යාංශයේ සිටි එක්තරා පිරිසක් හා එක්ව සේවය කිරීමට යොමු කිරීමය. අවධානයට ගතයුතු කාරණය වන්නේ මෙම පිරිස රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව මාධ්‍ය සහ ප්‍රචාරයන් මෙහෙයවමින් සිටි කණ්ඩායමකට අයත් වීමය. මෙසේ බුද්ධි අංශ නිලධාරියෙක් මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කිරීම සිදුව තිබෙන්නේ නිල මට්ටමින් ද, නැතහොත් නොනිල මට්ටමින් ද, යන්න පැහැදිලි නැත. එම අනුයුක්තිය සඳහා මෙකී රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා නම් කර තිබෙන්නේ දේශපාලන පත්වීමක් ලෙස මුදල් අමාත්‍යාංශයේ සේවයට පැමිණ සිට ඇති සම්බන්ධිකරණ නිලධාරියෙක්ය.

විපක්ෂ නායක සජිත්

රාජ්‍ය බුද්ධි සේවය නැවත ගොඩගැනීමට මෙසේ උත්සාහ කෙරෙමින් තිබෙන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ ද, වැදගත් වෙනස්කම් කිහිපයක්ම ඇතිවෙමින් තිබෙන වාතාවරණයකය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා සිය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායකවරයා ලෙස නම් කළේ ය. එසේ සිදුකැරුණේ පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහභාගීත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති රැස්වීමකදීය. පක්ෂ නායකයාගේ තීන්දුවෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඒ බව දන්වා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමු කළේ ය.

2019.12.05 වැනි දින එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් කිරීමට තීරණය විය. ඒ අනුව, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස හඳුනාගන්නා ලෙස ඉල්ලා සිටිමු.

සජිත් ප්‍රේමදාසගේ නව තනතුර කතානායවරයා එදිනම තහවුරු කළේ ය.

ජයසූරියට කාරියවසම් යොමුකළ ලිපියේ එක් බලවත් වරදක් තිබේ. එහි සඳහන් වන්නේ එක්සත් ජාතික පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී...... තීරණය වූ බව.... ආදී ලෙසය. පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එවැනි කාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ කිසිදු ගැටලුවක් නැත. එහෙත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීම සම්පූර්ණයෙන්ම පාහේ පක්ෂ නායකත්ව මත රඳා තිබෙන්නක් වන අතර, එහිලා කිසිදු අදාළත්වයක් පාර්ලිමේන්තු කණ්ඩායමට නොමැත. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලද අන්ත පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතා විපක්ෂ නායකවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතාව නම් කළේ ය. පක්ෂ නායකයා ලෙස දිගටම කටයුතු කළේ සේනානායකය.

එසේවුවද, බ්‍රහස්පතින්දා පැවැති රැස්වීමේ දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් පක්ෂ නායකත්වය ද, ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. පහත දැක්වෙන්නේ ඔවුන් ඇතැමෙක් දැක්වූ අදහස්වල සංක්ෂිප්තයකි.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා - අපි මහ මැතිවරණයක් කරා යමින් සිටින විට විපක්ෂ නායකයෙක් සහ පක්ෂ නායකයෙක් ලෙස දෙදෙනෙක් සිටිය යුතු නැහැ. අපේ ජනපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමට කල්ගත කළා වගේ නොමැතිව ක්ෂණිකව තීරණ ගතයුතුයි. අපි වහාම අපගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා තීරණයක් ගත යුතුයි. ඒහාම අපගේ වාර්ෂික පක්ෂ සම්මේලනය පැවැත්විය යුතුයි.

අජිත් පී. පෙරේරා - සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් මම අපගේ නායක රනිල් වික්‍රමසිංහට ස්තූති කරනවා. නත්තලට පෙර පක්ෂයට නව නායකයෙක් පත්කරන ලෙසත් මම වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිනවා.

තලතා අතුකෝරළ - අපේ ජනපති අපේක්ෂකයාව විපක්ෂ නායකයා ලෙස නම් කිරීමෙන් නායක රනිල් වික්‍රමසිංහ ගෙන තිබෙන්නේ හොඳ තීරණයක්. දැන් එක ගැටලුවකි, පක්ෂ නායකත්වයේ ගැටලුව විසඳන එක විතරයි. එම ගැටලුවත් විසඳන ලෙස මම අපේ නායකයාගෙන් ඉල්ලා සිටිනවා. සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා සහ විපක්ෂ නායකයා විය යුතු බව තමයි අපගේ අදහස. අපට රනිල් වික්‍රමසිංහ සමග කිසිම ගැටලුවක් නැහැ. නමුත් බොහෝ කාලයක් තිස්සේ ජනතාවට වුවමනා වුණේ පක්ෂ නායකයාව ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න වුණත් දැන් අවස්ථා ගණනාවක්ම අපට එය කිරීමට නොහැකි වුණා. මැතිවරණයක් දිනිය හැකි පක්ෂයක් සහ විපක්ෂ නායකයෙක් ජනතාවට අවශ්‍යයි. ඒ නිසා අපි ජනතාවට වුවමනා දෙයට කන්දීලා, ඔවුන්ට වුවමනා දෙය ලබාදිය යුතුව තිබෙනවා.

රවී කරුණානායක - ජනපතිවරණය පරාජයට පත්වුණේ අපේම වැරදි නිසා. අපි නව කණ්ඩායම් පිහිටුවාගෙන අපේ පක්ෂය සංවර්ධනය කරගත යුතුයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා උපාය මාර්ගයන් සකස් කිරීමට පස් පුද්ගල කමිටුවක් පත්කරන බව රැස්වීමේ දී වික්‍රමසිංහ පැවසුවා. එම වාර්තාව සම්පාදනය කළ පසුව පක්ෂ සාමාජිකයන් නැවතත් මුණගැසී, එම වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කර වහාම ක්‍රියාත්මක විය යුතුව තිබෙන බව ඔහු පැවසුවා.

ප්‍රේමදාසගේ නායකත්වය

ජනපතිවරණ සමයේ දී ප්‍රේමදාසගෙන් ප්‍රබල නායකයකුගේ ලක්ෂණ විද්‍යාමාන විය. අසංවේදී ප්‍රකාශයන් සිදුකළ සිය ළඟම හිතවතුන් පවා ප්‍රසිද්ධියේම, ජනතාව ඉදිරියේ හෙළාදැකීමට ඔහු පසුබට නොවීය. එසේම, ඔහු පමණ ඉක්මවා මමත්වය හුවා දැක්වීය. කෙසේවුවත්, පශ්චාත් ජනපතිවරණ සමයේ ප්‍රේමදාස අරබයා දැකගැනීමට තිබෙන්නේ වෙනස්ම චරිතයකි. ඔහුගේ ළඟම හිතවත්හු, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ද ඇතුළත්, අන්දමන්දව පමණක් නොව කෝපයට ද, පත්ව සිටින්නෝ ය. ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක සහ හිටපු ජනපතිවරයාගේ උපදේශකයෙක් ලෙස කටයුතු කළ ශිරාල් ලක්තිලක වැන්නවුන් ඔවුන්ගේ අතට ගැනීම හමුවේ ප්‍රේමදාස පාර්ශ්වයෙන් නැගෙන්නට ගත් පැමිණිලි මෙම නොමනාපයේ ආරම්භය විය.

අනතුරුව තවත් ගැටලුවක් ඇති විය. ජනපතිවරණයෙන් ලත් පරාජයෙන් පසුව ප්‍රේමදාසව විපක්ෂ නායකවරයා ලෙස පත්කරනු වස් තිරය පසුපස සිට උත්සාහයන් දියත් වෙමින් තිබිණ. මේ අරබයා පක්ෂ නායක වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කළ අතර, බොහෝ විට තමා විපක්ෂ නායක ධුරය ප්‍රේමදාසට ලබාදෙන්නට ඉඩ තිබෙන බව ඔහු එහිදී ඉඟි කළේ ය. නමුත් එය සිදුවන්නේ අදාළ සාකච්ඡා පැවැත්වූවායින් පසුව බව ඔහු අවධාරණය කළේ ය. කෙසේවුවත් මේ සම්බන්ධයෙන් ප්‍රේමදාසගෙන් අදහස් විමසීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. ලබාදුන් දුරකතන ඇමතුම්වලට ඔහු පිළිතුරු නුදුන්නේ ය. පණිවුඩ හුවමාරුව යන්තම් කෙටි පණිවුඩයකට - දෙකකට සීමා විය. මේ හමුවේ ඔහුට සහාය දැක්වූ හිටපු අමාත්‍යවරු පවා කෝපයට පත්වූහ. නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ එක්තරා හිටපු අමාත්‍යවරයෙක් කියා සිටියේ මෙවැන්නකි.

මේ පෙන්වන්නේ දුර්වල නායකත්වයක ලක්ෂණ. ඔහු වික්‍රමසිංහව හමුවෙලා ගැටලු විසඳාගැනීමට කටයුතු කළ යුතුව තිබුණා. ඔහුව ඉවතට ගන්නට අපට පසුබිමෙන් ලොකු වැඩ කොටසක් කරන්න වුණා. ඔහු අනුගමනය කරමින් සිටින පසුගාමී පිළිවෙත එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්ට ගැලපෙන්නේ නැහැ. මොන ගැටලු තිබුණත්, වික්‍රමසිංහ නම් කවදාවත් එහෙම හැසිරුණේ නැහැ. මේ වගේ සැරින් සැරේට අදහස මාරුවෙන එක, චිත්ත සන්තානය මාරු කරගන්න එක, අනාගතයේ අපටත් හොඳ නැහැ.

සිය නිදහසට කරුණ ලෙස ප්‍රේමදාස දන්වා සිටියේ ඔහු අසනීපයෙන් පසුවන බවය.

අනෙක් අතට, විපක්ෂ නායක ධුරය අත්හැරීම හැරෙන්නට වෙනත් විකල්පයක් වික්‍රමසිංහට නොතිබූ බව ද, රහසක් නොවේ. බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙනී සිටියේ ඔහුට එරෙහිවය. ඔහුගේම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නැගී ආ පීඩනය එවැනි තීරණයක් ගැනීමට ඔහුව පෙළඹවූ එකම කාරණය විය. පක්ෂ නායකත්වය අරබයා ඉදිරියට ගෙවෙන්නට තිබෙන දින, සති, මාස ගණන පුරාවටම ඔහුට එරෙහිව තවදුරටත් පීඩනය එල්ලවනු ඇති අතර, අවසන් තීරණයක් ගන්නා තෙක් ඔහු තවදුරටත් එම පීඩනයට එක එල්ලේම මුහුණදෙනු ඇත. ප්‍රේමදාස පාර්ශ්වය කුමන අයුරින් ඉතාම දැඩි, අමිහිරි විවේචනයන් එල්ල කරන්නට යෙදුණ ද, ඔහු සිය තනතුරේ දිගටම එල්බගෙන සිටිනු ඇත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කළ යුතුව තිබෙන්නේ කුමක්දැයි සහ විශේෂයෙන්ම ඔවුන්ගේ (ප්‍රේමදාස හිතවත් කණ්ඩායම) ඉදිරි සැලැස්ම කුමක්දැයි යන්න පවසන ලෙස වික්‍රමසිංහ දැනටමත් ප්‍රේමදාස හිතවාදී කණ්ඩායමට දැනුම් දී තිබේ.

ජනපතිවරණයට පසුව නොවැම්බර් මස 19 වැනිදා වික්‍රමසිංහ ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේ දී, ඔහු ඉදිරියටත් අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට සහ පවත්නා රජය පවත්වාගෙන යාමට තමන්ට තිබෙන කැමැත්ත සම්බන්ධයෙන් නව ජනපතිවරයාව දැනුම්වත් කළේ ය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා පත්කිරීමට තමා කැමැති බව ද, ඔහු පැවසුවේ ය. නමුත් ජනපතිවරයා පිළිතුරු දෙමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය නව රජයක් ගොඩනැගීමේ වුවමනාවෙන් පසුවන බැවින් එය කළ නොහැකි බව කීවේ ය. මෙසේ දේශපාලන කටු මතින් ඔහු වර්තමානයේ යමින් සිටින ගමනේ, එක් රිදී හුයක් වන් අවස්ථාවක් ග්‍රහණය කරගැනීමට ඔහුට අවස්ථාව සැලසෙන ලකුණු දැන් පහළව තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කර ඇතැයි පවසන රජය ඒ අරබයා විමර්ශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. පැවැති රජය සමයේ මෙම විෂය පථය භාරව සිටියේ ප්‍රේමදාසය. රුපියල් බිලියන 1.2ක පමණ මුදලක් අවභාවිත කර ඇතැයි රජය පවසතත්, ප්‍රේමදාස පවසා තිබෙන්නේ කිසිදු අවැඩක් සිදුව නොමැති බවය.

රජය නගන චෝදනාව සත්‍ය බවට ඔප්පු වුවහොත් ගැටලු රැසකට පිළිතුරු දීමට ප්‍රේමදාසට සිදුවනවා පමණක් නොව ඔහුගේ ගරුත්වයට ද, බරපතළ ලෙසම හානි සිදුවේ. මෙය එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ප්‍රවාහය වික්‍රමසිංහට හිතකර දෙසට හැරවීමේ සමත් කාරණයකි. ප්‍රේමදාස සැලකීමේ දී, මෙම කාරණය ඔහුගේ හිසට ඉහළින් එල්ලෙමින් තිබෙන අසිපතක් හා සමය. වික්‍රමසිංහට අමතරව ප්‍රේමදාස පෙළමින් තිබෙන තවත් ගැටලුවක් වන්නේ අරමුදල්වල හිඟයයි. ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල මුදලක් වැය කැරුණු අතර, එසේ භාණ්ඩ හා සේවා සපයාදුන් ඇතැම් පාර්ශ්වයන්ට තවමත් ගෙවීම් සිදුකර නොමැති බව සැලය.

විපක්ෂ නායකවරයා ලෙස ප්‍රේමදාස ව්‍යවස්ථා කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද, නිතැතින්ම පත්වේ.

පාර්ලිමේන්තුවට නව කතානායකවරයකු පත්කරගැනීමට ද, රජයට අවශ්‍යය. මේ අරබයා කතානායක තනතුරින් ඉල්ලා අස්වන ලෙසට වත්මන් කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටීමට නියමිත බව ද, සැලය. කෙසේවුවත් වත්මන් කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටින අය පෙන්වා දී තිබෙන්නේ නව රජයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නිසා ජයසූරිය වෙනුවට වෙනත් කතානායකවරයෙකු පත්කර ගැනීම ගැටලුකාරී විය හැකි බවයි. මෙම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් තිරය පසුපස සිට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන තත්ත්වය අනුව, පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කළ පසුව මහ මැතිවරණය දක්වා ගෙවෙන්නට තිබෙන්නේ මාස 2ක පමණ කාලයක් වන තැන, එම පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය පැහැදිලි ලෙසම දුෂ්කර වනු ඇති බව පැහැදිලිය. ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙපළක් වන - මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර, ඔවුන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කර ඇත. විපක්ෂ නායකයා ලෙස ප්‍රේමදාස පත් කළ ද, එක්සත් ජාතික පක්ෂයේ ඇතිව තිබෙන පැලීම් තවදුරටත් ගැඹුරු හා පුළුල් වෙමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට පැහැදිලි ලෙසම වාසි සහගත තත්ත්වයක් අත්ව ඇත. එය, නව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උකුළ මතට වැටෙන්නට නියමිතව තිබෙන දෙවැනි තෑග්ග බව කීමේ වරදක් නැත.

පරිවර්තනය
කෝවිද ගුණසේකර