ප්‍රධාන දේශපාලන පක්‍ෂ මෙන්ම සුළු දේශපාලන පක්‍ෂද ඔවුන්ගේ ජාතික සමුළු පවත්වමින් තම තමන්ගේ බලපුළුවන්කම් පෙන්වන්නට පටන් ගෙන තිබේ. මේ සියලු පක්‍ෂ සුදානම් වන්නේ තමන්ගේ ශක්තිය වැඩිකරමින් ඉදිරි ජනාධිපති මැතිවරණයේ වැඩකටයුතු ආරම්භ කිරීමටය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ප්‍රථම මහා සමුළුව කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද එම ස්ථානයේම ජාතික සමුළුව පැවැත්වීය. මේ අතර පිවිතුරු හෙළ උරුමයේ ජාතික සමුළුව ඉකුත්දා බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සමුළුවද ලබන ඉරිදා කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් තිබේ. මේ අතර ගෝඨාභය රාජපක්‍ෂගේ වියත්මග සංවිධානයද ජාතික සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය කොළඹ ෂැංග්‍රිලා හෝලයේදී පැවැත්වීමට නියමිතය. එම සමුළුවද ඉරිදා පැවැත්වීමට නියමිත බව පැවසේ.

ජාතික සමුළුවල ප්‍රධාන අරමුණවී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පක්‍ෂය ගන්නා තීන්දු තීරණ හා වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමටය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමුළු වලදී ජනාධිපතිවරණය පිළිබඳව තමන්ගේ මතය ඉදිරිපත් කළහ. එහෙත් එක්සත් ජාතික පක්‍ෂයට මෙවර පැනනැගී ඇති බරපලතළ ගැටලුව වන අපේක්ෂකයා තෝරාගැනීම ඉක්මනින්ම කිරීම අනිවාර්ය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එජාප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මාලදිවයින් සංචාරය නිමවා දිවයිනට පැමිණ සිටින අගමැතිවරයා අද හෙටම අපේක්ෂකයා සම්බන්ධ ගැටලුව විසඳීමට පියවර ගනු අති බවය.
බොහෝවිට අගමැතිතුමා මෙවර තරග කරන්න ඉඩ තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ නව සන්ධානයේ බහුතරයක් මුලින් විවිධ මත දැරුවා. මනෝගනේෂන් වගේ කීප දෙනෙක් සජීත් ප්‍රේමදාසට සහය පළකළා. කෙසේ වෙතත් දැන් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ නායකයන් එක මතයකට ඇවිත් යැයි සුළු දේශපාලන පක්‍ෂයක නායකයෙක් කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා නම්කළ පසුව මෙරට දේශපාලනයේ අලුත් අලුත් ප්‍රවෘත්ති නිර්මාණය වීමේ හැකියාවක් පැවතිය හැකි බවට ආරංචි පැතිර යමින් තිබේ. බොහෝ විට සජිත් පාර්ශ්වයේ ප්‍රබලයින් වෙනත් මගක් ගනු ඇතැයි යන්න දේශපාලන කරළියේ ඉකුත්දා ආරංචි පැතිර ගියේය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික මහා සමුළුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තුළ වෙනත් අර්ථකතන කීපයක්ම තිබෙන බවටද ඇතැම් දේශපාලන විචාරකයෝ මත පළකරති.

ජනාධිපතිවරයා ලොකු කතාවක් කිව්වා. ජනාධිපතිවරණයට වඩා මහා මැතිවරණය වැදගත් බව කිව්වා. ජනාධිපති බලතල වලට වඩා අගමැතිවරයා සතු බලතල වැඩි බවත් කිව්වා. මේ ඔක්කොම බැලුවම එතුමා කලින් මහමැතිවරණයක් තියන්නත් පුළුවන් යැයි ශ්‍රී ලනිපයේ ජේ්‍යෂ්ඨයෙක් ඉකුත්දා ප්‍රකාශ කර තිබිණ. එහෙත් එවැන්නකට තිබෙන ඉඩකඩ ඉතාම සීමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ මස දහවැනි දින සිට ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවය.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනතට අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරේ. ඒ අනුව මේ මස 10වැනි දින සිට මැතිවරණ කොමිසමට බල පැවරෙන අතර එැතැන් සිට දින 16 ත් දින 21ත් අතර කාලය තුළදී නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇත. නාමයෝජනා දිනයේ සිට සති හතරක් සති හයක් අතර කාලයේදී ඡන්දය පැවැත්වීමේ දිනය තීරණය කෙරෙන අතර එම දිනය තීරණය කිරීමේ සම්පූර්ණ බලයද කොමිසමට හිමිවේ. ඒ අනුව මැතිවරණ කොමිසමට නොවැම්බර් මස 15වැනි දින පහසුවෙන්ම ජනාධිපතිවණය පැවැත්විය හැකිය. එහෙත් පවතින වාතාවරණය අනුව එදින ඡන්දය පැවැත්වීමට වඩා බොහෝවිට නොවැම්බර් මස අවසාන සතියේ සෙනසුරාදා ජනාධිපතිවරණය පැවැත්වීම කෙරෙහිත් එසේත් නැතිනම් නොවැම්බර් මස අවසාන සතියේ සෙනසුරාදා ජනාධිපතිවරණය පැවැත්වීම කෙරෙහිත් එසේත් නැතිනම් නොවැම්බර් මස තුන්වන සතියේ සෙනසුරාදා ජනාධිපතිවරණය පැවැත්වීම කෙරෙහිත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි පැවසේ. 1971 අංක 29 දරන නිවාඩු පනතේ උපලේඛනයේ සඳහන් ආකාරයට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන දිනයක මැතිවරණය පැවැත්විය යුතුය. ජනාධිපතිවරණය සඳහා නාමයෝනා බාරගන්නා දිනයට පෙරදින දහවල් 12 ට පෙර ඇප තැන්පත් බාරදීමටද අපේක්‍ෂකයන්ට සිදුවේ. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්‍ෂයකුගේ ඇප තැන්පත් මුදල රුපියල් 50000 ක් වන අතර ස්වාධීන අපේක්ෂකයකු සඳහා වන ඇප තැන්පත් මුදල රුපියල් 75000 කි. පිළිගත් දේශපාලන පක්‍ෂයක ලේකම්වරයා විසින් නාමයෝජනා පත්‍රය බාරදිය යුතුවන අතර ස්වාධීන අපේක්‍ෂයකුගේ නාමයෝජනා පත්‍රය ඡන්දදායකයකු විසින් යෝජනා කළ යුතුය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කලක සිට පැවැති සාකච්ඡා මේ වනවිට අසාර්ථක වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉල්ලීම් හා යෝජනා වලට එකගවිය නොහැකි බවය.

ගෝඨාභය රාජපක්‍ෂ කමිටුවක් මගින් නම් කරන්න කියනවා. පොහොට්ටුව වෙනුවට වෙනත් ලකුණුක් අවශ්‍ය බවට යෝජනා කරනවා. මේවා කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ශ්‍රිලනිපයේ පිරිසකට වෙනත් අදහසක් තිබෙනවා. සමහරවිට සජිත් අපේක්‍ෂකයා වුණොත් ශ්‍රීලනිප පිරිසක් ඔහුට උදව් කරන්න පුළුවන් යැයි පොහොට්ටුවේ ජේ්‍යෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

 මේ අතර නිමල් සිරිපාල ද සිල්වා සම්බන්ධයෙන්ද විවිධ ආරංචි පැතිර යමින් තිබේ.
නිමල් අපිත් එක්ක සම්බන්ධ වේවි එදා ශ්‍රිලනිප සංවත්සරය දවසේ ජනාධිපතිතුමා කළ කතාව සැරවැඩියි කියලා නිමල් එතන ඉදපු කීප දෙනෙක් එක්ක දොස් කියලා තියෙනවා.
 
නිමල් සිරිපාල එදා කිව්වා එජාපය එක්ක කොහොමටවත් එකතු වෙන්නෙ නැහැ කියලා. යැයිද පොහොට්ටු නායකයකු පැවසු බවක්ද පොහොට්ටුවට වාර්තාවෙයි.

මේ අතර ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තරමක නෝක්කාඩුවකින් පසුවන බව වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කර ඇත්තේ එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමටය. එහෙත් එවැන්නක් ලේසියෙන් හෝ පහසුවෙන් හෝ කළ නොහැකි බවද පැවසේ. ජාතික ලැයිස්තු හෝ ඡන්දයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරයෙක් හෝ මේවා පක්‍ෂයකින් නෙරපන ක්‍රමයක් තියෙනවා. පක්‍ෂයේ මහලේකම්වරයා එම මන්ත්‍රීවරයා නෙරපූ බවට මැතිවරණ කොමිසමට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිත දැනුම්දීමක් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යාවස්ථාවේ 13 වැනි අනුව්‍යවස්ථාවට අනුව පක්‍ෂයේ මහලේකම්වරයා විසින් කිසියම් මන්ත්‍රීවරයකු පක්‍ෂයෙන් නෙරපූ බවට ලිපියක් නිකුත් කළ දිනයේ සිට මාසයක් යනතුරු එම මන්ත්‍රී අසුන පුරප්පාඩු වන්නේ නැත. එම මන්ත්‍රීවරයාට මාසයක කාලයක් ලබාදෙන්නේ නීතී පියවර ගැනීමටය. ඒ අනුව මසක් ඇතුළත අදාළ මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. අදාළ මන්ත්‍රීවරයා නීති පියවර නොගන්නේ නම් මසක් ගිය විට අදාළ මන්ත්‍රී පුරප්පාඩුව පිරවීමට හැකිය. නීතියට අනුව යම් මන්ත්‍රීවරයකු පක්‍ෂයකින් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සමකට මාස දෙකක් ඇතුළත තීන්දුවක් ලබාදිය යුතුය. එම තීන්දුව විනිසුරුවන් තුන්කට්ටුවක් මගින් ලබාදිය යුතු බවද නීතියේ සඳහන් වේ.

මන්ත්‍රීවරයකු පහකිරීම සම්බන්දයෙන් පූර්වාදර්ශයක් තියෙනවා. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා තීන්දුවක් ලබාදුන්නා. එම තීන්දුවෙන් මන්ත්‍රීවරයකු ඉවත්කිරීම විධිමත් ක්‍රියාවලියකට අනුව සිදුවිය යුතු බව සඳහන් වෙනවා. එම විධිමත් ක්‍රියාවලිය වන්නේ අදාළ මන්ත්‍රීවරයා විනය විරෝධී ක්‍රීයාවක් කර ඇත්නම් ඔහුට චෝදනා පත්‍රයක් බාරදීම එම චෝදනා පත්‍රයට පිළිතුරු දීමට අවස්ථාවක් දීම ඉන්පසුව ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීම එම පරීක්‍ෂණයෙදී සැකයෙන් තොරව අදාළ මන්ත්‍රීවරයා විනය විරෝධී ක්‍රියාවක් කළ බවට ඔප්පු විය යුතුය. එවැනි පියවරක් නොගතහොත් මන්ත්‍රීධූරය අහිමි නොවන බවට පූර්වාදර්ශයක් තිබෙනවා යැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඩිලාන් පෙරේරා පොහොට්ටුවට එක්කර ගැනීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදාන ගමගේ විරෝධය දක්වා ඇතැයි වාර්තාවේ. බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පොහොට්ටු පක්‍ෂයේ කටයුතු කළේ කුමාර වෙල්ගමය. එහෙත් ඔහු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂයාට විරෝධය දැක්වීම නිසා බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් වෙල්ගම ඉවත් කළේය. ඉන්පසුව දිස්ත්‍රික් නායකත්වයට පත්වූයේ තේනුක විදානගමගේය. එහෙත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල නායකයා තමා බවය. ඩිලාන්ගේ ප්‍රකාශයෙන් තේනුක උරන වී ඊට විරෝධය දක්වා තිබේ. බදුල්ල දිස්ත්‍රික් නායකයා මමයි. ඊයේ පෙරේදා අපේ පක්‍ෂයට ආපු අයට නායකකම් හම්බවෙන්නේ නැහැ යැයි තේනුක විදානගමගේ කියන්නේය.

රවි කරුණානායක ඇමතිවරයා ඉකුත්දා ඔහුගේ නිවසේදී තානාපතිවරුන්ට රාත්‍රී භෝජණ සංග්‍රහයක් පැවත්වීය. රටවල් ගණනාවක කොළඹ තානාපතිවරු රවිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණියෝය. රවි කරුණානායක තානාපතිවරුන්ට ආරාධනා කරන අවස්ථාවේදී කතානායක කරූ ජයසූරිය ද එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණෙන බවක් දන්වා තිබිණ. එහෙත් රවිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට කරූ ජයසූරිය පැමිණ සිටියේ නැත.
ඇගමැති රනිල් වික්‍රමසිංහ ඉකුත්දා මාලදිවයිනේ සංචාරයක නිරත වූවේය. එහිදී අගමැතිවරයා මහාවංශය උපුටා දක්වමින් අදහස් පළ කළේය.

ජනප්‍රවාදයට අනුව මාලදිවයින ජනාවාස වෙලා තියෙන්නේ ලංකාවෙන් ආපු අයගෙන් බව කියැවෙනවා. තවත් තැනක කියවෙන්නේ ඉන්දියාවෙන් ආවා කියලයි. අපේ මහාවංශයේ මාලදීප කියලයි මාලදිවයින හඳුන්වලා තිබෙන්නේ. යැයි අගමැතිවරයා හරබර කතාවක් කළේය.
 
දැන් බලන්න ලංකාවේ කෑම පිසිනකොට උම්බලකඩ අත්‍යාවශ්‍යයි. ලංකාවට උම්බලකඩ එන්නේ මාලදිවයිනෙන් මාලදිවයිනෙන් උම්බලකඩ නාවොත් මොකද වෙන්නේ යැයි කියමින් අගමැතිවරයා එහිදී විහිළුවක්ද කළේය.
ජනාධිපතිවරණය තවම ප්‍රකාශයට පත් කර නැතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල පූර්ණ අවධානය යොමු කර ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙනි. බැසිල්ගේ සංවිධායකත්වයෙන් පසුගිය සෙනසුරාදා සිට සමාජයේ විවිධ වෘත්තිකයන්ගේ සමුළු මාලාවක් සංවිධාන කර තිබුණේ ද එම වැඩපිළිවෙළේ එක් පියවරක් වශයෙනි.

වෘත්තීය සමිති, නිතිඥයන්, පෙරපාසල් ගුරුවරියන්, සමෘද්ධි නිලධාරින්, හෙදියන් ඇතුළු සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සංවිධාන කර තිබුණු මෙම සමුළු මාලාවට 70,000කට අධික පිරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කෙරුණු අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සහ ඔහුගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මතය එම පිරිස හරහා ගම්වලට යැවීම බැසිල්ගේ අරමුණ විය.

මෙම සමුළු කෙරෙහි මහින්ද විශේෂ අවධානයක් යොමු කර තිබුණේ මෙම ක්‍රියාවලියෙහි වැදගත්කම වටහාගෙන තිබුණු නිසාය. සමුළු සඳහා ක්ෂේත්‍ර තෝරා ගැනීමේ දී මහින්ද පෞද්ගලිකවම මැදිහත් වූ අතර ජනාධිපතිවරණයේ පූර්ව මෙහෙයුම් කටයුතුවල දී අත්‍යාවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමේ වැදගත්කම මහින්ද පෙන්වා දුන්නේය. සමුළුවල සාර්ථකත්වය නිරීක්ෂණය කිරීම සඳහා මහින්දට වෙනම වැඩපිළිවෙළක් තිබුණේය.
ඒ අනුව සමුළුව ආරම්භ වීමට ප්‍රථම එතැනට පැමිණෙන මහින්ද සමුළුවට සහභාගි නොවී විශේෂ කාමරයක සිට සමුළුව නිරීක්ෂණය කළේය. සමුළුව සජීවීව නැරැඹීමේ පහසුකම් එම කාමරය තුළ සකස් කර තිබුණු අතර සමුළුවේ ආරම්භයේ සිටම මහින්ද එහි සිට සමුළුව සජීවීව නිරීක්ෂණය කළේය. සමුළුවට පැමිණෙන ජනතාවගේ ප්‍රතිචාර මෙන්ම සමුළුවේ ආරාධිත දේශකයන්ගේ කතා ද මහින්දගේ අවධානය යොමු විය.
 
සමුළු කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටින මහින්ද ගෝඨාභය අමතන ආකාරය ද නිරීක්ෂණය කළේය. මහින්ද සමුළුවට සහභාගි වනුයේ ගෝඨාභය අදහස් දැක්වීමෙන් අනතුරුවය. ඒ වන විට මහින්ද සමුළුවේ ක්‍රියාකාරීත්වය මෙන්ම ගෝඨාභයගේ අදහස් දැක්වීම ද මනාව අධ්‍යයනය කර අවසන්ය. මහින්දට අවශ්‍ය වී තිබුණේ පූර්ව ප්‍රචාරක රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට ජනාධිපති අපේක්ෂකයාට ඉඩ සලසා දීමය.
ඉකුත් සිකුරාදා නෙළුම් මාවතේ දී විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී බැසිල් විශේෂ අවධානයක් යොමුකර තිබුණේ සමුළු මාලාවේ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙනි. මාධ්‍ය ආවරණ කටයුතු මෙන්ම ප්‍රචාරක කටයුතු ද නිසි ලෙස සිදුවිය යුතු බවට බැසිල් සංවිධායකයන්ට උපදෙස් දුන්නේය.

“අපි විශේෂයෙන්ම මාධ්‍ය ආවරණ කටයුතු සම්බන්ධයෙන් හොයලා බලන්න ඕනේ. සමුළුවලට පැමිණෙන මාධ්‍යවේදීන්ට අපහසුතාවකින් තොරව මාධ්‍ය ආවරණ කටයුතු කරන්න සියලු පහසුකම් දෙන්න ඕනේ. අපිට එක පාරක් වැරදීමක් වුණා. නැවත වරක් ඒ වැරැදීම වෙන්න ඉඩ තියන්න එපා. හැම තිස්සෙම ඒ අයගේ අවශ්‍යතා හොයලා බලන්න.

අනෙක් කාරණය තමයි අනවශ්‍ය අයගේ මැදිහත්වීම. උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් මාධ්‍යයට වොයිස් කට් එකක් දෙනවා නම් එතැන බැක්ග්‍රවුන්ඞ් එකේ ඉන්න ඕනේ අදාළ අය විතරයි. බොරුවට මූණ දාගන්න දගලන්නේ නැතුව ක්ෂේත්‍රයට අදාළ අයට ඒ අවස්ථාව ලබාදෙන්න. ඕක කියද්දි මට හොඳ කතාවක් මතක් වුණා. මේක ඩී. එස්. සේනානායක මහත්තයට වෙච්ච දෙයක්.

එතුමා එක වතාවක් අනුරාධපුරයේ ගියාලු. ඒ කාලේ ඉතින් මේ වගේ මාධ්‍ය නැහැනේ. තිබුණේ ලේක්හවුස් එක තමයි. ඬේලිනිවුස් එකේ ඡායාරූප ශිල්පියෙක් තමයි මේකේ මාධ්‍ය ආවරණ කටයුතුවලට ගිහින් තියෙන්නේ. මේ ඡායාරූප ශිල්පියාට ඕනේ වුණාලු ඩී. එස්. ගේ ෆොටෝ එකක් ගන්න. ඡායාරූප ශිල්පියා කැමරාව සූදානම් කරගෙන ෆොටෝ එක ගන්න යනකොටම ඩී. එස් ළඟ හිටපු පියන් කෙනෙක් කිට්ටු වෙනවලු.

කිට්ටුවෙලා ඩී. එස්. ගේ කනට කරලා අහනවාලු සර් මොනවද බොන්නේ කියලා. ඡායාරූප ශිල්පියා කැමරාව පාත් කරලා අමනාපයෙන් වගේ ඉන්නවලු. ආයෙත් වතාවක් කැමරාව අරගෙන ෆොටෝ එක ගහන්න යද්දිම පියන් ඩී. එස්ට කිට්ටු වෙලා අහනවලු සර් තේ බොනවද තැඹිලි බොනවද කියලා. ජායාරූප ශිල්පියාට හොඳටම පැහැදිලියි මොකක්ද මේ පියන් කරන්න යන්නේ කියලා.

ඊළඟ පාර ඡායාරූප ශිල්පියා කැමරාව අරගෙන සූදානම් වෙද්දිම පියන් ඩී. එස්ට කිට්ටු වුණාලු. කැමරා ශිල්පියා ටක් ගාලා කැමරාව පහත දැම්මලු. ඩී. එස්ට තේරුණාලු_ වැඬේ මොකක්ද කියලා. පියන්ට ළඟට කතා කරලා කිව්වලු පැත්තකට වෙලා ඉන්න කියලා. අන්න ඒ වගේ වැඩ වෙන්න ඉඩ තියන්න එපා බැසිල් පැහැදිලි කළේය.

කස්තුරි

rankasthuri@gmail.com