යහපාලන රජය බලයට පත්වූ 2015 වසරේ ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන මහා පරිමාන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම ජනපති විමර්ශන කොමිසමේ කාර්යභාරයයි.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන්කෝරළේ ආරච්චිගේ ප්‍රේමතිලක, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත්. ආර්. ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු කොමිසමේ අනෙක් සාමාජිකයෝ වෙති.

පසුගිය වසර හතරක කාලය ඇතුළත බලයේ සිටි සහ අදටත් බලයේ සිටින පුද්ගලයින්ටද, එම සමය ඇතුළත රාජ්‍ය සේවයේ නියැළී සිටි සහ අදටත් නියැළී සිටින පුද්ගලයින්ට ද, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ද, එල්ල වී තිබෙන වංචා, දූෂණ, අපරාධමය චේතනාවෙන් විශ්වාසය කඩකිරීම්, බලය සහ රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාදයන් අවභාවිතා කිරීම්, යනාදී චෝදනා විමර්ශනය කිරීම මෙම කොමිසමේ කාර්යභාරය වේ.

අභිනව කොමිසමට ලැබුණු ජනතා ප්‍රතිචාරය අපේක්ෂා කළ මට්ටමේ නොතිබිණ. ලැබුණු පැමිණිලි කිහිපයේ මූලික විමර්ශන කටයුතු මේ වන විට කොමිසම හා සම්බන්ධ කර තිබෙන පොලිස් කණ්ඩායම යටතේ සිදුවෙමින් පවතී. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා තිබෙන කොමිසමේ කාර්යාලයේ දී විමර්ශන කටයුතු නිල වශයෙන්ම ආරම්භ වනු ඇත්තේ එයින් පසුවය.

මාස තුනක් ඇතුළත මූලික වාර්තාවක් ද, මාස හයක් ඇතුළත අවසන් වාර්තාව ද, ඉදිරිපත් කරන ලෙසට නියම කර තිබෙතත්, අපේක්ෂා කළ තරමේ ජනතා ප්‍රතිචාරයක් කොමිසමට හිමි නොවීම ගැටලු මතුකරන්නකි. 

මෙවන් කොමිසම් හමුවට පැමිණ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාව අතර පැකිළිීමක් පවතින්නේ ද? විශේෂයෙන්ම අතීතයේදීත් මෙවැනිම කොමිසම් ඇති පිහිටුවන ලද, වංචා හා දූෂණ ඒවායින් විමර්ශනය කැරුණ ද, වාර්තා ඉදිරිපත් කැරුණ ද, ඉන් එහාට සිදුවූ දෙයක් නොමැත. 

ජනතාව පැකිළෙන්නේ මේ නිසා ද?

මේ තත්ත්වය සමාන කළ හැක්කේ ක්‍රිකට් තරගයකටය. විකට්ටුවේ සිටින වික්‍රමසිංහ මහතාගේ රජය වෙත ජනපතිවරයා කුමන සෙල්ලම් දමමින් පන්දුව එල්ල කළද, ඔවුන් එයට පහර දෙමින් සිටින්නේ හතරේ සීමාවටත් එහා යන ලෙසය. මෙයින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් වැදීමට ජනපති සිරිසේන මහතා ගන්නා උත්සාහය කිසිසේත්ම අවතක්සේරු කිරීමක් සිදුනොකරන නමුත්, පසුගිය වසර හතරහමාරක සමයේ ගැටලුවට නිසි පියවර ගැනීමකට වඩා සිදුවූයේ එකම දෙය නැවත නැවතත් සදහන් කිරීම පමණක් බව කිව යුතුය.

සන්ඬේ ටයිම්ස් හා පසුගිය සතියේ කළ සාකච්ඡාවේ දී, පොලිසිය ප්‍රතිසංවිධානය කරන බවත්, නීතිය හා සාමය ශක්තිමත් විය යුතු බවත් ජනපතිවරයා පැවසුවේය. ඔහුගේ මෙම අදහස්වලින් පැහැදිලි වන යථාර්ථය නම් එම වෙනස්කම් කළ යුතුව තිබුණේ මීට බොහෝ කලින් බවය. එසේ වූයේ නම් අද ඔහු මුහුණදෙන ගැටලු බොහෝමයක් උපන් තැනම නසා දමන්නට හැකිව තිබිණ. 

මැතිවරණ සමයේ දී මහා පරිමාන වංචා හා දූෂණවල යෙදී තිබෙන්නවුන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවට දුන් පොරොන්දුව මෙයට එක් උදාහරණයකි. දේශපාලනමය සහ වෙනත් කරුණු කාරණා නිසාම එම සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ විමර්ශන වලට නොයෙකුත් බාධා එල්ල විය. මේ අතර පොලිසියේ ඉහළම නිලධාරීන්ට චෝදනා එල්ල වෙමින් තිබෙන්නේ මනුෂ්‍ය ඝාතනවල යෙදී ඇති බවට සහ මිනීමරුවන්ට උපදෙස් ලබා දී තිබෙන බැව් සදහන් කරමිනි. 

පොලිසියේ සියලුම වැරදිවලට ජනපතිවරයාට දොස් පැවරිය නොහැකිය. පසුගිය වසරේ දී පොලිස් දෙපාර්තමේන්තුව පැවතියේ එක්සත් ජාතික පෙරමුණේ පරිපාලනය යටතේය. මුලින් සාගල රත්නායක මහතා යටතේ ක්‍රියාත්මක වූ එය පසුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා යටතට පත් කැරිණ. 

එක්සත් ජාතික පෙරමුණ යටතේ පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරයේ ප්‍රතිඵලයක් ලෙස පොලිසියට අදාළ වන එක්තරා ආයතනයක්, පොලිසිය යටතේ පැවැත්වෙමින් තිබූ ප්‍රධාන පෙලේ විමර්ශනයකින් අදාළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන තැනැත්තා යැයි හදුනාගෙන සිටි පුද්ගලයකු යටතට පත් කැරිණ. එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ඔහු සමග රාජකාරි කළ, මෙම සිදුවීමට හවුල් තවත් සැකකරුවකු රට පැන ගත්තේය. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් මෙම  පුද්ගලයා සෑම විටම කියා සිටියේ තමා රජයේ ප්‍රබල ආධාරකරුවකු බවය. 

පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමයේ ද ඔහු පෙනී සිටියේ එම රජයේ ආධාරකරුවකු ලෙසය. මෙය දේශපාලනයේ ප්‍රධාන දෙපාර්ශවයම සමග සබඳතා ඇති අයකු හමුවේ රටේ නීතිය ද දෙවැනි තැනට පත්වන බව පෙන්වන්නට හොදම උදාහරණයකි. එය ද රටේ බදු ගෙවන ජනතාවගේ කෝටි ගණනක් මුදල්වලට වගකිව යුතු පුද්ගලයකු සම්බන්ධවය.

විධායක අගමැතිවරයෙක්

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම අරබයා දේශපාලන ක්ෂේත්‍රයෙන් එල්ල වූ පීඩනයකට මුහුණදීමට ද ජනපතිවරයාට පසුගිය සතියේ සිදුවිය. විධායක ජනපතිධූරය අහෝසි කර ඒ වෙනුවට විධායක අගමැතිධූරයක් ඇති කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර නොනිල මට්ටමින් ඇතිව තිබූ සාකච්ඡාවක් මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වූ අතර, මේ පිළිබදව විස්තරාත්මක වාර්තාවක් පසුගිය සතියේ දේශපාලන තීරුවේ පළවිය. 

පක්ෂ නායකත්වයේ ආශිර්වාදය ලැබ දෝ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ කිහිපදෙනෙක්ම මෙම අදහසට පක්ෂව පුවත් සාකච්ඡා කිහිපයකදීම අදහස් දැක්වූහ.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මේ පිළිබදව පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනපති සිරිසේන මහතාගෙන් විමසා සිටියේය. සියලු දේශපාලන පක්ෂවලට එවැනි වුවමනාවක් තිබේ නම් තමාද විධායක අගමැතිවරයකුට කැමැති බව ඔහුට ලැබුණු පිළිතුර විය. මේ සම්බන්ධයෙන් සමරවික්‍රම මහතා, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව දැනුම්වත් කළේ ය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා හා ජනපති සිරිසේන මහතා අතර හමුවක් පසුගිය පෙබරවාරි මස 20 වැනිදා පැවැත්විණ. මේ සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමු කළ ඔහු, බලය බෙදා හැරීමට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද අදහස් පළකළේ ය. අගමැති වික්‍රමසිංහ මහතා සමග හෙට දිනයේ පාර්ලිමෙන්තුවේ දී තමා ඔහුව හමුවන බව ජනපතිවරයා සම්බන්දන් මහතාට දන්වා සිටියේය. 

පසුදින තිදෙන හමුවී උද්ගතව තිබෙන ගැටලු ගැන සාකච්ඡා කළ අතර, වැඩි සහභාගීත්වයක් සහිත තවත් හමුවක දී මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට එහි දී තීරණය විය. එම සාකච්ඡාවට දින නියම වූයේ පෙබරවාරි මස 27 වැනිදාටය. එම හමුව පැවැත්වුණේ ජනපති ලේකම් කාර්යාලයේදීය. ආරාධනා ලැබ සිටි ඇතැම් එය එහි පැමිණ නොසිටි අතර, ඔවුන් අතරින් ජාතික හෙළ උරුමයේ නායක පාඨළී චම්පික රණවක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධාන විය. 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ගයක් කියා සිටියේ එවැනි ආරාධනයක් මහින්ද රාජපක්ෂ මහතාට නොලැබුණු බවය. කෙසේ වෙතත් රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ෆයිසර් මුස්තාපා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරු 27 වැනිදා රැස්වීමට පැමිණ සිටියහ.

විධායක ජනපතිධූරය සහ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සම්බන්දන් මහතා දැක්වූ අදහස් ඉතාම උණුසුම් විවාදයකට මුල පිරුවේය. අනතුරුව සාකච්ඡාවේ අවධානය යොමු කැරුණේ බලය බෙදීමේ විෂයටය.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අදහස් දැක්වූ එදින එම හමුවට සහභාගීව සිටි එම්.එ.සුමන්තිරන් මහතා සන්ඬේ ටයිම්ස් හා මෙසේ පැවසුවේය.

“සාකච්ඡාව පැවැත්වුණේ යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. විධායක ජනපතිධූරය අහෝසි කිරීම සහ මැතිවරණමය ප්‍රතිසංස්කරණ යන විෂයයන් ගැන එක්වරම නිගමනයකට එන්න පුලුවන්කමක් නැති නිසා ඒ දෙක පැත්තකින් තියලා අපි බලය බෙදීම ගැන සාකච්ඡා කළා.”

“2015 ජනපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කර නොමැති බව අපි ජනපතිවරයාට පෙන්වා දුන්නා. ඒ හමුවේ ආචාර්ය සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, වෛද්‍ය රාජිත සේනාරත්න සහ මා ඇතුලු සිව්පුද්ගල කමිටුවක් පත්කරපු ජනපතිවරයා වහාම අවධානය යොමුකළ යුතුව තිබෙන ගැටලු හඳුනාගෙන, ඒ සම්බන්ධයෙක් සකස් කරන වාර්තාවක් ඊළග රැස්වීමට පෙර යොමුකරන ලෙසට උපදෙස් දුන්නා” යයි පැවසීය. 

අනෙක් අය නොපැමිණ සිටි නිසාම මෙය ජනපති ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයට පමණක් සීමා වන කටයුත්තකි. කොපමණ දුරකට එය සාර්ථක වනු ඇතිද යන්න ගැන ගැටලු ඇතත්, යම් වැදගත්කමක් එය සතුව පවතින බව සදහන් කළ යුතුය.

ජිනීවා ක්‍රියාවලිය

රටේ මෙවැනි වාතාවරණයක් පවතින්නේ ජිනීවාහි පැවැත්වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්හි දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කැරෙමින් පවතින අතරවාරයේදීය. ඇමරිකාවේ අනුග්‍රහයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාව දක්වා තිබෙන සම අනුග්‍රහය, ඇතැම් විට ඉවත් කර ගැනෙනු ඇති බව පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් ජනපති සිරිසේන මහතා පැවසුවේය. නමුත් ශ්‍රී ලංකාව දරමින් සිටින ස්ථාවරයේ වෙනසක් සිදුව තිබෙන බවක් මේ දක්වාම පෙනෙන්නට නැත. 

ජනපතිවරයාගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් ප්‍රතිචාර දැක්වීමක් නොකළත්, ජිනීවා ක්‍රියාවලිය වෙනුවෙන් පෙරමුණේම සිට පෙනී සිටි, බි්‍රතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදය ජනපති සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා විවේචනය කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබිණ.

ජනපතිවරයාගේ ප්‍රකාශය ඉතාම දැඩි ලෙස විවේචනය කර තිබූ එයින් ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රියාවලීන්ගෙන් දුරස් කිරීමට පියවර ගැනෙමින් තිබෙන්නේදෝයි ප්‍රශ්න කර තිබිණ. එක්සත් ජාතීන් යටතේ නිසි අධ්‍යනයකට ලක් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව නිදහස් කිරීම, දෙමළ ජනතාව තව තවත් කොන්වීමට මාර්ගය පාදා දෙනු ඇතැයිද, අන්තර්ජාතික අපරාධ මර්දනය කිරීමෙහි ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතීතයේ දී දැක්වූ අසමර්ථභාවය වර්තමානයට ගෙන ආ නොදී, එවැනි අසමර්ථභාවයන් නැවත සිදුනොවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කර තිබෙන ක්‍රියාවලීන් ශ්‍රී ලංකාවට මෙසේ නිදහසක් ලබා දීම හමුවේ හෑල්ලුවට ලක්වනු ඇතැයි ද, අනෙක් අතට අන්තර්ජාතික මට්ටමේ අපරාධවල යෙදීමේ ගැටලුවක් නැතැයි අනිසි පණිවුඩයක් ලෝකයට ලැබෙනු ඇතැයිද එහි දක්වා තිබිණ.

අවසානයට අනතුරු ඇගවීමක් ද සිදුකර තිබූ එම ප්‍රකාශයේ සදහන්ව තිබුණේ දුන් පොරොන්දු කඩ කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින්නේ නම්, ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට , එනම් අන්තර්ජාතික අපරාධවලට වගකිවයුත්තන්ට වෙනත් රටවලට පිවිසීමේ අවසරය ලබා නොදීමටත් ආර්ථිකය සහ ආරක්ෂක කටයුතු ඉලක්ක කරගත් සීමා පැනවීමත්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් කටයුතු කළ යුතුව තිබෙන බවය.

මෙම සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්ට සහභාගීවීම සදහා මෙරටින් අමාත්‍ය මණ්ඩල දූත පිරිසක් පිටත් වන්නේ නැත. එම සියලුම කටයුතු මෙහෙයවනු ඇත්තේ එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා ඇතුලු ඔහුගේ කාර්යමණ්ඩලයයි.