තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

අග්නිදිග සරසවියේ පරිපාලන අවුල පිළිබඳ පසුගිය වසරේ අගෝස්තු 23 වැනි දා බදාදා සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කළෙමු.   කළමනාකරණ පීඨය හා පරිපාලනය සමඟ පැවැති එම අවුල විසඳී ඇතත් තාක්ෂණ පීඨය හා පරිපාලනය සමඟ ඇති ආරවුල මේ වන විට බොහෝ සෙයින් උත්සන්න වී ඇත.

පරිපාලන අවුල විසඳීම සඳහා නිසි බලධාරියකු පත් කිරීමට ද උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සිදු විය. එසේ වුවත් තවමත් එම ගැටලූවලට විසඳම් ලැබී නැත. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කෙරෙනුයේ තවමත් නොවිසඳුණු අග්නිදිග සරසවියේ  තාක්ෂණ පීඨයේ අර්බුදය ගැනයි.

ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාලයක තාක්ෂණ පීඨයක් මුල් වරට ආරම්භ වූයේ අග්නිදිග සරසවියේය. ඒ 2016 ජුනි මස 29 වැනි දා තම අංක 1973/28 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුවය. උසස් අධ්‍යාපන හා මහාමාර්ග හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා තිබිණි.

ඒ අනුව 2016 වසරේ දෙසැම්බර් 05 වැනි දා එම පීඨයේ වැඩ කටයුතු ආරම්භ විය.  උපකුලපති මහාචාර්ය එම් එම් එස් නජීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කෙරෙණු තාක්ෂණ පීඨයට මුලින්ම තෝරා ගත් සිසුන් සංඛ්‍යාව 160කි. ඒ පාඨමාලා දෙකක් සඳහාය. කෘෂි තාක්ෂණ උපාධිය සඳහා සිසුහු 85 දෙනෙක් ද, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාධි පාඨමාලාව සඳහා සිසුහු 75 දෙනෙක් ද මුලින් ඇතුළත් කර ගනු ලැබූහ.

ආරම්භක උත්සවයේ දී පළමු කණ්ඩායමේ පිරිස අමතමින් උපකුලපති මහාචාර්ය නජීම් මහතා මෙසේ ද කීවේය. (උපුටා ගැනීම විශ්ව විද්‍යාලයීය වෙබ් අඩවියෙනි)

‘‘හැම විදියකින්ම වදහිංසා පීඩාවලින් ඔබ නිදහස්. කිසිම කරදරයකට ලක්වෙන්නේ නෑ. මේ විශ්ව විද්‍යාලය ලංකාවේ සුන්දරම පරිසරයක පිහිටා ඇති විශ්ව විද්‍යාලයක්. පැත්තකින් මුහුද, පැත්තකින් ගංගාවක්, තවත් පැතිවලින් වගාවන් සහ කුඹුරු. අධ්‍යාපනයට ඉතාමත් හිතරකර පරිසරයක් මෙහි තිබෙනවා. විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන්ට අරමුණු කිහිපයක් තිබෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ විය යුත්තේ අධ්‍යාපනයයි. දැනුම වැඩිදියුණු කර ගැනීමයි. මවුපියන්ගේ අරමුණු ඉටු කිරීම. ’’ යැයි උපකුලපතිවරයා කියා තිබිණි.

තාක්ෂණ පීඨය ස්ථාපිත කෙරුණේ ඔලූවිල්හිය. ස්ථිර ස්ථානයක් සකස් කරන තුරු තාවකාලික ස්ථානයක් ලෙස වෙනත් ආයතනයකට අයත් ගොඩනැගිල්ලක තාක්ෂණ පීඨය ආරම්භ විය. ආරම්භයේ සිට සිසු අධ්‍යයන කටයුතුවල කිසිදු ගැටලූවක් නැතිව නියැලූණහ. ගැටලූව පටන් ගත්තේ 2017 වසරේ අපේ‍්‍රල් වන විටය.

සිසුවියන් සායවල් සහ හැට්ටවලින් සැරසී දේශන සඳහා සහභාගී වෙද්දී පාලනාධිකාරිය ඊට තහංචි පැනවීය. ඔවුන් දන්වා තිබුණේ සායවල් වෙනුවට ඩෙනිම් කලිසම්වලින් සැරසී දේශන සඳහා සහභාගී වන ලෙසයි. සිසුන්   සෙරප්පු පැළඳ දේශනවලට සහභාගී වීම ගැන ද විරෝධතා පැමිණි අතර විශ්ව විද්‍යාලයෙන් දැනුම් දුන්නේ සපත්තු පැළඳ පැමිණෙන ලෙසයි. පහසුව තකා සිසු සිසුවියෝ දිගටම සුපුරුදු ඇඳුමෙන් දේශනවලට සහභාගී වූහ.

එම සිද්ධිය මුල් කර ගනිමින් 2017 අපේ‍්‍රල් 25 වැනි දා තාක්ෂණ පීඨය වසා දැමිණි. ඒ සතියක කාලයක් සඳහා ය. සිසු සිසුවියන් දේශන සඳහා පැමිණියේ නිර්වස්ත‍්‍රව නොවන අතර සෙරප්පු පැළඳගෙන ඒමට සහ සිසුවියන් සායවල් ඇඳගෙන ඒමට යැයි කියමින් විශ්ව විද්‍යාලයක් වැනි නිදහස් මනසකින් අධ්‍යාපනය හදාරන ස්ථානයක නීති පැණවීම කොයි තරම් සදාචාර සම්පන්නද යන්න ප‍්‍රශ්නයකි.

අග්නිදිග තාක්ෂණ සිසුහුද එයම ප‍්‍රශ්න කළහ. නවක වදයේදී   ඇඳුමට නීති දැමීම ගැන කතා කරන සමහරු මෙම සිද්ධිය ගැන කතා නොකළහ. එලෙස බලද්දී නවක වදය දෙන සිසුන් සහ මෙවැනි නීති දමන විශ්ව විද්‍යාල බලවතුන් අතර ඇති වෙනසක් නැත.

මේ අතර තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා 2017 අපේ‍්‍රල් 17 වැනි දා තමින්‘ ‘දේශන තාවකාලිකව නතර කිරීම සම්බන්ධව’ මැයෙන් දෙමාපියන් වෙත ලියුමක් යොමු කළේය. එම ලිපිය මෙසේය.

‘‘ඔබ දැනටමත් දන්නා පරිදි අප විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කර දැනට මාස පහකට ආසන්න කාලයක් ගත වී ඇත.

සිසු සිසුවියන් විශ්ව විද්‍යාලයට ඇතළත් වූ දිනයේ සිට දැනුම්වත් කිරීම් කළද තවමත් ඔවුන් නවක වධය සදඟා වෙනත් පීඨවල සිසුන්ට සහයෝගය දක්වමින් සිටින බව පැහැදිලිව දක්නට ලැබේ. මින් පෙරද නවක වධය මෙහෙයවීම සඳහා සෘජුවම සම්බන්ධ වූ සිසුන්ගේ මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසු එම තත්ත්වය පාලනය කරන ලදී.

නමුත් පසුගිය සති දෙකක කාලය තුළ සමහරක් සිසුන් නවක වදයට සෘජුවම සහයෝගය දෙමින් සිටින බව පැහැදිලි වන අතර අප විසින් එසේ නොකරන ලෙස කොතෙකුත් අවවාද කළද ඔවුන් දිගින් දිගටම වෙනත් පීඨවල සිසුන් හට නවක වධය සඳහා සහයෝග දක්මින් අප පීඨයේ සිසුන් පීඩනයට පත් කරමින් සිටී. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා චක‍්‍රලේඛ 946 අනුව නවක වධය සඳහා සහාය දීමද දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම නිසා සිසුන්ට එල්ල වී ඇති පීඩනය දේශන කටයුතු සඳහා බාධාවක් වී ඇති බැවින් සිසුන් සාමාන්‍ය පරිදි කටයුතු කරන තෙක් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී සිටීමට ආචාර්ය මණ්ඩල තීරණය කර ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.’’ ඒ තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා යොමු කළ ලිපියකි.

නවක වදය යනු විශ්ව විද්‍යාලවලින් තුරන් කළ යුතු තත්ත්වයක් බව සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් 2017 දෙසැම්බර් 27 වැනි දා කරුණු කාරණා සහිතව අනාවරණය කළෙමු. අග්නිදිග සරසවියේ සිසුන් ද නවක වධයට සහයෝගය දක්වා ඇත්නම් නීති ප‍්‍රකාරව කටයුතු කළ යුතුය. නමුත් එය පෞද්ගලික පළිගැනීමක් විය යුතු නැති අතර සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ඇහිරෙන ද`ඩුවමක් ද විය යුතු නැත. නවක වදය දුන්නායැයි සනාථ කිරීමට සාක්කි ඇත්නම් අපරාධ නීතිය යටතේ ඒ සම්න්ධයෙන් කටයුතු කළ හැකිය.

මේ අතර 2017 අපේ‍්‍රල් 26 වැනි දා පාන්දර වාද්‍ය භාණ්ඩ යොදා ගනිමින් මත්පැන් පානය කරමින් ගීත ගැයුවා යැයි කියමින් සිසුන් පස් දෙනකුට මාස තුනකට අධික කාලයයක පන්ති තහනමක් ලබා දුන් අතර සිසුන් හත් දෙනකුට චෝදනා පත‍්‍ර ලබා දුනි. ශිෂ්‍යයන් කියනුයේ එවැනි සිදුවීමක් සිදු නොවූ බවයි. චෝදනාවට ලක්වූ එක් සිසුවකු අදාළ දිනයේ නිවසට ගොස් සිටි බවත්, මෙම සිද්ධියට දින දෙකකට පෙර වෙනත් පීඨයකින් සංවිධානය කළ පාගමනකට සිසුන් සහභාගී වී ඇති බවත්,  එම නිසා බොරු චෝදනා දමා සිසුන්ට දඬුවම් කළ බවත් සිසුහු පවසති.

මේ ප‍්‍රශ්න අස්සේ සිසුන්ගේ විභාග ආරම්භ විය. තාක්ෂණ පීඨ සිසුන්ට ප‍්‍රවේශපත් නිකුත් කැරුණේ 2017 ජූලි මාසයේය.  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පළමු සෙමෙස්තර විභාගයට අදාළ විෂයන් ගණන 10කි. ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාවේ පළමු සෙමෙස්තරයට අදාළ විෂයන් ගණන 11කි. නමුත් පැමිණීමේ ගැටලූවක් යැයි කියමින් සිසුන්ට විභාගයට මුහුණ දීමට අවස්ථාව තිබුණේ විෂයන් කිහිපයකට පමණි.

සියලූම විෂයන්වලට ලිවීමේ හැකියාව ලැබී තිබුණේ සමස්ථ සිසුන්ගෙන් සියයට 10කට පමණ වූ පිරිසකට පමණි. විෂයන් හතකට වාඩි විය හැකි ශිෂ්‍යන් සිටියේ තිදෙනකු පමණි. එක් විෂයකට පමණක් වාඩි විය හැකි සිසුහු 14ක් සිටියහ. විෂයයන් දෙකකට පමණක් වාඩි විය හැකි සිසුහු 15ක් සිටියහ. මේ ආකාරයට සිසුන් විශාල පිරිසකට විෂයන් කිහිපයකටම පෙනී සිටීමේ අවස්ථාව ඇහිරිණි. සිසුන් ප‍්‍රකාශ කළේ තමන් නිසි පරිදි දේශනවලට සහභාගී වුවත් පැමිණීමේ සටහන් නොතිබුණු බවයි.  පැමිණීමේ වාර්තා දැන්වීම් පුවරුවල ප‍්‍රදර්ශනය නොකිරීම නිසා පැමිණීමේ ප‍්‍රතිශත සැකසූ ආකාරය ගැන සැක සංකා මතුවන බව සිසුහු කියති. මෙම ගැටලූවත් සමඟ සිසුහු විභාග වර්ජනය කරමින් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට තීරණය කළහ.

තාක්ෂණ පීඨයේ සිසුවකුට නවක වධය දුන්නායැයි කියමින් සිසුන් පිරිසකට එරෙහිව පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර ඔවුන්ගේ පන්ති තහනම් කිරීමට පාලනාධිකරිය පිවර ගත්තේය. නවක වධය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක විය යුතු බව සැබෑය. ඒ සඳහා වෙනමම පනතක් ද තිබේ. නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබුණේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කර අධිකරණමය ක‍්‍රියාදාමයකට යෑමට අවකාශය තිබුණු නමුත් අග්නිදිග සරසවියේ මේ ප‍්‍රශ්නයේදී සිදුවූයේ සිසුන්ගේ ඉගෙනීමේ අයිතිය කප්පාදු වීමය. ඒ ද නිසි විමසුමකින් තොරවය.

මේ අනුව ලංකාවේ පළමු තාක්ෂණ පිඨයේ ප‍්‍රථම වසර තුළ පමණක් සිසුන් 29 දෙනකුට පන්ති තහනම් පැනවිණි. සිසුන් හය දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කෙරිණි. මේ ක‍්‍රියාදාමයේ අවසන් ප‍්‍රතිඵලය වූයේ ශිෂ්‍යන්ට සෙමෙස්තර විභාග දෙකක් අහිමි වීමය.

සිසුන්ට චෝදනා පත‍්‍ර ලබා දී විනය පරීක්ෂණයක් පැවැත්වූ අතර එම මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකුම තාක්ෂණ පීඨයේ ආචාර්යවරුන් වීම සම්බන්ධයෙන් සිසුහු විරෝධය පළ කළහ. එම දෙදෙනා මීට පෙර සිසුන්ට එරෙහිව කතා කළ අය වීම නිසා සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බව සිසුහු කීහ.  කෙසේ වුවත් විරෝධයෙන් පළක් නොවූ අතර අවසානයේ පෙර සඳහන් කළ පරිදි ශිෂ්‍ය භාවය අහෝසි කිරීම දක්වා වූ විනය පියවර ගෙන තිබිණි. එය හරියට ගමේ ගොඬේ භාෂාවෙන් කියතොත් හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩකි. සාධාරණ පරීක්ෂණයක දී සිසුන්ගේ පාර්ශ්වයෙන් කරුණු කියන්නට අවස්ථාව ඇතත් අග්නිදිග සරසවියේ පරීක්ෂණවලදී සිසුන්ට එලෙස අවස්ථාව ලැබුණේ නැත. 

තවත් අවස්ථාවක සිසුන්ගෙන් යළි විරෝධතා නොපවත්වන බවට දිවුරුම් ප‍්‍රකාශ ඉල්ලා තිබුණු අතර ඊට එරෙහිව සිසුහු  මානව හිමිකම් කොමිෂන් සභාවට ගියහ. අවසානයේ දිවුරුම් ප‍්‍රකාශ ගැනීම නැවතුනේ මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ අනුවය.

ඔලූවිල් තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති මලින්ද ලක්ෂාන් ශිෂ්‍යයා මේ ගැටලූ ගැන අදහස් දක්වමින් මෙසේ කීවේය. 

‘‘අපේ විරෝධතාවට දැන් දවස් 210ක් විතර.  නමුත් අපේ ප‍්‍රශ්නයට තවම විසඳුමක් ලැබිලා නෑ. අපේ උපකුලපතිත්, අලූතෙන් පත් කරලා ආපු නිසි බලධාරියාවත් මේ ප‍්‍රශ්නයට තවම විසඳුමක් ලබා දීලා නෑ. අපි දැනුම්වත් කළ යුතු පාර්ශව සියල්ලන්වම දැනුම්වත් කළා. ඒත් ඒ හැම ප‍්‍රශ්නයක්ම පරිපාලනයෙන් වසා දමනවා.  ළමයින්ට   ලොකු අසාධාරණයක් සිදුවෙලා තියෙනවා.  තවමත් අපි මෙතෙක් පැවති කිසිම විභාගයකට පෙනී ඉඳලා නෑ.    පළමු වසර සිසුන් ලෙස දඩුවම් විශාල ප‍්‍රමාණයක් ලබපු එකම විශ්වවිද්‍යාලය මෙය වෙන්න ඇති.

ළමයින්ට මහපොළ නැතිවෙලා තියනවා.  අපි දේශපාලනය කරන්නෑ. අපි මේක ඇතුළේ භීෂණ කරන්න ආවෙ නෑ. අපි ආවෙ ඉගෙන ගන්න.  මෙයාලා අපිව හිරකරන්න හදනවානම් එහෙම ඉන්න අපිට බෑ. මොකද අපි එන්නෙ සරසවියකට අනිත් කැම්පස් වල වගේ ඉන්න. මේක ඒවට වඩා වෙනස්. රටේ වගකිවයුතු පාර්ශවයන් ගෙන් අපි ඉල්ලන්නෙ සිසුන්ගෙන් පාර්ශවයන් මේ ප‍්‍රශ්නය දකින්න. මෙතන අම්මලා තාත්තලා විශාල පිරිසකගේ ළමයි ඉන්නෙ. එයාලගේ හීනයි මේ විනාශ කරලා දාන්න හදන්නේ. .දැන් අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් වෙන්න එනව තවමත් නිසි පියවරක් නෑ. මානව හිමිකම් එකෙන් පවා කියල තියනව ළමයින්ට මේ වගෙ අසාධාරණකම් කරන්න එපා කියලා. එත් ඒවා තවමත් ඒ විදිහටම සිදු වෙමින් පවතිනවා. 

අපි ඉල්ලන්නේ මේ ප‍්‍රශ්න ඉක්මනින් විසඳා නිදහසේ අධ්‍යාපනය කරගෙන යෑමට අවස්ථාව සලසා දෙන ලෙසයි.’’ යැයි ලක්ෂාන් ශිෂ්‍යයා කීවේය.

මෙම ඉල්ලීම අවස්ථා ගණනාවකදී අදාල පාර්ශ්වයන්ට ඉදිරිපත් කළත් පළක් වී නැති සිසුහු කියති.

ඔලූවිල් තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය නියෝජිතයකු වන යුක්ති ඉසුරංග ශිෂ්‍යයා මෙම ගැටලූව ගැන අදහස් දක්වමින් මෙසේ කීවේය.

‘‘අපි මේ විශ්වවිද්‍යාලයට එන්නෙ රටේ විවිධ පැති වලින්. අනික එන සියලූ දෙනාම එන්නේ විවිධ කම්කටලූ බාධක මැද්දෙ. අපි තමයි   විශ්ව විද්‍යාල ඉතිහාසයේ පළමු මුවරට තාක්ෂණය කියන විෂය හදාරන්න පිවිසුණු කණ්ඩායම. ඉතින් මුලින්ම අධ්‍යාපනය හැදෑරීමට ඇවිල්ලා අවසානයටම විශ්ව විද්‍යාලයෙන් වලින් පිට වෙන්න වෙලා තියන්නෙත් අපිටමයි.

අපි ආපු දවසෙ අපිට කිව්ව කිසිම දෙයක් දැන් අපිට නැති වෙලා තියනවා. අපිට මවා පෙන්නුවේ තවත් එක පේරාදෙනියක්. ඒත්  අද අපිට මහපොලවත් නැති වෙලා තියනවා. කන්න ආපන ශාලාවක් නැති වෙලා තියනවා. තිබ්බත් ඒවයෙ මිල ඉතාම ඉහළයි. ඒ වගේ ප‍්‍රශ්න ගොඩක් මැද්දේ අපහසුකම් ගොඩක් මැද්දේ තමයි අපි මෙතෙක් දුරට හරි අධ්‍යාපනය හදාරන්න උත්සාහ කළේ.   මේ වෙද්දි බරපතළ විදිහට ශිෂ්‍ය මර්දනයකට ලක් වෙලා තියෙනවා. පොදු ප‍්‍රශ්නයකට හඬ නැගුවොත් අපිට ලැබෙන්නේ ඊට පහුවෙනිදම චෝදනා පත‍්‍ර සහ අවුරුදු ගණන් පන්ති තහනම්. නැත්තම් ශිෂ්‍යභාවය අහෝසි කිරීම්.

ඒ විශ්ව විද්‍යාලය පෙර පාසලකට හපන් විදිහට ශිෂ්‍යයන්ව පාලනය කරනවා නම් දැඩි නීති පනවනවා නම් ශිෂ්‍යයන්ට බෑ තව දුරටත් ඒවා දරාගෙන ඉන්න.  මේ ප‍්‍රශ්න දුරදිග නොයවා කඩිනම් විසඳුමක් ලබාදී පීඨයේ කඩිනමින් යථා තත්වයට පත්කර දෙන ලෙස රටේ වගකිව යුතු පාර්ශව  සියල්ලන්ගෙන්ම අප ඉල්ලා සිටිනවා.’’ යැයි ඔහු පැවසීය.

 

සෑම ශිෂ්‍යයකුටම ඉගෙනීමට ඇති අයිතිය කප්පාදු කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනයට නොහැකිය. නමුත් අග්නිදිග සරසවියේ දිගින් දිගටම සිදුවී ඇත්තේ එයයි. ශිෂ්‍යයන් ශිෂ්‍යයන්ට නොගැලපෙන දේ කරනවා නම් ඊට දඬුවම් කිරීමේ අයිතිය ඇත. ඒ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය උදුරාගෙන නොවේ. මේ ප‍්‍රශ්න තවදුරටත් දුරදිග යෑමට ඉඩ දිය යුතු නැත. එය කල්තියා වැළැක්වීම බලධාරීන්ගේ වගකීමකි.

 

 

‘අමාත්‍යංශයෙනුත් පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි’

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි

‘‘අග්නිදිග විශ්ව විද්‍යාලයේ ප‍්‍රශ්නයට නිසි බලධාරියෙක් පත් කරලා තියෙනවා. අමාත්‍යංශය පැත්තෙනුත් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක වෙනවා. නවක වද ප‍්‍රශ්නයක් නිසානේ මේ ගැටලූ ඇති වෙලා තියෙන්නේ. නවක වදය දීලා අහුවුණොත් දඬුවම් ලබාදිය යුතුයි. එහෙම නැතිව පාලනය ගෙන යන්න බැහැනේ. අනිත් ළමයින්ට ප‍්‍රශ්නයක් වෙන්න දෙන්නත් බෑ. නවකවදය දීලා පන්ති තහනම් කළාම එයාලා ස්ට‍්‍රයික් කරනවා. ඒකෙන් එයාලටම තමයි පාඩු වෙන්නේ.

 

ප‍්‍රශ්නය -   සිසුන් කියන්නේ නවක වදය දුන්නා කියන්න සාක්කි නැති බවයි?

පිළිතුර - සාක්කි නැතැයි කිව්වට බැහැනේ. අමානුෂික නවකදය නැවැත්විය යුතුයි. එකට දඬුවම් කළාම ස්ට‍්‍රයික් කරලා වැඩක් නෑ.’’

 

 

‘ප‍්‍රතිපාදන කොමිසමෙන් ක‍්‍රියාමාර්ග ගන්නවා’

රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ති විජේතුංග

‘‘අග්නිදිග සරසවියේ සිසුන්ගේ ගැටලූවක්නේ  තියෙන්නේ. ඔය ප‍්‍රශ්නය ගැන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවශ්‍ය පියවර ගන්නවා. ’’

මේ සම්බන්ධයෙන් විමසීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා , අග්නිදිග සරසවියේ නිසි බලධාරිනිය සහ අග්නිදිග සරසවියේ ලේඛකාධිකාරීවරයා සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවකම උත්සාහ කළද එය අසාර්ථක විය.

 

පරීක්ෂණය ස්වභාවික යුක්තියේ මූලධර්මවලට අනුකූල විය යුතුයි

නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ

 

‘‘මුලින්ම යම් චෝදනාවකට තාවකාලිකව දඬුවමක් විදියට විශ්ව විද්‍යාලයට පැමිණීම වලක්වන්න පුළුවන්. ඉන් පසු සාධාරණ කාලයක් ඇතුළත ඒ සිසුන්ට චෝදනා පත‍්‍රයක් දීලා විනය පරීක්ෂණ ආරම්භ කළ යුතුයි.

විනය පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් ගැන විරෝධතාවක් ඇත්නම් එහ ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වභාවික යුක්තියේ මූලධර්මවලට අනිවයි විනය පරීක්ෂණය තැබිය යුත්තේ.  මේ පරීක්ෂණයේ දී චෝදනාවට ලක්වෙලා තියෙන සිසුන්ට විරුද්ධව තියෙන චෝදනා අනිත් පාර්ශ්වයෙන් ඔප්පු කළ යුතුයි. ඒ සඳහා ලේඛන තවත් සාක්කිකරුවන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට සහ තමන්ගේ පාර්වයෙන් කරුණු කියන්න චෝදනාවට ලක්වෙන ශිෂ්‍යයන්ට හැකියාව තිබෙනවා.

මේ විදියට දෙපැත්තෙන්ම හරියට කරුණු අහලා චෝදනා ඔප්පුවෙනවා නම් දඬුවම් නියම කරන්න පුළුවන්. චෝදනා ඔප්පු නොවී අසාධාරණ විදියට දඬුවම් දීලා තියෙනවා නම් අභියාචන ක‍්‍රියාවලියකට යොමු වෙන්න පුළුවන්. මේ ආශ‍්‍රිත උප නීති විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස්. පොදුවේ මේවාගේ තමයි විනය පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ. අසාධාරණ තීන්දුවක් දීලා තියෙනවා නම් එය වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට යන්න පුළුවන්. එසේත් නැතිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරලා තියෙන මූලික අතියිවාසිකම් කඩවීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකියි.’’