කොළඹ මාලිගාවත්තේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය පිටුපස පොදු ළිඳක දමා තිබූ කඩු 58ක් පිහි 52ක් සහ පිස්තෝලයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේ ය.

අතීතයේ දී මේ රට හැඳින් වුණේ ධාන්‍යාගාරය ලෙසිනි. එහෙත් දැන් මේ රට හැඳින්වීමට සිදුවී තිබෙන්නේ අවි ගබඩාවක් ලෙස ය. ඉකුත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට පුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම්වලින් සොයා ගන්නා අවි තොග නිසා එම නම මෙරටට දැන් කදිමට ගැළපේ.

මාලිගාවත්තෙන් සොයා ගත් අවි තොගය අතර ඉටි ආවරණ ඉවත් නොකළ නවීන කඩු 46ක් පරණ කඩු 12ක් ඇතුළත් ය. නවීන කඩු චීනයෙන් ආනයනය කර ඇතැයි ආරක්‍ෂක අංශ පවසයි. එම අවිවලට අමතරව අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ සංයුක්ත තැටි 26ක් ද සොයාගත් බව අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය.

මෙම අවි ජනාකීර්ණ මාලිගාවත්තේ පොදු ළිඳක පතුලට ආවේ කෙසේ ද? අප්‍රේල් 21 වැනි දිනට පෙර ගත වූ අවුරුදු තුන හතර ඇතුළත මාලිගාවත්ත ප්‍රදේශය ද ඇතුළත්ව කොළඹ නගරයේ පාතාල කල්ලි අතර ගැටුම් ඇවිළී ගියේ ය. ඒ සෑම අවස්ථාවක දී ම පොලිස් මෙහෙයුම් දැඩි විය. මුරකාවල් යෙදිණි.

පාතාලයට අමතරව කුඩු ජාවාරමට එරෙහිව ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක විය. ඇතැම් මෙහෙයුම් විමතිය දනවන තරමට සූක්‍ෂම විය. ඒ තර කළ ආරක්‍ෂක විධි විධාන තුළ අවි, කුඩු නොව මැස්සෙකුට හෝ පියඹා යා නොහැකි යැයි සාමාන්‍ය ජනයා සිතුවේ නම් එය විමතියට කාරණයක් නොවේ.

ප්‍රබන්ධයට වඩා සත්‍ය බලවත් බවට කියමනකි. අද යථාර්ථය බවට පත්වී තිබෙන්නේ ඒ බලවත් වූ සත්‍යය ම ය. ඒ සත්‍ය බිහිසුණු ය. ඇඟ ලොමු ඩැහැ ගන්වන සුළු ය. මායාවේ තිරයට මුවා නොවී සංහිඳියාවේ වහන්දරාවට මුවා නොවී ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු විවිධ නාම පුවරුවලට ආවරණය නොවී ඒ බලවත් සත්‍ය එයට හිමි නිසි අරුතෙන් හඳුනාගත යුතු පැය එළැඹ තිබේ.

හඬා බසින මහා ගංගාවක් බවට පත්ව මහ සයුරට එකතු වන්නේ පුංචි දිය උල්පතකින් නික්මෙන පුංචි දිය බිංදුවකි. අද කඩු කිණිසි හරහා ඇරඹෙන උමතුව හෙට යුද ටැංකි දක්වා වර්ධනය වීමේ අනතුර හඳුනා ගත යුතු ය. ගල්කටස් ගිනි අවියෙන් වැඩ ඇරඹූ එල්.ටී.ටී.ඊ. සංවිධානය අභාවයට යන විට මහා සන්නද්ධ බලයක් නිර්මාණය කර ගැනීමට සමත් විය. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ අමතර වශයෙනි. රට සියවස් ගණනාවක් ආපස්සට රැගෙන යාමට එම යුද්ධය සමත් විය. ඒ වෙනුවෙන් අපි තවමත් වන්දි ගෙවමින් සිටිමු.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත විය යුත්තේ එහෙයිනි. දිනක් දිනක් පාසා වාර්තා වන සිදුවීම්වලින් පැහැදිළි වෙන්නේ ජාතික ආරක්‍ෂාව ඈලියාවට ගොස් තිබූ බවය. සැබැවින් ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සෙවීමට සඟවා ඇතැයි කියන, රත්තරන් සෙවීමට තිබූ උනන්දුවවත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් තිබූ බවක් නොපෙනේ. එය එසේ වූයේ නම් මාලිගාවත්තෙන් මෙතරම් කඩු තොගයක් හසුවීමට ඉඩක් නැත. කොම්පඤ්ඤවීදියෙන් කඩු හමුවීමට හැකියාවක් නැත. මාලිගාවත්තේ ළිඳට මේ කඩු දැම්මෙ කවුදැයි දැනගැනීමට අයිතියක් තිබෙන්නා සේ ම ඒ ගැන පරික්‍ෂා කිරීමේ වගකීමක් ආරක්ෂක අංශවලට තිබේ.

මේ කඩු කුමකට ද? නොවලහා පිළිතුරු සපයා ගත යුතු ප්‍රශ්නය එයයි. මෙහිදී කළ යුතුව තිබෙන පළමු කාරණය නම් ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීම ය. උගුරට හොරා බෙහෙත් ගිල දැමීමට ඇතැමෙක් උත්සාහ කරති. ප්‍රශ්න සමනොළ ගිරි හිසටත් ඉහළින් තිබුණ ද කිසිම ප්‍රශ්නයක් නැති ලෙස ඇතැමෙක් හැසිරෙති. වෙනස් මාතෘකා දමමින් ඇත්ත මාතෘකාව වසන් කිරීමට උත්සාහ කරති.

අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ. පල්ලිවල කඩු සඟවා තිබුණේ කැලෑ ශුද්ධ කිරීමට යැයි ප්‍රකාශ කළේ මෙරට මුස්ලිම් ආගමික කටයුතු භාර ඇමැතිවරයා ය. එබඳු විහිළුවලින් යථාර්ථය වසන් කිරීමට යමකු උත්සාහ කරන්නේ නම් නිසැක වශයෙන් ම එය තක්කඩි කමකි. කෙතරම් තිත්ත වුව ද බියකරු වුව ද සත්‍ය පිළිගත යුතු ය. 1971 අප්‍රේල් කැරැල්ලට දින නියම වූයේ එකල විද්‍යොදය නමින් හැඳින් වූ විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ දීය. සංඝාරාමය යනු විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාගේ නේවාසිකාගාරය වේ. 

71 කැරැල්ල යනු සති පිරිත් පින්කමක් නොවේ. එය කැරැල්ලකි. සන්නද්ධ බලයෙන් ආණ්ඩු පෙරැළීමට ගත් උත්සාහයකි. එබඳු උත්සාහයක් භික්ෂු නේවාසිකාගාරයක දී ගත්තේ යැයි බෞද්ධ රටේ වැසියන්ට පිළිගැනීමට තරමක අසීරුතාවක් ඇතිවන්නට ද ඇත. එහෙත් සත්‍යය එයයි.

මේ මොහොතේ පියවි ඇසට නොපෙනෙමින් සිදුවන්නේ කුමක් ද? මෙය භයානක පෙර නිමිත්තක් බව හඳුනා ගන්න මුස්ලිම් ආගමික නායකත්වයත් මුස්ලිම් දේශපාලන නායකත්වයත් නොපමාව පෙරට ආ යුතු ය. මුළුමහත් සමාජය ම ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගනිමින් කළමනා කටයුතු සඳහා කැපවිය යුතු ය.