එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ ද සිල්වා සමග ඍජුව කළ සාකච්ඡාවක දී මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මෑතක දී නිකුත් කළ වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවන කරුණු පිළිබඳ විග්‍රහයක් හෙතෙම ඉදිරිපත් කළේය. බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ ගුරුවරයකු වූ ආචාර්ය සිල්වා මෙම වාර්තාවෙන් අනාවරණය වන කරුණු පිළිබඳව පැහැදිලි කර දිය හැකි වඩාත් දක්ෂ ව්‍යවස්ථාදායකයකු වූයේය.

විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජනයා දුක් මහන්සියෙන් ඉපැයූ අර්ථ සාධක අරමුදල් සමඟ සෙල්ලම් කරමින් 2010 මහින්ද රාජපක්ෂ රජයේ සිට 2015 යහපාලන ආණ්ඩුව දක්වා සිදු වූයේ යැයි චෝදනා එල්ල වී ඇති මෙම අපකීර්තිමත් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඔහු කරුණු කියා පෑවේය.

කොටස් වෙළෙඳපොළේ සිදුවන මගඩි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඔහු වරින් වර සටන් වදිමින් අවස්ථා 16ක දී පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කළේය. රාජපක්ෂ පාලන සමයේ දී මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි නොකර පාර්ලිමේන්තුව නොමඟ යවන ලද බවට ඔහු පැමිණිලි කළේය. යහපාලන ආණ්ඩු කාලයේ දී වැදගත් තොරතුරු තමා සාමාජිකයකුව සිටි කෝප් කමිටුවෙන් පවා සඟවා ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය. ඔහු සමඟ පැවැති සාකච්ඡාවේ දී හෙළිදරව් වූ කරුණු පහත දැක්වේ.

ප්‍රශ්නය:- මහ බැංකු බැඳුම්කර වංචා චෝදනා සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවලට අදාළව ඔබ සොයාගත් වඩාත් වැදගත් උනන්දුව දල්වන කරුණ කුමක් ද?

පිළිතුර:- දීර්ඝ කාලයක් පුරා අර්ථ සාධක අරමුදලේ සංවිධාන ව්‍යුහයට සහයෝගය දෙන මුවාවෙන් වෙළෙඳපොළවල් කිහිපයකම ඇතැම් අය සිදු කළ මෙහෙයුම් රටා මට පෙනී යනවා. මා කියන්නේ ඒ අය මේ වැඩේ පටන් ගත්තේ 2010/2011 කාලයේ දී. මේ කාලය තුළ කොටස් වෙළෙඳපොළෙන් ඒ අය හොඳ හැටි අයුතු වාසි ලබාගෙන තිබෙනවා. හරියටම කිව්වොත් කොටස් වෙළෙඳපොළ හරහා අර්ථ සාධක අරමුදලෙන් හොඳ හැටි අයුතු වාසි දොවාගෙන තිබෙනවා. ඒ ක්‍රියාව හෙමිහිට අඩු වෙද්දී ඒ අය 2013 දී බැඳුම්කර වෙළෙඳපොළේ මෙහෙයුම් සිදු කරන්න ඉල්ලීමක් කරලා ඒ සඳහා බලපත්‍රයක් ලබා තිබෙනවා. ඊට පස්සේ ඒ අය බැඳුම්කර වෙළෙඳපොළේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන්නේ අර්ථ සාධක අරමුදලෙන් අයුතු වාසි ගැනීමේ අරමුණෙන්. ඔවුන් ඒ වනවිටත් කොටස් වෙළෙඳපොළේ අර්ථ සාධක අරමුදල සමඟ සම්බන්ධතා තහවුරු කරගෙනයි තිබුණේ. ඔවුන්ගේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය රුපියල් ට්‍රිලියනයක මුදලක්. එය 7%ක පමණ ප්‍රතිශතයක්. 93%ක් ආයෝජනය කළේ බැඳුම්කර වෙළෙඳපොළේ. 2014 පටන් ඔවුන් වෙළෙඳපොළේ මෙහෙයුම් ඇරැඹුවා. 2015 ආණ්ඩු මාරු වුණත් මේ අයට එය බලපෑවේ නෑ. ඇත්තෙන්ම එය මේ අයට ආශිර්වාදයක් වුණා. මොකද තවත් මීට සමීප වෙන්න ඒ අයට අවකාශ ලැබුණා ආණ්ඩු මාරුව නිසා. 2015 පටන් ඔවුන් කටයුතු කරන්න ගත්තත් 2015 දී ලොකු බිඳවැටීමක් සිදුවුණා. එහෙත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් 2015 දී මන්දගාමී වනවාට වඩා වේගවත් වීමක් සිදු වුණා. ඔවුන් නොනවත්වාම බැඳුම්කර වෙළෙඳපොළේ අර්ථ සාධක අරමුදල් සමග වංචාකාරී ලෙස 2015 වසර පුරාම කටයුතු කළා. 2016 මාර්තුවේ දී ඒ වනවිට තිබුණු ලොකුම මගඩියේ නිරත වීමෙන් පසු එය නිමා වුණා. මෙය දීර්ඝ වැඩපිළිවෙළක්. 2010-2011 කාලෙන් පස්සේ පර්පචුවෙල් සමාගම හැරුණුකොට වෙනත් අයත් මේ වංචාවට එක් වුණා. 2010-2011 මේ සෙල්ලමේ උන්නෙ පර්පෙචුවල් සමාගම පමණයි. 2015-2016 ඔවුන් මේ ක්‍රියාවේ කප්පිත්තෝ (ප්‍රධානියෝ) බවට පත්වුණා. එවිට මේ ක්‍රියා පැහැදිලිවම දිස්වෙන්නට ගත්තේ ඔවුන් වෙළෙඳපොළ දෙකේම ස්වභාවය ගැන බලා කියාගෙන මෙහෙයුම් කටයුතු ගැන අවබෝධයෙන් පසු වෙන්නට සිදු වූ නිසා. 2015ට කලින් බැඳුම්කර වෙළෙඳපොළේ සිදු වුණේ කුමක් ද කියලා අහනකොට කොටස් වෙළෙඳපොළේ සිදුවුණු දේ ප්‍රශ්න කෙරෙන්නේ නෑ. 2015ට කලින් නියම වංචාව සිදු වුණේ කොටස් වෙළෙඳපොළේ. ඉතින් ඔබ ඒ කාලේ බැඳුම්කර වෙළෙඳපොළේ වංචා සහගත ක්‍රියා තියෙනවා ද කියලා බැලුවොත් එහෙම දෙයක් දිස්වෙන්නේ නෑ. 2015ට කලින් බැඳුම්කර වෙළෙඳපොළේ පාඩුව බලන්න කියලා සමහරු අහනකොට ඒ ගැන එකඟ වෙන්න වගේ හිතෙනවා. එහෙත් ඒ කියමන් පිළිබඳ සැකමුසුව බලන්න වෙනවා. වෙළෙඳපොළේ පිළිගත් මඟ පෙන්වීම්වලට එහා ගිය ක්‍රියාකාරකම් ඒ වනවිට සිදු වී තිබෙනවා.

ප්‍රශ්නය:- පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) සමාගමට මෙවැනි විශේෂ තත්ත්වයක් හිමි වූයේ ඇයි? ඒ කෙසේ ද?

පිළිතුර:- යුද්ධයෙන් පසුව කොටස් වෙළෙඳපොළ කෙරේ දැඩි අවධානයක් යොමු වුණා. ඉන්පසු කොටස් වෙළෙඳපොළ හැසිරවීම පාලනය කළේ හය හත්දෙනකු විසින්. එය කොටස් වෙළෙඳපොළ මාෆියාවක්. ඒ අයගේ නම් මෙහිදී කීමට අවශ්‍ය නෑ. මේ අය කළේ රවුමෙ යන ගනුදෙනුවක්. සාමාන්‍ය කටවහරෙ දි ඉංග්‍රීසියෙන් එයට කියන්නේ ‘පම්ප් ඇන්ඩ් ඩම්ප්’ කියලයි.
මේ ක්‍රමයට කෘත්‍රිමව මිල ඉහළ දැමූ කොටස් අර්ථ සාධක අරමුදල ලබා ගන්නට පෙළඹ වූ ආකාරයත් එසේ කළ අයගේ නම් ආදියත් මෙම වාර්තාවේ සඳහන් වෙනවා. ඒ කාලයේ දී අවසාන ගැනුම්කරුවා හැටියට අර්ථ සාධක අරමුදල හිටියා ඔබට මතක ඇති. අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාමක් සිදුවුණු Grain Elevators කොටස්වලට සිදු වූ දේ උදාහරණයක් ලෙස දැක්විය හැකියි. එම කොටස් විකිණුනේ රුපියල් 30ට 40ටයි. 2010 දෙසැම්බර් අග දී ඒවා රුපියල් 75 දක්වා හිටි හැටියේ ඉහළ ගියා. ඉන්පසු රුපියල් 260 දක්වා එම කොටස්වල මිල ඉහළ ගියා. ඉන්පසු මාස දෙකක් තුළ නැවත රුපියල් 60ට 70ට එම කොටස් මිල පහත බැස්සා. එහිදී සිදු වුණේ 2011 ජනවාරි සිට 2011 අප්‍රේල් දක්වා මාස 4 තුළ එම කොටස් මිල කෘත්‍රිමව ඉහළ නංවා රුපියල් 205 ගණනේ (EPF) සේවක අර්ථ සාධක අරමුදලේ ඇඟේ ගැසීමයි. ඇත්තෙන්ම කොටසක සැබෑ මිල වූයේ රුපියල් 30 හෝ 40යි.

සේවකයන්ගේ මුදල්වලට භාරකාරයා, පරිපාලකයා සහ කළමනාකරුවා වන්නේ අර්ථ සාධක අරමුදලයි. එහි කළමනාකරණය යටතේ රුපියල් ට්‍රිලියන ගණනක් තිබෙනවා. ඒවා මහජන මුදල් නිසා ඒවා ආයෝජනය කිරීමේ යම් යම් සීමා පැනවීම් තිබෙනවා. 2009 පටන් EPF පාලනය කරන මහ බැංකුව විසින් කොටස් වෙළෙඳපොළේ වැඩි වැඩියෙන් ආයෝජන සිදු කරන්නට ගත්තා. පුද්ගල හෝ සමාගම් සන්තක කොටස් උදෙසා ආයෝජනය කරන්නට ද පටන් ගත්තා. EPF සඳහා ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශන තිබෙනවා. ඒ සඳහා මූලික උපදෙස් තිබෙනවා. කොටස් වෙළෙඳපොළේ කිනම් වර්ගයේ කොටස් මිලදීගත හැකි ද, කිනම් වර්ගයේ ඒවා නොහැකි ද යන්න ගැන නීති රීති EPF හට තිබෙනවා. ග්‍රේන් එලිවේටර්ස් වැනි කොම්පැනියක කොටසක මිල රුපියල් 40 සිට හිටි හැටියේ ඉහළ ගොස් රුපියල් 250 ගණනේ EPF වෙත හෙළනු ලැබුවා. මෙතරම් ඉහළ මිලකට මෙම කොටස් EPF හට මිලට ගන්නට ඕනෑ වූයේ ඇයි?

ප්‍රශ්නය:- ඉතින් ඒ ආකාරයේ තීරණයක් ගනු ලැබුවේ ඇයි? එසේ සිදු වූයේ කෙසේ ද?  

පිළිතුර:- දැන් වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙනවා මේ තීරණය ගත්තේ කොහොම ද කියන එක. ඒ අය සමග සම්මුඛ සාකච්ඡා කරපු උදවිය කියනවා ආයෝජන ප්‍රතිපත්තිවල මාර්ග නිර්දේශන සහ බැඳුම්කර හා කොටස්වල අදාළ ආයෝජනවල මාර්ග නිර්දේශන උල්ලංඝනය කළ ආකාරය. මේ කොටස් වෙනුවෙන් ආයෝජනය කරන්න අවශ්‍ය අනුමැතිය ලැබී නැහැ. ආයෝජන කමිටුව විසින් අනුමැතිය දීම ප්‍රතික්ෂේප කරලා. අනුමැතිය දී තිබෙන්නේ මහ බැංකුවේ ඉහළ කළමනාකරණයෙන්. මම එකක් පමණක් පැහැදිලි කරන්නම්. අර්ථ සාධක අරමුදල EPF 205 ගාණේ කොටස් ගත්තා. ඊට පස්සේ නැවත මුලින් තිබුණ ගාණට ඒවායේ මිල වැටුණා. එතකොට පාඩු වින්දේ කවුද? ලාබ ලැබුවෙ කවුද? EPF එක පාඩුව වින්දා. පර්පචුවෙල් සමාගම ලාභය ලැබුවා. මොකද පර්පචුවෙල් සමාගමේ ඇලෝසියස් මහත්තයා මේ බොල් කොටස් EPF එකට වික්කා. ඒක මිලියන 600ක ගනුදෙනුවක්. තව ගනුදෙනු තියෙනවා. රුපියල් මිලියන 9400 දක්වා ගිය ගනුදෙනු පෙළක් තියෙනවා. මේ ගනුදෙනුවලට වගකිව යුත්තන්ගේ නම් වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

ප්‍රශ්නය:- ඉතින් PTL (පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්) සමාගම කොහොම ද බැඳුම්කර වෙළෙඳපොළට ඇතුළු වුණේ? PTL සමග බැඳුම්කර වෙළෙඳපොළට අවතීර්ණය වුණු ආකාරය විගණන වාර්තාවේ තිබේ ද?

පිළිතුර:- මේ සියල්ල සිදු වෙද්දි PTL කොටස් වෙළෙඳපොළේ රැඳී සිටියා. කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය කෙමෙන් අඩු වුණා. මොකද මේ තිබුණු පිබිදීම බලෙන් පුම්බාපු එකක් නිසා. ඉන් පස්සේ 2012 දී බැඳුම්කර වෙළෙඳපොළේ ප්‍රාථමික ගැනුම්කරුවෙක් වීම සඳහා PTL සමාගම අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරනවා. එය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිපතිවරයා යන දෙදෙනා විසින්ම ප්‍රතික්ෂේප කරනු ලබනවා. දිනෙන් දින සිදු වුණු දේ වාර්තාවේ තිබෙනවා. මේ තීරණය වෙනස් වුණු ආකාරය එයාලත් පෙන්වා දෙන්න අසමත් වෙලා.

2013 වෙද්දි එයාලට බලපත්‍රය ලැබෙනවා. අහම්බෙන් වගේ ශිරෝමී වික්‍රමසිංහ කියන කාන්තාව 2013 දෙසැම්බර් මාසෙදි පර්පෙචුවල් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වෙනවා. ඈ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය. 2015 පෙරබවාරියේ සිදු වුණා කියන මගඩි දක්වාම එම තනතුරේ රැඳී ඉඳලා ඉන් පස්සේ ඉල්ලා අස් වෙනවා.

ප්‍රශ්නය:- අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය බොහොම ප්‍රබලයි. දේශපාලන පක්ෂ අතර බොහෝ තොරතුරු සන්නිවේදන වෙනවා. 2012 සහ 2013 කාලෙදී විරුද්ධ පක්ෂයේ සිටි ඔබ මේ ගැන දැනගෙන සිටියේ නැද්ද?

පිළිතුර:- 2010-2011 කාලේ තමා කොටස් වෙළෙඳපොළේ බොහෝ වංචා සිදු වුණේ. මම පාර්ලිමේන්තුවේදී තොරතුරු ඉල්ලා 16 වතාවක් කතා කළා. COPA එකේ (රාජ්‍ය ගිණුම් කාරක සභාවේ) සාමාජිකයකු හැටියට මම ලිපි ගණනාවක් ලියලා මහ බැංකුවට මේ ප්‍රශ්න නැඟුවා. අපට මහ බැංකුව පාර්ලිමේන්තුට කැඳවන්න අවශ්‍ය වුණත් එකම එක දවසක් පැයක් වැනි කෙටි කාලයකට විතරයි මහ බැංකුව පාර්ලිමේන්තුවට පැමිණියේ. පාර්ලිමේන්තුවේ උත්තරීතර බවට එයාලා ගරු කළේ නෑ. 2015ට කලින් විරුද්ධ පක්ෂයට කෝප් කමිටුව ඇතුළෙ බලයක් තිබුණේ නෑ.

යහපාලන රජය බලයට පත්වුණාට පසුවයි සුනිල් හඳුන්නෙත්ති වගේ විරුද්ධ පක්ෂ සාමාජිකයන් කෝප් කමිටුවේ සභාපති පදවියට දැම්මේ.

පාර්ලිමේන්තුවේ නිල වශයෙන් විස්තර ඉල්ලා මා ප්‍රශ්න නඟා තිබෙනවා. ඒ වනවිට කවුද මුදල් ඇමැතිවරයා කියා කියන එක විගණන වාර්තාවේ තියෙනවා. එම ඇමැතිවරයා තමා මහ බැංකු කටයුතු භාරව සිටියේ.

ප්‍රශ්නය:- ජනාධිපති මහින්ද රාජපක්ෂ නේද?

පිළිතුර:- වෙන්න පුළුවනි. තොරතුරු නොදෙන ලෙස ඔහුට කියා තිබුණා. ඒ ගැන වාර්තාවේ සඳහන් වෙනවා. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ගැඹුරෙන් කරුණු සොයා බැලුවත් පිටතින් සිටි පාර්ශ්ව මේ ගැන පාර්ලිමේන්තුවට කරුණු මුදාහැරීම වළකනු ලැබුවා.

ප්‍රශ්නය:- සිදුවෙමින් පැවැති දේ තුළ සැකමුසු බවක් දැනුණේ නැද්ද?

පිළිතුර:- මේ සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේ 16 වාරයක් ප්‍රශ්න කළා. එවිට සිදු වූ පෞද්ගලික අංශයට කොටස් නිකුත් කිරීම, ඍජු නිකුත් කිරීම් මීට වඩා සංකීර්ණයි. උදාහරණයකට ඇයි මේ ඍජු නිකුත් කිරීම් කරන්නේ? ඇයි වෙන්දේසි නොකරන්නේ? ආදිය මා විමසුවා.   

ප්‍රශ්නය:- ඉතින් 2015 යහපාලන රජය බලයට පත්වීමෙන් පසුවත් මෙය දිගටම සිදු වුණා නොවේ ද?

පිළිතුර:- පෞද්ගලික අංශයට කොටස් නිකුත් කිරීම සම්මතයක් බවට පත්වුණා. ඒක නොවෙයි ද සිදු වුණේ? ඉන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මේ ක්‍රමය එක රැයින් වෙනස් කළා. පෞද්ගලික නිකුත් කිරීම්වලින් සම්පූර්ණයෙන්ම වෙන්දේසියට මාරු වුණා. ඒ එක්කම ඔහු කිව්වා ඔහු බිලියනයක ණයක් ලබාගන්න සූදානම් කියලා. ඉන් පස්සේ ලංසු ලේඛනේ දැක්කම ඔහු දුටුවා බිලියන 20ක ලන්සු ඉදිරිපත් වෙනවා. එයින් බිලියන 15ක් තමන්ගේ බෑනගෙන්. ඔහු ඒ අයට කිව්වා බිලියන 20ම ගන්න කියලා. ඒ පාර එයාලා බෑ කිව්වා. ඒ පාර ඔහු කිව්වා එහෙනම් බිලියන 10ක් ගන්න කියලා. ඒ පාර ඔවුන් බිලියන 10ක් ගත්තා. ඒ බිලියන 10 ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට සිදු වූ පාඩුව (ප්‍රාථමික වෙළෙඳපොළේ දී) ගණනය කළ විට බිලියන 1.1ක් වුණා. අර්ජුන් මහේන්ද්‍රන්ට එසේ කරන්න බලයක් නෑ. සියලු තොරතුරු ලැබී තියෙන නිසා අපට දැන් පැහැදිලියි. ඒ තීරණය මූල්‍ය මණ්ඩලයෙන් අනුමත කර නැහැ. COPE කමිටුවේ සිටිද්දී අපට එවැනි තොරතුරු ලැබී තිබුණේ නැහැ. මහ බැංකුවෙන් පවා අපට එම තොතුරු දුන්නේ නැහැ.  

ප්‍රශ්නය:- කොයි කාලෙ ද ඕක සිදු වුණේ?

පිළිතුර:- ඒ කාලෙම තමා මේක සිදු වුණේ. මං කිහිප වතාවක් ඇහුවා. මේ තොරතුරු තමන් ළඟ නෑ කියලා එයාලා කිව්වා. ඒවා වාර්තාගත වෙලා තියෙනවා. දැන් සේරම තොරතුරු තිබෙනවා.

 ඊළඟට කාට ද ඒවා ඒ අය විකුණුවේ. EPF එකට (සේවක අර්ථ සාධක අරමුදලට). මේ අවස්ථාවේ ඒ හුඟක් ගනුදෙනු කෙරිලා තියෙන්නේ පෑන් ඒෂියා බැංකුව සහ ඇකියුටි (Acuity නම් මූල්‍ය උපදේශක සමාගම) හරහා. මේ නම් දෙක මම කිව්වේ ඒ නම් හැම තැනම සඳහන් වෙලා තියෙන නිසා. පෑන් ඒෂියා බැංකුව EPF සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමඟ රහස් එකඟතාවක් පැවැති බව හරිම පැහැදිලියි. වෝහාරික විගණන වාර්තාවේ සක්සුදක් වාගේ ඒක පැහැදිලියි. මේ ගනුදෙනු සේ.අ. අරමුදලේ, මහ බැංකුවෙ, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ, පෑන් ඒෂියා බැංකුවේ ඉහළම මට්ටමේදී සිදු වුණු බව පැහැදිලියි. සිදුවෙලා තියෙන්නේ මෙන්න මේකයි. මගේ ළඟ තියෙනවා (උදාහරණයකට) රුපියල් 80ක බැඳුම්කරයක්. මම විකුණනවා ඒක පෑන් ඒෂියා බැංකුවට 94ට. පෑන් ඒෂියා බැංකුව EPF එකට 95ට විකුණනවා. ඇත්තටම EPF එක 95ට මිලට ගන්නවා. පෑන් ඒෂියා සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අතර පෞද්ගලික ගනුදෙනුවක් තියෙනවා. ඉතින් පර්පෙචුවෙල් වෙත මුදල් ආපසු දෙනවා. මේ ගනුදෙනු බොහෝමයක් ඍජුව නොවෙයි සිදුවෙලා තියෙන්නේ.

බොහෝ විට (අවස්ථා 95%කම) නිතරම අතරමැදියෙක් ඉඳලා තියෙනවා. බොහෝ විට හිටපු අතරමැදියා තමා පෑන් ඒෂියා බැංකුව. සමහරවිට අතරමැදියා ඇකියුටි (Acuity) අනෙක් අවස්ථාවල හිටියේ අතරමැදියෝ ටික දෙනයි.

ප්‍රශ්නය:- අර නම සඳහන් කළ බැංකුව මේ ගනුදෙනුවලින් කොටසකට වගකිව යුතුයි නේද?

පිළිතුර:- ඔව්. ඔවුන් වගකිව යුතුයි. වාර්තාවේ ඔවුන්ගේ නම් සඳහන් වෙනවා.

EPF ප්‍රාථමික වෙළෙඳපොළේ දී ලංසු ඉදිරිපත් කර නැහැ. එසේ කිරීමේ හැකියාව තිබිය දී ඔවුන් එසේ නොකළේ ඇයි? ඇයි ඔවුන් ඉහළ මිලකට මිලදී ගන්නේ? කවුරු හෝ ලංසු ඉදිරිපත් නොකරන ලෙස ඔවුන්ට කීවා ද? එසේ කීවේ නම් ඒ තැනැත්තා කවුද? 2016 මාර්තු 24 තිබුණු බැඳුම්කර වෙන්දේසියේ දී තවත් වංචාවක් සිදු වුණා. එය රුපියල් බිලියන 2.5ක තරමේ එකක්. ඇතැම් බැංකු සහ ඇතැම් මූල්‍ය ආයතන හවුලේ කතා කරගෙන අඩු මිලට ලංසු ඉදිරිපත් කළා. යම් මිලකට ඉහළින් නොයන බවට මහ බැංකුව ඔවුන්ට සහතික වී තිබෙනවා. ඉහළ මිලකට ගොහින් ඔවුන් ඇත්තෙන්ම පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් වෙතින් මිලදී ගත්තේ කෙසේ ද? ඒවා වාර්තාවේම තියෙනවා. ඊට දින දෙකකට පසුව තවත් වෙන්දේසියක් සිදු වුණා. පර්පෙචුවෙල් සමාගමේ සේවකයන් දෙදෙනකුගේ වචනවලින්ම ඒ සියලු තොරතුරු (පටිගත වී) වාර්තා වී තිබෙනවා.

2015-2016 අතර බැඳුම්කර වෙළෙඳපොළේ පුද්ගලයන් අතර සිදු වූ මගඩි වෝහාරික විගණන වාර්තාවේ අඩංගු වෙනවා.

ප්‍රශ්නය:- මෙම කාරණය විවෘත බව පැහැදිලියි. අධිකරණ ක්‍රියාමාර්ගයකට මෙය උපයෝගී කරගත හැකි ද?

පිළිතුර:- මේ තොරතුරු ඒකරාශී කොට තිබෙන්නේ සාක්ෂි ආඥා පනතට අනුකූලවයි. සියලුම සාක්ෂි එහි අඩංගුයි. එම නිසා එසේ කළ හැකියි. මා අදහස් කළේ එහි පාඩු වර්ග 3ක් ගැන තොරතුරු සඳහන් වෙනවා. 2010-2011 කොටස් වෙළෙඳපොළේ සිදු වූ රුපියල් බිලියන 9.4ක පමණ පාඩු. ඊළඟට 2015ට පෙර බැඳුම්කර වෙළෙඳපොළේ පෞද්ගලික නිකුත් කිරීම් නිසා රජයට සිදු වූ පාඩු ඒවා රුපියල් බිලියන 10.5ක තරම් පාඩුවක්. ඉන් රුපියල් බිලියන 6.5ක් පමණ සේ.අ.අ. (EPF) සමග ගනුදෙනු නිසා සිදු වූ පාඩු (මහ බැංකුව තුළ ගැටුම් නිසා තරග කොට අත්කරගත හැකිව තිබූ මුදලක්. එම නිසා ඍජුවම මට ඒ ගැන කියන්නට නොහැකියි.) ඉතිරි රුපියල් බිලියන 3.5-4.00 ගනුදෙනු වී ඇත්තේ රාජ්‍ය හිමිකාරීත්වය ඇති ආයතන තුළයි. තුන්වෙනුව 2015-2016 බැඳුම්කර වෙළෙඳපොළේ ගනුදෙනු අවම රුපියල් බිලියන 6.9 සහ උපරිම රුපියල් බිලියන 9.9 අතර මෙහිදී රජයට පාඩු සිදුව තිබෙනවා. ඊළඟට අනෙක් අතට EPF හට සිදු වූ පාඩුව රුපියල් බිලියන 8ක් පමණ වෙනවා. ඊළඟට 2015ට පෙර සහ පසු EPF හට බැඳුම්කර වෙළෙඳපොළෙන් සිදු වූ පාඩුව සොයා බැලිය යුතුයි.

ප්‍රශ්නය:- ඔබ කියන හැටියට අප වඩාත් කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?

පිළිතුර:- රජය විසින් සිදු වූ පාඩුව පියවාගත යුතුයි. ඒවා මෙරට ජනතාවට බලපෑම් සිදුවන පාඩු. එම නිසා විවිධ වෙළෙඳපොළවල විවිධ අවස්ථාවලදී සිදු වූ පාඩු ගණනය කරගත හැකියි.

ප්‍රශ්නය:- මේවා අපරාධ නීතියට සම්බන්ධ ක්‍රියාමාර්ගයකින් පියවාගත හැකි ද?

පිළිතුර:- මෙය අභ්‍යන්තර වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ කාරණයක්. අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධ නඩුවක් පැවැරිය යුතුයි. නිව්​ෙ‌යා්ර්ක් හි රාජ් රාජරත්නම් නඩුව එවැන්නක්. විගණන සමාගම්වල පාර්ශ්වකරුවෝ ඇතුළත තොරතුරු රාජ් රාජරත්නම් වෙත හෙළිකර තිබුණා. ඔවුන් අතර දුරකතන සාකච්ඡා සිදු වුණා. ඔහුව හිරේ දැමුවා. අන්න එහෙමයි ඔවුන් මුදල පියවා ගත්තේ. දැන් ඔහු නිදහස් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ කොටස් හා බැඳුම්කර වෙළෙඳපොළට සම්බන්ධ දත්ත ලබාගත යුතුයි. මේ සියල්ල වෝහාරික විගණන වාර්තාවේ තිබෙන නිසා එය අපහසු නැහැ.

ප්‍රශ්නය:- බැඳුම්කර මගඩියට අදාළව අලුතෙන් විමර්ශන ඇරැඹිය යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා තිබෙනවා. ඒ ගැන ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

පිළිතුර:- මෙය නැවත නැවත විමර්ශනය කරනු ලැබුවා. පාර්ලිමේන්තුවේ ජනාධිපති කොමිසමේ හැරුණු කොට දැන් ගෝලීය වශයෙන් ඉහළම ගණකාධිකරණ සමාගමක් සවිස්තරාත්මක වෝහාරික විගණනයක් සිදුකොට තිබෙනවා. අවශ්‍ය වන්නේ මේ තොරතුරු නීතිපතිවරයා විසින් ලබාගෙන අධිකරණමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමයි. අවශ්‍ය නම් CID යට තවදුරටත් නිශ්චිත තොරතුරු විමර්ශනය කළ හැකියි. තවදුරටත් නීතිමය පියවර ගැනීම පමා කළ යුතු නෑ. සියලුම රජයේ වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි.

ප්‍රශ්නය:- මේ යෝධ මගඩියට රජයන් දෙකම වගකිව යුතු බව දේශපාලන විශ්ලේෂකයින් කියා තිබෙනවා. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන එන්නට නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් පෙනෙන්නට නෑ. ඒ සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

පිළිතුර:- මෙය දේශපාලනයට එහා ගොස් බැලිය යුත්තක්. මම අපේම රජය විවේචනය කොට තිබෙනවා. මා කරන්නේ දේශපාලන හරඹයක් නම් මෙසේ ඔබ සමග කතා කරන්නේ නෑ. තමන් සත්‍යවාදී නම් මුලින්ම රට ගැන සිතිය යුතුයි. අද හෙට මා දේශපාලනයේ නිරත වූවාට මට කමක් නෑ. රට වෙනුවෙන් කළ යුතු දේ තරම් එය වැදගත් නෑ. මා පාර්ලිමේන්තුවට පත්කර යවන්නට ජනතාවට අවශ්‍ය නොවේ නම් එසේ වේවා. අද දවසේ දේශපාලනය මගඩියක් වී තිබෙනවා. ජනතාව එය තීරණය කරත්වා. කළ යුත්ත මා කරනවා. මගේ දේශපාලන ජීවිතය තීරණය වීමට මෙය බලපාන්නේ නම් එසේ සිදුවුණාවේ!

2020 පෙබරවාරි 6 දින Daily Mirror පුවත්පතේ පළ වූ We inThe Cope Got Misled යන හිසින් පළවූ සුසිත ප්‍රනාන්දු ආචාර්ය හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සංක්ෂිප්ත පරිවර්තනයකි.