(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාස්කු ඉරිදා සිදුවු අවාසනාවන්ත සිදුවීම මැකි යන්නට පෙර නැවත රටපුරා සිදුවු අවාසනාවන්ත සිදුවිම් මාලාව අමතක කළ නොහැකිය. ඒ සිදුවිම් මාලාව අතර තුම්මෝදර මැල්ලකැලේ ජනපදයේ පදිංචි සුජීවනී චන්දිමා තම අසල්වාසි මුස්ලිම් හිතවතුන්ගේ ජීවිත බේරා ගෙන නිවාස ද ආරක්ෂා කර දුන්නේ ලෝකයටම අලුත් පණිවිඩයක් දෙමිනි.
ගෙවී ගිය 13 දින ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ලෙස කල්ලි ගැසී ජනතාවගේ දෙපළ වනසමින් සැරිසැරු 500 කට ආසන්න තරුණයින් පිරිස සවස 6 පමණ විට නාත්තන්ඩිය නගරය මැදින් බටහිර තුම්මෝදර මැල්ලකැලේ ජනපදයට කඩා වැදෙද්දී ගම්මානයේ සියලුම දෙනා සිදුවන්නේ කුමක් දැයි බලා සිටියා මිස එයට එරෙහිව හඬක් නගන්නට ඉදිරිපත් නොවූහ.

නමුත් තම නිවස ඉදිරිපිට සහෝදර මුස්ලිම් හිතවතුන්ගේ නිවාස වනසන්නට ඉඩ නොදුන් සුජීවනී එම පිරිස් තම නිවෙස්වලට දමා ආරක්ෂා කර ගත්තාය.
තමන් ඉදිරිපිටම තවත් නිවාස වනසා දැමු ප්රචණ්ඩ තරුණයින් අත පොලු මුගුරු සේම යකඩ බටද අමතරව ඇතැම් පිරිස් අත කඩුද තිබෙනු දුටු සුජීවනී සිත දැඩිකර ගනිමින් “මේ අපේ අයගේ ගෙවල් එවා කඩා බිදින්න එපා" යැයි පවසන්නට තරම් එඩිතර විය.
පැයකට අඩු කාලයක් මැල්ලකැලේ ජනපදයේ සැරිසැරූ ප්‍රචණ්ඩකාරී පිරිස් නිවාස, වෙළදසැල් වනසා දමා යන විට සුජීවනී නිවාස තුනක් හා එම නිවෙස්වල පදිංචි සිටි සාමාජීකයින් 14 දෙනෙකුගේ දිවි බේරා ගැනීම වීර කතාවකී.
එදින සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ සුජීවනී චන්දීමා මහත්මිය මෙසේ කීවේය.
“13 වැනිදා මම කොට්ටරාන්මුල්ල නගරයට ගොස් එද්දී එකපාරම විශාල පිරිසක් කඩා වදිනවා දැක්කා මම හොදටම බය වුණා. මොකද මේ පිරිස නගරයේ මුස්ලිම් අයගේ දෙපොල් වනසමින් තමා ආවේ. මට පුදුම බයක් දැනුනා. මොකද මගේ ගේ වටේටම ඉන්නේ මුස්ලිම් අය. ඒ අය උදේ හවස එකට කාලා බීලා අපිත් එක්ක හොදින් ඉන්න අය. ඒ නිසා ඒ ආපු පිරිස අපේ මැල්ලකැලේ ජනපදයටත් කඩා වදියි කියලා. මම ඉක්මනට ආවා. ඇවිත් හැම කෙනාටම කිව්වා තියෙන වටිනා දේවල් අරගෙන ගිහින් හැංගෙන්න කියලා සමහරු පිළිගත්තා සමහරු නිවෙස් වලම හිටියා විනාඩි කිපයක් යද්දි අර ආපු පිරිස ගමම වට කරලා මුස්ලිම් අයගේ ගෙවල් එක දිගට විනාශ කළා.
මම ඒ පිරිස එන්න කලින්ම නිවාස තුනක හිටිය පිරිස මගේ නිවස ඇතුළට අරන් හංගාගත්තා. ඒ වාගේම එයාලගේ ගෙවල් තුනටත් කිසිම හානියක් නොවන ලෙසට කටයුතු කළා.
ආපු තරුණයින් සේරම ගියාට පස්සේ අපේ නිවස ඇතුලේ හිටපු අයට පුදුමයි එයාලාගේ ගෙවල් බේරිච්ච එක ගැන. මම පුතාල දෙන්නායි මහත්තයායි ලොකු සටනක් කරලා මේ මිනිස්සුන්ගේ දේපල බේරලා දුන්නා.මට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා."
මේ අමිහිරි අත්දැකිමට මුහුණ පෑ ඒ.කේ. හලිමා බිබි ( 64) මහත්මිය මෙසේ කීවාය.
“සුජීවනී දුව ඉන්නේ මගේ ගේ ඉස්සරහ. එයා එකපාමර පාර පැත්තේ ඉදන් දුවගෙන ඇවිත් අපිට කෑ ගහලා කිව්වා හලිමා නැන්දේ ඉක්මනට හැංගෙන්න කට්ටියම අපේ ගෙදරට එන්නෙ කියාලා. මට හිතා ගන්න බැරි වුණා.
විනාඩි කිපයක් යද්දි 500 ක් විතර ඇවිත් ගම වට කරලා. වෙන දේ හිතා ගන්න බැරි වුනා. අපි සුජිවනී දුවගේ ගෙදරට දුවලා ගිහින් හැංගුණා. ඒ වෙද්දි ඒ ගේ ඇතුලේ මොහොමඩ් රිස්විලාගේ කට්ටියත් අනිත් ගෙදර අයත් හැංගිලා. අපිත් එයාලත් එක්ක හැංගුණා.
ගෙවල් දොරවල් මොනවා වුණත් ජීවිතේ බේරගන්න ඕන නිසා. ඒ වන විට සවස හයට විතර ඇති. අපි නොම්බි පවා ඇරලා තිබුණේ නැහැ. අර ආපු පිරිස ගම වටේම ගිහින් සේරම ගෙවල් වලට හානි කළා. අපි සුජිවනීගේ ගේ ඇතුලේ ඉදලා අපේ ගෙවලුත් විනාශ වෙලා සියලුම දේ ගිනි බත් වෙලා ඇති කියලා. හිත හදා ගත්තේ ජීවිතයට හානියක් වුණේ නැති නිසා. රෑ නවයට විතර තමා අපි එලියට ආවේ ඒ ඇවිත් ගෙවල් දිහා බලද්දි අපේ ගෙවල් තුනටම කිසිම හානියක් කරලා නැහැ පුදුමයි. ඒ තරමට පුදුමයක් ඇති වුණා.
මේ සියල්ල වෙද්දි දෙවියන් පවා සිහියට ආවේ නැති අපිට දෙවියන් ලෙස සුජීවනී දුවයි එයාගේ මහත්තයායි පුතාල දෙන්නයි තමා පෙනුනේ. එයාල නැත්නම් අපිට අද සියල්ලම නැතිව යනවා."
රටට හෙට දවසේද තවත් සුජීවනිලා වැනි පිරිස් අවැසි වන්නේ එහෙයිනි.

COMMENTS
දෙවි පිහිටයි!
ඔබ සැබෑම වීර මාතාවක්.සුබ පැතුම්.
මෙවැනි වීර කාන්තාවකගේ ශ්‍රේෂ්ට ගතිගුණ ගැන අතිශයින්ම ප්‍රශංසා කලයුතුය. ඔබට කලාවූ පින් කන්දරාවට ජීවිත ගණනාවක්ම වාසනාව උදාවීම නියතමයි.
ඉතා වටිනා නිර්භීත මනුෂ්‍යත්වයේ ක්‍රියාවක්. ඔබට ජය.
මේ වගේ හොද මිනිස්සුත් ඉන්නවා. අහල පහල කට්ටිය ගැන හැමෝම මෙහෙම හිතනවානම් , කාටත් මුකුත් කරන්න බැහැ.
එඩිතර, දිරිය කතට ජය වේවා.
වර්ගවාදය සහ ජාතිවාදය නුගත්කමේ ලක්ෂණයක්.
චිත්‍රපටියක් වගේ කතාව. මල්වට්ටි අතේ තියන් ප්‍රසිද්ධියේ වන්දනා මාන කරන අයට මේක හොඳ පාඩමක්... සේරම කරලා. අද පල්ලි, පන්සල් යන්න කිසිම කරදරයක් නැහැ. කියන්නේ මොන කටින්ද? පොඩි මිනිහා ළඟ තියෙන මනුස්සකම... මහා එවුන් ළඟ නැහැ... උදේට අතට අත දීලා හවසට ඒ අතින්ම බෙල්ල කපන කට්ටියක්...
ජයවේවා සොහොයුරිය- සදා සමරමි ඔබේ දිරිය !
ඔය ගමට මුස්ලිම් අය ගහන්න අවනම් ඉතින් සුජීවනීගේ කතාව ඔතනින් ඉවර වෙන්න තිබුනා ....
ඔබ ඇතුළු පවුලේ සැමට බුදු සරණයි. අපේ රටට ඔබවැනි අය අවශ්‍යයි. අපි ශ්‍රීලාංකිකයින් බවත්, එකමවකගේ දරුවන් බවත් ලොවට පෙන්වමු.
මතක තියා ගන්න. කවුරු උනත් තමන්ගේ අහල පහල අයට නරකක් වෙන්න දෙන්නේ නැහැ . අපි 83 කලබල කාලෙත් දෙමල අයට උදවූ කරා. පිට එවුන්ට ඕවා ගානක් නැහැ . ලෝකේ මිනිසා විසින්ම මිනිසා නැති කරගන්නවා. හැම ආගමකම කියන මනුස්ස කම නැහැ . මේ ගැහැණිය සැබෑ වීරවරියක්.
මට නම් තේරෙන්නේ නැහැ මේ විකාර.
සැබවින්ම වීර කාන්තාවක්.
හොද දෙයක්, සන්තෝසයි. සුබ පැතුම් හැමෝටම.