පොහොට්ටුව මුල් කර ගත් දේශපාලන බලවේගය විසින් අලුත් සන්ධානයක් ලියාපදිංචි කරන ලද්දේ මේ සතියේය. මේ කාරණය අපේ රටේ දේශපාලනයේ තවත් එක් වැදගත් අවස්ථාවක් බව ඉතාමත් පැහැදිලිය. පසුගිය දවස්වල සමහරුන් පෙන්නුම් කරන්නට උත්සාහ කළේ ජනාධිපතිවරණයෙන් පසුව පොහොට්ටුවට අයිති දේශපාලන කණ්ඩායම්වල විරසකයක් තිබෙන බවත් ඒ නිසාම පක්ෂ කීපයක් වෙන වෙනම ඉදිරි මැතිවරණය සඳහා තරග කරන බවත්ය. එහෙත් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරැදි උපකල්පනයක් බව මේ වන විට පැහැදිලි වී හමාරය.

මගේ මේ සටහනින් සාකච්ඡා කරන්නේ පොහොට්ටුව මුල් කරගත් සන්ධානය ඉදිරියේදී සිදු කළ යුතු සමහර දේශපාලන මැදිහත්වීම් කීපයක් පිළිබඳවය. ඊට පෙර කිව යුතුව ඇත්තේ මෙවර අලුතින් සන්ධානයක් ගොඩ නැංවීමේදී සිදු කර ඇති වැදගත්ම දෙයක් ලෙසින් මා දකින්නේ බැසිල් රාජපක්ෂ මහතාට එහි ලේකම් පදවිය පිරිනැමීම බවය.

බැසිල් රාජපක්ෂ මහතා ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් බවට පත්වූයේ 2005 ජනාධිපතිවරණයත් සමගින්ය. 2015 අගෝස්තු මැතිවරණයෙන් පසුව මහින්ද බලවේගයේ බොහෝ දේවල් සිදුවූයේ ඔහු සංකල්පගත කළ දේශපාලන සිතියම ඇතුළතින්ම බව මගේ මතයය. ඒ බලවේගයට ජයග්‍රහණ රාශියක්ම ලැබුණේ ඒ කාරණය හේතුවෙන්ය. ඒ ජයග්‍රහණ අතරින් ප්‍රධාන එකක්  වන්නේ ශ්‍රීලනිපයේ දේශපාලනය එජාපයත් සමඟ ගැට ගැසී තිබූ අවස්ථාවේ එම දේශපාලනය මුදා ගැනීම සඳහා සමත්කම් ඇති අලුත් පක්ෂයක් ගොඩනගා ගැනීමට එතුමා මුල්වීමය. පක්ෂයක් ගොඩනැඟීමේ හේතුව නිසාවෙන්ම විවිධ අපහාසවලට හා පහරදීම්වලට මුහුණදීමට සිදුවුණත් ඔහු තම ව්‍යාපෘතිය අත්හැරියේ නැතිවා පමණක් නොව එම ව්‍යාපෘතියට එරෙහිව යුද ප්‍රකාශ කළ අය පවා තමන්ගේ සන්ධානයේ කොටස්කාරයන් බවට පත්කර ගැනීමට තරම් උපක්‍රමික ලෙසින් ශක්තිමත් වී ඇති බව අදවන විට පෙනී යන කාරණයක්ය.

පොහොට්ටුව මත පදනම්ව සන්ධානයක් ගොඩනැඟීම සඳහා මුල් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති නව දේශපාලන පක්ෂය බව අප හැමෝම දන්නා කාරණයක්ය. ඒ පක්ෂයේ දේශපාලනය නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන ධාරා දෙකක් මගින්ය. එයින් එකක් වන්නේ ඒ පක්ෂය ගමේ සමාජයේ ඉදිරියට ගෙන ගිය ග්‍රාමීය පාක්ෂික ප්‍රවණතාවයය. ඒ පාක්ෂික ප්‍රවණතාව ගොඩනඟන්නට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනා සහ පළාත් පාලන හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසද විශාල දායකත්වයක් දැක්වූ බව පැහැදිලි කාරණයක්ය.

මේ පක්ෂය නිර්මාණයේ ඇති අනෙක් වැදගත් සංඝටකය වන්නේ එම පක්ෂය සතුව ඇති බුද්ධිමය තලයේ ශක්තියයි. පක්ෂය වෙනුවෙන් පෙනී සිටින විවිධ ආකාරයේ බුද්ධිමතුන්ගේ මැදිහත්වීමෙන් මේ දේශපාලන ව්‍යාපාරය ඉතාමත් වේගයෙන් අපේ රටේ සමාජයේ කතිකා අවකාශයේ ප්‍රධාන තැනක් ගැනීමට හැකියාවක් ලැබී ඇති බව මේ වන විට නොපිළිගන්නා අයෙක් නොමැතිය. යහපාලනය හා සාධාරණ සමාජය යන තේමා පාඨ හරහා 2015 මතුවූ සමහර බුද්ධිමතුන්ගේ නිසරු දේශපාලනය නිරුත්තර කරන්නට පොහොට්ටු බලවේගයට හැකියාවක් ලැබුණේ මේ කියන බුද්ධිමතුන්ගේ කැපවීමත් හේතුවෙන්ය. දැන් මේ බලවේග දෙක (ග්‍රාමීය බලවේගය සහ බුද්ධි බලවේගය) එක එල්ලයක් වෙතට යොමු කරවන්නට සමත් උපක්‍රමිකභාවයක් බැසිල් රාජපක්ෂ මහතාට තිබූ නිසා රටේ ප්‍රධානතම පක්ෂය බවට මේ පක්ෂය පත්වූයේ වසර තුනහතරක කාලයක් තුළදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ ශෛලිය හා එතුමන් සමඟින් එකතුවී සිටින තාක්ෂණවේදීන් සහ වියතුන්ගේ මැදිහත්වීම සමඟින් පොහොට්ටු දේශපාලනය තවදුරටත් ශක්තිමත් වී ඇති අතර අලුතින් ගොඩනැංවුණු පොහොට්ටු සන්ධානයේ දේශපාලනය තවදුරටත් ශක්තිමත්වීමට මේ සියලු තත්ත්වයන් අඩු වැඩි වශයෙන් හේතුවන බව මගේ නිරීක්ෂණයයි.

දැන් අප සැවොම සිටින්නේ මහ මැතිවරණයක් අභිමුවේය. එළඹෙන මැතිවරණයෙන් ජයගැනීමට විශාල ඉඩක් මේ නව සන්ධානයට ඇති බව පෙනෙන්නට තිබෙන කාරණයය. එවැනි ජයග්‍රහණයක් මගින් පිහිටුවන මීළඟ ආණ්ඩුවේ අවධානයට ගත යුතු කරුණු කීපයක්ම තිබෙන බව මගේ අදහසය. ඒ අතරින් ප්‍රධානත්වයක් ගන්නේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත්ව යළි පිහිටුවීම සඳහා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහසක් ගොඩනඟා ගැනීමය. 2015 සිට පැවති රජය ආර්ථික ප්‍රතිසංස්කරණ පැත්තෙන් පෙනී සිටියේ රටට විරුද්ධ මතයක් සමඟ බව බොහෝ විට පෙනී ගිය කාරණයය.

ජාතික සම්පත් විකිණීම පිළිබඳව පසුගිය රජයේ ස්ථාවරය සහ උත්සාහය මීට පෙර කාලවල තිබුණේ එජාපයේ සමහරුන්ගේ දේශපාලන ආර්ථික ස්ථාවරය ලෙසින් පමණක්ය. එය ශ්‍රීලනිපයේත් ස්ථාවරය බවට පත්වී කාලයක් පැවති බව මෙහිදී පැවසීම ද ඉතාමත් නිවැරැදිය. ඒ රජය කාලයේ රටට ජාතික ආදායම ගොඩනැඟීම යනුවෙන් තේරුම් ගත්තේම රටේ තිබෙන සම්පත් කාට හරි විකිණීමය. හම්බන්තොට වරාය චීනයට පැවරීම වැනි බරපතළ තීරණ ඒ ආණ්ඩුව ගත්තේ කිසිම චකිතයකින් තොරවය. රටේ පාලන බලය වසර 5කට ලබාගන්නා දේශපාලන පක්ෂයක් රටේ ජනතාවට අයිති සම්පත් තමන්ගේ පාලනයට අයිති නැති වසර 90ක කාලයකට වෙනත් රටකට ලබාදෙන්නේ කෙසේදැයි ඒ දවස්වල සිටම මේ රටේ ප්‍රගතිශීලි අය නිතර විමසූ ගැටලුවක් විය. හම්බන්තොට වරාය පැවරීම හරහා හුදු මුදල් හුවමාරුවකට එහා ගිය ජාත්‍යන්තර දේශපාලන අවුලකටද ඒ ආණ්ඩුව විසින් අපේ රට හිර කරන ලද බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක්ය. චීනයේ දේශපාලන හැසිරීම් සමඟ ගැට ගැසුණු ජාත්‍යන්තර භූ දේශපාලනික ගැටුම් ගණනාවකට අප රටක් ලෙසින් අනාගතයේදී මුහුණ දෙන්නට නියමිත බව ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශේෂඥයන්ගේ මතයය. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම ඊළඟ ආණ්ඩුවක් වෙතට යොමු වෙන ප්‍රධානතම අභියෝගයක්ය.

1948 සිට මේ දක්වා වසර 70 පමණ කාලය මේ රට පාලනය කළේ ස්වදේශිකයන් වුවත් මේ කාලය තුළම මේ රටේ පාලනයේ ප්‍රතිපත්ති  නිර්මාණය කිරීමේ හා සැලසුම් කිරීමේ බරපතළ අර්බුදයක් තිබෙන පිළිගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍ය කාරණයක්ය. 1948 සිට මේ දක්වා විවිධ ආකාරයේ ආර්ථික උපාය මාර්ග අත්හදා බලා තිබෙන බව දේශපාලන ඉතිහාසය විමසීමෙන් තේරුම් ගත හැකිය. මේ විවිධ ආර්ථික උපායමාර්ග මගින් අවසානයේ උරුම කර ඇත්තේ ඉතාමත් අඩු දියුණු වෙළෙඳපොළ ක්‍රමයක් සහ ඉතාමත් අමාරුවෙන් ඇදගෙන යන රාජ්‍ය යාන්ත්‍රණයක් මිස ශක්තිමත් ආර්ථිකයක් හෝ දියුණු රටක් නොවේ.

බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් අධ්‍යාපනය හරහා එළියට එන තරුණයාට ස්වකීය අනාගතය පිළිබඳව තීරණයක් ගත හැකි ආකාරයේ ශක්තිමත් ආර්ථිකයක් පෞද්ගලික අංශයේ  හෝ රාජ්‍ය අංශයේ නොමැතිවීම නිසා ඒ අය සිටින්නේ සමාජයෙන් පිටමං කරන ලද කණ්ඩායමක් ලෙසින්ය. ආර්ථිකමය පැත්තෙන් අපේ රටේ තීන්දු තීරණ ගත යුත්තේ කුමන පදනමක් මතද යන කාරණය පිළිබඳව යම් ආකාරයක විශ්වාසභාවයක් ගොඩ නඟා ගන්නේ නැතිව මේ රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට හැකියාවක් නැත. මේ විශ්වාසනීයභාවය ලෙසින් මා අදහස් කරන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න කීපයක් පිළිබඳව එක අදහසකට පැමිණීමේ අවශ්‍යතාවයි. රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙන යා යුත්තේ කුමන ක්ෂේත්‍රවලද යන්න රටක් ලෙසින් අප විසඳා ගතයුතු ප්‍රශ්න වලින් වැදගත්ම එකක්ය. රාජ්‍යයේ වපසරිය හා පෞද්ගලික අංශයේ වපසරිය ලෙසින් අප හඳුනා ගන්නේ කුමන කලාපයන්ද යනු ඒ වගේම වැදගත් තවත් ප්‍රශ්නයකි.

එහිදී අප රාජ්‍යය යටතේ තියා ගන්නේ කුමන ක්ෂේත්‍රද සහ පෞද්ගලික අංශයට ලබා දෙන්නේ කුමන ක්ෂේත්‍රද යන කාරණය පිළිබඳව ස්ථිර අදහසක් හටගන්නේ නැතිව ආර්ථිකය පිළිබඳව පලදායක තීරණ ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. එවැනි අවිධිමත් භාවයකින් තීරණ ගැනීම නිසා සිදුවන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයට සිදුවුණා වැනි දේවල් මිස ජයග්‍රහණයන් නොවේ. ජේ.ආර්.ගේ පාලනයෙන් තීරණය කළේ රටට රාජ්‍ය අංශයෙන් පාලනය වන ගුවන් සේවයක් තිබිය යුතු බවය. එයාර් ලංකා කියා හැදුවේ ඒ ආයතනයය. ඊට පසුව පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ පාලනය තීරණය කළේ මේ ආයතනය රාජ්‍යයෙන් ගලවා පෞද්ගලික අංශයට දිය යුතු බවය. ශ්‍රීලන්කන් ගුවන් සේවය ලෙසින් එමිරේට් ආයතනයට ලබා දුන්නේ ඒ ආයතනයය. ඊළඟට පැමිණි මහින්ද රාජපක්ෂ පාලනය තීරණය කළේ මේ ගුවන් සේවය රජයේ පාලනයට ගත යුතු බවය. දැන් තිබෙන්නේ එසේ ආපසු පවරා ගත් ගුවන් සේවයය.

2015 පසුව පැමිණි යහපාලන යැයි කියා ගත් ආණ්ඩුව කියූ සහ කෙරූ දේවල්වලින් පෙනී ගියේ ඒ ගුවන් සේවය නැවත පෞද්ගලික අංශයට පවරා දීමට තීරණය කර ඇති බවක්ය. දැන් මේ කාරණය මේ ආකාරයෙන් එහාට මෙහාට දමමින් යන ආර්ථික ක්‍රියාදාමය නිසා මේ රටට වන හානියේ සීමාවක් නැත. මේ ආකාරයේ තීරණ ගැනීම් නවත්වන්නේ නැතිව මේ රටේ ආර්ථිකය පිළිබඳව ශක්තිමත් තීරණයක් ගැනීමේ ඉඩක් නැත. මීළඟ ආණ්ඩුව මේ වැනි  කාරණයන්  පිළිබඳව ශක්තිමත් තීරණයක් ගැනීම අත්‍යවශ්‍යය.

ආර්ථිකය පමණක් නොව රටේ අනෙක් ක්ෂේත්‍ර සම්බන්ධව තත්ත්වය මේ වගේමය. මේ වන විට රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර ක්ෂේත්‍ර ගැටලුකාරීත්වයන් පිරී ඇත. අධ්‍යාපනයේ විෂයමාලා සංවර්ධනයේ සිට ගුරුවරු පුහුණුව දක්වාම කලාපයේ අලුත් යමක් සිදුවන්නේ නැති ගානය. ප්‍රවාහනයේ ජාතිකමය වූ ප්‍රතිපත්තියක් හදන්නට පසුගිය වසර 70 පුරාවටම හැකියාවක් ලැබී නැත. කෘෂිකර්මාන්තයේ අලුත් දැනුම හා නව තාක්ෂණය හඳුන්වාදීමක් ගැන මේ රටේ තිබෙන්නේ ඇල්මැරුණු ආකල්පයක්ය. ජනවාර්ගික වශයෙන් රටේ සියලු කණ්ඩායම් එක පාලන ආකෘතියක් පිළිබඳව එකඟතාවට පැමිණීමේ අභියෝගයද මේ වගේ නොවිසඳුණු කලාපයක්ය. 2020 අප්‍රේල් වලින් පසුව හැදෙන ආණ්ඩුව ඉදිරියේ ඇති මේ අභියෝග ජයගැනීමට ගැළපෙන දේශපාලන පදනමක් ගොඩනඟා ගැනීම අලුතින් පිහිටවූ පොහොට්ටු සන්ධානයේ ප්‍රධාන අභියෝගය වන බැවින් මේ ගැටලු පිළිබඳව පුළුල් ආකාරයක පිළිතුරක් ගොඩනඟා ගැනීම ඉතාමත් අවශ්‍ය කාරණයක්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
මහාචාර්ය  චරිත හේරත්