සුභ අපේක්ෂා දල්වාගෙන ගෙවුනු සතියට පා තැබූ ශ්‍රී ලංකා ජනතාව, එම සතිය අවසාන කළේ කම්පනයට පත්වය. විශේෂ කැබිනට් රැස්වීමක දී තීරණය කැරුණු පිරිදි ඉන්ධන මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට කටයුතු කිරීම එයට ප්‍රධානම හේතුව විය.ගෘහස්ථ ගෑස් මිල, කිරි පිටි මිල ඉහළ ගොස් තිබෙන වාතාවරණයක දැන් ඉන්ධන මිල ද ඉහළ යාම හමුවේ ජීවන වියදම තවදුරටත් ඉහළ යනු ඇත. එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩ සහ සේවාවල මිල වාර්තාගත ලෙස ඉහළ යනු ඇත. මෙය වඩාත්ම බලපානු ඇතැයි සිතිය හැක්කේ, ඉහළ ගිය ගෑස් මිලෙන් ද බලපෑම් එල්ල වූ, ආහාර, ප්‍රවාහන සහ වෙනත් සේවාවලටය.

ලෝක වෙළදපල තෙල් මිල ඉහළ යමින් පැවතුනු වාතාවරණයක, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහනාධාර ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදෙමින් ඉතා දරුණු ලෙස පාඩු ලබමින් සිටි වාතාවරණයක, මෙම තීරණය ගැනීම පැවැතියේ නොවැළැක්විය හැකි තත්ත්වයකය. එහෙත් රජයේ නායකයෝ එය මැයි දිනයෙන් පසුවට කල් තැබූහ. වෙසක් පොහෝ දිනය සහ එහි සැමරුම් යෙදීම නිසා මෙවර මැයි දිනය සැමරීමට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට සිදුවූයේ සතියකට පසුවය. ගතවූ මාස කිහිපයේ දී ලෝක වෙළදපල බොරතෙල් මිල ක්‍රමයෙන් ඉහළ යන වාතාවරණයක් පෙන්නුම් කළේ ය. තෙල් මිල සංශෝධනයක් සිදුකිරීමට දැනටමත් ප්‍රමාද බවටත්, මිල සංශෝධනයක් සිදුකරන ලෙස අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් රජයට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබෙන බවටත්, මත දැරූ කණ්ඩායම් කැබිනට් මණ්ඩලයේ ද සිටියේ ය. නොවැළැක්විය හැකි දෙයින් ගැලවී ගැනීමට, රජය නැවත නැවතත් කියා සිටිය ද, ඉන්ධන මිල සූත්‍රයෙන් පවා නොහැකි බව ඒ වන විටත් පීඩාවට පත්ව සිටි ජනතාව ද වටහාගෙන සිටි බවක් පෙනෙන්නට තිබින. රටේ මුදල් ක්ෂයව යමින් පවතින බවට භාණ්ඩාගාරය චෝදනා කරමින් සිටියේ ය. ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතා සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබීම තත්ත්වය තවත් දරුණු කළේ ය.ඩොලර් මිලියන 165කට ආසන්න වන අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ඊළග වාරිකය දැන් මෙරටට ලැබීමට නියමිතය.
මෙම සතිය ආරම්භයේ දී සභාග රජයේ ප්‍රධාන පාර්ශව ද්විත්වය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කියා සිටියේ තවදුරටත් ඔවුනොවුන්ගේ පක්ෂවලට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට කටයුතු කරන බවය. එසේ වුව ද, වාර්තාගත ලෙස ජනතාව අතරින් ප්‍රතික්ෂේපව සිටින මෙම දෙපාර්ශවයටම, 2020 වන විට රටේ ජනතාවගේ හදවත් සහ මනාපය දිනාගැනීම ප්‍රබල අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායම සමග හමුවක් පැවැත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේ ය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඔස්සේ දේශපාලන මණ්ඩලයක පිහිටුවීම සිදුව තිබෙන අතර, එය දක්ෂිණාංශික දේශපාලනයක් අනුගමනය කරන එක්සත් ජාතික පක්ෂය ප්‍රථම වතාවට වාමාංශික දේශපාලන පක්ෂවල පිළිවෙතකට නැඹුරු වීමකි. පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදක ව්‍යුහය ලෙස දේශපාලන මණ්ඩලයක් ඇති කිරීම සෝවියට් සමූහාණ්ඩුවේ සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂ අනුගමනය කරන පිළිවෙතකි. දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පක්ෂයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයන් නම් කිරීමට නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් කටයුතු කර තිබෙන අතර, තවත් සාමාජිකයන් එසේ නම් කිරීමට ද නියමිතය.පක්ෂයට ප්‍රධාන විධායක නිලධරයකු පත්කරන ලෙස ද යෝජනාවක් ඔහු වෙත ඉදිරිපත්ව තිබෙන අතර, නූතනයේ මෙවැනි තනතුරු ඇත්තේ ධනේෂ්වර පෞද්ගලික සමාගම්වලය. පක්ෂයේ වත්මන් සංශෝධන කටයුතුවලින් ඉවතට කැර සිටින දකුණේ තරුණ දේශපාලඥයෙක් මෙම තනතුරට නෙත් යොමාගෙන සිටී. එහෙත්, ගෙවුනු සති කිහිපයේ දී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුලු අනෙක් සාමාජිකයන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන චරිත සමග යම් යම් සංවාදවල නියැළී සිටිනු දැකගත හැකි විය. එම සංවාදවල ප්‍රතිඵල කවරේදැයි දැකගත හැකිවනු ඇත්තේ ඉදිරියටය. එහෙත් එම සංවාදවල පදනම වී ඇත්තේ පවත්නා ගැටලු සහ විපක්ෂයේ ඇතැම් චරිතවල හැසිරීම අරබයා එකගතාවයක් ඇතිකර ගැනීම සදහා වඩා පුලුල් යොමුවීමක් කළ හැක්කේ කෙසේද යන්න බව දැනගන්නට ඇත.

2020 ජනපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ නම්, ඔහු මෛත්‍රීපාල සිරිසේන බව දැන් පැහැදිලිය. විධායක ජනපතිධූරය අහෝසි කැරෙන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය 2020ට පෙර පාර්ලිමෙන්තුවට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරමින් සිටී. නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ජනපති සිරිසේනම බව අනාවරණය වූයේ පසුගියදා එරාවුර් හි පැවැති පක්ෂ මැයි රැලියේ දී ජනතාව අමතමින් ඔහු කළ කතාවේදීය. 2020ටත් පසුව ජනතාවට සේවය කිරීම තම අපේක්ෂාව බව ජනපතිවරයා කීවේ ය. එක්සත් ජාතික පක්ෂය ගතහොත්, අභිනවයෙන් පත්වූ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කර තිබෙන පරිදි, පක්ෂයේ ජනපති අපේක්ෂකයා වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහය.
වරක් වික්‍රමසිංහගේ ප්‍රබල ආධාරකරුවකු වූ, මහ බැංකු බැදුම්කර සිදුවීම අරබයා පැවැති පාර්ලිමෙන්තු කෝප් කමිටු විමර්ෂණ වාර්තාවට පටහැනි අදහස් දැක්වූ පාදම් සටහන් (ෆුට් නෝට්) කණ්ඩායමේ සාමාජිකයකු ද වන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු මෙයට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළකළේ ය.පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ඔහුගේ ආසනයේ පරාජයට ද මුහුණදුන් මෙම තරුණ රාජ්‍ය අමාත්‍යවරයා, පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ ලබන ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහ නම්, තමා ඔහුට එරෙහිව ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවය. ඒ අනුව ඉතිරි වන ඒකාබද්ධ විපක්ෂය, එහි කටයුතුවල පෙරමුණේ තබා තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවය.තම වියත් මග සංවිධානය හරහා ශ්‍රී ලංකාවේ ඉහළම තනතුර වෙත පිවිසීම අරබයා රටේ වාතාවරණය විමසුමට ලක්කිරීමට ඔහු කටයුතු කරනු ඇත. වෘත්තිකයන් සහ පසුගිය රජය සමයේ සමෘධිමත් වූ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත වන මෙම සංවිධානයේ වාර්ෂික රැස්වීම ඊයේ (13) දිනයේ ෂැන්ග්‍රිලා හෝටලේ දී පැවැත්වීමට නියමිතව තිබිණ. සාම්ප්‍රදායික දේශපාලඥයින්ගෙන් වෙහෙසට පත්වෙමින් සිටින ලෝකයා නායකත්වය අපේක්ෂාවෙන් වෙනතකට යොමුවෙමින් සිටින බව ඔහුගේ අදහසයි. මේ සදහා උදාහරණයක් වන්නේ වත්මන් එක්සත් ජනපද ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ය.

මැයි මස 8 වැනිදා සාම්ප්‍රදායික ලෙස ආරම්භ කැරුනු පාර්ලිමෙන්තුව හා ජනපතිවරයා ප්‍රකාශයට පත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශය, නව පොරොන්දු බලාපොරොත්තුවෙන් සිටියවුන්ගේ එම බලාපොරොත්තු කඩකළ අවස්ථාවක් විය. ජනපතිවරයාගේ මුළු ප්‍රකාශයෙන්ම ඉස්මතු කැරුණේ ඔහුගේ රජය ලබා තිබෙන ඇතැම් ජයග්‍රහණයන්ය. එහෙත්, “ජනතාවගේ අපේක්ෂා ඉටුකැරෙන, සැබෑවටම ජනතාව වෙනුවෙන් වන වැඩපිළිවෙලක් දියත් කිරීම” අරබයා කරුණු 15කින් යුතු පුලුල් යොමුවක්, ජනපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා හඳුන්වාදුන්නේ ය.

“වර්තමානයේ රට පවතිනුයේ, විවිධ පක්ෂ සහ කණ්ඩායම්වලට ඔවුනොවුන්ගේ දේශපාලන බලය පරීක්ෂා කළ හැකි තත්ත්වයක නොව, ජාතියක් ලෙස මුහුණදෙමින් සිටින අභියෝග සාමූහික ප්‍රයත්නයකින් ජයග්‍රහණය කළ යුතුව තිබෙන වාතාවරණයක බව වටහාගත යුතුය. මෙය යථාර්ථයක් බවට පත්කිරීම සදහා, ජාතික සභාග රජය සමන්විත වන පාර්ශව අතර සහ රජයත් විපක්ෂයත් අතර, බල අරගලය පාලනය කළ යුතුය. බලය අරබයා ඇතිකරගන්නා සියලුම ආකාරයේ ගැටුම්වලින් පීඩාවට පත්වන්නේ ජනතාවයි.” ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

මෙය ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකයන් වෙත ලබාදුන් ප්‍රබල පණිවුඩයක් විය. එක්සත් ජාතික පක්ෂ සාමාජික, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඔහුගේ අමාත්‍යංශයේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ඡාවක දී දක්වා තිබූ අදහස් සම්බන්ධයෙන් ජනපතිවරයා සිටියේ කෝපයට පත්වය. එහි දී ජනපති සිරිසේනට එරෙහි අදහස් දැක්වීමක යෙදුනු ෆොන්සේකා, ඔහුට පසෙකින්, ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතාට වෙන්කර තිබූ ආසනය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස අමාත්‍යංශ කාර්යමණ්ඩලයට බල කර සිටියේ ය. ලබාදෙන බවට සහතික දුන්න ද, තමාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබානොදීම සම්බන්ධයෙන් ෆොන්සේකා ජනපතිවරයාව ඉතාම දැඩිව විවේචනය කළේ ය.

ජනපතිවරණ සමයේ දී තමා රැස්වීම් 100ක ද, තම බිරිද රැස්වීම් 30ක ද, අදහස් දැක්වූ බව ෆොන්සේකා පැවසුවේ ය. තමා නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස පත්කරන්නැයි එක්සත් ජාතික පක්ෂය ජනපතිවරයාට යෝජනාවක් පවා ඉදිරිපත් කර තිබූ බව ද ඔහු කීවේ ය. එම අවස්ථාවේ ඉන්දුනීසියාවේ පෞද්ගලික සංචාරයක නියැළී සිටි තමාව ඇමතූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ඉහළ අමාත්‍යධූරයක් හිමිවන ලකුණු පවතින හෙයින් වහාම දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දුන් බව ෆොන්සේකා පැවසුවේ ය. අනවශ්‍ය කලබලයකින් දිවයිනට පැමිණීම ප්‍රතික්ෂේප කළ බව ඔහු කීවේ ය. දිවයිනට පැමිණි පසු, නීතිය හා සාමය අමාත්‍යංශය තමාට ලබානොදුන්නේ මන්දැයි ජනපති සිරිසේනගෙන් විමසා සිටි බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙක් එසේ නොකරන ලෙස ඉල්ලා සිටි නිසා එම තීරණය ගත් බව ජනපතිවරයා පැවසූ බවත්, ෆොන්සේකා පැවසුවේ ය. එම ඉල්ලීම බෞද්ධ හිමිවරු කණ්ඩායමකින් ද තමාට ඉදිරිපත් වූ බව කියා සිටි ජනපතිවරයා එම හිමිවරුන්ගේ නම් සදහන් කිරීම ප්‍රතික්ෂේප කළ බව ෆොන්සේකා කීවේ ය. රජයේ නිලධරයින් කිහිපදෙනෙක්ම නීතිය හා සාමය අමාත්‍යංශය භාරගන්නා ලෙස තමාගෙන් ඉල්ලා සිටින්නේයැයි සදහන් කළ ඔහු, ඒ හරහා දැනට ඔහුගේ වීසා බලපත්‍රය තහනම් කර තිබෙන රටවලට පවා පිවිසිය හැකිවන බවද ඔවුන් පෙන්වා දුන්නේයැයි කීවේ ය. එවැනි එක් රටක් වන්නේ ඇමරිකාවය.

හිටපු ජනපතිනිය ගැන ද සදහනක් කළ හිටපු හමුදාපතිවරයා, කොපමණ උත්සාහ කළ ද ගතවූ මාස 3ක කාලය පුරාවටම ජනපතිවරයාට කතා කිරීමට හෝ ඔහුව හමුවීමට හෝ අවස්ථාවක් නොලැබුනේයැයි ඇය තමා සමග පවසා සිටි බව කීවේ ය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු පියවරක් නොගැනීමේ වගකීම ඔහු චෝදනා මුඛයෙන් පැවරූයේ ජනපති සිරිසේනටය. පසුගිය පළාත් පාලන මැතිවරණ පරාජය ගැන ද අදහස් දැක්වූ ඔහු, එහි දී අත්වුනු පරාජය රජය තවත් පසුගාමී කළ බව සදහන් කරමින්, අගමැති වික්‍රමසිංහට චෝදනා එල්ල කළේ ය.

ෆොන්සේකා එතැනින් නතර නොවින. මැයි මස 6 වැනිදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ දී අදහස් දැක්වූ ඔහු, 2015 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තෝරාගැනීම බරපතල වරදක් ලෙස හඳුන්වාදුන්නේ ය. ෆොන්සේකාගේ නොනවතින අදහස් දැක්වීම් අවධානයට ගත් ජනපති සිරිසේන එක්සත් ජාතික පක්ෂයෙ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතාගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කළේ ය. අර්බුදකාරී අවස්ථාවන්හි දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සබදතා පවත්වා ගැනීමෙහිලා විශේෂ කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයකු වන සමරවික්‍රම වහාම ජනපතිවරයාගේ ගැටලුව අගමැතිවරයාට යොමු කළේ ය.

අවසන් දින කිහිපයේ දී චීනයේ සිටිය ද, 2009 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරාජය සනිටුහන් කැරුනු යුද මෙහෙයුමේ දී, ආරක්ෂක අංශ ජයග්‍රහණය කරා මෙයෙවූයේ ෆොන්සේකාය. ඒ හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ෆොන්සේකාව හදුන්වාදුන්නේ ලොව හොදම හමුදාපතිවරයා ලෙසය. එහෙත් මාස කිහිපයකට පසු හමුදා සේවයේ නියුතුව සිටිය දී සිදුකර ඇතැයි චෝදනා නැගුනු ගනුදෙනු සම්බන්ධයෙන් ෆොන්සේකාට එරෙහිව විමර්ෂණ පවත්වන ලෙස රාජපක්ෂ, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට නියෝග කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ෆොන්සේකාට සිර දඩුවම් නියම විය. ඔහුව යුද හමුදාපති තනතුරින් ද ඉවත් කැරිණ.

2015 දී රටේ ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසු, ෆොන්සේකාට පූර්ණ සමාව ලබාදෙන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේ ය. ඔහුගේ තනතුර හා ඒ හා බැදුනු වරප්‍රසාද  නැවත ලබාදීමට ද පියවර ගැනින. ජනපතිවරණ සමයේ දී, මෙම තීරුවෙන් අනාවරණය කැරුණු ආකාරයට, තනතුරේ පිහිටුවීම සහ දීමනා ලබාදීම පමණක් නොව ෆීල්ඞ් මාර්ෂල් තනතුරු දක්වා උසස්වීමක් ද ලබාගැනීම සදහා මෛත්‍රීපාල සිරිසේනගේ සහතිකය ලබාගැනීමට ෆොන්සේකා සමත්විය. එය, සක්‍රීය සේවයේ නියතු දේශපාලඥයකුට ෆීල්ඞ් මාර්ෂල් තනතුර ලබාදුන් පළමු අවස්ථාව විය. යුද හමුදාවේ එවැනි නිලයක් නොතිබූ හෙයින්, ෆීල්ඞ් මාර්ෂල්වරයා ලෙස තම නිල ඇඳුම සකස් කරගත්තේ ෆොන්සේකාමය. රුපියල් දසලක්ෂ ගණනක් වැය කරමින් යුද හමුදාව හරහා එම ඇඳුම වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද බොත්තම් දෙකක් ගැනීමට ද ඔහු කටයුතු කළේ ය. පළමු බොත්තම ඉන්දියාවෙන් තරමක් අඩු මුදලකට ආනයනය කැරුනු අතර, දෙවැන්න ආනයනය කැරුනේ බි්‍රතාන්‍යයෙන්ය.

ෆොන්සේකා, ජනපතිවරයාට එරෙහිව වාග් සංග්‍රාමයක් ආරම්භ කර තිබීම පසුපස, ඔහුට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබානොදීමට ඔබ්බෙන් වන කතාවක් ඇත. මීට දින කිහිපයකට පෙර, ෆොන්සේකා ජනපතිවරයාට එරෙහි වාග් සංග්‍රාමය ආරම්භ කිරීමට ප්‍රථමයෙන්, ජනපති සිරිසේන හා ඔහු අතර හමුවක් පැවැත්වින. එහිදී දැනට අත්අඩංගුවේ පසුවන යුද හමුදා මුලස්ථානයේ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා නිදහස් කරන ලෙස ෆොන්සේකා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. එවක කරුණාසේකර සේවය කළේ සෘජුවම ෆොන්සේකා යටතේය.

වර්තමානයේ වසා දමා ඇති සන්ඬේ ලීඩර් පුවත්පතේ එවක සංස්කාරකවරයා වූ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීම සහ අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව දියත් කරන විමර්ෂණයෙන්, මෙම සිදුවීම්වල සැකකරුවකු ලෙස හදුනාගෙන තිබෙන කරුණාසේකර මේ වන විට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේය. 2009 කොටි සංවිධානයේ පරාජයෙන් පසුව කරුණාසේකර, එරිත්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීමට නියමිතව සිටියේ ය. එරිත්‍රියාව යනු අප්‍රිකා මහාද්වීපයේ පිහිටි, ඉතියෝපියාව, සුඩානය සහ ජිබුටි රාජ්‍යයන්ගෙන් වටවූ රාජ්‍යයකි. එහෙත් එරට රජය කරුණාසේකරගේ පත්වීමට කැමැත්තක් නොදැක්වීය. එරිත්‍රියාව, හමුදා උපකරණ ගබඩා කර තැබීමේ සහ ශ්‍රී ලංකාව වෙත හොර රහසේ ප්‍රවාහනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිතා කරන බව ඒ හා සමගම අනාවරණය විය.

අනතුරුව ඔහු ඊජිප්තුවේ කයිරෝ නුවරට පත්කර යැවුනු අතර, එහි සිට එරිත්‍රියාව සම්බන්ධයෙන් ද වාර්තා කිරීමට කරුණාසේකර කටයුතු කළේ ය. ෆොන්සේකා සම්බන්ධයෙන් වන විමර්ෂණ ඉදිරියට යාමත් සමග ඔහු සහ වත්මන් රජය අතර දුරස්ථ බව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන්නට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස කරුණාසේකරව නැවත කොළඹට කැදැවින. ඔහුගෙන් ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂකයෝ කියා සිටියේ, කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වූ බව සහ හමුදා බුද්ධි අංශය නීති විරෝධී කටයුතු කිසිවෙකටවත් හවුල් වූ බව ඔහු තරයේම ප්‍රතික්ෂේප කළ බවය.විදේශ කටයුත්තක් සදහා ආරක්ෂක ලේකම්වරයා වෙනුවට අමාත්‍යංශයේ වෙනත් නිලධරයකු අත්සන් කළ ලිපියක් රැගෙන දිවයිනෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේ කරුණාසේකර අත්අඩංගුවට ගැනින. අධිකරණ නියෝගයක් මත දිවයිනෙන් බැහැර වීම ඔහුට තහනම් කැරුනු අතර, අත්අඩංගුවට ගැනීමට ප්‍රථම ඔහු හමුදා රෝහලට ඇතුළත් විය.

අල් ජසීරා නාළිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී සුදු වෑන් භීතිකාවට වගකිව යුතුයැයි ෆොන්සේකා සදහන් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂවය. එය පමණ ඉක්මවා අදහස් දැක්වීමක් ලෙස සැලකිය හැකිය. අල් ජසීරා වාර්තාකරු මහින්ද රාජපක්ෂ යුගය ගැන සදහන් කරමින්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ ත්‍රස්ත සැකකරුවන් පැහැර ගැනීම පසුපස සිටියේ කවුරුන්දැයි විමසූ විට ෆොන්සේකා සෘජුවම චෝදනා කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයාටය. මෙම පැහැරගැනීම් සමහරකට හෝ යුද හමුදාවේ සිටියෝ වගකිව යුතු නොවේදැයි විමසූ විට, නැත යැයි පිළිතුරු දුන් ෆොන්සේකා එයට හේතුව ලෙස හමුදාව අරබයා දැඩි පාලනයක් තමාට තිබුණු බව කීවේ ය. පැහැරගැනීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණවල දී එකදු හෝ හමුදා නිලධරයකු වැරදිකරුවා බව තහවුරු වුවහොත් ෆොන්සේකාගේ ප්‍රකාශය ඔහුටම පරාවළල්ලක් වනු ඇත.

මාධ්‍ය හමුවේ දී ෆොන්සේකා පැවසූ ආකාරයටම නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ජනපතිවරයා හමුවට ගොස් නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ෆොන්සේකා පත්නොකරන්නැයි ඉල්ලා ඇත. එහෙත් කරළියට නොපැමිණි කරුණක් වන්නේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස හිටපු හමුදාපතිවරයා පත්කිරීමට එරෙහිව, දැනට පැවැත්වෙන විමර්ෂණ කිහිපයකදීම ඔහුගේ නම සදහන් වීම නිසාවෙන්, රාජ්‍ය ආරක්ෂක ව්‍යුහයන් පවා විරෝධය පළකර තිබීමය. එම නිසාම, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ෆොන්සේකා පත්වුවහොත් ඔහු නිකුත් කරන නියෝග ක්‍රියාත්මක නොකර සිටීමට දුෂ්කර වනු ඇති බව එම ව්‍යුහයන් පෙන්වා දුන්නේ ය.ෆොන්සේකාගේ නම සදහන් වන සිදුවීම් බොහෝමයක් තවමත් විමර්ෂණ මට්ටමේ පැවතීම සම්බන්ධයෙන් ද ඔවුන් අවධානය යොමුකළේ ය. හිටපු හමුදාපතිවරයාට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබානොදීමට ජනපති සිරිසේන තීරණය කළේ මේ කරුණු සියල්ල සැළකිල්ලට ගෙනය. ඒ හමුවේ යම් දේශපාලන අවාසිසහගත තත්ත්වයක් නිර්මානය විය හැකිව තිබුනේ නිසා පළාත් පාලන ආයතන මැතිවරණය අවසන් වූ වහාම ජනපතිවරයා තම ඉලක්කය ලෙස තෝරාගත්තේ ෆොන්සේකාගේ පරම සතුරන් ලෙස සැළකෙන රාජපක්ෂ කණ්ඩායමය.

මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකැරුනු ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වෙන්නේ වුව ද, ගැටලුව වන්නේ වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමට තවත් කොපමණ කාලයක් ගතවනු ඇතිදැයි යන්නය. කෙසේවුව ද, එම පහරදීම් සම්බන්ධයෙන් තොරතුරු බොහෝමයක් එකතු කරගැනීමට සහ ඒවා එකිනෙක පෙළගස්වා ගැනීමට විමර්ෂකයින් සමත්ව තිබෙන අතර, තවත් ප්‍රධාන පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රශ්න කිරීමට ද නියමිතය.
වෙනත් ඉහළ පෙලේ පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන, විශේෂයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය යටතේ පැවැත්වෙන විමර්ෂණයන් සැලකීමේ දී, එම ඒකකයට අත්‍යාවශ්‍යම පුද්ගලයින් දෙදෙනකු මෙරටට ගෙන්වා ගැනීම සදහා වඩ වඩාත් උත්සාහ ගැනෙමින් පවතී. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සහ වත්මන් රජය යටතේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් ඔවුන් දෙදෙනාය. වසර 60 විශ්‍රාම වියට එළැඹි පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ අධ්‍යක්ෂවරයාට වසරක සේවා දිගුවක් ලබාදීමට පසුගිය බදාදා පැවැති කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

විමර්ෂණ කටයුතු කඩිනම් කිරීමට සැබෑවටම පියවර ගැනුන ද, එය වත්මන් රජයේ ජන අප්‍රියතාවය වසා ගැනීමට කැරෙන දේශපාලන පළිගැනීමක් ලෙස ජනතාව අතර හදුනාගැනීමකට ලක්වීමට තිබෙන අවස්ථාව නොසළකා හැරීමේ හැකියාවක් නොමැත.එය රජයේ විශ්වසනීයත්වය තවදුරටත් විනාශ වීමට හේතුවක් වනු ඇත. අනෙක් අතට, 2015 දී දුන් පොරොන්දු සැළකීමේ දී කිසිත් නොකර සිටීමට රජයට අවාසි සහගතය. රජයට මේ සියල්ල සමතුලිත කරගැනීමට සිදුව තිබෙන්නේ රටේ දැවෙන ගැටලුව ජීවන වියදම ඉහළයාම බවට පත්ව තිබෙන වාතාවරණයකය.
ගෙවුනු සතියේ පැවැති මැයි දින රැලිවල දී, ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන නායක ලෙස සැළකෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉස්මතු කළේ ද මෙයයි.

“මෙම මිල ඉහළ දැමීම්වලින් වැඩිම පහරක් එල්ල වනු ඇත්තේ රටේ දුප්පත්ම ජන කොටස්වලට. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නට රජය කිසිම දෙයක් කරලා නැහැ. ගෘහස්ථ ගෑස් මිල වැඩිවෙලා. කිරි ආහාර මිල ඉහළ දමා තිබෙනවා. අනපේක්ෂිතව සිදුවුනු මේ දේවල් නිසා ජනතාව පීඩා විදිමින්.” රාජපක්ෂ, සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.
පසුගියදා මලයාසියාවේ පැවැති මැතිවරණයෙන් වසර 92ක් වයසැති හිටපු අගමැති මහතීර් මොහොමඞ් නැවත බලයට පත්වීම සැළකිල්ලට ගනිමින් රජය පාඩමක් උගත යුතුව තිබෙන බව රාජපක්ෂ කීවේ ය. පීඩා විඳිමින් සිටි ජනතාවක් ඔවුන්ගේ තීන්දුව ලබාදුන් බව, ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකාවේ දුක්විදිමින් සිටින ජනතාව, පැහැදිලිව කියතොත් දිළිදු ජනතාව යන්න යන පණිවුඩය රජයට ලබාදීමට බලා සිටින බව හිටපු ජනපතිවරයා පැවසුවේ ය.

ගෙවුනු සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 16 දෙනෙක් ද අහිමිකරගත් ජනපති සිරිසේන දැනට සිටින්නේ ඉතාම අසීරු තත්ත්වයකය. දියවෙමින් පවතින ඔහුගේ පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ රටේ අස්ථාවර ආර්ථිකය ශක්තිමත් කිරීමේ විසල් කාර්යභාරයන් ඔහු ඉදිරියේ ඇත. එක්සත් ජාතික පක්ෂය සැලකුවහොත්, ඔවුනට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අර්බුද නිර්මානය කර දෙමින් තිබෙන ගැටුම්, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසු ඒ සියල්ලට නැවතීමේ තිත තැබෙන්නට ඇතැයි කෙනෙකුට සිතන්නට හැකි වුව ද, තවමත් අවසන්ව නොමැත. ගැටුම් තවමත් එලෙසමය. වෙනසකට ඇත්තේ සියල්ල නිහඩව සිදුවෙමින් තිබීමය.