විස්සට ජනමත විචාරණයක් අවශ්‍ය වුවහොත් කරන දේ, විගණන හා ප්‍රසම්පාදන කොමිෂන් සභා අහෝසිය, ජනාධිපතිවරයාට දණ්ඩමුක්තිය දීම, පාස්කු ප්‍රහාරය හා දේශපාලන පලිගැනීම් සොයන කොමිසම්වල නෛතිකභාවය, නඩු ගොඩ ගැසීම, ජනවරමේ නීත්‍යනුකූල අර්ථය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතායි.

ප්‍රශ්නය - විසි වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයෙන් වගේම ආණ්ඩුවේම ජාතිකවාදී කණ්ඩායම්වලින් විශාල විවේචනයක් තිබෙනවා. මේක කඩිමුඩියේ නොකර මූලික කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන කරන්න තිබුණේ නැද්ද?
පිළිතුර- අපි ජනාධිපතිවරණයටත් මහමැතිවරණයටත් ගියේ 19 වැනි සංශෝධනය අහෝසි කරනවා කියලයි. ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේදීත් ඒ බව අවධාරණය කළා. එහෙම කියලා ඉදිරිපත් කළ කෙටුම්පත තමයි දැන් සාකච්ඡාවට භාජනය වී තිබෙන්නේ. සාමාන්‍ය ක්‍රමය අනුව තමයි එය සිදුකර තිබෙන්නේ.

ප්‍රශ්නය - විස්ස ගැන ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවස්ථාව ඇතැයි ආණ්ඩුව කිව්වත් එතැනදි බලන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගෙන ආ හැකි ආකාරය පමණයි. කඩිමුඩියේ නැතිව නිසි සාකච්ඡාවකින් එය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි නැගෙන ප්‍රශ්නය සාධාරණයි නේද?
පිළිතුර - මුලින් මම ඊට උත්තර දුන්නා. අපට කිසි කඩිමුඩියක් නෑ. 19 ගැන පහුගිය අවුරුදු පහ පුරාම සාකච්ඡා වුණා. මේකට සම්බන්ධ වෙච්ච හතර දෙනා ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේත් නෑ. රටට වෙච්ච ලොකුම විනය 19 යැයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයම කියනවා. එක බස් එකයි ඩ්‍රයිවර්ස්ලා දෙන්නයිලු. සුමන්තිරන් මහත්තයා කියන්නේ මේක තාවකාලික පිළියමක් නිසා අලුත් ව්‍යවස්ථාවකින් කෙළවර වෙන්නේ නැත්නම් ඒක සමග දිගට යන්න බෑලු. ජයම්පති වික්‍රමරත්න මහත්තයා මෙච්චර නරක දෙයක් වේවි යැයි හිතුවේ නෑ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අතෑරලා දැන් රටෙත් නෑ. මේක අලුත් දෙයක් නෙවෙයි. මේ ගැන ඕනෑ තරම් සාකච්ඡා කර තිබෙනවා.

ප්‍රශ්නය - ශ්‍රේෂ්ඨාධිකරණය 20ට ජනමත විචාරණයක් අවශ්‍ය බව කිව්වොත් එය අත්හැරීමේ සූදානමක රජය සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තටම රජයේ ස්ථාවරය මොකක්ද?
පිළිතුර - අපේ විශ්වාසය නම් ජනමත විචාරණයකට යා යුතු කරුණු විසි වැනි සංශෝධනයේ නෑ කියලයි. නීතිපතිතුමා විසින් සහතිකයක් ලබාදී තිබෙන්නේ ඒ අනුවයි. ඇත්තටම අපි නීතියට අනුව කටයුතු කරන්නේ. ජනමත විචාරණයකින් හැර මෙය අනුමත කළ නොහැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය යම් වෙලාවක තීරණය කළොත් ඒ අනුව අපි කටයුතු කරනවා. අපිට කිසි ගැටලුවක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්.

ප්‍රශ්නය - ජනපති අගමැති මතභේද හුවා දක්වා ජනාධිපතිවරයාට වැඩ කරන්න බලය ඕනෑ කියන තර්කය තමයි විස්සට මූලික කරගත්තේ. ඒත් අගමැතිවරයා ජනාධිපතිවරයාගේම සහෝදරයකු වන පසුබිමක වැඩකරන්න දේශපාලන වශයෙන් තිබෙන බාධාව මොකක්ද?
පිළිතුර - පවතින ව්‍යවස්ථාව යටතේ බාධක රාශියක් තිබෙනවා. ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්න බෑ. ව්‍යවස්ථාවෙන්ම ඔහු සේනාධිනායකයාය කියන ගමන් ඒ ව්‍යවස්ථාවේම තැනක ආරක්ෂක ඇමැති ධුරය දරන්න බෑ කියලා සඳහන් වෙනවා නම් මේ විකෘතිය මොකක්ද? ව්‍යවස්ථා සභාවට පස් දෙනෙකු පත්කරද්දී අගමැතිවරයා හා විපක්ෂ නායකවරයාගේ කැමැත්තෙන් විය යුතු බව තව තැනක සඳහන් වෙනවා. ඒ කාලේ සම්බන්ධන් මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි එකම කඳවුරේ. ඒත් මේ විපක්ෂ නායකවරයාටයි අගමැතිවරයාටයි රැස්වෙලා පස් දෙනකු යෝජනා කරන්න පුළුවන් ද? එවැනි දේකට අවස්ථාව නැත්නම් ඒක කෙරෙන්නේ කොහොමද කියලා ප්‍රතිපාදනයක් නෑ. ඒ නිසා ඇත්තටම ව්‍යවස්ථා සභාව පත්කිරීමේ අර්බුදයක් තිබෙනවා. ඔය වගේ කරුණු අතිවිශාල සංඛ්‍යාවක් මට කියන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේක ක්ෂණිකව කරන්න ඕනෑ කියලා තීරණය කළේ. මේක සහෝදරයෝ දෙන්නෙක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ව්‍යවස්ථාවක්. එහෙම නම් විධායක ජනාධිපතිවරයාගේ බලය අහුමුලුවලට දාන්න බෑ. අගමැතිතුමාට ප්‍රශ්නයක් නැත්නම් ඇයි අනෙක් අය මේක ප්‍රශ්නයක් කරගන්නේ? අපට තිබෙන ප්‍රශ්නය ඒකයි.

ප්‍රශ්නය - විගණනය කියන්නේ රාජ්‍ය පාලනයේ විනය මැන බැලීමක්. ඉතින් විසි වැනි සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසි කරන්නේ ඇයි?
පිළිතුර- 19ට කලින් මූල්‍ය පාලනයක් තිබුණේ නැද්ද? අපි කරන්නේ අවුරුදු හතරකට කලින් ගෙනාපු කාරණා ආපස්සට ගෙනියන එක විතරයිනෙ. එතකොට 2015ට කලින් ලංකාවේ විගණනයක් වෙලා නැද්ද? විගණකාධිපති දෙපාර්තමේන්තුව පිහිටෙව්වේ 19න් පස්සෙද? ඊට කලින් විගණකාධිපතිවරයකු හිටියේ නැද්ද? මේක සම්පූර්ණයෙන්ම වැරැදි මතයක්. විස්ස ගෙනාවාට පස්සේ වෙන්නේ 19ට කලින් තිබුණු තත්ත්වයට යෑමයි. විගණකාධිපතිවරයා විගණනය කරනවා. විගණකාධිපතිවරයාගේ බලයත් දෙපාර්තමේන්තුවත් ඒ හා සමානවම තිබෙනවා. එළියෙන් බලන අයට යම් යම් දේ පේන්න පුළුවන්. විගණකවරුන්ට පේන්නේ විගණකවරුන්ගේ ප්‍රශ්නය විතරයි. නීතිඥවරුන්ට පේනවා නීතිඥවරුන්ගේ ප්‍රශ්න. ඒ විදියට සමහරුන්ට තමන්ට ආවේණික දේවල් පේනවා. එහෙත් ජනාධිපතිතුමාට බලන්න වෙන්නේ වැඩ කරන්න ශීඝ්‍ර සංවර්ධනයට බාධාවක් වෙන කාරණා දෙසයි. ජනාධිපතිවරයා මේ තීරණය ගන්න පෙළඹිලා තිබෙන්නේ මේ අවුරුද්ද ඇතුලෙම තමා ලබපු අත්දැකීම් හා නිලධාරින් සමග කරන ලද සාකච්ඡා අනුවයි.

ප්‍රශ්නය- ඒත් රජයේ විගණනයෙන් සමාගම් ඉවත් කිරීමේ පදනම මොකක්ද? එය සංවර්ධනයට බාධාවක් වන්නේ කොහොමද?
පිළිතුර - ලංකාවට විගණනය හඳුන්වලා දුන්නේ 19 න්ද කියලයි මම අහන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති හා කාර්යාලය හා කැබිනට් ඇමැතිවරුන්ගේ කාර්යාලය විගණනය වෙලා තිබෙනවා. ඒ අවස්ථාව තිබෙනවා. එහෙත් සමාගම් සම්බන්ධයෙන් තිබෙන්නේ වෙනස් ක්‍රමවේදයක්. සමාගම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ සමාගම් නීතියයි. සමාගම් විගණනය විගණකාධිපතිවරයාට යවනවද වෙන කාට හරි දෙනවද කියලා සමාගම්වලට තීරණය කරන්න පුළුවන්. ඒකට රජය මැදිහත් වෙන්නේ නෑ කියන එකයි ජනාධිපතිවරයාගේ අදහස වෙන්නේ. අවශ්‍ය විදියට තමන්ගේ සමාගම පාලනය කරගෙන යන්න ඔවුන්ට නම්‍යශීලීතාවක් තිබෙන්න ඕනෑ. ඒත් විගණනයක් වෙන්නේ නෑ කියල එයින් අදහස් වෙන්නේ නෑ. හැම සමාගමක්ම විගණනය වෙන්න ඕනෑ. හැම සමාගමක්ම තමන්ගෙ කොටස්කරුවන්ට වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. සමාගම් රෙජිස්ට්‍රාර්ට යවන්න ඕනෑ.

ප්‍රශ්නය - ප්‍රසම්පාදන කොමිසමත් විසි වැනි සංශෝධනයෙන් අහෝසි වෙනවා. රජයේ කොන්ත්‍රාත් නිවැරැදිව පිරිනමනවා නම් පාලකයන් ප්‍රසම්පාදනයට බියවෙන්නේ ඇයි?
පිළිතුර - ප්‍රසම්පාදන කොමිසම දැන් අවුරුදු හතරක් ඉඳලා මොනවද කරල තියෙන්නේ. ඒගොල්ලො කරපු එක දෙයක් මට කියන්න. 2015ට පෙර මේ රටේ ප්‍රසම්පාදනය වුණේ නැද්ද? ටෙන්ඩර් කැඳෙව්වේ නැද්ද? මෙහෙම කතා කරන්නේ ඇයිද කියලා මම දන්නේ නෑ. ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් 1996 නිර්දේශ තිබෙනවා. 2006 තිබෙනවා. ඒ නිර්ණායක අනුව තමයි ටෙන්ඩර් කැඳවන්නේ. ඊට අනුව මුලින්ම තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කරනවා. ඒකෙන් තෝරාගත්තට පස්සේ නැවත වතාවක් කැබිනට් අනුකමිටුවකට යවනවා. එතැනින් තෝරාගත්තට පස්සෙත් වෙනම අභියාචන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අභියාචනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඊටත් පස්සේ අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඊටත් වඩා මොකක්ද? දැන් 19ට කලින් මේ රට දිව්වේ නැද්ද? 19 මහා ලොකු ඇලඩින්ගේ පුදුම පහනක් ද? ඔය 19න් මේ රටේ ආර්ථික වර්ධනය වැඩි වුණාද? අපරාධ අඩු වුණාද? ජාතික ආරක්ෂාව තහවුරු වුණාද? විස්සට විවේචන ගෙනෙන අය කතා කරන්නේ හරියට 19ට කලින් මේ රටේ රාජ්‍ය පාලනයක් තිබුණේ නෑ වගේ. මේ රටේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස පහළ බැස්සෙත් ජනාධිපතිවරයයි අගමැතිවරයායි මරාගත්තේ මේ 19 ඇතුලේ. පාස්කු ප්‍රහාරය වුණෙත් මේ 19 ඇතුලේ බව අමතක කරන්නෙපා.

ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරය හා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන කොමිසම් දෙක අද රටේ ප්‍රධාන මාතෘකා වී තිබෙනවා. ඇත්තටම එතැන සිදුවන්නේ නඩු විභාගයක් ද? විමර්ශනයක් ද?
පිළිතුර - කොමිසමක කොහොමත් තිබෙන්නේ විමර්ශන ක්‍රමවේදයක්නෙ. එතැන නඩු තීන්දුවක් ලැබෙන්නේ නෑ. ජනාධිපති කොමිසම් පනතේ විධිවිධාන අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ.

ප්‍රශ්නය - අධිකරණයේදී විභාගවන නඩුවලට අදාළ කරුණු පාර්ලිමේන්තුවේදීවත්  කතා කිරීම නොවටින බව ඔබ පාර්ලිමේන්තුවේදීම අවධාරණය කළා. එවැනි තත්ත්වයකදී අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ කරුණු විවිධ අර්ථකථන ලබාදෙමින් මේ කොමිසම් දෙකේදී හා ජනමාධ්‍ය ඔස්සේ කතා කිරීම නඩු විභාගවලට බාධාවක් නොවන්නේ කොහොමද?
පිළිතුර - ඔව්. ජනාධිපති කොමිසමක් ඒ හා සමානමද කියලා ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. මට ඒ සම්බන්ධයෙන් මතයක් දෙන්න බෑ. අධිකරණයක් විසින් ඒ සම්බන්ධයෙන් මතයක් ලබාදීම තමයි හරි.

ප්‍රශ්නය - නඩු ගොඩ ගැසීම වැඩිවෙද්දී රිමාන්ඞ් භාරයේ සිටින්නන්ගේ තදබදය බන්ධනාගාරයෙහි ආතතියක් ඇති කර තිබෙනවා. අධිකරණ ඇමැතිවරයා විදියට මේ කාරණා ගැන ඔබ කොතරම් සැලකිලිමත්ද?
පිළිතුර - මේ කාරණා ගැන තමයි මගේ වැඩිම සැලකිල්ල යොමුවෙලා තිබෙන්නේ. විවිධ කමිටු හරහා යෝජනා රැසක් ඊට ඉදිරිපත්ව තිබෙනවා. උදාහරණයක් හැටියට රස පරීක්ෂක දෙපාර්තමේන්තු වාර්තා කඩිනම් කිරීමට ක්‍රමයක් සකස් කර තිබෙනවා. මේවා දවසින් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ලැබෙන ප්‍රතිපාදන අනුව ක්‍රියා කරගෙන යනවා.

ප්‍රශ්නය - මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් මේ රටේ දීර්ඝ සංවාදයක් තිබෙනවා. ඊට අදාළව සිදුවන වෙනස්කම් තිබෙනවද?
පිළිතුර - ඔව්. පවතින පනත් සංශෝධනය සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. නීති අංශය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී සිටිනවා.
 
ප්‍රශ්නය - රජයේ නායකයන් සෑම දෙයක්ම සුජාත කිරීමට අපට ජන වරමක් ඇතැයි යන ප්‍රකාශය පාවිච්චි කරනවා. හොඳට නරකට දෙකටම ජන වරම යොදාගැනීම දේශපාලනිකව ෆ්ලැට් න්‍යායෙන් පිළිතුරු දීමක් නෙවෙයිද? දේශපාලනයේදී හැමදේටම එහෙම ජනවරම පාවිච්චි කරන්න පුළුවන්ද?
පිළිතුර- ඇත්තවශයෙන්ම පුළුවන්නේ. ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ආර්ථික සංවර්ධනය. නීතියේ පාලනය. ජාතික ආරක්ෂාව. මේවා සනාථ කිරීමට තමයි රජයක් පත්කරගන්නේ. එම කරුණු සනාථ කරගැනීමේදී යම් යම් බාධා ඇති බව පෙනී ගිය විට රජය ඊට විසඳුම් සෙවීමට තුනෙන් දෙකක බලය පාවිච්චි කරනවා. ඒකට ඇයි ෆ්ලැට් න්‍යායෙන් කියන්නේ. විස්ස වුණත් එහෙමයි. ගැසට් එක ගහලා සති දෙකක් කල් දීලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්න ඕනෑ අයකුට පුළුවන්. දෙවැනි වර කියවීමකට ගිහින් මන්ත්‍රීවරුන්ගේ අදහස් ගන්න නීතියෙන් අවස්ථාව දීලා තිබෙනවා. ඒකත් කෙරෙනවා. කමිටු අවස්ථාවෙදි වෙනස්කම් එකතු කිරීම් කරන බව දැනටමත් අපි කියලා තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියන දෙයට අපි සාවධානයි. පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන කරුණුවලට දැඩි අවධානයක් අපි යොමු කරනවා.

ප්‍රශ්නය - විසි වැනි සංශෝධනයෙන් නැවතත් ජනාධිපතිවරයාට දණ්ඩමුක්තිය හෙවත් දඬුවම් නොලබා සිටීමේ අවස්ථාව ප්‍රදානය කර තිබෙනවා. ජනාධිපති නීතිඥවරයකු හැටියට එක පුරවැසියකු නීතියට උඩින් තබනවට ඔබ එකඟද?
පිළිතුර - 19ට කලින් ජනාධිපතිවරයාට ඒ මුක්තිය තිබුණා. දැනටත් ජනාධිපතිවරයාට අපරාධ නඩු සිවිල් නඩු දාන්න බෑ. 19ට කලිනුත් ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලය ගන්න තීරණ මූලික අයිතිවාසිකම්වලින් අභියෝගයට පත් කළා. ඉස්සරහටත් ඒක කරන්න පුළුවන්. එකම දේ 78 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට අනන්‍ය බලය අභියෝග කරන්න බෑ. ජනාධිපතිවරයකු කරන හැම දේම ප්‍රශ්න කරන්න ගියොත් එහෙම වැඩ කරන්න බෑනේ. එතකොට ඡන්දෙකට ගිහින් ජනාධිපතිවරයකු වෙලා වැඩක් නෑනේ. මේ ක්‍රමවේදවලින් ඔබ්බට තවත් ක්‍රම ඕනෑ නම් ඊට වඩා හොඳයි ජනාධිපතිකමෙන් අස්වෙන එක.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)