නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පාසල් නිල ඇඳුම උස මදිවීම නිසා එහි වාටිය ලිහා එය සකස් කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස්දීම පිළිබඳව උරණ වූ එම ශිෂ්‍යාවගේ පියා වන වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයකු එම පාසලට ගොස්, පාසලේ විනය කටයුතු භාර ගුරුවරියට තර්ජනය කර, අසභ්‍ය වචනයෙන් බැණවැදී ඇය පාසලේ දී දණ ගස්වා තැබීම පිළිබඳ පුවත දුටු මට මෙම ලිපිය ලිවීමට සිත් විය.

එසේ වූයේ 1979 වර්ෂයේ දී එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතා ඔහුගේ පුත‍්‍රයාට පාසලේ දී දඬුවම් කළ පන්තිභාර ගුරුවරයාට ප‍්‍රශංසා සහ උසස්වීම් ලබාදීමේ සිද්ධිය මතක්වීම නිසාය. එදා ශ්‍රී ලංකාවටම සිටියේ එකම අධ්‍යාපන අමාත්‍යවරයෙකි. අධ්‍යාපන අංශයේ සියලූ ආයතන භාරව සිටි ඒ මහතා ඉතාම ආදර්ශවත් ලෙස කටයුතු කිරීමෙන් එතුමාගේ තනතුරේ හා තමාගේ උගත්කමේ තත්ත්වය මනාව පිළිබිඹු කළේය.
එම සිද්ධිය මම කෙටියෙන් සඳහන් කරමි. මෙම ලිපිය ලියන මා 1979 වර්ෂයේ දී මහනුවර ප‍්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකි. මහනුවර දිස්ත‍්‍රික්කයට අදාළ අධ්‍යාපන ආයතනවල සියලූ පරිපාලන කටයුතු ඉටු කෙරුනේ එම කාර්යාලයෙනි. එම කාලයේ දී මා සමග නවාතැන් ගෙන සිටි මගේ මිත‍්‍රයා ගුරුවරයකු වූ අතර ඔහු සේවය කළේ මහනුවර කිංස්වුඞ් මහා විද්‍යාලයේය. ඔහු නමින් ඒ.සී. පෙරේරා විය.

ඔහු කිංස්වුඞ් මහ විදුහලේ 08 ශ්‍රේණිය භාර ගුරුවරයා විය. දිනක් පෙරේරා මහතා හවස නවාතැනට පැමිණියේ මට මෙසේ කියමිනි. ”ධර්මේ අද මම පන්තියේ ළමයින්ට පැවරූ ගෙදර වැඩ කරගෙන නොපැමිණි අය පන්තියෙන් එළියට දමලා දඬුවම් කළා. ඒ අතර අධ්‍යාපන ඇමති නිශ්ශංක විජේරත්න මහතාගේ පුත‍්‍ර මනෝ විජේරත්න ද සිටියා. ඇමතිගේ පුතා කියලා වෙනසක් කළේ නැහැ. හැමෝටම දඬුවම් කළා. හෙට ඉඳලා මට ට‍්‍රාන්සර් එකක් දෙයි ද, වැඩ තහනම් කරයි ද දන්නේ නැහැ. උඹ කොහොම හරි මාව බේරා ගනින්. මාරු කළොත් ළඟ පාසලකට හදල දීපන්”

එදින රාත‍්‍රී හා පසුදා උදේ ද මේ ගැන කථා කළ අපි පසු දින ද සුපුරුදු පරිදි රාජකාරියට ගියෙමු. එදින හවස නවාතැනට පැමිණි පෙරේරා ප‍්‍රකාශ කළේ ”මචං මට හෙට ඇමති හම්බවෙන්න ගෙදරට එන්න කියලා මනෝ අතේ පණිවිඩයක් එවලා තියනවා. මොකද කරන්නේ කියලා.”

මම කීවා බය නැතුව යන්න වෙන දෙයක් හොඳට කියලා හිතාගනිමු කියලා. ප‍්‍රශ්නයක් ආවොත් මට හැකි උදව්වක් කරන්නම් කියලා.”

ඇමති තුමාගේ දැන්වීම පරිදි පසුදින එතුමාගේ නිවසට ගොස් පෙරේරා මහතා එදින හවස නවාතැනට පැමිණියේ කොක් හඬලා සිනාසෙමිනි. තුෂ්නිම්භූතව බලා සිටි මම ”ඒ.සී. අද මොකද වුණේ” කියලා විමසන විටම ලිපියක් ඉදිරිපත් කරමින් ”උඹලට පුළුවන්ද මේ වගේ ලිපියක් ලබාගන්න” කියලා, එය මගේ අතට දුන්නේය. ලිපිය මම කියවූවෙමි. මගේ මතකයේ හැටියට එහි තිබූ සටහන පහත පරිදිය.

එය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී තුමන්ලාට දෙන ශීර්ෂ මුද්‍රිත කොළයකි. එහි සඳහන් වූයේ (දිනය මතක නැත) මෙසේය.

ඒ.සී. පෙරේරා මහතා
08 ශ්‍රේණිය භාර ගුරු මහතා
මහ/කිංස්වුඞ් මහා විදුහල
මහනුවර

 


ප‍්‍රශංසා කිරීම
ඔබගේ පන්තියේ ඉගෙනුම ලබන මගේ පුත‍්‍ර මනෝ විජේරත්න විසින් අධ්‍යාපන කටයුතු හරිහැටි නොකිරීම පිළිබඳව දඬුවම් කිරීම පිළිබඳව ඔබට ස්තුති කරමි. මෙයට පසුව වුවද මගේ දරුවා පන්තියේ කටයුතු හරි හැටි නොකරන්නේ නම් දඬුවම් කර හෝ ඔහු හරි මගට යොමුකිරීම ඔබේ වගකීමයි. අවංක ගුරු මහත්මයකු වන ඔබට මගේ ප‍්‍රශංසාව පුද කරමි.
මෙයට,
විශ්වාසී වූ,
නිශ්ශංක විජේරත්න
අධ්‍යාපන ඇමති.

 


මෙම ලිපිය දී, නිශ්ශංක විජේරත්න ඇමතිතුමා පෙරේරා මහතාට මෙසේද කියූ බව ඔහු ප‍්‍රකාශ කළා. ”මොනව හරි උසස්වීම් තිබුණොත් ඉල්ලූම් පත‍්‍ර දාලා පුතා අතේ මට පණිවිඩයක් එවන්න” කියලා ඊට මාස කීපයකට පසු, කාර්මික විද්‍යාලවල තාක්ෂණික විද්‍යා කථිකාචාර්ය තනතුරු සඳහා කැඳවීමක් ගැසට් පත‍්‍රයේ මම දුටුවෙමි. ඒ ගැන පෙරේරා මහතාට ද තොරතුරු දී, මවිසින්ම අයදුම්පත‍්‍රයක් සකස් කර, එය ගරු ඇමතිතුමාට භාරදීමට පෙරේරා මහතාට දුන්නා. ඒ අනුව හෙතෙම කාර්මික විද්‍යාල කථිකාචාර්ය ධුරයට පත්විය.

ඒ එදා උගත් හා මානුෂික හදවතක් ඇති දේශපාලනඥයන් ක‍්‍රියා කළ ආකාරයයි. ඒ නිසා මනෝ විජේරත්න මහතා ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා අමාත්‍යවරයෙක් ද විය. අද ඒ අධ්‍යාපන අමාත්‍යවරයා හෝ ඔහුගේ පුතනුවන් වන මනෝ විජයරත්න ඇමතිතුමා හෝ ඔහුගේ ගුරුවරයා වූ ඒ.සී. පෙරේරා මහතා හෝ ජීවතුන් අතර නැත. සිද්ධිය දන්නා මා සිටින නිසාත්, නවගත්තේගම සිද්ධිය වැනි දේ ඇසෙන විට දැන් දේශපාලනයේ වෙනස රටේ හා සමාජයේ විනාශයට කොතෙක් බලපා තිබේද යන්න පැහැදිලි වන බවත්, සඳහන් කරන අතර නිශ්ශංක විජේරත්න අධ්‍යාපන අමාත්‍යවරයා ගේ ක‍්‍රියා කලාපය නූතන දේශපාලඥයන්ට ආදර්ශයක් වේවායි ප‍්‍රාර්ථනය කරමි.

 

 

ඊ.එස්. ධර්මසේන,  විශ‍්‍රාමික සහකාර කම්කරු කොමසාරිස්