ප්‍රවීණ ගීත රචකයකු කවියකු මෙන්ම විචාරකයකුද වන රවී සිරිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය ප්‍රදීපාගාරයක ඇස් බැල්ම කෘතිය මෙම මස 30 වැනිදා (අද) ප.ව 2.30 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙයි.
 
ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා මෙහි ප්‍රමුඛ දෙසුම පවත්වයි. ප්‍රියංකාරගේ බන්දුල ජයවීර, රුවන් බන්දුජීව, විමල් කැටිපෙආරච්චි, රුවන් මාපලගම සෙසු දේශකයෝය. සභාව මෙහෙයවන්නේ මාධ්‍යවේදී දිල්ශාන් පතිරත්නයි. ගී ගැයුම් රූ රූනි සහ යසන්ත සමරවීරගෙනි. මේ සංවාදය රවී සිරිවර්ධන සමඟයි.
 
ප්‍රදීපාගාරය යට ඇස් බැල්ම කවි බවට පත්වෙන්නේ කොහොමද?
පොතේ නමේ තේමාව දේශපාලනිකයි.ඇත්තටම අපට දැන් අවශ්‍ය තරු නෙවෙයි ප්‍රදීපාගාර.තරු බැබලෙන්නෙ තමන් සඳහාමයි.ඒව අපට මග කියන්නෙවත් එළිය දෙන්නෙවත් නෑ. ප්‍රදීපාගාර තමයි මග කියන්නෙ. ගොඩ බිම පෙන්වන්නෙ. ඒ නිසා මේක ප්‍රදීපාගාර අවශ්‍ය සමාජයක්. මෙම කෘතිය තමයි දිගු කලක මගේ කවි විරාමය නිමා කරන්නෙ.ගීත පොත් දෙකකට සහ මගේ ගීත ඇතුළත් සංගත තැටී 4කට පස්සෙ තමයි තෙවැනි කවි පොත හැටියට මේක ජනගත වෙන්නෙ.එහි තේමා හුඟක් හැදෙන්නෙ මානව සබඳතාවල විවිධ මානයන් පිළිබඳ කෙරෙන නිරීක්ෂණ හැටියට. ඒවායේ දේශපාලනය සහ පුද්ගල ජීවිත ඇතුළෙ මට දැනෙන සංකීර්ණ තා කවියට විෂය වෙලා ඇති. ඒවා කොයි තරම් දුරට නිර්මාණාත්මකද කියන එක පාඨකයන් තීරණය කරාවි.
 
කවියෙ හැඩය අද බොහෝ සෙයින් වෙනස්වෙලා. ඊට සැපයෙන නිර්වචන පවා එහෙමයි. කවිය යනු කුමක්ද යන පැනයට ඔබේ පිළිතුර මොනවගේද?
කවිය කියන්නෙ අප සසල කරන පරිකල්පනමය ඉදිරිපත් කිරීමක්. අප මවිතයට පත් කරන අභ්‍යන්තර කම්පනයක් එහි තිබෙනව. එය මින් පෙර නොදුටු පරිකල්පනයක්. ඒකයි එයට අපි අපූර්ව කියල කියන්නෙ. හොඳ කවියක් කියවන්න පෙර සිටි මම නෙවෙයි කියෙව්වට පස්සෙ ඉන්නෙ. ඔහු ආනන්දය නමැති මිහිරෙන් ඔතා ගැඹුරු ජීවන අරුතක් මතුකරනව. එය අපේ සිතිවිලි පුරා සැරිසරනව. අපි අභ්‍යන්තරිකව වෙනස් කරනව. ජීවන අවබෝධය පුළුල් කරනව.
 
මුහුණුපොතේ කවිය අද ඉතාම ජනප්‍රියයි. ඒත් ඒ නිසා කවියේ හා විචාරයේ බර හෑල්ලුවුණු බවට මතයක් තිබෙනවා. ඔබ පිළිගන්නවාද එය?
කවි ලෙස සමාජ මාධ්‍යයට මුදා හරින අති බහුතර රචනා කවි කියල මම විශ්වාස කරන්නෙ නෑ.ඉතා කලාතුරකින් තමයි අප රසයට පත් කළ හැකිකවියක් දකින්න ලැබෙන්නෙ.හුඟක් තියෙන්නෙ අදහසක් රිද්මයකට ගොනු කරල.පරිකල්පනයක් ඒවායෙ නෑ. ලියන පිරිස කටු වැඩ කරන ඒව අමුවෙන්ම එහි පේනව. හරියට අසම්පූර්ණ කළල බලෙන් එළියට ඇදල අරන් වගේ. ඒක එහෙම උණාට ඒවට එන ප්‍රතිචාර විශ්මය දනවන සුළුයි. ලියන ආධුනිකයා විශාල ෆැන්ටසියකට දාල තමයි කෙළවර වෙන්නෙ. අන්තිමේ ඉවසීමෙන් අභ්‍යාස කරමින් ඉස්සරහට පැමිණිය යුතු නවක කවියගෙ ගමන සමාප්ත වෙනව.ඒක මාර අපරාධයක්.සමාජ මාධ්‍ය තුළ කවියට ප්‍රතිචාද දක්වන බොහෝ පිරිස් විෂය ගැන ලොකු අවබෝධයක් තියන පිරිසක් නෙවෙයි. ඉතින් එහෙම අයගෙ ප්‍රතිචාරවලින් කවියෙක් පෝෂණය වෙන්නෙ නෑ. වෙන්නෙ ඇන්දෙන එක.මොකද මෙතන කවියක් පබ්ලිෂ් වෙන්න කලින් ඒක දැනුවත් කෙනෙකුගෙ අධීක්ෂණයකට ලක් වෙන්නෙ නෑ.පත්තර කවි පිටුවක අඩුම තරමෙ ඒකට ලැබෙන කවි මූලික තේරීමකටවත් යටත් වෙලයි අපට ලැබෙන්නෙ. ඒ නිසා යම් ප්‍රමිතියක් රකින්න කවියට සිද්ධ වෙනව. සමාජ මාධ්‍යය තුළ එවැනි සීමාවක් නෑ. ඕනම පල් හෑල්ලක් කවියක් ලෙස සංසරණය විය හැකියි.
 
කවි ලිවීමේදී කවි බස හද බස වගේ දේවල් ගැන එක කාලයක කතාවුණා.  ඒ මත ඔබ පිළිගන්නවාද? ඇත්තටම කවියක භාෂාව තීරණය වන්නේ කොහොමද?
කවියකට සම්මත බසක් නෑ. පරිකල්පනය සහ අද්දැකීම විසින් ඉල්ලා සිටින බස කුමක්ද එයයි කවියාගේ බස සහ ආකෘතිය වෙන්නෙ.ඒක පුර වහර,ජන වහර හෝ සම්භාව්‍ය සාහිත්‍යයේ බස විය හැකියි. මේ සියල්ලේ සම්මිශ්‍රණයක් වෙන්නත් පුළුවන්. එය තීරණය වෙන්නෙ කවියගෙ පරිකල්පනය මත.කල් තියා බස තීරණය කරන්නෙ නෑ.මට කියන්න ඕන දේ වඩා ප්‍රබලව කියන්න පුළුවන් බස සහ ආකෘතිය තමයි කවියට මුල් වෙන්නෙ. හද බස කියල එකක් නෑ.අපට කවියාගේ පරිකල්පනය දැනෙන ඕනෑම අවස්ථාවක කවියා සාර්ථකයි.
 
ඔබ සම්මානලාභී ගීත රචකයෙක්. ඒත් අද ගීතයට මොකද මේ වෙලා තියෙන්නේ?
ගීතයට වෙලා තියන ප්‍රධානම අවුල තමයි මාධ්‍ය අවකාශය ඇතුළෙ ඒක අවභාවිත වීම. හුඟක් නාලිකා ගීත කියල ඉදිරිපත් කරන්නෙ අවර ගනයේ අඳෝනා, යාදිනි. ඒව අහන් ඉන්න බෑ. කලා කෘතියක මූලික කොන්දේසිය තමයි එහි තිබිය යුතු කලාත්මක සෞන්දර්යය. නිර්මාණාත්මක බව. ඒත් මේ ඇහෙන හුඟක් ගීතවල ඒ ලක්‍ෂණය නෑ. එක්කො ගායනය හොඳයි පද අහගෙන ඉන්න බැරි තරම් බාලයි. එක්කො පද හොඳයි සංගීත නිර්මාණය කඨෝරයි. අලු‍ත් නාද පරිකල්පනයක් නෑ. ඉතින් ඒ ගීත රහක් තියන ශ්‍රාවකයන්ට කරදරයක්. හොඳ ගීත නිර්මාණය උණාට ඒව ප්‍රචාරය කරන්නෙ නෑ. අර කුණු රසට හුරු කරපු අලු‍ත් ශ්‍රාවකයො ටිකට තමයි ගීත ප්‍රචාරය කරන්නෙ. 
 
කවියට වඩා ගීතය ජනප්‍රිය මාධ්‍යයක්. ඒත් ගීතය ඉක්මවා යන ගැඹුරු කියවීමක් කවියට තියෙනවා නේද ඒ ගැඹුර කොහොමද හඳුනාගන්නේ?
ගීත රචකයාට වඩා වැඩි ගැඹුරකට කවියාට යා හැකියි. ඒ ගැන විවාදයක් නෑ. ගීතයකදි ගීත රචනයට සංගීතය ඇතුළෙසීමා පැනවෙනව. භාෂාමය සීමා පැනවෙනව. කවියට එහෙම බාධක නෑ. කවියගෙ නිදහස අසීමිතයි. ඒ නිසාම ප්‍රකාශන විභවයත් අසීමිතයි. ගීතයක් ලියන්න වෙන්නෙ විනාඩි තුන හතරක ගුවන් කාලයක් වෙනුවෙන්. එතනදි බස කවියට අදාළ නොවන ශ්‍රව්‍ය ගෝචර ලක්ෂණ රැකිය යුතුයි. කවියා කේවල කර්තෘකයි. ගීතය බහු කර්තෘකයි. මේ නිසා කවිය විශාල නිදහසක් බුක්ති විඳිනව. මේ දෙක පැහැදිලිවම මාධ්‍ය දෙකක්
 
ගීතය සහ කවිය නැමැති මාධ්‍ය දෙක තුළම හැසිරෙන නිර්මාණකරුවො අඩුයි නේද ? 
ඔව්, හුඟක් අඩුයි. ඒකට හේතුව මාධ්‍යයික වෙනස්කම්. කවි ලියූ පමණින් ගීත ලියන්න හෝ ගීත ලියූ පමණින් කවි ලියන්න බෑ. මේ මාධ්‍ය දෙක වෙන වෙනම අභ්‍යාස කළ යුතුයි. මොකද කවියගෙ ඕඩියන්ස් එක පාඨකය. ගීත රචකයගෙ ඕඩියන්ස් ශ්‍රාවකය. කවියක් දෘෂ්‍ය ගෝචරයි. ගීතය ශ්‍රව්‍ය ගෝචරයි. මේ දෙක හරියට දැනගෙන ලියන්න ඕන. හැම හොඳ කවියක්ම ගීතයක් කරන්න බැරි මේ මාධ්‍යයික වෙනස්කම නිසා. කවිය සාහිත්‍ය ප්‍රකාශනයක් වෙද්දි ගීතය සංගීත ප්‍රකාශනයක් බවට පත් වෙනව. එහි ගීත රචකය එක පාර්ශව කරුවෙක් විතරයි. මෙන්න මේ කාරණා නිසා මේ දෙක තුළම සමාන බරකින් නියැලෙන්න පහසු නෑ. සේකර සහ රත්න ශ්‍රී වගේ අය තමයි මේ දෙක තුළම වඩාත් වැඩි සාර්ථකත්වයක් ලැබුවෙ.
 
මේ මොහොතේ කවියට තියෙන සමාජ කාර්යභාරය මොකක්ද?
කවියට පමණක් නෙවෙයි සියලු‍ කලා මාධ්‍යන්ටම පැවරෙන වගකීම තමයි උසස් සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් නිර්මාණකරණයේ නියැලීම.මේ මොහොත වන විට මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතයක් නැති තරම්. අර්ථ ක්‍රමයෙ අතිමහත් පීඩාව මැද මිනිස්සුන්ට ඉස්සෙල්ලම අහිමි වෙන්නෙ සංස්කෘතික ජීවිතය. හාල්සේරුවක් ගන්න, දරුව ඉස්කෝලෙකට යවා ගන්න අරගල කරන සමාජයක සංස්කෘතික ජීවිතයකට ඉඩක් නෑ. තමන්ගෙ ප්‍රමුඛතා හැදෙන්නෙ ජීවිතේ ගැට ගහගන්න අරගලය මැද. හොඳට කුස පිරුණ, ජීවත් වීමේ පීඩනය අඩු මිනිහෙක් තමයි පොතක් කියවන්න චිත්‍රපටයක් බලන්න වෙලාවක් හොයා ගන්නෙ. මේ අර්ථ ක්‍රමය ඒ සන්සුන්කම ආරක්ෂිත බව අහිමි කරල තියෙන්නෙ. කොල්ලකාරී ආර්ථිකයක දඬු අඬුවට හසු උණ ජනතාවකට යහපත් සංස්කෘතික ජීවිතයක් ලැබෙන්න විදිහක් නෑ. මෙම වටපිටාවෙ නිර්මාණ කරුවන්ට පැවරෙන එක් ප්‍රමුඛ වගකීමක් තමයි මේ අසමත් දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය මතවාදී සංවාදයකට නායකත්වය දීම.