මෙරට ආර්ථික වර්ධන වේගය, දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම වැනි ආර්ථික සාධක සම්බන්ධයෙන් 2015 සිට පවතින්නේ සතුටුදායක තත්ත්වයක් නොවේ. ඇත්තෙන්ම ඒ සියල්ලෙහි පවතින්නේ කඩා වැටීමකි. එසේ වූයේ ඇයි සහ ඒ තත්ත්වයෙන් ගොඩ ඒමට කළ යුත්තේ මොනවාදැයි අපි මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා සමග සාකච්ඡා කළෙමු. ඒ මහතා කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන අතරම ප්‍රායෝගික ආර්ථික විද්‍යාඥයකු ලෙස ද ප්‍රකටය.

ලෝක බැංකුවේ සාමාජික රටවල් සංඛ්‍යාව 189කි. ලෝක බැංකුව 2020 ජුලි 01 වැනිදා නිකුත් කළ රටවල් වර්ගීකරණ වාර්තාවට අනුව 2019 දී සිටි තැනින් පහළට වැටී තිබෙන්නේ රටවල් තුනක් පමණකි. ඒ ඇල්ජීරියාව, ශ්‍රී ලංකාව සහ සුඩානය යන රටවල්ය. සිටි තැනින් ඉහළ ගොස් තිබෙන්නේ එනම් පොහොසත් වී සිටින්නේ ඉන්දුනීසියා, රුමේනියා, ටැන්සානියා, නේපාලය, මුරුසි දිවයින, නාවුරු හා බෙනින් යන රටවල් පමණකි. සිටි තැනින් පහළට වැටුණාය කීමෙන් අදහස් වන්නේ දුප්පත් වූ බවය. ඒ අනුව 2019 වනවිට ලංකාව ද ඉහළ මැදි ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් දක්වා පල්ලම් බැස තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලොව සෑම රටකම ආර්ථික සාධක සම්බන්ධයෙන් ගණන් හදන්නේ හා බලන්නේ ඇමෙරිකන් ඩොලර්වලිනි. එහෙයින් මෙහිදී රුපියල්වලින් කතා කිරීම නිරර්ථකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ලංකාව සම්බන්ධයෙන් ගණන් හදන්නේ ද ඇමෙරිකන් ඩොලර්වලිනි. ලෝක බැංකුව ඒක පුද්ගල ආදායම අනුව ලොව රටවල් වර්ගීකරණය කරයි. සත්‍ය වශයෙන් ගතහොත් තිබෙන්නේ රටවල් කාණ්ඩ තුනකි. ඒ ඉහළ, පහළ හා මැදි ආදායම් රටවල් වශයෙනි. එහි මැදි ආදායම් රටවල් ඉහළ මැදි ආදායම් හා පහළ මැදි ආදායම් ලෙස කොටස් දෙකකට බෙදයි. ඒ අනුව ලොව සියලු රටවල් කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය වෙයි.

සමස්ත ලෝකයේම නිෂ්පාදනය ලෝක ජනගහනයෙන් බෙදා ලෝකයේ ඒක පුද්ගල ආදායම ගණනය කරයි. ඒ ඒක පුද්ගල ආදායම ද වාර්ෂිකව වෙනස් වෙයි. 2019දී ලෝක ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 4,045කි. එහෙත් 2018දී එය 4,078ක් විය. එය වෙනස් වන්නේ ලෝක ආර්ථිකයේ වත්කම් අනුවය. 2020 ජුලි 01 වැනිදා නිකුත් කළ ඉහත සඳහන් වාර්තාවට අනුව ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1,036ට වඩා අඩු රටවල් පහළ ආදායම් ලබන රටවල් ලෙස සැලකෙයි. පහළ මැදි ආදායම් ලබන රටවල් ලෙස සැලකෙන්නේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 1,036 සිට 4,045 දක්වා තිබෙන රටවල්ය. ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 4,046 සිට 12,535ක් දක්වා තිබෙන රටවල් ඉහළ මැදි ආදායම් ලබන රටවල් ලෙස හැඳින්වෙයි. ඉහළ ආදායම් ලබන රටවල් ලෙස සැලකෙන්නේ ඇමෙරිකන් ඩොලර් 12,535කට වැඩි ඒක පුද්ගල ආදායමක් සහිත රටවල්ය.

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වූයේ 2017 දීය. 2018දිත් අපි එතැනම සිටියෙමු. එහෙත් 2019දී සිටි තැනින් පල්ලම් බැස්සෙමු. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් 2016දී මෙරට ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3,886කි. එය 2017දී 4,077ක් වූ අතර 2018දී 4,079ක් විය. එහෙත් 2019දී එය ඇමෙරිකන් ඩොලර් 3,852ක් දක්වා පල්ලම් බැස්සේය. එය 2017ට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලර් 225කින් අඩුවීමකි. 2010 සිට 2015 දක්වා කාලයේ සෑම වසරකදීම මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 200කින් පමණ ඉහළ ගියේය. එහෙත් 2017ට සාපේක්ෂව 2018දී වැඩිවූයේ ඩොලර් දෙකකිනි. 2010 දී මෙරට ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 2,744කි. 2015දී එය ඇමෙරිකන් ඩොලර් 3,843ක් විය. ඒ අනුව ඒ අවුරුදු පහේ දී මෙරට එක් පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 1,099කින් ඉහළ ගොස් තිබේ. එහෙත් 2015 සිට 2019 දක්වා ගෙවුණු කාලයේ දී ඒක පුද්ගල ආදායමෙහි සිදුවී තිබෙන්නේ පල්ලම් බැසීමකි.

රටේ පොහොසත්කම මනින්නේ ඒක පුද්ගල ආදායමෙන් නිසා එය ඉහළ නංවා ගැනීමට වේගවත් ආර්ථික වර්ධනයක් අවශ්‍ය වෙයි. සියයට දෙකක තුනක ආර්ථික වර්ධනයකින් එය කළ නොහැකිය. 2019දී සියයට 2.3කට පල්ලම් බැස්සේ 2015දී සියයට 5.0ක් වූ ආර්ථික වර්ධන වේගයයි.

මෙහිදී පැන නගින තවත් විශාල ප්‍රශ්නයක් ද තිබෙයි. එය නම් විදේශ වෙළෙඳාමෙහි තිබෙන ප්‍රශ්නය. විදේශ විනිමය කළමනාකරණය අතින් ලංකාව සිටින්නේ ප්‍රශ්න ගොඩකය. විදේශ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ද ලංකාව සිටින්නේ යහපත් තැනක නොවේ. ඒ නිසා අපේ රටේ ඩොලර්වලට ඉහළ ඉල්ලුමක් පවතී. ඒ නිසා අපේ රුපියල අවප්‍රමාණය වීමේ වේගය ද වැඩි වී තිබේ. එයට හේතු වී තිබෙන්නේ විදේශ වෙළෙඳාම සේම විදේශ ණය ද නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසාය. ඒ නිසා රුපියලේ විදේශ විනිමය අනුපාතය දිගින් දිගටම පිරිහෙයි. සරලව කිවහොත් රුපියලේ අගය බාල්දු වෙයි.

ආර්ථික වර්ධන වේගය ජනගහන වර්ධන වේගයට වඩා වැඩි නම් ඒක පුද්ගල ආදායම වර්ධනය වෙයි. ආර්ථික වර්ධන වේගය ජනගහන වර්ධන වේගයට සමානුපාතික නම් ඒක පුද්ගල ආදායම ද ඉහළ නොයයි. ආර්ථික වර්ධන වේගය අඩුවී ජනගහන වර්ධන වේගය ඉහළ ගියහොත් ඒක පුද්ගල ආදායම ද අඩුවෙයි. රුපියල්වලින් මැන්නොත් ඒක පුද්ගල ආදායම ඉහළ ගොස් තිබෙන බව පෙනී යයි. එහෙත් දළ දේශීය නිෂ්පාදිතය ද අඩුවී තිබෙන හෙයින් ඒක පුද්ගල ආදායම ද පල්ලම් බැස තිබේ. ජනගහනයෙන් බෙදන්නේ දළ ජාතික නිෂ්පාදිතයයි.

ඩොලර්වලින් ගණනය කරද්දී ඒක පුද්ගල ආදායම අඩුවී තිබෙන බව බැලූ බැල්මටම පෙනී යයි. ඒක පුද්ගල ආදායම රුපියල්වලින් මැන සිත සනසා ගත හැකිය. එහෙත් එය නිරර්ථකය. ජාත්‍යන්තරය අපේ රට දෙස බලන්නේ රුපියල්වලින් නොව ඩොලර්වලිනි. මේ ඇත්ත යථාර්ථය නොදකින ඇතැමුන් කියන්නේ සිත නිවන කතාය. එහෙත් ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ ජාත්‍යන්තර වශයෙනි. ජාත්‍යන්තරය අප දෙස බලන්නේත් අප රට සම්බන්ධ ගණන් හදන්නේත් ඩොලර්වලිනි.

ලංකාවට ණය දෙනවා ද ආධාර දෙනවා ද ණය දෙන්නේ කීයේ පොලියකට ද සහනදායී පොලියට ණය දෙනවා ද ණය ආපසු ගෙවීමට සහන කාලයක් දෙනවා ද දිගුකාලීන ණය දෙනවා ද යනාදිය තීරණය වීමට ද ඒක පුද්ගල ආදායම බලපායි. එසේම මෙරට සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ආධාර දෙනවා ද ව්‍යාපෘති සඳහා අඩු පොලී ණය දෙනවා ද යනාදී සියල්ල සේම ජී.එස්.පී. ප්ලස් වැනි වෙළෙඳාමට දෙන සහන සේම ලාංකිකයන්ට විදෙස් රැකියා සඳහා දොරවල් කෙතෙක් දුරට විවෘත කරනවා ද යනාදී සියල්ල තීරණය වන්නේ අපේ රටේ තිබෙන ආදායමේ ප්‍රමාණය මතය. 2017 දී ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වූවාට පසු 2018 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අඩු පොලියට ණය නොලැබීමේ ප්‍රශ්නයක් ද උද්ගත විය. එසේම ආපසු නොගෙවන ආධාර ලැබීම ද සීමාවිය. අප කළ යුත්තේ දුප්පත්ව සිටිමින් හිඟාකෑම නොව වසරින් වසර අපේ ආර්ථිකය වර්ධනය කර ගැනීමය. රටේ ජනගහනය වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නොයන්නේ නම් ඒක පුද්ගල ආදායම ද සැලකිය යුතු ලෙස ඉහළ නොයයි.

2010 සිට 2015 අතර කාලයේ ලංකාවේ ආර්ථිකය ඉහළින් වර්ධනය විය. සංඛ්‍යාත්මකව සඳහන් කළහොත් 2010 දී සියයට 8.0 ක්ව පැවැති ආර්ථික වර්ධන වේගය 2011 දී සියයට 8.4 ක් ද 2012 දී සියයට 9.1ක් ද විය. එහෙත් ඒ වර්ධන වේගය එක දිගට පවත්වා ගැනීමට නොහැකි විය. 2013 දී එය සියයට 3.4 දක්වා වැටුණු අතර 2014 දී යළි සියයට 5.0 ක් විය. 2015 දී ද එය එලෙසම තිබිණි. එහෙත් 2015න් පසු එනම් 2016 සිට  යළිත් එය පල්ලම් බැස්සේය. 2016 දී සියයට 4.5ක් ද 2017 දී සියයට 3.6 ක් ද 2018 දී සියයට 3.3ක් ද වූ එය 2019 අවසන් වෙද්දි සියයට 2.3 දක්වා පල්ලම් බැස්සේය. එහෙත් එවකට පැවැති ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබුණේ තම යුගයේ දී සියයට හතක අටක ආර්ථික වර්ධන වේගයකි. එහෙත් ඇස්තමේන්තු හා සැබෑ වර්ධනය අතර තිබුණේ අති විශාල පරතරයකි.

එතරම් අති විශාල පරතරයක් ඇති වුණේ ඇයි දැයි සොයා බැලීම ඉතා වැදගත්ය. ඒ පැවැති රජයේ මුදල් ඇමැතිවරු මාරු වූහ. මහ බැංකුව අගමැති යටතට ගත්තේය. ජනාධිපති ජාතික ආර්ථික සභාවක් ද පත් කළේය. අගමැති යටතේ වෙනමම ආර්ථික සංවර්ධන කමිටුවක් ද පිහිටුවාගෙන තිබිණි. ආර්ථික ප්‍රතිපත්ති හත අටක් ද එළි දුටුවේය. ගම් පෙරළිය ඉන් එක ප්‍රතිපත්තියකි. ‘නීල හරිත’ තවත් ප්‍රතිපත්තියකි. හැම අය වැයකදීම විවිධ නම්වලින් විවිධ ව්‍යාපෘති හඳුන්වාදීම එකල සාමාන්‍ය ලක්ෂණයක් විය. අය වැයට අමතරව අගමැතිත් විටින් විට විවිධ ප්‍රතිපත්ති ඉදිරිපත් කළේය. ඔවුන් ඒ විවිධ ප්‍රතිපත්ති ඉදිරිපත් කළේ ආර්ථික වර්ධනය පල්ලම් බසිනවා පෙනි පෙනීය. එහෙත් ඒ ප්‍රතිපත්ති ලියවිලිවලට පමණක් සීමා විය. පොළොවේ පැළවෙන නැතහොත් මහ පොළොව මත ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන් ඒ ලියවිලිවල නොතිබිණි. ගෙයක් කඩා වැටෙන විට එය වළක්වා ගැනීම සඳහා මුක්කු ගසන්නා සේ ඒ ආණ්ඩුව ද ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා මුක්කු ගැසුවේය. එහෙත් ඒ මුක්කු ශක්තිමත් නොවූ නිසා ආර්ථිකය කඩා වැටිණි.

යහපාලන රජය ඉදිරිපත් කළ බොහෝ දේවල් ආර්ථික වැඩසටහන් නොවේ. ඒවා දර්ශන පමණකි. දර්ශන හා වැඩසටහන් එකිනෙකට වෙනස්ය. වැඩ සටහන්වල නම් ක්‍රියාකාරකම් තිබේ. ඒවා රටපුරා ක්‍රියාත්මක විය යුතුය. එහෙත් ඒ යුගයේ කිසිම ක්‍රියාකාරකමක් නොවීය. මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා නීල හරිත අය වැය ඉදිරිපත් කරද්දී ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළේය. එය නම් ‘එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා’ ය. එය ඉතා හොඳ යෝජනාවකි. එහෙත් එය හුදෙක් ණය දෙන වැඩසටහනක් පමණක් විය. එය එසේ වීමෙන් වළක්වා ගන්නැයි ඉල්ලමින් මම එකල පුවත්පත්වලට ලිපි   ලිව්වෙමි. බැංකුවලින් ණය දෙන ක්‍රමවේදය එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා හි තිබුණ ද ණය දෙන්නේ කාටද කියා කිසිම ඇගයීමක් නොතිබිණි. ඒ නිසා එය තවත් එක දේශපාලන ව්‍යාපෘතියක් පමණක් විය.

එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා සමන්විත වන අතුරු වැඩසටහන් මොනවාද, ඉන් බලාපොරොත්තු වන්නේ කුමන නිෂ්පාදන දිරි ගැන්වීමට ද කුමන අපනයන දිරි ගැන්වීමට ද කුමන අංශවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය පාවිච්චි කරනවාද යනාදී කිසිම කාරණයක් ඒ ව්‍යාපෘතියෙහි නොතිබිණි. ව්‍යවසායකයන් සංවර්ධනය කරන්නේ කෙසේද, ව්‍යවසායකයන්ට සපයන උපදේශන සේවා මොනවාද? ඒවා සපයන්නේ කෙසේද යනාදී කිසිම සැලසුමක් ඒ ව්‍යාපෘතියෙහි නොතිබිණි. ආණ්ඩුව ඇස්තමේන්තු කළ ආර්ථික වර්ධනයයි - සැබෑ ආර්ථික වර්ධනයයි අතර  විශාල පරතරයක් ඇතිවීමට ද ඒ තත්ත්වය බලපෑවේය. ඇත්තෙන්ම  ඔවුන් එද‌ා මාලිගා හැදුවේ අහසේය. යහපාලන රජයේ ආර්ථික යෝජනා යථාර්ථවාදී නොවීම මේ සියල්ලටම හේතුවිය. ඒ ව්‍යාපෘති ප්‍රචාරය සඳහා මහා පරිමාණයෙන් වියදම් ද කළහ. අවසානයේ ඒ වියදම් ද මහා බරක් විය. රුපියල් බිලියන ගණනක් වැය කළාට පසුව දුන් සල්ලි අය කරගැනීමට ක්‍රමවේදයක් නොතිබුණු නිසා අවසානයේ එය අහෝසි කර දැමීමට යෝජනාවක් ගෙනාවේය. රටේ ආර්ථික සංවර්ධනය සඳහා ගෙනා හොඳ ව්‍යපෘතියකට අත්වූයේ එවැනි ඉරණමකි.

 අතාර්කික, අවිධිමත්, අකාර්යක්ෂම වැඩසටහන් නිතර නිතර ඉදිරිපත් කිරීම එකල සාමාන්‍ය හා පොදු ස්වභාවය විය. පාසල් ළමයින්ට ටැබ් දීමට ගෙනා යෝජනාව ඊට දැක්විය හැකි හොඳම උදාහරණයකි. ලංකාව ටැබ් හදන රටක් නොවේ. ඒ ටැබ් ගෙන්වන්නට වන්නේ පිට රටවලිනි. ඒ සඳහා රටින් පිටට යන්නේ ඩොලර්ය. ඒ ටැබ් පාවිච්චි කිරීමට අන්තර්ජාලය පාවිච්චි කිරීමේදී මුදල් ගෙවීමට සිදුවන්නේ ගූගල් සමාගමටය. එසේ ඒ රජය විදේශ විනිමය පාවිච්චි කළේ ඉතාම නරක අයුරිණි. සුඛෝපභෝගී භාණ්ඩ සේම ලක්ෂ700 සිට 800 වටිනා සුඛෝපභෝගී කාර් ගෙන්වීම, රජයේ සේවකයන්ට බදුවලින් තොරව වාහන ගෙන්වා ගැනීම වැනි සියල්ලට වැය වුණේ රටින් පිටට ගියේ ඩොලර්ය. තීරු බදු රහිතව වාහන ගෙන්වා ගැනීමට බලපත්‍ර දීම නිසා ඒ පුද්ගලයන් කර තිබූ ඉතුරුම් ද රටට අහිමි විය. ඔවුන් ඉතුරුම්වල තිබූ සල්ලි එළියට ගත්තේ වාහන ගෙන්වා ගැනීමටය. අවසානයේ ඉතුරුම් ටිකත් එළියට අරගෙන ඒ සියල්ල වාහන නිපදවන ජපානය වැනි රටවලට ගෙවා දැම්මේය. එවැනි ක්‍රියා නිසා ඩොලර්වලට තිබූ ඉල්ලුම ඉහළ ගියේය. ඩොලර්වලට තිබූ ඉහළ ඉල්ලුම නිසා ඩොලර් මිලදී ගැනීමට රුපියල් වැඩි වැඩියෙන් ගෙවීමට සිදුවිය. ඒ නිසා 2018 අවසන් වෙද්දී ඩොලරයට රුපියල් 190කට වැඩි ගණනක් ගෙවීමට සිදුවිය.

 අපනයනය කිරීමට ලංකාව සැලකිය යුතු තරම් භාණ්ඩ නිෂ්පාදනය නොකරයි. ඇමෙරිකන් ඩොලර් බිලියන 21ක් තරම් වටිනා දේවල් ආනයනය කර ඩොලර් බිලියන 11ක් පමණ වටිනා දේවල් අපනයනය කරයි. එතැන තිබෙන විදේශ විනිමය හිඟය එකට එකකි. මේ ආනයන අපනයන පරතරය දිගටම තිබෙන දෙයකි. වෙළෙඳ ගිණුමේ තිබෙන මේ පරතරය සමතුලිත කරගත යුත්තේ ආනයන සීමා කිරීමෙන් නොව අපනයන ඉහළ නැංවීමෙනි. ඒ අනුව 1970 සිට 77 දක්වා යුගයේ භාවිත කළේ වැරැදි ක්‍රමයකි. එමගින් භාණ්ඩ හිඟයක් ඇතිවිය. කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ද  එකල හිඟවිය. යෙදවුම්, අමුද්‍රව්‍ය, පොහොර ද එසේම හිඟ විය. වාහනවලට  අවශ්‍ය තෙල්, ටයර් හා අමතර කොටස් ද හිඟය. හැම දෙයක්ම හිඟ කර ආනයන අපනයන පරතරය සමතුලිත කිරීම ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. ඒවා පරණ පිළිවෙත්ය. යුගයට ගැළපෙන්නේ අපනයන වැඩි කිරීමෙන් වෙළෙඳ ගිණුම සමතුලිත කරගන්නා ප්‍රවේශයකි. වෙළෙඳ ගිණුමේ පවතින ඩොලර් බිලියන දහයේ හිඟය පියවන්නේ මැදපෙරදිග රටවල කඹුරන ගෘහ සේවිකාවක් එවන ඩොලර්වලිනි.  

මැදපෙරදිග රැකියා කරන අයගෙන් අවුරුද්දකට ඩොලර් බිලියන හයහමාරක් හතක් පමණ ලැබෙයි. ඉතිරි ඩොලර් බිලියන තුනෙන් එක හමාරක් පමණ ආයෝජන මණ්ඩලය හරහා එන ඍජු ආයෝජනවලින් ලැබෙයි. ඉතිරි ටික ගන්නේ ණයටය. හැමදාම හැම අවුරුද්දකම යන්නේ ඔය රෝලය. එසේ කිරීම මගින් අපේ රුපියල ද බාල්දු වෙයි, පිරිහෙයි.

වර්තමාන රජය කරන්නේ ද පැරැන්නන් කළ දේය. වාහන ආනයනය තහනම් කිරීම එක උදාහරණයකි. අත්‍යවශ්‍ය නොවන දේවල් ආනයනය කිරීම ද නවතා තිබේ. රටේ නිපදවිය හැකි ආහාර ද්‍රව්‍ය ආනයනය ද තහනම් කර තිබේ. එය හොඳ දෙයකි. විශාල වශයෙන් විදේශ විනිමය වැය වන භාණ්ඩ ආනයනය නවතා තිබෙන්නේ මාස හයකටය. ඒ නිසා ආනයන අඩුවී තිබේ. ඒ අතර අපනයන කරන්නේ පුරුදු පරිදිය. එදාට වඩා වැඩියෙන් නොවේ. ආනයන අපනයන පරතරය දැන් අඩු වී තිබෙන්නේ තහනම් කිරීම් හේතුවෙන් මිස අපනයන වර්ධනය කිරීමෙන් නොවේ. විය යුත්තේ ආනයන සීමා කිරීමට වඩා අපනයන වැඩි කිරීමය. එය කළේ 1977න් පසු ටික කාලයක් පමණකි. දෙස් විදෙස් ණය ගැනීමට හේතු වී තිබෙන්නේ ද මේ ආනයන හා අපනයන පරතරයයි. විදෙස් ණය නොගන්නේ චීනය, ජපානය හා ජර්මනිය වැනි අතිරික්ත විදේශ විනිමය සංචිත තිබෙන රටවල් පමණකි. ඇෙමරිකාවත් ණය ගන්නේය. ඇමෙරිකාවේත් විදේශ වෙළෙඳාමෙන් තිබෙන්නේ හිඟයකි. එරට ණය ගන්නේ ද එහෙයිනි. ලංකාවට තිබෙන ප්‍රශ්නය අපනයන සංවර්ධනය නොකිරීමය. තේ, රබර්, පොල් හා ඇඟලුම් නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් දියුණු කාර්මික භාණ්ඩ නිපදවා අපනයනය කළ යුතුය. එතැනට නොයා මේ අභියෝග ජය ගත නොහැකිය.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)