සටහන - චමින්ද මුණසිංහ

රටේ පවත්නා දේශපාලන වාතාවරණයත් සමඟ ආර්ථිකය සම්බන්ධ කතිකාව නව මානයකට යොමුව තිබේ. මේ පසුබිම යටතේ ආර්ථිකය දෙස බැලීමට සිදුවන්නේ දේශපාලන විද්‍යා දෘෂ්ටි කෝණයකිනි. 2009 යුද්ධයෙන් පසුව අපේ ප්‍රතිපත්ති වලින් ඉලක්ක කළේ 2016 වන විට ඉහළ මධ්‍ය ආදායමක් සහිත රටක් වීමටය. එහෙත් 2009 සිට 2014 දෙසැම්බර් දක්වා එවකට පැවැති රජයට සියයට 8 කට වැඩි ආර්ථික වර්ධනයක් රඳවාගත හැකි වූයේ වසර තුනක් පමණි. ඔවුන් අනුගමනය කළ යම් යම් ආර්ථික ප්‍රතිපත්ති සහ හඳුන්වා දුන් පනත් 2013 දී ආර්ථික වර්ධනය සියයට 3.4 ක් දක්වා පහළ ගියේය. ඒ වගේම 2014 වසරේ දී රඳවාගත හැකි වූයේ සියයට 5ක වර්ධනයකි. ඒ අනුව ආණ්ඩු වෙනසකට පෙර 2013, 2014 අතර කාලයේ දී රටේ ආර්ථික වර්ධනය සාමාන්‍යයෙන් සියයට 4 ක පමණ අගයකින් වැඩිවුණි.

යහපාලනයක් ඇති කරන්නේ යැයි කියාගත් රජයක් 2015 දී බිහිවුණි. 2015 දී සියයට 5 ක 2016 දී සියයට 4.5 ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණි. එහෙත් කනගාටුදායක ලෙස ඔවුන් 2017 දී රඳවා ගත්තේ සියයට 3.3 ක පමණ ආර්ථික වර්ධනයක් පමණි. ආර්ථික වර්ධන වේග සැසඳීමේදී 2015 ට පෙර සහ 2018 ඔක්තෝබර් 26 දහවල් වරුව දක්වා පැවැති රජයේ ප්‍රතිපත්ති වලින් ආර්ථිකයේ පැහැදිලි පිම්මක් පනින්නට හැකියාවක් ලැබුණේ නැත. විශේෂයෙන්ම දේශීයව හා විදේශීයව පැවැති කම්පන තත්ත්වය හමුවේ එවන් පිම්මක් පැනීමට හැකි වූයේ නැත.

එහෙත් වසර 2015 ට පෙර පැවැති රාජපක්ෂ රජයේ ආර්ථික වර්ධන උපාය මාර්ගය වූයේ මහ පරිමාණ යටිතල පහසුකම් මත දිවෙන ණය මගින් මෙහෙය වූ ආර්ථික වර්ධනයකි. එහි දී ආර්ථික වර්ධනයට එහෙත් ආර්ථිකයට දායක නොවූ උතුරු නැගෙනහිර කොටස් නැවත ආර්ථිකයට බද්ධවීම නිසා ලැබුණු වාසිය මෙන්ම පෞද්ගලික පරිභෝජන සහ රජයේ වියදම් ඉහළ යාමෙන් ඇතිවූ ඉල්ලුමේ ඉහළ යාම හේතුවෙන් ආර්ථික වර්ධනයක් ඇති වුණි. එහෙත් යුද්ධයට හේතු වූ භූමිය පිළිබඳ ප්‍රශ්න, භාෂාව, උසස් අධ්‍යාපනය සේවා නියුක්ති සහ වියුක්තිය, සුළු ජන අයිතිවාසිකම් යනා දී ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට එම රජයට හැකි වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කළේ යටිතල පහසුකම් ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනයක් කරා උතුරු නැගෙනහිර පළාත් ප්‍රතිසංස්කරණයටය. සහජීවනය උදෙසා උගත් පාඩම් කොමිසමේ වාර්තාව ලබාගත්ත ද එය ක්‍රියාවට නැංවීමට හැකි වූයේ නැත. යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට මූල්‍ය ප්‍රතිපාදන ලබාගත්තේ චීනයෙනි.

2015 බලයට පැමිණි රජය චීනය මත ආර්ථිකයේ රඳා පැවැත්ම ඉවත්කර ගැනීමට උත්සාහ කළ ආකාරයත් දකින්නට පුළුවන. ඒ වගේම යටිතල පහසුකම් මත දිග හැරුණු ලංකාවේ ආර්ථික වර්ධන ක්‍රියාවලිය වෙනුවට ජන වර්ග සහ ආගමික කණ්ඩායම් අතර සහජීවනය මෙන්ම ප්‍රජාතන්ත්‍රීය ආයතන පද්ධති සංවර්ධනයට පෙළඹුණි. ඒ ඔස්සේ ආණ්ඩුකරණයට යහපාලන මූල ධර්ම හඳුන්වාදීමට උත්සාහ ගත්තේය. චීන ණය මත ක්‍රියාත්මක වූ මහාපරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති කීපයක් තාවකාලිකව නතර කළේය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය උදාහරණයකි. එසේ කරන අතර එම රජය බලාපොරොත්තු වූයේ පෞද්ගලික අංශය සහ විදේශ සෘජු ආයෝජන මත දිග හැරෙන ආර්ථික වර්ධන ක්‍රියාවලියකි. නියම නව සම්භාව්‍යවාදී තර්කයකට ඔවුහු පිවිසුණහ. ඒ අනුව 2015-2018 ආර්.ඩබ්ලිව්.-එම්.එස්. ආණ්ඩුව අපේක්ෂිත විදේශ ආයෝජන නොලැබුණු නිසා සහ පැරැණි ආණ්ඩුව කරගෙන පැමිණි ව්‍යාපෘති නවතා දැමීම හේතුවෙන් ආර්ථික වර්ධන වේගය අඩාල වුණි. ආර්ථිකයේ සංකෝචනාත්මක බලපෑමක් ඇති වූවේය. ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වීමෙන් ජනතාව අත සංසරණය වන මුදල් ප්‍රමාණය ද අඩුවුණි. මෙය ගැටලුවකි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීවාදයට හසුවූ ආණ්ඩුව කිසිදු සමාජ පිරිවැය විග්‍රහයකින් තොරව බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේය. මෙහිදී රජය සහ මුදල් අමාත්‍යාංශය උපදෙස් ගත්තේ විගණන සේවා සපයන ආයතන පවත්වාගෙන යන අයගෙනි. ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීයවේදීන්ගෙන් උපදෙස් ගත්තා නම් මෙවන් තත්ත්වයක් ඇති වන්නේ නැත. 2015 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා පැවැති රජය හඳුන්වා දුන් උපයන විට බද්ද, රඳවා ගැනීමේ බද්ද, ආදායම් බදු, විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් මත පැනවූ බදු ඉතිරි කිරීමේ ගිණුම් මත පැනවූ බදු ජනතාව මත පීඩාවක් ඇති කළේය. එපමණක් නොව ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කරමින් එම රජයෙන් ජනතාව ඈත් කිරීමට සමත් වූවේය. මේ වන විට ලංකාවේ ආනයනකරුවන් මුහුණදී ඇති ප්‍රශ්නය එයට උදාහරණයකි. පුවත්පත් කර්මාන්තය මුහුණදී ඇති ප්‍රශ්නය තවත් එකකි. ප්‍රචාරණයට දැන්වීම් පළකිරීමට පෞද්ගලික ආයතන සූදානම් නැත. එයට හේතුව දැන්වීමක් ලබාදුනහොත් ඒ වෙනුවෙන් බද්දක් ගෙවීමට සිදුවීමය. හෝටල් කර්මාන්තය ද මෙවන් අර්බුදයකට මුහුණ දී සිටී. අතිකාල දීමනා අඩු කිරීම්, සේවක කප්පාදුව ආදියට යොමුව ඇත්තේ මිල ඉහළ දැමීම්වලට අමතරවය. මෙහිදී වෘත්තීය වේදීහුද අසහනයට පත් වූහ.

ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 වැනිදා මෙම ආණ්ඩුව ඉවත් කළ ද සමාජයෙන් ක්ෂණිකව තදබල විරෝධයක් මතුවූයේ නැත. එම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සාධාරණීකරණයක් එයින් හැඟවෙන්නේ නැත. වර්තමානයේ යම් ප්‍රතිවිරෝධතා පැවතිය ද ක්ෂණිකව එවැන්නක් වූයේ නැත. ඔක්තෝබර් 26 වැනිදායින් පසුව බලය ලබාගත් කණ්ඩායම ඉහත ප්‍රශ්නයට තාවකාලික විසඳුම් ඉදිරිපත් කරමින් සිටින ආකාරයක් දැකගත හැකිය. එහෙත් ආර්ථිකය මුහුණ දී ඇති බැරෑරුම් ප්‍රශ්නයට ඒවායෙන් විසඳුම් ලැබෙන්නේ නැත. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විරෝධය පළ කළේය. එම ගිවිසුම අහෝසි නොකරන බව වත්මන් පාලනයේ ස්ථාවරය වී තිබේ. පෙර රජයට මතුවූ විරෝධය දැන් මතුවන්නේ නැත. මෙය කුමන දේශපාලන තත්ත්වයක්දැයි අපි නොදනිමු.
පසුගිය ඔක්තෝබර් 26 දක්වා පැවැති රජය විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් මත බදු හඳුන්වා දුන්නේය. මේ වන විට රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබේ. ආනයන සීමා කර අපනයන වර්ධනය කරමින් මෙය මගහරවා ගැනීමට උත්සාහ කරමින් සිටී. එහෙත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. විවිධාකාර බදු හඳුන්වාදීමෙන් ලංකාවේ විදේශ ව්‍යවහාර මුදල් වෙළෙඳපොළ අක්‍රමවත් පැත්තට යොමුවුණි. උණ්ඩියල් ක්‍රමය ජනප්‍රිය වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ලංකාවේ බැංකු ක්‍රමය හෝ ආයතන හරහා විදේශ මුදල් රටට පැමිණෙන්නේ නැත. උණ්ඩියල් වෙළෙඳපොළට සහභාගී වන්නන්ට රටේ පවතින විනිමය අනුපාතයට වඩා වැඩි අගයක් ලබාගන්නට පුළුවන. ලංකාවට එන යන ​අය පවා ඩොලර් එහා මෙහා ගෙන යන ආකාරයක් දැකගත හැකිය. සූක්ෂමව බලන විට ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ පහළ ගොසිනි. බන්දුල ගුණවර්ධන මහතා මෑතක දී හඳුන්වා දුන් ක්‍රමවේදයෙන් ද මෙයට විසඳුම් ලැබෙන්නේ නැත.

දැනට බලය ලබාගෙන සිටින කණ්ඩායම මුහුණ දී ඇති ආර්ථික ගැටලු මොනවාද? රාජ්‍ය ණය සහ විදේශ ණය ගෙවීම් පිළිබඳ ඇතිවී තිබෙන තත්ත්වය අවධානයට ලක් කළ යුතුය. 2018 සැප්තැම්බර් අවසන් වන විට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය රුපියල් බිලියන 11271.4 කි. එය 2017 වසරේ 10,313.0 කි. මෙයින් මුළු විදේශ ණය ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් අවසන් වන විට රු. බිලියන 5469.1 කි. 2017 වසරේ දී එම අගය රු. බිලියන 4718.6 කි. මේ අනුව 2017 ට සාපේක්ෂව 2018 දී පමණක් විදේශ ණය රුපියල් බිලියන 750.5 කින් ඉහළ ගොස් තිබේ. ඒ වගේම සමස්ත රාජ්‍ය ණය ද ඉහළ ගොස් තිබේ. මේ පසුබිම යටතේ 2019 දී වෙන්නේ කුමක්ද? 2019 ජනවාරි 14 වන විට ඇමෙරිකන් ඩොලර් මිලියන 1000 ක් ගෙවීමට සිදුවනු ඇත. ඉන්පසුව අප්‍රේල් වන විට තවත් ඩොලර් මිලියන 500 ක් ගෙවීමට තිබේ. ඒ අනුව 2019 වර්ෂය සම්පූර්ණ වන විට ඩොලර් බිලියන 5.8 ක් ණය වශයෙන් ගෙවිය යුතුය.
ඩොලර් බිලියන 7.2 ක සංචිතයක් තිබෙන බව මහ බැංකුව කියන කතාවය. එයින් ණය ගෙවීමට හැකි බව විශ්වාසය වී තිබේ. ලබන ජනවාරියේ ගෙවිය යුතු රුපියල් බිලියන 1000න් 600 ක්ම සොයා ගන්නේ හම්බන්තොට වරාය ගනුදෙනුව හරහාය. ඒ අනුව වත්මන් පාලනය ද ගිය ආණ්ඩුවේ යථාර්ථයට මුහුණ දී සිටී. හම්බන්තොට වරාය බදුදීම හරහා ණය වලින් සියයට 10 කින්වත් නිදහස් විය හැකි බව ගිය ආණ්ඩුවේ ස්ථාවරය වුණි. මේ ආකාරයට ණය ගෙවීමට සිදුවීම දෛවයේ සරදමක් දැයි අපි නොදනිමු. තවත් ඩොලර් මිලියන 750 සිට ඩොලර් බිලියනයක් දක්වා සංවර්ධන බැඳුම්කර හරහා සොයා ගැනීම ද මේ අයගේ අපේක්ෂාව වී තිබේ. චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 500 ක් සොයා ගැනීමට බලාපොරොත්තු වී තිබේ. ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ආයතන හරහා තවත් ඩොලර් මිලියන 600 ක් සොයා ගැනීමට ද ඉලක්ක කර තිබේ. වත්මන් පාලනය විදේශ ණය ගෙවීමට උත්සාහ කරන්නේ මේ ආකාරයෙනි.

මේ අතර මූඩිස් ආයතනය ලංකාවේ ශ්‍රේණිගත කිරීම B 1 සිට B 2 දක්වා පහත හෙළා තිබේ. එයින් කියැවෙන්නේ යම් සමපේක්ෂණ ක්‍රියාකාරකම් දක්නට හැකි වුවත් යම් අවදානමක් ඇති බවය. ණය පැහැර හැරීමක් එයින් අර්ථ ගැන්වෙන්නේ නැත. කෙසේ වුවත් මේ පසුබිම යටතේ ඉදිරියේ දී ණය ගැනීමේ දී ඉහළ පොලී අනුපාතවලට යටත්ව ණය ගැනීමට සිදුවනු ඇත. ලෝක ආර්ථික සංසදය ද ලංකාවේ ආර්ථික ගැටලුව ප්‍රධාන ගැටලු දෙකක් ලෙස අර්ථ දක්වා තිබේ. දැනට මතුවෙමින් තිබෙන පාලනය කළ නොහැකි උද්ධමනය සහ ආණ්ඩුකරණයේ තිබෙන දුර්වලතාව ඔස්සේ හටගන්නා දේශපාලන අස්ථාවරත්වය එයට ඇතුළත්ය. මූඩීස් ආයතනය ණය ශ්‍රේණිගත කිරීම්වල දී ලංකාව පහළට දමා ඇත්තේ මෙවන් කරුණු පාදක කරගෙනය. ඒ වගේම ගෙවුම් ශේෂය ද එතරම් හොඳ මට්ටමක් පෙන්නුම් කරන්නේ නැත. විශේෂයෙන්ම බාහිර බලපෑම්වලට ඇති සංවේදීතාව මිනුම් කරන දර්ශක ඉතා හොඳ අගයක් මේ වන විට වාර්තා කරන්නේ නැත. මේ පසුබිම යටතේ තවත් ප්‍රශ්න ගණනාවක් මේ වන විට මතුවෙමින් තිබේ. ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳ සාකච්ඡා වටයක් ආරම්භ වීම එයට එක් උදාහරණයකි. මෙහිදී ලංකාව පිළිබඳ නැවත සලකා බැලීමක් කෙරෙනු ඇත. මෙහිදී ලංකාවට හොඳ ලකුණක් ලැබේ යැයි සිතිය නොහැක.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මේ වන විට ඩොලර් බිලියන 1.85 ක ණය වාරිකයක් අත්හිටුවා තිබේ. ඒ වගේම ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් විදේශ ආයෝජන පිටමං වීමක් වන බවට ද වාර්තා පළවුණි. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ද දැඩි අසහනකාරී තත්ත්වයක් මතුවෙමින් පවතින බවට ඉඟි පළවී අවසන්ය. වෙන්කර ගැනීම් අවලංගු කිරීම් වාර්තා වී තිබේ. මෙම අවලංගු කිරීම් සියයට දහයක් පමණ වන බව සංචාරක හෝටල් සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ඉවත් කරන බවට ද යම් යම් මාධ්‍ය වාර්තා පළවී තිබුණි. යම් හෙයකින් එවැන්නක් සිදුවුවොත් බරපතළ අර්බුද නිර්මාණය වන්නට අවකාශ තිබේ.

ජපන් රජයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 1.4 ක ණය ආධාර, ඇමරිකාවේ ඩොලර් මිලියන 490 ක ණය ආධාර මෙන්ම ජර්මන්, කැනේඩියානු ආසියානු සංවර්ධන බැංකු ආධාර යනාදියෙහි අවිනිශ්චිතතාවක් දක්නට පුළුවන. මෙවන් පසුබිමක් යටතේ ලංකාවේ ආර්ථිකය සම්බන්ධව හොඳ සිහිනයක් දැකීමට වත්මන් පාලක කණ්ඩායම යටතේ විදේශ වාතාවරණය සකස් වන්නේ නැත. මැතිවරණයකට ගියහොත් ජාත්‍යන්තර දේශපාලනය අනුව එහි සුජාතභාවයක් තිබේදැයි කිව නොහැක. කෙසේ වුවත් වැඩිහිටි පරම්පරාවේ දේශපාලන බල පොරය හේතුවෙන් දේශපාලනිකව විනාශ වන්නේ මෛත්‍රී රනිල්, මහින්ද පමණක් නොවේ. දේශපාලන පක්ෂ සම්බන්ධව ඇති ජනතා ආකල්ප බිඳ වැටෙනු ඇත. මේ නිසා අනාගත පරපුර යම් විකල්ප සෙවීමේ මාවත්වලට ඉදිරියේදී ගමන් කරන්නට ඉඩ තිබේ. නව පරපුර පිහි, මිරිස්කුඩු, කුණු බාල්දිවලින් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සෙවීමට යොමු නොවනු ඇත. නව පරපුර ඊට වඩා සබුද්ධික වීම එයට හේතුවය. ප්‍රබුද්ධය. සම්ප්‍රදායික පාලකයන් අතහැර ඉදිරි පාලකයන් සොයාගෙන යාමට ඔවුන් කටයුතු කළොත් රටේ ආර්ථිකය සමාජය සහ සංස්කෘතිකාංග සියල්ල නැවත සකස්කර ගැනීමට හැකිවනු ඇත. මේ තරුණ පරපුර තීරණාත්මකව තමන්ගේ වගකීම ඉටුකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවය.