ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට පත්වී නැතත් ඒ පිළිබඳව රටේ තිබෙන උණුසුම දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන බව කාටත් පැහැදිලිය. මේ වනවිට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක අපේක්ෂකයන් ප්‍රකාශයට පත්කර හමාරය. ඒ පොදුජන පෙරමුණෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන්ය. එජාපයේ අපේක්ෂකයා පිළිබඳ සංවාදය ඒ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කරමින් තිබීම මෙහිදී පෙනී යන තවත් එක් වැදගත් කාරණයක්ය.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වකීය ප්‍රචාරණ ව්‍යාපෘතිය මේ වන විටත් ආරම්භ කර ඇති අතර එජාපය මේ වනතුරු නිල අපේක්‍ෂකයකු නම්කර නැතත් සජිත් ප්‍රේමදාස මහතාත් තමන් මේ තරගය සඳහා ඉදිරිපත් වෙන බවට ප්‍රකාශ කර තිබේ. එජාපයේ අපේක්ෂකයා තෝරන්නේ ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව ඒ පක්ෂයේ වෙනත් නායකයන් ප්‍රකාශ කරන අතර රනිල් වික්‍රමසිංහ මහතා ඒ පක්ෂයෙන් මේ සඳහා ඉදිරිපත් වෙන බවට ද ප්‍රකාශ සමහර අයගේ කථා තුළින් පෙන්නුම් කරයි. මේ ප්‍රධාන අපේක්ෂකයන්ට අමතරව කරු ජයසූරිය මහතාගේ නම ද එජාපයේ අපේක්ෂකයා ලෙසින් යෝජනා වී ඇති බව සමහරුන්ගේ මතයය.

මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් කවුරු වූවත් මේ ජනාධිපතිවරණය මෑතක පැවති වෙනත් ජනාධිපතිවරණවලට වඩා යම් ආකාරයක විශේෂත්වයක් ගන්නා බව මගේ අදහසයි. මේ විශේෂත්වය මූලික වශයෙන් පැති කීපයකින්ම පැහැදිලි කළ හැකිය.

එක් පැත්තකින් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව එන පළමු ජනාධිපතිවරණය මෙය වන අතර එම තනතුර මීට පෙර තිබූ ආකාරයට වඩා බලතල අඩු තනතුරක් බවට පත්කර ඇති වාතාවරණයක් යටතේ එහි බලපෑම කෙසේ විය හැකිද යන කාරණය සලකා බැලිය හැක්කේ මෙම ජනාධිපතිවරණයත් සමගින්ය. සමහරුන් තර්ක කරන්නේ 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමැති ධුරයවත් හෙබවිය නොහැකි තත්ත්වයක් පවතින බවයි. මේ තර්කයට පිළිතුරු දෙන තවත් සමහර නීතිවේදීන් පවසන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන තනතුරු රාශියක් පවතින බැවින් ඉදිරි කාලයේත් පවතින්නේ යම් ආකාරයක ජනාධිපති පාලන ක්‍රමයක් බවයි. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා පක්ෂ දෙකකට අයත් නොවූ තත්ත්වයක් මත 19 ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළ බලපෑමක් සිදු නොවන බව තවත් සමහරුන්ගේ මතයයි. ඒ තත්ත්වය කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයෙන් පසුව ඒ තනතුරේ වෙනසක් පෙන්නුම් කළ හැකි බව පිළිගැනීම නිවැරැදිය.

දෙවනුව මේ ජනාධිපතිවරණය විශේෂත්වයක් ගන්නේ 2015 සිට මේ රටේ මතු වූ සමහර දේශපාලන මාතෘකාවන් යළි සලකා බැලීමකට මේ මගින් අවස්ථාව ලැබෙන නිසාය. 2015 ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපතිවරයා ජයගත්තේ යහපාලනය ලෙසින් ඒ අය හැඳින්වූ අලුත්ම ආකාරයේ පාලන ක්‍රමයක් මේ රටේ ඇති කරන බවට පොරොන්දු වෙමින්ය. ජනපති හා අගමැති යන දෙදෙනා සමගි සන්ධාන ආණ්ඩුවක් යැයි කියමින් ශ්‍රීලනිපය හා එජාපය ඒකාබද්ධ කර ආණ්ඩුවක් හැදුවේ මේ කියන යහපාලනය ශක්තිමත්ව මේ රටේ පිහිටුවීම සඳහා යැයි කියාය. 2015 අගෝස්තුවේ පැවැති මැතිවරණයේදී ශ්‍රීලනිපයට ජනතාව ඡන්දය දුන්නේ එජාපය සමඟ හවුල් ආණ්ඩු ගැසීමට නොවන බව පැහැදිලිව තිබියදී වූවත් මේ හවුල් ආණ්ඩුව හැදුවේ ඒ හරහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට තිබූ වුවමනාව නිසා බව සමහරු කියති.

ඒ කෙසේ වෙතත් මේ ජනාධිපතිවරණයේ ඇති එක් වැදගත්කමක් වන්නේ 2015 ජනපති හා අගමැති දුන් ‘යහ පාලන’ පොරොන්දුව ඉටුවී තිබේ දැයි ජනතාවට මේ මගින් පසුවිපරමක් කළ හැකි නිසාය. මෙම පසුවිපරම මගින් කියැවෙන්නේ ජනපති හා අගමැතිගේ යහපාලන ව්‍යාපෘතිය සාර්ථක ද අසාර්ථක ද යන කාරණයයි.
තවත් පැත්තකින් මෙවර ජනාධිපතිවරණය තුළින් පෙන්නුම් කළ හැකි කාරණයක් වන්නේ මෙරට ජනතාව දේශපාලන ප්‍රතිසංස්කරණ ලෙසින් සලකන්නේ මහපොළවේ සිදුවන බරපතළ සමාජ හා ආර්ථික දියුණුව ද එසේත් නැතිනම් යහ පාලනය ලිච්ඡවී දහම වැනි දේවල් හරහා කරන හුදු දේශපාලන කයිවාරුව ද යන කාරණයයි. භෞතිකමය ආකාරයෙන් මහපොළවේ සිදුවන සංවර්ධනයන් පසෙකට තබා දේශපාලන අලංකාරිකයන් වෙනුවෙන් ඡන්දය දීම 2015න් පසුව තවදුරටත් කරගෙන යනවා ද යන කාරණය මේ ජනාධිපතිවරණය මගින් තේරුම් ගැනීමේ විශාල ඉඩක් පවතින බව මගේ අදහසයි.

තුන්වෙනුව මේ රටේ දේශපාලන න්‍යායපත්‍රයේ ප්‍රධාන මාතෘකා දෙකක් මේ ජනාධිපතිවරණයේදී මූලික සාකච්ඡාවට පැමිණීමට නියමිත බව මගේ නිරීක්ෂණයය. එයින් එකක් වන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේද හෙවත් ආර්ථික ක්ෂේත්‍රයේ කළ හැකි ප්‍රතිසංස්කරණ කවරේද යන කාරණයයි. මේ ජනාධිපතිවරණයේදී සාකච්ඡාවට පැමිණීමට නියමිත අනෙක් මාතෘකාව වන්නේ රටේ සිදුකළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ කවරේද සහ ඒවා කරන්නේ කෙසේද යන කාරණයයි.

ආර්ථික ක්ෂේත්‍රයේ මේ වනවිට රට තිබෙන්නේ බරපතළ අවුලක බව තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය වන්නේ නැති ගානට හැම පැත්තකින්ම පෙන්නුම් කරන්නේ ආර්ථික පසුබෑම් සහ කඩාවැටීම්ය. වත්මන් ආණ්ඩුව බලයට පත්වෙන 2015 වනවිට ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ගණන් වූයේ රුපියල් 131කි. මේ සතියේ විදේශ මිල දර්ශකයන් පෙන්නුම් කළේ ඩොලරයක් සඳහා රුපියල් 181ක් ගෙවිය යුතු බවයි. ඒ කියන්නේ මේ රජය බලයට පත් වූ දින සිට මේ දක්වා රුපියලේ අවප්‍රමාණය වීමේ වෙනස පමණක් රුපියල් 50 දක්වා වැඩි වී ඇති බවයි. තවත් පැත්තකින් රටේ ආර්ථිකය පිළිබඳව මීට පෙර තිබූ රජයට එරෙහිව මතුවුණු තර්කයක් වූයේ ඒ කාලයේ සංවර්ධනය හැම ක්ෂේත්‍රයකටම තුලනාත්මකව යන්නේ නැති බවයි. මේ ආණ්ඩුවේ සංවර්ධනය කියන්නේම කිසිදු තුලනයක් නොමැති හුදු වියදම් කීපයක් බවට පත්වී ඇති බව දිනපතා පුවත්පත්වල පළවෙන බොරු පුරාජේරු පුවත්පත් දැන්වීම්වලින්ම පෙන්නුම් කෙරී ඇත. නිවාස අමාත්‍යාංශය පළ කළ පුවත්පත් දැන්වීම්වලින් නිවාස කීයක් හදන්නට හැකියාව තිබුණේදැයි සොයා බලන්නට වටින තරම්ය. තවත් පැත්තකින් රාජ්‍ය සම්පත් හා පෞද්ගලික අංශය අතර තිබූ මේ රටේ ආර්ථිකයේ තිබූ තුලනාත්මක තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම අර්බුදයට තල්ලු කර ඇත්තේ රාජ්‍යයේ සම්පත් බරපතළ ආකාරයෙන් කඩා වැටෙන්නට හැරීමෙන් සහ විකුණා දැමීමෙන්ය.

දේශපාලන ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ මාතෘකාවන් රාශියක් මේ වන විටත් සාකච්ඡාවට පැමිණ ඇති බව පැහැදිලිය. සමහරුන් කියන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කථා මේ අතරින් ඉතාමත් වැදගත් කාරණයය.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ චර්යාව හැම ආණ්ඩුවකම වාගේ විවිධ ආකාරයේ අර්බුදවලට සම්බන්ධ බව ඉතාමත් පැහැදිලි සත්‍යයක් වුවත් ආණ්ඩුවේ සමහරුන් කතා කරන්නේ එජාපය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලවුම්කරුවන් යැයි සිතාගෙන වගේය. එක් ඇමැතිවරයකුගේ ප්‍රකාශයකින් කියවුණේ ඉදිරි ජනාධිපතිවරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිලේ සහ අනෙක් පිලේ සටනක් කියාය. ඒ ඇමැතිවරයාට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ පිල කියන්නේ එජාපය නියෝජනය කරන කණ්ඩායමටය. මේ තරම් විහිළුවක් තවත් නැති බව මගේ අදහසය. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කීපය ප්‍රජාතන්ත්‍රවාදයට හානි කර ඇති බව සැබෑවක් වන අතර ඒ අතරින් බරපතළම නරක ඉතිහාසයට හිමිකම් කියන්නේ එජාපය බව දත්තවලින් පෙන්නුම් කරන සත්‍යයක්ය.

1977 පසු කාලය ගත්තත් මේ කාරණය හොඳටම පැහැදිලිය. ඒ අයගේ ඉතිහාස කතාව පටන් ගන්නේ 1980 වර්ජන වෙඩි තබා මර්දනය කිරීමෙන්ය. 1982 සංවර්ධන සභා මැතිවරණයේ යාපනයේ ඡන්දය දූෂණය කළේ කොළඹින් ගෙන ගිය මැරවරයන් ඡන්ද පොළවලට පැන ඡන්ද පෙට්ටි පුරවමින්ය. ඒ අය ආපසු කොළඹ ආවේ යාපනයේ පුස්තකාලයටත් ගිනි තියමින් බව ටීඑන්ඒ එකේ සමහරුන්ටත් දැන් අමතකය.

විපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ජනාධිපතිවරණය තැබුවා පමණක් නොව එහිදී යම් තරමකින් හෝ තමන්ගේ පක්ෂයට විරුද්ධව දේශපාලනය කළ අය නැක්සලයිට් චෝදනාව යටතේ හිරගෙවල්වල ගාල් කෙරුවේය. 1982 පැවති ජනමත විචාරණය දූෂිතම මැතිවරණය යැයි කියන ලද්දේ එවකට සිටි මැතිවරණ කොමසාරිස් විසින්ය. ජනමත විචාරණයට ඡන්දය දමන්නට ගිය කොබ්බෑකඩුව මහතාට ආපසු හැරී එන්නට වුණේ ඒ ඡන්දයත් මැරවරයකු විසින් පාවිච්චි කර තිබූ නිසාය. 1989 ජනාධිපති ඡන්දය පැවැත්වූයේ සොත්ති උපාලිලාගේ ‘රැකවරණය’ යටතේය. 1990 වර්ෂයේ තරුණයන් හැටදහසක් මහපාරේ ටයර් සෑයේ පිළිස්සී ගියේ ඒ කියන ප්‍රජාතන්ත්‍රවාදය යටතේමය.
1994 සිට පාලනයට පැමිණි ශ්‍රීලනිපය ප්‍රධාන ආණ්ඩුවල ප්‍රජාතන්ත්‍රවාදයත් එජාපය පරයා යන තරම් නොවුණත් බරපතළ ආකාරයේ දූෂණයවලින් පිරී තිබුණු බව පැහැදිලිය. 1996 පැවති වයඹ පළාත් සභා මැතිවරණය කියන්නේම බරපතළ දූෂණවලින් පිරුණු ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් බඳු එකක් විය. 2005 සිට පැවැති පාලනයේ උතුරේ ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ සමහර කලාප පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට සිදුවූ හානිකර අවස්ථා ලෙසින්ය. ත්‍රස්තවාදය කියන්නේම ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරා වන අතර එය පරාජයට පත්කිරීමේ උත්සාහය තුළ සිදුවූ සමහර ක්‍රියාකාරකම් දේශපාලන වැරැදි ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. එහෙත් මේ රටේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ මහ දවල් ගැටුණු දේශපාලන ව්‍යාපාරය වන්නේ එජාපය බව මගේ තේරුම් ගැනීමය.

ඒ අර්ථයෙන් ගත් විට ඉතිහාසය දෙස බැලීමෙන් මේ රටේ කිසිම ප්‍රධාන දේශපාලන ව්‍යාපාරයක් තනිකරම ප්‍රජාතන්ත්‍රවාදයේ පිලක් ලෙසින් වරනැඟීමේ කිසිදු ඉඩක් නැති බව මගේ අදහසය. මේ ජනාධිපතිවරණයේ සටන ඇත්තේ වඩාත් ශක්තිමත්ව ප්‍රතිසංස්කරණ කරන්නා කවුරුන්ද   (Reformer)   යන පදනම යටතේ මිස හොඳම කතාකාරයා කවුරුන්ද (Talker)  යන පදනම යටතේ නොවන බව මගේ තේරුම් ගැනීමය. අද අපට අවශ්‍ය වී ඇත්තේ අලුත් රටක් මිස අලුත් කටක් නොවේ යැයි කියන්නේ ඒ නිසාය.