(තරිඳු ජයවර්ධන)

අපේ‍්‍රල් 21 වැනි දා පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප‍්‍රහාරයෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී භාවිත කළ පනතක්  සම්බන්ධයෙන් සමාජයේ යම් කතාබහක් ඇති විය. ඒ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (අයි.සී.සී.පී.ආර්) පනතයි.  එම පනත ඊට මාසයකට පමණ පෙර කරළියට ආවේ කෙටි කතාවක් ලියූ බව කියමින් සාහිත්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමත් සමඟය. ගාල්ල ගිංතොට සහ මහනුවර දිගන සිදුවීම්වල දී මේ පනතෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තද ඒ ගැන ලොකු කතාබහක් ඇතිවූයේ නැත.
 
1966 දෙසැම්බර් මස 16 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබ 1976 මාර්තු මස 23 වැනි දින බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබුවේ 1980 ජුනි මස 11 වැනි දා ය.ඉන් වසර 27කට පමණ පසුව එම සම්මුතියේ සඳහන් කාරණා කිහිපයක් ලංකාවේ නීතියක් බවට පත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කෙරිණි. ඒ 2007 වසරේදීය. කෙටුම්පත සකස් කරීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජනා කළේ 2007 මැයි මස 30 වැනි දා ය. එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම මහතා  ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට 2007 ජුනි 13 වැනි දා ඊට කැබිනට් අනුමැතිය ලැබිණි. ඉන් පසු ජනාධිපතිවරයා ලෙස එවකට සිටි මහින්ද රාජපක්ෂ මහතා එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට ලැබුණේ 2007 නොවැම්බර් 09 වැනි දා ය. එදිනම  පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමුවර කියැවීය.  ඔක්තෝබර් 10 වැනි දා දෙවැනි සහ තෙවැනි වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය. 
 
එමපනත් කෙටුම්පත දෙවැනි වර කියවමින් එවකට විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා මෙසේද කීවේය.

‘‘ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අපි රජයක් විධියට, රටක් විධියට දරන ස්ථාවරය ගැනත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ අපගේ දේශීය නීතිපද්ධතියට තවත් ශක්තිය ලබා දෙන්නට මානව හිමිකම් ක්ෂේත‍්‍රය ආවරණය වන විදියටත් ඉදිරිපත් කරන මේ පනත් තුනෙන් පළමු වන පනත් කෙටුම්පත විධියට සැලෙකන, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති(අයි.සී.සී.පී.ආර්) පනත් කෙටුම්පත අද මේ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී මූලික වශෙයන් ඔබතුමන්ලාගේ අධ්‍යයනයට මා යොමු කරනවා. මේ සභාවට අද අප ඉදිරිපත් කරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප‍්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත්කෙටුම්පතත්, මාදක ඖෂධ සහ මනෝ විකෘතිකාරක ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පතත් අද විවාදයට ගැනීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මාගේ දේශනයේ දී විදේශ අමාත්‍යවරයා විදියට මා ඉදිරිපත් කරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අදාළ නීති ගෙන ඒමේ පනත් කෙටුම්පත ගැන මේ සභාව දැනුම්වත් කරන්න මා මූලිකව බලාපොරොත්තු වෙනවා. මේ පනත සම්බන්ධව විශාල පසුබිමක් තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතිහාසයේ නොවූ විරූ ආකාරයෙන් පළමු වැනි වතාවට මානව අයිතිවාසිකම් තමන්ගේ ජීවිතවලට, තමන්ගේ ක්‍රියා කලාපවලට ආරක්ෂාවක්, ආවරණයක් වන විදියට සැලසුම්ගත කරලයි මේ පනත් කෙටුම්පත අද අප ගෙනෙන්නේ ’’

‘‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලබන නීති කට්ටලයයි, 2007 අංක දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) යනුවෙන් අප හඳුන්වනු ලබන්නේ. එම පනත් කෙටුම්පතයි මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.  1980 වර්ෂයේ, එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂ රජය විසින් ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු විදියට මෙම ජාත්‍යන්තර සම්මුතියට සම්බන්ධ වුණත්, ප්‍රමාණවත් ලෙස යම් යම් කොට්ඨාසවලින් අපේ නීති පද්ධතිය තුළම වූ, ඒ අවශ්‍ය නීති ක්ෂේත්‍ර ආවරණය වෙලා තිබුණ ගමන්ම තවත් ක්ෂේත්‍ර ආවරණය නොවී තිබීමේ ප්‍රශ්නයක් මතු වුණා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක 18299 දරන නඩුවේ දී. ඒ නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලැබූ පිළිගත් තත්ත්වය වූයේ ශ්‍රී ලංකාව 1980 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එකඟත්වය ප‍්‍රකාශ කිරීම ශ‍්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ ලිඛිත නීතීන්හි ප්‍රතිපාදනයන්ට පටහැනි නොවූව ද, එකඟත්වය ප්‍රකාශ කිරීම මගින් ශ‍්‍රී ලංකා ජනරජ සම්මුතියේ විධානයන්ට බැඳී ඇති නමුත්, දේශීය ව්‍යවස්ථාව මගින් හෝ අන් ආකාරයකින් සම්මුතියේ පිළිගෙන ඇති අයිතිවාසිකම් සඳහා අභ්‍යන්තර බලාත්මක කිරීමක් සම්මුතියේ දෙවන වගන්තිය ප්‍රකාරව සිදු වී නොමැති බවයි. එම නිසා සම්මුතියට අභ්‍යන්තර බලාත්මක හැකියාවක් නොමැති බැවින් සම්මුතිය යටෙත් ඇති අයිතිවාසිකම් ශ්‍රී ලංකා නීතිය යටතේ ඇති අයිතිවාසිකම් නොවන බවයි. මෙන්න මේ නිසයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ මෙම නීතිය නීති කෙටුම්පතක් විධියට  මේ සම්මුතියට අදාළව මානව හිමිකම් ආවරණය වන කොට්ඨාස, මෙතෙක් අපේ තිබෙන දේශීය නීතියෙන්, ව්‍යවස්ථාව විසින් හෝ වෙනත් නීතියකින් ආවරණය නොවී තිබෙන අවස්ථාවන්වලට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට  මෙම විශේෂ පනත් කෙටුම්පත හදිසියේම පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපි කටයුතු කර තිබෙන්නේ. මෙන්න මේකයි පසුබිම.

‘‘මා කැබිනට් මණ්ඩලයට මේ පනත ගෙන ඒමේ යෝජනාව ඉදිරිපත් කෙළේ 2007 මැයි මාසයේ 30 වැනි දායි. ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයෙන් මෙයට ලැබුණු අනුමැතිය සඳහන්වෙන්නේ 2007 ජූනි මාසෙය් 13 වැනිදායි. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් නීති සකස් කිරීමට නීති සම්පාදක වෙත අප මෙම යෝජනාව ඉදිරිපත් කරලා, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් වූ නීති තත්ත්වය සැප්තැම්බර් මාසයේ 28 වැනි දා ලබා ගෙන තිබෙනවා. ඉන් අනතුරුව සුප්‍රිම් උසාවියට මේ පනත් කෙටුම්පත යොමු වී තිබෙනවා. සුප්‍රිම් උසාවියෙන් සැප්තැම්බර් මාසය අවසානයේ දී ඒ තීරණය ලබා දී තිබෙනවා. ඒ අනුව තමයි, අපි මේ පනත් කෙටුම්පත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එහෙම නම් මේක අප මේ කවුරුත් එන පළියට ගෙනාපනත් කෙටුම්පතක් නොවෙයි. කවුරුත් සෑහීමකට පත්කරන්නට (පිටරට අය සෑහීමකට පත් කරන්නට) උත්සාහයක්නැහැ. කවුරුත් එන දිනයට ලංකාවේ පාර්ලිමේන්තුවට මේ විදියට පනත් කෙටුපතක් ඉදිරිපත් කරන එකත්’’

පනත පාර්ලිමේන්තුවේ දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් එවකට ප‍්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.
 
‘‘ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා වෙන පනත් පහක්තිබෙනවා. පළමු වැනි එක තමයි, සිවිල් හා දේශපාලනඅයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. දෙවැනි එක, ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. තුන් වැනි එක තමයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ වෛකල්පික පොටෙකොල් එක. හතර වෙනිඑක තමයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ දෙවැනි වෛකල්පික පොටෙකොල් එක. එයට Second Protocol කියලයි කවුරුත් කියන්නේ. අවසාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ විශ්ව ප්‍රකාශනය. සම්මුතීන් 5ක් තිබෙනවා. ආණ්ඩුව වෙනුවෙන් කථා කළ ඇමතිවරු, මන්ත්‍රීවරු පෙන්වන්න හැදුවා, ජාත්‍යන්තරව පිළිගත්ත, අපේ ආණ්ඩුව පිළිගත්ත මේ පනත් පහේම අඩංගු කරුණු අද ඉදිරිපත් කළ මේ පනත් කෙටුම්පතේ තිබෙනවාය කියා. නමුත් මා කියන්න සතුටුයි, මේ ජාත්‍යන්තරව පිළිගත් සම්මුති පහෙන් පළමු වැනි සම්මුතියේ 25%ක් පමණ තමයි.

අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ තිබෙන්නේ කියා. මේ සම්මුතීන් පහෙන් 75%ක් තමුන්නාන්සේලා මේ පනත් කෙටුම්පතට ඇතුළත් කර නැහැ. ඉතින් තමුන්නාන්සේලා කාව ද, රවටන්න දන්නේ? මේ රටේ ජනතාව රවටන්න පුළුවන්. නමුත් තමුන්නාන්සේලාට මේ වාගේ දෙයක් කර ජාත්‍යන්තර ප්‍රජාව රවටන්න බැහැ. ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන් පහෙන් 25%ක් ඇතුළත් පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ගෙනැල්ලා තමුන්නාන්සේලා පෙන්වන්න හදනවා, අපට දැන් ජාත්‍යන්තරය එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ වාගේ පනත් කෙටුම්පතක්ඇත්ත වශෙයන්ම උපදේශක කාරක සභාවට යන්න තිබුණා. උපදේශක කාරක සභාවට ගිහිල්ලා සිවිල් සමාජයත් එක්කසංවාදයක් ඇති කරලා, අපේ ජී.එල්. පීරිස් මැතිතුමා හිටපු විද්‍යාල උපකුලපතිවරයෙක්. එතුමා දන්නවා, මේ පනත් කෙටුම්පත් වැදගත්කම තමයි මේ පනත් කෙටුම්පත සම්මත කරන්න තිබුණේ. නමුත් ඒක කළේ නැහැ. උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළෙත් නැහැ. සිවිල් සමාජයත් එක්ක සංවාදයක් ඇති කළෙත් නැහැ. රහසිගතව, හදිසියේ, urgent bill එකක් හැටියට මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනැත් තිබෙනවා. මා ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් අහන්න කැමැතියි, මේ පනත් කෙටුම්පත යටතේ ලංකාවේ පුරවැසියකුට පුළුවන් ද, ලංකාවේ අධිකරණයකින් දුන්න අවසාන තීන්දුවකට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවට යන්න කියලා.’’
 
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී විජිත හේරත් මහතා විවාදයට එක්වෙමින් කීවේ මෙවැනි කතාවකි.
 
‘‘ රටක්, සමාජයක් ඉදිරියටයාමේ දී අලුත් සමාජ සම්මුති නිර්මාණය වීම අත්‍යවශ දෙයක්. ලෝකය ඉදිරියට යාමේදීත් ඇත්තටම එවැනි ජාත්‍යන්තර සම්මුති නිර්මාණය වීමත්, එම සම්මුතිවලට අනුකූලව කටයුතු කිරීමත් ඉතාමත්ම වැදගත් කාරණයක් විදියට අපි සලකනවා. එහිදී පුංචි ප්‍රශ්නයක් තිබෙනවා. මෙම පනත ඒමේ කාලපරිච්ඡේද ඉක්මවීම පිළිබඳ ප්‍රශ්නය ගැන මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමතිතුමා යම් පැහැදිලි කිරීමක් කළා. කොහොමවුණත්, අපි රටක් විදියට මීට අවුරුදු ගණනාවකට ඉස්සර වෙලා මේ සම්මුතිවලට එළඹිලා, ඒ සම්මුති අපේ රටේ ක්‍රියාත්මක නීතීන් බවට පරිවර්තනය කර ගන්න දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලා තිබෙනවා. එහිදීත් ඇත්තටම තිබෙන අවාසනාවන්ත තත්ත්වය නම්, හදිසි පනතක් විධියට තමයි, මේ පනත පාර්ලිමේන්තුවට එන්නේ.

අපි දන්නවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් ලූයිස් ආබර් මහත්මිය මේ වනකොට ලංකාවට පැමිණ සිටින බව. මොකද, එතුමිය ලංකාවට එනවාත් එක්කම තමයි, අපි මේ civil and political rights පිළිබඳ සම්මුතිවලට අනුකූල වුණු පනත් පාර්ලිමේන්තුවට ගෙනඑන්නේ. මේක තමයි, ප්‍රශ්නය. අපි රජයක් විදියට, රටක් විදියට ජාත්‍යන්තර සම්මුතිවලට එළඹුනා නම්, ඒවා නිවැරදියිකියලා නිශ්චිතව, නිවැරදිව, ඍජුව පිළිගත්තා නම්, අපේ රටට,අපේ ආණ්ඩුවලට හැකියාවක් තිබෙන්න  ඕනෑ රටේ ප්‍රතිපත්තිය, රටේ නීති රීතීන් ඒ අනුව සකස් කර ගන්න. එහෙම නැතිව ජාත්‍යන්තරව ඇති වන යම් යම් බලපෑම්වලට අනුකූලව අපි යම් යම් හදිසි කටයුතු කරන්න ගියොත්, ඒකෙන් දුර දක්නා නුවණින් ආණ්ඩුවක් පවත්වා ගෙන යනවා කියලා දකින්න බැහැ. අද මා දකින්නේ එවැනි තත්ත්වයක්. එහිදීත් අපි ඒජාත්‍යන්තර සම්මුතීන් සියල්ලටම අනුව මේ නීති රීති සකස් කර නැහැ. ඒ තිබෙන මූලික කරුණු කිහිපයෙනුත් ඉතා ස්වල්පයකට අනුකූල වෙච්ච පනතක් විදියට තමයි, මේක ගෙනැවිත් තිබෙන්නේ. කොහොම වුණත්, ප්‍රමාද වෙලා හෝ එවැනි පනත්කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් මේ විදියට බලපෑම් එන එන අවස්ථාවල දී මේ විදියට නීති සම්පාදනය කරන්න යාම නම් අපි අනුමත කරන්නේ නැහැ. ඒක වැරදියි.

මා හිතන විධියට බෙලහීන කියන වචනය ඔබතුමාට ටිකක්දැනිලා තිබුණා. ඒක තමයි, ඇත්ත බෙලහීනත්වය. එතෙකොට දැනෙන්නේ, බලපෑම් එනකොට, මානව හිමිකම් කොමිසමේ resolutions එනකොට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා කරන්න යෝජනා ඉදිරිපත් කරන්න ආරම්භයක් ගන්න කර, ඒවාට බය වෙච්චගමන් අපි නීති ගෙන එන බවයි. ඒක වැරදියි. එහෙම නොවෙයි වෙන්න  ඕනෑ. මේ සම්මුතීන්වලට එකඟයි කියලා රටක් විධියටඅපි එදා පිළිගත්තා නම්, එහෙම නම් ඒ නීති මේ පාර්ලිමේන්තුවට ගෙනැල්ලා සම්මත කර ගන්න අපි බය වෙන්න  ඕනෑ නැහැ. ඒනිසා අද political and ivil rights විතරක් නොවෙයි, ජාත්‍යන්තර කම්කරු නීතීන් පිළිබඳවත් ILO ප්‍රඥප්තීන් පිළිබඳව අපි තවම මේ පාර්ලිමේන්තුවේ නීති සම්මත කරලානැහැ. ඇත්තටම ගත්තොත් මේ සමස්ත සම්මුතීන්වල, පළමු වැනි කොටසිනුත් 20%ක් විතර තමයි අද අපි අනුමත කරගන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් නොවෙයි විය යුත්තේ. මේ වෙනස් වන ලෝකයට සාපේක්ෂව, වෙනස් වන ලෝකයට අනුකූලව ගොඩනැගෙන්නා වූ ජාත්‍යන්තර සම්මුතීන්වලට එළඹිය යුතුය කියලා, රටක් විධියට අපි දකිනවා නම්, අන්න ඒකට අනුව අපේ රට ඒකට එළඹෙන්න  ඕනෑ. බලපෑම්වලට හෝ මැදිහත්වීම්වලට අනුව, අවස්ථාවෙන් අවස්ථාවට එන තත්ත්වයන්ට අනුව නීති සම්පාදනය කිරීමක් කළ යුතු වන්නේනැහැ. නිවැරදිව කටයුතු කළ යුතුයි. මෙහෙම කරනකොට තමයි දකින්නේ, අපි බයට මේ නීති ගෙන එනවාය කියලා.
 
මානව හිමිකම් කොමසාරිස්තුමිය ලංකාවට ඇවිල්ලා සිටි නමේ වෙලාවේ හදිසි පනත් කෙටුම්පතක් විදියට මේක එකපාරටම එනවා. එතකොට මේක එන්නේ එතුමිය සතුටු කරන්නයිකියන එක තේරෙනවා. මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ දී දැන් බය වෙන්න එපා, UN  එකේ එකඟතාවක් අනුව අපි නීති ගෙනඑනවා කියලා ඒකෙන් එයාට පුංචි පණිවිඩයක් දෙනවා.පණිවිඩයක් දීලා අර එන pressure එකෙන් බේරෙනවා. ඒක වැරදියි. ඒ නිසා අපි ඒ ක්‍රමය නතර කරමු. නතර කරලා මේවා හරියි කියලා අපි පිළිගන්නවා නම් ඒකට අදාළ නීති රීති අපි මේ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනිමු. එහිදීත් අවධාරණය කළයුතු කොටසක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එකඟත්වයට ආපු ජාත්‍යන්තර  සම්මුතීන් සියල්ලටම අපි නීති හදන්න  ඕනෑ කියලා එක වෙන්නත්  ඕනෑ නැහැ. ඒ මොකද, ජාත්‍යන්තර සම්මුතිවලට එළඹිලා තිබෙන්නේ සමස්ත ලෝකයේ පොදු තත්ත්වයන් ගැන කල්පනා කරලායි. ඒ පොදු ලෝක තත්ත්වයන්ට අනුව තමයි, සම්බන්දන් මන්ත්‍රීතුමා මතු කළ internal self determination තිබෙන්නේ. ඒ තත්ත්වය ලංකාව අද මුහුණ දීලා තිබෙන මේ අභ්‍යන්තරික ප‍්‍රශ්නයේ ස්වභාවය අනුව අපේ රටට ගැළෙපන්නේ නැහැ. ඒ නිසා එතුමාගේ අදහස් දැක්වීමේදී එතුමා කිව්වා, ඒක නැත්තේ ඇයි, ඒකත් ඉදිරිපත්කරන්නය කියලා. නමුත් අප දකින්නට  ඕනෑ, අද රට මුහුණදීලා තිබෙන තත්ත්වය. ඒ නිසා මා සතුටු වෙනවා, ඒවාට අනුව අප නීති රීති සකස් නොකිරීම ගැන. ඒක හොඳයි මොකද, ඒ තත්ත්වයට අපි තවම ඇවිල්ලා නැහැ. බටහිර ලෝකයේ රටවල් ඒ තත්ත්වයට දියුණු වෙලා තිබෙන්නට පුළුවන්. ඒ දියුණු වුණු තත්ත්වයන් යටෙත් ඒ රටවලට internal self determination ගැළෙපන්නට පුළුවන්. නමුත් අපේ රට අප මුහුණ දීලා තිබෙන මේ තත්ත්වයට ඒක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඒකට නීති රීති අපි දැන්මම ගෙනෙන්නට  ඕනෑ නැහැ. ඒ නිසා මේකෙදී ඒ ජාත්‍යන්තර සම්මුතිවලට අනුකූලව ඒ සියලු දෙයටම අප නීතිරීති ගෙනන්නට  ඕනෑය කියලා නොවෙයි, අපේ රටට ගැළෙපන, අපේ රටේ මේ අද තිබෙන අභ්‍යන්තරික දේශපාලන, සමාජ පසුබිමට ගැළෙපන ආකාරයට නීති රීති ගෙන ආ යුතුයි. ඒ නීතිරීති ගෙන ඒමේ දී අපේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. ඒ පිළිබඳව සම්පූර්ණ එකඟතාව තිබෙනවා. මේ අද ඉදිරිපත් කර තිබෙන පනත ශක්තිමත් මදි, ප්‍රමාණවත් මදි කියන අදහසක් ඉදිරිපත් වුණා. 
ඒ ප්‍රමාණවත් නොමැතිකම හෝ ශක්තිමත් නොමැතිකම වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඔබතුමන්ලාට ඉදිරියේ දී කටයුතු කරන්නට පුළුවන්ය කියලා මා හිතනවා. නමුත් මේ තත්ත්වයෙන් හෝ මෙම පනත ඉදිරිපත්කිරීම පිළිබඳව අපේ සහයෝගය ප්‍රකාශ කරනවා. ඒ වාගේම මෙතැනින් නතර නොවී හදිසියේ මේ පනත ගෙනැල්ලා එතුමිය සන්තෝෂ කරනවාය කියන ඒ කාරණාවෙන් නතර නොවී සමස්ත ජාත්‍යන්තර සම්මුති පිළිබඳව යළි සලකා බැලීමක් කරලා, ඒ සියලූම සම්මුතිවලට අදාළව කම්කරු ප්‍රඥප්තීන්, කම්කරු නීති රීති, ඒ වාගේම අනෙකුත් මානව හිමිකම් පිළිබඳව නීති රීති, ඒ සියලූම නීති රීති මේ පාර්ලිමේන්තුවට ගෙන එන්න. ඒ ගෙන ඒම තුළ මේවා අපේ රටට ගැළෙපනවා නම්, ඒ ගැළපෙන ආකාරයට සකස් කරගෙන අපට සම්මත කර ගන්නට පුළුවන්. ඒ සම්මත කර ගැනීම සමාජයක් විධියට මේ ලාංකික සමාජය ඉදිරියට ගෙන යාමට ඉවහල් වෙනවා. එම සම්මුතීන් නීතිගත වුණාට පසුව ඒ සම්මුතීන්වලට අනුව කටයුතු කරන්න මේ රටේ ඒ නීති රාමුව සකස් කරන්න අධිකරණයට සිදුවෙනවා.

එවැනි තත්ත්වයන් තුළින් තමයි, අපට සමාජයක් විධියට ඉදිරියට යන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපේ සහයෝගය ප්‍රකාශ කරනවා වාගේම අවස්ථාවාදීව අර ආකාරයට පනත් ගෙන එන එක වළක්වා, දීර්ඝකාලීනව රටේ අනාගතය පිළිබඳව සලකා ඒ අණපනත් ඉදිරිපත් කරන්න. එවැනි කටයුත්තකින් තමයි, අර බෙලහීනතාවෙන් මිදෙන්නට අපට පුළුවන් වන්නේ. එවැනි කටයුත්තක් ඉදිරියට ගෙන යන්න ඒ අදාළ කරන සහයෝගය අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි.’’

එදින දෙවැනි වර හා තුන් වැනි වර කියවීමෙන් පසු සංශෝධන සහිතව සම්මත වූ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) පනතින් ප‍්‍රයෝජන ගත් හැටි සහ එය අවභාවිතා කරන හැටි වෙනත් ලිපියකින්.