රටක ආර්ථිකය යන දිශාව පෙන්නුම් කරන්නේ අයවැයෙනි. ආර්ථිකයේ ගමන් මඟ පෙන්වා දෙන්නේ අයවැයකිනි. ඒ වගේම රටක ආර්ථික ප්‍රශ්නවලට උත්තර සොයන්නේද අයවැයෙන් බව අමතක නොකළ යුතුය. ඒ අයවැයක මූලිකම කාර්යයයි. ඉන් පසුව ජනතාවට ලබාදිය හැකි සහන දීමට, ආර්ථිකය තව තවත් උද්‍යෝගිමත් කිරීමට යනාදී සියලු දේද අයවැයෙන් කෙරිය යුතුය. ඒ කුමන කෝණයකින් බැලුවද පසුගිය දා ඉදිරිපත් කළ අයවැයේ එවන් ලක්ෂණ පෙන්නන්නට නැත. ඉලක්කම් ටිකක් ඉදිරිපත් කළ ද කිසිදු හරයක් මෙහි දක්නට නැත. බලාපොරොත්තු වන කිසිදු අරමුණක් මේ අයවැයෙන් ඉටු නොවන බව ඉතාම පැහැදිලිය.

ඉදිරි මාස තුනකදී මෙම අයවැය සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවන බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. මුදල් ඇමැතිවරයාද වරින් වර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. ජනතාවට කිසිදු සහනයක් දීමට මේ ආණ්ඩුවට ශක්තියක්, හැකියාවක් නැත. යමක් කිරීමට යම් ඉඩකඩක් තිබිය යුතුය. තමන් අත මුදල් තිබේ නම් තම දරුවාට අවශ්‍ය දේ ලබා දෙන්නට පුළුවන. මුදල් නැති නම් තමන්ට අවශ්‍ය වුවත් එම අවශ්‍යතා සපුරාලන්නට හැකියාවක් නැත. ඉදිරි කාලයේදී කුමන හෝ මැතිවරණයකට මුහුණදීමට සිදුවන බව ආණ්ඩුවද හොඳින්ම දන්නා කරුණකි. එසේ වුවත් කිසිවක් කිරීමට නොහැකි තත්ත්වයක් තිබේ. මේ පසුබිම යටතේ තවත් මාස තුනකින් අයවැය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයකි. ගිය වසරේ අයවැයෙන් මේ අය කළ යෝජනාවලින් ඉටුකර තිබෙන්නේ සියයට අටකි. ඉතිරි සියයට අනූ දෙකෙන් එක්කෝ ඉතාම සුළු ප්‍රමාණයක් ඉටු කර හෝ නැතිනම් එයින් කිසිවක් කෙරී නැත. මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුවට සමීප  සමීක්‍ෂණ ආයතනයකි. මෙවන් වාර්තා තබා ඇති ආණ්ඩුවක් ඉදිරි මස තුනකදී මහා විප්ලවයක් කරන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. ඉදිරි මාස තුනේදී නොව ඉදිරි වසර තුනකදීත් මේ අය කියන දේවල් කළ නොහැකි බව නම් පැහැදිලිය.

නොයෙක් ආකාරයේ නම් යොදාගත් ව්‍යාපෘති මේ අයවැයේ තිබෙන බව ඇත්තකි. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”, “ගම් පෙරළිය” ආදිය එයට උදාහරණ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන. මේවා හරහා රටේ දැවැන්ත සංවර්ධනයක් කිරීමේ හැකියාවක් නැත. ඒ වගේම පසුගිය කාලය පුරාද මේ වැඩ සටහන් මේ අය ක්‍රියාත්මක කළ බව අමතක නොකළ යුතුය. ඒ කාලයේදී රටේ සිදුවූ පරිවර්තනය කුමක්ද? සාමාන්‍ය ජනයාට දැනෙන වෙනසක් කිරීමට මෙම වැඩ සටහන් සමත් වූවාද? ඒ වගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනු ණය දීමේ ක්‍රමයකි. ඕනෑම බැංකුවක විවිධාකාරයේ ණය ක්‍රම තිබේ. ව්‍යාපාරවලට, නිවාස ඉදිකිරීමට, අපනයන කටයුතුවලට යනාදී වශයෙන් බැංකුවල ණය ක්‍රම රාශියකි. ආකර්ෂණීය නම් යටතේ සෑම ක්ෂේත්‍රයක්ම ඉලක්ක කරගත් ණය ක්‍රම මූල්‍ය ආයතනවල ඕනෑතරම් තිබේ. අයවැයෙන් ද කර තිබෙන්නේ විවිධ ණය ක්‍රම පිළිබඳ ජනතාවට කීමය. එසේ නම් මුදල් ඇමැති කර තිබෙන්නේ බැංකු කළමනාකරුවකුගේ කාර්යභාරයයි.

ගම සංවර්ධනයට රුපියල් මිලියන 48000ක් අය වැයෙන් වෙන් කළ බව මුදල් ඇමැති ප්‍රකාශ කළේය. එනම් රුපියල් බිලියන 48කි. මේ රටේ ජනතාව ණය කාඩ්පත්වලින් පමණක් ලබාගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 1300කි. මෙවන් පසුබිමක රුපියල් බිලියන 48ක් දීමෙන් කළ හැකි විප්ලවය කුමක්ද? මේ මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දශම තුනකි. රන් අස්වැන්න, රිය ශක්ති, ගොවි නවෝදය, සිටි රයිඩ්,  රිවිබලසවි යනාදී නම්වලින් මෙවර අයවැයෙන් ණය ක්‍රම හඳුන්වා දී තිබේ. මෙම නම් තිබිය යුත්තේ ණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට බැංකු මුද්‍රණය කරන පත්‍රිකාවලය. දැවැන්ත ආර්ථික අවපාතයක් රට තුළ නිර්මාණ වී තිබේ. ආර්ථික වර්ධන වේගය සියයට තුනට වඩා අඩු වන බව ගණනය වී තිබේ. සියයට හතක ආර්ථික වර්ධනයක මේ රට තිබූ බවද  මතක්කර දිය යුතුය. ආසියාවේ රටවල් අතර වර්ධන වේගයෙන් අවසන් ස්ථානය ලබාගැනීමට ලංකාව ඇෆ්ගනිස්ථානය සමඟ සටනකට එළැඹ සිටින බව පෙනෙන්නට තිබේ. එවන් තත්ත්වයක පවතින රටක් රුපියල් බිලියන 48කින් ගොඩනඟන්නට යාම විහිළුවකි. ඒ වගේම රට ගමන් කරන දිශාව මේ අනුව වටහා ගන්නට පුළුවන. මේ සියල්ලෙන් කෙරී ඇත්තේ ජනතාව රැවටීම මිස අන් කිසිවක් නොවේ.

ණය සම්බන්ධයෙන් වරින්වර හඬ නගනු පෙනෙන්නට තිබේ. අගමැතිවරයා නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන්නේ ණය බර නිසා රට ගොඩනැඟීමට තමන්ට නොහැකි වී ඇති බවය. දොස් පවරන්නේ පැවැති ආණ්ඩුවටය. එනිසා මෙය නිසියාකාරව පහදා ගත යුතුය. අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රට බාර ගන්නා විට රටේ ණය බරතාව රුපියල් ට්‍රිලියන හතකි. රටේ ආදායමට සාපේක්‍ෂව ණය බරතාව සියයට 71කි. වත්මන් ආණ්ඩුව රට බාර ගන්නා විට තිබූ තත්ත්වය එයයි. අද සිදුව ඇත්තේ කුමක්ද? ට්‍රිලියන හතක්ව තිබූ ණය බරතාව රුපියල් ට්‍රිලියන 12 දක්වා වැඩි වී තිබේ. එනම් රුපියල් ට්‍රිලියන පහක වැඩිවීමකි. ආණ්ඩුව මහා හඬින් කියන ආකාරයට ණය ගෙව්වා නම් මෙලෙස වැඩි වීමේ හැකියාවක් නැත. මෙයින් පෙනෙන්නේ ණය ගෙවීමක් නොව තව තවත් ණය ගැනීමකි. ආදායමට සාපේක්‍ෂව ණය ප්‍රමාණය සියයට 71 සිට සියයට 91 දක්වා වැඩි වී තිබේ. මේවාට වග කියන්නේ කවුද? ඉවක් බවක් නැතිව විදේශ ණය ගෙන ඇති බව මෙයින් පැහැදිලිය. ඒ අතරම රුපියලද අවප්‍රමාණය කරගෙන තිබේ. ඒ අනුව රටේ ණයබරතාව ඉතාම උග්‍ර තැනකට ගෙනගොස් අවසන්ය. මෙයට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ වත්මන් ආණ්ඩුවය.

රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් පසුගිය වසර හතරේදී අමතරව එකතු වූ ණය රුපියල් බිලියන 1500කි. 2013 දී සහ 2014 දී රුපියල අධිප්‍රමාණය වීම නිසා ණය තොගය අඩු වුණි. මේ සියල්ල මහ බැංකු වාර්තාවේ සඳහන්ය. එසේ තිබූ රට අමතර රුපියල් බිලියන 1500 කින් වැඩිකර ගැනීම බරපතළ කාරණාවකි. මේවාට වගකිව යුත්තේ මේ ආණ්ඩුවේ ප්‍රධානීන් මිස අන්කවරකුත් නොවේ. වසර හතරකදී රටේ ණය බර ට්‍රිලියන පහකින් වැඩි වූයේ ණය ගෙවූ නිසාදැයි ප්‍රශ්න කළ යුතුය.

පසුගිය ආණ්ඩුවේ වසර නවයේදී ණය ගෙන කළ සංවර්ධනය පැහැදිලිව පෙනෙන්නට තිබේ. යුද්ධයට අවශ්‍ය උපකරණ මිලදී ගත්තේය. උතුරු නැගෙනහිර බින්දුවේ පටන්ම සංවර්ධනය කළේය. රටේ අනෙකුත් ප්‍රදේශ වල සංවර්ධන වැඩ කටයුතු දියත් කළේය. මේ සියල්ල කිරීමට ණය වූයේ ට්‍රිලියන පහකි. එහෙත් වත්මන් ආණ්ඩුව වසර හතරකදී ලබාගෙන ඇති ට්‍රිලියන පහෙන් කළ වැඩ මොනවාදැයි රටට ඉදිරිපත් කළ හැකිද? හැකිනම් එසේ ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරමි. මේ අයගේ අදක්‍ෂතාව රට මහා ණය අර්බුදයකට ගොදුරු කර අවසන්ය. ජනතාවට ද ඇති එකම ප්‍රතිලාභය එයයි.

මේ වසරේ ඇ.ඩො. බිලියන 5.6ක ණය ගෙවීමට සිදුවන බව ප්‍රකාශ වී තිබේ. මේ වෙනුවෙන් අය වැයෙන් වෙන් කළ යුතු මුදල රුපියල් බිලියන 1,013 කි. (ඇ.ඩො.බි. 5.6x181) රුපියල අවප්‍රමාණය නොවී පාලනය කර ගැනීමට හැකි වූවා නම් ඩො. බිලියන 5.6 ක් රුපියල් 131 බැගින් මිලදී ගැනීමට වැය වන්නේ රුපියල් බිලියන 733කි. ඒ අනුව බලන විට මේ වසරේ වැඩිපුර වෙන් කිරීමට සිදුවන මුදල රුපියල් බිලියන 280කි. රුපියල් බිලියන 280ක් තිබුණා නම් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමටත් ඒ සමඟම කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමටත් හම්බන්තොට වරායත් ඉදිකිරීමට හැකිවනු ඇත. මේ අමතර රුපියල් බිලියන 280 සොයාගැනීමට ජනතාව මත තව තවත් බදුබර පැටවීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇත. කුඩා බිලිඳුන්ගේ ගිණුම්වලින් පවා බදු අය කිරීමට මෙවර අයවැයෙන් කටයුතු කර තිබීමෙන්ම එය තව දුරටත් තහවුරුවනු ඇත.

ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීමෙන් පසු විශාල වශයෙන් අපනයන වැඩි වන බව ප්‍රකාශ කළේය. එම සහනය ලබා ගැනීමට එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ චෝදනාවට එකඟ වූවේය. අතුරුදහන් වූවන්ගේ කාර්යාල පිහිටුවීමට, අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමට, කීර්තිමත් රණවිරුවන් සිරගත කිරීමට, විදේශ විනිසුරුවරු ගෙනඒම යනාදියට එකඟ වූවේය. ජී.එස්.පී. ප්ලස් ලබාගැනීමට කොතරම් ලොකු මිලක් ගෙව්වාදැයි එයින් පැහැදිලිය. 2014 දී මේ රටේ අපනයන ඇ.ඩො.බි. 11.1කි. ඉන්පසු 2015, 2016, 2017 සහ 2018 යන වසර හතරේ අපනයනවල සාමාන්‍ය අගය ඇ.ඩො.බි. 10.9කි. මේ සියලු දත්ත මහ බැංකු වාර්තා වල සඳහන්ය. මුළු රටම පාවාදී අපනයන අඩුකර ගැනීම බරපතළ කරුණකි. සිංගප්පූරුව ආදී රටවල් සමඟ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම් හේතුවෙන් අපනයන වැඩිවන බව ප්‍රකාශ කළ ද එවැන්නක් සිදුව නැත. ඒ සියලු ගිවිසුම් අත්සන්කර ඇත්තේ වෙනත් රටවල වුවමනාවටය. අයවැයෙන්ද අපනයන දිරිගැන්වෙන සහන නැත.

කොටස් වෙළෙඳ පොළේ ප්‍රාග්ධනය 2014 අග වන විට ඇ.ඩො. බි. 23.7කි. අද වන විට එම ප්‍රාග්ධනය ඇ.ඩො.බි. 14.5 ක් දක්වා ඇද වැටී තිබේ. ආසියාවේ ඉදිරියෙන්ම තිබූ කොටස් වෙළෙඳපොළ මෙසේ කඩා වැටුණේ ඇයි? ආර්ථික ඔස්තාර්ලා මේවාට දෙන පිළිතුර කුමක්ද? රැකියා දස ලක්‍ෂයක් බිහිකරන බවට දුන් පොරොන්දුව කාටත් මතකය. දැනට තිබෙන දත්ත අනුව ගෙවුණු වසර තුන හමාරක කාලයේදී රැකියා අවස්ථා 4,54,000ක් අහිමී වි ඇති බව පෙන්නුම් කර තිබේ. මෙයට අමතරව අලුතෙන් රැකියා වෙළෙඳ පොළට එක් වූවන්ට සිදුවූයේ කුමක්ද? රටේ පවතින මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයේ උත්තර නැත.

පොලී අනුපාත සම්බන්ධයෙන්ද කිව යුතුය. සෑම පොලී අනුපාතයක්ම තීරණය වන්නේ සුපිරි ගනුදෙනුකරුවන්ට ණය දෙන සාමාන්‍ය අනුපාතය අනුවය. එම පොලී ප්‍රතිශතය 2014 දී සියයට 6.3 කි. අනෙක් අයට පොලී අනුපාත ලැබුණේ ඊට සාපේක්‍ෂවය. එම අගය 2018 දී සියයට 12.01 දක්වා වැඩි වී තිබේ. අනෙක් අයට ණය ලැබෙන පොලිය මෙයට වඩා බෙහෙවින්ම වැඩිය. එවන් ඉහළ පොලියකට ණය ලබාගෙන ව්‍යාපාර කරන්නේ කෙසේද? සියයට විස්සේ පොලියට ණය ලබාගෙන ව්‍යාපාර කිරීමට හැකියාවක් නැත. ආර්ථිකයේ මූලික පදනම් දෙදරා ගොසිනි. සාමාන්‍ය ජනතාව පවා බෙහෙවින්ම අසීරු තත්ත්වයකට පත්ව ඇත්තේ ඒ නිසාය.

දැන් අපේ ආර්ථිකය ගමන් කරන්නේ අලුත් මාවතකය. “සංකෝචන මාවත” එම අලුත් මාවතය. ආර්ථිකයකට විය හැකි ලොකුම වින්නැහිය ද එයයි. මෙයින් ගොඩඒමට කිසිදු සැලසුමක් නැත. ආර්ථිකය කෙරෙහි තිබූ විශ්වාසය සම්පූර්ණයෙන් පළුදු වී ගොසිනි. බැඳුම්කර වංචාවෙන් පසු පළුදු වූ විශ්වාසය දිගින් දිගටම වසර හතරක් තිස්සේ කඩවෙමින් තිබුණි. අද එය තීරණාත්මක ස්ථානයකට පැමිණ අවසන්ය. විශ්වාසය යළි ගොඩනොනැඟුණහොත් ගොඩයාමක් ගැන සිතිය නොහැක. පසුගිය දා මේ අය ඩොලර් වලින් ණය ගත්තේ සියයට අටට ආසන්න පොලියකටය. ඒ විකල්ප නැති නිසාය.

සියයට හතරක පමණ ආර්ථික වර්ධන වේගයක් පිළිබඳ ඉඟි පළ වී තිබේ. මේ ඉලක්කය සැපිරීමේ හැකියාවක් නැත. 2017 දී සියයට හතරක ඉලක්කයක් තිබුණි. එහෙත් ආර්ථිකය වර්ධනය වූයේ සියයට 3.3 කින් පමණය. 2018 ඉලක්කය වූයේ සියයට 4.5කි. ලැබුණේ සියයට 3කටත් වඩා අඩු අගයකි. එහෙත් ඉලක්කම් විජ්ජාවක් දමා එය සියයට තුනක්ලෙස පෙන්නුම් කළේය. මේ වසරේ පවත්නා සංකෝචනය අනුව කිසි විටෙක සියයට හතරක වර්ධනයක් ලබාගත නොහැක. සියයට තුනකටත් වඩා අඩු වර්ධනයක් ගන්නා බව පවතින සාධක අනුව කියන්නට පුළුවන. මේ අය ඉදිරිපත් කර ඇති කිසිදු ඉලක්කයකට ළඟාවිය නොහැකි බව ඉතා පැහැදිලිය.

සටහන - චමින්ද මුණසිංහ