IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුහල්පති සේවයට සිප්පි කටු ඇහිදීම

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

([email protected],[email protected])

 

අවුරුදු ගණන් එකම පාසලේ පැලිපදියම් වී සිටින ගුරුවරුන් ගැන 2017 ඔක්තෝබර් 11 ලංකාදීපයේ සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් අනාවරණය කළෙමු. මෙවර කතා කරන්නට යන්නේ  විදුහල්පතිවරුන් ගැනය. පසුගිය කාලයේ ප‍්‍රධාන පෙළේ පාසල් කිහිපයකට විදුහල්පතිවරුන් ලෙස චෝදනා ලත් නිලධාරීන් පත් කරනු ලැබිණි. අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් ප‍්‍රකාශ වුණේ විදුහල්පතිවරුන් නැති නිසා එවැනි චෝදනා ලාභීන් පත් කිරීමට සිදුවූ බවයි. සත්‍ය වශයෙන්ම ලංකාවේ විදුහල්පතිවරුන් හිඟද? මේ ඒ ගැන සොයා බැලීමකි.

සේවයට බඳවා ගැනීම

ශ්‍රී ලංකාවේ ඇති මුළු පාසල් සංඛ්‍යාව 10162කි. ඉන් ජාතික පාසල් ඇත්තේ 353කි. ඉතිරි පාසල් 9809ම පළාත් පාසල්ය. ජාතික පාසල් අධ්‍යාපන අමාත්‍යංශය හරහා සෘජුවම පාලනය වෙයි.  පළාත් පාසල් පාලනය වන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හරහාය. අධ්‍යාපන අමාත්‍යංශය මගින් විටින් විට නිකුත් කරනු ලබන චක‍්‍රලේඛ මේ සියලූම පාසල්වලට අදාලය. පරිපාලනමය කටයුතු සිදුවන්නේ එම චක‍්‍රලේඛ උපදෙස් හරහාය.

පළාත් පාසල් සහ ජාතික පාසල් යන සියලූ පාසල් ප‍්‍රධාන කාණ්ඩ හතරක් යටතේ හඳුනා ගැනේ. ඒවා නම් 1ඒ බී පාසල්, 1සී පාසල්, දෙවැනි වර්ගයේ පාසල් සහ තුන් වැනි වර්ගයේ පාසල් ලෙසයි. 1 ඒ බී පාසල් යනු 1 ශ්‍රේණියේ සිට හෝ හය ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණි දක්වා පන්ති ඇති උසස් පෙළට විද්‍යා, කලා, වාණිජ යන ප‍්‍රධාන විෂය ධාරා තුනම සහිත පාසල්ය.  1 සී පාසල් යනු එක ශ්‍රේණියේ සිට හෝ හය ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති ඇති, උසස් පෙළ කලා සහ වාණිජ යන විෂය ධාර දෙකම හෝ එකක් පමණක් ඇති පාසල්ය. දෙවැනි වර්ගයට අයත් වන්නේ අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති ඇති පාසල් වන අතර පහ ශ්‍රේණිය හෝ අට ශ්‍රේණිය දක්වා පමණක් පන්ති ඇති පාසල් තුන් වැනි වර්ගයේ පාසල් වලට අයත් වේ.

පාසල්වල විදුහල්පතිවරුන් පත් කරද්දී සේවා දෙකක් යටතේ පත් කරයි. එනම් විදුහල්පති සේවයේ නිලධාරීන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ය.

අධ්‍යාපන පරිපාලන සේවය සඳහා ක‍්‍රම දෙකකට නිලධාරීන් බඳවා ගනු ලබවයි. පළමු ක‍්‍රමය විශේෂ සේවක සංඛ්‍යාව යටතේ කරන බඳවා ගැනීම්ය. දෙවැනි ක‍්‍රමය නම් සාමාන්‍ය සේවක සංඛ්‍යාව යටතේ කරන බඳවා ගැනීම්ය. මින් විශේෂ සේවක සංඛ්‍යාව යටතේ බඳවා ගැනීම් කරනු ලබන්නේ විෂයන් පාදක කරගෙන වන අතර ඔවුන්ට විෂය අධ්‍යක්ෂ තනතුරු ආදී විෂයානුබද්ධ තනතුරු දැරිය හැකිය. විදුහල්පති ධුර වැනි පරිපාලන ධුර දැරිය හැකි වන්නේ සාමාන්‍ය සේවක සංඛ්‍යාව යටතේ බඳවා ගත් නිලධාරීන්ට පමණි. 

අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් බඳවා ගනු ලබන්නේ එම සේවයේ තුන්වැනි පන්තිය සඳහාය. අධ්‍යාපන පරිපාලන සේවයේ තුන් වැනි පන්තියට බඳවා ගන්නා නිලධාරීන්ට ඉන්පසු කාලානුරූපිය දෙවැනි පන්තියටත්, පළමු පන්තියටත් උසස් වීම් හිමිවෙයි.

2014 වසරට පෙර විදුහල්පති සේවය තුන් වැනි පන්තිය, 2-2 , 2-1 සහ පළමු පන්තිය ලෙස කොටස් හතරක් යටතේ පැවැතියත් 2014 ඔක්තෝබර් 10 වැනිදායින් පසු දැන් ඇත්තේ තුන්වැනි පන්තිය, දෙවැනි පන්තිය සහ පළමු පන්තියට කොටස් තුන පමණි. ඒ 2014 ඔක්තෝබර් 22 වැනි දා  1885/31 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුවය.

නව සේවා ව්‍යවස්ථාව අනුව විදුහල්පති සේවයේ තුන් වැනි පන්තියට පමණක් නිලධාරීන් බඳවා ගන්නා අතර ඒ ශ්‍රී ලංකා ගුරුසේවයෙනි. විභාගයකින් සහ සම්මූඛ පරීක්ෂණයෙන් විදුහල්පති සේවයේ තුන් වැනි පන්තියට බඳවා ගන්නා නිලධාරීන් වසර හයකින් පසු කාර්යක්ෂමතා කඩඉම් විභාගයකින් සහ තවත් සුදුසුකම් සම්පූර්ණ කළ පසු විදුහල්පති සේවයේ දෙවැනි පන්තියට උසස් කරනු ලැබේ. ඉන් පසුව නැවත වසර හයකින් කාර්යක්ෂමතා කඩඉම් සහ වෙනත් සුදුසුකම් සැපිරීමෙන් පසු විදුහල්පති සේවයේ පළමු පන්තියට උසස් කරනු ලබයි.

පාසල්වල විදුහල්පති ධුරයට අමතරව නියොජ්‍ය විදුහල්පති ධුර සහ සහකාර විදුහල්පති ධුර සඳහා පත් කරනු ලබන්නේ ඉහත කී විදුහල්පති සේවයේ නිලධාරීන්ය.

විදුහල්පතිවරුන් පත් කිරීම

පෙර සඳහන් කළ ආකාරයට විදුහල්පති සේවයට සහ අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් බඳවා ගත් පසු පාසල්වල ඇතිවන විදුහල්පති පුරප්පාඩු සඳහා එම නිලධාරීන් පත් කිරීම සිදු වෙයි. පුරප්පාඩු සඳහා නිලධාරීන් පත් කළ යුතු වන්නේ 1998 ජූලි හය වැනි දා තම 1998 අංක 23 දරණ අධ්‍යාපන අමාත්‍යංශ චක‍්‍රලේඛය අනුවය.

එම චක‍්‍රලේඛය අනුව ජාතික පාසල් , 1 ඒ බී කාණ්ඩයේ සහ 1සී කාණ්ඩයේ පාසල්වල විදුහල්පතිවරුන් පුරප්පාඩු පිරවීමේදී අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු, දෙවැනි සහ තුන්වැනි පන්තියේ නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු පන්තියේ නිලධාරීහු ද සම්මූඛ පරීක්ෂණය සඳහා අයදුම් කිරීමට සුදුස්සෝ වෙති.

දෙවැනි සහ තුන්වැනි කාණ්ඩවල විදුහල්පතිවරුන් ලෙස අයදුම් කිරීමට විදුහල්පති සේවයේ දෙවැනි සහ තුන්වැනි පන්තියේ නිලධාරීහු සුදුසුකම් ලබති.

පාසලක විදුහල්පතිවරයකු විශ‍්‍රාම යෑමට මාස තුනකට පෙර එම පාසල සඳහා විදුහල්පතිවරුන් තෝරා පත් කර ගැනීමට අයදුම්පත් කැඳවිය යුතු වන අතර විදුහල්පතිවරයා විශ‍්‍රාම යන දිනය වන විට සම්මූඛ පරීක්ෂණ පවත්වා සුදුස්සකු තෝරාග ගත යුතුය. එසේ සුදුස්සකු තෝරා ගැනීමට අපහොසත් වුවහොත් පමණක් වැඩ ආවරණය කිරීමට වෙනත් අයකු තාවකාලිකව පත් කළ යුතු අතර හැකිතාක් ඉක්මණින් අයදුම්පත් කැඳවා සුදුස්සකු පත් කළ යුතුය. ඇතැම් විට විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙස හදිසියේ විදුහල්පතිවරයකු ඉවත් කරන්නේ නම් තාවකාලිකව වැඩ ආවරණය කිරීමට නිලධාරියකු පත් කළ යුතු අතර හැකිතාක් ඉක්මණින් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුස්සකු තෝරා පත්කර ගත යුතුවේ.

විදුහල්පති පුරප්පාඩු රැසක්

පෙර සඳහන් කළ ආකාරයට විදුහල්පතිවරුන් තෝරා පත් කර ගත යුතු වුවද එය මේ වන විට චක‍්‍රලේඛවලට සහ ලේඛණවලට පමණක් සීමා වී තිබේ. පෙර සඳහන් කළ පරිදිම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සෘජුවම පාලනය වන ජාතික පාසල් ඇත්තේ 353කි.  මේ ලිපිය ලියන මොහොත වන විටත් ජාතික පාසල් 250කම ඉන්නේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන්ය. එනම් සම්මූඛ පරීක්ෂණ පවත්වා නිසි ක‍්‍රමවේදයට පත් කළ විදුහල්පතිවරුන් සිටින්නේ ජාතික පාසල් 103ක පමණි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්ද මහතා  යොමු කළ ප‍්‍රශ්නයකට අධ්‍යාපන අමැති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය පෙබරවාරි 20 වැනි දා පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන්නේය. අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුර සමඟ කළ පැහැදිලි කිරීම මෙසේය. (උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාවෙනි)

‘ඇත්ත වශයෙන්ම ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ විශාල හිඟයක් තිබුණා. පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත නියමිත ශ්‍රේණිධාරීන් හිටියේ නැහැ. එම නිසා අපි විදුහල්පතිවරුන් බඳවා ගැනීම ආරම්භ කරලා විශේෂයෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයට 852ක් බඳවා ගනු ලැබුවා. විවෘත විභාගයෙන් බඳවා ගත් අයට වසරක නේවාසික පුහුණුවක් ලබා දුන්නා. අද මම මෙතනට එන්න කලින් පනස් දෙනකුට වැඩි ප‍්‍රමාණයක් විදේශ පුහුණුවට යැවීමට ටිකට් පත් ලබා දීලයි ආවේ. ඒ වාගේම තුන් වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 4000ක් පමණ බඳවා ගෙන දැන් පද්ධතියට දමලා තිබෙනවා.

අපි ජාතික පාසල්වල පුරප්පාඩු පිරවීම සඳහා සම්මූඛ පරීක්ෂණයක් පැවැත්වුවා. එම සම්මූඛ පරීක්ෂණ මණ්ඩල කිව්වා, ‘සෑහීමකට පත් විය හැකි විදුහල්පතිවරු නැහැ’’ කියලා. එම නිසා තමයි අපට එක් වතාවක් කැඳවලා නැවත අවලංගු කරන්න සිදු වුණේ. අපි ඒ පිළිබඳව අධ්‍යාපන සේවා කමිටුවට දැනුම් දුන්නා. පද්ධතියේ බඳවා ගැනීම කර තිබෙන නිසා ඉතා ඉක්මනින් ගැසට් කර ඒ අය බඳවා ගැනීමට කටයුතු කරනවා. එම ගැසට් එක මාසයක් ඇතුළත වාගේ නිකුත් වෙයි කියලා මම හිතනවා. ’

ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ එම ප‍්‍රකාශය කරන විට ජාතික පාසල් 232ක විදුහල්පති පුරප්පාඩු තිබුණු අතර ඉන් පසුව ද පාසල් කිහිපයක විදුහල්පති පුරප්පාඩු ඇතිවීම නිසා එම සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ජාතික පාසල්වල තත්ත්වයයි. පළාත් පාසල්වල තත්ත්වයද ඊට නොවෙනස්ය. පළාත් පාසල් රැසක සිටිනුයේ වැඩආවරණය කරන විදුහල්පතිවරුන්ය. ඇතැම් පාසල්වල වැඩ ආවරණය කිරීමට සිටින්නේ සාමාන්‍ය ගුරුවරුන්ය. ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් එම පාසල්වල නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරද්දී දේශපාලන මැදිහත්වීම් මත උප ගුරුවරුන් විදුහල්පතිවරු ලෙස වැඩ බලති.

ආදි ශිෂ්‍ය මැදිහත්වීම්

ජාතික පාසල් ගත් කළ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන් සිටින බොහෝ පාසල්වල ස්ථිර විදුහල්පතිවරයකු පත් කිරීම සඳහා වසර ගණනාවකින් සම්මූඛ පරීක්ෂණ පවත්වා නැත. චක‍්‍රලේඛ අනුව විදුහල්පතිවරයකු විශ‍්‍රාම ගන්නේ නම් ඊට තුන් මාසයකට පෙර අයදුම්පත් කැඳවා සම්මූඛ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ විය යුතු වුවත් එය සිදු නොවේ. සිදුවන්නේ පාසල් සියයට 200ක  පුරප්පාඩු එනතුරු සිට තොග වශයෙන් සම්මූඛ පරීක්ෂණ පැවැත්වීමය.

උදාහරණයක් ලෙස ලංකාවේ ප‍්‍රසිද්ධ පාසලක් ගනිමු. එම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටියේ ස්වාමීන් වහන්සේ නමකි. ස්වාමීන් වහන්සේගේ විශ‍්‍රාම යන වයස සම්පූර්ණ වීමෙන් පසු කැබිනට් මණ්ඩලය මගින් ඒ හිමියනට සේවා දිගු දෙකක් ලබා දුන් අතර 2012 ජනවාරි මස 27 වැනි දා ඒ හිමියෝ විශ‍්‍රාම ගත්හ.

චක‍්‍රලේඛ ප‍්‍රකාව කටයුතු කළේ නම් අධ්‍යාපන අමාත්‍යංශය ඒ හිමියන් විශ‍්‍රාම ගැනීමට මාස තුනකට පෙර එනම් 2011 ඔක්තෝබර් 27 වැනිදා සම්මූඛ පරීක්ෂණය සඳහා කටයුතු සූදානම් කළ යුතු අතර 2012 ජනවාරි 26 වැනි දා වන විට අයදුම්පත් කැඳවා සම්මූඛ පරීක්ෂණ පවත්වා සුදුස්සකු තෝරාගෙන සිටිය යුතුය.

නමුත් එසේ සිදුවූයේ නැත. ඒ හිමියන් විශ‍්‍රාම ගැනීමෙන් පසු පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වැඩ බලන විදුහල්පති ලෙස පත් කරනු ලැබූ අතර ඉන් අනතුරුව ආදි ශිෂ්‍ය සංගමයේද මැදිහත්වීමෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ තුන් වැනි පන්තියේ නිලධාරියකු නව විදුහල්පති ලෙස පත් කරනු ලැබීය. ඒ 2012 මාර්තු 19 වැනි දා ය. ඔහු පත් කරනු ලැබුවේ චක‍්‍රලේඛ ප‍්‍රකාරව අයදුම්පත් කැඳවීමකින් තොරවය.  එම විදුහල්පතිවරයා අදාල විද්‍යාලයේ විදුහල්පති ලෙස 2017 වසර වන තෙක් කටයුතු කළේය.

එම වසර පහ පුරාවටම අයදුම්පත් කැඳවා සම්මූඛ පරීක්ෂණ පවත්වා එම ඉන් තේරී පත්වන නිලධාරියා පත් කළේ නැත. එම විදුහල්පතිවරයා 2017 වසර මැදදී පළාත් රාජ්‍ය සේවයට නිදහස් විය. ඔහු අනියුක්ත වීම රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමත කර තිබිණි. නිලධාරියා පළාත් රාජ්‍ය සේවයට මුදා හැරීමට පෙර එම පාසලේ විදුහල්පති පුරප්පාඩුවට සම්මූඛ පරීක්ෂණ පැවැත්විය යුතු වුවත් එවැන්නක් සිදු වූයේ නැත. සිදුවූයේ යළිත් සම්මූඛ පරීක්ෂණ නැතිව වැඩ ආවරණයට වෙනත් පාසලක විදුහල්පතිවරයකු පත් කිරීම පමණි. එම විදුහල්පතිවරයා පත්වීම් ලැබ දැනට මාස හයක් පමණ ගත වී ඇත.

එම පාසලේ හිටපු විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ගැටලූ මතුවෙද්දී අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ හොඳ විදුහල්පතිවරයකු සොයා ගන්නා ලෙස ආදි ශිෂ්‍ය සංගමයට දැනුම් දුන් බවයි. ආදි ශිෂ්‍ය සංගමය හොඳ විදුහල්පතිවරයකු සොයා ගත් පසු විදුහල්පති සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය ඒ දිනවල කීවේය. මේ එක් උදාහරණයක් පමණි. මෙවැනි උදාරණ තවත් රාශියක් ගෙන හැර පෑමට පිළිවන.

තවත් ප‍්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පති පුරප්පාඩුවක් ඇති වූ අතර කිසිදු සම්මූඛ පරීක්ෂණයක් නැතිව කාලප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු එම තනතුරට පත් කළේ වැඩ අවාරණය සඳහාය. වැඩ ආවරණයට පත් කළ නිලධාරියාගේ ගැටලූ මතුවෙද්දී එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයට සුදුසු විදුහල්පතිවරයකු තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉඩ දුන් අතර ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් නව විදුහල්පතිවරයයෙක් පත් කරනු ලැබීය.

ඒ සම්මූඛ පරීක්ෂණ නැතිව වැඩ ආවරණය කිරීම සඳහාය. මේ වන විට එම විදුහල්පතිට තනතුර පවා එපාවී ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඔහුට සිදුව ඇති බැවිණි. ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් ඔහු පාසලට පැමිණි නිසා ආදි ශිෂ්‍ය සංගමයේ කීමට අනුව වැඩ කිරීමට ඔහුට සිදුවී තිබේ.

විදුහල්පතිවරුන් රූකඩ වීම

පාසලකට විදුහල්පතිවරුන් පත් කිරීමේදී ආදි ශිෂ්‍ය සංගම් ආදී පාසල්වල විවිධ සංගම්වල මැදිහත්වීම් නිසා මෙන්ම දේශපාලන මැදිහත්වීම නිසාද ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් ‘රූකඩ’ බවට පත්වී තිබේ. මේ ගැන කියන්නට උදාහරණ  ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකිය. එම විදුහල්පතිවරුන්ගේ පැවැත්ම ර`දා පවතින්නේ ඔවුන් ආදි ශිෂ්‍ය සංගමය සමඟ හො`දින් වැඩ කරන තාක් කල් පමණි.

විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍ය සංගම්වල රූකඩ බවට පත්වීමට වග කිව යුත්තේ ද අධ්‍යාපන අමාත්‍යංශයයි. ඊට හේතුව නිසි කලට වේලාවට චක‍්‍රලේඛ ප‍්‍රඛාරව සම්මූඛ පරීක්ෂණ පවත්වා විදුහල්පති පුරප්පාඩු නොපිරවීමය. අයදුම්පත් කැඳවා සම්මූඛ පරීක්ෂණ පවත්වා පුරප්පාඩු පුරවන්නේ නම් දේශපාලන හස්ථයන්ට සහ වෙනත් බලවේගවලට අවශ්‍ය පරිදි විදුහල්පතිවරුන් පත් කිරීම අවම කළ හැකිය.

එක්තරා ප‍්‍රසිද්ධ පළාත් පාසලක 2011දී මෙවැනි තත්ත්වයක් උදා විය. එම පාසලේ විදුහල්පති පුරප්පාඩුවක් පැමිණි විට විදුහල්පතිවරියක් එම ධුරයට පත් කරනු ලැබුවාය. ඇගේ සැමියා නාගරික මන්ත‍්‍රීවරයෙකි. ඇය ප‍්‍රදේශයේ පලාත් සභා ප‍්‍රභලයකුගේ කීමට අවනත නොවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇය වහාම එම ධුරයෙක් ඉවත් කැරිණි. ඉන් පසු එම පළාත් දේශපාලකයාගේ මැදිහත්වීමෙන් වැඩ අවාරණයට විදුහල්පතිවරයෙක් පත් කර ගනු ලැබීය. එම විදුහල්පතිවරයා විශ‍්‍රාම ගන්නා තෙක්ම කටයුතු කළේ පළාත් සභාවේ ප‍්‍රභලයාගේ කීමටය. එහි අවසන් ප‍්‍රතිඵලය සුදුසුකම් සහිත සිසුන් වෙනුවනට සුදුසුකම් රහිත සිසුන් පිරිසක් පාසලට ඇතුළත් කර ගැනීමය. විදුහල්පතිවරයා 2016දී විශ‍්‍රාම ගන්නා තෙක්ම එම පළාත් සභා ප‍්‍රභලයාගේ රූකඩයක් බවට පත්වී තිබිණි.

මෙවැනි දේශපාලන මැදිහත්වීම් නිසා චෝදනා ලාභී විදුහල්පතිවරුන් රැසක් තවමත් තනතුරුවල කටයුතු කරමින් සිටිති. මෑතකම උදාහරණය වාර්තා වූයේ කුරුණෑගලිනි. කුරුණෑගල පාසලක දැරියක මිය යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් පැවැත්වූ  පරීක්ෂණයකින් දඩුවම් නියම වු නිලධාරියකු පසුගිය සතියේ කුරුණෑගල ජනප‍්‍රිය පාසලක විදුහල්පතිවරයා ලෙස පත් කරනු ලැබීය. විදුහල්පතිවරයා ගැන කළ විමර්ශනයෙන් පසු නිර්දේශ කර තිබුණේ ඔහු ශ්‍රේණියක් පහලට දමා ඔහුට තනතුරක් ලබා නොදීමය. නමුත් සිදුවූයේ ඔහු ඊටත් වඩා හොඳ පාසලක විදුහල්පති ලෙස පත් කිරීමය.  පසුගිය කාලයේ මෙවැනි සිදුවීම් රැුසක්ම වාර්තා විය.

2014 වසරේ නිකුත් කැරුණු විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව විදුහල්පතිධුර සඳහා අනුමත තනතුරු සංඛ්‍යාව 9812කි. නියෝජ්‍ය විදුහල්පති ධුර සඳහා අනුමත තනතුරු සංඛ්‍යාව 5289කි. සහකාර විදුහල්පති ධුර සඳහා අනුමත තනතුරු සංඛ්‍යාව 1411කි. එකතුව 16512කි. මේ වන විටත්  16000ක් පමණ ශ්‍රේණිධාරීහු සිටිති. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ ගණනද ගත් විට එම ගණන මීට වඩා විශාල ලෙස වැඩි වේ. අධ්‍යාපන අමාත්‍යංශයේ 2016 කාර්ය සාධන වාර්තාව නිරීක්ෂණය කරද්දී පෙනී යන්නේ 2017 වසර වන විට විදුහල්පති ශ්‍රේණිධාරීන් 16358 දෙනෙකු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කටයුතු කරමින් සිට ඇති බවයි. ලංකාවේ ඇත්තේ පාසල් 10162ක් පමණි. සිදුවී ඇත්තේ ශ්‍රේණිධාරීන් බෙදී යාමේ විෂමතාවයි. ඇතැම් පාසල්වල අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරයකු සිටිද්දී නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් පමණක් නොව අංශ ප‍්‍රධානීන් ලෙස ද ශ්‍රේණිධාරීහු කටයුතු කරති.

මෙම විෂමතාවය යම් තරමකට හෝ වෙනස් කිරීමට ජාතික පාසල්වල එකම පාසලක වසර 6කට වැඩි කාලයක් රාජකාරි කළ විදුහල්පති ශ්‍රේණිධාරීන් ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළද පාසල් කිහිපයක පමණක ශ්‍රේණිධාරීහු කිහිප දෙනෙක් තමවත් ස්ථාන මාරු ක‍්‍රියාත්මක නොකර සිටිති. ජාතික පාසල් අතර පමණක් නොව පළාත් පාසල් හා ජාතික පාසල් අතර ද විදුහල්පති ශ්‍රේණිධාරීන් ස්ථාන මාරු කළ හැකි ක‍්‍රමයක් සකස් කළහොත් විදුහල්පතිවරුන් බෙදී යාමේ විෂමතාවය දුරු කළ හැකිය.

අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යංශද පාසල්වල විදුහල්පතිවරුන් පුරප්පාඩු හඳුනාගෙන නිසි කළට වේලාවට චක‍්‍රලේඛ ප‍්‍රකාරව විදුහල්පති  පුරප්පාඩු පිරවන්නේ නම් ගැටලූ රැසක් අවම වනු ඇති අතර විදුහල්පතිවරුන් රූකඩ බවට පත්වීමද නවතිනු ඇත. එලෙස කළහොත් චෝදනාලාභීන් තනතුරුවලට පත් කිරීමට ඇති අවස්ථාද ඇහිරීයනු ඇත. අවසාන වශයෙන් බලද්දී සිදුවී ඇත්තේ විදුහල්පතිවරුන්ගේ හිඟකමක් නොව දීර්ඝ කාලයක් තිස්සේ ඇතැම් පාසල්වලට සම්මූඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් පත් කර නොමැවීමය.

 

‘‘සම්මූඛ පරීක්ෂණ නැතිව චෝදනාලාභීන් පත්කිරීම පුරුද්දක් වෙලා’’

 ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

ජාතික පාසල් 258කට පමණ විදුහල්පතිවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සම්මූඛ පරීක්ෂණ පැවැත්විය යුතුයි. වසර ගණනාවකින් බොහෝ පාසල්වලට විදුහල්පතිවරුන් තෝරා ගැනීමට සම්මූඛ පරීක්ෂණ පවත්වා නැහැ. මේවට පත් කරන්න ශ්‍රේණිධාරීන් හිඟයි කියන කතාව පිළිගන්න බැහැ. විදුහල්පති සේවයේ දෙවැනි පන්තියේ නිලධාරීන් රැසක් ඉන්නවා පළමු වැනි පන්තියට සුදුසුකම් සපුරා ඉන්න. නමුත් වසර දෙකක් තිස්සේ ඔවුන්ට උසස්වීම් ලබා දී නෑ.

පාසල්වලට චෝදනාලාභීන් පත් කිරීම දැන් දිගටම සිදුවෙනවා. ගාල්ලේ පාසලක සිටියදී චෝදනා එල්ල වූ විදුහල්පතිවරයෙක් පසුගිය කාලයේ මාතර පාසලක විදුහල්පති ලෙස පත් කළා. කොළඹ ප්රකදේශයේ පාසලක විදුහල්පති ලෙස සිටිය දී වැඩතහනමට ලක්වී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා තනතුරු ලබා නොදිය යුතු බවට නිර්දේශ වු විදුහල්පතිවරයෙක් ගාල්ල පාසලක විදුහල්පති ලෙස පත් කරනු ලැබුවා. ආසන්නම සිදුවීම කුරුණෑගල.

කුරුණෑගල පාසලක සිටියදී චෝදනා එල්ල වී දඬුවම් නියම වූ නිලධාරියෙක් කුරුණෑගල ප‍්‍රසිද්ධ පිරිමි විද්‍යාලයක විදුහල්පති ලෙස පසුගිය සතියේ පත් කළා. මේ සියලූම පත්වීම් දේශපාලන මැදිහත්වීම් මත සිදු කළ ඒවා. ආදි ශිෂ්යව සංගම්වලටයි දේශපාලකයන්ටයි  ඕන  ඕන විදියට පාසල්වලට විදුහල්පතිවරුන් පත් කරන්න බැහැ. සමහර පාසල්වල දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන්. පාසල්වල විදුහල්පති පුරප්පාඩු තිබෙනවා නම් 1998/33 චක‍්‍රලේඛය අනුව වහාම අයදුම්පත් කැඳවා සම්මූඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් තෝරා ගත යුතුයි.

 

 

‘‘පුරප්පාඩු කඩිනමින් ගැසට් කරනවා’’

අධ්‍යාපන අමාත්‍යංශය

 

මේ ගැන විමසීමට අධ්‍යාපන ඇමැතිවරයා සහ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවකම උත්සාහ කළ ද එය අසාර්ථක විය. ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය පෙබරවාරි 20 වැනිදා නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වේ.

‘‘ජාතික පාසල් සදහා ස්ථිර විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ගැසට් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (පෙබරවාරි 20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා. පසුගිය පාලන සමයේ නිවරදි ක්‍රමවේද අනුව පද්ධතිය තුළට නිසි පරිදි අදාළ නිලධාරීන් බදවා නොගැනීමෙන් ගැටළු රැසක් මතුව තිබුණා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ ජාතික පාසල් 232 ක අදාළ පුරප්පාඩු පිරවීම සඳහා මීට පෙර ද සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවයි. කෙසේ වෙතත් අදාළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින්, අදාළ තනතුරු සදහා සෑහීමකට පත් විය හැකි සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් නොමැති බව දැනුම් දී තිබූ  බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මේ වන විට අදාළ පාසල් වල විදුහල්පති රාජකාරී ආවරණය කරනු ලබන්නේ ශ්‍රේණිධාරී නිළධාරීන් විසින්.

ඒ අනුව පවතින තත්වයට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් අදාළ පාසල් සදහා විදුහල්පතිවරුන්  බඳවා ගැනීම් වන අයදුම්පත් කැදවීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන මේ වන විට රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන කමිටුව වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ඉක්මනින්ම නිකුත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (පෙබරවාරි 20) පාර්ලිමේන්තුවේ දී සදහන් කළා.‘‘

 

 

 

 



අදහස් (2)

විදුහල්පති සේවයට සිප්පි කටු ඇහිදීම

කුමාර රාජකරුණා Thursday, 08 March 2018 03:19 AM

ඉතාමත් හොඳ ලිපියක්. මේකට නිලධාරීන් වග කිව යුතුයි. පළාත් අධ්‍යාපන බලධාරීන් වැඩ කරන්නේ පළාතේ දේශපාලකයන්ගේ උවමනාවට අනුවයි. හොඳම උදාහරණය තමයි කැළණිය මහර කොට්ඨාශය. මේ ගොල්ලෝ වැඩ කරන්නේ පොහොට්ටුවේ කෙනෙක්ගේ විධානවලට අනුවයි.

:       0       5

ගොඩ්වින් කොඩ්තුවක්කු Thursday, 08 March 2018 10:14 AM

'විදුහල්පති තනතුර දැරීමට සුදුස්සන් නැත' යන කරුණ පිළිගත නො හැකි ය. මේ මතය ඉදිරිපත් කිරීමට පදනම් වූ තොරා ගැනීමේ නිර්ණායක ඉදිරිපත් කළා නම් මේ ගැන තීරණයක් ගත හැකි ය. පරිපාලන සහ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පවත්වන සම්මුඛ සාකච්ඡාවල දී මා දැක ඇති දෙයක් වනුයේ යොදා ගනු ලබන නිර්ණායකවලට අදාළ සුදුසුකම්, සම්මුඛ සාකච්ඡා මණඩලවල සාමාජිකයන්ටත් නැති බවයි. මා දශක කීපයකට පෙර පෙනී සිටි සම්මුඛ සාකච්ඡාවක දී ඇසු ප්‍රශ්නයක් වූයේ පුවත්පත්වලට ලිපි ලියා හෝ පර්යේෂණ කර හෝ පොතපත ලියා ඇති ද කියා ය. ඒ ඇසූ කණ්ඩායමේ සිටි ආනන්දයේ හිටපු විදුහල්පතිවරයකු, විද්‍යාපීඨාධිපතිවරියක, අමාත්‍යාංශ නිලධාරියකු සහ අන් අය පවා ඒ නිර්ණායකය සපුරා තිබුණේ නැත. එහෙත් පණ්ඩිතයන් මෙන් ප්‍රශ්න විමසති.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 336 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 80 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 662 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 313 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 129 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 340 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site