IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බස් සේවය ලෙල්ලට වැට්ටූ දේශපාලනය

(*** සටහන - චමින්ද මුණසිංහ)

මගී බස් ප්‍රවාහන සේවාව නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ එහි පවතින අවිධිමත්බව, ගැටලු යනාදී කාරණා හේතුවෙනි. 1958ට පෙර ලංකාවේ මගී ප්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපුරා දුන්නේ පෞද්ගලික අංශයෙනි. විවිධ සමාගම් මගින් මගී ප්‍රවාහනය කිරිමේ වැඩ පිළිවෙළක් එදා තිබුණි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා බලයට පැමිණියේ වෙනමම දර්ශනයක් ඇතිවය. ජනසතුකරණය ඔහුගේ දර්ශනයේ මූලිකාංගයක් වී තිබුණි. ඒ අනුව මුලින්ම ජනසතු කළ අංශයක් වූයේ ප්‍රවාහනයයි. ඒ වනවිට බස් කොම්පැනි හතළිස් ගණනක් තිබුණි. ඒ සියල්ලම රජයට පවරා ගැනීම බණ්ඩාරනායක දර්ශනය සහ පාලනය යටතේ සිදුවිය. 1958 ජනවාරි 1 වැනිදා ලංගමය ආරම්භ කළේ එලෙසය. මෙලෙස ඇරැඹූ ලංගමය 1978 දක්වා එක් මධ්‍යගත ආයතනයක්ව පැවැතියේය. ලංකාවේ මගී ප්‍රවාහනය සම්බන්‍ධයෙන් එදා දේශපාලන අධිකාරිය ගත් මේ තීන්දු එක්තරා ආකාරයක වරද්දා ගැනීමක්ද? එය යම් කෙනකුට මතුවිය හැකි ප්‍රශ්නයකි.

1970 සිට 1975 දක්වා කාලය ලංගමයේ ස්වර්ණමය යුගයයි. ඒ කාලයේ සභාපතිවරයා වූවේ අනිල් මුණසිංහ මහතාය. 1978 න් පසුව ලංගමයේ තත්ත්වය වෙනස් වූවේය. ඒ රටේ බල හුවමාරුවත් සමගය. 1978 වන විට බලය හෙබවූයේ ජනාධිපති ජේ. ආර්. ප්‍රමුඛ එ.ජා.ප ආණ්ඩුවකි. එතෙක් මධ්‍යගතව පැවැති ලංගමය විමධ්‍යගත කිරීමට එම පාලනය කටයුතු කළේය. ඒ පළාත් අනුවය. ඒ අනුව ප්‍රාදේශීය මණ්ඩල දහයක් පිහිටෙව්වේය. බස්නාහිර පළාතට පමණක් උතුරු කොළඹ සහ දකුණු කොළඹ යනුවෙන් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල දෙකක් ස්ථාපිත කළේය. ඒ වගේම විවෘත ආර්ථිකය කෙරෙහි විශ්වාසය තැබූ එ.ජා.ප. පාලනය මගී ප්‍රවාහනයට බස් ධාවනයට පෞද්ගලික අංශයට ඉඩ දුන්නේය. එතෙක් 1958 සිට 1978 දක්වා මගී ප්‍රවාහනය කළේ ලංගමය පමණි. මගී ප්‍රවාහනයට පෞද්ගලික අංශයට ඉඩදීම ලංගමයට තර්ජනයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. 1977 මැතිවරණයට පෙර වැඩවර්ජන රැල්ලක් ක්‍රියාත්මක වුණි. බස් සහ දුම්රිය අංශද එයට එක්ව තිබුණි. මගී ප්‍රවාහනයට පෞද්ගලික අංශයට ඉඩදීමට මෙය හේතුවූවා විය හැකිය. කෙසේ වුවත් ඒ ඒ කාලයට බලයට පත්වන ආණ්ඩුවල ඕනෑ එපාකම් අනුව මගී ප්‍රවාහනය වෙනස්ව ඇති ආකාරය ඉහත කරුණු වලින් පැහැදිලිය.

ලෝකයේ පවතින තත්ත්වය අනුව අපද වෙනස්විය යුතුය. ළිං මැඩියන් සේ කටයුතු කළ නොහැක. 1977 න් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පෞද්ගලික අංශයට ඉඩ දුන්නේය. එහෙත් මේවා නිශ්චිත ප්‍රතිපත්තියකින් විධිමත් බවකින් සිදුවූයේ නැත. මගී ප්‍රවාහනය පෞද්ගලික අංශයට බලපත්‍රදීමේ විධිමත් බවක් සංවිධානාත්මක ස්වරූපයක් දක්නට නොතිබුණි. ඒවා සිදුවූවේ එක් එක් පුද්ගලයාගේ ඕනෑ එපාකම් අනුවය. අද දවස දක්වාම ඒ තත්ත්වය එලෙසමය. කනගාටුවට කරුණ එයයි.

මේ වනවිට දිනකට ධාවනය වන පෞද්ගලික බස්රථ ගණන 18,000ක් පමණය. ලංගම බස් 5400 ක් පමණ දිනකට ධාවනය කෙරේ. එදා සිටම අද දක්වා පවතින ගැටලුවක් වන්නේ මේ එකක්වත් සංවිධානාත්මක නොවීමය. බස්රථ විසිදහසකට අයිතිකරුවෝ 15000 ක් පමණ සිටිති. මේ අයගේ ගැටලු සාකච්ඡා කරන්නේ කෙසේද? සංගම් පැවැතියද කොතරම් දුරට බස් හිමියන්ගේ නියෝජනයක් ඒවායේ තිබේදැයි ප්‍රශ්නයකි. සංවිධානාත්මක නොවන අංශයක් සංවිධානාත්මක අංශයක් සමග තරග කරන විට ප්‍රශ්න ඇතිවීම අනිවාර්යය කරුණකි. මගී ප්‍රවාහනය පෞද්ගලීකරණයේ සිදුව ඇති ලොකුම අඩු පාඩුව එයයි. එක්කෝ මේවා සමාගම්වලට ලබාදිය යුතුව තිබුණි. නැතිනම් බස්හිමි සමූපකාර සංගම් පිහිටුවා ඒ අය සමග මේ ගනුදෙනුව කළා නම් විධිමත් ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ හැකියාව තිබුණි. එවන් සංවිධානාත්මක ව්‍යුහයක් මගී ප්‍රවාහනයට අත්‍යවශ්‍යය. එසේ නැතිව එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට මගී ප්‍රවාහනයට ඉඩදීම බෙහෙවින්ම ගැටලුකාරීය.

ලංගමයේත් පෞද්ගලික අංශයේත් පවතින 24000 ක් පමණ වන මගී බස්රථ සංඛ්‍යාව මෙරටට හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් එහි විධිමත් බවක් නැත. ප්‍රධාන ගැටලුව එයයි. ජනතාව බස්වලින් ඈත්වන්නේ එනිසාය. 1985 පමණ වනතෙක් ජනතාවගෙන් සියයට 80 ක් පමණ භාවිත කළේ පොදු ප්‍රවාහනයයි. එහෙත් අද එය ඇත්තේ සියයට පනහට වඩා අඩු අගයකය. ජනගහනයද වැඩිවී ඇති පසුබිමක මෙවන් තත්ත්වයක් උද්ගතව ඇත්තේ ක්‍රමය සම්බන්‍ධව ජනතාවට විශ්වාසයක් නැති නිසාය. සංවිධානාත්මක මගී ප්‍රවාහනයක් අපට නැත්තේ කරගෙන ඇති වරද්දා ගැනීම් හේතුවෙනි. ඒ වගේම ලංගමත් පෞද්ගලික අංශයත් අතර මනා සම්බන්ධීකරණයක් නොවිමද අඩුපාඩුවකි.

1987 කාලයේ රටේ සිවිල් අරගලයක් පැවතියේය. මේ කාලයේ ලංගම බස්රථ විශාල සංඛ්‍යාවක් ගිනිබත් කෙරිණ. ඇතැම් ඩිපෝ සම්පූර්ණයෙන් ගිනිබත් වූවේය. මුලටියන ඩිපෝව එක් උදාහරණයකි. ඒ වගේම මාසයකට වඩා වැඩි කාලයක් ඇදුණු වර්ජනයක්ද ලංගමයේ ක්‍රියාත්මක වූයේ මේ  වකවානුවේදිමය. මේ නිසා ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල කඩා වැටුණි. අගාධයට ගියේය. 1990 – 1994 කාලයේදී ලංගම පෞද්ගලීකරණයේ මුල් පියවර තැබුවේ ලෝක බැංකු ආධාර යටතේය. කලින් එක් පුවරුවක් යටතේ මධ්‍යගත ආයතනයක් ලෙස පාලනය වූ ආයතන පුවරු දහයක් යටතේ සභාපතිවරු දස දෙනකු සහ අධ්‍යක්ෂ මණ්ඩල දහයක් යටතේ 1990 දක්වා පාලනය වූවේය. මේවා දරාගත හැකි ශක්තියක් මේ ආයතනයට තිබුණාද? අනිල් මුණසිංහ යුගයෙන් පසු අනවශ්‍ය ආකාරයට ලංගමයට සේවක බඳවා ගැනීම් සිදුවුණි. කලින් කලට බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම රැකියා දෙන බැංකුවක් බවට ලංගම පත්කළේය. එක් බස්රථයකට සේවකයන් තිහක් සිටි කාලයක් තිබුණි. මෙය රජයට විශාල බරක් වුණි.

මෙවන් පසුබිමක කළේ කුමක්ද? වව්නියාව ඇතුළු ඩිපෝ අනූ තුනක් වෙන වෙනම සමාගම් බවට පත් කෙරිණි. ඒ සමාගම් පනත යටතේය. මේවා සිදුවූයේ 1990 දී පමණය.  1977 වන විට ලංගමයට පැවැතියේ එක් අධ්‍යක්ෂ මණ්ඩලයකි. එය 1977-1990 දක්වා කාලයේදී අධ්‍යක්ෂ මණ්ඩල දහයක් බවට පරිවර්තනය කළේය. 1993 වන විට මේ සංඛ්‍යාව 93 ක් විය.  ඒ අනුව සෑම ඩිපෝවකටම අධ්‍යක්ෂ මණ්ඩලයක් බැගින් පත්කර තිබුණි. මේවා මෙසේ වියයුතුව තිබුණාද? මේවා එක්තරා ආකාරයකට කළ වරද්දා ගැනීම්ද යන්නත් යම් අය සිතිය හැකිය.

වසර 1994 දී යළිත් පාලන බලය වෙනස් වුණි. මේ කණ්ඩායමේ පොරොන්දුව වී තිබුණේද යළි ලංගමය පිහිටුවීමය. මුල්කාලයේ ලංගමය හැඳින්වූයේ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය වශයෙනි. වරින්වර නම් වෙනස් වුවද ආයතනය දියුණුකර ස්ථාවරව පවත්වාගෙන යාම බෙහෙවින්ම අභියෝගකාරී තත්ත්වයකට පත්ව තිබුණි. ලංගමය ප්‍රතිව්‍යුහගත කිරීමට ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කළේය. කුමන ආණ්ඩුවක් වුවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ විවිධ කොන්දේසි මත ගනුදෙනු කිරීම අමුතු දෙයක් නොවේ. ඒවා කෙසේ වුවත් මුලින් කියූ සමාගම් අනූ තුන රජයට වැඩි අයිතියක් ලැබෙන ආකාරයට පොකුරු සමාගම් 11 බවට පත් කිරිමට හැකිවුණි. ඒ 1996 – 1997 කාලයේය.

ප්‍රාදේශීය වැඩපොළ දහයක් පමණ ලංගම සතුව තිබුණි. ලංකාවේ තිබූ ප්‍රධානම වැඩ පොළවල් සම්පූර්ණයෙන් පෞද්ගලීකරණයට එ.ජා.ප. ආණ්ඩුව පියවර ගත්තේය. වේරහැර යනු කලෙක දකුණු ආසියාවේ තිබූ විශාලතම බස් අලුත්වැඩියා කිරිමේ වැඩ පොළය. එහි බිම් ප්‍රමාණය පමණක් අක්කර හැට නවයකි. අක්කර විසි හතක වැඩ පොළක් ඒකල තිබුණි. කහගොල්ලේ සහ කැප්පිටිපොළ තවත් ප්‍රධාන වැඩපොළ දෙකක් තිබුණි. මේවා සියල්ල පෞද්ගලීකරණය කර තිබුණි. එහෙත් 1994 රටේ බල පෙරැළියක් සමඟ අදාළ සමාගම් මේවා අතහැර දැම්මේය. අවසානයේ ඒවායේ බර පැටවුණේද ලංගමටය. ලංගම සමාගම් වශයෙන් පැවතියද සේවකයන්ට වැටුප් ගෙව්වේ ආණ්ඩුවේ වියදමිනි.

චන්ද්‍රිකා පාලන සමයේදී ගත් යම් යම් පියවර හේතුවෙන් යම් ප්‍රගතියක් ලංගමය ලබාගත්තේය. එහෙත් ලාබ ලබන්නට හැකි වූයේ නැත. එයට හේතුවූයේ අවිධිමත් පසුබිමය. කෙසේ හෝ 2001 වන විට යම් තත්ත්වයකට ලංගමය පත්වූ බවද කිය යුතුය.

1958 පෙර පැවැති මගී ප්‍රවාහන සමාගම් රජයට පවරා ගැනීම නිවරැදි තීරණයක්දැයි මේ පසුබිම සමග යළි යළිත් මතුවන ප්‍රශ්නයකි. සේවක වැටුප්, මගීන්ගේ පැමිණිලි ආදිය එම තීරණයට හේතුවූ බවට මතයකි. ඒ වගේම ඔවුන්ගේ ඒකාධිකාරී බලය හේතුවෙන් මගී ජනතාව හෙම්බත්ව සිටිබවද බොහෝ විට කියැවෙන්නකි. බණ්ඩාරනායක ආණ්ඩුව මගී ප්‍රවාහන පෞද්ගලික සමාගම් රජයට පවරා ගත්තේ එවන් සාධක මතය. ඒ වගේම එකල ලෝක ප්‍රවණතාව වූයේද සමාජවාදයයි. එදා විලාසිතාව වූයේ සමාජවාදයයි. බැංකු, වතු, වරාය යනාදිය ජනසතු කළේද එකී විලාසිතාව අනුවය. සමාජවාදී බලවේග රාශියක් බණ්ඩාරනායක මහතා සමඟ එක්ව සිටීම නිසාද ඒවාද මෙවන් කාරණාවලට බලපාන්නට ඇත.

එම කාරණා කෙසේ වුවද පෞද්ගලික අංශය මගී ප්‍රවාහන සේවාවේ සිටිය යුතුබව මාගේ මතයයි. එය විධිමත් ක්‍රමයකට සිදුවිය යුතුය. සංවිධානාත්මක ව්‍යුහයක් එයට පැවතිය යුතුය. බහු ජාතික සමාගම්වලට මේවා දිය යුතු යැයි මා කියන්නේ නැත. අවම වශයෙන් එක් මාර්ගයක ධාවනය කෙරෙන බස් එකතුකර හෝ යම් විධිමත් සංගමයක් ඇතිකර ගැනීමේ හැකියාව තිබිය යුතුය. එසේ නැතිව අසංවිධානාත්මක පෞද්ගලික අංශයකුත් සංවිධානාත්මක රාජ්‍ය අංශයකුත් තරග කිරීම බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියකි. පෞද්ගලික අංශය මගී ප්‍රවාහනයේ සිටිය යුතුමය. සියයට පනහකට ආසන්න සාමාන්‍ය ජනතාව තවමත් බලාපොරොත්තු තබා ඇත්තේ පොදු ප්‍රවාහනය කෙරෙහිය. එනිසා රාජ්‍ය අංශය පමණක් සිටින මොහොතක වැඩ වර්ජනයක් ඇතිවුවහොත් ජනතාව බලවත් දුෂ්කරතාවකට පත්වනු ඇත. එනිසා තරගකාරීත්වයක් තිබිය යුතුය. එය සංවිධානාත්මක විය යුතුය.

මධ්‍යගතව පැවැති ලංගමය විමධ්‍යගත කිරීමට 1978 දී එ.ජා.ප පාලනය පියවර ගත්තේය. එහෙත් එම විමධ්‍යගත කිරීමද හරියාකාරව සිදුවුණේ නැත. එතැනදී සිදුවූයේ තමන්ගේ කැචර්ලාට තනතුරු ටිකක්දීම පමණි. බොහෝ අවස්ථාවල දේශපාලන පක්ෂ පාට අනුව තමතමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව  ඇතිබව පැහැදිලිය. ලෝක බැංකුවෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ලංගම සේවකයන් විශාල පිරිසකට වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට කටයුතු කළේය. මේවාට වගකිව යුත්තෝ කවරහුද? සේවක බඳවා ගැනීම් තනිකරම දේශපාලන තීන්දුය. අනවශ්‍ය ආකාරයට ලංගමයට සේවකයන් බඳවා නොගත්තා නම් මෙවන් ප්‍රශ්න නිර්මාණය වන්නේ නැත. මෙලෙස යෙදවූයේ රටේ වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට ආයෝජනය කළ හැකිව තිබූ මුදල්ය. මේවාට සේවකයන්ට දොස් කීමට නොහැක. වගකීම තීන්දු තීරණගත් දේශපාලන අධිකාරිය දැරිය යුතුය.

ලංගමයට ප්‍රධාන වශයෙන් වැරැදුණේ ඉහතකී දේශපාලන බඳවා ගැනීම් හේතුවෙනි. ඒ වගේම එදිනෙදා පරිපාලනයේ ඇත්තේ බරපතළ කඩාවැටීම්ය. අනවශ්‍ය ලෙස කෙරෙන දේශපාලන ඇඟිලි ගැසීම්වල ඉමක් නැත. ආණ්ඩුබලය මාරුවන විට ප්‍රධාන නිලධාරීන් මාරුකිරීම සෑම ආණ්ඩුවක් යටතේම සිදුවුණි. ආණ්ඩු මාරුවන විට පමණක් නොව ඇතැම් අවස්ථාවල එකම ආණ්ඩුවේ ඇමැතිවරයා මාරු වනවිට නිලධාරීන් මෙතරම් වෙනස් කරන ලංගමය හැර වෙනත් ආයතන නොමැති තරම්ය.  අර්ධ රාජ්‍ය ආයතන අතර හොඳම විනය ව්‍යවස්ථාව ඇත්තේ ලංගමයටය.  එසේ තිබියදී මේ ආයතන දියුණු කිරීමට නොහැකි වී ඇත්තේ පරිපාලන දුර්වලතා හේතුවෙනි. විනය විරෝධී කටයුතුවලට පියවර ගත්විට විවිධ අධිකාරී වෙතින් ඒවාට කෙරෙන ඇඟිලි ගැසීම්වල අඩුවක් නැත. ඒ වගේම අලුතෙන් බස් හඳුන්වාදීමේ සැලසුම්සහගත වැඩ පිළිවෙළක්ද ලංගමයට නැත. විශේෂයෙන්ම වසර 2000 පසු කාලයේදී මෙය කැපී පෙනුණි.

සියල්ල මෙසේ වෙද්දී පොකුරු සමාගම් ලෙස පැවැති ලංගමය යළිත් 2005 දී පනතක් මගින් ශ්‍රී ලංගමය පිහිටෙව්වේය. එවැනි තීන්දු ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. මේවායේ ක්‍රියාකාරීත්වය දෙසද බැලිය යුතුය. බස්රථ ඇණිය වැටුණේය. සේවක සංඛ්‍යාව වැඩිවුණේය. ආදායම් වැටුණේය. වියදම් ඉහළ ගියේය. මේ දුර්වලතා හමුවේ ලංගමය බරපතළ අර්බුදයකට ගිය බව අමුතුවෙන් කිවයුතු නැත. රාජ්‍ය ප්‍රවාහන අංශයක් තිබිය යුතුය. එහෙත් ඒ දැඩි තීන්දු වලට යටත්වය. එසේ නොවේ නම් පලක් නැත.

 වසර 2015 වන විට ලංගමය කඩා වැටී තිබුණේය. 2010 ජූනි මාසයේ සිට ලංගම සියලුම සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් දායකත්ව ගෙවා තිබුණේ නැත. සේවක වැටුපෙන් මෙම මුදල් කපා ගත්තද ඒවා බැරකර නොතිබුණි. විශ්‍රාම ගිය අයට පාරිතෝෂික ගෙවා තිබුණේ නැත. තවත් බොහෝ ගැටලු තිබුණි. 2014 – 2015 කාලයේ බස්රථ 2200 ක් අලුතෙන් මිලදී ගත්තේය. වසර දහයක් පමණ බස් මිලදී නොගෙන සිට එකවරම මෙතරම් බස්රථ ගැනීමක් නොවිය යුතුව තිබුණි. සෑම වසරකම යම් බස්රථ සංඛ්‍යාවක් මිලදී ගත්තේ නම් විශාල මුදලක් එකවර වැය කිරීමට වන්නේ නැත. ඒ වගේම මෙතරම් ප්‍රශ්න නිර්මාණය වන්නේද නැත.

මගී ප්‍රවාහනයට රාජ්‍ය අංශය පවතින්නේ නම් එය එක් එක් පුද්ගලයාට අවශ්‍ය ආකාරයට නොවිය යුතුය. ආණ්ඩු, ඇමැතිවරුන්, සභාපතිවරුන් මාරුවනවිට එසේ වෙනස් නොවිය යුතුය. සේවක සංයුතියක් ලංගමට නැත. වැටුප් ක්‍රමයක්ද නැත. ඇත්තේ අවම වැටුපකි. ඉහළ නිලධාරීන් හොරකම් කරන විට පහළ අයට ඊට යොමුවීම වැළැක්විය නොහැක. එලෙස ඉදිරියට යාමට නොහැක.

දේශපාලන ඇඟිලි ගැසීම්, දුර්වල පරිපාලනය හේතුවෙන් ඇද වැටී තිබූ ලංගමය 2015 න් පසු යම් තැනකට ගෙන ඒමට හැකිවුණි. සේවක ප්‍රශ්න පවා විසඳුවේය. විධිමත්භාවයක් ඇති කළේය. එවක ප්‍රවාහන ඇමැතිවරයා වූ නිමල් සිරිපාලද සිල්වා මේවාට ඉඩදුන්නේය. අනවශ්‍ය මැදිහත්වීම් කළේ නැත. එවන් පසුබිමක මෙහෙයුම් ලාබ ලබන්නට පවා හැකි විය. මේවා සඳහන් කළේ වැරැදුණු තැන් අවබෝධ කරගැනීම උදෙසාය.

 



අදහස් (10)

බස් සේවය ලෙල්ලට වැට්ටූ දේශපාලනය

jaya Wednesday, 24 June 2020 05:58 AM

වටිනා ලිපියකි. සතුටුයි. ඒත් ලංගමයේත්, පෞද්ගලික අංශයේත් පවතින 24000ක් පමණ වන මගී බස්රථ සංඛ්‍යාව මෙරටට හොඳටම ප්‍රමාණවත්ය. පාසල් ළමුන් පමණක් ලක්ෂ 40ක් ඉන්න රටේ බස් ලක්ෂයක් වත් ඕනෑ.

:       15       1

himalWednesday, 24 June 2020 11:29 AM

ලංගමය පාඩු ලබන්න ප්‍රධානම හේතුව දේශපාලන ‍රැස්වීම්වලට බස් දීලා සල්ලි නොගැනීමත්, සේවක අතිරික්තයත් තමයි. ඒත් පුද්ගලික බස් එකකට ඉන්නේ රියදුරු හා කොන්දොස්තර. එයාලා වැඩ කරනවද බලන්න අයිතිකරු ඉන්නවා. ආයතනයකට එහෙම බෑ. මුරකාරයාගේ ඉඳන් කාර්යාල සේවකයත් බස් ආදායමින් තමයි පඩි ගන්නේ. ඒක ඕනවට වඩා වුනාම දුවන්න බෑ. අනික බස් සේවයට තියෙන්නේ කාලීන ඉල්ලුමක්... දවසේ එක එක වේලාවන්ට අඩු වැඩි වෙනවා. වසරේ කාලවත් අඩු වැඩි වෙනවා. ඒ නිසා ඉස්කෝල ළමයි ප්‍රවාහනයට මෙච්චර බස් දැම්මා කියලා හරි යන්නේ නෑ.. මොකද නිවාඩු කාලේ නිකන් ඉන්නයැ.

:       0       26

jayaThursday, 25 June 2020 02:24 PM

කතාකරලා වැඩක් නම් නැහැ.. ප්‍රතිචාර දිහාබලපුවාම. මම ළමයි ගත්තේ උදාහරණයකට. පාරේ තියෙන කාර්, වෑන් ප්‍රමාණය දිහා බැලුවාම වාහන තදබදය ඇතිවෙන්නේ කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ..බස්වල හිරවෙන්නේ නැතිව යන්න පුළුවන් නම්, ඕනෑ වෙලාවක බස් තියෙනවා නම් මේ වාහන පාරට එන්නේ නැහැ.

:       0       21

Indika Wednesday, 24 June 2020 06:08 AM

ලංකාවේ ප්‍රයිවට් බස් බොහොමයක් දේශපාලකයින්ටයි, පාතාලේ මිනිස්සුන්ටයි අයිති... මේ දෙගොල්ලන් මේකෙන් අයින් කරන තුරු කවදාවත් මේක ගොඩගන්න බෑ.. CTB එකේ තිබුණු මයික්‍රෝ එකෙන් දාපු AC බස්ටික අයින් කරලා කොමිස් ගහන්න පිටරටින් බස්ගේනවා.. CTB බස් කාලසටහන හදන්නේ සෙනග නැති වෙලාවට... සමහර පැතිවල ලංගම බස්වලට තර්ජන කරනවා සෙනග ගන්න එපා. ප්‍රයිවට් එක ගියාම පිටිපස්සෙන් එන්න කියලා... මේ ඔක්කොම කරන්නේ ප්‍රාදේශීය දේශපාලුවන් සහ පාතාලේ.. මේ මිනිස්සු මේකෙන් අයින් කරලා වෙනස් වෙන්නේ නැති එක ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ.. මගදිගට කොටන්නේ නැති, කණ පැලෙන සින්දු දාන්නේ නැති, බස් ටිකට් එකක් දෙන, යුනිෆෝම් එක හරියට අඳින, මගියාට වදයක් නොවන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඉන්න එක හොඳයි...

:       0       95

udara Wednesday, 24 June 2020 06:15 AM

2017 වසරේ රමාල් සිරිවර්ධන සභාපතිව සිටිද්දී කෝටි 35ක් ලංගම ලාභ ඉපැයුවේ යැයි තබාගත් බස්රථ සියල්ලටම මුදල් ගෙවා අවසන් කරන ලදී... ඒ ගැන කියන්න ලැජ්ජයිද?

:       0       28

nandana Wednesday, 24 June 2020 09:58 PM

ලංගම ලංකාවේ මගී ජනයාට සැපයු සේවය සාපේක්ෂව සිතා බැලිය යුතුයි. '70 දශකයේ මා පාසල් සිසුවෙකු වූ අතර මගේ මතකයට පරිදි එදා ලංගම මගීන්ට සැලසු සේවය එතරම් යහපත් නොවීය. පස්වරුවේ පාසල් අරුණු පසු බසයක් එනතුරු සිසුන්ට සහ අනිකුත් මගීන්ට දිගු පෝළින්වල පැය ගණන් ගත කිරීමට සිදුවිය. සමහරෙක් බස් පෝළින්වල කලාන්ත වී වැටුණු අවස්ථා මා දැක තිබේ. එදා ලංගම වෘත්තීය සමිතිවලට යටහත්ව ජනතා සේවය දෙවෙනි කොට සැලකු ආයතනයක් විය. එදා ලංගම හැසිරුනේ වෘතීය සමිති මාෆියාවක් ලෙසයි. '77 දී මගී සේවය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වයත් සමහ පෝළින් අවම වී මගීන්ට සහනයක් ලැබුණි. '89 දී ජවිපෙ ලංගම බස්රථ 500කට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කළේය. අදත් ජවිපෙට හිස ඔසවා ගත නොහැක්කේ එ් සමයේ පැවති ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමයි. ලංගමට පමණක් නොව අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට තම පාක්ෂිකයින් බඳවා ගැනීම සියලු රජයන් විසින් '58 සිට සිදුකළ දෙයකි. යථාර්ථවාදීව බැලු කල, වර්තමානයේ මගී ප්‍රවාහනය ලංගමට තනියෙන් කළ හැකි දෙයක් නොවන බව ඕනෙම කෙනෙකුට වැටහෙන දෙයක් වන අතර, දැන් ඇති එකම විකල්පය පුද්ගලික අංශයත් සමග එකතුවී මගීන්ට සේවය කිරීම පමණි...

:       0       2

U Siriwardane Wednesday, 24 June 2020 11:14 PM

අනිල් මුණසිංහ සමය ලංගමයේ ස්වර්ණමය යුගය යැයි පැවසීම අදට නොගැළපේ යයි සිතමි. ඒ එවකට මගී ප්‍රවාහනය රාජ‍්‍ය ඒකාධිකාරයක පැවතීමත් අවශය පමණ ප්‍රතිපාදන රජය නොමසුරව සැපයීමත් සිදුකළ බැවිනි. 2015 සිට ලංගමයට නවෝදයක් උදාවිය. ඒ විවිධ හැළ හැප්පීම්, පුද්ගලික අංශය සමඟ තරඟය, දේශපාලන බලපෑම් සමඟය. මැයි දිනය හෝ වෙනත් දේශපාලනය පසුබිම් වූ රාජය උත්සවයකට සහන මිලට හෝ නොමිලේ හෝ සේවා සැපයීමට ලංගමයට සිදුවීම මීට එක් නිදසුනක් පමණි. ලාභ ඉපයීමට සමත් වීම, මගීන්ගේ ලංගම කෙරෙහි විශ්වාසය යළි ගොඩනැංවීම, සේවක විනය යම්තාක් දුරකට දියුණු වීම [රියදුරුට හා කොන්දොස්තරට නිල ඇඳුම් ඇඟලීමට වෘත්තිය සමිති විරුද්ධ වීම හැර ] නිමල් - රමල් යුගයේ ලංගමයට එකතු කළ නවෝදයේ සළකුණු කිහිපයකි.

:       0       208

ලුම්බිණි Thursday, 25 June 2020 02:14 AM

1970 සිට 1975 දක්වා කාලය ලංගමයේ ස්වර්ණමය යුගය වුණාට එදා බස් කොන්දොස්තරට වැඳලා තමයි බස් එකට නගින්න වුනේ. මිනිසුන්ට ගමන් යන්න තිබුණු එකම ක්‍රමය ලංගම බස් එක... දැන් ඔය ඇමතිලා වෙලා ඉන්න කොන්දොස්තරලා මේක දන්නවා ඇති...

:       0       15

nandanaFriday, 26 June 2020 11:01 AM

සම්පූර්ණ ඇත්ත. ඔය කියන කාලේ ලංගම වෘත්තීය සමිතිවලට යටත් ඒකාධිකාරයක් ලෙසයි හැසිරුනේ. දැන් පුද්ගලික අංශයත් සමග තරග කරන්නට සිදුවී ඇති නිසා අද මගීන්ට දේවත්වයෙන් සලකයි. මේ ලිපිය ලියපු තැනැත්තා '60-'70 දශකයේ ජීවත් නොවුණු කෙනෙක් විය හැකිය.

:       0       4

සමීර Sunday, 28 June 2020 02:13 PM

මගීන් වන අපට වැඩක් නැහැ බස් එක ආණ්ඩුවේද, පෞද්ගලික එකක්ද කියලා. අපට අවශ්‍ය වෙලාවට, සුවපහසුව, ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් ලබාගන්න. අනික නම් ලංගම පාඩුවට දුවන්නේ. ඕකේ පාඩුවත් අන්තිමට මහජනතාව තමයි දරන්නේ. පුද්ගලික බස් ධාවනය හරියට නියාමනය කරා නම් මේ ප්‍රශ්න මොකවත් නැහැ. ඒක කරගන්න බැරිව ආණ්ඩුවෙන් බස් ධාවනය කරලා එව්වා ලාබ ලබන්නේ කොහොමද? ආණ්ඩුවේ මොන ව්‍යාපාරයද ලාභ ලබන්නේ? ආණ්ඩුවක් කරන්න ඕනෑ ව්‍යාපාර කරන පෞද්ගලික අයට ඒ සඳහා අවස්ථාව දීලා, නීතිහදලා ඒවා නියාමනය කරලා බදු ගන්න එක, මිසක් හැමදේම කරන්න ගිහිං ඔක්කොම අනාගන්න එක නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 393 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 246 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 79 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 313 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 221 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 269 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site