IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රටට අගමැතිවරයකු අහිමි කළ භික්‍ෂුවකගේ වෙඩි උණ්ඩය

 

 

එක් දහස් නවසිය පනස් නවයේ සැප්තැම්බර් විසි පස්වැනි සිකුරාදා, හිරු කොළඹ නගරය වෙත එබී බැලුවේ අහස පුරා පැතිර තිබූ අඳුරු වළා අතරිණි.


රොස්මීඞ් පෙදෙසේ අංක 65 දරණ අගමැති නිවසද, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා මුණගැසීමට පැමිණ සිටි අමුත්තන්ගෙන් පිරී තිබුණි.
විසි අටවැනි සඳුදා අගමැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයකට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් බලා පිටත්වයෑමට නියමිතව තිබූ හෙයින් එදින එතුමන් මුණගැසීමට පැමිණ සිටි අමුත්තන්ගේ ප්‍රමාණය තරමක් වැඩිවිය.


අගමැති නිවෙසේ පුළුල් විවෘත ආලින්දයේ බොහෝ දෙනෙකු වාඩිගෙන සිටි අතර, වඩාත් කුළුපගවූ අය ඇතුළත විසිත්ත කාමරවල වාඩි වී සිටියහ. ඒ අතර සමහරු ඉදිරිපස මිදුලේ ගැවසෙමින් සිටියහ. 


එදින සිකුරාදා පාසල් දිනයක් වූ හෙයින් බණ්ඩාරනායක දරුවන් වූ සුනේත්‍රා සහ චන්ද්‍රිකා ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය වෙතද, අනුර රාජකීය විද්‍යාලය වෙතද පිටත්ව ගොස් සිටියහ.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, හේමා දාබරේ සමඟ නිවෙස පිටුපස ඉඩමේ කතා කරමින් කිසියම් කාර්යයක නිරතව සිටියාය.


එම වකවානුවේ අගමැති නිවසට ඇතුළුවීමට දොරටු දෙකක් විය. එකක් රොස්මීඞ් පෙදෙස පැත්තෙනි. අනික විවෘතව තිබුණේ නිවසේ පැත්තකින් වූ අතුරු මාර්ගයක් තුළිනි. අවිගත් පොලිස් භටයින් දෙදෙනෙකු වූයේ එම දොරටුවලය.


ආලින්දයේ දකුණු පස, කාර්යාලය සහ පුස්තකාලය වූ අතර, වම් පස වූයේ විසිත්ත කාමර දෙකකි. පුස්තකාලය සහ එක් විසිත්ත කාමරයක් ආලන්දයෙන් වෙන්වූයේ වීදුරු දොරවල් මඟිනි. පුළුල් විවෘත ආලින්දයේ පුටු කීපයක්ද, මල් පෝච්චි කීපයක්ද රවුම් මේසයක්ද විය.


හරියටම උදෑසන 9.15 ට බණ්ඩාරනායක අගමැතිතුමා උඩු මහලේ වූ නිදන කාමරවල සිට පඩිපෙළ ඔස්සේ පහත මාලයට පැමිණියේය. අගමැතිවරයා ප්‍රථමයෙන්ම කතා බස් කළේ එම මොහොතේ තම නිවසට පැමිණි ඇමෙරිකානු තනාපති බර්නාඞ් ගෆ්ලර් සමඟය. 


ඇමෙරිකානු තානාපතිවරයා සමඟ සාකච්ඡාව නිමාකළ බණ්ඩාරනායක මහතාට ආලින්දයේ අසුන්ගෙන් සිටින එන්. ඊ. වීරසූරිය දක්නට ලැබුණි. සිරිමාවෝ මැතිනියගේ සොහොයුරු බාන්ස් රත්වත්තේ එදින උදෑසන රාජ නීතිඥ එන්. ඊ. වීරසූරිය සහ අගමැතිතුමන් අතර හමුවක් පිළියෙලකර තිබුණි. ඒ නිසා ප්‍රථමයෙන්ම එන්. ඊ. වීරසූරිය සමඟ සාකච්ඡා කළ අගමැතිවරයා. ආලින්දයේ වූ අනිත් අමුත්තන් වෙත අවධානය යොමු කළේය.


අගමැතිවරයාගේ ඊළඟ අවධානය යොමු වූයේ සෙනවිරත්න නමැති තරුණයා වෙතය. ඔහු පැමිණ සිටියේ අගමැතිවරයාගෙන් චරිත සහතිකය ලබාගැනීමටය. අගමැතිවරයා සෙනවිරත්නව යාබද කාර්යාල කාමරයේ සිටි ලිපිකරු වෙත යොමු කළේය.


සෙනවිරත්න කාර්යාලයේ සිටින විට ඉදිරිපස ආලින්දය දෙසින් වෙඩි හඬක් ඇසුණි. බියට පත් සෙනවිරත්න කාර්යාලයෙන් එලියට එන විට දුටුවේ සෝමාරාම ආලින්දයේ බිම වැතිර සිටින අන්දමය. සෙනඟ ඔහු වටකරගෙන සිටියහ.


කාර්යාලයෙන් තමාගේ ලිපි ගොනුව අතට ගෙන ඔහු දුටුවේ ජාතික ඇඳුමෙන් සැරසුණ තුවාලලත් පුද්ගලයකු පෝටිකෝව යට වැතිර සිටින අන්දමය.


නිවන්තන්ඩිය ආනන්ද හිමි අගමැතිතුමන් මුණ ගැසීමට පැමිණ සිටියේ පොළොන්නරුවේ කෘෂිකර්ම අලෙවිසලට කළමනාකාරවරයකු පත්කර ගැනීම පිණිස අගමැතිවරයාගේ එයට පෙරදින සවස 4.45 ට අගමැතිවරයා මුණගැසී ඒ පිළිබඳව පෙත්සමක් භාරදුන්විට, අගමැතිවරයා ආනන්ද හිමියන්ට සිකුරාදා පෙරවරුවේ පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
පෙරවරු නමයයි තිහට අගමැතිවරයාගේ රොස්මීඞ් නිවසට පැමිණි ආනන්ද හිමි, සෙනෙවිරත්න නැඟිට යෑමෙන් හිස් වූ අසුනෙහි වාඩිවූහ. එතැන් සිට අඩි හයක් පමණ ඈතින් ආලන්දයේ දකුණු පසට වන්නට සෝමාරාම අසුන්ගෙන සිටියේය.


ආනන්ද හිමි, එක්සත් භික්ෂූ පෙරමුණ හි සාමාජිකයකු නොවූවත් 1944 සිටම සෝමාරාම හඳුනයි. එවකට ඉඩම් ඇමැතිවරයා වූ සී. පී. ද සිල්වාගේ 1952 ඡන්ද ව්‍යාපාරයේදී, පොළොන්නරුව ආසනයේ ඡන්ද කටයුතු සඳහා ආනන්ද හිමි සක්‍රීයව සහභාගීවෙමින් ඔහුගේ ජයග්‍රහණය සඳහා සහාය විය.


සියම් නිකායට අයිති භික්ෂූවක වූ සෝමාරාම නිකායට නොගැලපෙන ආකාරයෙන් දෙඋරම වැසෙන ලෙසින් සිවුර ඇඳ සිටිනු ආනන්ද හිමි නිරීක්ෂණය කළහ. සෝමාරාම මෙලෙස නුහුරු ආකාරයෙන් සිවුර ඇඳ සිටීම පිළිබඳව ආනන්ද හිමියන්ගේ සිතෙහි දැඩි කුකුසක් ඇති කළේය.


සෙනවිරත්නට කතා කිරීමෙන් පසු අගමැතිවරයා, ආනන්ද හිමියන්ට ආචාරකර පැමිණි කාරණය විමසීය. සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට අවශ්‍ය කරුණ පිළිබඳව දන්වා ඇති නිසා, එම කාර්යාලයට ගොස් කොමසාරිස්වරයා හමුවන ලෙස ආනන්ද හිමියන්ට පැවසීය. අසුනින් නැඟිටි ආනන්ද හිමි අගමැතිවරයාට ස්තුතිකර ආපසු යෑමට සැරසුණහ. ආනන්ද හිමි දෙසට හැරුණ අගමැතිවරයා, සමුපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය වෙත යන අන්දම දන්නේ දැයි විමසීය.

 

 


එයට පසු අගමැතිවරයා ආලින්දයේ කෙලවරක සිටි භික්ෂූන් වහන්සේ කෙනෙකු වෙත ගොස් පැමිණියේ මන්දැයි විමසනු ආනන්ද හිමියන්ට ඇසුණි.


ඒ සමඟම වෙඩි හඬක් ආනන්ද හිමියන්ට ඇසුණි. ආපසු හැරුණු ආනන්ද හිමි දුටුවේ දෙඅතින්ම රිවෝල්වරයක් අගමැතිවරයා දෙස එල්ලකරගෙන සිටින සෝමාරාමය. දෙඅතින්ම උදරය අල්ලාගෙන, ආලින්දයේ ඉදිරියට දිවයන අගමැතිවරයාට සෝමාරාම නැවතත් වෙඩි තැබීය. සෝමාරාම ඊළඟට රිවෝල්වරය එල්ලකළේ ආනන්ද හිමියන් වෙතය. භීතියට පත් ආනන්ද හිමි දෙනෙත් තරයේ වසා ගත්හ. අනතුරුව තැතිගැනුණ ආනන්ද හිමි ආලින්දයෙන් මිදුලට පැන දිව ගොස් ප්‍රධාන ගේට්ටුව අසල මුරකරමින් සිටි පොලිස් භටයා වෙත ගොස් අගමැතිවරයාට වෙඩි තබද්දී බලා සිටින්නේ මන්දැයි කෝපයෙන් විමසූහ.


එවිට ගේට්ටුවේ මුර කුටියේ සිටි කොස්තාපල් සමරකෝන් රයිෆලය ද ගෙන පෝටිකෝව යටට දිව යන විට සෝමාරාම දුටුවේය. ආපසු නිවසට පැමිණි ආනන්ද හිමි. ලේ ගලන තුවාල සහිතව පෝටිකෝව යට වැතිර සිටින ගුණරත්න දුටුවේය. නිවස තුළට ගිය ආනන්ද හිමි දුටුවේ ලේ ගලමින් වැතිර සිටින සෝමාරාමය.


‘කාලකණ්ණියා උඹ සාසනේ කෑවා. උඩ මුළු සංඝ ශාසනේම විනාශ කළා” ආනන්ද හිමි සෝමාරාමට පා පහරක් එල්ල කරමින් පැවසූහ. කෝපයට පත් ආනන්ද හිමි තම සෙරෙප්පුව ගලවා සෝමාරාමට පහර දෙන්නට වූහ.


“මට හිරිහැර කරන්න එපා. මම සම්පූර්ණ කතාව කියන්නම්” සෝමාරාම ආයාචනා කරන්නට විය. ඊළඟට සෝමාරාම වතුර ටිකක් ඉල්ලූ හෙයින් කිසිවෙකු ඔහුට ජලය ගෙනැවිත් දුන්නේය.


“කවුරුවත් එන්න එපා. මගේ වැඬේ ඉවරයි” සෝමාරාම පවසනු නිවෙස තුළට යන හේවා දාබරේට ඇසුණි.


අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ දාබරේ මෙන්ම ආනන්ද හිමියන්ද සෝමාරාමගේ එම වදන්වලින් සිතුයේ, අගමැතිවරයාට වෙඩි තැබීමට ඔහුට පැවරූ මෙහෙයක් ඔහු නිමාකළ බවය.
තුවාලලත් අගමැතිවරයා මෝටරථයට ගැනීමටද සහාය වූ ආනන්ද හිමි පොළොන්නරුව බලා පිටත් වූහ.


ආනන්ද හිමියන් සමඟ පොළොන්නරුවේ සිට පැමිණ සිටි, ආනන්ද හිමියන්ගේ අසුන පිටුපස සිටගෙන සිටි ඩබ්ලිව්. පියදාස අගමැතිවරයාට වෙඩි තබනු හොඳ හැටි දුටු අයෙක් විය.
“හාමුදුරුවනේ ඔබවහන්සේ වැඩියේ ඇයි?” අසමින් අගමැතිවරයා දෙඅත් එක්කොට වඳිනවිට සෝමාරාම සිවුර අස්සෙන් පිස්තෝලයක් අරගෙන අගමැතිතුමාට වෙඩි තිබ්බා. ඊළඟට සෝමාරාම ආනන්ද හාමුදුරුවන්ට පිස්තෝලය එල්ල කළා. ඊළඟට සෝමාරාම, අගමැතිතුමා ලඟම ජාතික ඇඳුමෙන් සැරසුණ අයකුට තිබ්බා. එය ඔහුට වැදුණා. අගමැතිවරයා නිවස ඇතුලට යද්දී සෝමාරාම පිස්තෝලය එල්ලකරගෙනම අගමැතිවරයා පසුපසින් ගියා.”


ඩබ්ලිව්. වික්‍රමසිංහ එදින අගමැතිවරයා මුණගැසීමට පැමිණියේ උත්සවයකට ආරාධනා කිරීම සඳහාය. අගමැතිවරයා බෞද්ධ හිමිනමක් සමීපයට ගියවිට ඒ හිමි නැගී සිටිනුත් ඊළඟට වෙඩි හඬ කීපයක් ඔහුට ඇසුණි. ඊළඟට ඔහු දුටුවේ නිවෙස ඇතුලට දිවයන අගමැතිවරයා වෙත පිස්තෝලයක් එල්ලකරගෙන ලුහුබැඳ යන සෝමාරාමය. වික්‍රමසිංහද ඔවුන් පසු පස යන විට තවත් වෙඩි ශබ්දයක් ඇසුණි.


අගමැතිවරයා අසුන්ගත්විට අනිත් අය සෝමාරාමව බිම දමා තිබුණි. පිස්තෝලය ගෙබිම මත වැටී තිබුණ අතර වික්‍රමසිංහ ලේන්සුවකින් එය ගෙන කොස්තාපල් සමරකෝන්ට භාර දුන්නේය. සිරිමාවෝ මැතිනිය, ඇගේ සොහොයුරු බාන්ස් රත්වත්තේ සහ දාබරේ නිවසේ පිටුපස සිටින විට වෙඩි ශබ්ද කීපයක් නිවසේ ඉදිරි පසින් ඇසුණි. ඉදිරියට ආ බාන්ස් රත්වත්තේ දුටුවේ අගමැතිවරයා ලුහුබැඳ එන සෝමාරාමය.


දාබරේ සෝමාරාම වෙත කඩා පනින විට සෝමාරාම දාබරේගේ කකුලට වෙඩි පහරක් එල්ල කළේය. සෝමාරාමගේ අතින් පිස්තෝලය ගිලිහුණ අතර ඔහු එය ගැනීමට තැත් කළේය. බිම වැටුණ සෝමාරාම යටත්කර ගැනීමට රත්වත්තෙට සහ දාබරේට හැකිවිය.


උදෑසන දහයට අගමැතිවරයාව කොළඹ මහ රෝහලට ඇතුළත් කරන ලද අතර වෛද්‍ය පී. ආර්. ඇන්තනිස්ගේ අවධානයට අගමැතිවරයා යොමුවිය.


“මට ඒ තරම් අමාරුවක් නැහැ. වෙඩි කීපයක් වැදුණා විතරයි” අගමැතිවරයා සැහැල්ලු ලෙස රෝහලේ සිටි අයට පැවසීය.


“මට වෙඩි වැදුණෙ ඉස්සරහින්. දැන් ඔබ මට පිටි පස්සෙන් වෙඩි තියන්න හදනවද?” එක්ස් කිරණ පරීක්ෂණයකට සූදානම් කරන අතර අගමැතිවරයා විහිලුවක්ද කළේය.
වෛද්‍ය ඇන්තනීස්ගේ ප්‍රධානත්වයෙන් වූ කණ්ඩායමක් අගමැතිවරයා සඳහා ශල්‍යකර්මයක් ලහිලහියේ සූදානම් වූහ.


“අගමැතිතුමා මොකක්ද සිදුවුණේ” වෛද්‍ය ඇන්තනීස් අගමැතිවරයාගෙන් විමසීය.


“කළු දෙයක් සිවුර යටින් එලියට එනකම් මම දැක්කෙ නැහැ මොකද වෙන්නෙ කියලා” අගමැතිවරයා පැවසීය.


“මොනව සිවුර?” වෛද්‍යවරයා ඇසීය.


“ඒ භික්ෂුවක්”


වෛද්‍ය ඇන්තනීස් තව දුරටත් ප්‍රශ්න කිරීමට නොගියේය.


ශල්‍යකර්මය එකොළහට ආරම්භ වූ අතර එය නිමකිරීමට පැය පහක් ගතවිය.


“සිවුරක් ඇදගත්ත මෝඩ පුද්ගලයකු අද උදෑසන මගේ නිවසේදී මට වෙඩි තබන ලදි. ඔහුට කිසිදු හිරිහැරයක් නොකරන ලෙස මම ඉල්ලා සිටිමි. මගේ රටේ ජනතාවගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ ඉවසිලිවන්තව සිටින ලෙසය. කිසිවෙකුට හිරිහැර නොකරන ලෙස ඉල්ලා සිටිමි” අගමැතිවරයා ගිලන් යහන මත සිටම ජනතාව වෙත පනිවිඩයක් නිකුත් කළේය.


අගමැතිවරයා වෛද්‍ය ඇන්තනීස්ගේ සුපරීක්ෂාව යටතේ රාත්‍රිය ගතකළේය. වෛද්‍යවරුන් කෙතරම් දැඩි උත්සහයක යෙදුණත් සැප්තැම්බර් මස විසිහය වැනි දින පෙරවරු 7.45 ට මුළු රටක් හඬවමින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා දැයෙන් සමුගත්තේය.


එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා රෝහලට ගෙන ගොස් ටික වේලාවකින් සහකාර පොලිස් අධිකාරී සිඞ්නි ද සොයිසා, රොස්මිඞ්හි අගමැති නිවෙස වෙත පැමිණ එහි කටයුතු සිය භාරයට ගත්තේය.


අගමැතිවරයාට වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව සෝමාරාමවද ආයුර්වේද රෝහලට ඇතුලත් කරන ලදි. දහවල් වෙද්දී සෝමාරාමව මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුල් කරණ ලදී.


පසුදින උදයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජෝශප් සහ වෙත්තසිංහ යන පොලිස් පරීක්ෂකවරු සෝමාරාමගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගන්නා ලදි. 
1914 උපන් සෝමාරාමගේ ගිහි නම ආර්. ජේ. තේලිස් සිංඤෝය දෙහිඕවිට බෞද්ධ පාසලේ මූලික අධ්‍යාපනය ලද ඔහු තල්දූව ඉසිපතනාරාමයේ, සෝමානන්ද හිමියන් වෙතින් තල්දූවේ සෝමාරාම යනුවෙන් පැවිදි ජීවිතයට ඇතුලත්විය. සෝමාරාම ටික කාලයක් සිවුරු හැර ගොස් අනුරාධපුරයේ කාලයක් ගතකර නැවත භික්ෂූවක ලෙස කටයුතු කරන්නට විය. මෙම කාලයේදී, ඔහු කොටිකාවත්තේ භික්ෂු නමක වෙතින් ඇස් වෙදකම ඉගෙන ගත්තේය. ආරම්භයේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැදුණි. 


1956 දී පමණ තල්දූවේ සෝමාරාම ආයුර්වේද විදුහලෙහි අක්ෂි රෝග විශේෂඥයකු වශයෙන් පත් වූ අතර එහි දේශනද පැවැත්විය.


භික්ෂුවක වූවාට සෝමාරාම භික්ෂු වත් පිළිවෙත් රැකි අයෙක් නොවීය. හොඳ රසවත් ආහාරවලට ඔහු දැඩි ප්‍රියතාවයක් දැක්වීය. බිත්තර සහ ඌරුමස් කෑමට ඔහු ප්‍රියකළේය. සමහරවිට මත්පැන්ද පානය කළේය.


මාපිටිගම බුද්ධරක්කිත සමඟ සමීප ඇසුරක් පැවැත් වූ සෝමාරාම නිතර කැලණි පන්සලට ගියේය. සෝමාරාමගේ සොයුරු විජේසේන විවාහ වී සිටියේ මාපිටිගම ගමේ බුද්ධරක්ඛිතගේ ඥාතියකු සමඟය.


පොලිසියට වරින් වර එක් එක් ප්‍රකාශ කළ සෝමාරාම අවසානයේදී අගමැතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට සහභාගි වූ අන්දම හෙළිකළේය.


ඔහු ජූලි මාසයේ දිනක මාපිටිගම බුද්ධ රක්ඛිත එච්. පී. ජයවර්ධන, ඩිකී සොයිසා සමඟ මුතුරාජවෙලට ගොස් වෙඩි තැබීමට පුරුදු විය. බුද්ධරක්ඛිත, ජයවර්ධන සහ කරෝලිස් අමරසිංහ සමඟ අමරසිංහගේ නිවෙසේ අගමැති ඝාතන සැලසුම් සාකච්ඡා කිරීමට සෝමාරාමද සහභාගී විය.

 

 


මතු සම්බන්ධයි.

 

 

පීටර් කැනියුට් පෙරේරා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

රටට අගමැතිවරයකු අහිමි කළ භික්‍ෂුවකගේ වෙඩි උණ්ඩය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12095 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site