“පැසුණු හිසින් බුහුමන් ලබව්! යැයි උධෘත පාඨයක් වේ. එයින් කියවෙනුයේ මිනිසාගේ පරිණත බවේ වටිනාකමය. නොඑසේ නම් වැඩිහිටියන්ගේ අත්දැකීම්වල අගයය. ඕනෑම ක්‍ෂේත්‍රයකට පොදු වූ මෙම සනාථන ධර්මය දේශපාලනයටද අදාළ කර ගත හැකිය. උපහාසය දරා ගන්නා තැනැත්තා දියුණුවේ ඉහළටම යනු ඇතැයි රුසියානු ලේඛක නිකොලායි ගොගොල් ලීවේය. දියුණුව සඳහා වාසනාව, ආත්ම ධෛර්යය, කැපවීම යන ගුණාංගනයන්ද අවශ්‍යය. උපහාසය දරා ගැනීමද එයට එක්වන්නේ නම් වඩාත් යෝග්‍යවනු ඇත. 


මෙයට හොඳම නිදසුන අපේ රටේ වැඩිම ප්‍රවීණත්වයක් ලැබූ දේශපාලනඥයා වූ ජූනියස් රිචඞ් ජයවර්ධනයන්ය. එතුමා තමාව හැදින්වීමට යොදා ගෙන තිබුණු අන්වර්ථ නාමය වූවේ ධඛෘ ත්‍ධඞ යන්නය. එහි අර්ථය “මහලු නරියා” යන්නය. එයින් කියැවුණේ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ඥානයයි. අහසින් වැටුණු පරිප්පු ගෝණිවලින් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයැයි ජේ. ආර්. තීන්දු කළේය. ඉන්දියාව සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේදැයි නිගමනය කළේය. 


පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමට පෙර මේ රට පාලනය වූවේ රාජාණ්ඩු මගිනි. විජයාගමනයේ සිට 1815 දක්වා පැවති එම ආණ්ඩු ක්‍රමය උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අහෝසි විය. එතැන් පටන් ශ්‍රී ලංකාව පාලනය කිරීමේ වරම බි්‍රතාන්‍ය කිරීටය. සතු විය. විජය රජුගේ සිට මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා වූ මෙරට රාජාවලියේ කාර්යභාරය එතැනින් අවසන් වූවේය.


එතැන් සිට ඇරඹුණේ ශ්‍රී ලංකාව පාලනය කළ ඉංග්‍රීසි රාජාවලියයි. මේ අයුරින් නිදහස අහිමි වූ වහල් ජාතියක් බවට පත් වූ අපි බි්‍රතාන්‍ය රජු හෝ රැජිනියන් ඇමතුවේ නෛකශ්‍රීන් විරාජමාන අත්‍යුත්තම රජතුමාණන් වහන්සේ හෝ මහා රාජිණින්වහන්සේ යන අනවශ්‍ය තරමේ ගෞරවයක් පුද කරමිනි. 1815 දී තුන්වැනි ජෝජ් රජුගෙන් ඇරඹුණු ලංකාව පාලනය කළ රජවරුන්ගේ නාමාවලිය 1948 දී මෙරට නිදහස ලබද්දී රජකම් කළ හයවැනි ජෝර්ජ් රජු දක්වා පැතිර පවතී. ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට 1948 පෙබරවාරි 04 වැනිදා දක්වා මේ රට පාලනය කළ රාජ නාමාවලියේ දීර්ඝතම සේවා කාලය වාර්තා කරන්නේ 1837 දී රජ පැමිණි වික්ටෝරියා අගරැජිනයි. 1837 ජුනි 20 වැනි දින රාජාභිෂේකය ලැබූ ඇය 1901 ජනවාරි 22 දින අභාවප්‍රාප්ත වූවාය. ඒ අනුව අපේ රාජාවලියේ වැඩිහිටිම පාලකයා වන්නේ වික්ටෝරියා මහ රැජිනයි. ඔක්තෝබර් පළමුවැනි දිනට යෙදෙන ලෝක වැඩිහිටි දිනයට සමගාමීව ලියනු ලබන මෙම ලිපියට වික්ටෝරියා රැජිණිය ගැන සටහන් තබන්නේ මේ රට පාලනය කළ රාජ නාමාවලියේ ජ්‍යෙෂ්ඨ පාලිකාව ඇය වන නිසාය.


එංගලන්තයේ ධනය, අධිරාජ්‍යය සහ නාවික බලය හේතුකොටගෙන එම රට යුරෝපයේ පමණක් නොව ලෝකයක නායකත්වය ලබා දුන්නේය. එහි පාලිකාව වශයෙන් වික්ටෝරියා රැජිනද මෙම බලයන් සහිතව අතිමහත් ප්‍රබල තත්ත්වයක් ඉසිලුවාය. එමෙන්ම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කීර්තිය දස ගුණයකින් වැඩි කළ අග්‍රමාණික්‍යය වූ ඉන්දියානු අර්ධමහාද්වීපයේ සමස්ත ධනය වික්ටෝරියා රැජිනගේ භාණ්ඩාගරයට ගලා ගියේය. එමෙන්ම තමාගේ කීර්තිය තවදුරටත් වැඩි කර ගැනීමේ අදහසින් ඇය ඉන්දියාවේ අධිරාජිනිය යන උපාධි නාමය පැලඳගත්තාය.


එක්දහස් අටසිය ගණන්වල යුරෝපයේ ස්වභාවය වෙනස් වන ආකාරයත් පැරණි අධිරාජ්‍යයන් බිඳවැටෙන බවත් නව සමාජ ක්‍රම ගොඩනැගෙන්නට පටන් ගන්නා බවත් ඇයට දක්නට ලැබුණි. රාජාණ්ඩුවල ප්‍රභූ පාලකයන් විසින් සූරා කමින් පීඩාවට පත් කළ එමෙන්ම වහලුන් ලෙස පාගාගෙන සිටි පිරිස් එම වධබන්ධනයන්ට එරෙහිව නැගී සිට තම විමුක්තිය උදාකරගෙන නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන ආකාරය ඇයගේ දීර්ඝ රාජ්‍ය කාලය නිසා දැකගන්නට හැකි වූවාය. ආරම්භයේදී තම අධිරාජ්‍යය ඉතා ශීඝ්‍රයෙන් දියුණුවෙන ආකාරය දුටුවාය. ඇය සිහසුනට පත්වන විට කැනඩාවේ ආරවුල් පැන නැගී තිබුණි. මෙම යටත්විජිතය එළි පිටම මහා සටනකට යොමුවී සිටියේය. එංගලන්තයෙන් වෙන් වී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය සමඟ එකතුවීමට එහි සමහර ප්‍රදේශවලට අවශ්‍යව තිබුණි. එහෙත් ඇමරිකානු අර්බුදය මෙන් දිග්ගස්සා නොගෙන එම ප්‍රදේශවලට ස්වයං පාලනය ලබා දීමට වික්ටෝරියා රැජින පියවර ගත්තාය. එය ඥානාන්විත පියවරක් වූ බව තවත් ශතවර්ෂයකට පසුවත් කැනඩාව, බි්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ඉතා සුහදව කටයුතු කිරීමෙන් මනාව ඔප්පු වේ.


ඉතා විශාල ලෙස ලෝකය පුරා පැතිර තිබූ බි්‍රතාන්‍ය අධිරාජ්‍යය ආරක්‍ෂා කිරීමට වික්ටෝරියා කැප වූවාය. තම රටේ මූලිකම ආදායම් මාර්ගය වූ ජාත්‍යන්තර වෙළඳාම සඳහා රැකගත යුතු නාවික මාර්ග පද්ධතිය රැකගැනීම ගැන වික්ටෝරියා රැජින බලවත් උනන්දුවක් දැක්වූවාය. යුරෝපය සහ නැගෙනහිර ප්‍රවේශ මාර්ග වූ සූවස් ඇළ නිසා වැදගත් මර්මස්ථානයක් වූ ඊජිප්තුව, ලංකාව, සිංගප්පූරුව ඇගේ දැඩි සැලකිල්ලට යොමු වූ බව කියනු ලැබේ.


තවත් පැත්තකින් ඇය අතිශය වාසනාවන්ත වූවාය. එනම් ඇයගේ දරු මුනුබුරු පරම්පරාවය. එම දරු මුණුබුරන්ගෙන් බොහෝ දෙනෙකු විවාහ වූවේ තවත් අධිරාජ්‍යයක හෝ දේශයක අධිරාජ්‍යයකු හෝ රජ කෙනෙකු සමඟ හෝ එවැන්නක උරුමකරුවෙකු සමඟය. ඒ අනුව වික්ටෝරියා රැජිනගේ බලපරාක්‍රමය තවත් කීප ගුණයකින් වැඩි වූ බව පැරණි වාර්තාවල සඳහන් වේ. ඇයට දූ පුතුන් 8 දෙනෙකු සිටි බව සඳහන් වේ. මෙම අධිරාජිනියගේ වැඩිමහල් දියණිය වූ වික්ටෝරියා කුමරිය විවාහ කර ගනු ලැබුවේ එකල ලෝකය සොලවාගෙන සිටි මහා ප්‍රතාපවත් ජර්මන් අධිරාජ්‍යයේ පාලකය වූ මහා ෆෙඞ්රික් අධිරාජයා සමඟය. එවකට ජර්මනිය කුඩා රාජ්‍යයන් විශාල ගණනකට බෙදී පැවති අතර ඒ සියල්ලෙහි අධිරාජයා වූවේ පෙර සඳහන් කළ මහා ෆෙඞ්රික්ය. එම විවාහය පිළිබඳ සුසංයෝගය නිසා බලසම්පන්න ජර්මන් අධිරාජ්‍යය පවා තම අල්ලේ නැටවීමට වික්ටෝරියා අධිරාජිනියට ලැබුණු දේව වරමක් බදු විය. වික්ටෝරියා (දුව) සහ ෆෙඞ්රික්ගේ දියණිය වූ හෙලේනා කුමරිය රුමේනියාවේ කාලෝස් රජු සමඟ විවාහ වූ බව  කියවේ. මෙම යුගයේ රුමේනියාවද යම් පමණක බලයක් දැරූ රජ පවුලක් වෙසෙන රාජ්‍යයක් විය. විටෙක රුසියාවේ රොමනොව් වංශයේ සාර්වරුන්ගේ පාලනයට හිතවත් වෙමින්ද තවත් විටෙක ඔස්ටි්‍රයාවේ හැප්ස්බර්ග් වංශික ධස්ට්‍රො හංගේරියන් අධිරාජ්‍යයට හිතවත් වෙමින්ද කටයුතු කළ ජර්මනියේ හැනෝවර් පරපුර මෙන්ම රුමේනියාවද බි්‍රතාන්‍ය පවුලේ රාජ්‍යයක් වූවේ ඒ අයුරිනි. ඒ වික්ටෝරියා රැජිනගේ වැඩිමහල් පුත් ඇල්ෆ්‍රඞ් කුමාරයා විවාහ වූවේ රුසියානු මහා අධිරාජ්‍යයේ සාර් පදවිය හෙබ වූ දෙවැනි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ එකම දියණිය වූ මාරි ඇලෙක්සෙන්ඩෝවා කුමරිය සමගය. එනිසා ලෝකය හෙල්ලූ රුසියානු මහා අධිරාජ්‍යයාද වික්ටෝරියා රැජිනගේ මස්සිනා කෙනෙකු විය. ඇල්ප්‍රඞ් කුමාරයා රාජකීය නාවික හමුදාවේ අද්මිරාල් තනතුර මෙන්ම එඩින්බරෝහි ආදිපාද ධුරයද දැරූ බව සඳහන් වේ. වික්ටෝරියා රැජිනගේ තවත් මිනිබිරියක වූ මාරි කුමරිය යුගොස්ලාවියාවේ ඇලෙක්සැන්ඩර් රජු සමඟ යුගදිවි ගත කළ බවද සඳහන් වේ. ඇලිස් කුමාරියද වික්ටෝරියාගේ මිනිබිරියක වූ අතර ඇය විවාහ වූවේ ග්‍රීසියේ ඇන්ඩෘ කුමරා සමගය. පසුව එය මවුන්ට්බැටන් පරපුර ලෙස හඳුනා ගැනීමට පුරුදු වූ බව කියවේ. වර්තමානයේ එංගලන්ත කිරුළ දරන දෙවැනි එලිසබෙත් රැජිනගේ වල්ලභ කුමරු වන එඩින්බරෝහි ආදිපාදවරයාද වූ පිලිප් කුමාරයා ග්‍රීසියේ ඇන්ඩෘ කුමාරයාගේ පුත්‍රයෙකි.


මේ ආකාරයෙන් කියවීමට වෙහෙසකර වන පමණට වික්ටෝරියා මහ රැජිනගේ දරු මුනුබුරු පරපුර ලෝකයේ වෙනත් රජ පවුල් සමඟ ඇදී බැඳී පැවතුණි. නෝර්වේ, ඩෙන්මාක්, ස්වීඩන් යන රටවල්වල රජවරුද මෙසේ විවාහයෙන් බැඳී සිටියහ. රුසියානු අධිරාජ්‍යයේ සාර් පදවිය හෙබවූ දෙවැනි ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ එකම දියණිය විවාහ කර ගත්තේ ඇල්ෆ්‍රඞ් කුමාරයා.


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි